Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

යෙහෝවා මාව පුදුම කළා

යෙහෝවා මාව පුදුම කළා

පුංචි කාලේ ප්ලේන් එකක් යද්දී මං ඕක දිහා කට ඇරන් බලන් ඉන්නවා. මං චූටි කාලේ ඉඳන්ම ආසයි ප්ලේන් එකේ යන්න. හැබැයි ඒ කාලේ ඒක හීනයක් විතරයි.

දෙවෙනි ලෝක යුද්ධ කාලේ අපේ අම්මලා එස්තෝනියාවෙන් ජර්මනියට ආවා. මං ඉපදුණාට පස්සේ එයාලා කැනඩාවට ගියා. එහේ අපි හිටියේ කුකුල් කොටුවක මායිමට වෙන්න තිබුණ සුදු හුණු ගාපු පුංචි ගේක. ඒ කාලේ අපි හරි දුප්පත්. හැබැයි උදේට කන්න බිත්තර නම් තිබ්බා.

දවසක් සාක්ෂිකරුවෝ ඇවිත් අම්මාට එළිදරව් 21:3, 4 පෙන්නුවා. ඒක අහලා අම්මාගේ ඇස්වලට කඳුළු ආවා. ඊටපස්සේ සත්‍යය කියන බීජය ටික ටික වැඩෙන්න පටන්ගත්තා. අම්මායි, අප්පච්චියි ඉක්මනට බව්තීස්මත් වුණා.

අපේ අම්මලාට එච්චර ඉංග්‍රීසි බෑ. හැබැයි එයාලට යෙහෝවා ගැන පුදුම ආදරයක් තිබ්බා. ඒ ආදරේ තමයි මගේ හයිය වුණේ. අප්පච්චි වැඩ කළේ සුදු යකඩ වැඩපොළක. රෑ එළි වෙන කල් වැඩ කළත් සෙනසුරාදා උදේට එයා මාවයි, නංගිවයි සේවේ එක්ක යන්න වරද්දන්නේ නෑ. ඉස්සර අපි පවුලක් විදිහට හැම සතියකම ‘මුරටැඹට’ ලෑස්ති වුණා. අම්මලා මගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න නොකරපු දෙයක් නෑ. ඒ නිසා 1956දී ඒ කියන්නේ මට අවුරුදු 10දී මං බව්තීස්ම වුණා.

ඉස්කෝලෙන් අස් වුණාට පස්සේ මට හිතුණා මං පුරෝගාමි පටන්ගත්තොත් සල්ලි හම්බ කරලා රටවල්වලට යන්න මට බැරි වෙයි කියලා. ඒ නිසා මං ගුවන්විදුලි නාලිකාවක රස්සාවකට ගියා. මං ඒකට ගොඩක් ආසයි. හැබැයි සමහර දවස්වලට හවසත් වැඩ නිසා මං රැස්වීම් ගියේ නෑ. ඒ කාලේ මං වැඩියෙන්ම ආශ්‍රය කළේ ලෝකේ අයව. ඔහොම කාලයක් යද්දී මට හිතුණා ‘මං මේ යන පාර හරිද’ කියලා. ඒ නිසා මං වෙනස් වුණා.

ඊටපස්සේ මං ඔන්ටාරියෝවල ඕෂවාවලට ගියා. එහෙදී මට රේ නෝමන්වයි, එයාගේ නංගි ලෙස්ලිවයි, තව පුරෝගාමීන් කීපදෙනෙක්වයි හම්බ වුණා. එයාලා සතුටින් සේවේ කරන විදිහ දැකලා මං මගේ ඉලක්ක ගැන ආයෙත් හිතුවා. ඒගොල්ලෝ මට නිතරම කිව්වා පුරෝගාමි කරන්න කියලා. ඉතිං 1966 සැප්තැම්බර්වල මං පුරෝගාමි පටන්ගත්තා. හැබැයි වැඩි දවසක් යන්න කලින් යෙහෝවා මං හිතපු නැති විදිහට මාව පුදුම කරයි කියලා මං දැනන් හිටියේ නෑ.

