Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

මං හැම තීරණයක්ම ගත්තේ යෙහෝවා දෙවියන්ට මුල් තැන දීලා

මං හැම තීරණයක්ම ගත්තේ යෙහෝවා දෙවියන්ට මුල් තැන දීලා

1984 වෙනිසියුලාවේ කරාකස්වල හොඳට ඉර පායලා තිබුණු ලස්සන දවසක මං ගෙදර ඉඳන් වැඩට යන ගමන් ‘මුරටැඹ’ ලිපියක තිබුණු දෙයක් ගැන කල්පනා කළා. ඒ ලිපියේ තිබුණේ අපේ අසල්වැසියන් අපිව දකින්නේ කොහොමද කියන එක ගැන. ඉතින් අසල්වැසියන්ගේ ගෙවල් පහු කරගෙන යන ගමන් මං කල්පනා කළා එයාලා මාව දකින්නේ බැංකුවක හොඳ ජොබ් එකක් කරන කෙනෙක් විදිහටද නැත්නම් බැංකුවක වැඩ කරලා පවුලේ අයව බලාගන්න හොඳ දේවසේවකයෙක් විදිහටද කියලා. අන්තිමේදී මං තීරණය කළා මං වෙනස් වෙන්න ඕනෙ කියලා.

මං ඉපදුණේ 1940 මැයි 19වෙනිදා ලෙබනන්වල තිබුණු අමියාන් නගරයේ. ටික කාලෙකට පස්සේ අපේ පවුලේ හැමෝම ට්‍රිපලි කියන නගරයේ පදිංචියට ගියා. මට අයියා කෙනෙකුයි අක්කලා තුන්දෙනෙකුයි හිටියා. පවුලේ හැමෝම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරපු නිසා හැමෝම ආදරෙන් බැඳිලයි හිටියේ. අපේ අම්මායි, තාත්තායි කවදාවත් සල්ලි හම්බ කරන එකට ජීවිතේ මුල් තැන දුන්නේ නැහැ. බයිබලේ අධ්‍යයනය කරන එකට, රැස්වීම්වලට සහභාගි වෙන එකට සහ සේවේ හවුල් වෙන එකට තමයි අපේ පවුලේ හැමෝම මුල් තැන දුන්නේ.

අපේ සභාවේ අභිෂේක ලත් අය කීපදෙනෙක්ම හිටියා. ඒ කාලේ අපේ කණ්ඩායමේ පොත් පාඩම කරපු සහෝදර මිෂෙල් අබූඩ් ඒ අතරින් කෙනෙක්. එයාට සත්‍යය ලැබිලා තියෙන්නේ නිව් යෝර්ක්වලදී. 1920දී විතර එයා තමයි ලෙබනන්වලට සත්‍යය ගෙනත් තියෙන්නේ. මට තාමත් මතකයි ගිලියද් පාසැලෙන් පුහුණුව ලබලා අපේ රටේ සේවය කරන්න ඇවිත් හිටිය සහෝදරි ඈන්ටයි, සහෝදරි ග්වෙන්ටයි එයා කොච්චර ආදරෙන් සැලකුවාද කියලා. එයාලා අපේ කිට්ටු යාළුවන් වුණා. පුංචි කාලෙදී දැක්කාට පස්සේ එක්සත් ජනපදයේදී ආයෙත් සහෝදරි ඈන්ව මුණගැහුණාම මට දැනුණේ පුදුම සතුටක්. කාලයක් යද්දී මට සහෝදරි ග්වෙන්වත් මුණගැහුණා. එයා විවාහ වෙලා හිටියේ සහෝදර විල්ෆ්‍රඩ් ගූච් එක්ක. ඒ වෙද්දී ඒ දෙන්නාම එංගලන්තයේ ශාඛා කාර්යාලයේ සේවය කරමිනුයි හිටියේ.

ලෙබනන්වල කරපු සේවය

මං පොඩි කාලේදී ලෙබනන්වල හිටියේ සාක්ෂිකරුවන් ටිකදෙනායි. ඒත් අපි ටිකදෙනා හරිම උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කළා. ආගමික නායකයන් අපිට දරුණු විදිහට පීඩා කළත් අපි සේවේ නැවැත්තුවේ නැහැ.

