Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 26

දෙවියන්ගේ දවසට ලෑස්ති වෙලා ඉන්න

දෙවියන්ගේ දවසට ලෑස්ති වෙලා ඉන්න

“යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන්නේ හරියටම රාත්‍රියේ පැමිණෙන සොරෙකු මෙනි.”—1 තෙස. 5:2.

ගීතිකාව 143 දිගටම සේවය කරමින් ගැලවීම ලැබෙන තුරු බලා සිටිමු

මේ ලිපියෙන් a

1. දෙවියන්ගේ දවසේදී බේරෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

 “යෙහෝවා දෙවිගේ දවස” කියන්නේ දෙවියන් ඔහුගේ සතුරන්ව විනාශ කරලා ඔහුගේ සෙනඟව ගලවගන්න දවසට. අතීතයේදීත් දෙවියන් ඒ වගේ විනිශ්චයන් කරලා තියෙනවා. (යෙසා. 13:1, 6; එස. 13:5; ශෙප. 1:8) අපේ කාලේදී ඒ දවස පටන්ගන්නේ දේශපාලනයෙන් මහ බැබිලෝනිය විනාශ කරනවාත් එක්කම. ඒක ඉවර වෙන්නේ හර්–මගෙදොන් යුද්ධයෙන්. යේසුස් කිව්වා බේරෙන්න නම් අපි “මහත් පීඩාවට” කල් තියාම ලෑස්ති වෙන එක වගේම ‘දිගටම ලෑස්ති පිට’ ඉන්න එකත් වැදගත් කියලා.—මතෙ. 24:21; ලූක් 12:40.

2. 1 තෙසලෝනික පොත අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

2 තෙසලෝනිකවරුන්ට ලියපු පළවෙනි ලිපියේ පාවුල් දෙවියන්ගේ මහත් දවස ගැන කියන්න උදාහරණ කීපයක්ම පාවිච්චි කළා. හැබැයි පාවුල් දැනන් හිටියා ඒ දවස එයාගේ කාලේදීම එන්නේ නැහැ කියලා. (2 තෙස. 2:1-3) ඒත් ‘ඒක හෙටම එනවා’ කියන හැඟීමෙන් ඉන්න කියලයි එයා උනන්දු කළේ. ඒ උපදෙස අපිටත් අදාළයි. ඒ නිසා අපි මේ පැති තුන බලමු. (1) දෙවියන්ගේ දවස එන්නේ කොහොමද? (2) ඒ දවසෙන් බේරෙන්නේ නැත්තේ කවුද? (3) ඒකට ලෑස්ති වෙන්න අපිට පුළුවන් කොහොමද?

ඒ දවස එන්නේ කොහොමද?

පාවුල් 1 තෙසලෝනික පොත ලියද්දී පාවිච්චි කරපු උදාහරණවලින් අපිටත් ප්‍රයෝජන ගන්න පුළුවන් (3 ඡේදය බලන්න)

3. දෙවියන්ගේ දවස මහ රෑ එන හොරෙක් වගේ කියලා කියන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)

3 “රාත්‍රියේ එන හොරෙක් වගේ.” (1 තෙස. 5:2) යෙහෝවා දෙවියන්ගේ දවස ගැන විස්තර කරද්දී පාවුල් පාවිච්චි කරපු උදාහරණ තුනෙන් පළවෙනි එක තමයි ඒ. අපි දන්නවා හුඟක් වෙලාවට හොරෙක් ගෙදරකට පනින්නේ මහ රෑ ජාමේ, ගෙදර අය හිතන්නේ නැති වෙලාවක කියලා. ඒ වගේම හොරා බලන්නේ ඉක්මනට ඉක්මනට හොරකම් කරගෙන යන්න. යෙහෝවාගේ දවසත් ඒ වගේ. ඒක එන්නෙත් හිතන්නේ නැති වෙලාවක. ඒ කාලේදී ලෝක සිද්ධීන් ඉක්මනට ඉක්මනට වෙනස් වෙන විදිහ දකිද්දී හුඟදෙනෙක් පුදුම වෙයි. කොටින්ම කිව්වොත් අපි වුණත් පුදුම වෙයි. හැබැයි දුෂ්ටයන් විනාශ වුණත් සැබෑ ක්‍රිස්තියානීන් නම් එදාට විනාශ වෙන්නේ නැහැ.

