Skip to content

පටුනට යන්න

‘මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ’

‘මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ’

‘මා මේ ලෝකයේ මිනිසුන් අතරට පැමිණියේ සත්‍යය ගැන සාක්ෂි දැරීමටයි.’—යොහ. 18:37.

ගීතිකා: 15, 74

1, 2. (අ) ලෝකේ මෙච්චර බෙදීම් තියෙන්නේ ඇයි? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

දකුණු යුරෝපයේ ඉන්න සහෝදරියක් එයාගේ අතීතය ගැන මෙහෙම කියනවා. “පොඩි කාලේ ඉඳන්ම මං දැක්කේ අයුක්තිය, අසාධාරණය. ඒකෙන් මට අපේ රටේ දේශපාලනය තිත්ත වුණා. විප්ලවවාදීන්ට සහය දෙන්න මාත් පටන්ගත්තා. කොච්චරද කියනවා නම් මං යාළු වෙලා හිටියෙත් ත්‍රස්තවාදියෙක් එක්ක.” අතීතයේදී තමන් දරුණු විදිහට හැසිරුණේ ඇයි කියලා අප්‍රිකාවේ ජීවත් වෙන සහෝදරයෙක් කිව්වේ මෙහෙමයි. “මගේ ගෝත්‍රය අනිත් හැම ගෝත්‍රයකටම වඩා උසස් කියලයි මං හිතුවේ. ඒ නිසා මං දේශපාලන පක්ෂයකට බැඳුණා. අපිට කියලා තිබුණේ විරුද්ධ පක්ෂයේ අයව මරන්න කියලා. අපේ ගෝත්‍රයේ කෙනෙක් වුණත් වෙන පක්ෂයකට සහය දුන්නොත් අපි එයාව මරනවා.” මධ්‍යම යුරෝපයේ ඉන්න සහෝදරියක් මෙහෙම කියනවා. “ඉස්සර මට වෙන ජාතියකට, ආගමකට අයිති අයව පේන්න බෑ.”

2 අද ඉන්න වැඩිදෙනෙක්ට තියෙන්නෙත් ඒ වගේ අදහස්. හුඟක් දේශපාලන කණ්ඩායම් එයාලා හරියි කියලා හිතන දේ කරගන්න හදන්නේ ප්‍රචණ්ඩත්වයෙන්. දේශපාලනය ගැන මිනිසුන්ට විවිධ මත තියෙන නිසා මිනිසුන් අතරේ තියෙන ඝට්ටන එන්න එන්නම වැඩියි. වෙනත් රටවල අය ගැන හුඟදෙනෙක්ට දැනෙන්නේ වෛරයක්. බයිබලේ කියන විදිහට අන්තිම දවස්වල ඉන්න මිනිසුන් ‘කිසිම දෙයක් ගැන එකඟ වෙන්නේ නැහැ.’ (2 තිමෝ. 3:1, 3) එන්න එන්නම බෙදීම් වැඩි වෙන සමාජයක ජීවත් වුණත් අපි අතරේ තියෙන එක්සත්කම රැකගන්න පුළුවන් කොහොමද? යේසුස්ගෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මොකද ඔහුගේ කාලේ හිටපු මිනිස්සුත් විවිධ දේශපාලන කණ්ඩායම් හැටියට බෙදිලයි හිටියේ. අපි මේ ලිපියෙන් ප්‍රශ්න 3කට උත්තර බලමු. යේසුස් කිසිම දේශපාලන කණ්ඩායමකට සහය දුන්නේ නැත්තේ ඇයි? දේශපාලන කාරණාවලදී දෙවිගේ සෙනඟ පැති ගන්න හොඳ නැහැ කියලා ඔහු පෙන්නුවේ කොහොමද? අපි කිසිම අවස්ථාවක ප්‍රචණ්ඩකාරී දේවලට හවුල් වෙන්න හොඳ නැහැ කියලා යේසුස් ඉගැන්නුවේ කොහොමද?

නිදහස වෙනුවෙන් සටන් කරපු අයට යේසුස් සහය දුන්නාද?

3, 4. (අ) යේසුස්ගේ කාලේ හිටපු යුදෙව්වන් වැඩිදෙනෙක්ට ඕනෙ වුණේ මොකක්ද? (ආ) ඒ අදහස් යේසුස්ගේ අනුගාමිකයන්ට බලපෑවේ කොහොමද?

