Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

මානසිකව වැටුණත් මං අසරණ වුණේ නැහැ

මානසිකව වැටුණත් මං අසරණ වුණේ නැහැ

ඉන්දු ගඟට බටහිරෙන් තිබුණ, දැන් පකිස්තානයට අයිති ප්‍රදේශයේ තමයි සුක්කුර් කියන නගරේ තිබුණේ. මං ඉපදුණේ එහේ. ඒ 1929 නොවැම්බර් 9වෙනිදා. ඔය කාලේදී ඒ පැත්තට ආපු ඉංග්‍රීසි මිෂනාරිවරයෙක් මගේ දෙමාපියන්ට තද පාටවලින් තිබුණ පොත් සෙට් එකක් දීලා තිබුණා.

ඒ පොත් ටික හැඳින්නුවේ දේදුනු පොත් කට්ටලය කියලා. ඒවාවල තිබුණ පින්තූර හරිම ලස්සනයි. දේවල් හිතින් මවාගන්න ඒවා මට ගොඩක් උදව් වුණා. ඒකෙන් තමයි පුංචි කලේ ඉඳන්ම බයිබල් සත්‍යයන් ගැන ඉගෙනගන්න මගේ හිතේ ආසාවක් ඇති වුණේ.

2වෙනි ලෝක යුද්දේ බලපෑම ඉන්දියාවටත් දැනෙන්න පටන්ගත්ත කාලේ මගේ පුංචි ලෝකෙත් කඩා වැටෙන්න පටන්ගත්තා. මගේ අම්මායි, තාත්තායි වෙන් වුණා. ඊටපස්සේ එයාලා දික්කසාද වුණා. මං වැඩියෙන්ම ආදරේ කරපු දෙන්නා ඒ විදිහට වෙන් වුණේ ඇයි කියලා මට හිතාගන්න බැරි වුණා. මට දැනුණේ මං මේ ලෝකේ තනි වුණා වගේ. මං පවුලේ එකම දරුවා. ඒත් මට ඕනෙ කරපු සහනය, ආදරේ මට ලැබුණේ නැහැ.

ඒ වෙද්දී මමයි, අම්මායි හිටියේ කරච්චිවල. දවසක් ෆ්‍රෙඩ් හාඩෙක කියන කෙනා අපේ ගෙදරට ආවා. එයා දොස්තර කෙනෙක් වගේම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. ඒ කියන්නේ අම්මාට කලින් පොත් දුන්න ආගමේ කෙනෙක්. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා එයා අම්මාගෙන් ඇහුවාම අම්මා කැමති වුණේ නැහැ. ඒත් මං ඒකට ආස වෙයි කියලා අම්මා කිව්වා. ඊළඟ සතියේම අපි බයිබල් පාඩමක් පටන්ගත්තා.

සති කීපයකට පස්සේ සහෝදර හාඩෙකගේ ඩිස්පෙන්සරියේ පවත්වපු රැස්වීම්වලට මං යන්න පටන්ගත්තා. ඒ රැස්වීම්වලට වයසක සාක්ෂිකරුවෝ 12දෙනෙක් විතර ආවා. එයාලගෙන් මට ලොකු සහනයක් ලැබුණා. මට තාමත් මතකයි එයාලා මාත් එක්ක කතා කරද්දී මගේ ළඟින්ම ඉඳගන්නවා. එයාලා මට හොඳ යාළුවන් වුණා. ඒ වෙලාවේ මට ඕනෙම වෙලා තිබුණේ ඒකයි.

ටික දවසකින් සහෝදර හාඩෙක මාවත් සේවේ අරන් ගියා. තැටි වාදන යන්ත්‍ර පාවිච්චි කරන විදිහ එයා මට කියලා දුන්නා. ඉතිං අපි ගෙවල්වලට ගිහින් කෙටි බයිබල් දේශන ගෙවල්වල අයට ඇහෙන්න දැම්මා. සමහර දේශන අහලා ගෙවල්වල අයට ටිකක් කේන්ති ගිය අවස්ථාත් තිබුණා. ඒ මොනා වුණත් මං සේවේ ගියේ සතුටින්. සත්‍යය ගැන මට තිබුණ උද්‍යෝගය නිසා මට ඕනෙ වුණේ අනිත් අයත් එක්ක ඒක බෙදාගන්න.

