Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

උත්තම පූජකයා විදිහට යේසුස්ව පත් කළේ කවදාද? අලුත් ගිවිසුම වලංගු වුණෙත් එදාද?

උත්තම පූජකයා විදිහට යේසුස්ව පත් කළේ ක්‍රි.ව. 29 ඔහු බව්තීස්ම වුණ අවස්ථාවේ කියලා සාක්ෂිවලින් පැහැදිලියි. මොනවාද ඒ සාක්ෂි? යේසුස් බව්තීස්ම වුණ වෙලාවේ ඔහු පෙන්නුවා ‘දෙවියන්ගේ කැමැත්ත’ කියන සංකේතවත් පූජාසනය මත තමන්ගේ ජීවිතේ පූජා කරන්න ඔහු කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා කියලා. (ගලා. 1:4; හෙබ්‍රෙ. 10:5-10) පූජාසනය කියන්නේ දේවමාලිගාවේ තියෙන වැදගත් දෙයක්. යේසුස් බව්තීස්ම වුණ දවසේ ඉඳන් සංකේතවත් පූජාසනය තිබුණා නම් එදා ඉඳන් සංකේතවත් දේවමාලිගාවත් ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා කියලා හිතන්න පුළුවන්. සංකේතවත් දේවමාලිගාවෙන් නියෝජනය වුණේ දෙවියන්ට නමස්කාර කරන්න ඇති කරලා තියෙන සැලැස්ම. ඒකට පදනම සපයන්නේ යේසුස්ගේ ජීවිත පූජාවයි.—මතෙ. 3:16, 17; හෙබ්‍රෙ. 5:4-6.

සංකේතවත් දේවමාලිගාව ක්‍රියාත්මක වෙන්න පටන්ගත්ත නිසා ඒකේ සේවය කරන්න උත්තම පූජකයෙකුත් ඕනේ. යෙහෝවා දෙවියන් ඒ කාර්යය කරන්න යේසුස්ව ‘තම බලයෙන් අභිෂේක කරලා ඔහුට මහත් බලයක් ලබා දුන්නා.’ (ක්‍රියා 10:37, 38; මාක් 1:9-11) ඒත් යේසුස්ව උත්තම පූජකයා විදිහට පත් කළේ ඔහුගේ මරණයට සහ නැවත නැඟිටුවීමට කලින් කියලා අපි ස්ථිරවම කියන්නේ ඇයි? ආරොන් සහ එයාගෙන් පසුව උත්තම පූජකයන් විදිහට සේවය කරපු අය ගැන බලද්දී ඒ ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලි වෙනවා.

මෝසෙස් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් දුන්න නීතියට අනුව ශුද්ධ කූඩාරමේ තිබුණ අතිශුද්ධස්ථානයට සහ ඊටපස්සේ දේවමාලිගාවේ තිබුණ අතිශුද්ධස්ථානයට ඇතුල් වෙන්න අවසර තිබුණේ උත්තම පූජකයාට විතරයි. අතිශුද්ධස්ථානය ශුද්ධස්ථානයෙන් වෙන් කළේ තිරයකින්. උත්තම ජූජකයා ඒ තිරය පහු කරගෙන ගිහින් අතිශුද්ධස්ථානයට ඇතුල් වුණේ සමඟි වීමේ දවසේදී විතරයි. (හෙබ්‍රෙ. 9:1-3, 6, 7) ආරොන්වයි, එයාට පසුව උත්තම පූජකයන් හැටියට සේවය කරපු අයවයි ඒ තනතුර සඳහා පත් කළේ එයාලා “තිරය පසු කරගෙන” අතිශුද්ධස්ථානයට ඇතුල් වෙන්න කලින්. එහෙමනම් යේසුස්වත් උත්තම පූජකයා හැටියට පත් කරන්න ඇත්තේ ඔහු මිය යන්නත් “තම ජීවිතය නියෝජනය කරන තිරය පසු කරගෙන” ස්වර්ගයට ඇතුල් වෙන්නත් කලින්. (හෙබ්‍රෙ. 10:20) ඒ නිසයි පාවුල් කිව්වේ යේසුස් “උත්තම පූජකයෙකු ලෙස පැමිණ” ඊටපස්සේ “මිනිසුන් නොසෑදූ මෙලොවෙහි තිබෙන දේවලට සම්බන්ධයක් නැති වඩාත් ශ්‍රේෂ්ඨ මෙන්ම පරිපූර්ණ කූඩාරම තුළටත්” ස්වර්ගයටත් ඇතුල් වුණා කියලා.—හෙබ්‍රෙ. 9:11, 24.

අලුත් ගිවිසුම වලංගු වුණේ කවදාද? යේසුස් ස්වර්ගයට ගිහින් ඔහුගේ පරිපූර්ණ මිනිස් ජීවිතේ වටිනාකම අපි වෙනුවෙන් දෙවියන්ට ඉදිරිපත් කරපු වෙලාවේ අලුත් ගිවිසුම වලංගු කරන්න අවශ්‍ය පියවර තුනෙන් මුල් පියවර දෙක ඔහු ගත්තා. මොනවාද ඒ පියවර තුන?

මුලින්ම යේසුස් යෙහෝවා දෙවියන් ඉදිරියේ පෙනී හිටියා. ඊටපස්සේ ඔහුගේ ජීවිත පූජාවේ වටිනාකම යේසුස් දෙවියන්ට ඔප්පු කළා. අන්තිමට යෙහෝවා දෙවියන් යේසුස්ගේ රුධිරයේ වටිනාකම පිළිගත්තා. ඒ පියවර තුනම ගත්තාට පස්සේ තමයි අලුත් ගිවිසුම වලංගු වුණේ.

යෙහෝවා දෙවියන් යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම පිළිගත්තේ හරියටම කවදාද කියලා බයිබලේ කියන්නේ නැහැ. ඒ අනුව අලුත් ගිවිසුම වලංගු වුණේ හරියටම කවදාද කියලා අපිට කියන්න බැහැ. ඒත් අපි දන්නවා පෙන්තකොස්ත දවසට දවස් දහයකට කලින් යේසුස් ස්වර්ගයට ගියා කියලා. (ක්‍රියා 1:3) ඒ දවස් දහය ඇතුළත යේසුස් ඔහුගේ ජීවිත පූජාවේ වටිනාකම යෙහෝවා දෙවියන්ට ඔප්පු කළා වගේම දෙවියන් ඒක පිළිගත්තා. (හෙබ්‍රෙ. 9:12) ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ සිද්ධ වුණ දේවලින් හොඳින්ම පැහැදිලි වෙනවා ඒ වෙද්දී අලුත් ගිවිසුම ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තිබුණා කියලා.—ක්‍රියා 2:1-4, 32, 33.

කෙටියෙන්ම කියනවා නම් අලුත් ගිවිසුම වලංගු වුණේ යෙහෝවා දෙවියන් යේසුස් වගුරවපු රුධිරයේ වටිනාකම පිළි අරන් අභිෂේක ලත් අයව ඒ ගිවිසුමට ඇතුළත් කරගත්තාට පස්සෙයි. ඒ ගිවිසුමේ මැදිහත්කරු හැටියට සේවය කරන්නේ උත්තම පූජක යේසුස්.—හෙබ්‍රෙ. 7:25; 8:1-3, 6; 9:13-15.