යෙහෝවා කියනවා නම් කරලා බලමු

ඉස්කෝලේ යන කාලෙම මං බෙතෙල් ෆෝම් එක දැම්මා. පස්සේ පුරෝගාමි කරද්දී බෙතෙල් එකෙන් මට එන්න කිව්වා. හැබැයි ඔය දවස්වල තමයි ලෙස්ලිට මගේ හිත ගිහින් තිබුණේ. ඒ නිසා මට බය හිතුණා බෙතෙල් ගියොත් මට එයාව ආයේ දකින්න බැරි වෙයිද කියලා. හැබැයි මං ඒ ගැන යාච්ඤා කරලා කරලා අන්තිමට අමාරුවෙන් හරි ලෙස්ලිට සමු දුන්නා.

මං බෙතෙල් එකේ ලොන්ඩ්‍රියෙයි, ඔෆිස්වලයි වැඩ කළා. ඔය කාලෙම ලෙස්ලි ක්විබෙක්වල විශේෂ පුරෝගාමි කළා. ඔය දවස්වල මගේ ඔළුවේ දුවන්නේ ‘ලෙස්ලි මොනා කරනවා ඇද්ද? මං ගත්තේ හරි තීරණේද’ කියන එක තමයි. හැබැයි පස්සේ මං හීනෙකින්වත් හිතපු නැති දෙයක් වුණා. ලෙස්ලිගේ අයියා රේත් බෙතෙල් ආවා. දන්නවාද එයාව දැම්මේ කාගේ කාමරේටද කියලා? මගේ එකට තමයි. ඒ නිසා ඉතිං මං ආයේ ලෙස්ලි එක්ක කතා කරන්න පටන්ගත්තා. ඊට අවුරුදු හතරකට පස්සේ මගේ පැවරුම ඉවර වෙච්ච දවසෙම ඒ කියන්නේ 1971 පෙබරවාරි 27වෙනිදා අපි කසාද බැන්දා.

1975දී චාරිකා සේවේ පටන්ගත්තා

ලෙස්ලිටයි, මටයි ක්විබෙක්වල ප්‍රංශ භාෂාව කතා කරන සභාවක පැවරුමක් ලැබුණා. අවුරුදු කීපයකට පස්සේ යෙහෝවා ආයෙත් මාව පුදුම කළා. මට චාරිකා සේවේ කරන්න ආරාධනාවක් ලැබුණා. ඒ වෙද්දී මට 28යි, අනික අද්දැකීමුත් නෑ. ඒ නිසා මට ලොකු බයක් දැනුණා. හැබැයි යෙරෙමියා 1:7, 8 තියෙන වචන තමයි මට ශක්තියක් වුණේ. ඒත් ඒ පැවරුම භාරගන්නවාද නැද්ද කියලා මං දෙගිඩියාවෙන් හිටියේ. මොකද ලෙස්ලි වාහනවල යද්දී කීප වතාවක්ම ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. එයාට නින්ද යන්නේ නැති ප්‍රශ්නෙකුත් තිබ්බා. ඉතින් මං හිතුවා මේකත් එක්ක කොහොමද චාරිකා යන්නේ කියලා. ඒත් ලෙස්ලි කිව්වා “යෙහෝවා අපිට දෙයක් කියනවා නම් ඇයි නොකර ඉන්නේ, කරලා බලමු” කියලා. අන්තිමට අපි ඒ පැවරුම භාරගත්තා. දන්නෙම නැතුව අවුරුදු 17ක්ම ගියා.

