Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 25

වැඩිමහල්ලෙනි, ගිඩියොන්ගෙන් ඉගෙනගන්න

වැඩිමහල්ලෙනි, ගිඩියොන්ගෙන් ඉගෙනගන්න

‘ගිඩියොන් ගැන කීමට පටන්ගත්තොත් මට කාලය මදි වෙයි.’—හෙබ්‍රෙ. 11:32.

ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු

මේ ලිපියෙන් a

1. වැඩිමහල්ලන්ට තියෙන්නේ මොන වටිනා අවස්ථාවද? (1 පේතෘස් 5:2)

 යෙහෝවා තමන්ගේ වටිනා බැටළුවන්ව රැකබලා ගන්න භාර දීලා තියෙන්නේ වැඩිමහල්ලන්ට. එයාලත් සහෝදරයන් වෙනුවෙන් සේවේ කරන්න ලැබුණ එක වටිනා අවස්ථාවක් කියලා සලකනවා. ඒ නිසයි එයාලව ‘හොඳින් රැකබලා ගන්න එඬේරුන්’ වෙන්න වැඩිමහල්ලන් පුළුවන් හැම දේම කරන්නේ. (යෙරෙ. 23:4; 1 පේතෘස් 5:2 කියවන්න.) ඇත්තටම අපේ සභාවල ඉන්න ඒ විශ්වාසවන්ත පුරුෂයන් ගැන අපි කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද!

2. සමහර වැඩිමහල්ලන් මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද?

2 වැඩිමහල්ලන්ටත් අභියෝග තියෙනවා. උදාහරණෙකට සභාවක් බලාගද්දී එයාලා ලොකු වැඩ කන්දරාවක් කරනවා. ඇමරිකාවේ වැඩිමහල්ලෙක් වන ටෝනි කියන දේ බලන්න. “කොරෝනා පටන්ගත්ත මුලදී සභාවේ වැඩ, සේවේ වැඩ මං කිසිම සීමාවක් නැතුව භාරගත්තා. එකක් ඉවර කරලා මේ පැත්ත බලද්දී තව එකක්. කොච්චර කළත් ඉවරයක් නෑ. අන්තිමට මගේ බයිබල් කියවීම, පෞද්ගලික අධ්‍යයනය, යාච්ඤාව ටික ටික මඟ ඇරුණා.” කොසෝවෝවල ඉන්න වැඩිමහල්ලෙක් වන ඊලිර්ට තිබුණේ වෙනස්ම අභියෝගයක්. එයා හිටියේ යුද්ධ තිබුණ පැත්තක. බලන්න එයා කියන දේ. “ශාඛා කාර්යාලයෙන් මට පැවරුමක් ලැබුණා යුද්දේ තදටම තියෙන පැතිවල ඉන්න සහෝදරයන්ට උදව් කරන්න කියලා. ඒක ඇහුව ගමන් මට හීන් දාඩිය දැම්මා. ඒ මඟ පෙන්වීම ප්‍රායෝගිකද කියලා මට හිතුණා.” ටිම් කියන්නේ ආසියාවේ මිෂනාරි සේවේ කරන සහෝදරයෙක්. එයාට තිබුණ දහසකුත් වගකීම් නිසා එයාගේ මනසට ලොකු බරක් දැනුණා. එයා කියනවා “දවසින් දවස ඒ බර උහුලගෙන යන්න ලේසි නෑ. මට දැනුණේ තවත් නම් බෑ කියලයි.” ඔයාටත් ඒ වගේ අභියෝග තියෙනවාද?

3. ගිඩියොන්ගේ ආදර්ශය හැමෝටම උදව් වෙන්නේ කොහොමද?

