Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 30

සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්න

සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්න

“මාගේ දරුවන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වන බව අසන්න ලැබීම තරම් සතුටක් තවත් මට නැත.”—3 යොහ. 4.

ගීතිකාව 54 “යා යුතු හරි මඟ”

මේ ලිපියෙන් *

1. 3 යොහන් 3, 4 අනුව අපිට සතුටක් දැනෙන්නේ මොන දෙයින්ද?

සත්‍ය මාර්ගයට එන්න තමන් උදව් කරපු අය දිගටම විශ්වාසවන්තව සේවය කරනවා කියලා අහන්න ලැබුණාම යොහන්ට කොයි තරම් සතුටක් දැනෙන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්ද? ඒ අය ගොඩක් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දුන්නා. තමන්ගෙම දරුවන් විදිහට යොහන් සලකපු ඒ අයගේ විශ්වාසය ශක්තිමත් කරන්න එයා එයාට පුළුවන් උපරිමය කළා. අපේ දරුවන්, අපි සත්‍යයට එන්න උදව් කරපු අය එයාලගේ ජීවිත දෙවියන්ට කැප කරලා දිගටම සේවය කරනවා දකිද්දී අපිට හැඟෙන්නෙත් යොහන්ට හැඟුණා වගේමයි.—3 යොහන් 3, 4 කියවන්න.

2. යොහන් ලිපි 3 ලිව්වේ ඇයි?

2 ක්‍රි.ව. 98 වෙද්දී යොහන් ජීවත් වෙන්න ඇත්තේ එෆීසයේ නැත්නම් ඊට කිට්ටු තැනක. පේන විදිහට එයා එහෙට යන්න ඇත්තේ පැට්මොස් දූපතේ සිරදඬුවමින් නිදහස් වුණාට පස්සේ. ඒ කාලේදී ලිපි 3ක් ලියන්න යෙහෝවා දෙවියන් යොහන්ට මඟ පෙන්නුවා. දිගටම යේසුස් ගැන විශ්වාසය තියලා වැඩ කරන්නත් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්නත් විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ව දිරිගන්වන්නයි යොහන් ඒ ලිපි 3 ලිව්වේ.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

3 නියෝජිතයන් අතරින් ඒ වෙනකොට ජීවත්ව හිටියේ යොහන් විතරයි. අසත්‍ය ඉගැන්වීම් පතුරුවන අයගෙන් සභාවට වෙන හානිය ගැන යොහන් හිටියේ කනස්සල්ලෙන්. * (1 යොහ. 2:18, 19, 26) සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගහපු අය දෙවියන්ව දන්නවා කියලා කිව්වාට එයාලා දෙවියන්ගේ ආඥාවලට කීකරු වුණේ නැහැ. දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් යොහන් ක්‍රිස්තියානි සභාවට දීපු උපදෙස් දැන් අපි බලමු. ඒවා ගැන බලද්දී මේ ප්‍රශ්න 3ට උත්තර දැනගන්න පුළුවන්. (1) සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? (2) එහෙම කරන එක අභියෝගයක් වෙන්නේ මොන හේතු නිසාද? (3) සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න අනිත් අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

4. 1 යොහන් 2:3-6 සහ 2 යොහන් 4, 6 අනුව සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

4 සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න නම් අපි මුලින්ම බයිබලේ සඳහන් සත්‍යයන් දැනගන්න ඕනේ. ඒ වගේම අපි ‘දෙවියන්ගේ ආඥා පිළිපදින්නත්’ ඕනේ. (1 යොහන් 2:3-6; 2 යොහන් 4, 6 කියවන්න.) ඒ සම්බන්ධයෙන් හොඳම ආදර්ශය යේසුස්. අපිට හැකි උපරිමයෙන් යේසුස්ව ආදර්ශයට ගන්න එක දෙවියන්ට කීකරු වෙන්න පුළුවන් ප්‍රධාන විදිහක්.—යොහ. 8:29; 1 පේතෘ. 2:21.

