Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 25

මේ “කුඩා අයට” කිසිම හානියක් කරන්න එපා

මේ “කුඩා අයට” කිසිම හානියක් කරන්න එපා

“මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් සුළු කොට නොසැලකිය යුතු බව මතක තබාගන්න.”—මතෙ. 18:10.

ගීතිකාව 113 අප සතු සමාදානය

මේ ලිපියෙන් *

1. අපි හැමෝම වෙනුවෙන් යෙහෝවා දෙවියන් කරලා තියෙන්නේ මොනවාද?

බිලියන ගාණක් මිනිස්සු අතරින් යෙහෝවා දෙවියන් ඔයාව ඔහුට ළං කරගෙන තියෙනවා. (යොහ. 6:44) එහෙම වුණේ ඔයා ළඟ තියෙන ලස්සන ගුණාංගයක් දැකලා ඔයාව යාළුවෙක් කරගන්න ඔහු කැමති වුණ නිසයි. (1 ලේක. 28:9) යෙහෝවා දෙවියන් ඔයාව හොඳින්ම දන්නවා කියන එකත් ඔයාට ගොඩක් ආදරෙයි කියන එකත් ඒකෙන් පැහැදිලි වෙනවා.

2. යෙහෝවා දෙවියන් අපි හැම කෙනෙක් ගැනම සැලකිලිමත් කියලා යේසුස් කියපු උදාහරණෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

2 යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන් හැමෝටම එක වගේ ආදරෙයි. ඒක පැහැදිලි කරන්න යේසුස් යෙහෝවා දෙවියන්ව එඬේරෙක්ට සමාන කළා. ඔහු කිව්වා බැටළුවන් 100දෙනෙක් ඉන්න එඬේරෙක්ට එක බැටළුවෙක් නැති වුණොත් “අනික් අනූනවදෙනාට කඳුවල ඉන්න හැර මංමුළා වී ගිය බැටළුවාව සොයා යන්නේ නැද්ද” කියලා. අනිවාර්යයෙන්ම එඬේරා ඒ බැටළුවාව හොයාගෙන යනවා නේද? ඒ බැටළුවාව හම්බ වුණාම එඬේරා ඌට බනියි කියලා හිතන්න බැහැ. ඒ වෙනුවට එඬේරා ඌ ගැන ගොඩක් සතුටු වෙනවා. ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? ඒ තමයි යෙහෝවා දෙවියන්ට අපි එක් එක් කෙනාව ගොඩක් වටිනවා කියන දේ. යේසුස් කිව්ව මේ දෙයින් ඒක තවත් හොඳින් පැහැදිලි වෙනවා. “කුඩා දරුවන් හා සමාන මේ අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වෙනවාට ස්වර්ගයේ සිටින මගේ පියාණන් කැමති නැහැ.”—මතෙ. 18:12-14.

3. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

3 සහෝදරයන් අධෛර්යය වෙන කිසිම දෙයක් කරන්න අපි කැමති නැහැ. සහෝදරයන්ගේ විශ්වාසයට හානියක් නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද? කෙනෙක් අපේ හිත රිදෙන දෙයක් කළොත් අපි කරන්න ඕනෙ මොකක්ද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු. හැබැයි ඊට කලින් මතෙව් 18වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන “කුඩා දරුවන් හා සමාන” අය ගැන තොරතුරු ටිකක් බලමු.

“කුඩා දරුවන් හා සමාන” අය කවුද?

4. “කුඩා දරුවන් හා සමාන” අය කවුද?