3 වැඩිමහල්ලන්ට ගිඩියොන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. (හෙබ්‍රෙ. 6:12; 11:32) ගිඩියොන් කියන්නේ ගොඩක් අමාරු කාලෙක දෙවියන්ගේ සෙනඟව බලාගත්ත ආදරණීය එඬේරෙක්, එයාලා වෙනුවෙන් සටන් කරපු රණශූරයෙක්. (විනි. 2:16; 1 ලේක. 17:6) අද ඉන්න වැඩිමහල්ලන්ටත් දෙවියන්ගේ සෙනඟව බලාගන්න වෙලා තියෙන්නේ හරිම දරුණු කාලෙක. (ක්‍රියා 20:28; 2 තිමෝ. 3:1) ඒ පැවරුම කරන්න ගිඩියොන්ට වගේ එයාලටත් සීමාව තේරුම්ගන්න එක, නිහතමානිකම, කීකරුකම සහ විඳදරාගැනීම කියන ගුණාංග තියෙන්නම ඕනේ. ඔයා වැඩිමහල්ලෙක් වුණත් නැතත් ගිඩියොන්ගේ ආදර්ශය බලද්දී වැඩිමහල්ලන් ගැන තියෙන අගය තව වැඩි වෙයි. ඒක ඔයාව පොලඹවයි එයාලට උපරිම සහයෝගය දෙන්න.—හෙබ්‍රෙ. 13:17.

සීමාව දැනන් වැඩ කරන එක සහ නිහතමානිකම

4. ගිඩියොන් සීමාව දැනන් වැඩ කරන, නිහතමානී කෙනෙක් කියලා පෙන්නුවේ කොහොමද?

4 ගිඩියොන් සීමාව දැනන් වැඩ කරපු, නිහතමානී කෙනෙක්. b මිදියන්වරුන්ගෙන් ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න දෙවියන් එයාව තමයි තෝරගත්තේ. ඒ ගැන දේවදූතයා එයාට දැනුම් දෙද්දී එයා නිහතමානීව කියපු දේ බලන්න. “අපේ පවුල මනස්සේ ගෝත්‍රයේ කුඩාම පවුලයි. මගේ පියාගේ දරුවන්ගෙන් මම තමයි කුඩාම තැනැත්තා.” (විනි. 6:15) ගිඩියොන්ට දැනුණේ එයා මේක කරන්න වටින්නේ නැහැ කියලා. හැබැයි එයාට වඩා එයා ගැන යෙහෝවා දැනන් හිටියා. දෙවියන්ගේ උදව්වෙන් ගිඩියොන් පැවරුම සාර්ථකව කළා.

5. සීමාව තේරුම් අරන්, නිහතමානීව වැඩ කරන්න අමාරු වෙන්න පුළුවන් මොන අවස්ථාවලදීද?

5 වැඩිමහල්ලන් තමන්ගේ සීමාව තේරුම් අරන්, නිහතමානීව වැඩ කරන්න උපරිමය කරනවා. (මීකා 6:8; ක්‍රියා 20:18, 19) එයාලා කවදාවත් තමන් ගැන මහ ඉහළින් කතා කරන්නේ නැහැ. අනිත් අතට එයාලාගෙම අඩුපාඩුකම් නිසා එයාලාගේ කිසි වටිනාකමක් නැහැ කියලා හිතන්නෙත් නැහැ. හැබැයි වැඩිමහල්ලනුත් සීමාව තේරුම් අරන් වැඩ කරන, නිහතමානී අයද කියලා සෝදිසියට ලක් වෙන අවස්ථා එනවා. හිතන්න, වැඩිමහල්ලෙක් සීමාවක් නැතුව දෙන දෙන හැම වැඩක්ම භාරගන්නවා. අනිත් අතට කෙනෙක් ඇවිත් එයාව වර්ණනා කරනවා. නැත්තම් කවුරු හරි එයාට දොස් කියනවා. ඒ වගේ වෙලාවලදී ගිඩියොන් ආදර්ශයක් වෙන්නේ කොහොමද?

සීමාව තේරුම්ගන්න වැඩිමහල්ලෙක් ජංගම පුවරු ලෑස්ති කරන්න අනිත් අයගේ උදව් ගන්නවා (6 ඡේදය බලන්න)

6. සීමාව තේරුම්ගන්න එක ගැන ගිඩියොන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (පින්තූරයත් බලන්න.)