4. යෙහෝවා දෙවිගේ දවස ප්‍රසව වේදනාවකට සමාන කරලා තියෙන්නේ ඇයි?

4 “ගැබිනි මවකට ප්‍රසව වේදනාව ඇති වෙනවා වගේ.” (1 තෙස. 5:3) ප්‍රසව වේදනාව එන්නේ කොයි වෙලාවේද කියලා අම්මා කෙනෙක් හරියටම දන්නේ නැහැ. හැබැයි එයා දන්නවා ඒක අනිවාර්යයෙන්ම එනවා කියලා. ඒක ගොඩක් වේදනාකාරියි. ඒ වේදනාව ඇති වුණාට පස්සේ කිසි කෙනෙක්ට ඒක නවත්තන්නත් බැහැ. යෙහෝවාගේ දවසත් ඒ වගේ. ඒකත් එන්නේ කොයි වෙලේද කියලා කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඒක අනිවාර්යයෙන්ම එනවා. එදාට දුෂ්ටයන් දෙවියන්ගේ අතින් විනාශ වෙන්නේ හදිස්සියේමයි. ඒ විනාශයෙන් පැනලා යන්න කාටවත් බැහැ.

5. මහත් පීඩාව හිරු උදා වෙන එකට සමාන වෙන්නේ කොහොමද?

5 ‘හිරු උදා වෙනවා වගේ.’ පාවුල් තුන්වෙනි උදාහරණෙනුත් කතා කරන්නේ මහ රෑ එන හොරෙක් ගැන. හැබැයි මේ වතාවේ එයා දෙවියන්ගේ දවස සමාන කරන්නේ හොරාට නෙවෙයි හිරු උදා වෙන එකට. (1 තෙස. 5:4) සමහර හොරු ඉන්නවා හොරකම් කරන්න ගත්තාම එළි වෙන කල්ම දන්නේ නැහැ. ඒ නිසා එයාලා අහු වෙනවා. මහත් පීඩාවේදීත් වෙන්නේ ඒ වගේම දෙයක්. සමහරු හැංගි හැංගි දෙවියන් අකමැති දේවල් දිගින් දිගටම කරනවා. හැබැයි මහත් පීඩාවේදී එයාලාගේ හොර වැඩ ඔක්කොම එළි වෙනවා. අපි කවුරුත් ආස නැහැ එයාලා වගේ වෙන්න. ඒ නිසා දුෂ්ට දේවල් අපේ ජීවිතෙන් දුරස් කරලා “හැම පැත්තකින්ම යහපත්කම, ධර්මිෂ්ඨකම සහ නිර්දෝෂකම” ළං කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ. (එෆී. 5:8-12) පාවුල් ඊළඟට දෙවියන්ගේ දවසේදී බේරෙන්නේ නැති අයව විස්තර කරන්න උදාහරණ දෙකක් පාවිච්චි කරනවා.

බේරෙන්නේ නැත්තේ කවුද?

6. ගොඩක් අය ඉන්නේ නිදාගෙනයි කියලා කියන්නේ ඇයි? (1 තෙසලෝනික 5:6, 7)