චාරිකා සේවේ කියන්නේ ඉතිං වැඩම තමයි. සමහර වෙලාවට මං ලෙස්ලිටවත් වෙලාව දුන්නේ නෑ. දවසක් උදේ කවුරු හරි ගෙදර බෙල් එක ගැහුවා. ගිහින් බලද්දී කවුරුත් නෑ. ඒත් එතන පොඩි බාස්කට් එකක මේස රෙද්දකුයි, පළතුරුයි, චීසුයි, පානුයි, වයින් බෝතලේකුයි, වීදුරුයි තිබ්බා. ඒත් එක්කම පොඩි කොළේක “නෝනාවත් එක්කං ලස්සන තැනකට යන්න” කියලා ලියලත් තිබ්බා. එදා හොඳට ඉර පායපු ලස්සන දවසක්. හැබැයි මං ලෙස්ලි ගාවට ගිහින් කිව්වා “සොරි ලෙස්ලි, මට අද දේශන වගයක් තියෙනවා ලෑස්ති වෙන්න. ඒ නිසා අද යන්න වෙන්නේ නෑ” කියලා. ලෙස්ලි මාව තේරුම්ගත්තා. ඒත් එයාගේ මූණේ පොඩි දුකක් තිබ්බා. පස්සේ මං වැඩ පටන්ගන්න යද්දී මගේ හිත ගොඩක් වධ දෙන්න පටන්ගත්තා. මට එෆීස 5:25, 28 මතක් වුණා. මට හිතුණා ‘මං මගේ නෝනාගේ සතුට ගැන සැලකිලිමත් වෙන එක යෙහෝවා මගෙන් බලාපොරොත්තු වෙනවා නේද’ කියලා. පස්සේ මං යාච්ඤා කරලා ලෙස්ලිට කිව්වා “අපි යමු” කියලා. ඒක අහලා එයාගේ මූණට පුදුම එළියක් වැටුණේ. ඉතින් අපි දෙන්නා කෑම ටිකත් අරන් ගඟක් අයිනට ගිහින් දවස ගත කළා. ඒක නං අමතක වෙන්නේ නැති දවසක්. පස්සේ ඇවිත් දේශන ටිකත් ලෑස්ති වුණා.

අපි බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ඉඳන් නිව්ෆවුන්ඩ්ලන්තය වෙන කල්ම චාරිකා ගියා. ඔය විදිහට ප්ලේන් එකේ යන්න මට තිබුණ හීනේ හැබෑ වුණා. ඔය කාලේ මං නිතරම හිතුවා ගිලියද් යන එක ගැන. හැබැයි රට රටවල්වලට ගිහින් මිෂනාරි කරන්න මගේ හිතේ වැඩි කැමැත්තක් තිබ්බේ නෑ. මොකද මට හිතුණේ මිෂනාරිවරු කියන්නේ හරිම විශේෂ කට්ටියක්, මං ඒ වගේ පැවරුමකට සුදුසු නෑ කියලා. අනික මට බය හිතුණා මාව අප්‍රිකාවට යවයි කියලා. මොකද ඒ කාලේ එහේ එක එක ලෙඩ තිබ්බා. යුද්දෙත් තිබ්බා. ඉතින් මට හිතුණා මට මෙහේ හොඳයි කියලා.

තවත් පුදුම හිතෙන ආරාධනයක්!

බෝල්ටික් රටවල්වල සේවේ කරමින්

සෝවියට් සංගමය බිඳ වැටුණාට පස්සේ 1992දී අපෙන් ඇහුවා එස්තෝනියාවේ මිෂනාරි සේවේ කරන්න කැමතිද කියලා. ඒක ඇහුවාම අපිට පුදුම හිතුණා. අපි ඒ ගැන සෑහෙන්න යාච්ඤා කළා. අපි ආයෙත් හිතුවා ‘යෙහෝවා දෙයක් කියනවා නං ඇයි නොකර ඉන්නේ, කරලා බලමු’ කියලා. අපිට හිතුණා ‘කමක් නෑ, අප්‍රිකාවට නෙවෙයිනේ යන්න කිව්වේ’ කියලා.

එහෙදී අපිට එස්තෝනියා භාෂාව ඉගෙනගන්න වුණා. මාස කීපයකට පස්සේ අපි චාරිකාත් ගියා. ඒ නිසා රුසියාවේ ක්ලිනින්ග්‍රෑඩ්වල සහ එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව කියන බෝල්ටික් රටවල්වල සභා 46කටයි, කණ්ඩායම් කීපයකටයි අපි ගියා. ලැට්වියා, ලිතුවේනියා භාෂා සහ රුසියානු භාෂාව ඉගෙනගන්න අපිට ලේසි වුණේ නෑ. හැබැයි සහෝදරයෝ සෑහෙන්න උදව් කළා. 1999දී එස්තෝනියාවේ බෙතෙල් එකක් හැදුවා. ඒ නිසා සහෝදර ටූමස් එඩූර්, ලෙම්බිට් රයිල් සහ ටොමි කවුකෝ එක්ක මටත් අවස්ථාව ලැබුණා ශාඛා කමිටුවේ සේවේ කරන්න.

