Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 27

අපි යෙහෝවා දෙවියන්ට බය වෙන්න ඕනෙ ඇයි?

අපි යෙහෝවා දෙවියන්ට බය වෙන්න ඕනෙ ඇයි?

“යෙහෝවා දෙවිට සමීප විය හැක්කේ ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයටය.”—ගීතා. 25:14.

ගීතිකාව 8 යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි

මේ ලිපියෙන් a

1-2. දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? (ගීතාවලිය 25:14)

 නොබිඳෙන මිතුදමකට නැතුවම බැරි ගුණාංග මොනවාද කියලා කවුරු හරි ඇහුවොත් ඔයා මොනවා කියයිද? ඔයා කියයි “දෙන්නාට දෙන්නා ආදරේ සහ සැලකිල්ල පෙන්නන්න ඕනෙ, උදව් කරගන්න ඕනෙ” කියලා. කවදාවත් ඔයා කියන එකක් නැහැ අනිත් කෙනාට ඔයා බය වෙන්න ඕනෙ කියලා. හැබැයි අපේ ප්‍රධාන බයිබල් පදේ කියන විදිහට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු යාළුකමක් ඇති කරගන්න නම් අපිට “ඔහු ගැන ගරුබියක්” තියෙන්නම ඕනේ.—ගීතාවලිය 25:14 කියවන්න.

2 දේවගරුබිය කියන්නේ කොච්චර කාලයක් දෙවියන්ට සේවේ කරලා තිබුණත් අපි හැමෝම ඇති කරගන්න ඕන දෙයක්. හැබැයි ඇත්තටම ගරුබිය කියන්නේ මොකක්ද? ඒක ඇති කරගන්නේ කොහොමද? ඒ ගැන ඔබදියාගෙන්, උත්තම පූජක යෙහෝයාදාගෙන් සහ යෙහෝයාෂ් රජගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ගරුබිය කියන්නේ මොකක්ද?

3. අපිට බයක් දැනෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? ඒක ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

3 අපිට අනතුරක් වෙනවා කියලා දැනෙද්දී අපිට බයක් දැනෙනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද ඒ නිසා තමයි ඒ වගේ දේකින් බේරෙන්න, ඥානවන්ත තීරණ ගන්න අපි පෙලඹෙන්නේ. උදාහරණෙකට වැටෙයි කියන බය නිසා අපි ප්‍රපාතයක් අයිනටම යන්නේ නැහැ. තුවාල වෙයි කියන බය නිසා අනතුරක් දැක්ක ගමන් අපි එතනින් බේරිලා යනවා. ඒ වගේම තමයි යාළුකමක් නැති වෙයි කියන බය නිසා අපි යාළුවාගේ හිත රිද්දන්නේ නැතුව ඉන්න පරෙස්සම් වෙනවා.

4. සාතන් හදන්නේ අපේ හිතේ මොන වගේ බයක් ඇති කරන්නද?

4 සැරයක් එලිෆස් කිව්වා දෙවියන් පළිගන්න බලාගෙන ඉන්න, මොන දේ කළත් සතුටු කරන්න බැරි, කුරිරු කෙනෙක් කියලා. (යෝබ් 4:18, 19) සාතන් හදන්නෙත් අපේ හිතේ ඒ වගේ පින්තූරයක් ඇඳලා දෙවියන් ගැන අනවශ්‍ය බයක් ඇති කරන්න. එහෙම කරලා අපි යෙහෝවාට සේවේ කරන එක නවත්තනවා දකින්න සාතන් ආසයි. ඒත් අපි දෙවියන් ගැන ඒ වගේ බයක් ඇති කරගන්න ඕනෙ නැහැ. එහෙමනම් මොන වගේ බයක්ද ඇති කරගන්න ඕනේ?

5. දෙවියන් ගැන අපි ඇති කරගන්න ඕනෙ මොන වගේ බයක්ද?

