Skip to content

පටුනට යන්න

හෘදය සාක්ෂිය පුහුණු කරගන්න

හෘදය සාක්ෂිය පුහුණු කරගන්න

“ඔබ දුන් සිහිගැන්වීම් ගැන නිතරම මම ගැඹුරින් කල්පනා කරමි.”—ගීතා. 119:99.

ගීතිකා: 127, 88

1. සතුන්ට වඩා මිනිසුන් උසස් වෙන එක හේතුවක් මොකක්ද?

යෙහෝවා දෙවි මිනිසුන්ට දීපු විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි හෘදය සාක්ෂිය. හෘදය සාක්ෂියක් තියෙන එක අපි සතුන්ට වඩා උසස් වෙන්න එක හේතුවක්. ආදම් සහ ඒවටත් හෘදය සාක්ෂියක් තිබුණා කියලා අපි දන්නේ කොහොමද? දෙවිට අකීකරු වුණාට පස්සේ එයාලා හැංගුණා. ඒ හෘදය සාක්ෂිය එයාලට වධ දුන්න නිසයි.

2. අපේ හෘදය සාක්ෂිය මාලිමා යන්ත්‍රයක් වගේ කියන්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

2 හෘදය සාක්ෂිය අපිට උදව් කරනවා හරි දේ, වැරදි දේ මොකක්ද කියලා හඳුනගන්න. හොඳින් පුහුණු කරලා නැති හෘදය සාක්ෂියක් තියෙන කෙනෙක් හරියට කැඩුණු මාලිමා යන්ත්‍රයක් තියාගෙන මුහුදු ගමන් යන නැවක් වගේ. තද සුළං නිසා නැවක් ලේසියෙන්ම යන්න ඕනෙ දිශාවෙන් පිට පනින්න පුළුවන්. ඒත් හොඳට වැඩ කරන මාලිමා යන්ත්‍රයක් තියෙනවා නම් නැවේ කපිතාන්ට පුළුවන් නැව ආයෙත් හරි මාර්ගයට ගන්න. ඒ වගේ අපිත් අපේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරනවා නම් ඒකට පුළුවන් අපිට හරි මඟ පෙන්නන්න.

3. හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කළේ නැත්නම් මොකක් වෙන්න පුළුවන්ද?

3 අපි අපේ හෘදය සාක්ෂිය හරි විදිහට පුහුණු කළේ නැත්නම් අපි වරදක් කරන්න හදද්දී ඒක අපිට අනතුරු අඟවන්නේ නැහැ. (1 තිමෝ. 4:1, 2) සමහරවිට “නපුරට යහපත කියලා” හිතන්නත් ඒක අපිව පොලඹවයි. (යෙසා. 5:20) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. “ඔබව මරණයට පත් කරන අය එසේ කිරීමෙන් තමන් දෙවිට මහත් සේවයක් කළ බව සිතන කාලයක් එයි.” (යොහ. 16:2) ස්තේපන්ව මරපු අය හිතුවෙත් ඒ විදිහට. (ක්‍රියා 6:8, 12; 7:54-60) ඉතිහාසය පුරාම ආගමික අන්තවාදීන් හුඟක් දරුණු දේවල්, මිනී මැරුම් පවා කරලා තියෙනවා. ආගමට තියෙන භක්තිය නිසා ඒවා කරනවා කියලා හිතුවත් එයාලා ඇත්තටම කරන්නේ දෙවිගේ නීති කඩන එකයි. (නික්. 20:13) එයාලගේ හෘදය සාක්ෂිය එයාලට හරි මඟ පෙන්වීම් දීලා නැහැ.

4. හෘදය සාක්ෂිය හරි මඟ පෙන්වීම් ලබා දෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

4 අපේ හෘදය සාක්ෂිය හරි මඟ පෙන්වීම් ලබා දෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? අපි දන්නවා බයිබලේ සඳහන් නීති, ප්‍රතිපත්ති “ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්” කියලා. (2 තිමෝ. 3:16) ඒත් ඒකෙන් ප්‍රයෝජන ලබාගන්න නම් අපි නිතිපතා බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට හිතලා ඒවා ජීවිතේට අදාළ කරගන්න ඕනේ. එහෙම කරද්දී තව වැඩියෙන් දෙවි හිතන විදිහට හිතන්න අපි පුරුදු වෙනවා. අපේ හෘදය සාක්ෂිය අපිට හරි මඟ පෙන්වීම් දෙයි කියලා අපිට සහතික වෙන්න පුළුවන් එතකොටයි. හෘදය සාක්ෂිය පුහුණු කරන්න යෙහෝවා දෙවි දීලා තියෙන නීති, ප්‍රතිපත්ති උදව් වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.