වම: ලිතුවේනියාවේ සමුළුවක දේශනයක් දෙමින්

දකුණ: 1999දී එස්තෝනියාවේ අලුත් ශාඛා කමිටුව

සයිබීරියාවට පිටුවහල් කරපු හුඟක් සහෝදරයන්ව අපිට හම්බ වුණා. එයාලා සෑහෙන්න කටුක දේවල්වලට මුහුණ දීපු අය. සමහරු පවුලේ අයගෙන් වෙන් වෙලා කාලයක් හිරේ හිටියා. හැබැයි එයාලා තරහක් හිතේ තියාගෙන කලකිරිලා හිටියේ නෑ. ඒ වෙනුවට දිගටම සතුටින් සේවේ කළා. එයාලාගෙන් මං ඉගෙනගත්තා මොන අමාරුකම ආවත් අපි කවදාවත් සතුට නැති කරගන්න නරකයි කියලා.

අපි එක දිගට වැඩ කළා මිසක් එහෙමටයි කියලා නිවාඩුවක් ගත්තේ නෑ. ඒ නිසා ලෙස්ලිට ලොකු තෙහෙට්ටුවක් දැනෙන්න ගත්තා. අපි පස්සේ තමයි දැනගත්තේ එයාට ෆයිබ්‍රොමයිඇල්ජියා කියන ලෙඩේ තියෙනවා කියලා. ඒ නිසා කැනඩාවට යන්න වෙයිද කියලා අපි හිතහිත හිටියේ. ඔය කාලේදීම තමයි පැටර්සන්වල ශාඛා කමිටු සාමාජිකයන් සඳහා පාසැලට අපිට ආරාධනාවක් ලැබුණේ. අපි ඒ ගැන ගොඩක් යාච්ඤා කරලා ඒකත් භාරගත්තා. අපේ තීරණේට දෙවියන් ආශීර්වාද කළා. ඇත්තටම එහෙදී තමයි ලෙස්ලිට හරියටම බෙහෙත් කරගන්න පුළුවන් වුණේ. ඊටපස්සේ අපි ආයේ සාමාන්‍ය විදිහට සේවේ කරන් ගියා.

තවත් මහද්වීපයක තවත් පුදුමයක්!

2008දී දවසක් ලෝක මූලස්ථානයෙන් මට කතා කරලා ඇහුවා “කොංගෝවලට යන්න කැමතිද” කියලා. ඒක අහලා මාව උඩ ගියා. එයාලා කිව්වා ඊළඟ දවසෙම අපේ තීරණේ ගැන කියන්න කියලා. ඒ වෙලාවේ මං ඕක ගැන ලෙස්ලිට කිව්වේ නෑ. මොකද එහෙම වුණොත් එයාට නින්ද යන්නේ නෑනේ. හැබැයි අන්තිමට වුණේ මට නින්ද ගියේ නැති එක. මං මුළු රෑම අප්‍රිකාව ගැන හිතහිත ගොඩක් යාච්ඤා කළා.

ඊළඟ දවසේ වෙච්ච දේ කිව්වාම ලෙස්ලි මට කිව්වා “යෙහෝවානේ අප්‍රිකාවට යන්න කියන්නේ, අපි ගිහින් බලමු. මෙහේ ඉඳන් කොහොමද කියන්නේ ඒකෙන් සතුටක් ලැබෙයිද නැද්ද කියලා.” ඉතිං අවුරුදු 16ක් තිස්සේ හිටපු එස්තෝනියාවට සමු දීලා අපි කොංගෝවලට ආවා. එහේ බෙතෙල් එක තිබුණේ ගස් කොළන්වලින් පිරුණු නිස්කලංක තැනක. ලෙස්ලි කාමරේට ගිය හැටියේ කළේ කැනඩාවෙන් ආපු කාලේ ඉඳන්ම එයා ළඟ තිබුණ පුංචි කාඩ් එකක් පේන තැනක තිබ්බ එක. ඒකේ ලියලා තිබ්බා “පැළ කරන කරන තැන මල් පිපේවා!” කියලා. අප්‍රිකාවේ සහෝදරයන්ව හම්බ වෙද්දී, බයිබල් පාඩම් කරද්දී, මිෂනාරි සේවේ රස බලද්දී හිතුවේවත් නැති සතුටක් අපිට දැනුණා. ඒ වගේම සංවිධානයේ වැඩවලට අපි අප්‍රිකානු රටවල් 13කට විතර ගියා. ඔහොම යද්දී ලස්සන ගුණාංග තියෙන එක එක විදිහේ සහෝදරයන්ව අපිට මුණගැහුණා. අප්‍රිකාව ගැන මගේ හිතේ තිබුණ බය ටිකෙන් ටික මැකිලා ගියා. ඇත්තටම මං දෙවියන්ට ස්තුති කරනවා අපිව එහෙට යැව්වාට.

