Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

මං කළේ මං කළ යුතු දේ විතරයි

මං කළේ මං කළ යුතු දේ විතරයි

ඩොනල්ඩ් රිඩ්ලි අවුරුදු 30කටත් වැඩි කාලයක් පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයෙක්. එයා රුධිරය ශරීරගත කරන එක ප්‍රතික්ෂේප කරන්න රෝගීන්ට තියෙන අයිතිය තේරුම් කරලා දෙන්න මුල් වෙලා වැඩ කළා. එක්සත් ජනපදයේ ඉහළ උසාවියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් තිබුණ නඩු හුඟක් දිනන්න එයාගෙන් ලැබුණ දායකත්වය අතිවිශාලයි. යාළුවෝ එයාට කතා කළේ ඩොන් කියලා. එයා ලොකු කැපවීමකින් වැඩ කරපු නිහතමානී සහෝදරයෙක්.

දුර්ලභ ස්නායු රෝගයක් එයාට තියෙනවා කියලා 2019දී හොයාගත්තා. ඒ රෝගය දරුණු අතට හැරෙන්න වැඩි දවසක් ගියේ නැහැ. 2019 අගෝස්තු 16වෙනිදා එයා මිය ගියා. මේ එයාගේ කතාවයි.

මං ඉපදුණේ 1954 ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ ශාන්ත පාවුල් නගරයේ. අපේ පවුලේ දරුවෝ පස්දෙනායි. මං දෙවෙනියා. අපි ගොඩක් පොහොසත් අය නෙමෙයි. සාමාන්‍ය පවුලක්. අපේ පවුලේ අය කතෝලික. පොඩි කාලේ මං ගියේ කතෝලික ඉස්කෝලෙකට. පල්ලියේ පූජාව වෙලාවේදී පූජකයාට උදව් කරපු අය අතරේ මමත් හිටියා. ඒත් බයිබලේ ගැන මට දැනුමක් තිබුණේ නැහැ. හැම දෙයක්ම නිර්මාණය කරපු දෙවි කෙනෙක් ඉන්නවා කියලා මං විශ්වාස කළත් පල්ලිය ගැන නම් මට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ.

සත්‍යය ඉගෙනගත්තා

මං නීති විද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ ඉද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ ගෙදර ආවා. ඒ වෙලාවේ මං ඇඳුම් හෝද හෝදයි හිටියේ. ඒ නිසා ඒ යුවළ වෙන දවසක එන්නම් කියලා ගියා. කිව්ව විදිහටම එයාලා ආයෙත් ආවා. එදා මං එයාලගෙන් ප්‍රශ්න දෙකක් ඇහුවා. එකක් තමයි “හොඳ මිනිසුන්ට වඩා නරක මිනිසුන්ට මේ සමාජයේ තැනක් තියෙන්නේ ඇයි?” අනිත් එක තමයි “මිනිසුන්ට ඇත්තටම සතුටින් ඉන්න පුළුවන් කොහොමද?” ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ පොතයි තද කොළ පාට කවරයක් තිබුණු ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ පිටපතකුයි එයාලා මට දුන්නා. මං එයාලත් එක්ක බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. මං මීට කලින් දැනං හිටියේ නැති හුඟක් දේවල් ඒකෙන් මං ඉගෙනගත්තා. දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන්න යනවා කියලා දැනගත්තම මට ලොකු සතුටක් දැනුණා. මොකද මිනිස් ආණ්ඩු අසාර්ථකයි කියලා පැහැදිලිව පේන්න තිබුණා.

1982දී මං යෙහෝවා දෙවියන්ට මගේ ජීවිතේ කැප කරලා ශාන්ත පාවුල් නගරේ තිබුණ සමුළුවේදී බව්තීස්ම වුණා. ඊටපස්සේ සතියේ මං නීති විභාගය ලිව්වා. ඔක්තෝබර් මුල් සතියේදී මට දැනගන්න ලැබුණා මං විභාගේ පාස් වෙලා කියලා. ඒ කියන්නේ නීතිඥයෙක් හැටියට වැඩ කරන්න මට සුදුසුකම් ලැබිලා කියන එකයි.