ඔයාව පුහුණු කරන්න දෙවිගේ නීතිවලට ඉඩ දෙන්න

5, 6. දෙවිගේ නීතිවලට කීකරු වෙන එකෙන් අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

5 දේවවචනයේ තියෙන නීති නිකම්ම කියෙව්වා කියලා, ඒවා ගැන දැනුවත් වුණා කියලා අපිට ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. ඒවා ගැන අපිට ලොකු අගයක් තියෙන්න ඕනේ. ඒවාට ඇලුම් කරන්න ඕනේ. බයිබලේ කියන්නේ “දුෂ්ට දේට පිළිකුල් කර යහපත් දේට ඇලුම් කරන්න” කියලයි. (ආමො. 5:15) ඒක කරන්න නම් කාරණා දිහා දෙවි බලන විදිහට බලන්න අපිත් ඉගෙනගන්න ඕනේ. හිතන්න, ඔයාට හොඳට නින්ද යන්නේ නැහැ කියලා. ඔයා වෛද්‍යවරයා ගාවට ගියාම එයා ඔයාට උපදෙස් දෙනවා පෝෂ්‍යදායි ආහාර කන්න කියලා. ව්‍යායාම් කරන්න, සමහර පුරුදු වෙනස් කරගන්න කියලත් එයා කියනවා. ඒ උපදෙස් පිළිපදිද්දී සුවබර නින්දක් ලබන්න ඔයාට පුළුවන් වෙනවා. වෛද්‍යවරයා දුන්න උපදෙස් ගැන දැන් ඔයාට ලොකු අගයක් දැනෙන්නේ නැද්ද?

6 අපේ නිර්මාතෘත් අපිට නීති දීලා තියෙනවා. අපිට උරුම වෙලා තියෙන පාපය නිසා අපි අතින් වැරදි දේවල් වෙන්න පුළුවන්. ඒත් දෙවි දීලා තියෙන නීති නිසා වැරදි දේවල් කරන එකෙන් වැළකෙන්න අපිට පුළුවන්. ඒකෙන් වෙන්නේ අපේ ජීවිත තවත් හොඳ අතට හැරෙන එක. උදාහරණෙකට බොරු කියන එකෙන්, හොරකම් කරන එකෙන්, වංචා කරන එකෙන්, අනාචාරයෙන්, සැහැසික දේවලින්, භූතවාදයෙන් වළකින්න කියලා දෙවි අපිට කියනවා. (හිතෝපදේශ 6:16-19 කියවන්න; එළි. 21:8) අපි දෙවිට කීකරු වෙද්දී ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි. ඒ ප්‍රයෝජන අද්දකිද්දී යෙහෝවා දෙවි ගැනත් ඔහු දුන්න නීති ගැනත් අපේ හිතේ තියෙන ආදරේ, අගය තව වැඩි වෙනවා.

7. බයිබලේ තියෙන වාර්තා අපිට උදව් වෙන්නේ කොහොමද?

7 දෙවිගේ නීතිවලට කීකරු වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන බයිබලේ සඳහන් වාර්තාවලිනුත් අපිට තේරුම්ගන්න පුළුවන්. අතීතයේ හිටපු සමහරු දෙවිගේ නීති කඩ කරපු නිසා හුඟක් වේදනාකාරී දේවලට මුහුණ දුන්නා. ඒ සිද්ධීන් බයිබලේ සඳහන් වෙනවා. දාවිත් ගැන හිතන්න. දෙවිට අකීකරු වෙලා බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණ නිසා දාවිත්ට කොයි තරම් නම් දුක් විඳින්න වුණාද! (2 සාමු. 12:7-14) ඒ වාර්තාව කියවද්දී මෙහෙම හිතන්න. ‘දාවිත් මොනවා කළා නම් ඒ වේදනාකාරී අද්දැකීම මඟහරින්න එයාට තිබුණාද? මං දාවිත්ගේ තැන හිටියා නම් මං මොනවා කරයිද? මමත් දාවිත් වගේ අනාචාරයේ යෙදෙයිද? නැත්නම් යෝසෙප් වගේ එතනින් පලා යයිද?’ (උත්. 39:11-15) ඒ වගේ වාර්තා කියවලා ඒ ගැන හිතද්දී අපි කරන්නේ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උපදෙස්වලට සවන් දෙන එකයි. හිතෝපදේශ 1:5 කියන්නේ “ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දී තව තවත් ඉගෙනගනියි” කියලයි. දෙවිගේ නීතිවලට අකීකරු වුණාම ලැබෙන නරක ප්‍රතිඵල ගැන හොඳට හිතද්දී අපි තව තවත් වැඩියෙන් ‘දුෂ්ට දේට පිළිකුල් කරන්න’ පෙලඹෙනවා.

