Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 28

ඔයා විශ්වාස කරන්නේ සත්‍ය ඉගැන්වීම් කියලා ස්ථිර කරගන්න

ඔයා විශ්වාස කරන්නේ සත්‍ය ඉගැන්වීම් කියලා ස්ථිර කරගන්න

“ඔබ ඉගෙනගෙන මුළු සිතින් විශ්වාස කිරීමට පෙලඹුණු දේවල් දිගටම පිළිපදින්න.”—2 තිමෝ. 3:14.

ගීතිකාව 56 දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න

මේ ලිපියෙන් *

1. “සත්‍යය” කියන යෙදුමෙන් අදහස් වෙන්නේ මොකක්ද?

“ඔයා සත්‍යයට ආවේ කොහොමද?” “පොඩි කාලේ ඉඳන්ම ඔයා සත්‍යයේද?” “කොච්චර කාලයක් ඔයා සත්‍යයේද?” හුඟක් අය ඔයාගෙන් ඒ ප්‍රශ්න අහලා ඇති. ඔයාත් ඒ ප්‍රශ්න අහලා ඇති. “සත්‍යය” කියන යෙදුමෙන් අපි අදහස් කරන්නේ මොකක්ද? අපි විශ්වාස කරන දේවල්, දෙවියන්ට අපි කරන නමස්කාරයට ඇතුළත් වෙන දේවල්, අපේ ජීවිත අපි ගත කරන විදිහ සාමාන්‍යයෙන් ඒකෙන් අදහස් වෙනවා. සත්‍යයේ ඉන්න අය බයිබලේ තියෙන ඉගැන්වීම් ගැන දන්නවා. ඒවාට අනුව ජීවත් වෙනවා. ඒ නිසා බයිබලේට පටහැනි ඉගැන්වීම් එයාලා තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම දුෂ්ට සමාජයක ජීවත් වුණත් සතුටින් ඉන්න එයාලට පුළුවන්.—යොහ. 8:32.

2. යොහන් 13:34, 35 අනුව සත්‍යයට එන්න කෙනෙක්ගේ හිතේ මුලින්ම ආසාවක් ඇති වෙන්න පුළුවන් මොකක් නිසාද?

2 සමහරවිට සත්‍යයට එන්න ඔයා මුලින්ම පෙලඹෙන්න ඇත්තේ සාක්ෂිකරුවන්ගේ හොඳ හැසිරීම නිසා වෙන්න ඇති. (1 පේතෘ. 2:12) එහෙම නැත්නම් එයාලා එකිනෙකාට පෙන්නන ආදරේ ඔයා දැකපු නිසා වෙන්න ඇති. රැස්වීමට ආපු මුල්ම දවසේ අද්දැක්ක ඒ ආදරේ හුඟදෙනෙක්ට මතකයි. ඇත්තටම එදා රැස්වීමේදී උගන්වපු දේවලට වඩා හුඟදෙනෙක්ට මතක ඒ ආදරේ. ඒ වගේ ආදරයක් සාක්ෂිකරුවන් අතරේ තියෙන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද යේසුස් කිව්වා ඔහුගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනගන්න පුළුවන් වෙන්නේ එයාලා අතරේ තියෙන ආදරේ නිසා කියලා. (යොහන් 13:34, 35 කියවන්න.) ඒත් දෙවියන්ගේ සෙනඟ අතරේ අපි දකින ඒ ආදරේ විතරක් මදි අපිට ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟා ගන්න.

3. අපිට දෙවියන් ගැන විශ්වාසයක් ඇති වෙලා තියෙන්නේ සහෝදර සහෝදරියන් පෙන්නන ආදරේ නිසා විතරක් නම් මොකක් වෙන්න පුළුවන්ද?