5. අපිට ස්ථිර වෙන්න ඕනෙ මොනවාද?

5 සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්න නම් අපිට ස්ථිර වෙන්න ඕනෙ යෙහෝවා දෙවියන් හැම වෙලාවෙම සත්‍යය කියන දෙවි කෙනෙක් කියලා. ඒ නිසා බයිබලේට ඔහු ඇතුළත් කරලා තියෙන හැම දෙයක්ම සත්‍යයයි. පොරොන්දු වුණ ගැලවුම්කරු යේසුස් කියලත් අපිට ස්ථිර විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ සත්‍යයන් ගැන අපි අපිටම ස්ථිර කරගන්න ඕනෙ ඇයි? දේවරාජ්‍යයේ රජු විදිහට පත් කරලා තියෙන්නේ යේසුස්ව කියලා අද ඉන්න හුඟදෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේ අය ගැන යොහන් අනතුරු ඇඟෙව්වා. මොකද යෙහෝවා දෙවියන් සහ යේසුස් ගැන සඳහන් සත්‍ය ඉගැන්වීම් අපි අපිටම ස්ථිර කරගෙන හිටියේ නැත්නම් ඒ අයට පුළුවන් අපිව නොමඟ යවන්න. (2 යොහ. 7-11) ‘යේසුස්ව ක්‍රිස්තුස් ලෙස ප්‍රතික්ෂේප කරන තැනැත්තා බොරුකාරයෙකු වෙනවා’ කියලා යොහන් කිව්වා. (1 යොහ. 2:22) ඒ අයට අහු නොවී ඉන්න පුළුවන් එකම විදිහ දේවවචනය හොඳින් අධ්‍යයනය කරන එකයි. යෙහෝවා දෙවියන්ව සහ යේසුස්ව හොඳින් දැන හඳුන ගන්න අපිට පුළුවන් වෙන්නේ එතකොටයි.—යොහ. 17:3.

මුහුණ දෙන අභියෝග මොනවාද?

6. සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන එක යෞවනයන්ට අමාරු කරන එක හේතුවක් මොකක්ද?

6 මිනිසුන්ගේ අදහස්වලට රැවටෙන්නේ නැතුව ඉන්න අපි හැමෝම පරෙස්සම් වෙන්න ඕනේ. (1 යොහ. 2:26) ඒ උගුලට යෞවනයන් අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ප්‍රංශයේ ජීවත් වෙන වයස 25ක් වන ඇලෙක්සියා * මෙහෙම කියනවා. “ඉස්කෝලේ යන කාලේ මං පරිණාමවාදය, දාර්ශනික අදහස් ඉගෙනගත්තා. සමහර වෙලාවට ඒවාවල ඇත්තක් තියෙනවා කියලා මට හිතුණා. ඒ නිසා සත්‍ය ඉගැන්වීම් ගැන මට සැකයන් ඇති වෙන්න පටන්ගත්තා. ඒත් බයිබලේ උගන්වන දේවල් පැත්තකට දාලා ගුරුවරුන් උගන්වන හැම දෙයක්ම විශ්වාස කරන එක වැරදියි කියලා මට හිතුණා.” පරිණාමවාදය සහ නිර්මාතෘ ගැන තොරතුරු කතා කරලා තියෙන සංවිධානයේ පොතක් ඇලෙක්සියා අධ්‍යයනය කළා. (Life—How Did It Get Here? By Evolution or by Creation?) සති කීපයක් යද්දී එයාට තිබුණ සැකයන් නැති වෙලා ගියා. ඇලෙක්සියා මෙහෙම කියනවා. “බයිබලේ තියෙන්නේ සත්‍ය ඉගැන්වීම් කියලා මං මටම තහවුරු කරගත්තා. ඒ ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙද්දී ලොකු සතුටක්, සමාදානයක් අද්දකින්න පුළුවන් කියලා මං තේරුම්ගත්තා.”

7. අපි නොකර ඉන්න ඕනෙ මොන දේද? ඒ ඇයි?