මං බව්තීස්ම වුණු සමුළුවේදී මයික් රිචඩ්සන් කියන සහෝදරයාව මට හම්බ වුණා. එයා සේවේ කළේ බෘක්ලින් බෙතෙල් එකේ. එයා කිව්වා බෙතෙල් එකේ අලුතින් නීතික අංශයක් පටන්ගත්තා කියලා. ඒ වෙලාවේ මට ක්‍රියා 8:36 ඉතියෝපියානු නිලධාරියා කියපු දේ මතක් වුණා. ඉතිං මං මගෙන්ම ඇහුවා ‘නීතික අංශයේ සේවේ කරන්න මොකක්ද මට තියෙන බාධාව’ කියලා. ඒ නිසා බෙතෙල් එකේ සේවේ කරන්න මං අයදුම් කළා.

මං සාක්ෂිකරුවෙක් වුණ එක ගැන මගේ දෙමාපියන් නම් එච්චර සතුටු වුණේ නැහැ. තාත්තා ඇහුවා “වොච්ටවර් එකේ වැඩ කරලා නීතිඥයෙක් හැටියට ඉහළට යන්න පුළුවන් වෙයිද” කියලා. මං කරන්න යන්නේ ස්වේච්ඡා සේවයක් කියලා මං තාත්තට කිව්වා. මට මාසෙකට පොඩි දීමනාවක් ලැබෙනවා කියලත් මං එයාට කිව්වා.

ඒ වෙද්දී මං උසාවියක වැඩ කරන්න එකඟ වෙලා තිබුණ නිසා මට එකපාරටම බෙතෙල් එකට යන්න බැරි වුණා. මට බෘක්ලින් බෙතෙල් එකේ සේවේට යන්න පුළුවන් වුණේ 1984දී. මගේ පැවරුම වුණේ නීතික අංශයේ වැඩ කරන එක. උසාවියේ වැඩ කරලා මං ලබපු අද්දැකීම් මගේ පැවරුමට හුඟක් ප්‍රයෝජනවත් වුණා.

ස්ටැන්ලි රඟහලේ අලුත්වැඩියා කටයුතු

ස්ටැන්ලී රඟහල මිල දී ගන්න කොට තිබුණ විදිහ

සාක්ෂිකරුවන් 1983 නොවැම්බර් මාසේදී ජර්සි නගරයේ තිබුණු ස්ටැන්ලි රඟහල මිල දී අරන් තිබුණා. ඒකේ විදුලි සහ ජල නළ පද්ධති අලුත්වැඩියා කරන්න සහෝදරයන් අවසර ඉල්ලලා තිබුණා. එයාලා රජයේ නිලධාරීන්ව හම්බ වුණ වෙලාවේ පැහැදිලි කළා ස්ටැන්ලි රඟහල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමුළු ශාලාවක් හැටියට පාවිච්චි කරන්න යනවා කියලා. ඒක නිලධාරීන්ට ප්‍රශ්නයක් වුණා. මොකද ජර්සි නගරයේ ගොඩනැඟිලි භාවිතය ගැන තිබුණු නීතිවල සඳහන් වුණා ගොඩනැඟිල්ලක් නමස්කාර වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් ඒක මිනිසුන් පදිංචි වෙලා ඉන්න ප්‍රදේශවල තියෙනවා නම් විතරයි කියලා. ව්‍යාපාර කටයුතු කරන ප්‍රදේශවල ඒකට අවසර තිබුණේ නැහැ. ස්ටැන්ලි රඟහල තිබුණේ ව්‍යාපාර කටයුතු සිදු කරන ප්‍රදේශයක නිසා නිලධාරීන් සාක්ෂිකරුවන්ට අලුත්වැඩියා කටයුතු කරන්න අවසර දුන්නේ නැහැ. සහෝදරයන් ඒ තීරණය ගැන අභියාචනයක් ඉදිරිපත් කළත් ඒක ප්‍රතික්ෂේප වුණා.