4 යේසුස්ගේ අනුගාමිකයන්ව තමයි ඔහු “කුඩා දරුවන් හා සමාන අය” විදිහට හැඳින්නුවේ. මොන වයස් මට්ටමක හිටියත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ව ඒ විදිහට හැඳින්නුවේ යේසුස්ගෙන් ඉගෙනගන්න එයාලට ලොකු ආසාවක් තියෙන නිසයි. (මතෙ. 18:3) එයාලා අතරේ විවිධ සංස්කෘතීන්වලින් සහ විවිධ පසුබිම්වලින් ඇවිත් ඉන්න, විවිධ පෞද්ගලිකත්වයන් තියෙන අය හිටියත් ඒ හැමෝටම යේසුස් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. යේසුත් එයාලට ගොඩක් ආදරෙයි.—මතෙ. 18:6; යොහ. 1:12.

5. තමන්ගේ සේවකයෙක්ගේ හිත රිදෙන දෙයක් හරි විශ්වාසයට හානියක් වෙන දෙයක් හරි කෙනෙක් කළොත් යෙහෝවා දෙවියන්ට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?

5 කෙනෙක් තව කෙනෙක්ට කරදරයක් කරනවා දකිද්දී ඒක අපිට බලන් ඉන්න බැහැ. විශේෂයෙන්ම පුංචි දරුවෙක්ට කවුරු හරි කරදර කරද්දී අපිට හුඟක් කේන්ති යනවා. මොකද පුංචි දරුවන්ට අපි කවුරුත් ආදරෙයි. එයාලව අපිට හුඟක් වටිනවා. ඒ වගේම දරුවන්ට වැඩිහිටියන් තරම් අද්දැකීම් නැහැ කියලත් එයාලට එයාලවම ආරක්ෂා කරගන්න බැහැ කියලත් අපි දන්නවා. යෙහෝවා දෙවියන්ට අපි ගැන හැඟෙන්නෙත් ඒ වගේ තමයි. ඔහුට ඕනෙ අපිව ආරක්ෂා කරගන්න. කුඩා දරුවන් හා සමාන ඔහුගේ සේවකයන්ව ඔහුට හුඟක් වටිනවා. ඒ නිසා කවුරු හරි කෙනෙක් එයාලගේ හිත රිදෙන දෙයක් කරද්දී එහෙම නැත්නම් විශ්වාසයට හානි වෙන දෙයක් කරද්දී යෙහෝවා දෙවියන් කේන්ති යනවා.—යෙසා. 63:9; මාක් 9:42.

6. 1 කොරින්ති 1:26-29 අනුව ලෝකයේ මිනිස්සු යේසුස්ගේ ගෝලයන් ගැන හිතන්නේ මොන විදිහටද?

6 ලෝකෙ ඉන්න මිනිස්සු වැදගත් අය විදිහට සලකන්නේ පොහොසත්, ජනප්‍රිය සහ බලය තියෙන අයව. හැබැයි එයාලා යේසුස්ගේ ගෝලයන්ව දකින්නේ කිසි වැදගැම්මකට නැති කුඩා දරුවන් විදිහට. (1 කොරින්ති 1:26-29 කියවන්න.) යෙහෝවා දෙවියන් නම් කවදාවත් එහෙම හිතන්නේ නැහැ.

7. සහෝදර සහෝදරියන් ගැන අපි කොහොම හිතනවාටද යෙහෝවා දෙවියන් කැමති?