6 ‘නිදාගෙන ඉන්න අය.’ (1 තෙසලෝනික 5:6, 7 කියවන්න.) දෙවියන්ගේ දවසේදී බේරෙන්නේ නැති අයව පාවුල් මුලින්ම සමාන කරන්නේ නිදාගෙන ඉන්න අයට. මොකද නිදාගෙන ඉන්න කෙනෙක් වටපිටාවේ මොනවා වුණත් දන්නේ නැහැ. ඒවාට කිසි ප්‍රතිචාරයක් දක්වන්නත් එයාට බැහැ. එයාට කාලේ යනවා තේරෙන්නෙත් නැහැ. අද ඉන්න හුඟක් අයත් ඉන්නේ නින්දක. (රෝම 11:8) අපි ඉන්නේ “අවසාන කාලයේ” කියලත් මහත් පීඩාව අත ළඟයි කියලත් පිළිගන්න කොච්චර සාක්ෂි තිබුණත් එයාලට ගාණක් නැහැ. හැබැයි මුළු ලෝකෙම අවධානය ඇදගන්න විදිහේ සමහර දේවල් වෙද්දී සමහරු ගැස්සිලා ඇහැරෙනවා. අපි දේවරාජ්‍යය ගැන පණිවිඩය කියද්දී එයාලා යාන්තම් ඇස් ඇරලා බලනවා. හැබැයි හුඟදෙනෙක් ආයෙත් නින්දට යනවා. තවත් අය විශ්වාස කරනවා දෙවියන්ගේ දවස එනවා කියලා. හැබැයි එයාලත් හිතන්නේ ‘ඒක වෙන්න තව කාලාන්තරයක් යයි’ කියලා. (2 පේතෘ. 3:3, 4) ඒ කොහොමවුණත් අවදිව ඉන්න එක කොච්චර වැදගත්ද කියලා ගත වෙන දවසක් දවසක් ගාණේ අපි තේරුම් අරන් ඉන්නවා.

7. දෙවියන්ගේ උදහසට ලක් වෙන අය වෙරි මතින් ඉන්න අය වගේ කියලා කියන්නේ ඇයි?

7 “බීමත්කමින් වෙරි වෙලා ඉන්න අය.” දෙවියන්ගේ අතින් විනාශ වෙන අයව පාවුල් මෙතන සමාන කරන්නේ බේබද්දන්ට. බීලා ඉන්න කෙනෙක් ප්‍රතිචාරය දක්වන්නේ හරිම හෙමින්. ඒ වගේම, ගත්තොත් ගන්නේ මෝඩ තීරණ. අද ඉන්න දුෂ්ට මිනිස්සුත් ඒ වගේ. එයාලා ඉන්නේ දෙවියන් දෙන අනතුරු ඇඟවීම් නෑසුණ ගාණට. ඇත්තටම එයාලා කරන්නේ එයාලාගෙම විනාශයට යන පාර කපාගන්න එකයි. හැබැයි බයිබලේ අපිට උනන්දු කරන්නේ අවදිව, සිහිකල්පනාවෙන් ඉන්න කියලා. (1 තෙස. 5:6) එක බයිබල් විශාරදයෙක් මෙහෙම කියනවා. “සිහිකල්පනාව තියෙන කෙනෙක් සන්සුන්. ඒ වගේම ස්ථිරයි. එයාට දේවල් හොඳට කිරලා මැනලා හරි තීරණයක් ගන්න පුළුවන්.” ඒත් ඇයි එහෙම වෙන එක වැදගත්? මොකද එතකොට අපි දේශපාලනික සහ සමාජීය ගැටලුවලට පැටලෙන්නේ නැහැ. අපි දන්නවා දෙවියන්ගේ දවස ළං වෙද්දී පැති ගන්න එන පීඩනය තව වැඩි වෙනවා කියලා. හැබැයි ඒ වගේ වෙලාවට අපි මොනවාද කරන්න ඕනෙ කියලා ඕනෑවට වඩා කනස්සලු වෙන්න ඕනෙ නැහැ. මොකද යෙහෝවා ඔහුගේ බලය දීලා සන්සුන්ව, ස්ථිරව හරි තීරණය ගන්න අපිට උදව් කරනවා.—ලූක් 12:11, 12.

ලෑස්ති වෙන්නේ කොහොමද?

මිනිස්සුන්ට දෙවියන්ගේ දවස ගැන කිසිම තැකීමක් නැහැ. හැබැයි අපි විශ්වාසය, ආදරය කියන ළයවැස්ම සහ බලාපොරොත්තුව කියන හිස්වැස්ම දාගෙන ඒ දවසට ලෑස්ති පිට ඉමු (8, 12 ඡේද බලන්න)

8. අවදිව, සිහිකල්පනාවෙන් ඉන්න අපිට උදව් වෙන ගුණාංග මොනවාද? (1 තෙසලෝනික 5:8) (පින්තූරයත් බලන්න.)