මම බෙතෙල් එකට ඇවිත් පළවෙනි සතියේ සංවිධානය ඒ ප්‍රශ්නේ පෙඩරල් දිසා අධිකරණයට අරන් ගියා. මිනසෝටාවල ශාන්ත පාවුල් නගරේ තිබුණු දිසා අධිකරණයේ අවුරුදු දෙකක් මං වැඩ කරලා තිබුණ නිසා ඒ වගේ නඩු ගැන මට අවබෝධයක් තිබුණා. ඒ නඩුවේදී අපේ නීතිඥයෙක් තර්කයක් ඉදිරිපත් කළා ස්ටැන්ලි රඟහල චිත්‍රපටි පෙන්නන්න, සංගීත සන්දර්ශන වගේ මිනිසුන් ගොඩක් එක් රැස් වෙන දේවලට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ආගමික උත්සවයකට පාවිච්චි කරන එක කොහොමද නීති විරෝධී දෙයක් වෙන්නේ කියලා. උසාවිය ඒ කාරණය සැලකිල්ලට අරන් තීන්දුවක් දුන්නා ජර්සි නගරයේ බලධාරීන් අපේ ආගමික නිදහසට ගරු කරලා නැහැ කියලා. අලුත්වැඩියා කටයුතුවලට අවශ්‍ය අවසර ලබා දෙන්න කියලත් උසාවිය නියෝග කළා. සංවිධානය නීතිය පාවිච්චි කරලා දේවරාජ්‍යයේ වැඩකටයුතු තව ව්‍යාප්ත කරන්න ගන්න උත්සාහයට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරන විදිහ මං දැක්කා. ඒකට හවුල් වෙන්න මටත් අවස්ථාව ලැබුණ එක ගැන මට දැනුණේ ලොකු සතුටක්.

සහෝදරයන් ස්ටැන්ලි රඟහල සම්පූර්ණයෙන්ම වගේ අලුත්වැඩියා කරන්න පටන්ගත්තා. අවුරුද්දක් යන්නත් කලින් ඒ කියන්නේ 1985 සැප්තැම්බර් 8වෙනිදා ගිලියද් පාසැලේ 79වෙනි පන්තියේ පැවරුම් ලබා දීමේ උත්සවය ඒ ශාලාවේ පැවැත්වුවා. නීතික අංශයට සහය දීලා ඒ කාර්යයට හවුල් වෙන්න ලැබුණ එක ගැන මට සතුටුයි. බෙතෙල් එකට එන්න කලින් නීතිඥයෙක් විදිහට වැඩ කරලා ලබපු සතුටට වඩා ලොකු සතුටක් මට දැනුණා. ඒ වගේ තව ගොඩක් නඩුවලට යෙහෝවා දෙවියන් මාව පාවිච්චි කරයි කියලා එදා මං හිතුවේ නැහැ.

රුධිරය නැතුව ප්‍රතිකාර ලබාගන්න තියෙන අයිතිය වෙනුවෙන් සටන් කළා

වැඩිහිටියෙක් වුණත් රුධිරය නැතුව ප්‍රතිකාර ලබාගන්න සාක්ෂිකරුවන් කරපු ඉල්ලීම් වෛද්‍යවරුන්, රෝහල්වල කාර්ය මණ්ඩලය 1980 ගණන්වල එච්චර ගණන් ගත්තේ නැහැ. විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්ට රුධිරය ප්‍රතික්ෂේප කරන්න කොහොමටවත් අයිතියක් නැහැ කියලා විනිසුරුවරු හිතුවා. මොකද රුධිරය නොගෙන අම්මා මිය ගියොත් දරුවාට අම්මාගේ රැකවරණය නැති වෙනවා කියලා එයාලා තර්ක කළා.

1988 දෙසැම්බර් 29වෙනිදා සහෝදරි ඩෙනිස් නිකලෝ එයාගේ දරුවාව බිහි කළාට පස්සේ සිදු වුණ අධික ලේ ගැලීම නිසා එයාගේ හීමොග්ලොබින් මට්ටම 5.0ටත් වඩා පහත වැටුණා. ජීවිත අවධානමක් තිබුණ නිසා දොස්තර කිව්වා එයාට ලේ ගන්න කියලා. සහෝදරි නිකලෝ ඒකට කැමති වුණේ නැහැ. පහුවෙනිදා උදේ රෝහල් කාර්ය මණ්ඩලය විනිසුරුවරයෙක්ට කතා කරලා සහෝදරි නිකලෝට ලේ දෙන්න අවසර ඉල්ලලා තිබුණා. ඒ විනිසුරුවරයා සහෝදරි නිකලෝගෙන්වත් එයාගේ සැමියාගෙන්වත් අහන්නේ නැතුව ඒ අවසරය දුන්නා. එහෙම අවසරයක් දුන්නා කියලා ඒ දෙන්නාට දැනුම් දුන්නේවත් නැහැ.