ජපන් හමුදාව ඉන්දියාවේ බලය අල්ලගන්න හදද්දී බ්‍රිතාන්‍යය රජය සාක්ෂිකරුවන්ට ලොකු පීඩනයක් එල්ල කළා. 1943දී ඒක මටත් බලපෑවා. අපේ ඉස්කෝලේ විදුහල්පති එංගලන්ත සභාවේ පූජකයෙක්. එයා මාව ඉස්කෝලෙන් අස් කළා. ඒකට හේතුව හැටියට එයා අම්මාට කිව්වේ සාක්ෂිකරුවන් එක්ක මං කරන ආශ්‍රය අනිත් ළමයින්ට නරක ආදර්ශයක් කියලා. ඒක අහලා අම්මා බය වෙලා සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරන එක තහනම් කළා. පස්සේ එයා මාව කි.මී. 1,370ක් විතර දුරින් තිබුණ පේෂාවොර්වලට යැව්වා. තාත්තා හිටියේ එහේ. සාක්ෂිකරුවන්ගෙන් ඈත් වුණ නිසා දෙවි එක්ක තිබුණ මගේ බැඳීමත් අඩු වෙලාම ගියා.

දෙවි එක්ක මගේ බැඳීම ආයෙත් ශක්තිමත් වුණා

1947දී රස්සාවක් හොයාගෙන මං ආයෙත් කරච්චිවලට ආවා. ඒ ආපු වෙලාවේ මං සහෝදර හාඩෙකගේ ඩිස්පෙන්සරියටත් ගියා. එයා මාව ආදරෙන් පිළිගත්තා.

මං ඇවිත් ඉන්නේ බෙහෙත් ගන්න කියලා හිතලා එයා ඇහුවා “මොකක්ද ඔයාට තියෙන අසනීපේ” කියලා.

මං කිව්වා “මට අසනීපයක් නෑ. මං ආවේ මට බයිබල් පාඩමක් කරන්න පුළුවන්ද කියලා අහන්න” කියලා.

“ඇයි බැරි. කවදා ඉඳන්ද අපි පටන්ගන්නේ” කියලා එයා මගෙන් ඇහුවා.

මං කිව්වා “මේ දැන්ම වුණත් කමක් නෑ” කියලා.

එදා හවස් වරුවේම අපි බයිබලේ ගැන කතා කළා. දෙවිගේ සෙනඟ ළඟට ආයෙත් එන්න ලැබුණ එක ගැන මට දැනුණේ ලොකු සහනයක්. සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරන එක නවත්තන්න අම්මා සෑහෙන උත්සාහයක් ගත්තා. ඒත් මේ වතාවේ නම් දෙවිට සේවේ කරන්න මං ගත්ත තීරණේ වෙනස් කරන්නේ නෑ කියලා මං අධිෂ්ඨානයක් අරගෙනයි හිටියේ. 1947 අගෝස්තු 31වෙනිදා මං බව්තීස්ම වුණා. එතකොට මට වයස 17යි. ඒත් එක්කම මං ස්ථාවර පුරෝගාමි සේවේ පටන්ගත්තා.

පුරෝගාමි සේවේ රස බැලුවා

මුල්ම පැවරුමට මං ගියේ ක්වෙටාවලට. 1947දී රට ඉන්දියාව සහ පකිස්තානය * විදිහට බෙදුණා. ඒ නිසා රට පුරාම දරුණු ආගමික ගැටුම් පටන්ගත්තා. මිලියන 14ක් විතර එයාලගේ ගම්බ්ම් අත්හැරලා ගියා. ඒක තමයි ඉතිහාසයේ වැඩිම ජනගහනයක් සංක්‍රමණය වුණ අවස්ථාව. ඉන්දියාවේ හිටපු මුස්ලිම් ජාතිකයන් පකිස්තානයටත් පකිස්තානයේ හිටපු හින්දු සහ සීක් ජාතිකයන් ඉන්දියාවටත් සංක්‍රමණය කළා. ඔය අතරේ මමත් අතුරු සිදුරු නැතුව සෙනඟ පිරිලා හිටිය කෝච්චියකට නැඟලා කරච්චිවල ඉඳන් ක්වෙටාවලට පිටත් වුණා.