3 දෙවියන්ගේ සෙනඟ අතරේ තියෙන ආදරේ දැකලා අපිට දෙවියන් ගැන විශ්වාසයක් ඇති වුණා වෙන්න පුළුවන්. ඒත් අපේ විශ්වාසය ඒ මත විතරක් ගොඩනඟලා මදි. මොකද ඒක එහෙමනම් අපේ විශ්වාසය ඉක්මනින්ම බිඳිලා යන්න පුළුවන්. උදාහරණෙකට සභාවේ කෙනෙක් සමහරවිට වැඩිමහල්ලෙක් හෝ පුරෝගාමියෙක් බරපතළ පාපයක් කළොත් අපි යෙහෝවා දෙවියන්ට සේවය කරන එක නතර කරලා දායි. සභාවේ කෙනෙක් අපේ හිත රිදෙන දෙයක් කළොත් නැත්නම් සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගහන්න පටන්ගත්තොත් අපි දෙවියන්ව අත්හරින්න ඒක හේතුවක් කරගනියි. ඔයාට දෙවියන් ගැන විශ්වාසයක් ඇති වෙලා තියෙන්නේ අනිත් අය කරන කියන දේවල් නිසා විතරයි නම් ඔයාගේ විශ්වාසය ශක්තිමත් එකක් නෙමෙයි. ඔයාගේ විශ්වාසය ඔයා ගොඩනඟන්න ඕනෙ හැඟීම් මත නෙමෙයි බයිබලේ අධ්‍යයනය කරලා ඔයා තේරුම්ගන්න සත්‍ය ඉගැන්වීම් මතයි. ඒ ඉගැන්වීම්වලින් යෙහෝවා දෙවියන් ගැන සත්‍ය තොරතුරු ඔයාට ඉගෙනගන්න පුළුවන් කියලා ඔයා ඔයාටම ස්ථිර කරගන්න ඕනේ.—රෝම 12:2.

4. මතෙව් 13:3-6, 20, 21 අනුව සමහරුන්ගේ විශ්වාසය සෝදිසියට ලක් වෙද්දී මොකද වෙන්නේ?

4 යේසුස් කිව්වා සමහරු “ඉතා සතුටින්” සත්‍යය පිළිගත්තත් ප්‍රශ්න එද්දී එයාලගේ විශ්වාසය දුර්වල වෙනවා කියලා. (මතෙව් 13:3-6, 20, 21 කියවන්න.) යේසුස්ගේ අනුගාමිකයන්ට දුෂ්කරතා අද්දකින්න වෙනවා කියලා සමහරවිට එයාලා තේරුම් අරන් නැතුව ඇති. (මතෙ. 16:24) නැත්නම් එයාලා හිතන්න ඇති ක්‍රිස්තියානියෙක් වුණාම දෙවියන් එයාලගේ හැම ප්‍රශ්නයක්ම නැති කරලා ආශීර්වාද පිරුණු ජීවිතයක් දැන් එයාලට දෙයි කියලා. ඒත් අපි ජීවත් වෙන්නේ දුෂ්ට සමාජයක නිසා අපි ප්‍රශ්න අද්දකිනවා. අපි මුහුණ දෙන සමහර වෙනස්කම් නිසා අපේ සතුට යම් දුරකට නැති වෙන්නත් පුළුවන්.—ගීතා. 6:6; දේශ. 9:11.

5. තමන් ඉගෙනගෙන තියෙන්නේ සත්‍ය ඉගැන්වීම් කියලා හුඟදෙනෙකුට ස්ථිරයි කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

5 අපි අතරේ ඉන්න සහෝදර සහෝදරියන් හුඟදෙනෙක්ට ස්ථිරයි එයාලා ඉගෙනගන්නේ සත්‍ය ඉගැන්වීම් කියලා. එහෙම කියන්නේ ඇයි? සභාවේ කෙනෙක් එයාලගේ හිත රිදෙන දෙයක් කළා කියලා සභාවේ කෙනෙක් බරපතළ පාපයක් කළා කියලා සත්‍ය ඉගැන්වීම් ගැන එයාලට තියෙන විශ්වාසය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. (ගීතා. 119:165) එයාලා ප්‍රශ්නවලට මුහුණ දෙන හැම අවස්ථාවකදීම එයාලගේ විශ්වාසය අඩු වෙනවා වෙනුවට ඒක තව ශක්තිමත් වෙනවා. (යාකො. 1:2-4) ඒ වගේ ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟා ගන්න ඔයාට පුළුවන් කොහොමද?