දවසක් මායි, මගේ අක්කා වුණු සානායි නිවාස සංකීර්ණයක සේවය කරන ගමන් වෙච්ච දෙයක් මට තාමත් මතකයි. එදා අපි දේශනා කරකර ඉන්න ගමන් එකපාරටම පූජකයෙක් එතනට ආවා. සමහරවිට කවුරු හරි කෝල් කරලා එයාට කියන්න ඇති අපි මෙහෙට ඇවිත් ඉන්නවා කියලා. එයා මගේ අක්කාට හොඳටම බැන්නා. අක්කාව පඩි පෙළෙන් තල්ලු කළා. ඒ නිසා අක්කාට තුවාල වුණා. වෙච්ච දේ දැකපු කෙනෙක් පොලිස්සියට කෝල් කරපු නිසා පොලිස්සියෙන් එතනට ආවා. එයාලා අක්කා හොඳින්ද කියලා බලලා පූජකයාව පොලිස්සියට අරන් ගියා. පූජකයා ළඟ තුවක්කුවකුත් තිබිලා තියෙනවා. පොලිස්සිය එයාගෙන් ඇහුවා “ඔයා ආගමික නායකයෙක්ද නැත්නම් මැර කල්ලියක නායකයෙක්ද” කියලා.

තවත් දවසක අපේ සභාවේ කට්ටිය බස් එකක් කුලියට අරන් දුර ඈත පළාතක සේවය කරන්න ගියාමත් එහෙම දෙයක් වුණා. එදා අපි හරිම සතුටින් සේවය කරකර ඉද්දී එකපාරටම එතනට මැර කල්ලියක් ආවා. එයාලා නම් හරිම දරුණුයි. කැත විදිහට අපිට බැන්නා. ගල්වලිනුත් ගැහුවා. අපේ තාත්තාටත් ඒ ගලක් වැදුණා. මං තාත්තා දිහා බලද්දී එයාගේ මූණ පුරාම ලේ තිබුණා. ඉතින් අම්මා තාත්තාව එක්කන් ගිහින් අපි ආපු බස් එකට නැග්ගා. ඊටපස්සේ අනිත් කට්ටියත් ඉක්මනින්ම අපේ බස් එකට නැඟගත්තා. එදා තාත්තාගෙ මූණ පිහදාන ගමන් අම්මා යෙහෝවා දෙවියන්ට කිව්වා “අනේ යෙහෝවා, එයාලට සමාව දෙන්න. එයාලා කරන්නේ මොනවාද කියලා එයාලවත් දන්නේ නැහැ” කියලා. ඒක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

තවත් දවසක අපි අපේ සීයලාව බලන්න ගියාමත් එහෙම දෙයක් වුණා. ඒ වෙද්දී මට අවුරුදු හයක් විතර ඇති. එදා අපි එහේ යද්දී එහේට බිෂොප් කෙනෙක් ඇවිත් හිටියා. එයා දැනන් හිටියා අපේ අම්මායි, තාත්තායි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා. එයා මගෙන් ඇහුවා “ඔයා බව්තීස්ම වුණේ නැත්තේ ඇයි” කියලා. එතකොට මං එයාට මෙහෙම කිව්වා. “බව්තීස්ම වෙන්න මං තාම පොඩි වැඩියි. බව්තීස්ම වෙන්න නම් බයිබලයේ තියෙන දේවල් ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. ශක්තිමත් විශ්වාසයක් තියෙන්නත් ඕනේ.“ ඒ වෙලාවේ එයාට හුඟක් කේන්ති ගිය නිසා එයා සීයාට කිව්වා “මේ ළමයා වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නැහැ” කියලා.

ඉඳලා හිටලා අපි ඒ වගේ නරක අද්දැකීම්වලට මුහුණ දුන්නත් ලෙබනන්වල ඉන්න හුඟක් මිනිස්සු හරිම මිත්‍රශීලියි. ඒ නිසා බයිබලේ තියෙන දේවල් ගැන එයාලා එක්ක නිදහසේ කතා කරන්නත් හුඟක් බයිබල් පාඩම් පටන්ගන්නත් අපිට පුළුවන් වුණා.