3 හුඟක් යුදෙව්වන්ට ඕනෙ වුණේ රෝමවරුන්ගෙන් නිදහස් වෙන්න. නිදහස වෙනුවෙන් සටන් කරන්න කියලා යුදෙව් අන්තවාදීන් මිනිසුන්ව උසිගැන්නුවා. එයාලගෙන් වැඩිදෙනෙක් අනුගමනය කළේ ගලීලයේ වැසියෙක් වුණ යූදස්ව. තමන් බලාපොරොත්තුවෙන් හිටපු ගැලවුම්කරු යූදස් කියලයි වැඩිදෙනෙක් හිතුවේ. යූදස් ගැන යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් මෙහෙම කියනවා. “රෝමවරුන්ට විරුද්ධව සටන් කරන්න එයා යුදෙව්වන්ව උසිගැන්නුවා. රෝමවරුන්ට බදු ගෙවන්න කැමති වුණ අයව එයා සැලකුවේ බියගුල්ලන් හැටියට.” අන්තිමේදී රෝමවරු යූදස්ව මැරුවා. (ක්‍රියා 5:37) ඒත් සමහර යුදෙව් අන්තවාදීන් තමන්ගේ අරමුණ ඉටු කරගන්න තව තවත් ප්‍රචණ්ඩකාරී දේවල් කළා.

4 අන්තවාදී මත දැරුවේ නැතත් යුදෙව්වන්ගෙන් වැඩිදෙනෙකුත් බලන් හිටියේ ගැලවුම්කරු එන කල්. එයාලා හිතුවේ ගැලවුම්කරු යුදෙව්වන්ව රෝම පාලනයෙන් බේරගෙන ඊශ්‍රායෙල් ජාතිය ආයෙත් බලවත් ජාතියක් කරයි කියලා. (ලූක් 2:38; 3:15) ගැලවුම්කරු ඊශ්‍රායෙල් දේශයේ ඔහුගේ ආණ්ඩුව පිහිටෙව්වාම ලෝකේ විවිධ ප්‍රදේශවල ජීවත් වුණ යුදෙව්වන් ආයෙත් තමන්ගේ මව්බිමට ඇවිත් පදිංචි වෙයි කියලත් එයාලා හිතුවා. එක අවස්ථාවක යොහන් බව්තීස්තත් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “පැමිණීමට සිටින තැනැත්තා ඔබද? නැතහොත් අප වෙන කෙනෙකු ගැන බලා සිටිය යුතුද?” (මතෙ. 11:2, 3) යුදෙව්වන්ව බේරගන්න වෙන කෙනෙක් එනවාද කියලා යොහන් කල්පනා කරන්න ඇති. එම්මාවුස් ගමට යමින් හිටපු ගෝලයෝ දෙන්නාට නැවත නැඟිටවපු යේසුස්ව හම්බ වුණ වෙලාවේ එයාලා කිව්වෙත් ගැලවුම්කරු ගැන එයාලට තිබුණ බලාපොරොත්තු ඉටු වුණේ නැහැ කියලයි. (ලූක් 24:21 කියවන්න.) ඊට ටික දවසකට පස්සේ නියෝජිතයනුත් යේසුස්ගෙන් ඇහුවා “ස්වාමීනි, ඔබ ඊශ්‍රායෙල් දේශයට රාජ්‍යයක් ආපසු ලබා දෙන්නේ මේ කාලයේදීද” කියලා.—ක්‍රියා 1:6.

5. (අ) ගලීලයේ වැසියන් එයාලගේ රජු හැටියට යේසුස්ව පත් කරගන්න හැදුවේ ඇයි? (ආ) යේසුස් එයාලා හිතපු විදිහ නිවැරදි කළේ කොහොමද?