“දෙවි පිළිබඳ නිවැරදි දැනුම” ලබාගන්න

6. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියනීන් එයාලගේ විශ්වාසය ගොඩනඟා ගත්තේ මොකක් මතද?

6 මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් එයාලගේ විශ්වාසය ගොඩනඟා ගත්තේ ශුද්ධ ලියවිල්ලෙන් එයාලා ඉගෙනගත්ත දැනුම සහ ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් ඒ කියන්නේ “ශුභාරංචියට සවන් දී ඉගෙනගත්ත සත්‍යය” මතයි. (ගලා. 2:5) ඒ සත්‍යයට යේසුස්ගේ ජීවිත පූජාව ගැන, ඔහුගේ නැවත නැඟිටීම ගැන ඇතුළුව ක්‍රිස්තියානීන් විදිහට අපි විශ්වාස කරන හැම දෙයක්ම ඇතුළත්. ඒ ඉගැන්වීම් සත්‍යයයි කියලා පාවුල්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. කොහොමද එහෙම කියන්නේ? මොකද එයා ශුද්ධ ලියවිලි පාවිච්චි කරලා “ක්‍රිස්තුස් වධ විඳිය යුතු බව සහ මරණයෙන් නැඟිටිය යුතු බව කලින්ම ශුද්ධ ලියවිල්ලේ දක්වා තිබෙන ආකාරය” ඔප්පු කරලා පෙන්නුවා. (ක්‍රියා 17:2, 3) මුල් සියවසේ හිටපු යේසුස්ගේ අනුගාමිකයන් ඒ ඉගැන්වීම් පිළි අරන් ඒවා තේරුම්ගන්න දෙවියන්ගේ බලයේ උදව් ඉල්ලුවා. ඒ ඉගැන්වීම් ශුද්ධ ලියවිල්ල මත පදනම් ඒවා කියලා එයාලා තොරතුරු ගවේෂණය කරලා තහවුරු කරගත්තා. (ක්‍රියා 17:11, 12; හෙබ්‍රෙ. 5:14) සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරද්දී එයාලට සතුටක් දැනුණ නිසා නෙමෙයි එයාලා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තීරණය කළේ. ඒ වෙනුවට “දෙවි පිළිබඳ නිවැරදි දැනුම” මතයි එයාලගේ විශ්වාසය එයාලා ගොඩනඟා ගත්තේ.—කොලො. 1:9, 10.

7. බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම් ගැන අපිට තියෙන විශ්වාසය අපිට උදව් වෙන්නේ කොහොමද?

7 මොන දේ වෙනස් වුණත් බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම් වෙනස් වෙන්නේ නැහැ. (ගීතා. 119:160) ඒ නිසා අපේ විශ්වාසය අපි බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම් මත ගොඩනඟනවා නම් මොන ප්‍රශ්න අද්දකින්න වුණත් අපි සැලෙන්නේ නැහැ. උදාහරණෙකට සහෝදරයෙක් සහෝදරියක් අපේ හිත රිදෙන දෙයක් කළා කියලා එයා අතින් බරපතළ පාපයක් වුණා කියලා අපේ විශ්වාසය ඒකෙන් දුර්වල වෙන්නේ නැහැ. බයිබල් ඉගැන්වීම් මත ගොඩනැඟුණු විශ්වාසයක් හරියට කුණාටුවක වුණත් නැවක් ඒ මේ අත යන්න නොදී ස්ථිරව තියාගන්න නැංගුරමක් වගේ. ඒ නිසා අපි බයිබලේ තියෙන ඉගැන්වීම් තේරුම් අරන් ඒවා සත්‍ය ඉගැන්වීම් කියලා අපිටම ස්ථිර කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද?