දෙසැම්බර් 30වෙනි සිකුරාදා රෝහල් කාර්ය මණ්ඩලය සහෝදරි නිකලෝගේ සැමියාගෙයි, පවුලේ අයගෙයි දැඩි විරුද්ධත්වය මැද එයාට ලේ දුන්නා. සහෝදරි නිකලෝට ලේ දෙන එක වළක්වන්න හැදුවා කියන චෝදනාව මත එදා හවස එයාලගේ පවුලේ කීපදෙනෙක්වත් වැඩිමහල්ලන් කීපදෙනෙක්වත් නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. ඊළඟ දවසේ උදේ නිව් යෝර්ක් නගරයෙත් ඒ අවට නගරවලත් පත්තරවල, TV සහ රේඩියෝ වැඩසටහන්වල ප්‍රධාන මාතෘකාව වුණේ ඒ සිද්ධිය.

තරුණ කාලේ ෆිලිප් බ්‍රම්ලි එක්ක

සඳුදා උදේ මං ඉහළ උසාවියේ විනිසුරුවරයා වුණ මිල්ටන් මොලන් එක්ක ඒ ගැන කතා කළා. ලේ දෙන්න නියෝගය නිකුත් කරලා තියෙන්නේ කිසිම නඩු විභාගයක් නොකර කියන කාරණය මං එයාට කාවැද්දුවා. විනිසුරු මොලන් මට කිව්වා ඒ නඩුවට සම්බන්ධ නීතිරීති ගැන කතා කරන්න දවල් වෙලා කාර්යාලයට එන්න කියලා. ඒ ගමනට බෙතෙල් එකේ නීතික අංශය භාරව හිටපු සහෝදර ෆිලිප් බ්‍රම්ලිත් මාත් එක්ක ආවා. විනිසුරුවරයා ඒ සාකච්ඡාවට රෝහල වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයාටත් එන්න කියලා තිබුණා. අපි අතරේ උණුසුම් වාදවිවාද ඇති වුණා. එක අවස්ථාවක සහෝදර බ්‍රම්ලි එයාගේ සටහන් පොතේ “සන්සුන් වෙන්න” කියලා ලියලා මට පෙන්නුවා. ඒ වෙලාවේ ඒක හොඳ උපදෙසක් වුණා. මොකද රෝහල වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයා වැරදියි කියලා ඔප්පු කරද්දී මට ඇත්තටම කේන්ති ගියා.

වමේ සිට දකුණට: රිචඩ් මොක්, ග්‍රෙගරි ඕල්ඩ්ස්, පෝල් පොලිඩෝරො, ෆිලිප් බ්‍රම්ලි, මම සහ මාරියෝ මොරේනො. ස්ට්‍රැටන් නගරයට එරෙහිව වොච්ටවර් නඩුවේ වාචික තර්ක එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු දවසේ පෙනී හිටපු අපේ නීතිඥයන්.—2003 ජනවාරි 8 ‘පිබිදෙව්!’ සඟරාව බලන්න

පැයකට විතර පස්සේ විනිසුරුවරයා කිව්වා පහුවෙනිදා උදෙන්ම විභාග කරන්නේ අපේ නඩුව කියලා. අපි එතනින් පිටත් වෙලා එද්දී විනිසුරුවරයා කිව්වා රෝහල වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයාට හෙට සෑහෙන අමාරු වැඩක් තියෙනවා කියලා. ඒ කියන්නේ සහෝදරි නිකලෝට ලේ ගන්න කියලා බල කරන්න රෝහල් කාර්ය මණ්ඩලයට අයිතියක් තියෙනවා කියන දේ ඔප්පු කරන්න එයාට ලේසි වෙන්නේ නැහැ කියන එකයි. ඒක හරියට අපිට දිනන්න වැඩි අවස්ථාවක් තියෙනවා කියලා යෙහෝවා දෙවියන් කිව්වා වගේ. දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න අපිව යොදාගත්ත විදිහ නම් හරිම පුදුමයි.