8 ‘ළයවැස්මයි, හිස්වැස්මයි පැළඳගන්න.’ පාවුල් අපිව සමාන කරන්නේ යුද ඇඳුමෙන් සැරසිලා හොඳ සිහිකල්පනාවෙන් ඉන්න සොල්දාදුවන්ට. (1 තෙසලෝනික 5:8 කියවන්න.) යුද්ධයක් තියෙද්දී සොල්දාදුවෙක් ඕනම වෙලාවක සටන් කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අපිත් ආදරය සහ විශ්වාසය කියන ළයවැස්මයි, බලාපොරොත්තුව කියන හිස්වැස්මයි දාගෙන දෙවියන්ගේ දවස එන කල් ලෑස්ති පිට ඉන්න ඕනේ. මොකද ඒකට මුහුණ දෙන්න ඒ ගුණාංග නැතුවම බැහැ.

9. විශ්වාසය අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

9 ළයවැස්මකින් සොල්දාදුවෙක්ගේ හදවත ආරක්ෂා වෙනවා. ඒ වගේ, විශ්වාසයට සහ ආදරයට පුළුවන් අපේ හිත ආරක්ෂා කරන්න. ඇත්තටම අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් අපි දන්නවා යෙහෝවා වෙනුවෙන් දරන මහන්සියට ඔහු අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා. (හෙබ්‍රෙ. 11:6) අනිත් අතට මොන ප්‍රශ්න ආවත් දිගටම අපේ නායකයා වන යේසුස්ට ළැදිව ඉන්නත් ඒ විශ්වාසය උදව් වෙනවා. ඒත් ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්නේ කොහොමද? ඒකට පීඩා, විරුද්ධවාදිකම් සහ ආර්ථික ප්‍රශ්න මැද දිගටම විශ්වාසවන්තව ඉන්න සහෝදරයන්ගේ ආදර්ශය උදව් වෙනවා. ඒ වගේම දේවරාජ්‍යයට මුල් තැන දෙන්න ඕනෙ නිසා සරල ජීවිතයක් ගත කරන අයවත් අමතක කරන්න බැහැ. b මොකද ධන සම්පත් පස්සේ යන උගුලට අහු නොවී ඉන්න එයාලාගේ ආදර්ශයත් ලොකු හයියක්!

10. දිගටම විඳදරාගන්න යෙහෝවාට සහ අසල්වැසියන්ට තියෙන ආදරේ උදව් වෙන්නේ කොහොමද?

10 අවදිව, සිහිකල්පනාවෙන් ඉන්න අපිට නැතුවම බැරි තවත් ගුණාංගයක් තමයි ආදරය. (මතෙ. 22:37-39) අපේ හිතේ යෙහෝවා ගැන ආදරයක් තියෙනවා නම් මොන දේ වුණත් විඳදරාගෙන අපි දිගටම සේවේ කරනවා. (2 තිමෝ. 1:7, 8) අසල්වැසියා ගැනත් අපේ හිතේ ආදරයක් තියෙනවා. අසල්වැසියා කියද්දී ඒකට අපේ සභාවට පවරලා තියෙන ප්‍රදේශයේ ඉන්න හැම කෙනෙක්මත් ඇතුළත්. එයාලට තියෙන ආදරේ නිසා තමයි අපි මොන විදිහකින් හරි ඒ කියන්නේ ලිපිවලින්, දුරකතනයෙන් හරි එයාලට ශුභාරංචිය කියන්න උත්සාහ කරන්නේ. කවදා හරි දවසක එයාලත් ජීවිතේ වෙනස් කරගෙන හරි දේ කරයි කියලා අපි බලාගෙන ඉන්නවා.—එස. 18:27, 28.