8, 9. (අ) හෘදය සාක්ෂිය අපිට උදව් කරන්නේ මොකක් කරන්නද? (ආ) බයිබල් ප්‍රතිපත්ති අපේ හෘදය සාක්ෂියට බලපාන්නේ කොහොමද?

8 දෙවි කරන්න එපා කියලා කෙළින්ම සඳහන් කරලා තියෙන දේවල් නොකර ඉන්න අපි අපේ උපරිමයෙන්ම උත්සාහ කරනවා. ඒත් බයිබලේ කෙළින්ම නීතියක් දීලා නැති අවස්ථාවලටත් අපි මුහුණ දෙනවා. ඒ වෙලාවලදී දෙවි සතුටු වෙන්නේ අපි මොන වගේ තීරණයක් ගත්තොත්ද කියලා අපි දැනගන්නේ කොහොමද? අපි අපේ හෘදය සාක්ෂිය බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව පුහුණු කරලා තිබුණොත් ඥානවන්ත තීරණයක් ගන්න අපිට පුළුවන් වෙයි.

9 දෙවි අපිට ආදරේ නිසා අපේ හෘදය සාක්ෂිය පුහුණු කරගන්න උදව් වෙන ප්‍රතිපත්ති දීලා තියෙනවා. දෙවි මෙහෙම කියනවා. “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය.” (යෙසා. 48:17, 18) දෙවි දීලා තියෙන ප්‍රතිපත්ති ගැන හොඳට හිතලා ඒවා අපේ හදවතටම ගන්නවා නම් අපේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරගන්න අපිට පුළුවන්. එතකොට අපිට පුළුවන් ඥානවන්ත තීරණ ගන්න.

ඔයාට මඟ පෙන්නන්න ප්‍රතිපත්තිවලට ඉඩ දෙන්න

10. ප්‍රතිපත්ති කියන්නේ මොනවාටද? යේසුස් උගන්වද්දී ප්‍රතිපත්ති යොදාගත්තේ කොහොමද?

10 ප්‍රතිපත්ති කියන්නේ දෙවි හිතන විදිහට හිතන්න, හොඳ තීරණ ගන්න අපිට උදව් වෙන මඟ පෙන්වීම්. ඒවා අපි තේරුම්ගද්දී දෙවි සමහර නීති දීලා තියෙන්නේ ඇයි කියලා තේරුම්ගන්නත් අපිට පුළුවන්. යේසුත් ඔහුගේ ඉගැන්වීම්වලදී ප්‍රතිපත්තිවලට අනුව හිතන්න අනුගාමිකයන්ට උදව් කළා. උදාහරණෙකට ඔහු කිව්වා කෙනෙක් තව කෙනෙක්ව මරන්න වුණත් පෙලඹෙන්නේ අමනාපය, කේන්තිය වගේ හැඟීම් හිතේ දිගින් දිගටම තියාගෙන හිටියොත් කියලා. ඒ වගේම කෙනෙක් කාමුක සිතුවිලි හිතේ වැඩෙන්න ඉඩ දුන්නොත් එයා අනාචාරයට වැටෙන්න පුළුවන් කියලත් යේසුස් කිව්වා. (මතෙ. 5:21, 22, 27, 28) දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න අපි උත්සාහ කරද්දී අපේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරගන්නත් දෙවිට ගෞරවයක් ගේන තීරණ ගන්නත් අපිට පුළුවන් වෙනවා.—1 කොරි. 10:31.

අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත් වෙනවා (11 සහ 12 ඡේද බලන්න)

11. එක් කෙනෙක්ගේ හෘදය සාක්ෂිය තව කෙනෙක්ගේ හෘදය සාක්ෂියට වඩා වෙනස් වෙන්න පුළුවන් කොහොමද?

11 අපි බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට අනුව අපේ හෘදය සාක්ෂිය පුහුණු කළත් අපි එක් එක් කෙනා ගන්න තීරණ හැම එකක්ම එක වගේ වෙන්නේ නැහැ. උදාහරණෙකට මත්පැන් පානය කරනවාද නැද්ද කියන තීරණය ගැන හිතන්න. මත්පැන් පානය කරන එක වැරදියි කියලා බයිබලේ කියලා නැහැ. ඒත් වෙරි වෙන කල් බොන එක සහ බේබදුකම වැරදියි කියලා බයිබලේ කියනවා. (හිතෝ. 20:1; 1 තිමෝ. 3:8) එහෙමනම් ඒකෙන් අදහස් කරනවාද කෙනෙක් වෙරි වෙන කල් බොන්නේ නැති තාක් කල් ප්‍රශ්නයක් නැහැ කියලා? එයා සැලකිල්ලට ගන්න ඕනෙ ඒ කාරණය විතරද? නැහැ. මොකද මත්පැන් පානය කරන්න එයාගේ හෘදය සාක්ෂිය ඉඩ දුන්නත් එයා අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

12. අනිත් අයගේ හෘදය සාක්ෂියට ගරු කරන්න රෝම 14:21 සඳහන් දේ උදව් වෙන්නේ කොහොමද?

12 තීරණ ගද්දී අපි අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැනත් හිතන්න ඕනෙ කියලා පාවුල් කියපු මේ දෙයින් පැහැදිලියි. “මස් කෑමෙන් හෝ වයින් බීමෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් කිරීමෙන් හෝ ඔබේ සහෝදරයා තුළ තිබෙන විශ්වාසයට යම් හානියක් සිදු වේ නම් එයින් වැළකී සිටීම වඩාත් හොඳය.” (රෝම 14:21) මත්පැන් පානය කරන එක අපේ හෘදය සාක්ෂියට ප්‍රශ්නයක් නැති වුණත් ඒකෙන් තව කෙනෙක්ගේ හෘදය සාක්ෂියට හානියක් වෙනවා කියලා දන්නවා නම් නොබී ඉන්න අපි තීරණය කරයි. සමහරවිට සත්‍යයට එන්න කලින් මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක් දැන් මත්පැන් නොබී ඉන්න තීරණය කරලා ඇති. ඒ කෙනා සුහද ඇසුරකට අපේ ගෙදර ආපු වෙලාවක අපි එයාට මත්පැන් බොන්න කියලා බල කරනවාද? කොහොමටවත් නැහැ. මොකද එයාව පරණ පුරුද්දට ඇදලා දාන්න පුළුවන් කිසිම දෙයක් කරන්න අපි කැමති නැහැ.—1 කොරි. 6:9, 10.

13. අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැන තිමෝති සැලකිලිමත් වුණා කියලා තේරෙන්නේ කොහොමද?

13 යෞවන වයසේ හිටපු තිමෝති පාවුල් එක්ක සේවය පටන්ගන්න කලින් චර්මච්ඡේදනය වෙන්න කැමති වුණා. මොකද එයා දේශනා කරන්න ගිය පැතිවල හිටියේ යුදෙව්වන්. එයාලා චර්මච්ඡේදනය වෙන එක අත්‍යවශ්‍ය දෙයක් විදිහටයි සැලකුවේ. අනිත් අයව කිසිම විදිහකින් බාධාවට පත් කරන්න පාවුල් වගේම තිමෝතිත් කැමති වුණේ නැහැ. කොච්චර වේදනාකාරී දෙයක් වුණත් චර්මච්ඡේදනය වෙන්න එයා කැමති වුණේ ඒ නිසයි. (ක්‍රියා 16:3; 1 කොරි. 9:19-23) අනිත් අය වෙනුවෙන් කැප කිරීම් කරන්න ඔයාත් ලෑස්තිද?