5 ගැලවුම්කරු ගැන ඒ වගේ අදහස් තිබුණ නිසා වෙන්න ඇති ගලීලයේ වැසියන් යේසුස්ව එයාලගේ රජු විදිහට පත් කරගන්න හැදුවේ. යේසුස්ව එයාලා දැක්කේ හොඳ පාලකයෙක් විදිහට. ඔහු දක්ෂ විදිහට කතා කළා. අසනීප අයව සුව කළා. බඩගින්නේ හිටපු අයට කෑම දුන්නා. පුරුෂයන් 5,000ක් හිටපු විශාල පිරිසකට යේසුස් කෑම දුන්නාට පස්සේ ඔහුට තේරුණා ‘මිනිසුන් එකතු වී ඔහුව අල්ලගෙන රජකමට පත් කරන්න අදහස් කරගෙන ඉන්නවා’ කියලා. ඒ නිසා යේසුස් “එතැනින් පිටත් වී නැවතත් තනිව කන්දට ගියා.” (යොහ. 6:10-15) පහුවෙනිදා වෙද්දී මිනිසුන්ගේ හිත්වලින් ඒ අදහස මඟහැරිලා තිබුණ නිසා තමන් ආවේ මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපයන්න නෙමෙයි දේවරාජ්‍යය ගැන දේශනා කරන්න කියලා යේසුස් එයාලට කිව්වා. ඔහු කිව්වේ මෙහෙමයි. ‘නැති වී යන මෙවැනි ආහාර වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න එපා. ඒ වෙනුවට කිසිදා නැති වී නොයන සදාකාල ජීවනයට මඟ පාදන ආහාර ලබාගන්න උත්සාහ කරන්න.’—යොහ. 6:25-27.

6. දේශපාලන බලතල තමන්ට අවශ්‍ය නැහැ කියලා යේසුස් පැහැදිලිව පෙන්නුවේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

6 මිය යන්න ටික කාලෙකට කලින් යේසුස් තේරුම්ගත්තා ඔහුගේ අනුගාමිකයන් හිතාගෙන ඉන්නේ ඔහු රජු විදිහට යෙරුසලමේ ඉඳන් මිනිසුන්ව පාලනය කරයි කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ කියලා එයාලට කියලා දෙන්නයි යේසුස් මීනා ගැන උපමාව කිව්වේ. ඒ උපමාවේ ඉන්න වංශවත් මිනිසා වගේ යේසුත් සෑහෙන කාලෙකට ඈතකට යනවා. (ලූක් 19:11-13, 15) තමන් ලෝකේ දේශපාලනයට හවුල් වෙන්නේ නැහැ කියලා යේසුස් පොන්තියුස් පිලාත්ටත් පැහැදිලිව කිව්වා. පිලාත් යේසුස්ගෙන් ඇහුවා “ඔබ යුදෙව්වරුන්ගේ රජද” කියලා. (යොහ. 18:33) යේසුස් රෝමවරුන්ට විරුද්ධව කැරලිගහන්න මිනිසුන්ව පොලඹවයි කියලා සමහරවිට පිලාත් හිතන්න ඇති. ඒත් යේසුස් එයාට කිව්වේ “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියලා. (යොහ. 18:36) තමන්ගේ රාජ්‍යය ස්වර්ගයේ තියෙන එකක් කියලා දැනන් හිටපු යේසුස්, දේශපාලනයට හවුල් වෙන්න කැමති වුණේ නැහැ. පොළොවේ තමන්ට තියෙන්නේ “සත්‍යය ගැන සාක්ෂි දැරීමේ” කාර්යයයි කියලා යේසුස් පිලාත්ට කිව්වා.—යොහන් 18:37 කියවන්න.

ඔයා වැඩි අවධානයක් දෙන්නේ මේ ලෝකේ ප්‍රශ්නවලටද නැත්නම් දේවරාජ්‍යයටද? (7 ඡේදය බලන්න)

7. දේශපාලන කණ්ඩායමකට අඩුම ගානේ හිතින්වත් සහය නොදී ඉන්න එක අමාරු වෙන්න පුළුවන් ඇයි?