6 උදව් ඉල්ලන්න. සීමාව තේරුම්ගන්න කෙනෙක් දන්නවා එයාට කරන්න බැරි දේවලුත් තියෙනවා කියලා. ගිඩියොන් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. ඒකයි එයා අනිත් අයගෙන් උදව් ගත්තේ. (විනි. 6:27, 35; 7:24) අවබෝධයෙන් වැඩ කරන වැඩිමහල්ලනුත් ගිඩියොන්ව ආදර්ශයට ගන්නවා. කලින් කතා කරපු ටෝනි කියන දේ බලන්න. “මං පොඩි කාලේ ඉඳන්ම කාටවත් නෑ, බෑ කියන්න කැමති නෑ. හැබැයි මට තේරුණා මං මීට වඩා මගේ සීමාව තේරුම්ගන්න ඕනෙ කියලා. ඒ නිසා පවුලේ නමස්කාරයේදී අපි ඒ ගැන කතා කළා. මං ඒ ගැන නෝනාගෙනුත් ඇහුවා. jw.org එකේ තියෙන ‘යේසුස් වගේ පුහුණු කරන්න, විශ්වාස කරන්න, වගකීම් පවරන්න’ කියන වීඩියෝ එකත් බැලුවා.” ඊටපස්සේ ටෝනි අනිත් අයගෙන් උදව් ගත්තා. එයා මෙහෙම කියනවා. “සභාවේ වැඩත් දැන් ගාණට කෙරීගෙන යනවා. යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් මට දැන් කාලේ තියෙනවා.”

7. කෙනෙක් ඇවිත් දොස් කියද්දී ගිඩියොන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (යාකොබ් 3:13)

7 දොස් කියද්දී කේන්ති ගන්න එපා. සැරයක් එෆ්‍රායිම් ගෝත්‍රයේ අය ගිඩියොන්ට හොඳටම දොස් කිව්වා. (විනි. 8:1-3) ඒ වෙලාවේ ගිඩියොන් හිතුවේ නැහැ ‘එයාලා කොහොමද මට එහෙම කතා කරන්නේ’ කියලා. ඒ වගේම තරහ අරන් එයාලට බැන්නෙත් නැහැ. මොකද එයාගේ අතිනුත් වැරදි වෙනවා කියලා එයා තේරුම්ගත්තා. ඒ නිසා ගිඩියොන් එයාලට හොඳට ඇහුම්කන් දීලා හරිම ඥානවන්ත විදිහට ඒ ප්‍රශ්නේ විසඳුවා. අවබෝධයෙන් වැඩ කරන වැඩිමහල්ලනුත් ඒ වගේ. අනිත් අය එයාලට දොස් කියද්දී එයාලා ගිඩියොන් වගේ හොඳට ඇහුම්කන් දීලා සහෝදරයෝ එක්ක ඉවසීමෙන් වැඩ කරනවා. (යාකොබ් 3:13 කියවන්න.) ඒකෙන් සභාවේ සාමය, එක්සත්කම රැකෙනවා.

8. ප්‍රශංසාව ලැබෙද්දී වැඩිමහල්ලෙක් වැඩ කරන්න ඕනෙ කොහොමද? උදාහරණයක් දෙන්න.