7 මිනිසුන්ගේ අදහස්වලට රැවටෙන කෙනෙක් දෙබිඩි ජීවිතයක් ගත කරන්න පෙලඹෙන්න පුළුවන්. අපි තරුණ වුණත් මහලු වුණත් අපි හැමෝම ඒ වගේ ජීවිතයක් ගත කරන එකෙන් වළකින්න ඕනේ. අනාචාර ජීවිතයක් ගත කරන ගමන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න අපිට බැහැ කියලා යොහන් කිව්වා. (1 යොහ. 1:6) දැනුත් සදහටමත් යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න නම් අපි කරන හැම දෙයක්ම දෙවියන්ට පේනවා කියන දේ මතක තියාගෙන අපි වැඩ කරන්න ඕනේ. මොකද අපි රහසින් කරන දේවල් මිනිසුන් නොදැක්කත් යෙහෝවා දෙවියන් ඒ හැම දෙයක්ම දකිනවා.—හෙබ්‍රෙ. 4:13.

8. අපි ප්‍රතික්ෂේප කරන්න ඕනෙ මොකක්ද?

8 වැරදි දේවල් ගැන මේ සමාජය දරන අදහස් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. යොහන් මෙහෙම කිව්වා. “‘අප තුළ පාපයක් නැත’ කියා අප පැවසුවොත් අප කරන්නේ අපවම රවටාගැනීමක් පමණි.” (1 යොහ. 1:8) යොහන්ගේ කාලේ සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගහපු අය කිව්වේ දෙවියන් වැරදියි කියලා සලකන දේවල් කරන ගමන් දෙවියන් එක්ක බැඳීමක් තියාගන්නත් පුළුවන් කියලයි. අද සමාජයේ ඉන්න අයට තියෙන්නෙත් ඒ අදහසමයි. හුඟක් අය දෙවියන්ව විශ්වාස කරනවා කියලා කිව්වත් වැරදියි කියලා දෙවියන් කියන දේවල් එයාලා වැරදි හැටියට පිළිගන්නේ නැහැ. විශේෂයෙන්ම ලිංගික කාරණා ගැන දෙවියන් කියන දේවල් එයාලා පිළිගන්නේ නැහැ. වැරදියි කියලා යෙහෝවා දෙවියන් කියලා තියෙන ලිංගික ක්‍රියාවල යෙදෙන්න කෙනෙක් කැමතියි නම් ‘ඒකේ වරදක් නැහැ, ඒක එයාගේ පෞද්ගලික තීරණයක්’ කියලයි එයාලා කියන්නේ.

යෞවනයෙනි, යෙහෝවා දෙවියන් යම් දෙයක් හරියි කියන්නේ හෝ වැරදියි කියන්නේ ඇයි කියලා හොයලා බලන්න. ඔයා වැරදි දේවල් නොකර ඉන්න තීරණය කරලා තියෙන හේතු එතකොට ඔයාට පැහැදිලි කරන්න පුළුවන් (9 ඡේදය බලන්න) *

9. බයිබලේ සඳහන් දේවලට එකඟව ජීවත් වෙන එක යෞවනයන්ට ප්‍රයෝජනවත් කියන්නේ ඇයි?