5 දෙවියන් ගැන ගරුබියක් තියෙන කෙනෙක් ඔහුට හරිම ආදරෙයි. ඒ නිසා ඔහු එක්ක තියෙන බැඳීම පලුදු වෙන පුංචි දෙයක්වත් කරන්න එයා කැමති නැහැ. යේසුස් කියන්නෙත් “දේවගරුබිය” තිබුණ කෙනෙක්. (හෙබ්‍රෙ. 5:7) ඔහු දෙවියන්ගේ කැමැත්ත කළේ දෙවියන් දඬුවම් කරයි කියන බයට නෙවෙයි, ආදරේ නිසයි. (යෙසා. 11:2, 3; යොහ. 14:21, 31) යේසුස්ට වගේ අපිටත් යෙහෝවා ගැන ගැඹුරු ගෞරවයක් තියෙනවා. මොකද දෙවියන් හරිම ආදරණීය, ප්‍රඥාවන්ත, යුක්තිසහගත සහ බලවත් කෙනෙක්. ඒ වගේම අපි දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිපදිනවාද නැද්ද කියන එක ගැන ඔහු ගොඩක් සැලකිලිමත්. අපි කරන කියන දේවල්වලින් ඔහුගේ හිතට වේදනාවක් දෙන්න හරි සතුටක් එකතු කරන්න හරි අපිට පුළුවන්.—ගීතා. 78:41; හිතෝ. 27:11.

දේවගරුබියක් ඇති කරගන්න

6. දෙවියන් ගැන ගරුබියක් ඇති කරගන්න උදව් වෙන එක දෙයක් මොකක්ද? (ගීතාවලිය 34:11)

6 දේවගරුබිය කියන්නේ අපිට උපතින් උරුම වෙන දෙයක් නෙවෙයි. අපි ඒක ඇති කරගන්න ඕනේ. (ගීතාවලිය 34:11 කියවන්න.) ඒකට දෙවියන්ගේ නිර්මාණ ගැන හොඳට හිතන එක උදව් වෙනවා. “දෙවියන් නිර්මාණය කරලා තියෙන” හැම දේකින්ම ඔහුගේ ආදරය, ප්‍රඥාව, බලය පේනවා. (රෝම 1:20) ඒවා දකින්න දකින්න අපේ හිතෙත් ඔහු ගැන තියෙන ආදරය, ගෞරවය වැඩි වෙනවා. සහෝදරි ඒඩ්‍රියෑන් මෙහෙම කියනවා. “යෙහෝවා හදලා තියෙන දේවල් කොච්චර පුදුමාකාරද! ඔහුට කොච්චර නම් ප්‍රඥාවක් තියෙනවාද! එහෙනම් මටත් වඩා හොඳට මට ඕනෙ දේ ඔහු දන්නේ නැද්ද?” නිර්මාණ දිහා බලලා ඒ විදිහට දෙවියන් ගැන හිතපු නිසා දෙවියන් එක්ක තිබුණ බැඳීම කොච්චර වටිනවාද කියන එක ඒඩ්‍රියෑන් තේරුම්ගත්තා. එයා මෙහෙම කියනවා. “මට ජීවිතේ දුන්නේ යෙහෝවා. ඔහු එක්ක තියෙන බැඳීමට හරස් වෙන්න මං කිසිම දේකට ඉඩ දෙන්නෑ.” ඉතින් ඔයාට පුළුවන්ද මේ සතියෙම පොඩි වෙලාවක් අරගෙන දෙවියන්ගේ නිර්මාණ ගැන ටිකක් හිතන්න? එහෙම කළොත් ඔහු ගැන ඔයාගේ හිතේ ආදරය, ගෞරවය වැඩි වෙයි කියලා කිසිම සැකයක් නැහැ.—ගීතා. 111:2, 3.

7. ගරුබිය ඇති කරගන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?