8 ලැබෙන ප්‍රශංසාව යෙහෝවාට දෙන්න. මිදියන්වරුන්ව පරාජය කළාම හුඟක් අය ගිඩියොන්ට ප්‍රශංසා කළා. හැබැයි ලැබුණ ඒ ප්‍රශංසාව තමන් ළඟ තියාගන්නවා වෙනුවට එයා ඒක යෙහෝවාට දුන්නා. (විනි. 8:22, 23) වැඩිමහල්ලන්ටත් පුළුවන් ගිඩියොන් වගේ එයාලට ලැබෙන ප්‍රශංසාව හැම වෙලේම දෙවියන්ට දෙන්න. (1 කොරි. 4:6, 7) හිතන්න, දක්ෂ විදිහට උගන්නපු එක ගැන කෙනෙක් වැඩිමහල්ලෙක්ව අගය කරනවා කියලා. ඒ වෙලාවට වැඩිමහල්ලාට පුළුවන් ඒ කෙනාගේ හිතේ බයිබලේ ගැන, සංවිධානය ගැන අගයක් ඇති කරන්න. මොකද එයා තොරතුරු ගත්තේ බයිබලෙන්. ඒ වගේම දක්ෂ විදිහට ඒ පැවරුම කරන්න පුහුණුව ලැබුණේ සංවිධානයෙන්. අනිත් අතට වැඩිමහල්ලෙක් කල්පනා කරන්න ඕනෙ ‘මං උගන්වන්නේ මට අවධානය ගන්නද නැත්තං දෙවියන්ට අවධානය දෙන්නද’ කියලා. ඒක තේරුම්ගන්න තිමතිගේ අද්දැකීම බලමු. වැඩිමහල්ලෙක් වුණ මුලදී එයා හරිම ආසයි බයිබල් දේශන දෙන්න. බලන්න එයා කියන දේ. “දේශනය පටන්ගන්න විදිහ ගැන, හිත් ඇදගන්න විදිහේ උදාහරණ ගන්න එක ගැන මං ඕනෑවටත් වඩා හිතුවා. ඒ දේශන අහලා සහෝදරයොත් මාව සෑහෙන්න වර්ණනා කළා. හැබැයි මගේ දේශනවල කැපිලා පෙනුණේ බයිබලේවත් යෙහෝවාවවත් නෙවෙයි, මාව.” හැබැයි පස්සේ තිමති තේරුම්ගත්තා එයා උගන්වන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා. (හිතෝ. 27:21) අන්තිමට මොකක්ද වුණේ? එයා මෙහෙම කියනවා. “ගොඩක් අය දැන් කියන්නේ අභියෝගවලට මුහුණ දෙන්න, යෙහෝවාට ළං වෙන්න දේශනය ගොඩක් උදව් වුණා කියලා. ඒවා ඇහුවාම වෙන කවදාවත් දැනුණේ නැති සතුටක් මට දැනෙනවා.”

කීකරුකම සහ ධෛර්යය

දෙවියන් කියපු විදිහටම ගිඩියොන් හමුදාවේ හිටපු ගාණ අඩු කළා. එයා තෝරගත්තේ සෝදිසියෙන් හිටපු 300දෙනාව විතරයි (9 ඡේදය බලන්න)

9. ගිඩියොන්ගේ කීකරුකමයි, ධෛර්යයි සෝදිසියට ලක් වුණේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

9 විනිශ්චයකරුවෙක් වුණාට පස්සේ ගිඩියොන්ගේ කීකරුකම, ධෛර්යය සෝදිසියට ලක් වුණා. යෙහෝවාගෙන් එයාට ලැබුණ පැවරුම හරිම භයානක එකක්. දෙවියන් එයාට කිව්වා තාත්තාගේ බාල් පූජාසනය කඩලා දාන්න කියලා. (විනි. 6:25, 26) ඊටපස්සේ ඔහු දෙසැරයක්ම එයාට කිව්වා හමුදාවේ ඉන්න ගාණ අඩු කරන්න කියලා. (විනි. 7:2-7) අන්තිමේදී මහ රෑ සතුරන්ගේ කඳවුරට ගිහිල්ලා එයාලට විරුද්ධව සටන් කරන්න කියලත් යෙහෝවා කිව්වා.—විනි. 7:9-11.

10. වැඩිමහල්ලන්ගේ කීකරුකම සෝදිසියට ලක් වෙන්න පුළුවන් කොහොමද?