‘මුළු සිතින්ම විශ්වාස කරන්න’

8. 2 තිමෝති 3:14, 15 අනුව තමන් ඉගෙනගත්තේ සත්‍ය ඉගැන්වීම් කියලා තිමෝතිට ස්ථිර වුණේ කොහොමද?

8 තමන් ඉගෙනගත්තේ සත්‍ය ඉගැන්වීම් කියලා තිමෝතිට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ ඇයි? (2 තිමෝති 3:14, 15 කියවන්න.) ‘ශුද්ධ ලියවිල්ලේ’ තිබුණු ඉගැන්වීම් එයාට මුලින්ම කියලා දුන්නේ එයාගේ අම්මායි, ආච්චියි. තිමෝතිත් කාලය, වෑයම යොදවලා ඒ දේවල් අධ්‍යයනය කළා. ඒ නිසා ඒ ඉගැන්වීම් සත්‍යය කියලා ‘මුළු සිතින්ම විශ්වාස කරන්න’ එයා පෙලඹුණා. පස්සේ කාලෙකදී තිමෝතිටයි, එයාගේ අම්මාටයි, ආච්චිටයි යේසුස්ගේ ඉගැන්වීම් ගැන දැනගන්න ලැබුණා. යේසුස්ගේ අනුගාමිකයන් අතර තිබුණු ආදරේ දැක්කාම සභාවේ අය එක්ක කාලේ ගත කරන්න, එයාලට උදව් කරන්න තිමෝතිට ආසාවක් ඇති වෙන්න ඇති. (ෆිලි. 2:19, 20) ඒත් එයාගේ විශ්වාසය ගොඩනැඟිලා තිබුණේ සහෝදරයන් ගැන එයාට හැඟුණ දේවල් මත නෙමෙයි. සත්‍යය කියලා එයා එයාටම තහවුරු කරගත්ත ශුද්ධ ලියවිල්ලේ තිබුණ ඉගැන්වීම් මතයි. ඒ ඉගැන්වීම් එයාට උදව් වුණා යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න. ඔයාත් බයිබලේ හොඳින් අධ්‍යයනය කරලා යෙහෝවා දෙවියන් ගැන ඒකෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් තර්කානුකූලව ඔයාටම ඔප්පු කරගන්න ඕනේ.

9. ඔයා ඔයාටම තහවුරු කරගන්න ඕනෙ මොන වැදගත් ඉගැන්වීම් තුනද?

9 ඒක කරන්න පටන්ගැන්මක් විදිහට ඔයාට පුළුවන් මේ සත්‍ය ඉගැන්වීම් තුන ඔයාටම තහවුරු කරගන්න. (1) හැම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා දෙවියන් කියලා ඔයාට ස්ථිර වෙන්න ඕනේ. (නික්. 3:14, 15; හෙබ්‍රෙ. 3:4; එළි. 4:11) (2) බයිබලේ සඳහන් වෙන්නේ දෙවියන්ගෙන් මිනිසුන්ට ලැබුණු පණිවිඩයක් කියලා කියන්න තියෙන සාක්ෂි ඔයාටම තහවුරු කරගන්න ඕනේ. (2 තිමෝ. 3:16, 17) (3) යේසුස්ගේ නායකත්වය යටතේ දෙවියන්ට නමස්කාර කරන සංවිධානයක් පොළොවේ දෙවියන්ට තියෙනවා කියලත් ඒ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලත් ඔයාට ස්ථිර වෙන්න ඕනේ. (යෙසා. 43:10-12; යොහ. 14:6; ක්‍රියා 15:14) ඒ මූලික ඉගැන්වීම් ඔයාටම තහවුරු කරගන්න බයිබලේ හැම තොරතුරක්ම ඔයා දැනගන්න ඕනෙ නැහැ. ඔයාගේ ඉලක්කය වෙන්න ඕනෙ ඔයා ඉගෙනගන්නේ සත්‍ය ඉගැන්වීම් කියලා හොඳට හිතලා ඔයාටම තහවුරු කරගන්න එකයි.—රෝම 12:1.