7 දෙවි තමන්ට භාර දීපු පැවරුමට අයිති මොනවාද කියලා යේසුස් හොඳින් තේරුම් අරන් හිටියා. අපිත් දෙවි අපිට භාර දීලා තියෙන පැවරුම හොඳින් තේරුම් අරන් ඉන්නවා නම් අඩුම ගානේ හිතින්වත් දේශපාලන කණ්ඩායමකට සහය දෙන්නේ නැහැ. චාරිකා සේවකයෙක් මෙහෙම කියනවා. “අපි සේවේ කරන ප්‍රදේශයේ ඉන්න වැඩිදෙනෙක්ට තියෙන්නේ හරිම දැඩි ජාතිවාදී අදහස්. හුඟදෙනෙක් හිතනවා ආණ්ඩු බලය එයාලගේ ජාතියේ අයට ලැබුණොත් යහපතක් වෙයි කියලා. ඒත් අපේ සහෝදරයන්ට එහෙම අදහස් නැහැ. එයාලා දේවරාජ්‍යය ගැන දේශනා කරන වැඩේටයි මුල් තැන දෙන්නේ. ඒ නිසා එයාලා අතරේ එක්සත්කම තියෙනවා. එයාලා බලාගෙන ඉන්නේ අපි මූණ දෙන අසාධාරණකම්වලට විසඳුම් දෙවි ගේන කල්.”

දේශපාලන කාරණාවලදී යේසුස් පැති ගත්තේ නැහැ

8. යේසුස්ගේ කාලේ හිටපු යුදෙව්වන් මුහුණ දුන්න අසාධාරණය මොකක්ද?

8 සමාජයේ සිද්ධ වෙන අසාධාරණකම් නිසා එක දේශපාලන කණ්ඩායමක් තව පිරිසකට වඩා හොඳයි කියලා හිතන්න මිනිසුන් පෙලඹෙනවා. යේසුස්ගේ කාලෙත් ඒ දේ වුණා. ඒ කාලේ තිබුණ බදු ක්‍රමය නිසා වැඩිදෙනෙක් දේශපාලනයේ පැති ගත්තා. ගලීලයේ වැසියෙක් වුණ යූදස් රෝමයට විරුද්ධව කැරලිගහන්න පටන්ගත්තෙත් රෝමවරුන් බදු අය කරන අරමුණින් මිනිසුන්ව ලියාපදිංචි කරපු නිසයි. රෝම පාලනය යටතේ හිටපු අයට සිද්ධ වුණා විවිධ බදු වර්ග ගෙවන්න. බදු එකතු කරපු අයත් හරිම දූෂිතයි. ඒකෙන් රෝම පාලනය ගැන මිනිසුන්ට තිබුණ තරහ වැඩි වුණා. බදු එකතු කරන අය ආණ්ඩුවේ නිලධාරීන්ට අල්ලස් දීලා උසස් තනතුරු ලබාගෙන ඒ බලය පාවිච්චි කරලා මිනිසුන්ගෙන් වැඩියෙන් සල්ලි ගත්තා. බදු එකතු කරන අයගේ ප්‍රධානියෙක් වුණ සකෙවුස් පොහොසතෙක් වුණෙත් ඒ විදිහට.—ලූක් 19:2, 8.

9, 10. (අ) දේශපාලන කාරණයකට යේසුස්ව හවුල් කරගන්න සතුරෝ උත්සාහ කළේ කොහොමද? (ආ) යේසුස් එයාලට කිව්ව දෙයින් අපි ඉගෙනගන්නේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

9 යේසුස්ගේ සතුරන්ට ඕනෙ වුණේ බදු ප්‍රශ්නෙට යේසුස්වත් පටලවාගන්න. ඒ නිසා ඇඟ බදු විදිහට යුදෙව්වන්ගෙන් අය කරපු ඩිනාරිය ගැන එයාලා ඔහුගෙන් ප්‍රශ්න කළා. (මතෙව් 22:16-18 කියවන්න.) ඒ බද්ද ගෙවන්න යුදෙව්වන් අකමැති වුණා. මොකද එයාලා ඉන්නේ රෝම පාලනය යටතේ කියලා ඒකෙන් මතක් කළා. ‘හෙරොද්ට පක්ෂව හිටපු අය’ බලාගෙන හිටියේ ඒ බද්ද ගෙවන්න එපා කියලා යේසුස් කිව්වොත් රෝමයේ සතුරෙක් විදිහට ඔහුට චෝදනා කරන්නයි. බද්ද ගෙවන්න කියලා යේසුස් කිව්වොත් මිනිසුන් යේසුස්ට අකමැති වෙයි.