11. සහෝදර සහෝදරියන් ගැන තියෙන ආදරේ අපිට උදව් වෙන්නේ කොහොමද? (1 තෙසලෝනික 5:11)

11 අසල්වැසියා කියද්දී අපේ සහෝදර සහෝදරියනුත් ඒකට ඇතුළත්. එයාලටත් අපි ආදරෙයි. ඒ නිසා තමයි “එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න” අපි පුළුවන් හැම දේම කරන්නේ. (1 තෙසලෝනික 5:11 කියවන්න.) හරියට උරෙන් උර ගැටිලා එකට සටන් වදින සොල්දාදුවන් වගේ. සමහර වෙලාවට සොල්දාදුවෙක් අතින් අත්වැරදීමකින් එයාගේ එහා පැත්තේ ඉන්න යාළුවාට තුවාල වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් එයා ඒක හිතාමතාම කරන්නේ නැහැ. ඒ වගේ අපිත් හිතාමතාම අපේ සහෝදරයන්ව රිද්දන්නේ නැහැ. බැරි වෙලාවත් තව කෙනෙක් කරපු කියපු දෙයක් නිසා අපේ හිත රිදුණත් අපි එකට එක කරන්නේ නැහැ. (1 තෙස. 5:13, 15) අපේ ආදරේ ලබන්න වටින තව කට්ටියක් තමයි පෙරමුණ ගන්න සහෝදරයන්. එයාලට තියෙන ආදරේ අපිව පොලඹවනවා එයාලට ගෞරවයෙන් සලකන්න. (1 තෙස. 5:12) තෙසලෝනික සභාව ගැන හිතන්න. පාවුල් එයාලට පළවෙනි ලිපිය ලියද්දී ඒ සභාව පිහිටුවලා අවුරුද්දක්වත් ගිහින් තිබුණේ නැහැ. ඉතින් පේන විදිහට ඒ සභාවේ හිටපු පෙරමුණ ගන්න සහෝදරයොත් එච්චර අද්දැකීම් තිබ්බ අය නෙවෙයි. ඒ නිසා එයාලාගේ අතිනුත් අඩුපාඩුකම් වෙන්න ඇති. හැබැයි එයාලත් ගෞරවය ලබන්න වටිනවා. අපි මහත් පීඩාවට ළං වෙද්දී අපේ වැඩිමහල්ලන් දෙන මඟ පෙන්වීම්වලට ඇහුම්කන් දෙන එක අදටත් වඩා වැදගත්. මොකද එදාට ලෝක මූලස්ථානයෙන්, ශාඛා කාර්යාලයෙන් කෙළින්ම මඟ පෙන්වීම් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපේ වැඩිමහල්ලන්ට ආදරය, ගෞරවය පෙන්නන්න අපි දැන් ඉඳන්ම ඉගෙනගන්න ඕනේ. අපි අවධානය දෙන්න ඕනෙ ඒ සහෝදරයන්ගේ අතින් වෙන අඩුපාඩුකම්වලට නෙවෙයි. ඒ වෙනුවට යේසුස්ගේ නායකත්වයෙන් මේ විශ්වාසවන්ත පුරුෂයන්ව පාවිච්චි කරන්නේ යෙහෝවා දෙවියන් කියලා අපි මතක තියාගන්න ඕනේ.

12. බලාපොරොත්තුව අපේ සිතුවිලි ආරක්ෂා කරන්නේ කොහොමද?

12 හිස්වැස්මකින් සොල්දාදුවෙක්ගේ ඔළුව ආරක්ෂා වෙනවා. ඒ වගේ, ගැලවීම ගැන තියෙන බලාපොරොත්තුව අපේ සිතුවිලි ආරක්ෂා කරනවා. අපේ බලාපොරොත්තුව ශක්තිමත් නම් මේ ලෝකේ ඉදිරිපත් කරන දේවල් කොච්චර පුහුද කියලා අපි තේරුම්ගන්නවා. (ෆිලි. 3:8) ඒ වගේම මොනවා වුණත් සන්සුන්ව, ස්ථිරව ඉන්නත් බලාපොරොත්තුව අපිට උදව් වෙනවා. ඒක තේරුම්ගන්න අප්‍රිකාවේ සේවේ කරන සහෝදර වොලස් සහ සහෝදරි ලොරින්ඩාගේ අද්දැකීම බලන්න. සති තුනක් ඇතුළත ලොරින්ඩාගේ අම්මායි, වොලස්ගේ තාත්තායි නැති වුණා. ඒත් කොරෝනා වසංගතය නිසා එයාලට පවුලේ අය ළඟ ඉන්නත් බැරි වුණා. බලන්න වොලස් කියන දේ. “මං හිතුවේ එයාලා මැරෙන්න කලින් ගත කරපු අන්තිම දවස් කීපය ගැන නෙවෙයි. නැවත නැඟිට්ටාට පස්සේ පාරාදීසේදී ගත කරන මුල්ම දවස් කීපය ගැන. ඇත්තටම නැවත නැඟිටීමේ බලාපොරොත්තුව තමයි මාව සැනසුවේ.”