10 වැඩිමහල්ලන් හැම වෙලේම “කීකරු වෙන්න සූදානමින්” ඉන්න ඕනේ. (යාකො. 3:17) ඒ කියන්නේ එයාලා බයිබලෙන්, සංවිධානයෙන් ලැබෙන ඕනම මඟ පෙන්වීමකට කීකරු වෙන්න ලෑස්ති පිට ඉන්න ඕනේ. ඒ වගේ වැඩිමහල්ලෙක් අනිත් අයටත් හොඳ ආදර්ශයක්! හැබැයි එයාගේ කීකරුකමත් සෝදිසියට ලක් වෙන්න පුළුවන්. ඒ කොහොමද? සංවිධානයෙන් එක පිට එක මඟ පෙන්වීම් ලැබෙද්දී, ඒවා ඉක්මනට ඉක්මනට වෙනස් වෙද්දී ඒවාට කීකරු වෙන එක වැඩිමහල්ලෙක්ට ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එයාට හිතෙන්න පුළුවන් ඒ මඟ පෙන්වීම් ඇත්තටම ප්‍රායෝගිකද කියලා. අනිත් අතට වැඩිමහල්ලෙක්ට ලැබෙන සමහර පැවරුම් නිසා එයාගේ නිදහස සීමා වෙන්න වගේම එයා හිරේ විලංගුවේ වුණත් වැටෙන්න ඉඩ තියෙනවා.

11. කීකරු වෙන්න වැඩිමහල්ලන්ට උදව් වෙන්නේ මොකක්ද?

11 මඟ පෙන්වීම්වලට ඇහුම්කන් දීලා ඒවා අදාළ කරගන්න. තාත්තාගේ බාල් පූජාසනය කඩන්නේ කොහොමද, යෙහෝවාට අලුත් පූජාසනයක් හදන්නේ කොහේද, පූජා කරන්නේ මොන සතාවද කියලා දෙවියන් ගිඩියොන්ට පැහැදිලි මඟ පෙන්වීම් දුන්නා. එයා කවදාවත් ඒ මඟ පෙන්වීම් ගැන ප්‍රශ්න කළේ නැහැ. ඒ වෙනුවට ඒවාට ඉක්මනටම කීකරු වුණා. අද ඉන්න වැඩිමහල්ලන්ටත් ලිපි සහ නිවේදන මාර්ගයෙන් සංවිධානය ගොඩක් උපදෙස් දෙනවා. ඒ වගේම ආරක්ෂාව ගැන, දෙවියන් එක්ක තියෙන බැඳීම රැකගන්න විදිහ ගැන ගොඩක් මඟ පෙන්වීමුත් දීලා තියෙනවා. ඒ හැම දේකටම මුළු හදවතින්ම කීකරු වෙන වැඩිමහල්ලන්ට අපි ගොඩක් ආදරෙයි. මොකද එයාලා නිසයි මුළු සභාවක් ප්‍රයෝජන ලබන්නේ.—ගීතා. 119:112.

12. සංවිධානයෙන් වෙනස්කමක් කරද්දී හෙබ්‍රෙව් 13:17 වැඩිමහල්ලන්ට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