1948 ඉන්දියාවේ තිබුණ චාරිකා සමුළුවකට සහභාගි වුණ අවස්ථාවකදී

ක්වෙටාවලදී මට ජෝර්ජ් සිං කියන විශේෂ පුරෝගාමි සේවේ කරපු සහෝදරයාව හම්බ වුණා. ඒ වෙද්දී එයාට වයස 25ක් විතර ඇති. එයා මට බයිසිකලයක් දුන්නා. ඒකේ තමයි මං සේවේ ගියේ. හුඟක් වෙලාවට මට සේවේ කරන්න වුණේ තනියම. මාස 6ක් යද්දී මට බයිබල් පාඩම් 17ක් පටන්ගන්න පුළුවන් වුණා. එයාලගෙන් කීපදෙනෙක්ම සත්‍යයට ආවා. සඩික් මසි කියන හමුදා නිලධාරියාත් ඒ අයගෙන් කෙනෙක්. එයා අපේ සමහර ප්‍රකාශන පකිස්තානයේ ප්‍රධාන භාෂාව වුණ උර්දු භාෂාවට පරිවර්තනය කරන්න මටයි, ජෝර්ජ්ටයි උදව් කළා.

ගිලියද් පාසැලට යන්න පිටත් වුණේ “ක්වීන් එලිසබෙත්” නැවෙන්

කාලෙකට පස්සේ මං ආයෙත් කරච්චිවලට ඇවිත් හෙන්රි ෆින්ච් සහ හැරි ෆොරස්ට් කියන මිෂනාරි සහෝදරයන් දෙන්නා එක්ක සේවේ කළා. ඒ දෙන්නාම කරච්චිවලට ආවේ ගිලියද් පාසැලෙන් පුහුණුව ලබලා. ඒ දෙන්නා මාව හුඟක් පැතිවලින් පුහුණු කළා. සහෝදර ෆින්ච් එක්ක පකිස්තානයේ උතුරු පැත්තේ සේවේ කරන්න ගිය වෙලාවේ බයිබල් සත්‍යයන් ගැන දැනගන්න ලොකු උනන්දුවකින් හිටපු, උර්දු භාෂාව කතා කරන හුඟදෙනෙක්ව අපිට හම්බ වුණා. අවුරුදු 2කට පස්සේ මාත් ගිලියද් පාසැලට ගියා. ඒ පුහුණුවෙන් පස්සේ මං ආයෙත් ආවේ පකිස්තානයට. මගේ පැවරුම වුණේ පුරෝගාමි සේවේ කරන ගමන් අවශ්‍ය වෙලාවලදී චාරිකා සේවෙත් යන එක. මං හිටියේ ලාහෝර්වල තිබුණ මිෂනාරි නිවසේ තව මිෂනාරිවරුන් 3දෙනෙක් එක්ක.

පෑරුණු හිතට සහනයක්

1954දී ලාහෝර්වල හිටපු මිෂනාරිවරුන් අතර ප්‍රශ්නයක් ඇති වුණ නිසා ශාඛා කාර්යාලය එයාලගේ පැවරුම්වල වෙනසක් කළා. ඒ ප්‍රශ්නෙදී මමත් පැති ගත්ත නිසා මට ගොඩක් තදින් උපදෙස් හම්බ වුණා. ඒකෙන් පස්සේ මට හිතුණේ මං පැවරුම හරියට කළේ නැහැ කියලයි. මට මං ගැනම කලකිරීමක් ඇති වුණා. මං ආයෙත් කරච්චිවලට ගිහින් පස්සේ එංගලන්තයට ගියා. මට ඕනෙ වුණේ දේවල් අලුතින් පටන්ගන්න.