10 ඒ ප්‍රශ්නෙදී යේසුස් පැති ගත්තේ නැහැ. ඔහු කිව්වේ “සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවිට අයිති දේ දෙවිට දෙන්න” කියලයි. (මතෙ. 22:21) බදු එකතු කරපු වැඩිදෙනෙක් දූෂිතයි කියලා යේසුස් දැනන් හිටියා. ඒත් ඒ ප්‍රශ්නේ විසඳන්න හදනවා වෙනුවට යේසුස් අවධානය දුන්නේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට තියෙන සැබෑ විසඳුමට. ඒ දේවරාජ්‍යයයි. අපිත් යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් දේශපාලන කාරණාවලදී පැති ගන්නේ නැහැ. එක පැත්තක් හොඳයි, සාධාරණයි වගේ පෙනුණත් අපි පැති ගන්න හොඳ නැහැ. අපි මුල් තැන දෙන්නේ දේවරාජ්‍යයට සහ දෙවිගේ ප්‍රමිතිවලට. ඒ නිසා දේශපාලන කණ්ඩායම් අතින් වෙන අසාධාරණකම් ගැන අපි එක එක අදහස් දරන්නේවත් ඒ අයට විරුද්ධව කතා කරන්නේවත් නැහැ.—මතෙ. 6:33.

11. යුක්තිය ඉටු වෙනවා දකින්න අපිට තියෙන කැමැත්ත ප්‍රයෝජනයට ගන්න පුළුවන් කොහොමද?

11 දේශපාලනය ගැන කලින් තමන්ට තිබුණ දැඩි මත නැති කරගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙකුට පුළුවන් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ ඉන්න සහෝදරියකගේ අද්දැකීමත් ඒකයි. එයා මෙහෙම කියනවා. “විශ්වවිද්‍යාලයේදී මං සමාජ අධ්‍යයනය හැදෑරුවා. දේශපාලනය ගැන මට තිබුණේ දැඩි මත. කලු ජාතිකයන් අයුක්තියට මූණ දීලා තිබුණ නිසා එයාලගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නයි මට ඕනෙ වුණේ. විවාද දිනන්න නම් මං හරි දක්ෂයි. ඒත් ඒවාවලින් කිසිම වැඩක් වුණේ නෑ. සටන් කරලා, විවාද කරලා ජාති භේද නැති කරන්න බැහැ කියලා ඒ කාලේ මට තේරුණේ නෑ. ඒක කෙනෙක්ගේ හදවතින්මයි නැති වෙන්න ඕනේ. බයිබලේ පාඩම් කරන්න ගත්තාම තමයි මට තේරුණේ අනිත් ජාතීන් ගැන මට හැඟෙන විදිහ මං වෙනස් කරගන්න ඕනෙ කියලා. ඒ වෙනස්කම් කරගන්න මට උදව් කළේ සුදු ජාතික සහෝදරියක්. දැන් මං ස්ථාවර පුරෝගාමි සේවය කරන්නේ සංඥා භාෂා සභාවක. ඕනෙම පසුබිමක, ජාතියක අයට ශුභාරංචිය කියන්නයි මට ඕනේ.”

කඩු ගන්න එපා!

12. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පරෙස්සම් වෙන්න කිව්ව “මුහුන්” මොනවාද?

12 යේසුස්ගේ කාලේ හිටපු ආගමික නායකයන් දේශපාලන කණ්ඩායම්වලට සහයෝගය දුන්නා. අද මිනිසුන් දේශපාලන පක්ෂවලට බෙදිලා ඉන්නවා වගේ ඒ කාලේ හිටපු යුදෙව්වන් විවිධ ආගමික කණ්ඩායම්වලට බෙදිලා හිටියා කියලා පොතක සඳහන් වෙනවා. (Daily Life in Palestine at the Time of Christ) ඒ නිසයි යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මේ අනතුරු ඇඟවීම දුන්නේ. “සෝදිසියෙන් සිටින්න. පරිසිවරුන්ගේ මුහුන්වලින්ද හෙරොද්ගේ මුහුන්වලින්ද පරෙස්සම් වීමට වගබලා ගන්න.” (මාක් 8:15) හෙරොද් ගැන සඳහන් කරද්දී යේසුස් අදහස් කළේ හෙරොද්ට පක්ෂව හිටපු අය ගැන වෙන්න ඇති. අනිත් පිරිස ඒ කියන්නේ පරිසිවරුන්ට ඕනෙ වුණේ යුදෙව්වන් රෝමයෙන් නිදහස ලබාගන්නවා දකින්නයි. මතෙව්ගේ වාර්තාවේ සඳහන් වෙන විදිහට යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට සද්දුසිවරුන් ගැනත් අනතුරු ඇඟෙව්වා. සද්දුසිවරුන්ට ඕනෙ වුණේ දිගටම රෝම අධිරාජ්‍යය යටතේ ඉන්නයි. මොකද ඒකෙන් එයාලට උසස් නිලතල ලැබුණා. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ ඒ කණ්ඩායම් තුනේම “මුහුන්වලින්” ඒ කියන්නේ එයාලගේ ඉගැන්වීම්වලින් පරෙස්සම් වෙන්න කියලයි. (මතෙ. 16:6, 12) යේසුස් ඒ අනතුරු ඇඟවීම දෙද්දී මිනිසුන් ඔහුව රජු හැටියට පත් කරගන්න හදලා වැඩි දවසක් ගිහින් තිබුණේ නැහැ.