9 ඉස්කෝලේදී, වැඩ කරන තැනදී තරුණ අය වට වෙලා ඉන්නේ ලිංගික කාරණා ගැන බයිබලේ සඳහන් දේවල් පිළිගන්නේ නැති අයගෙන්. එයාලගේ අදහස්වලට අහු නොවී ඉන්න එක තරුණ අයට ලේසි නැහැ. ඇලෙක්සැන්ඩර් ඒ අභියෝගයට මුහුණ දුන්නා. එයා මෙහෙම කියනවා. “ඉස්කෝලේ ඉන්න ගෑනු ළමයි එයාලත් එක්ක එකට ඉන්න කියලා මට බල කළා. මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැත්තේ මං සමලිංගික කෙනෙක් නිසා වෙන්න ඇති කියලා එයාලා කිව්වා.” ඔයාටත් ඒ වගේ අභියෝගවලට මුහුණ දෙන්න වෙයි. ඒත් හරියි කියලා බයිබලේ කියලා තියෙන දේවලට අනුව වැඩ කළොත් ඔයාගේ ආත්ම ගරුත්වය රැකගන්න ඔයාට පුළුවන්. අනවශ්‍ය සිත් වේදනා මඟහරින්නත් ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම යෙහෝවා දෙවියන් එක්ක දිගටම කිට්ටු බැඳීමක් තියාගන්නත් ඔයාට පුළුවන්. වැරදි පෙලඹීම් ප්‍රතික්ෂේප කරන හැම වෙලාවකම හරි දේ කරන්න ඔයා අරන් තියෙන අධිෂ්ඨානයත් තව ශක්තිමත් වෙනවා. මේ සමාජයේ තියෙන විකෘති ලිංගික අදහස් ඇවිත් තියෙන්නේ සාතන්ගෙන් කියලා මතක තියාගන්න. ලෝකේ අයගේ අදහස් ප්‍රතික්ෂේප කරන හැම වෙලාවකම ඔයා කරන්නේ “දුෂ්ටයාව පරාජය කරන” එකයි.—1 යොහ. 2:14.

10. නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව යෙහෝවා දෙවියන්ට සේවය කරන්න 1 යොහන් 1:9 අපිට උදව් වෙන්නේ කොහොමද?

10 වැරදි දෙයක් හැටියට සලකන්නේ මොකක්ද කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට කියලා අපි පිළිගන්නවා. ඒ වගේම වැරදි දේවල් නොකර ඉන්න අපි ලොකු වෑයමක් ගන්නවා. අපි අතින් වරදක් වුණාම යාච්ඤාවෙන් ඒ ගැන දෙවියන්ට කියනවා. (1 යොහන් 1:9 කියවන්න.) අපි අතින් බරපතළ වරදක් වුණොත් අපිව බලාගන්න දෙවියන් පත් කරලා ඉන්න වැඩිමහල්ලන්ගේ උදව් අපි ලබාගන්නවා. (යාකො. 5:14-16) අතීතයේ අපි කරපු වැරදි ගැන ඕනෑවට වඩා හිතහිත දුක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන් අපිට සමාව දෙන්න ඔහුගේ පුතාගේ ජීවිත පූජාව අපි වෙනුවෙන් දුන්නා. තමන් කරන වැරදි ගැන පසුතැවිලි වෙන අයට සමාව දෙනවා කියලා යෙහෝවා දෙවියන් කියලා තියෙනවා. ඔහු කිව්වා වගේම ඒ දේ කරනවා. ඒ නිසා නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව දෙවියන්ට සේවය කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා.—1 යොහ. 2:1, 2, 12; 3:19, 20.

11. අපේ විශ්වාසය දුර්වල කරන ඉගැන්වීම්වලින් අපේ මනස ආරක්ෂා කරන්න පුළුවන් කොහොමද?

11 සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගහන අයගේ අදහස් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ක්‍රිස්තියානි සභාව පිහිටවපු කාලේ ඉඳන්ම දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ගේ මනස්වල සැකය කියන බීජය පැළ කරන්න සාතන් හුඟක් අයව යොදාගෙන තියෙනවා. ඒ නිසා අපි සත්‍ය තොරතුරු මොනවාද බොරු මොනවාද කියලා හොඳින් දැනන් ඉන්න ඕනේ. * අපේ සතුරන් ඉන්ටර්නෙට් එක, සමාජ ජාල වෙබ් අඩවි හරහා බොරු පතුරුවනවා. එයාලට ඕනෙ යෙහෝවා දෙවියන් ගැන අපේ හිතේ තියෙන විශ්වාසය දුර්වල කරන්නයි. සහෝදරයන් ගැන අපිට තියෙන ආදරේ අඩු කරන්නයි. ඒ බොරු පිටිපස්සේ ඉන්නේ සාතන්. ඒ නිසා ඒවා විශ්වාස කරන්න එපා!—1 යොහ. 4:1, 6; එළි. 12:9.