‘අවබෝධයෙන් ක්‍රියා කරන අය වෙන්න’

14, 15. (අ) අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? (ආ) ඒ වගේ කෙනෙක් අනිත් අයට සලකන්නේ කොහොමද?

14 “ක්‍රිස්තුස් පිළිබඳ මූලික ඉගැන්වීම්” දැනගෙන ඉන්න එකෙන් සෑහීමට පත් වෙන්නේ නැතුව “අවබෝධයෙන් ක්‍රියා කරන අය” වෙන්නයි අපි හැමෝටම ඕනේ. (හෙබ්‍රෙ. 6:1) ඒත් ඒක ඉබේ වෙන දෙයක් නෙමෙයි. අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න නම් අපි දිනපතාම බයිබලේ කියවලා දැනුම, අවබෝධය තව වැඩි කරගන්න දැඩි උත්සාහයක් ගන්න ඕනේ. (ගීතා. 1:1-3) දිනපතාම බයිබලේ කියවන තරමට යෙහෝවා දෙවිගේ නීති සහ ප්‍රතිපත්ති තවත් හොඳින් අවබෝධ කරගන්න අපිට පුළුවන්.

15 දෙවිගේ නීති සහ ප්‍රතිපත්ති ගැන අවබෝධය වැඩි වෙද්දී අපිට තේරෙනවා අපි මොන දේ කළත් ඒක කරන්න ඕනෙ ආදරෙන් පෙලඹිලා කියලා. ඒක අපි කීකරු වෙන්න ඕනෙ වැදගත්ම නීතියයි. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියලා. (යොහ. 13:35) බයිබලේ කියන්නේ ආදරේ පෙන්නන එක “රාජකීය නීතිය” පිළිපැදීමක් කියලයි. (යාකො. 2:8) “නීතිය නිසි ලෙස ඉටු කිරීමට ප්‍රේමය පෙන්වීම අත්‍යවශ්‍යයි” කියලත් කියනවා. (රෝම 13:10) ඒක එච්චරම වැදගත් දෙයක් විදිහට සලකන එක ගැන අපි පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද බයිබලේ කියන්නේ “දෙවි ප්‍රේමය” කියලයි. (1 යොහ. 4:8) යෙහෝවා දෙවිගේ ආදරේ නිකම්ම හැඟීමකට සීමා වුණ දෙයක් නෙමෙයි. ඔහුගේ ආදරේ ඔහු කරන දේවලින් පේනවා. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “දෙවිගේ ප්‍රේමය කොතරම්ද කියා දැකගත හැකි වන්නේ ඔහු තම එකම පුත්‍රයා මෙලොවට එවීම මාර්ගයෙනි. ඔහු එසේ කළේ අපට ඔහු මාර්ගයෙන් ජීවනය ලබාගැනීම සඳහාය.” (1 යොහ. 4:9) යෙහෝවා දෙවි, යේසුස්, සහෝදර සහෝදරියන්, අනිත් මිනිසුන් ගැන අපිට තියෙන ආදරේ අපිත් ක්‍රියාවෙන් පෙන්නද්දී අපි අවබෝධයෙන් වැඩ කරන අය කියලා පැහැදිලි වෙනවා.—මතෙ. 22:37-39.

බයිබල් ප්‍රතිපත්ති අදාළ වෙන විදි ගැන අපි හිතද්දී අපේ හෘදය සාක්ෂිය පුහුණු වෙනවා (16 ඡේදය බලන්න)

16. අවබෝධයෙන් වැඩ කරන අය බයිබල් ප්‍රතිපත්ති හුඟක් අගය කරන්නේ ඇයි?