13. දෙවිගේ බලය ලබාගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

13 ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන එකට බාධා වෙන්න දෙන්න එපා.’ (1 තෙස. 5:19, පාදසටහන) පාවුල් දෙවිගේ බලය අපි තුළ ඇවිළෙන ගින්නකට සමාන කළා. ඒ ගින්න ඇවිළෙද්දී හරි දේ කරන්න, යෙහෝවාට උපරිමය කරන්න අපිට ලොකු උද්‍යෝගයක් ඇති වෙනවා. (රෝම 12:11) ඒත් දෙවිගේ බලය ලබාගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? ඒකට යාච්ඤා කරන එක, බයිබලේ අධ්‍යයනය කරන එක සහ ඔහුගේ සංවිධානයට ළං වෙලා ඉන්න එක උදව් වෙනවා. අපි ඒ දේවල් කරද්දී ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග’ වර්ධනය කරගන්නත් අපිට පුළුවන්.—ගලා. 5:22, 23.

මට දෙවිගේ බලය දිගටම ලබාගන්න ඕනෙ කියලා මං වැඩ කරන විදිහෙන් පේනවාද? (14 ඡේදය බලන්න)

14. දිගටම දෙවිගේ බලය ලැබෙන්න නම් අපි ඈත් වෙන්න ඕනෙ මොන දේවල්වලින්ද? (පින්තූරයත් බලන්න.)

14 දෙවියන් බලය දුන්නාට පස්සේ ඒ ‘බලය ක්‍රියාත්මක වෙන එකට බාධා වෙන්න’ අපි කිසිම දේකට ඉඩ දෙන්න හොඳ නැහැ. මොකද ඔහු බලය දෙන්නේ හදවතින් සහ ක්‍රියාවෙන් පිරිසිදුව ඉන්න අයට. වැරදි දේවල් ගැන හිතහිත දිගින් දිගටම ඒ දේවල් කරන අයට ඔහු කීයටවත් බලය දෙන්නේ නැහැ. (1 තෙස. 4:7, 8) ඒ වගේම අපි ඔහුගේ බලය දිගටම ලබාගන්න නම් ‘අනාවැකි කීම් හෙළා දකින්නේ නැතුව’ ඉන්නත් ඕනේ. (1 තෙස. 5:20) ඒත් “අනාවැකි කීම්” කියන්නේ මොනවාද? ඒකට දෙවියන්ගේ දවස ගැන සහ ඒක කොච්චර ළඟද කියන එක ගැන ලැබෙන මඟ පෙන්වීම් ඇතුළත්. ඒවා ලැබෙන්නේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන්. ඒ නිසා අපි කවදාවත් ‘හර්–මගෙදොන් දැන්මම නං එන එකක් නෑ’ කියලා හිතලා ඒක මනසින් ඇතට ඈතට තල්ලු කරලා දාන්න හොඳ නැහැ. ඒ වෙනුවට ඒ දවස හිතනවාටත් වඩා ඉක්මනින් එනවා කියලා අපි මතක තියාගන්න ඕනේ. ඒ වගේම ‘දෙවියන්ට තියෙන භක්තිය අපේ ක්‍රියාවලින් පෙන්නන්න’ අපි මහන්සි වෙන්නත් ඕනේ.—2 පේතෘ. 3:11, 12.