කොංගෝවල එක එක ජාතියේ කෑම තියෙනවා. එහේ අය කෘමීන්වත් කනවා. මුලදී අපිට හිතුණා අපි නං ඔව්වා කටේවත් තියන්නේ නෑ කියලා. හැබැයි පස්සේ සහෝදරයෝ රස කරකර කනවා දකිද්දී කාලා බලන්න හිතුණා. හොඳ වෙලාවට එහෙම හිතුණේ. කෑවාට පස්සෙනේ තේරුණේ රහ.

එහේ නැගෙනහිරට වෙන්න හුඟක් ගරිල්ලා ප්‍රහාර තිබ්බා. එයාලා කාන්තාවන්ටයි, දරුවන්ටයි ගොඩක් හිරිහැර කළා. ඒ පැතිවල සහෝදරයොත් ගොඩක් දුප්පත්. හැබැයි එයාලට මොන දේ නැති වුණත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව, යෙහෝවා ගැන තිබ්බ ආදරේ, සංවිධානයට තිබ්බ ළැදිකම නැති වුණේ නෑ. එයාලා දිහා බලද්දී අපි ආයෙත් හිතුවා ‘ඇයි අපි ඇත්තටම යෙහෝවාට සේවේ කරන්නේ? විශ්වාසය තව ශක්තිමත් කරගන්න අපිට පුළුවන් කොහොමද’ කියලා. ප්‍රශ්න නිසා සමහර සහෝදරයන්ට ගෙවල් දොරවල්, වගාවන් ඔක්කොම නැති වුණා. ඒවා දකිද්දී හිතෙනවා ‘මේ ලෝකේ වස්තුව රැස් කරගන්න එකට වඩා ස්වර්ගයේ වස්තු රැස් කරගන්න එක කොච්චර වටිනවාද’ කියලා. හැබැයි මොනවා වුණත් අපේ සහෝදරයෝ නෙවෙයි වචනෙකින්වත් කන්කෙඳිරි ගෑවේ. එයාලා ප්‍රශ්න දරාගන්න විදිහ අපේ ප්‍රශ්න දරාගන්න අපිට ලොකු හයියක් වුණා.

වම: අවතැන් වුණ අයට දේශනයක් දෙමින්

දකුණ: කෝංගෝවේ සහෝදරයන්ට බෙහෙත් සහ අවශ්‍ය අනිත් දේවල් ගෙනියනවා

ආසියාවේ රසය

ඊටපස්සේ තවත් පුදුම හිතෙන ආරාධනාවක් ලැබුණා. ඒ හොං කොංවල සේවේ කරන්න. ඒත් අපි හිතුවා මෙච්චර කල් යෙහෝවා අපිත් එක්ක හිටියානේ. ඒ නිසා මේකත් භාරගමු කියලා. ඉතින් 2013දී ඇස්වල කඳුළුත් පුරෝගෙන, ඉස්සරහට මොනවා වෙයිද කියලවත් දන්නේ නැතුව අපි සුන්දර අප්‍රිකාවටයි, එහේ හිටපු යාළුවන්ටයි සමු දුන්නා.

හොං කොං කියන්නේ ජනාකීර්ණ නගරයක්. ඒක අපිට ලොකු වෙනසක්. එහෙත් තිබුණ අභියෝගයක් තමයි චීන භාෂාව ඉගෙනගන්න එක. එහේ සහෝදරයෝ අපිට ආදරෙන් සැලකුවා. එයාලාගේ කෑමත් හරිම රහයි. හොං කොංවල අපේ වැඩකටයුතු ඉක්මන්ටම දියුණු වුණා. ඒත් බලන් ඉද්දී එහේ ඉඩකඩම් ගණන් ගියා. ඒ නිසා පාලක මණ්ඩලය තීරණය කළා එහේ අපේ හුඟක් ඉඩකඩම් විකුණන්න. 2015දී අපි දකුණු කොරියාවට ආවා. මෙහෙත් තිබුණ අභියෝගයක් තමයි භාෂාව. හැබැයි යාළුවෝ නං කියන්නේ “ඔයාලා කියන දේ දැන් වෙනදාට වඩා තේරෙනවා” කියලා.