අපේ පවුලේ අය පදිංචිය මාරු කළා

මං ඉස්කෝලේ යන කාලේ වෙනිසියුලාවේ සහෝදරයෙක් ලෙබනන්වල තිබුණු අපේ සභාවට ආවා. කාලයක් යද්දී එයා වාෆා එක්ක ඒ කියන්නේ මගේ අක්කා එක්ක යාළු වෙලා එයාව බැන්දා. ඊටපස්සේ එයාලා ආයෙත් වෙනිසියුලාවට ගියා. අක්කා තාත්තාට එවපු ලියුම්වල නිතරම වගේ කියලා තිබුණා පවුලේ කට්ටියත් එක්කම එහේ පදිංචියට එන්න කියලා. මොකද අපි නැති පාළුව එයාට තදින්ම දැනිලා තිබුණා. ඉතින් කාලයක් යද්දී තාත්තා අපිවත් එක්කගෙන එහේ පදිංචියට ගියා.

1953දී අපි වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය තිබුණු කරාකස්වල පදිංචියට ගියා. මං පොඩි කාලේ ජනාධිපති එයාගේ කාර් එකෙන් එහෙ මෙහෙ යද්දී මං ඒ දිහා බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. හැබැයි එහෙ භාෂාවට, සංස්කෘතියට, කෑමවලට, දේශගුණයට හැඩගැහෙන එක අපේ අම්මාටයි, තාත්තාටයි ලේසි වුණේ නැහැ. එයාලා ඒ දේවලට හුරු වේගෙන එද්දී හීනෙකින්වත් හිතුවේ නැති දේකට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා.

වමේ සිට දකුණට: මගේ තාත්තා. මගේ අම්මා. මං 1953දී වෙනිසියුලාවේ පදිංචියට ආපු කාලේ

එහෙම වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ

අපේ තාත්තා හිටිහැටියෙම අසනීප වුණා. එයා හරිම ශක්තිමත් කෙනෙක්. මතක ඇති කාලෙක එයාට ලෙඩක් හැදිලා නැහැ. ඉතින් වෙන්න යන්නේ මොනවාද කියලා අපිට හිතාගන්න බැරි වුණා. තාත්තාව පෙන්නපු ඩොක්ටර් කිව්වා තාත්තාට පිළිකාවක් හැදිලා කියලා. ඒ නිසා එයාට ඔපරේෂන් එකකුත් කළා. ඒත් සතියකට පස්සේ තාත්තා මැරුණා.

ඒක වුණේ මට වයස අවුරුදු 13දී. මට දැනුණේ හරියට අපේ මුළු ලෝකෙම කඩන් වැටුණා වගෙයි. එහෙම දෙයක් වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. තාත්තා ඇත්තටම මැරුණා කියලා පිළිගන්න අම්මාට ටික කාලයක් ගියා. හැබැයි අලුත් තත්වෙට හැඩගැහෙන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කළා. අවුරුදු 16දී ඉස්කෝලේ අන්තිම විභාගේ කළාට පස්සේ මට හිතුණා පවුලේ අයට උදව් කරන්න මං මොනවා හරි කරන්න ඕනෙ කියලා.

මගේ අක්කා සානායි, එයාගේ මහත්තයා රූබනුයි දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගන්න මට උදව් කළා.

කාලයක් යද්දී මගේ අක්කා සානා, රූබන් අරව්හෝව බැන්දා. එයා ගිලියද් පාසැලෙන් පුහුණුව ලබපු කෙනෙක්. බැන්දාට පස්සේ එයාලා පදිංචි වුණේ නිව් යෝර්ක්වල. විශ්වවිද්‍යාලයකින් ඉගෙනගන්න කියලා පවුලේ අය මට කිව්ව නිසා මං හිතුවා නිව් යෝර්ක්වල මගේ අක්කලාගේ ගෙදර ගිහින් ඒක කරනවා කියලා. මං එහෙ ඉද්දී යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න අක්කායි, මස්සිනායි මට ගොඩක් උදව් කළා. එහේ ඉද්දී අපි ගියේ බෘක්ලින්වල ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවකට. අවබෝධයෙන් වැඩ කරපු සහෝදරයන් ගොඩක් ඒ සභාවේ හිටියා. ඒ අතරෙන් දෙන්නෙක් වුණු සහෝදර මිල්ටන් හෙන්ෂල් සහ ෆ්‍රෙඩ්රික් ෆ්‍රාන්ස්ගෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ දෙන්නාම හිටියේ බෘක්ලින් බෙතෙල් එකේ.