7 අපි සත්‍යයට ආවේ මෑතකදී වුණත් අවුරුදු ගාණක් සත්‍යයේ හිටියත් යෙහෝවා දෙවියන් අපි හැමෝටම එක වගේ ආදරෙයි. අපි හැමෝවම ඔහුට හුඟක් වටිනවා. එහෙනම් අපිත් අපේ සහෝදරයන්ව වටිනා අය විදිහට සලකන්න ඕනෙ නේද? අපි කැමති අයට විතරක් නෙවෙයි ‘සහෝදරයන් සියලුදෙනාටම’ ආදරෙන් සලකන්න අපි උපරිමයෙන් උත්සාහ කරන්න ඕනේ. (1 පේතෘ. 2:17) ඒ වගේම සහෝදරයන්ව රිද්දන්නේ නැතුව ඉන්නත් අපි උත්සාහ කරන්න ඕනේ. උදාහරණෙකට අපි කියපු කරපු දෙයක් නිසා කෙනෙක්ගේ හිත රිදිලා කියලා අපිට දැනගන්න ලැබුණොත් ‘එයා පොඩි දේටත් හිත රිද්දගන්නවානේ, ඒක එයාගේ ප්‍රශ්නයක්නේ’ කියලා හිතලා අපි ඒක නොසලකාහරින්න හොඳ නැහැ. සමහර අය පොඩි දේටත් හිත රිද්දගන්නේ ඇයි? සමහරවිට එහෙම වෙන්නේ එයා හැදුණු වැඩුණු පසුබිම නිසා තමන්ගේ කිසි වටිනාකමක් නැහැ කියලා එයාට හිතෙන නිසා වෙන්න ඇති. නැත්නම් එයා සත්‍යයට අලුත් කෙනෙක් නිසා වෙන්න ඇති. අනිත් අය අතින් වැරදි වෙද්දී සමාව දෙන එකේ වැදගත්කම එයා තාම ඉගෙනගෙන නැතුව ඇති. ඒ මොන හේතුවක් නිසා කෙනෙක්ගේ හිත රිදුණත් ඉක්මනින්ම එයාත් එක්ක සමාදාන වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ. අනිත් අතට පොඩි දේටත් හිත රිදවගන්න කෙනෙක් තේරුම්ගන්න ඕනෙ ඒකෙන් එයාගේ සතුට වගේම අනිත් අයගේ සතුටත් නැති වෙනවා කියලා. ඒ නිසා ඉක්මනින්ම ඒක හදාගන්න වෑයම් කරන්න ඕනේ.

අනිත් අය ඔයාට වඩා උතුම් කියලා හිතන්න

8. යේසුස්ගේ ගෝලයන්ට නිවැරදි කරගන්න වුණේ මොන ආකල්පයද?

8 කුඩා දරුවන් හා සමාන අය ගැන කතා කරන්න යේසුස් පෙලඹුණේ ඇයි? මොකද ඔහුගේ ගෝලයන් ඔහුගෙන් ඇහුවා “ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා කවුද” කියලා. (මතෙ. 18:1) ඒ කාලේ හිටපු හුඟක් යුදෙව්වන් තමන්ට තියෙන තනතුරු නිසා අනිත් අය තමන්ව වැදගත් අය විදිහට සලකනවා දකින්න හුඟක් ආස වුණා. විශාරදයෙක් කියලා තියෙන මේ දෙයින් ඒක තවත් පැහැදිලි වෙනවා. “ප්‍රසිද්ධ වෙන එක සහ අනිත් අයගේ ගෞරවය ලබාගන්න එක තමයි ඒ කාලේ මිනිස්සු ජීවිතේ වැදගත්ම දේ විදිහට සැලකුවේ.”

9. යේසුස්ගේ ගෝලයන්ට කරන්න සිද්ධ වුණේ මොකක්ද?

9 යුදෙව්වන් කැමති අනිත් අය අතරේ කැපිලාපේන්න කියලත් ඒ ආකල්පයෙන් ගොඩ එන්න ගෝලයන්ට ලොකු වෑයමක් දරන්න වෙනවා කියලත් යේසුස් දැනන් හිටියා. ඒ නිසයි ඔහු එයාලට මෙහෙම කිව්වේ. “ඔබ අතරේ සිටින උතුම්ම තැනැත්තා සුළු සේවකයෙක් මෙන්ද ප්‍රධානියා ලෙස ක්‍රියා කරන තැනැත්තා අනුන් වෙනුවෙන් සේවය කරන කෙනෙක් මෙන්ද විය යුතුයි.” (ලූක් 22:26) අනිත් අය අපිට වඩා උතුම් කියලා අපි හිතද්දී සුළු සේවකයෙක් විදිහට වැඩ කරන්න අපිට පුළුවන් වෙනවා. (ෆිලි. 2:3) අපි ඒ විදිහට වැඩ කරද්දී අනිත් අයගේ විශ්වාසයට හානියක් වෙන දෙයක් කරන්න අපි පෙලඹෙන්නේ නැහැ.