16 අපි ටිකෙන් ටික අවබෝධයෙන් වැඩ කරන අය වෙද්දී බයිබල් ප්‍රතිපත්ති ගැන තියෙන අගයත් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් නීතියක් අදාළ වෙන්නේ නිශ්චිත අවස්ථාවකට විතරයි. ඒත් ප්‍රතිපත්තියක් විවිධ අවස්ථාවලට අදාළ කරගන්න පුළුවන්. පොඩි දරුවෙක් ගැන හිතන්න. නරක අයව යාළුවන් කරගන්න එක අනතුරුදායකයි කියලා එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා එයාව ආරක්ෂා කරගන්න එයාගේ දෙමාපියන් එයාට යම් යම් නීති දානවා. (1 කොරි. 15:33) ඒත් දරුවා ටික ටික වැඩිහිටියෙක් වෙද්දී බයිබල් ප්‍රතිපත්ති අදාළ වෙන්නේ කොහොමද කියලා හිතන්න එයාට පුළුවන් වෙනවා. එතකොට නීතියක් නැති වුණත් ප්‍රතිපත්ති ගැන හිතලා හොඳ යාළුවෝ හොයාගන්න එයාට පුළුවන්. (1 කොරින්ති 13:11; 14:20 කියවන්න.) බයිබල් ප්‍රතිපත්ති අදාළ වෙන විදි ගැන අපි හිතන්න හිතන්න අපිට හොඳ මඟ පෙන්වීම් දෙන්න අපේ හෘදය සාක්ෂියත් පුහුණු වෙනවා. එතකොට ඕනෙම අවස්ථාවකදී දෙවි සතුටු වෙන විදිහේ තීරණ ගන්න අපිට පුළුවන්.

17. ඥානවන්ත තීරණ ගන්න අවශ්‍ය දේවල් අපිට තියෙනවා කියන්නේ ඇයි?

17 දෙවි සතුටු වෙන විදිහේ තීරණ ගන්න අවශ්‍ය හැම දේම දෙවි අපිට දීලා තියෙනවා. බයිබලේ තියෙන නීති, ප්‍රතිපත්ති නිසා ‘සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින අය වෙන්න’ අපිට පුළුවන්. (2 තිමෝ. 3:16, 17) බයිබල් ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා දෙවි හිතන විදිහ තේරුම්ගන්න. ඒත් ඒවා හොයාගන්න අපේ පැත්තෙන් අපි වෑයමක් ගන්න ඕනේ. (එෆී. 5:17) ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොත, ‘වොච්ටවර් ලයිබ්‍රරි’ එක, ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එක අපිට දීල තියෙන්නේ ඒකට උදව්වක් විදිහටයි. අපි ඒවා පාවිච්චි කරනවා නම් පෞද්ගලික අධ්‍යයනයෙන්, පවුලේ නමස්කාරයෙන් හුඟක් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන්.

හෘදය සාක්ෂිය පුහුණු කළොත් ආශීර්වාද ලැබෙයි

18. දෙවිගේ නීති, ප්‍රතිපත්ති අදාළ කරගද්දී ලැබෙන ප්‍රතිඵල මොනවාද?

18 යෙහෝවා දෙවි දුන්න නීති, ප්‍රතිපත්ති අපි අදාළ කරගද්දී අපේ ජීවිත තවත් හොඳ අතට හැරෙනවා. ගීතාවලිය 119:97-100 මෙහෙම කියනවා. “ඔබේ නීතියට මම බොහෝ සෙයින් ඇලුම් කරමි. දවස මුළුල්ලේ ඒ ගැන මම කල්පනා කරමි. ඔබේ ආඥා නිසා මාගේ සතුරන්ට වඩා මම ප්‍රඥාවන්ත ලෙස ක්‍රියා කරමි. මන්ද ඒවා සැමදා මට මඟ පෙන්වන්නේය. මාගේ ගුරුවරුන් සියලුදෙනාට වඩා හොඳ වටහාගැනීමේ හැකියාවක් මා සතුය. මන්ද ඔබ දුන් සිහිගැන්වීම් ගැන නිතරම මම ගැඹුරින් කල්පනා කරමි. වයසින් මුහුකුරා ගිය අයට වඩා නිසි අවබෝධයකින් මම කටයුතු කරමි. මන්ද මම ඔබේ අණපනත්වලට කීකරු වෙමි.” දෙවිගේ නීති, ප්‍රතිපත්ති ගැන හිතන්න අපි කාලේ ගන්නවා නම් අපේ අවබෝධය තව වැඩි වෙනවා වගේම ප්‍රඥාවන්තව වැඩ කරන අය වෙන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම ඒ නීති, ප්‍රතිපත්තිවලට අනුව අපි අපේ හෘදය සාක්ෂිය පුහුණු කරද්දී “ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ පෞද්ගලිකත්වයට ළඟා” වෙන්නත් අපිට පුළුවන්.—එෆී. 4:13.