අනිත් අයටත් උදව් කරන්න

10. සත්‍ය ඉගැන්වීම් ගැන දැනගෙන ඉන්නවාට අමතරව අපිට කරන්න පුළුවන් වෙන්න ඕනෙ මොකක්ද?

10 ඒ ඉගැන්වීම් ඔයාටම තහවුරු කරගත්තාට පස්සේ බයිබලේ පාවිච්චි කරලා ඒවා සත්‍යය කියලා තව කෙනෙක්ට ඔප්පු කරලා පෙන්නන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරන එක වැදගත් ඇයි? අපි ඉගෙනගන්න සත්‍යයන් අපිට සවන් දෙන්න කැමති අයට කියලා දෙන එක යේසුස්ගේ අනුගාමිකයන් හැටියට අපේ වගකීමක්. * (1 තිමෝ. 4:16) බයිබලේ තියෙන ඉගැන්වීම් ගැන විශ්වාසයක් ඇති කරගන්න අපි අනිත් අයට උදව් කරද්දී ඒ ඉගැන්වීම් ගැන අපිට තියෙන විශ්වාසයත් තව වැඩි වෙනවා.

11. ගුරුවරයෙක් හැටියට පාවුල් අපිට තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

11 පාවුල් උගන්වද්දී ‘මෝසෙස්ට දෙන ලද නීතියේ සඳහන් දේවල්ද අනාගතවක්තෘවරුන් ලියූ දේවල්ද යොදාගෙන යේසුස් ගැන ඉතා පැහැදිලි තර්ක ඉදිරිපත් කළා.’ (ක්‍රියා 28:23) අපිට පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? අපිත් එක්ක පාඩම් කරන අයට බයිබලේ තියෙන ඉගැන්වීම් ගැන අපි නිකම්ම කියලා විතරක් මදි. බයිබලෙන් ඉගෙනගන්න දේවල් අධ්‍යයනය කරලා ඒවා ගැන හොඳින් හිතලා බලන්න අපි එයාලට උදව් කරන්න ඕනේ. එයාලා සත්‍ය ඉගැන්වීම් පිළිගන්න ඕනෙ අපිව ආශ්‍රය කරන්න තියෙන කැමැත්ත නිසා නෙමෙයි. ඒ වෙනුවට අපිට ඕනෙ බයිබලෙන් එයාලා දෙවියන් ගැන ඉගෙනගන්න දේවල් සත්‍යය කියලා එයාලටම ස්ථිර කරගෙන ඒවා පිළිගන්නවා දකින්නයි.

දෙමාපියෙනි, “දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා” දරුවන්ට කියලා දීලා ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟා ගන්න එයාලට උදව් කරන්න (12 සහ 13 ඡේද බලන්න) *

12-13. සත්‍ය මාර්ගයේ දිගටම ගමන් කරන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

12 දෙමාපියෙනි, ඔයාලට ඕනෙ ඔයාලගේ දරුවන් දිගටම සත්‍ය මාර්ගයේ ගමන් කරනවා දකින්න කියලා අපි දන්නවා. ඔයාගේ දරුවන්ට ආශ්‍රය කරන්න හොඳ යාළුවෝ සභාවේ ඉන්නවා නම් එයාලගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න ඒක උදව් වෙයි කියලා ඔයාලට හිතෙයි. ඒත් දිගටම එයාලා සත්‍ය මාර්ගයේ ගමන් කරන්න නම් ඊට වඩා දෙයක් එයාලට ඕනේ. යෙහෝවා දෙවියන්ව එයාලා පෞද්ගලිකව එයාලගේ කිට්ටු යාළුවෙක් කරගන්න ඕනේ. ඒ වගේම බයිබලේ තියෙන්නේ සත්‍ය ඉගැන්වීම් කියලා එයාලට ස්ථිර වෙන්න ඕනේ.