12 වෙනස්කම් වෙද්දී වෙනස් වෙන්න. දෙවියන් කියපු දේ අහලා හමුදාවේ ඉන්න ගාණ 99%කටත් වඩා අඩු කරන්න ගිඩියොන්ට සිද්ධ වුණා. (විනි. 7:8) ඒ වෙලාවේ ගිඩියොන් හිතුවාද ‘ඒක හරියන්නේ නෑ. එහෙම කරලා කොහොමද යුද්ධයක් දිනන්නේ’ කියලා? ඒ කොහොමවුණත් එයා ඒ මඟ පෙන්වීමට කීකරු වුණා. අද ඉන්න වැඩිමහල්ලනුත් එහෙමයි. සංවිධානයෙන් යම් වෙනස්කමක් කරද්දී එයාලා ඒක ඉක්මනටම ක්‍රියාත්මක කරනවා. (හෙබ්‍රෙව් 13:17 කියවන්න.) උදාහරණෙකට 2014දී නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා ඉදි කිරීමේ ව්‍යාපෘතිවලට මුදල් පාවිච්චි කරන විදිහේ වෙනසක් කරන්න පාලක මණ්ඩලය තීරණය කළා. (2 කොරි. 8:12-14) ඊටපස්සේ ඒ වගේ ව්‍යාපෘතිවලට මුදල් යට කළේ ලෝක ව්‍යාප්ත සම්මාදම්වලින්. ඒ නිසා සභාවකට නමස්කාර මධ්‍යස්ථානයක් හදන්න යන වියදම දරන්න පුළුවන් වුණත් බැරි වුණත් එයාලට නමස්කාර මධ්‍යස්ථානයක් හම්බ වුණා. ඒක හදන්න ගිය මුදල ණයක් විදිහට ආපහු ගෙවන්න ඕන වුණෙත් නැහැ. ඒ ගැන සහෝදර හෝසේට මුලින්ම දැනුණ විදිහ බලන්න. “ඔය කියන විදිහට කළොත් නං එකක්වත් හදාගන්න වෙන්නේ නෑ. මේ රටවල්වලට ඕක හරියන්නේ නෑ.” එහෙම හිතුණත් ඒ මඟ පෙන්වීමට කීකරු වෙන්න එයාට උදව් වුණේ මොකක්ද? බලන්න එයා කියන දේ. “හිතෝපදේශ 3:5, 6 කියනවා යෙහෝවා ගැන විශ්වාසය තියන්න කියලා. ඉතිං මං ඒක මතක් කරගත්තා. ඇත්තටම ඒ මඟ පෙන්වීමට කීකරු වුණ නිසා ගොඩක් කිංඩම් හෝල් හදන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි වැඩිපුර තියෙන දෙයින් අඩුවත් පිරිමැහුණා. මේක නිසා ලෝකේ පුරාම ඉන්න හැමෝටම නමස්කාර කරන්න ලස්සන තැනක් හම්බ වෙනවා.”

අපේ වැඩ තහනම් කරපු රටක වුණත් ධෛර්යවන්තව සේවේ කරන්න අපිට පුළුවන් (13 ඡේදය බලන්න)

13. (අ) ගිඩියොන්ට තිබ්බ නිසැකකම මොකක්ද? (ආ) වැඩිමහල්ලන්ට ගිඩියොන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

13 ධෛර්යවන්තව යෙහෝවාගේ කැමැත්ත කරන්න. ගිඩියොන්ට ලැබුණ පැවරුම භයානක වුණත් එයා ඒක කළා. (විනි. 9:17) මොකද යෙහෝවා එයාට සහතිකයක් දුන්නා සෙනඟව ආරක්ෂා කරන්න එයාගේ උදව්වට එයා එක්ක ඉන්නවා කියලා. අපේ වැඩ තහනම් කරලා තියෙන පැතිවල ඉන්න වැඩිමහල්ලෝ ගිඩියොන්ව ආදර්ශයට ගන්නවා. එයාලා බය නැතුව රැස්වීම්වලදී, සේවේදී පෙරමුණ අරන් වැඩ කරනවා. ඒ නිසා සමහරවිට එයාලාගේ රස්සාව නැති වෙන්න, එයාලව අත්අඩංගුවට ගන්න, බලධාරීන් ප්‍රශ්න කරන්න එහෙම නැත්නම් දරුණු විදිහට පහර දෙන්න වුණත් පුළුවන්. c මහත් පීඩාව අතරතුරේදී වැඩිමහල්ලන්ට මීටත් වඩා ධෛර්යයක් ඕනෙ වෙයි. මොකද එදාට ප්‍රබල විනිශ්චය පණිවිඩය ගැන, මාගොග් දේශයේ ගොග්ගේ ප්‍රහාරය ගැන සමහරවිට ගොඩක් මඟ පෙන්වීම් ලැබෙයි. ඇත්තටම එදාට, තත්වය මීටත් වඩා භයානකයි.—එස. 38:18; එළි. 16:21.

විඳදරාගැනීම

14. ගිඩියොන්ගේ විඳදරාගැනීම සෝදිසියට ලක් වුණේ කොහොමද?