7 දෙවියන් ගැන ගරුබියක් ඇති කරගන්න උදව් වෙන තව දෙයක් තමයි යාච්ඤාව. යාච්ඤා කරන තරමටම ඔහු අපිට සැබෑ කෙනෙක් වෙනවා. පීඩාවක් දරාගන්න ශක්තිය ඉල්ලන හැම වතාවකම ඔහුගේ අතිමහත් බලය අපිට මතක් වෙනවා. පුතාගේ ජීවිතේ දුන්නාට ස්තුති කරන හැම වතාවකම යෙහෝවාගේ ආදරේ අපිට මතක් වෙනවා. ප්‍රශ්නයක් විසඳන්න අපි ඔහුගෙන් උදව් ඉල්ලන හැම වතාවකම ඔහුගේ අසීමිත ප්‍රඥාව අපිට මතක් වෙනවා. ඒ වගේ යාච්ඤාවලට පුළුවන් දෙවියන් ගැන අපිට තියෙන ගෞරවය තවත් වැඩි කරන්න, ඔහුගේ හිත රිදෙන කිසිම දෙයක් නොකර ඉන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරන්න.

8. දේවගරුබිය නැති කරගන්නේ නැතුව ඉන්න අපි කරන්න ඕනෙ මොනවාද?

8 බයිබලේ දෙවියන්ට ගරුබිය දක්වපු අය ගැන වගේම එහෙම නොකරපු අය ගැනත් තියෙනවා. එයාලා ගැන අධ්‍යයනය කරන එක දේවගරුබිය නැති කරගන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙනවා. අපි මුලින්ම ඔබදියා ගැනයි, උත්තම පූජක යෙහෝයාදා ගැනයි බලමු. එයාලා යෙහෝවාට ගරුබිය පෙන්නපු අය. ඊටපස්සේ අපි යෙහෝයාෂ් රජ ගැන බලමු. එයා මුලින් විශ්වාසවන්තව හිටියත් පස්සේ කාලෙක දෙවියන්ව අත්හැරපු කෙනෙක්.

ඔබදියා වගේ නිර්භීත වෙන්න

9. දේවගරුබිය නිසා ඔබදියා කළේ මොනවාද? (1 රාජාවලිය 18:3, 12)

9 ඔබදියා b ගැන කතා කරන මුල්ම වතාවේදීම බයිබලේ කියනවා එයා “යෙහෝවා දෙවි කෙරෙහි මහත් ගරුබියක් දැක්වූ කෙනෙක්” කියලා. (1 රාජාවලිය 18:3, 12 කියවන්න.) විශ්වාසවන්ත, අවංක කෙනෙක් වෙන්න ඒ ගරුබිය ඔබදියාට උදව් වුණා. ඒ නිසයි රජ ඔබදියාව රජමාලිගාවේ වැඩකටයුතු භාරව ඉන්න කෙනා විදිහට පත් කළේ. (නෙහෙ. 7:2) ඒ වගේම දේවගරුබිය නිසා එයා ගොඩක් නිර්භීතව වැඩ කළා. එයා ජීවත් වුණේ නිර්භීතකම ඕනෙම වෙච්ච කාලෙක. මොකද ඒ කාලේ ඊශ්‍රායෙල් දේශය පාලනය කළේ දුෂ්ට ආහබ් රජ. එයා ‘කලින් ජීවත් වුණ හැම රජ කෙනෙක්ටම වඩා යෙහෝවා දෙවියන් පිළිකුල් දේවල් කළා.’ (1 රාජා. 16:30) ඒ මදිවට ආහබ්ගේ බිසව වුණේ බාල්ට නමස්කාර කරපු දුෂ්ට යෙසබෙල් රැජින. එයා දෙවියන්ට කොච්චර වෛර බැන්දාද කියනවා නම් සැබෑ නමස්කාරය අතුගාලා දාන්න එයා නොකරපු දෙයක් නැහැ. දෙවියන්ගේ අනාගතවක්තෘවරු හුඟදෙනෙක්වත් එයා අමු අමුවේ මැරුවා. (1 රාජා. 18:4) ඉතින් දෙවියන්ට දිගටම ළැදිව ඉන්න ඔබදියාට නිර්භීතකම ඕනෙ වුණ එක පුදුමයක් නෙවෙයි.