13 යෙහෝවා දෙවියන් ගැන සත්‍ය තොරතුරු දරුවන්ට කියලා දෙන්න නම් දෙමාපියන් බයිබලේ හොඳින් අධ්‍යයනය කරලා දරුවන්ට ආදර්ශයක් තියන්න ඕනේ. බයිබලෙන් ඉගෙනගන්න දේවල් ගැන කල්පනා කරන්න එයාලා කාලේ ගන්න ඕනේ. ඒ වගේම බයිබලේ අධ්‍යයනය කරන්න සංවිධානය දීලා තියෙන මෙවලම් පාවිච්චි කරන විදිහ දරුවන්ට කියලා දෙන්න ඕනේ. එහෙම කරද්දී යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්නත් බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න අපිට උදව් කරන්න දෙවියන් පාවිච්චි කරන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” කියන දේ ගැන විශ්වාසයක් ඇති කරගන්නත් දරුවන්ට පුළුවන් වෙයි. (මතෙ. 24:45-47) දෙමාපියෙනි, දරුවන්ට බයිබලේ තියෙන මූලික සත්‍යයන් ගැන විතරක් කියලා දීලා සෑහීමට පත් වෙන්න එපා. “දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා” එයාලට කියලා දීලා එයාලගේ විශ්වාසය ශක්තිමත් කරගන්න එයාලට උදව් කරන්න. (1 කොරි. 2:10) එහෙම කරද්දී එයාලගේ වයස, හැකියාවන් සැලකිල්ලට ගන්න.

බයිබලේ තියෙන අනාවැකි අධ්‍යයනය කරන්න

14. අපි බයිබලේ තියෙන අනාවැකි අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි? (“ මේ අනාවැකි පැහැදිලි කරන්න ඔයාට පුළුවන්ද?” කියන කොටුවත් බලන්න.)

14 යෙහෝවා දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟා ගන්න බයිබලේ සඳහන් අනාවැකි අපිට උදව් වෙනවා. සමහරවිට ‘අවසාන කාලය’ ගැන සඳහන් අනාවැකි ඔයාට උදව් වෙලා ඇති. (2 තිමෝ. 3:1-5; මතෙ. 24:3, 7) තව මොන අනාවැකිද ඔයාට උදව් වෙන්නේ? ඔයාට පුළුවන්ද දානියෙල් 2වෙනි පරිච්ඡේදයේ හෝ 11වෙනි පරිච්ඡේදයේ සඳහන් අනාවැකි ඉටු වෙලා තියෙන්නේ කොහොමද දැනට ඉටු වෙමින් පවතින්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න? * ඔයාගේ විශ්වාසය ගොඩනැඟිලා තියෙන්නේ බයිබලේ ඉගැන්වීම් මත නම් ඒ විශ්වාසය බිඳින්න බැරි ශක්තිමත් එකක් වෙයි. ඒක අපිට 2වෙනි ලෝක මහා යුද්ධ කාලේ ජර්මනියේ දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දීපු අපේ සහෝදර සහෝදරියන්ගෙන් තේරුම්ගන්න පුළුවන්. අන්තිම කාලේ ගැන සඳහන් අනාවැකිවල හැම තොරතුරක්ම එයාලා දැනගෙන හිටියේ නැතත් එයාලට බයිබලේ ගැන නොසැලෙන විශ්වාසයක් තිබුණා.

අනාවැකි ඇතුළුව බයිබලේ සඳහන් දේවල් අධ්‍යයනය කරන එක දුෂ්කරතා අද්දකිද්දී යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට උදව් වෙයි (15-17 ඡේද බලන්න) *

15-17. නාට්සි පාලනය යටතේ දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දීපු අපේ සහෝදරයන්ට බයිබලේ අධ්‍යයනය කරපු එක උදව් වුණේ කොහොමද?