පහුවෙනිදා උදේ උසාවියේදී අපි ඉදිරිපත් කරන්න යන තර්ක අපි රෑ එළි වෙන කල් ලෑස්ති කරගත්තා. උසාවිය තිබුණේ බෘක්ලින් බෙතෙල් එකට කිට්ටුවෙන්. ඒ නිසා බෙතෙල් එකේ නීතික අංශයේ හිටපු අපි කීපදෙනෙක් එතනට ඇවිදගෙන ගියා. හතරදෙනෙක්ගෙන් යුත් විනිසුරු මඩුල්ල අපේ තර්කවලට ඇහුම්කන් දුන්නාට පස්සේ එයාලා තීරණය කළා ලේ දෙන්න දුන්න අවසරය නීත්‍යනුකූල නැහැ කියලා. ඉහළ උසාවිය සහෝදරි නිකලෝට පක්ෂව තීන්දුවක් දීලා කිව්වා ලෙඩාගේ අදහස් විමසන්නේ නැතුව එයා සම්බන්ධයෙන් තීරණයක් ගත්ත එක මානව හිමිකම් උල්ලංගනය කිරීමක් කියලා.

රුධිරය නැතුව ප්‍රතිකාර ලබාගන්න සහෝදරි නිකලෝට අයිතියක් තියෙනවා කියලා නිව් යෝර්ක්වල තිබුණ ඉහළම උසාවියෙන් තහවුරු කළා. රුධිරය ශරීරගත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ විවිධ ප්‍රාන්තවල ඉහළ උසාවිවලින් නඩු තීන්දු දීලා තියෙනවා. ඒ වගේ නඩු හතරකට මට සහය දෙන්න පුළුවන් වුණා. සහෝදරි නිකලෝගේ නඩුව ඒ හතරෙන් පළවෙනි එක. (“ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ ජයග්‍රහණ” කියන කොටුව බලන්න.) බෙතෙල් එකේ හිටපු නීතිඥයන් එක්ක එකතු වෙලා ළමා භාරකාරත්වය, දික්කසාද, ඉඩම් සහ ගොඩනැඟිලි භාවිතය වගේ නඩුවලටත් සහය දෙන්න මට අවස්ථාව ලැබුණා.

මගේ විවාහය සහ පවුල් ජීවිතය

මගේ බිරිඳ ඩෙනීස් එක්ක

මගේ බිරිඳගේ නම ඩෙනීස්. මට එයාව හම්බ වෙද්දී එයා කලින් විවාහයෙන් දික්කසාද වෙලයි හිටියේ. එයාට දරුවෝ තුන්දෙනෙක් හිටියා. එයා රස්සාවක් කරන අතරේ පුරෝගාමි සේවෙත් කළා. එයා ගත කළේ හරිම දුෂ්කර ජීවිතයක්. ඒත් යෙහෝවා දෙවියන්ට සේවේ කරන්න එයාට තිබුණේ ලොකු උනන්දුවක්. 1992 නිව් යෝර්ක් නගරයේ තිබුණ තුන්දින සමුළුවේදී මං එයාගෙන් ඇහුවා එයා මට කැමතිද කියලා. අපි ඇසුරු කරන්න පටන් අරන් අවුරුද්දකට පස්සේ අපි විවාහ වුණා. මං දිගටම බෙතෙල් එකේ වැඩ කළා. හැම වෙලේම යෙහෝවා දෙවියන්ට මුල් තැන දුන්න, විහිළුතහළු කරලා ඉන්න බිරිඳකව ලැබුණ එක දෙවියන්ගෙන් මට ලැබුණ තෑග්ගක්. එයා කරපු හැම දේකින්ම අපේ ජීවිත තවත් යහපත් අතට හැරුණා.—හිතෝ. 31:12.