13, 14. (අ) දේශපාලනික සහ ආගමික මත ප්‍රචණ්ඩත්වයටත් අසාධාරණකම්වලටත් හේතු වුණේ කොහොමද? (ආ) අසාධාරණයක් වුණ අවස්ථාවක වුණත් ප්‍රචණ්ඩකාරී දේවලට හවුල් වෙන එක වැරදි ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

13 ආගම් දේශපාලන කාරණාවලදී පැති ගද්දී ගොඩක් වෙලාවට ඒක කෙළවර වෙන්නේ සැහැසිකකම්වලින්. එහෙම අවස්ථාවලදීත් පැති ගන්න එපා කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. නායක පූජකයන් සහ පරිසිවරුන් යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරන්න ඒකත් හේතුවක් වුණා. එයාලා බය වුණා මිනිසුන් යේසුස් කියන දේ අහලා එයාලට සහය දෙන එක නවත්තයි කියලා. එහෙම වුණොත් එයාලට තිබුණ බලතල නැති වෙනවා. එයාලා මෙහෙම කිව්වා. “ඔහුට මේ දේවල් කරන්න අපි ඉඩ දුන්නොත් සියලුදෙනාම ඔහු කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගනියි. එවිට රෝමවරුන් ඇවිත් අපේ දේවමාලිගාවත් අපේ ජාතියත් අපෙන් උදුරාගනියි.” (යොහ. 11:48) ඒ නිසා උත්තම පූජක කායෆස් යේසුස්ව මරන්න සැලසුම් කළා.—යොහ. 11:49-53; 18:14.

14 අඳුර වැටෙන කල් හිටපු කායෆස් යේසුස්ව අත්අඩංගුවට ගන්න සොල්දාදුවන් පිරිසක්ව යැව්වා. ඒත් එයාලගේ කූට සැලැස්ම ගැන දැනගෙන හිටපු යේසුස්, නියෝජිතයන් එක්ක අන්තිම වතාවට කෑම ගත්ත වෙලාවේ එයාලට කිව්වා කඩු කීපයක් ළඟ තියාගන්න කියලා. ඒ එයාලට වැදගත් පාඩමක් කියලා දෙන්නයි. (ලූක් 22:36-38) එදා රෑ යේසුස්ව අත්අඩංගුවට ගන්න මැර පිරිස ආවාම සිද්ධ වෙන අසාධාරණය ගැන කේන්ති ගත්ත පේතෘස් එයා ළඟ තිබුණ කඩුවකින් එතන හිටපු කෙනෙක්ට පහර දුන්නා. (යොහ. 18:10) ඒත් යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.” (මතෙ. 26:52, 53) යේසුස් උගන්වපු වැදගත් පාඩම මොකක්ද? ඒ තමයි ඔහුගේ අනුගාමිකයන් මේ ලෝකේ මිනිසුන්ට කිසිම විදිහකින් සමාන නොවී ඉන්න ඕනෙ කියන පාඩම. ඊට ටික වෙලාවකට කලින් යේසුස් කරපු යාච්ඤාවෙත් ඒ ගැන සඳහන් කළා. (යොහන් 17:16 කියවන්න.) අසාධාරණයට විරුද්ධව සටන් කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවිට විතරයි.