15 නාට්සි පාලන කාලේ හිට්ලර් සහ එයාගේ ප්‍රධාන නිලධාරියෙක් වුණ හයින්රික් හිම්ලර් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට වෛර කළා. එක සහෝදරියක් කියන විදිහට ගාල් කඳවුරක හිටපු අපේ සහෝදරියන් කණ්ඩායමකට හිම්ලර් දවසක් මෙහෙම කිව්වා. “ඔයාලගේ යෙහෝවා ස්වර්ගයේ රජකම් කරනවා ඇති. ඒත් මේ පොළොවේ පාලනය කරන්නේ අපි. අන්තිමට ඉතුරු වෙන්නේ ඔයාලද අපිද කියලා බලාගමු!” ඒ වගේ දුෂ්කරතා මැද විශ්වාසවන්තව ඉන්න යෙහෝවා දෙවියන්ගේ සෙනඟට පුළුවන් වුණේ කොහොමද?

16 ඒ බයිබල් ශිෂ්‍යයන් දැනන් හිටියා 1914 දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තා කියලා. එයාලට දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණ එක ගැන එයාලා පුදුම වුණේ නැහැ. දෙවියන්ගේ අරමුණ ඉටු වෙන එක වළක්වන්න කිසිම මනුෂ්‍ය ආණ්ඩුවකට බැහැ කියලා එයාලට ස්ථිර විශ්වාසයක් තිබුණා. සැබෑ නමස්කාරය මේ පොළොවෙන් තුරන් කරන්නවත් දේවරාජ්‍යයට වඩා බලවත් ආණ්ඩුවක් පිහිටුවන්නවත් හිට්ලර්ට බැහැ. හිට්ලර්ගේ පාලනය අවසන් වෙනවා කියලා අපේ සහෝදරයන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ.

17 ඒ සහෝදර සහෝදරියන් විශ්වාස කරපු දේ හරියටම හරි. වැඩි කල් යන්න කලින් නාට්සි පාලනය බිඳ වැටුණා. “මේ පොළොවේ පාලනය කරන්නේ අපි” කියලා කියපු හිම්ලර්ට සිද්ධ වුණා එයාගේ ජීවිතේ බේරගන්න පලා දුවන්න. ඒ අතරේ එයාට සහෝදර ලුබ්කේව හම්බ වුණා. ලුබ්කේ සාක්ෂිකරුවෙක් කියලා ගාල් කඳවුරේ හිටපු කාලේ හිම්ලර් දැනන් හිටියා. හිම්ලර් සහෝදර ලුබ්කේගෙන් ඇහුවා “බයිබල් ශිෂ්‍යයන් කියන විදිහට ඊළඟට මොකද වෙන්නේ” කියලා. නාට්සි පාලනය සාර්ථක වෙන්නේ නැහැ කියලත් සාක්ෂිකරුවන් බේරෙනවා කියලත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟට කිසිම සැකයක් තිබුණේ නැහැ කියලා සහෝදර ලුබ්කේ හිම්ලර්ට කිව්වා. සාක්ෂිකරුවන් ගැන ගොඩක් නරක දේවල් කලින් කියපු හිම්ලර් ඒ වෙලාවේ මුකුත්ම කිව්වේ නැහැ. ඊට ටික දවසකට පස්සේ හිම්ලර් සිය දිවි හානි කරගත්තා. ඒකෙන් මොකක්ද අපි ඉගෙනගන්නේ? අනාවැකි ඇතුළුව බයිබලේ සඳහන් දේවල් අපි අධ්‍යයනය කරනවා නම් යෙහෝවා දෙවියන් ගැන නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්නත් විරුද්ධවාදිකම් එද්දී ස්ථිරව ඉන්නත් අපිට පුළුවන්.—2 පේතෘ. 1:19-21.