අපි විවාහ වෙද්දී දරුවෝ තුන්දෙනාගේ වයස් 11යි, 13යි සහ 16යි. මට ඕනෙ වුණේ එයාලට හොඳ තාත්තා කෙනෙක් වෙන්න. ඒ නිසා කලින් විවාහයේ දරුවන් එක්ක වැඩ කරන එක ගැන අපේ ප්‍රකාශනවල තිබුණ හැම ලිපියක්ම කියවලා මං ඒවා අදාළ කරගත්තා. අභියෝග තිබුණේ නැතුවමත් නෙමෙයි. ඒත් එයාලා මාව සලකන්නේ එයාලට විශ්වාසය තියන්න පුළුවන් යාළුවෙක්, ආදරණීය තාත්තා කෙනෙක් විදිහට. ඒ ගැන මට ගොඩක් සතුටුයි. අපි එයාලගේ යාළුවන්ට ඕන වෙලාවක ගෙදරට එන්න ඉඩ දීලා තිබුණා. ඒ වගේ යෞවනයන් නිතරම අපේ ගෙදර හිටපු එක අපිටත් ලොකු සතුටක් වුණා.

අපේ මහලු දෙමාපියන්ව බලාගන්න නිසා 2013දී මමයි, ඩෙනීසුයි අපේ පදිංචිය විස්කොන්සින්වලට මාරු කළා. මං හිතුවේ මගේ බෙතෙල් සේවේ නතර කරන්න වෙයි කියලා. ඒත් තාවකාලික ස්වේච්ඡා සේවකයෙක් විදිහට දිගටම නීතික අංශයට උදව් කරන්න කියලා ශාඛා කාර්යාලයෙන් මට දැනුම් දුන්නා.

නොහිතපු වෙනසක්

2018 සැප්තැම්බර් මාසේදී මට තේරුණා මං ටිකක් වැඩියෙන් උගුර පාදනවා කියලා. ළඟ හිටපු දොස්තර ගාවට ගියත් මොකක්ද ලෙඩේ කියලා එයාට හොයාගන්න බැරි වුණා. පස්සේ තවත් දොස්තර කෙනෙක් කිව්වා ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න කියලා. ඒ වෛද්‍යවරයා 2019 ජනවාරි මාසේදී කිව්වා පේන විදිහට මට තියෙන්නේ PSP කියන හරිම දුර්ලභ ස්නායු රෝගය කියලා.

ඊට දවස් තුනකට පස්සේ මං ආසම ක්‍රීඩාව කරකර ඉද්දී මං වැටිලා මගේ අතේ මැණික් කටුව ළඟින් කැඩුණා. පුංචි කාලේ ඉඳන්ම මං ඒ ක්‍රීඩාව කරනවා. ඒ නිසා මට තේරුණා මගේ මාංස පේශී පාලනය කරගන්න මගේ ශරීරයට තියෙන හැකියාව ටිකෙන් ටික නැති වෙලා යනවා කියලා. මං හිතුවේ නැති තරම් වේගයෙන් ඒ ලෙඩේ වැඩි වෙලා කතා කරන එක, ඇවිදින එක, කෑම ගිලින එක එන්න එන්නම අමාරු වෙන්න ගත්තා.

නීතිඥයෙක් විදිහට යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ වැඩවලට උදව් කරන්න ලැබුණ එක ගැන මට දැනෙන්නේ ලොකු සතුටක්. වෛද්‍යවරුන්, නීතිඥයන්, විනිසුරුවරුන් කියවන සඟරාවලට ලිපි ලියන්නත් මට අවස්ථාව ලැබුණා. සැත්කම්වලදී සහ වෛද්‍ය ප්‍රතිකාර ගද්දී රුධිරය ලබා නොගෙන ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තියෙන අයිතිය ගැන ලෝකේ පුරාම දේශන ඉදිරිපත් කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ වුණත් මම හිතන්නේ ලූක් 17:10 කියනවා වගේ ‘මම නිකම්ම නිකම් දාසයෙක් විතරයි. මං කළේ මං කළ යුතු දේ විතරයි’ කියලා.