1957දී මං බව්තීස්ම වුණු දවස

විශ්වවිද්‍යාලයේ මගේ පළවෙනි අවුරුද්ද ඉවර වේගෙන එද්දී මං මගේ ජීවිතේ ගැන ටිකක් කල්පනා කළා. මොකද ඒ වෙද්දිත් මං බව්තීස්ම වෙලා හිටියේ නැහැ. දෙවියන්ට සතුටින්, උපරිමයෙන් සේවය කරන අයගේ අද්දැකීම් ‘මුරටැඹ’ සඟරාවලින් මං කියවලා තිබුණා. ඒ දේවල් ගැන මං හොඳට හිතුවා. ඒ වගේම අපේ සභාවේ ඉන්න පුරෝගාමීන්, බෙතෙල් සේවකයන් කොච්චර සතුටින් ඉන්නවාද කියලා මං දැක්කා. ඉතින් මටත් ඕනෙ වුණා එයාලා වගේ වෙන්න. ඒ නිසා 1957 මාර්තු 30වෙනිදා මං බව්තීස්ම වුණා.

වැදගත් තීරණ

බව්තීස්ම වුණාට පස්සේ මට හිතුණා මාත් පූර්ණකාලීන සේවය පටන්ගන්න ඕනෙ කියලා. හැබැයි විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න ගමන්ම ඒක කරන එක ලේසි නැහැ කියලා මං දැනන් හිටියා. ඉතින් විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගන්න එක නතර කරලා වෙනිසියුලාවට ඇවිත් පුරෝගාමි සේවය කරන්න මගේ හිතේ තිබුණු ආසාව ගැන කියලා මං අපේ පවුලේ අයට ලියුමක් දැම්මා. ඒ කාරණය ගැන මායි, පවුලේ අයයි අතරේ ලියුම් කීපයක්ම හුවමාරු වුණා. අන්තිමේදී මගේ ආසාවට එයාලා ඉඩ දුන්නා.

ඉතින් 1957 ජූනි මාසෙදී මං ආයෙත් අපේ ගෙදරට ආවා. හැබැයි ගෙදරට ආවාට පස්සේ තමයි මට තේරුණේ ගෙදර වියදම් පිරිමහගන්න මටත් රස්සාවක් කරන්න වෙයි කියලා. වැඩි කාලයක් යන්න කලින් බැංකුවක රස්සාවක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒත් මගේ හිතේ තිබුණු එකම ආසාව පුරෝගාමි සේවය. අනික මං ආයෙත් ගෙදර ආවෙත් ඒකටනේ. ඒ නිසා මං හිතුවා රස්සාවයි, පුරෝගාමි සේවයයි දෙකම කරනවා කියලා. ඒ දවස්වල මං ගොඩක් කාර්යබහුල වුණා. ඒ කාලෙදී මං අද්දැකපු සතුට ඊට කලින් මං කවදාවත් අද්දැකලා තිබුණේ නැහැ.

කාලයක් යද්දී ජර්මනියේ ඉඳන් පවුලේ අයත් එක්ක මෙහේ පදිංචියට ඇවිත් හිටිය සිල්වියාව මට මුණගැහුණා. එයා හරිම ලස්සනයි. ඒ වගේම එයා යෙහෝවා දෙවියන්ටත් ගොඩක් ආදරෙයි. එයා මගේ ජීවිතේට එකතු වුණාම මගේ සතුට තවත් වැඩි වුණා. අපිට දුවෙකුයි, පුතෙකුයි ලැබුණා. පුතාගේ නම මිෂෙල්. ආදරේට අපිට එයාට කිව්වේ මයික් කියලා. දුවගේ නම සමීරා. ඒ කාලේ අපේ අම්මාත් හිටියේ අපිත් එක්ක. පවුලේ වගකීම් වැඩි වෙද්දී පුරෝගාමි සේවය මට නතර කරන්න වුණා. හැබැයි මං දිගටම උද්‍යෝගයෙන් සේවේ කරන එක නම් නතර කළේ නැහැ. ලැබෙන හැම අවස්ථාවකම මායි, සිල්වියායි සහායක පුරෝගාමි සේවය කළා.