“සෑම දෙයක්ම සෝදිසි කර බලන්න”

15. නොමඟ යවන තොරතුරුවලට, භූතයන් පතුරුවන දේවල්වලට රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද? (1 තෙසලෝනික 5:21)

15 ළඟදීම දෙවියන්ගේ සතුරන් “සාමය සහ සුරක්ෂිතභාවය” උදා වෙලා කියලා මොකක් හරි විදිහකින් ප්‍රකාශයක් කරයි. (1 තෙස. 5:3) භූතයන්ගෙන් ලැබෙන ඒ පණිවිඩයට හුඟදෙනෙක් රැවටෙනවා. (එළි. 16:13, 14) එතකොට අපි? “හැම දෙයක්ම සෝදිසි කරලා බලලා යහපත් දේ අඳුරගන්න” නිසා අපි නම් ඒකට රැවටෙන්නේ නැහැ. (1 තෙසලෝනික 5:21 කියවන්න.) “සෝදිසි කර බලන්න” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුම රත්තරන්, රිදී වගේ වටිනා ලෝහ පරීක්ෂා කරලා බලනවා කියන අදහස දෙන්න පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපිත් ඇහැට පේන, කනට ඇහෙන හැම දේම ඔහේ විශ්වාස කරන්න හොඳ නැහැ. ඒ වෙනුවට ඒවා බයිබලෙන් සහ සංවිධානයෙන් දෙන තොරතුරුවලට එකඟද කියලා හොඳට පරීක්ෂා කරන්න ඕනේ. එතකොට භූතයන් පතුරුවන බොරු පණිවිඩවලින්, මිනිස්සුන්ගේ රැවටිලිකාර කතාවලින් අපි නොමඟ යන්නේ නැහැ. (හිතෝ. 14:15; 1 තිමෝ. 4:1) හිතන්න, පාවුල් දීපු උපදෙස තෙසලෝනිකවරුන්ට වැදගත් වුණා නම් මහත් පීඩාව අද්දර ඉන්න අපිට ඒක ඊටත් වඩා කොච්චර වැදගත්ද!

16. අපිට තියෙන ස්ථිර බලාපොරොත්තුව මොකක්ද? අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

16 අපි දන්නවා සෙනඟක් විදිහට අපි අනිවාර්යයෙන්ම මහත් පීඩාවෙන් බේරෙනවා. හැබැයි අපි එක් එක් කෙනාට වෙන දේ ගැන අපි හරියටම දන්නේ නැහැ. (යාකො. 4:14) මහත් පීඩාව එද්දී අපි ජීවතුන් අතර හිටියත් ඊට කලින් මැරුණත් අපි දෙවියන්ට විශ්වාසවන්තව හිටියොත් අපිට සදාකාල ජීවිතය කියන තෑග්ග ලැබෙනවා. අභිෂේක ලත් අයට ඒක ලැබෙන්නේ ස්වර්ගයේ. වෙනත් බැටළුවන්ට ඒක ලැබෙන්නේ මේ පොළොවේ. අපිට ඒ දෙකෙන් මොන තෑග්ග ලැබුණත් අපි දිගටම බලාපොරොත්තුව හිතේ දල්වාගෙන යෙහෝවාගේ දවස එන කල් ලෑස්ති පිට ඉමු!

ගීතිකාව 150 ගැලවීම දෙවිගෙන් වේ

a ළඟ ළඟම එන යෙහෝවා දෙවියන්ගේ දවස ගැන විස්තර කරන්න 1 තෙසලෝනික 5වෙනි පරිච්ඡේදයේ උදාහරණ කීපයක්ම පාවිච්චි කරලා තියෙනවා. ඒත් ඇත්තටම දෙවියන්ගේ “දවස” කියන්නේ මොකක්ද? ඒක එන්නේ කොහොමද? ඒකෙන් බේරෙන්නේ කවුද, බේරෙන්නේ නැත්තේ කවුද? ඒ දවසට ලෑස්ති වෙලා ඉන්න අපිට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

bඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා” කියන ලිපි මාලාව බලන්න.