18. යොහන් 6:67, 68 අනුව “දෙවිගේ කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමක් හා පූර්ණ අවබෝධයක්” අපි ලබාගන්න ඕනෙ ඇයි?

18 අපි එකිනෙකාට ආදරේ පෙන්නන එක වැදගත්. මොකද සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනගන්න ලකුණ ඒකයි. ඒ වගේම “දෙවිගේ කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමක් හා පූර්ණ අවබෝධයක්” අපි ලබාගන්න එකත් වැදගත්. (ෆිලි. 1:9) එහෙම කළේ නැත්නම් සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය ඇතුළුව “ඉතා සූක්ෂ්ම ලෙස කපටිකමින් විවිධ දේවල් උගන්වන මිනිසුන්ට” අපි ලේසියෙන්ම අහු වෙයි. (එෆී. 4:14) යේසුස්ගේ අනුගාමිකයන් හුඟදෙනෙක් යේසුස්ව අත්හැරලා යද්දී පේතෘස් ස්ථිර විශ්වාසයකින් කිව්වා “සදාකාල ජීවනයට මඟ පාදන වදන් පවසන්නේ” යේසුස් කියලා. (යොහන් 6:67, 68 කියවන්න.) යේසුස් කියපු හැම දෙයක්ම ඒ වෙද්දී පේතෘස් තේරුම් අරන් හිටියේ නැතත් ක්‍රිස්තුස් ගැන සත්‍යය එයා තේරුම් අරන් හිටියා. බයිබලේ සඳහන් ඉගැන්වීම් ගැන ඔයාගේ විශ්වාසය තව ශක්තිමත් කරගන්න. එතකොට මොන දුෂ්කරතාවට මුහුණ දෙන්න වුණත් ඔයාගේ විශ්වාසය ස්ථිරව තියෙයි. විශ්වාසය ශක්තිමත් කරගන්න අනිත් අයට උදව් කරන්නත් ඔයාට පුළුවන් වෙයි.—2 යොහ. 1, 2.

ගීතිකාව 72 දෙවිගේ රාජ්‍යයේ සත්‍යය දන්වමු

^ 5 ඡේ. බයිබලේ සඳහන් සත්‍ය ඉගැන්වීම් ගැන අගයක් ඇති කරගන්න මේ ලිපිය අපිට උදව් කරනවා. අපි විශ්වාස කරන ඒ ඉගැන්වීම් සත්‍යය කියලා අපිටම ස්ථිර කරගන්න පුළුවන් කොහොමද කියලත් අපි බලනවා.

^ 10 ඡේ. බයිබලේ තියෙන මූලික සත්‍යයන් අනිත් අයට තර්කානුකූලව පැහැදිලි කරලා දෙන්න 2010 ඉඳන් 2015 දක්වා ‘මුරටැඹ’ කලාපයේ පළ වුණු “ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්” කියන ලිපි මාලාව ඔයාට උදව් වෙයි. “යේසුස් සහ දෙවියන් එක් කෙනෙක්ද?,” “දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ කවදාද?,” “වැරදි කරන අය අපායක දඬුවම් ලබනවාද?” වගේ මාතෘකා ඒ ලිපි මාලාව යටතේ පළ වුණා.

^ 14 ඡේ. ඒ අනාවැකි ගැන විස්තර දැනගන්න 2012 ජූනි 15 සහ 2020 මැයි ‘මුරටැඹ’ කලාප බලන්න.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: දෙමාපියන් පවුලේ නමස්කාරයේදී එයාලගේ දරුවන් එක්ක මහත් පීඩාව ගැන සඳහන් අනාවැකි අධ්‍යයනය කරනවා.

^ 62 ඡේ. පින්තූරයේ අදහස: මහත් පීඩාව අතරතුරේ සිද්ධ වෙන දේවල් ගැන ඒ පවුලේ අය පුදුම වෙන්නේ නැහැ.