ලන්ඩන්වල මං ගිය සභාවේ බෙතෙල් පවුලේ සාමාජිකයන් හුඟදෙනෙක් හිටියා. ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක විදිහට සේවේ කරපු සහෝදර ප්‍රයිස් හියුස් හිටියෙත් ඒ සභාවේ. එයා මං ගැන හුඟක් සැලකිලිමත් වෙලා මට හොඳ පුහුණුවක් දුන්නා. දවසක් සහෝදර හියුස් මට කිව්වා සහෝදර රදෆර්ඩ් එයාට උපදෙසක් දුන්න අවස්ථාවක් ගැන. එයා එයාගේ පැත්තෙන් නිදහසට කරුණු කියද්දී සහෝදර රදෆර්ඩ් තදින් එයාට තරවටු කරලා තියෙනවා. සහෝදර හියුස් ඒ කතාව හිනා වෙවී කියද්දී මට පුදුම හිතුණා. ඒ උපදෙස ලැබුණාම මුලින් එයාගේ හිත රිදිලා තියෙනවා. ඒත් ඒක එයාට අවශ්‍ය එකක් කියලත් ඒක දුන්නේ යෙහෝවා දෙවි එයාට ආදරේ නිසයි කියලත් පස්සේ එයා තේරුම් අරන් තියෙනවා. (හෙබ්‍රෙ. 12:6) එයා කියපු දේවල් මගේ හිතට තදින්ම වැදුණා. ඒක මට උදව් වුණා ආයෙත් සතුටින් සේවේ කරන්න.

ඔය කාලෙදීම මගේ අම්මාත් ලන්ඩන්වල පදිංචියට ආවා. එයා බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. සහෝදර ජෝන් බාර් තමයි එයාත් එක්ක පාඩම කළේ. අම්මා සත්‍යයේ දියුණු වෙලා 1957දී බව්තීස්ම වුණා. පස්සේ මං දැනගත්තා තාත්තාත් මැරෙන්න කලින් සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කළා කියලා.

1958දී මං ලිනෙ එක්ක විවාහ වුණා. එයා ඩෙන්මාර්කයේ ඉඳන් ලන්ඩන්වල පදිංචියට ආපු කෙනෙක්. ඊළඟ අවුරුද්දේ අපිට අපේ දුව ජේන්ව හම්බ වුණා. අපේ දරුවෝ පස්දෙනාගෙන් වැඩිමලා එයා. ෆුල්හැම් සභාවේ විවිධ වගකීම් දරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒත් කාලයක් යද්දී ලිනෙ ටිකක් අසනීප වුණ නිසා අපිට සිද්ධ වුණා සීතල අඩු රටක පදිංචියට යන්න. ඒ නිසා අපි 1967දී ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්වල පදිංචියට ගියා.

වේදනාකාරී අද්දැකීමක්

ඇඩිලේඩ්වල අපි ගිය සභාවේ අභිෂේක ලත් අය 12දෙනෙක් හිටියා. එයාලා වැඩිහිටි වයසේ හිටියත් සේවේ උද්‍යෝගයෙන් හවුල් වුණා. අපිත් ඉක්මනින්ම ඒ සහෝදරයන්ගේ උද්‍යෝගය ආදර්ශයට ගන්න පටන්ගත්තා.

1979දී අපේ බාල පුතා ඩැනියෙල් ඉපදුණා. එයා ඩවුන් සින්ඩ්රෝම් * තත්වයෙන් පෙළුණු කෙනෙක්. වෛද්‍යවරු කිව්වේ එයා වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ කියලා. අපි මුහුණ දීපු ඒ වේදනාකාරී අද්දැකීම ගැන කතා කරන්න අදටත් මට අමාරුයි. ඩැනියෙල්ව බලාගන්න අපි පුළුවන් හැම දේම කළා. හැබැයි අපි අපේ අනිත් දරුවෝ 4දෙනාව අමතක කළෙත් නැහැ. ඩැනියෙල්ගේ හෘදයේ සිදුරු 2ක් තිබුණ නිසා ඔක්සිජන් අඩු වුණාම එයා නිල් වෙනවා. ඒ වෙලාවට අපි ඉක්මනටම එයාව අරන් ඉස්පිරිතාලෙට යන්න ඕනේ. මොන තරම් දුර්වල සෞඛ්‍ය තත්වයක් තිබුණත් සමහර පැතිවලින් එයා හරිම දක්ෂයි. අනිත් අයට හරි ආදරෙයි. යෙහෝවා දෙවිටත් එයා හුඟක් ආදරේ කළා. කෑමට කලින් අපි යාච්ඤා කරද්දී එයා අත් දෙක එකතු කරලා ඔලුව නමලා “ආමෙන්” කියනවා. ඊටපස්සේ තමයි එයා කෑම කන්නේ.

