Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යේසුස්ගේ කාලේ හිටපු අයට ගෙවන්න වුණේ මොන වගේ බදුද?

මුල ඉඳලාම දෙවියන්ගේ සේවකයන්ට නමස්කාර කටයුතු වෙනුවෙන් යම් බදු ගෙවන්න සිද්ධ වුණා. හැබැයි යේසුස්ගේ කාලේ වෙද්දී යුදෙව්වන්ට බදු ගෙවන එක ලොකු බරක් වෙලා තිබුණා. ඒ ඇයි?

මුලදී ශුද්ධ කූඩාරමේ වැඩවලටත් පස්සේ කාලෙක දේවමාලිගාවේ වැඩවලටත් හැම යුදෙව් වැඩිහිටියෙක්ටම ෂෙකෙල් භාගය ගානේ (ඒ කියන්නේ ඩ්‍රැක්මා කාසි දෙක ගානේ) ගෙවන්න සිද්ධ වුණා. මුල් සියවසේදී ඒ බදු මුදල් යොදාගත්තේ හෙරොද් ඉදි කරපු දේවමාලිගාවේ පවත්වපු පූජාවලට සහ ඒකේ නඩත්තු කටයුතු වෙනුවෙන්. එක අවස්ථාවකදී සමහර යුදෙව්වන් පේතෘස්ගෙන් ඇහුවා යේසුස් ඒ බද්ද ගෙවනවාද කියලා. ඒ වෙලාවේ යේසුස් පැහැදිලි කළා ඒ බද්ද ගෙවන එකේ කිසිම වරදක් නැහැ කියලා. ඊටපස්සේ ඔහු පේතෘස්ට කිව්වා ඒ බද්ද ගෙවන්න කාසියක් හොයාගෙන එන්න කියලා.—මතෙ. 17:24-27.

මුල් සියවසේ හිටිය දෙවියන්ගේ සේවකයන්ට ගෙවන්න වුණු තවත් බද්දක් තමයි එයාලා වගා කරන දේවල්වලින් නැත්නම් එයාලා හම්බ කරන දෙයින් දසයෙන් කොටසක් ගෙවන එක. (ලෙවී. 27:30-32; ගණන්. 18:26-28) හැබැයි ඒ කාලේ හිටපු ආගමික නායකයන් දසයෙන් කොටසක් ගෙවන්න කියලා දෙවියන් දීලා තිබුණු නීතියෙන් අයුතු ප්‍රයෝජන අරන් මිනිසුන් පිට අනවශ්‍ය බරක් පැටෙව්වා. එයාලා කිව්වා මිනිසුන් වගා කරන හැම දේකින්ම උදාහරණෙකට “මිංචි, සූදුරු, ඈඳුරු” වගේ දේවලිනුත් දසයෙන් කොටසක් ගෙවන්න කියලා. දසයෙන් කොටසක් ගෙවන එක වැරදියි කියලා යේසුස් කිසිම අවස්ථාවක කිව්වේ නැහැ. හැබැයි ලියන්නන් සහ පරිසිවරුන් කරපු ඒ කුහකකම නම් යේසුස් ප්‍රසිද්ධියේම හෙළා දැක්කා.—මතෙ. 23:23.

ඒ වගේම ඒ වෙද්දී තිබුණේ රෝමවරුන්ගේ පාලනයක් නිසාත් මිනිසුන්ට තව බදු කීපයක්ම ගෙවන්න සිද්ධ වුණා. උදාහරණෙකට ඉඩම් හිමියෙක්ට සිද්ධ වුණා එයාගේ ඉඩමේ වටිනාකමෙන් 20%ත් 25%ත් අතර ප්‍රමාණයක් මුදලින් හරි අස්වැන්නෙන් හරි නැත්නම් වෙන ක්‍රමයකින් හරි බද්දක් හැටියට ගෙවන්න. ඒකට අමතරව හැම යුදෙව්වෙක්ම ගෙවන්න ඕන තවත් බද්දක් තිබ්බා. ඒ ගැන තමයි පරිසිවරුන් යේසුස්ගෙන් ප්‍රශ්න කළේ. බදු ගෙවන එක ගැන අපිට තියෙන්න ඕන ආකල්පය යේසුස් මෙහෙම පැහැදිලි කළා. “සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවිට අයිති දේ දෙවිට දෙන්න.”—මතෙ. 22:15-22.

ඒ වගේම වෙළඳ කටයුතු කරද්දීත් ඒ කියන්නේ භාණ්ඩ ආනයනය, අපනයනය කරද්දී එයාලට තීරු බද්දක් ගෙවන්න සිද්ධ වුණා. ගොඩක් වෙලාවට වරායවල්, පාලම් සහ වෙළඳපොළවල් වගේ තැන්වලදී තමයි ඒ තීරු බදු එකතු කරගෙන තියෙන්නේ.

ඇත්තටම රෝම පාලනය යටතේ හිටපු මිනිසුන් බදු බර නිසා හුඟක් පීඩාවට පත් වෙලයි හිටියේ. රෝම ඉතිහාසඥයෙකු වන ටැසිටස් කියලා තියෙන මේ දෙයින් ඒක තවත් හොඳින් පැහැදිලි වෙනවා. යේසුස් පොළොවේ හිටපු කාලේදී ඒ කියන්නේ ටයිබීරියස් ආණ්ඩුකාරයා විදිහට හිටපු කාලේදී “සිරියාවේ සහ යුදයේ මිනිසුන් බදු බර නිසා කොච්චර පීඩාවට පත් වෙලා හිටියාද කිව්වොත් එයාලට ගෙවන්න තියෙන බදු මුදල අඩු කරන්න කියලා හරිම බැගෑපත් විදිහට ඉල්ලලා තියෙනවා.”

බදු ගෙවනවාට අමතරව බදු එකතු කරපු අය නිසාත් මිනිසුන් පිට පැටවිලා තිබුණු බර තවත් වැඩි වුණා. උදාහරණෙකට බදු එකතු කරන කෙනෙක්ට රැකියාව ලැබුණේ වෙන්දේසි ක්‍රමයට. ඒ කියන්නේ වැඩිම මුදල ගෙවන කෙනාට තමයි ඒ රැකියාව ලැබුණේ. ඊටපස්සේ එයා යටතේ වැඩ කරපු බදු එකතු කරන්නන් අහිංසක මිනිසුන්ගෙන් සූරන් කාලා තියෙනවා. පේන විදිහට බයිබලේ සඳහන් වෙන බදු අය කරන්නෙක් වුණු සකෙවුස් යටතෙත් බදු එකතු කරපු අය ඉඳලා තියෙනවා. (ලූක් 19:1, 2) වංචනික විදිහට බදු එකතු කරපු අයත් එක්ක මිනිසුන් වෛරයෙන් හිටපු එක පුදුමයක් නෙවෙයි කියලා ඒ තොරතුරුවලින් පැහැදිලි වෙනවා නේද?