10. ඔබදියා හුඟක් නිර්භීත කෙනෙක් කියලා පෙන්නුවේ කොහොමද?

10 ඒ කාලේ යෙසබෙල් රැජින දෙවියන්ගේ අනාගතවක්තෘවරුන්ව මරන්න හොයහොය හිටියේ. ඒ නිසා ඔබදියා “යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ගෙන් සියදෙනෙක්ව ගුහා දෙකක පනස්දෙනා බැගින් හංගලා, ඔවුන්ට අවශ්‍ය කෑම සහ වතුර ගිහින් දුන්නා.” (1 රාජා. 18:13, 14) බැරි වෙලාවත් අහු වුණා නම් යෙසබෙල් අනිවාර්යයෙන්ම ඔබදියාව මරනවා. ඒ වෙලාවේ ඔබදියාට ලොකු බයක් දැනෙන්න ඇති. මොකද එයාත් අපි වගේම මනුස්සයෙක්. එයා ආස වුණේ නැහැ නිකරුණේ ජීවිතේ නැති කරගන්න. ඒත් එයාගේ ජීවිතේටත් වඩා එයා යෙහෝවාට ආදරේ කළා. ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට ආදරේ කළා.

වැඩ තහනම් කරලා තියෙන රටක ඉන්න සහෝදරයෙක් හරිම නිර්භීතව අපේ ප්‍රකාශන බෙදනවා (11 ඡේදය බලන්න) d

11. අද ඉන්න දෙවියන්ගේ සෙනඟ ඔබදියා වගේ නිර්භීතයි කියන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)

11 අද දෙවියන්ට නමස්කාර කරන සමහරු ජීවත් වෙන්නේ අපේ වැඩකටයුතු තහනම් කරලා තියෙන රටවල්වල. එයාලා බලධාරීන්ට හුඟක් ගෞරව කරනවා. ඒත් ඔබදියා වගේ අපේ ඒ ආදරණීය සහෝදර සහෝදරියන් යෙහෝවාට දෙන තැන වෙන කිසිම කෙනෙක්ට දෙන්නේ නැහැ. (මතෙ. 22:21) මිනිස්සුන්ට වඩා දෙවියන්ට කීකරු වෙන්න එයාලව පොලඹවන්නේ දෙවියන්ට තියෙන ගරුබියයි. (ක්‍රියා 5:29) ඒ නිසා රහසින් හරි එයාලා දේශනා කරනවා, දිගටම රැස්වීම් පවත්වනවා. (මතෙ. 10:16, 28) ඒ වගේම දාසයාගෙන් ලැබෙන පෝෂණය අනිත් අයට ලැබෙනවාද කියන එක ගැනත් එයාලා සැලකිලිමත්. ආන්රිගේ අද්දැකීම බලන්න. එයා ජීවත් වෙන්නේ කාලයක් අපේ වැඩ තහනම් කරලා තිබුණ අප්‍රිකානු රටක. ඒ කාලේ සහෝදරයන්ට සඟරා, පොත් පත් ගිහිල්ලා දෙන්න එයා ඉදිරිපත් වුණා. බලන්න එයා කියන දේ. “මං සාමාන්‍යයෙන් ටිකක් ලැජ්ජයි. ඒත් මගේ හිතේ යෙහෝවා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ඒක තමයි මාව පෙලඹුවේ බය නැතුව මේ පැවරුම කරන්න.” දවසක ආන්රි කරපු දේ කරන්න තරම් නිර්භීතකමක් ඔයාටත් තියෙයිද? ඔව්, දෙවියන් ගැන ගරුබියක් ඇති කරගත්තොත් ඔයාටත් ඒක කරන්න පුළුවන්.