10. අපි හිතට ගන්න ඕනෙ පාවුල් දුන්න මොන උපදෙසද?

10 අපේ සහෝදරයන් අපිට වඩා එක පැත්තකින් හරි උතුම් වෙනවා. එයාලගේ හොඳ පැතිවලට අවධානය දුන්නොත් අපිට ඒක හොඳින්ම තේරුම්ගන්න පුළුවන්. ඒ වගේම පාවුල් දීපු මේ උපදෙසත් අපි හිතට ගන්න ඕනේ. “ඔබ අන් අයට වඩා උතුම් කියා සිතීමට ඔබට තිබෙන පදනම කුමක්ද? ඔබ සතු දේවල් ඔබට ලැබුණේ දෙවිගෙන් නොවේද? එසේනම් ඔබ ඒ දේවල් දෙවිගෙන් ලැබුණු දේවල් ලෙස නොසලකා පුරසාරම් දොඩන්නේ ඇයි?” (1 කොරි. 4:7) අපි කවදාවත් අනිත් අයට වඩා උතුම් කියලා හිතන්නවත් කැපිලාපේන්න වැඩ කරන්නවත් හොඳ නැහැ. උදාහරණෙකට මට දක්ෂ විදිහට බයිබල් දේශන දෙන්න පුළුවන් නම් නැත්නම් දක්ෂ විදිහට බයිබල් පාඩම් කරන්න පුළුවන් නම් මටම ප්‍රශංසාව ගන්න හදනවා වෙනුවට යෙහෝවා දෙවියන්ට ප්‍රශංසාව දෙන්න ඕනේ.

“මුළු හදවතින්ම” සමාව දෙන්න

11. රජෙක් සහ සේවකයෙක් ගැන යේසුස් කියපු නිදර්ශනයෙන් ඔහු උගන්වපු වටිනා පාඩම මොකක්ද?

11 තව කෙනෙක්ගේ විශ්වාසයට හානියක් වෙන දෙයක් කරන්න එපා කියලා කිව්වාට පස්සේ යේසුස් රජෙක් සහ දාසයෙක් ගැන නිදර්ශනයක් කිව්වා. ඒ දාසයා ගෙවන්න බැරි තරම් මුදලක් රජට ණය වෙලා හිටියත් රජ ඒ ණයෙන් එයාව නිදහස් කළා. හැබැයි ඒ දාසයා එයාට පොඩි මුදලක් ණය වෙලා හිටපු කෙනෙක්ව ණයෙන් නිදහස් කරන්න කැමති වුණේ නැහැ. ඒක දැනගත්තාම රජ ඒ දාසයාව හිරේ දැම්මා. මොකක්ද පාඩම? යේසුස් කිව්ව මේ දෙයින් ඒක තේරුම්ගන්න පුළුවන්. “ඔබ එකිනෙකා තම තමාගේ සහෝදරයාට ඔබේ මුළු හදවතින්ම සමාව නොදුන්නොත් ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ද ඔබට එසේම කරයි.”—මතෙ. 18:21-35.

12. අපි අනිත් අයට සමාව දුන්නේ නැත්නම් ඒකෙන් වෙන හානිය මොකක්ද?