15, 16. (අ) ගැටුම්වලට හවුල් වෙන්නේ නැතුව ඉන්න දේවවචනය අපිට උදව් වෙලා තියෙන්නේ කොහොමද? (ආ) මිනිසුන් දිහා බලද්දී යෙහෝවා දෙවි දකින්නේ මොන වගේ වෙනසක්ද?

15 ලිපියේ මුලින් සඳහන් කරපු දකුණු යුරෝපයේ ඉන්න සහෝදරියත් යේසුස් උගන්වපු පාඩම හිතට ගත්තා. එයා මෙහෙම කියනවා. “ගහමරාගත්තා කියලා අයුක්තිය නැති වෙන්නේ නැහැ. සටන් කරන අයට අන්තිමේදී වෙන්නේ මැරුම් කන්න. තවත් අය මුළු ජීවිතේම ගෙවන්නේ කේන්තියෙන්. යුක්තිය ඉටු කරන්න පුළුවන් දෙවිට විතරයි කියලා බයිබලෙන් ඉගෙනගන්න මට ලැබුණ එක මොන තරම් දෙයක්ද! පහුගිය අවුරුදු 25 පුරාම මං ඒ පණිවිඩේ මිනිසුන් එක්ක බෙදාගන්නේ ගොඩක් ආසාවෙන්.” අප්‍රිකාවේ ඉන්න සහෝදරයාත් වෙනස් වුණා. දැන් එයාගේ අතේ තියෙන්නේ ආයුධයක් නෙමෙයි ‘දෙවිගේ බලය තුළින් ලබා දෙන කඩුවයි.’ (එෆී. 6:17) ඒකේ සඳහන් වෙන සමාදානය ගේන පණිවිඩය එයා හැමෝටම දේශනා කරනවා. මධ්‍යම යුරෝපයේ ඉන්න සහෝදරියත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණා. එයා විවාහ වුණේ එයා කලින් වෛර කරපු ජාතියකට අයිති කෙනෙක් එක්ක. ඒ තුන්දෙනාම එයාලා හිතපු විදිහ වෙනස් කරගත්තේ එයාලට යේසුස් වගේ වෙන්න තිබුණ වුවමනාව නිසයි.

16 අපිත් ඒ වගේ වෙනස්කම් කරගන්න ඕනේ. මේ දුෂ්ට සමාජයේ මිනිසුන් හරියට කැලඹුණු මුහුදක් වගේ. කිසිම සමාදානයක් නැහැ. (යෙසා. 17:12; 57:20, 21; එළි. 13:1) දේශපාලන කණ්ඩායම් කරන දේවල් නිසා මිනිසුන් ඇවිස්සෙනවා. බෙදීම් ඇති වෙනවා. ප්‍රචණ්ඩකාරී දේවලට පෙලඹෙනවා. ඒත් අපි අතරේ තියෙන්නේ ලොකු සමාදානයක්, එක්සත්කමක්. ලෝකේ මිනිසුන් බෙදිලා වෙන් වෙලා හිටියත් තමන්ගේ සෙනඟ එක්සත්ව ඉන්නවා දකිද්දී යෙහෝවා දෙවි මොන තරම් සතුටු වෙනවා ඇද්ද!—ශෙපනියා 3:17 කියවන්න.

17. (අ) එක්සත්කමට දායක වෙන්න අපිට පුළුවන් මොන පැති තුනෙන්ද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

17 අපේ එක්සත්කමට දායක වෙන පැති 3ක් ගැන අපි බැලුවා. (1) හැම අසාධාරණයක්ම දේවරාජ්‍යය මාර්ගයෙන් නැති කරනවා කියන විශ්වාසයෙන් අපි ඉන්නවා. (2) දේශපාලන කාරණාවලදී අපි කිසිම පැත්තක් ගන්නේ නැහැ. (3) ප්‍රචණ්ඩ දේවලට අපි කිසිම විදිහකින් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒත් සමහර වෙලාවලදී උස් පහත් භේදය අපි අතරේ තියෙන එක්සත්කමට තර්ජනයක් වෙන්න පුළුවන්. මුල් සියවසේ ක්‍රිස්තියානීන් වගේ උස් පහත් භේද ඇති කරන හැඟීම් පරාජය කරන්න අපිටත් පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.