යෙහෝයාදා වගේ ළැදි වෙන්න

12. යෙහෝයාදා සහ එයාගේ බිරිඳ දෙවියන්ට ගොඩක් ළැදියි කියලා පෙන්නුවේ කොහොමද?

12 උත්තම පූජක යෙහෝයාදා දෙවියන්ට ගරුබිය දක්වපු කෙනෙක්. ඒ නිසා තමයි දෙවියන්ට ළැදි වෙලා සැබෑ නමස්කාරය පිහිටුවන්න එයා ගොඩක් මහන්සි වුණේ. විශේෂයෙන්ම යෙසබෙල්ගේ දුව අතලියා යූදාහි රජකම බලෙන් උදුරගත්ත කාලේදී ඒක පැහැදිලිව පෙනුණා. අතලියා කියන්නේ හරිම කුරිරු, බලයට කෑදර රැජිනක්. කොච්චරද කියනවා නම් එයාගෙම මුනුපුරන්ව මරලා රජ පෙළපතම නැති කරන්න එයා උත්සාහ කළා. (2 ලේක. 22:10, 11) ඒ නිසා අතලියා කියන නම ඇහෙද්දී හැමෝම බයෙන් වෙව්ලන්න ඇති. හැබැයි යෙහෝයාදාගේ බිරිඳ වුණ යෙහෝෂබියත් අතලියාගේ මුනුපුරෙක්ව ඒ කියන්නේ පුංචි යෙහෝයාෂ්ව බේරගෙන එයාව රැකබලා ගත්තා. ඒ විදිහට යෙහෝයාදා සහ යෙහෝෂබියත් දාවිත්ගේ පෙළපත ආරක්ෂා කළා. මොන දේ වුණත් යෙහෝයාදා නෙවෙයි අතලියාට දණ නැමුවේ. එයා දිගටම යෙහෝවාට ළැදිව හිටියා.—හිතෝ. 29:25.

13. යෙහෝයාදා ආයෙත් වතාවක් ළැදිකම පෙන්නුවේ කොහොමද?

13 යෙහෝයාෂ්ට අවුරුදු හතේදී යෙහෝයාදා ආයෙමත් දෙවියන්ට තිබුණ ළැදිකම ඔප්පු කරලා පෙන්නුවා. එයා සැලැස්මක් දියත් කළා. ඒක සාර්ථක වුණොත් දාවිත්ගේ සිංහාසනයට උරුමකම් කියන කෙනා විදිහට යෙහෝයාෂ් රජ වෙනවා. හැබැයි අසාර්ථක වුණොත් යෙහෝයාදාට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. හැබැයි යෙහෝවාගේ ආශීර්වාදයෙන් ඒ සැලැස්ම සාර්ථක වුණා. යෙහෝයාදාට ප්‍රධානීන්ගේ සහ ලෙවීවරුන්ගේ සහය ලැබුණ නිසා යෙහෝයාෂ්ව රජකමට පත් කරන්න විතරක් නෙවෙයි දුෂ්ට අතලියාව මරන්නත් එයාලට පුළුවන් වුණා. (2 ලේක. 23:1-5, 11, 12, 15; 24:1) ඊටපස්සේ “රජු ඇතුළු සෙනඟ හා යෙහෝවා දෙවි අතර ගිවිසුමක් ඇති කරන්න යෙහෝයාදා පියවර ගත්තා. ඒ ගිවිසුමට අනුව හැමදාම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න එයාලා පොරොන්දු වුණා.” (2 රාජා. 11:17) ඒ වගේම “යෙහෝවා දෙවිගේ ගෘහයට කිසි අපවිත්‍ර කෙනෙක් ඇතුල් නොවෙන්න එහි දොරටු අසල දොරටු පාලකයන්වත් ඔහු රඳවලා තිබ්බා.”—2 ලේක. 23:19.

14. දෙවියන්ට ගෞරව කරපු නිසා යෙහෝයාදාට ගෞරවය ලැබුණේ කොහොමද?