14 දෙවියන්ගෙන් ලැබුණ පැවරුම ඉටු කරන්න ගිඩියොන්ට ඇඟ වෙහෙසලා වැඩ කරන්න වුණා. උදාහරණෙකට මිදියන්වරුන් එක්ක කරපු සටනේදී එයාට සිද්ධ වුණා මුළු රැයක් පුරාම යෙෂ්‍රෙයෙල් තැනිතලාවේ ඉඳන් යොර්දාන් ගඟ වෙන කල්ම සතුරන්ව ලුහුබඳින්න. එයාලා ගිය පාරත් එළිපෙහෙළි කරපු එකක් නෙවෙයි, කැලෑ පාරක්. (විනි. 7:22) හැබැයි ගිඩියොන් හිතුවාද ‘දැන් යොර්දාන් ගඟ ගාවටම ආවානේ, ඔය ඇති’ කියලා? නැහැ. කොච්චර මහන්සි වෙලා හිටියත් එයායි, එයාත් එක්ක හිටපු 300දෙනායි යොර්දාන් ගඟෙන් එගොඩ වෙලත් දිගටම සතුරන්ව ලුහුබැන්දා. අන්තිමේදී එයාලට පුළුවන් වුණා මිදියන්වරුන්ව යටත් කරගන්න.—විනි. 8:4-12.

15. වැඩිමහල්ලන්ගේ විඳදරාගැනීම සෝදිසියට ලක් වෙන්න පුළුවන් කොහොමද?

15 වැඩිමහල්ලෙක්ට සභාවේ අයව විතරක් නෙවෙයි, පවුලේ අයවත් බලාගන්න ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා කාලෙන් කාලෙට එයාට ලොකු වෙහෙසක් දැනෙන්න පුළුවන්. එයා මානසිකව වැටෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට වැඩිමහල්ලෙක්ට ගිඩියොන්ගේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද?

ප්‍රේමණීය එඬේරුන්, උදව් ඕනෙම වෙලාවේදී සහෝදරයන්ට ශක්තියක් වෙනවා (16-17 ඡේද බලන්න)

16-17. විඳදරාගන්න ගිඩියොන්ට උදව් වුණේ මොකක්ද? වැඩිමහල්ලන්ට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද? (යෙසායා 40:28-31) (පින්තූරයත් බලන්න.)

16 දෙවියන් ශක්තිය දෙනවා කියලා විශ්වාස කරන්න. ගිඩියොන්ට ලොකු විශ්වාසයක් තිබුණා යෙහෝවා අනිවාර්යයෙන්ම එයාට ශක්තිය දෙනවා කියලා. යෙහෝවාත් ඒ විශ්වාසේ කැඩුවේ නැහැ. (විනි. 6:14, 34) සැරයක් ගිඩියොනුයි, එයාගේ කට්ටියයි මිදියන් රජවරු දෙන්නෙක්ව ලුහුබැන්දා. පේන විදිහට ඒ රජවරු ගියේ ඔටුවන්ගේ පිටේ. හැබැයි ගිඩියොන්ලා ගියේ පයින්. (විනි. 8:12, 21) ඒත් යෙහෝවාගේ උදව්වෙන් එයාලා ඒ රජවරුන්ව අල්ලගෙන සටන ජය ගත්තා. වැඩිමහල්ලන්ටත් පුළුවන් හැම වෙලේම දෙවියන් මත රඳා ඉන්න. මොකද ඔහු කවදාවත් “විඩාවට පත් වෙන්නේ නැහැ.” ඒ නිසා යෙහෝවාට පුළුවන් එයාලට ඕන කරන ශක්තිය ඕනම වෙලාවක දෙන්න.—යෙසායා 40:28-31 කියවන්න.