12 ඒ දාසයා කරපු දේ නිසා එයාට විතරක් නෙවෙයි අනිත් අයටත් ලොකු හානියක් වුණා. මුලින් ඒ දාසයා තමාට ණය වෙලා හිටපු කෙනාට කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැතුව එයාව හිරේ දැම්මා. ඒ විතරක් නෙවෙයි, ඒක බලන් හිටපු ‘අනිත් දාසයන්ටත්’ ඒ ගැන ලොකු දුකක් දැනුණා. මොකක්ද පාඩම? අපිට වැරදි කරපු කෙනෙක්ට අපි සමාව දෙන්නේ නැත්නම් හිතාමතාම අපි එයාව මඟහරිනවා නම් ඇත්තටම අපි ඒකෙන් කරන්නේ එයාව රිද්දන එකයි. ඒ විතරක් නෙවෙයි අපි අතරේ ප්‍රශ්නයක් තියෙනවා කියලා සභාවේ අය දකිද්දී ඒකෙන් එයාලත් අපහසුතාවයට පත් වෙනවා.

ඔයා අමනාපය හිතේ තියන් ඉන්නවාද? නැත්නම් මුළු හදවතින්ම සමාව දෙනවාද? (13-14 ඡේද බලන්න) *

13. පුරෝගාමියෙක්ගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

13 අපි අපේ සහෝදරයන්ට සමාව දෙන එකෙන් අපිටත් අනිත් අයටත් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණෙකට එක පුරෝගාමි සහෝදරියක් වන ක්‍රිස්ටල්ගේ * අද්දැකීම බලන්න. සභාවේ ඉන්න සහෝදරියක් කියපු දෙයක් නිසා එයාගේ හිත ගොඩක් රිදුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “සමහර වෙලාවට ඒ සහෝදරිය කියන දේවල් නිසා මගේ හිත ගොඩක් රිදෙනවා. ඒ වෙලාවට මට දැනෙන්නේ එයා මට පිහියකින් අනිනවා වගෙයි. එයාත් එක්ක සේවේ යන්නවත් මට ආස හිතුණේ නැහැ. ඒකෙන් මං සේවෙන් ලබපු සතුටත් නැති වුණා.” මුලදී ක්‍රිස්ටල්ට හිතිලා තියෙනවා ඒ සහෝදරියත් එක්ක අමනාපෙන් ඉන්න එකේ වරදක් නැහැ කියලා. හැබැයි ක්‍රිස්ටල් ඒ සහෝදරිය එක්ක දිගටම අමනාපෙන් ඉන්නවා වෙනුවට එයා හිතන විදිහ වෙනස් කරගත්තා. ඒ දේ කරන්න 1999 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණ “හෘදයෙන්ම සමාව දෙන්න” කියන ලිපිය එයාට උදව් වෙලා තියෙනවා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මං විතරක් නෙවෙයි අනිත් අය එයාලගේ වැරදි හදාගන්න කොච්චර මහන්සි වෙනවාද කියලා මං තේරුම්ගත්තා. අනික යෙහෝවා දෙවියන් හැම දවසකම අපිට කැමැත්තෙන්ම සමාව දෙනවා. මට දැන් දැනෙන්නේ මං ලොකු බරකින් නිදහස් වුණා වගේ. මං දැන් ආයෙත් හරිම සතුටින් සේවේ කරනවා.”

14. පේතෘස්ට තිබුණු ප්‍රශ්නය මොකක්ද? යේසුස් එයාට කියපු දෙයින් ඔයා ඉගෙනගත්තේ මොනවාද? (මතෙව් 18:21, 22)