14 දෙවියන් කලින්ම කියලා තිබුණා “මට ගෞරව කරන අයට මමත් ගෞරව කරමි” කියලා. (1 සාමු. 2:30) කිව්වා වගේම ඔහුට ගරුබිය දක්වපු යෙහෝයාදාව ඔහු ගෞරවයට පත් කළා. ඒක කරපු එක විදිහක් තමයි යෙහෝයාදා කරපු හොඳ දේවල් බයිබලේට ඇතුළත් කරපු එක. (රෝම 15:4) ඒ වගේම එයා මැරුණාම සාමාන්‍ය අයට ලැබුණේ නැති විශේෂ ගෞරවයක් එයාට ලැබුණා. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “ඔහු ඊශ්‍රායෙල් දේශය වෙනුවෙන්ද සැබෑ දෙවි හා ඔහුගේ ගෘහය උදෙසාද බොහෝ යහපත් දේවල් කළ නිසා ඔහුව තැන්පත් කළේ දාවිත්ගේ නුවරෙහි රජවරුන්ව තැන්පත් කළ ස්ථානයෙහිය.”—2 ලේක. 24:15, 16.

යෙහෝයාදා වගේ අපේ සහෝදරයන්ට ළැදි වෙලා එයාලට උදව් කරන්න අපිව පොලඹවන්නේ දේවගරුබියයි (15 ඡේදය බලන්න) e

15. යෙහෝයාදාගේ වාර්තාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (පින්තූරයත් බලන්න.)

15 යෙහෝයාදා, දෙවියන්ට ගරුබියක් ඇති කරගන්න එක ගැන අපි හැමෝටම ආදර්ශයක්. වැඩිමහල්ලෙනි, යෙහෝයාදා වගේ රැළේ ඉන්න හැම කෙනෙක් ගැනම හොඳ අවධානයකින් ඉඳලා එයාලව ආරක්ෂා කරන්න. (ක්‍රියා 20:28) මහලු සහෝදර සහෝදරියෙනි, ඔයාලා මහලු වුණත් යෙහෝවා ඔයාලව අහක දාන්නේ නැහැ. ඔහුගේ අරමුණ වෙනුවෙන් ඔහු ඔයාලවත් පාවිච්චි කරනවා. යෞවනයෙනි, ඔයාලට පුළුවන් මහලු අයට විශේෂයෙන්ම කාලයක් පුරා විශ්වාසවන්තව සේවේ කරපු අයට යෙහෝවා වගේ ආදරෙන්, ගෞරවෙන් සලකන්න. (හිතෝ. 16:31) යෙහෝයාදාට සහයෝගය දීපු ප්‍රධානීන්ගෙන් සහ ලෙවීවරුන්ගෙනුත් අපිට පාඩමක් තියෙනවා. අපිත් එයාලා වගේ ‘පෙරමුණ ගන්න අයට’ ළැදි වෙලා මුළු හදවතින්ම එයාලට කීකරු වෙමු.—හෙබ්‍රෙ. 13:17.

යෙහෝයාෂ් වගේ වෙන්න එපා!

16. යෙහෝයාෂ් දුර්වල කෙනෙක් කියලා පෙන්නුවේ කොහොමද?