ඩැනියෙල්ට වයස 4දී ලියුකේමියාව හැදුණා. එයාට තිබුණේ ඉක්මනින් පැතිරෙන පිළිකාවක්. ඒ වෙද්දී ලිනෙයි, මායි ශාරීරිකව, මානසිකව හොඳටම හෙම්බත් වෙලයි හිටියේ. මට හිතුණා මට පිස්සු හැදෙයි කියලා. අපි දෙන්නා හොඳටම අධෛර්යය වෙලා හිටපු දවසක අපේ චාරිකා සේවක සහෝදර නෙවිල් බ්‍රාමිච් අපිව බලන්න ආවා. එදා රෑ එයා ඇස් දෙකේ කඳුලු පුරවගෙන අපිව ආදරෙන් බදාගත්තා. එදා අපි හැමෝම ඇඬුවා. එයාගේ ආදරේ, අනුකම්පාව නිසා අපිට දැනුණේ පුදුම සහනයක්. එයා අපේ ගෙදරින් ගියේ පාන්දර 1ට විතර. ඊට ටික වෙලාවකට පස්සේ අපේ පුතා නැති වුණා. ඒක තමයි අපි ජීවිතේ විඳපු ලොකුම වේදනාව. ඒත් කිසිම දේකට අඩුම තරමේ මරණයටවත් බැහැ දෙවිගේ ආදරෙන් ඩැනියෙල්ව වෙන් කරන්න. ඒ දේ දැනන් හිටපු නිසා ඒ දුක දරාගන්න අපිට පුළුවන් වුණා. (රෝම 8:38, 39) පාරාදීසේදී ආයෙත් ඩැනියෙල්ව දකින දවස එන කල් අපිට ඉවසිල්ලක් නැහැ.—යොහ. 5:28, 29.

අනිත් අයට උදව් කරන එක සතුටක්

ළඟදී මං දෙපාරක්ම සෑහෙන්න අසනීප වුණා. ඒත් මං තාමත් සභාවේ වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරනවා. මං මුහුණ දුන්න දේවල් නිසා තව කෙනෙක් ලොකු පීඩනයකින් ඉද්දී එයාගේ තත්වෙට බැහැලා එයාට අනුකම්පාවෙන් සලකන්න මට පුළුවන් වෙලා තියෙනවා. එයාව විනිශ්චය කරන්නේ නැතුව මං මෙහෙම හිතනවා. ‘එයා මුහුණ දීලා තියෙන දේවල් එයා හිතන විදිහට බලපාලා තියෙන්නේ කොහොමද? මං ඇත්තටම එයා ගැන සැලකිලිමත් කියලා පෙන්නන්නේ කොහොමද? යෙහෝවා දෙවි කැමති දේ කරන්න එයාව දිරිගන්වන්න පුළුවන් කොහොමද?’ සභාවේ අයව හම්බ වෙන්න ගිහින් එයාලව දිරිගන්වන්න මං ආසයි. අනිත් අයව සනසන්න මං බයිබලේ තියෙන දේවල් පාවිච්චි කරද්දී ඒකෙන් මාත් සහනයක් අද්දකිනවා.

අනිත් අයව දිරිගන්වලා මං ලොකු සතුටක් ලබනවා

මේ වචන මගේ ජීවිතෙත් සැබෑවක් වෙලා තියෙනවා. “මාගේ සිත නොසන්සුන් වූ විට [යෙහෝවා දෙවිගේ] ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.” (ගීතා. 94:19) පවුලේ ප්‍රශ්න ඇති වෙද්දී, ආගමික විරුද්ධවාදිකම් එද්දී, මං ගැනම කලකිරුණ වෙලාවලදී, මානසිකව වැටුණ වෙලාවලදී යෙහෝවා දෙවි මාව ඉසුලුවා. මගේ ආදරණීය තාත්තා මං ළඟින්ම හිටියා.

^ 19 ඡේ. මුලින් පකිස්තානය හැදුණේ බටහිර පකිස්තානය (දැන් පකිස්තානය) සහ නැඟෙනහිර පකිස්තානය (දැන් බංග්ලාදේශය) විදිහටයි.

^ 29 ඡේ. 2011 ජූනි ‘පිබිදෙව්!’ කලාපයේ පළ වුණ “ඔබේ දරුවාට විශේෂ සැලකිල්ලක් අවශ්‍යද?” කියන ලිපිය බලන්න.