14 වැරදි කරන අයට සමාව දෙන්න ඕනෙ කියලා අපි දැනන් හිටියත් සමහර වෙලාවට ඒක කරන එක ලේසි වෙන එකක් නැහැ. පේතෘස්ටත් එහෙම හිතිලා තියෙනවා. (මතෙව් 18:21, 22 කියවන්න.) කෙනෙක්ට සමාව දෙන්න උදව් වෙන යෝජනා තුනක් දැන් අපි බලමු. (1) යෙහෝවා දෙවියන් ඔයාට කොච්චර සමාව දීලා තියෙනවාද කියලා හොඳට හිතන්න. (මතෙ. 18:32, 33) ඔහුගෙන් සමාව ලබන්න අපි වටින්නේ නැති වුණත් ඔහු කැමැත්තෙන්ම අපිට සමාව දෙනවා. (ගීතා. 103:8-10) අපි හැමෝම ‘එකිනෙකාට ආදරේ කරන්න බැඳිලා ඉන්නවා.’ ඒ කියන්නේ අපි සමාව දෙන්න ඕනෙ අපි කැමති නම් විතරක් නෙවෙයි, ඒක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ දෙයක්. (1 යොහ. 4:11) (2) සමාව දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න. මොකද අපි කෙනෙක්ට සමාව දෙද්දී ඒ වරද හදාගන්න ඒක එයාට උදව් වෙනවා. සභාවේ සාමයට දායක වෙන්නත් අපිට පුළුවන් වෙනවා. යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම රැකගන්නත් ලොකු සහනයක් අද්දකින්නත් ඒක උදව් වෙනවා. (2 කොරි. 2:7; කොලො. 3:14) (3) උදව් ඉල්ලලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න. ඔයාට සහෝදරයන් එක්ක තියෙන බැඳීම නැති කරන්න සාතන්ට කිසිම ඉඩක් දෙන්න එපා. (එෆී. 4:26, 27) සභාවේ සාමය නැති කරන්න සාතන් අටවන උගුල්වලට අහු නොවී ඉන්න යෙහෝවා දෙවියන්ගේ උදව් අපිට නැතුවම බැහැ.

අනිත් අය නිසා ඔයාගේ විශ්වාසයට හානියක් වෙන්න දෙන්න එපා

15. ඔයාගේ හිත රිදෙන දෙයක් සහෝදරයෙක් කළොත් ඔයා කරන්න ඕනෙ මොනවාද? (කොලොස්සි 3:13)

15 සහෝදරයෙක් ඔයාගේ හිත රිදෙන දෙයක් කළොත් මොකද කරන්නේ? එයාත් එක්ක සමාදාන වෙන්න උපරිමයෙන් උත්සාහ කරන්න. ඒ දේ කරන්න යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. එයාට ආශීර්වාද කරන්න කියලත් එයාගේ හොඳ ගති දකින්න ඔයාට උදව් කරන්න කියලත් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න. (ලූක් 6:28) එයා කරපු දේ අමතක කරලා දාන්න බැහැ කියලා ඔයාට හිතුණොත් එයාගේ හිත රිදෙන්නේ නැති විදිහට ඒ ගැන එයාත් එක්ක කතා කරන්න පුළුවන් කොහොමද කියලා හොඳට හිතලා බලන්න. එයා කරපු කියපු දෙයක් නිසා ඔයාගේ හිත රිදුණත් එයා ඒක කළේ ඔයාගේ හිත රිද්දන්නමයි කියලා හිතන්න එපා. (මතෙ. 5:23, 24; 1 කොරි. 13:7) එයාට හැඟෙන විදිහ ගැන කියද්දී එයාව සැක කරන්නත් එපා. ඔයා මොන දේ කළත් සමාදාන වෙන්න එයා කැමති නැත්නම් මොකද කරන්නේ? දිගටම එයා ගැන ඉවසන්න. සමාදාන වෙන්න ඔයා දරන උත්සාහය අත්හරින්න එපා. (කොලොස්සි 3:13 කියවන්න.) ඒ වගේම එයා ගැන ඔයාගේ හිතේ අමනාපයක් තියාගන්නත් එපා. මොකද ඒකෙන් යෙහෝවා දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම දුර්වල වෙයි. කිසිම දෙයක් නිසා ඔයාගේ විශ්වාසයට හානියක් වෙන්න දෙන්නත් එපා. ඔයා ඒ දේවල් අදාළ කරගත්තොත් වෙන කිසිම දේකට වඩා ඔයා යෙහෝවා දෙවියන්ට ආදරෙයි කියලා ඔප්පු කරන්න ඔයාට පුළුවන්.—ගීතා. 119:165.