16 යෙහෝයාදා ජීවත් වෙලා හිටපු කාලේ පුරාම එයා යෙහෝයාෂ්ට හරි මාර්ගයේ යන්න උදව් කළා. (2 රාජා. 12:2) ඒ නිසා යෙහෝවාව සතුටු කරන්න මේ පුංචි රජගේ හිතේ ලොකු ආසාවක් ඇති වුණා. ඒත් හැම දේම වෙනස් වෙන්න වැඩි කල් ගියේ නැහැ. යෙහෝයාදා මැරුණට පස්සේ, දෙවියන්ව අත්හැරලා ගිය අධිපතීන් කියපු දේවල්වලට එයා ඇහුම්කන් දුන්නා. මොකක්ද ප්‍රතිඵලය? රජ සහ සෙනඟ “බොරු නමස්කාරය සඳහා ඉදි කළ කුලුනුවලට හා රූපවලට නමස්කාර කරන්න පටන්ගත්තා.” (2 ලේක. 24:4, 17, 18) ඒ නිසා ‘එයාලව ආයෙත් තමන් වෙතට හරවාගන්න යෙහෝවා දිගටම එයාලා ළඟට අනාගතවක්තෘවරුන්ව යැව්වා. ඒත් එයාලා ඇහුම්කන් දුන්නේ නැහැ.’ කොටින්ම කිව්වොත් සෙකරියා c කියපු දේවත් එයාලා කනකට ගත්තේ නැහැ. සෙකරියා කියන්නේ අනාගතවක්තෘවරයෙක්, පූජකයෙක් විතරක් නෙවෙයි යෙහෝයාෂ්ගේ තාත්තාගේ අක්කාගේ පුතා. ඒ කියන්නේ ජීවිතේ පරදුවට තියලා යෙහෝයාෂ්ව ආදරෙන් හදා වඩා ගත්ත යෙහෝයාදාගේ පුතා. හැබැයි අන්තිමට එයා සෙකරියාව හිත්පිත් නැති විදිහට මරලා දානවා.—2 ලේක. 22:11; 24:19-22.

17. අන්තිමේදී යෙහෝයාෂ්ට මොකද වුණේ?

17 දෙවියන් ගැන තිබුණ ගරුබිය නැති කරගත්ත යෙහෝයාෂ්ට අන්තිමේදී හැම දේම නැති වුණා. “මට අගෞරව කරන අය අවමානයට ලක් වන්නේය” කියලා යෙහෝවා කියපු දේ කොච්චර ඇත්තක්ද කියලා ඒකෙන් පැහැදිලි වුණා. (1 සාමු. 2:30) දවසක් සිරියානුවන් යෙහෝයාෂ්ට විරුද්ධව සටනට ආවා. එදා ඒ හමුදාවේ හිටියේ හරිම ටිකදෙනයි. හැබැයි එයාලට පුළුවන් වුණා “විශාල හමුදාවක්” එක්ක ආපු යෙහෝයාෂ්ව අන්ත පරාජයට පත් කරන්න. ඒ යුද්දෙදී යෙහෝයාෂ් දරුණු විදිහට තුවාල වුණා. එයාගේ කරදර එතනින් නතර වුණේ නැහැ. සිරියානුවන් ගියාට පස්සේ එයාගෙම සේවකයන් එයාව මරලා සෙකරියාව මරපු එකට පළිගත්තා. යෙහෝයාෂ් කියන චරිතය එයාගෙම සෙනඟට කොච්චර තිත්ත වෙලා තිබුණාද කියනවා නම් එයාලා යෙහෝයාෂ්ව ‘රජවරුන් තැන්පත් කරන ස්ථානයේවත් තැන්පත් කළේ නැහැ.’—2 ලේක. 24:23-25.

18. යෙහෝයාෂ් වගේ වෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් කොහොමද? (යෙරෙමියා 17:7, 8)

18 යෙහෝයාෂ් හරියට ගැඹුරට මුල් ඇදලා නැති මුක්කු ගහපු ගහක් වගේ. යෙහෝයාදා තමයි එයාගේ මුක්කුව වුණේ. ඒ මුක්කුව නැති වුණාට පස්සේ යෙහෝවාව අත්හැරපු අධිපතීන්ගේ බලපෑම කියන සැඩ සුළං පාර මේ ගහ වට කරගත්තා. අන්තිමේදී මුක්කුවකුත් නැතුව වැනිවැනී හිටපු මේ ගහ නිකම්ම කඩන් වැටුණා. මොකක්ද පාඩම? අපි දෙවියන්ට ගරුබියක් පෙන්නන්න ඕනෙ සභාවේ අයයි, පවුලේ අයයි දෙවියන්ට ගරුබිය පෙන්නන නිසාවත් එහෙම කරන්න කියලා එයාලා අපිට දිරිගන්වන නිසාවත් නෙවෙයි. ඒකට පියවර ගන්න ඕනෙ අපිමයි. අපි දිගටම යාච්ඤා කරලා, බයිබලේ අධ්‍යයනය කරලා, කියවන දේ ගැන හොඳට හිතලා දෙවියන් ගැන ගරුබියක් ඇති කරගන්න ඕනේ. එතකොට ගැඹුරට මුල් බැහැපු ශක්තිමත් ගහක් වෙන්න අපිට පුළුවන්.—යෙරෙමියා 17:7, 8 කියවන්න; කොලො. 2:6, 7.