වම: හොං කොංවල ජීවිතේට සූදානම්

දකුණ: කොරියාවේ ශාඛා කාර්යාලය

ජීවිතේට පාඩම්

අලුත් යාළුවෝ ඇති කරගන්න එක ලේසි නෑ. හැබැයි අපි මුල් වෙලා අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී, එයාලට කෑමකට එන්න කියද්දී ඒක හිතන තරම් අමාරුත් නෑ. ඇත්ත, බැලූ බැල්මට අපි වෙනස්. හැබැයි ආශ්‍රය කරද්දී තමයි තේරෙන්නේ වෙනස්කම්වලට වඩා අපි අතර සමානකම් වැඩියි කියලා. දෙවියන් අපිව නිර්මාණය කරලා තියෙන විදිහ හරිම පුදුමාකාරයි. අපිට පුළුවන් ඕන තරම් දෙනෙක්ට අපේ හදවත විවෘත කරන්න.—2 කොරි. 6:11.

අපි අනිත් අය දිහා බලන්න ඕනෙ යෙහෝවා බලන විදිහට. ඒ වගේම ඔහු අපිට ආදරේ, මඟ පෙන්වීම් ලබා දෙන විදිහ ගැන අපි අවධානෙනුත් ඉන්න ඕනේ. ඇත්ත, ජීවිතේ වැටුණ වෙලාවල් තිබ්බා. අනිත් අය ඇත්තටම අපිට ආදරේද කියලා හිතුණ අවස්ථාත් තිබ්බා. හැබැයි ඒ වගේ වෙලාවට යාළුවෝ එවපු කාඩ්, ලියුම් කියවලා තමයි අපි ශක්තිය ලැබුවේ. ඒ වගේම යෙහෝවා අපිව සනසලා අපේ යාච්ඤාවලට උත්තර දෙන විදිහත් අපි දැක්කා.

මේ අවුරුදු ගාණ පුරාම ලෙස්ලියි, මායි ඉගෙනගත්තා මොන වැඩේ තිබුණත් එකිනෙකාට කාලේ දෙන එකේ වැදගත්කම. අපි තේරුම්ගත්ත තව දෙයක් තමයි අපිට පොඩ්ඩක් වැරදුණාම අප්සට් ගන්නේ නැතුව ඒක අමතක කරලා දාන්න ඕනෙ කියන එක. විශේෂයෙන්ම භාෂාවක් ඉගෙනගද්දී. ඒ වගේම නිදාගන්න කලින් අඩුම ගාණේ එක දෙයක් ගැනවත් දෙවියන්ට ස්තුති කරන්න අපි පුරුදු වුණා.

මං හිතුවේ මට කවදාවත් මිෂනාරි කරන්න බැරි වෙයි කියලා. ඒත් යෙහෝවා උදව්වට ඉන්නවා නං බෑ කියලා දෙයක් නෑ. මට යෙරෙමියා කියපු දෙයක් මතක් වෙනවා. එයා කිව්වා “යෙහෝවා දෙවියනි, ඔබ මාව පුදුමයට පත් කළා” කියලා. (යෙරෙ. 20:7) යෙහෝවා හැම තිස්සේම කළේ මාවත් පුදුමයට පත් කරන එක තමයි. මට හම්බ වුණ හැම පැවරුමක්ම සාර්ථක කරගන්න මගේ පිටිපස්සේ යෙහෝවා වගේම මගේ හෙවණැල්ල වගේ ලෙස්ලිත් හිටියා.

අපි හැම වෙලේම මතක් කරගන්නවා අපි සේවේ කරන්නේ යෙහෝවා වෙනුවෙන් කියලා. ඇත්තටම අද අපි අද්දකින්නේ ඔහුගේ ආශීර්වාදවලින් බිඳුවක් විතරයි. ඉස්සරහට ඔහු “ජීවමාන සියල්ලන්ගේ ආශාව” ඉටු කරන්න ගත්තාම අපි පුදුමයෙනුත් පුදුමයට පත් වෙයි.—ගීතා. 145:16.