16. අපි හැමෝටම තියෙන වගකීම මොකක්ද?

16 “එක එඬේරෙක්” යටතේ ඉන්න “එක රැළක්” විදිහට යෙහෝවා දෙවියන්ට එකමුතුව සේවය කරන්න ලැබිලා තියෙන එක කොච්චර වටිනවාද! (යොහ. 10:16) ‘යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ කියන පොතේ 165වෙනි පිටුවේ මෙහෙම කියනවා. “දැන් ඔයාටත් වගකීමක් තියෙනවා ඒ එක්සත්කම රැකගන්න දායක වෙන්න. ඒක කරන්න අපි අපේ සහෝදර සහෝදරියන් දිහා යෙහෝවා දෙවියන් බලන විදිහට බලන්න පුරුදු වෙන්න ඕනේ.” යෙහෝවා දෙවියන් ඉස්සරහා අපි හැමෝම “කුඩා දරුවන්” වගෙයි. අපිව ඔහුට හුඟක් වටිනවා. ඉතින් ඔයා ඔයාගේ සහෝදරයන්ව වටිනා අය විදිහට සලකන්න ඕනෙ නේද? සහෝදරයන්ට ආදරෙන් සලකන්නත් එයාලට උදව් කරන්නත් ඔයා දරන වෑයම යෙහෝවා දෙවියන් ගොඩක් අගය කරනවා.—මතෙ. 10:42.

17. අපි අදිටන් කරගන්න ඕනෙ මොනවා කරන්නද?

17 අපි අපේ සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරෙයි. ඒ නිසා සහෝදරයන්ගේ හිත් රිදෙන දේවල් නොකර ඉන්න අපි අදිටන් කරගමු. (රෝම 14:13) අපිට වඩා අපේ සහෝදර සහෝදරියන් උතුම් කියලා අපි දිගටම හිතමු. එයාලට මුළු හදවතින්ම සමාව දෙමු. අනිත් අයගේ අඩුපාඩුකම් නිසා අපේ විශ්වාසයට හානියක් වෙන්න ඉඩ නොදී ඉන්නත් වෑයම් කරමු. ‘සමාදානයට දායක වෙන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද කිරීමට අපි දැඩි උත්සාහයක් දරමු.’—රෝම 14:19.

ගීතිකාව 130 සමාව දෙන්න

^ 5 ඡේ. පව්කාරකම උරුම වෙලා තියෙන නිසා අපි කරන කියන දේකින් තව කෙනෙක්ගේ හිත රිදෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඔයා මොනවාද කරන්නේ? ඉක්මනින්ම එයාත් එක්ක සමාදාන වෙන්න උත්සාහ කරනවාද? ඉක්මනින්ම එයාගෙන් සමාව ඉල්ලනවාද? ‘එයා හිත රිද්දගත්තා කියලා මං මොනවා කරන්නද’ කියලා හිතනවාද? ‘එයා ඉතින් පොඩි දේටත් හිත රිද්දගන්නවානෙ’ කියලා නිදහසට කරුණු කියනවාද? නැත්නම් පොඩි දේටත් මම ඉක්මනින්ම හිත රිද්දවගන්නවාද? ‘ඒ ඉතින් මගේ හැටිනේ’ කියලා හිතනවාද? එහෙම නැත්නම් ඔයා හදාගන්න ඕන පැති තේරුම් අරන් ඒවා හදාගන්න උත්සාහ කරනවාද?

^ 13 ඡේ. නම වෙනස් කර ඇත.

^ 54 ඡේ. පින්තූරයේ අදහස: සභාවේදී සහෝදරියක් තව සහෝදරියක් එක්ක අමනාපෙන් ඉන්නවා. ඒ දෙන්නා ප්‍රශ්නය විසඳගෙන සතුටින් සේවේ හවුල් වෙනවා.