19. යෙහෝවා අපෙන් ඉල්ලන්නේ මොකක්ද?

19 යෙහෝවා දෙවියන් අපෙන් ලොකු ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. ඔහු අපෙන් බලාපොරොත්තු වෙන දේ හරිම ලස්සනට දේශනාකාරයා 12:13 මෙහෙම කියනවා. “සැබෑ දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.” අපි මුළු හදවතින්ම දෙවියන්ට ගරුබිය පෙන්නනවා නම් ඉස්සරහට මොන ප්‍රශ්නෙට, මොන පීඩාවට මුහුණ දුන්නත් අපිත් ඔබදියා සහ යෙහෝයාදා වගේ දිගටම නොසැලී, ස්ථිරව ඉන්නවා. එතකොට යෙහෝවා එක්ක තියෙන අපේ බැඳීමට අතවත් තියන්න කිසිම කෙනෙක්ට, කිසිම දේකට පුළුවන් වෙන්නේ නැහැ.

ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

a බයිබලේ “බය” කියලා පාවිච්චි කරලා තියෙන වචනෙට ගොඩක් තේරුම් තියෙනවා. ඒ ඒ තැනට අනුව ඒ වචනෙන් අනතුරක් එද්දී කෙනෙක්ට දැනෙන බය, ගෞරවය සහ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන හිතද්දී අපිට එන හැඟීම අදහස් වෙන්න පුළුවන්. දෙවියන් ගැන අපේ හිතේ ගරුබියක් තියෙනවා නම් දිගටම ඔහුට ළැදිව ඉන්න, නිර්භීතව සේවේ කරන්න අපි පෙලඹනවා. ඒ ගරුබිය ගැන තමයි අපි මේ ලිපියෙන් බලන්නේ.

b අපි මේ කතා කරන්නේ අනාගතවක්තෘ ඔබදියා ගැන නෙවෙයි. ඔබදියා පොත ලියපු අනාගතවක්තෘ ඔබදියා ජීවත් වුණේ ඊට සියවස් ගාණකට පස්සේ.

c මතෙව් 23:35 කියනවා සෙකරියා “බරකියාගේ පුතා” කියලා. බයිබලේ සඳහන් වෙන තවත් සමහර අයට වගේ යෙහෝයාදාටත් නම් දෙකක් තියෙන්න ඇති කියලා හුඟක් අය හිතනවා. (මතෙ. 9:9; මාක් 2:14) එහෙම නැත්නම් බරකියා සෙකරියාගේ සීයා හරි වෙනත් මුතුන්මිත්තෙක් හරි වෙන්න ඇති.

d පින්තූරේ අදහස: අපේ වැඩ තහනම් කරලා තියෙන රටක ඉන්න සහෝදරයන්ට රහසින් ප්‍රකාශන බෙදලා දෙන විදිහ පෙන්නන රඟ දැක්වීමක්.

e පින්තූරේ අදහස: දුරකතනයෙන් සාක්ෂි දරන විදිහ යෞවනියක් මහලු සහෝදරියකගෙන් ඉගෙනගන්නවා. මහලු සහෝදරයෙක් නිර්භීතව පොදු සේවේ කරනවා. අද්දැකීම් තියෙන සහෝදරයෙක් නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන විදිහ කියලා දෙනවා.