17 අපි දැන් රෝහල් සබඳතා කමිටුවේ සේවේ කරන සහෝදර මැතිව්ගේ අද්දැකීම බලමු. එයා මෙහෙම කියනවා. “සමහර වෙලාවට ලොකු මහන්සියක් දැනෙනවා. තවත් නං බෑ කියලා හිතෙනවා. ඒ වෙලාවට මං යෙහෝවාට ඕනකමින් කියනවා ‘මට ශක්තිය දෙන්න. පැහැදිලිව හිතන්න උදව් කරන්න’ කියලා. මොකද එතකොට මට පුළුවන් මගේ සහෝදරයන්ට උදව් කරන්න. යාච්ඤා කරපු හැම වෙලාවකම ෆිලිප්පි 4:13 තියෙන වචන කොච්චර ඇත්තද කියලා මං අද්දැක්කා. මට දැනුණා යෙහෝවා ඔහුගේ බලය දීලා මාව බලවත් කරන විදිහ.” අදත් වැඩිමහල්ලන් ගිඩියොන් වගේ කොච්චර ප්‍රශ්න තිබුණත් වෙහෙස මහන්සි නොබලා රැළ රැකබලා ගන්නවා. ඇත්ත, එයාලා තේරුම්ගන්න ඕනෙ සමහර දේවල් කරන්න කොච්චර ආස වුණත් එයාලටත් සීමාවක් තියෙනවා කියලා. හැබැයි එයාලා හැම තිස්සේම යෙහෝවා මතම රඳා ඉන්නවා නම් ඔහු එයාලට ශක්තිය නොදී ඉඳියිද?—ගීතා. 116:1; ෆිලි. 2:13.

18. අපි බලපු විදිහට වැඩිමහල්ලන්ට ගිඩියොන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

18 වැඩිමහල්ලන්ට ගිඩියොන්ගෙන් ඉගෙනගන්න හුඟක් දේවල් තියෙනවා කියලා අපි බැලුවා. වගකීම් භාරගද්දී වැඩිමහල්ලන් හැම තිස්සේම සීමාව තේරුම්ගන්න ඕනේ. කෙනෙක් ඇවිල්ලා වර්ණනා කරද්දී එහෙම නැත්නම් දොස් කියද්දී නිහතමානී වෙන්න ඕනේ. ඒ වගේම අවසානයට ළං වෙද්දී එයාලා හැම වෙලේම කීකරුකම, ධෛර්යය පෙන්නන්න ඕනේ. මොන අභියෝගවලට මුහුණ දුන්නත් එයාලට ගිඩියොන් වගේ යෙහෝවා ගැන ලොකු විශ්වාසයක් තියෙන්නත් ඕනේ. යෙහෝවා මත රඳා ඉන්නත් ඕනේ. ඇත්තටම අපිව රැකබලා ගන්න අපේ ආදරණීය එඬේරුන්ව අපි මුළු හදවතින්ම අගය කරනවා. එයාලා ගැන අපේ හිතේ තියෙන්නේ ලොකු ආදරයක් සහ “ගෞරවයක්!”—ෆිලි. 2:29.

ගීතිකාව 120 යේසුස් මෙන් නිහතමානී වෙමු

a යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟව රැකබලා ගන්න, ආරක්ෂා කරන්න ගිඩියොන්ව පත් කළේ ඊශ්‍රායෙල් ඉතිහාසයේ නොසන්සුන්ම කාලෙක. ඒ කොහොමවුණත් ගිඩියොන් අවුරුදු 40ක් පුරා එයාගේ පැවරුම විශ්වාසවන්තව ඉටු කළා. හැබැයි ඒ කාලේ අතරතුර එයාට ගොඩක් අභියෝග ආවා. අපි මේ ලිපියෙන් බලමු අද අභියෝගවලට මුහුණ දෙන වැඩිමහල්ලන්ට ගිඩියොන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා.

b සීමාව තේරුම් අරන් වැඩ කරනවා නම් අපි අපි ගැනම මහ ඉහළින් හිතන්නේ නැහැ. අපිටත් කරන්න බැරි දේවල් තියෙනවා කියලා අපි තේරුම්ගන්නවා. අනිත් අතට අපි නිහතමානියි නම් අපි අනිත් අයට ගෞරව කරනවා. අනිත් අය අපිට වඩා උතුම් කියලා හිතනවා. (ෆිලි. 2:3) එහෙම බලද්දී සීමාව තේරුම් අරන් වැඩ කරන කෙනෙක් නිහතමානියි කියලත් කියන්න පුළුවන්.