තවත් වැදගත් තීරණයක්

බැංකුවෙන් ලැබුණු පඩිය නිසා අපිට කිසිම දේකින් අඩුවක් තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත් ඒ දවස්වල අපි ගෙව්වේ හරිම සැප පහසු ජීවිතයක්. අනිත් අයත් මට සැලකුවේ හරිම ගෞරවයෙන්. ඔය කාලෙදී තමයි කතාව මුලදිම මං කිව්ව සිද්ධිය වුණේ. මට ඕනෙ වුණා මිනිස්සු මාව යෙහෝවා දෙවියන්ගේ සේවකයෙක් විදිහට දකිනවාට. ඒ නිසා මං හිතුවා රස්සාවෙන් අස් වෙන්න ඕනෙ කියලා. හැබැයි ඒ තීරණය ගන්න කලින් මං ඒ ගැන මගේ බිරිඳ එක්ක කතා කළා. මොකද ඒ වෙද්දිත් අපේ දරුවෝ දෙන්නා ඉස්කෝලේ යන ගමන් හිටියේ. හැබැයි අපිට ගෙවන්න කියලා ණයක් තිබුණෙත් නැති නිසා අපි හිතුවා බැංකුවෙන් අස් වෙද්දී ලැබෙන සල්ලි ටික අපි පරෙස්සමෙන් පාවිච්චි කළොත් සරල ජීවිතයක් ගෙවන්න අපිට පුළුවන් වෙයි කියලා.

ඒ තීරණය ගන්න එක ලේසි වුණේ නැහැ. හැබැයි මගේ බිරිඳයි, අම්මායි ඒ තීරණය ගන්න මට ගොඩක් උදව් කළා. මං ආයෙත් පූර්ණකාලීන සේවය පටන්ගන්නයි යන්නේ. හිතාගන්න පුළුවන් නේද මං ඒ ගැන කොච්චර සතුටු වුණාද කියලා! පේන තෙක් මානෙක ඒකට කිසිම බාධාවක් තිබුණේ නැහැ. හැබැයි පුරෝගාමි සේවය පටන්ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී අපිට අලුත් ආරංචියක් දැනගන්න ලැබුණා.

අලුත් ආරංචිය

අපේ තුන්වෙනි දරුවා වුණු ගාබ්‍රියෙල් එක්ක

දවසක් සිල්වියාට අසනීප ගතියක් දැනුණ නිසා අපි අපේ ඩොක්ටර් ළඟට ගියා. එතකොට ඩොක්ටර් කිව්වා සිල්වියාට බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා. ඒක අපි බලාපොරොත්තු නොවුණ දෙයක් වුණත් ඒ ගැන දැනගත්තම අපි සතුටු වුණා. ඒත් මං කල්පනා කළා දරුවාගේ වැඩත් එක්ක මට පුරෝගාමි සේවය කරන්න පුළුවන් වෙයිද, නැත්නම් ඒ අදහස අත්හරින්න වෙයිද කියලා. හැබැයි වැඩි දවසක් යන්න කලින් අපි අපේ මනස හදාගෙන දරුවාව හදා වඩා ගන්න වැඩවලට අපේ අවධානය දෙන්න පටන්ගත්තා. ඒත් පුරෝගාමි සේවය කරන්න මගේ හිතේ තිබුණු ආසාව නම් නැති වුණේ නැහැ.

අපිට තියෙන ඉලක්ක ගැන සාකච්ඡා කළාට පස්සේ අපි තීරණය කළා දරුවා ඉපදෙන කල් රස්සාවට ගිහින් ඊටපස්සෙ මං පුරෝගාමි සේවය පටන්ගන්නවා කියලා. අපේ පුතා ගාබ්‍රියෙල් ඉපදුණේ 1985 අප්‍රියෙල් මාසෙදී. ඉතින් මාස දෙකකට පස්සේ ඒ කියන්නේ ජූනි මාසෙදී මං බැංකුවෙන් අස් වෙලා ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. ඒ කාලෙදී අපේ ශාඛා කාර්යාලයේ ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට වැඩ කරන්නත් මට අවස්ථාව ලැබුණා. ශාඛා කාර්යාලය තිබුණේ අපේ ගෙදරට කි.මී. 80ක් විතර දුරින්. සතියට දවසක් දෙකක් මං එහේ සේවය කළා.

පදිංචිය ආයෙත් මාරු වුණා

පවුලක් විදිහට අපි තීරණය කළා අපේ ශාඛා කාර්යාලය තිබුණු ලා වික්ටෝරියා කියන ප්‍රදේශයේ පදිංචියට යන්න. හැබැයි ඒක එච්චර ලේසි වුණේ නැහැ. ඒක කරන්න අපිට ගොඩක් වෙනස්කම් කරගන්න වුණා. මගේ අක්කා බාහා කැමති වුණා අම්මාව බලාගන්න. ඒ වෙද්දී අපේ පුතා මයික් විවාහ වෙලයි හිටියේ. හැබැයි සමීරායි, ගාබ්‍රියෙලුයි හිටියේ අපිත් එක්ක. ඉතින් ලා වික්ටෝරියාවලට යද්දී එයාලට එයාලගේ යාළුවන්ව දාලා එන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි මගේ ආදරණීය බිරිඳට සිද්ධ වුණා පුංචි නගරෙක ජීවත් වෙන්න හුරු වෙන්න. ඇත්තටම අපි ලා වික්ටෝරියාවලට ආවාට පස්සේ ජීවත් වුණු ගේ අපි කලින් ජීවත් වුණු ගේට වඩා ගොඩක් පොඩියි. ඒ දේ කරන්න ගොඩක් කැප කිරීම් කරන්න සිද්ධ වුණත් ඒ වෙනුවෙන් මගේ පවුලේ අය මට දීපු සහයෝගය මට ගොඩක් වටිනවා.

කාලයක් යද්දී ගාබ්‍රියෙල් බැන්දා. සමීරා කැමති වුණා තනියෙන් ජීවත් වෙන්න. 2007දී මටයි, සිල්වියාටයි බෙතෙල් එකේ සේවය කරන්න ආරාධනාවක් ලැබුණා. ඉතින් එදා ඉඳන් අද වෙන කල් අපි හරිම සතුටින් එහේ සේවය කරනවා. අපේ ලොකු පුතා මයික් දැන් වැඩිමහල්ලෙක්. එයායි, එයාගේ බිරිඳ මොනිකායි හරිම සතුටින් පුරෝගාමි සේවය කරනවා. අපේ දෙවෙනි පුතා ගාබ්‍රියෙලුත් වැඩිමහල්ලෙක්. එයායි, එයාගේ බිරිඳයි ඉතාලියේ සේවය කරනවා. අපේ දුව සමීරා පුරෝගාමි සේවය කරන ගමන් බෙතෙල් එකේ වැඩවලට උදව් කරනවා.

වමේ සිට දකුණට: මායි, සිල්වියායි වෙනිසියුලාවේ බෙතෙල් එකේ. අපේ ලොකු පුතා මයික්, මොනිකා එක්ක. අපේ දුව සමීරා. අපේ පුතා ගාබ්‍රියෙල්, අම්බ්‍රා එක්ක

මං ගත්ත තීරණ ගැන මට හරිම සතුටුයි

මගේ ජීවිත කාලෙදී මට ගොඩක් තීරණ ගන්න සිද්ධ වුණා. හැබැයි මං ගත්ත ඒ තීරණ ගැන මට හරිම සතුටුයි. විවිධ විදිවලින් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඔහු මට අවස්ථාව දීපු එක ගැන මං මුළු හදවතින්ම ඔහුට ස්තුති කරනවා. මං අද්දැකපු දේවලින් මං තේරුම්ගත්තා දිගටම යෙහෝවා දෙවියන්ට ළං වෙලා ඉන්න එක කොච්චර වැදගත්ද කියලා. යෙහෝවා දෙවියන් වෙනුවෙන් අපිට මොන තීරණයක් ගන්න සිද්ධ වුණත් හරි තීරණයක් ගන්න උදව් වෙන ‘කිසිම මිනිසෙක්ට වටහාගන්න බැරි සමාදානයක්’ අද්දකින්න ඔහු අපිට උදව් කරනවා. (ෆිලි. 4:6, 7) දෙවියන්ට මුල් තැන දීලා අපි ගත්ත හැම තීරණයකටම ඔහු අපිට ආශීර්වාද කළා. ඇත්තටම මායි, සිල්වියායි දැන් බෙතෙල් එකේ සේවය කරන්නේ හරිම සතුටින්.