12. අපි ඉගෙනගත්ත සත්‍ය ඉගැන්වීම් ගැන අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඕනෙ ඇයි?

12 අපේ විශ්වාසය දුර්වල කරන්න සාතන් එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධව ඉන්න නම් යේසුස් ගැන අපිට තියෙන විශ්වාසය වැඩි කරගන්න ඕනේ. යෙහෝවා දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න යේසුස්ව යොදාගන්නවා කියන දේ ගැන අපිට තව තවත් ස්ථිර වෙන්න ඕනේ. ඒ වගේම යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානයට මඟ පෙන්නන්න යොදාගන්න අය ගැනත් අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ. (මතෙ. 24:45-47) නිතිපතා බයිබලේ අධ්‍යයනය කරන එකෙන් අපේ විශ්වාසය තව වැඩි වෙනවා. එතකොට අපේ විශ්වාසය හරියට ගැඹුරට මුල් ඇදපු ගහක් වගේ වෙනවා. කොලොස්සි සභාවට පාවුල් ඒ හා සමාන දෙයක් කිව්වා. එයා කිව්වේ මෙහෙමයි. “ඔබ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ව පිළිගෙන ඇති නිසා ඔහු සමඟ එකට බැඳී සිටින අය ලෙස ඔබේ ජීවිතය ගත කරන්න. ගසක් මුල් අදිනවා වගේ ඔබට ඉගැන්වූ ආකාරයට ඔබත් ඔහු තුළ දිගටම මුල් ඇද ශක්තිමත්ව පිහිටා සිටින්න. ඔහුව අත්තිවාරමක් ලෙස සලකා ඔහු මත ඔබේ ජීවිතය දිගටම ගොඩනඟන්න. එලෙසම ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න.” (කොලො. 2:6, 7) අපි අපේ විශ්වාසය තව වැඩි කරගන්න ලොකු වෑයමක් දරනවා නම් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන එකෙන් අපිව වළක්වන්න සාතන්ටවත් ඔහුගේ පැත්තේ ඉන්න අයටවත් කොහොමටවත් බැහැ.—2 යොහ. 8, 9.

13. අපිට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙන්නේ මොනවාටද? ඒ ඇයි?

13 අපිට අනිවාර්යයෙන්ම මේ සමාජයේ අයගේ වෛරයට මුහුණ දෙන්න වෙනවා. (1 යොහ. 3:13) යොහන් කිව්වා “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තියෙනවා” කියලා. (1 යොහ. 5:19) මේ දුෂ්ට සමාජයේ අවසානය ළං වෙන්න වෙන්න සාතන් තව තවත් කේන්තියෙන් වැඩ කරනවා. (එළි. 12:12) අපේ විශ්වාසය දුර්වල කරන්න සාතන් අනාචාරය කියන උගුල, සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයගේ බොරු යොදාගන්නවා. ඒත් සාතන් එතනින් නතර වෙන්නේ නැහැ. දරුණු විරුද්ධවාදිකම් එල්ල කරලා අපේ විශ්වාසයට කෙළින්ම පහර දෙනවා. දේශනා කිරීමේ කාර්යය නවත්තන්න නැත්නම් අපේ විශ්වාසය දුර්වල කරන්න එයාට තියෙන්නේ තව කෙටි කාලයයි කියලා සාතන් දන්නවා. ඒ නිසා සමහර රටවල අපේ වැඩකටයුතුවලට තහංචි දාලා තියෙන එක ගැන, තවත් රටවල අපේ වැඩකටයුතු තහනම් කරලා තියෙන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. ඒත් ඒ රටවල ඉන්න අපේ සහෝදර සහෝදරියන් දිගටම විඳදරාගන්නවා. සාතන් අපිට විරුද්ධව මොනවා කළත් අපිට විශ්වාසවන්තව ඉන්න පුළුවන් කියලා එයාලා ඔප්පු කරනවා.

එකිනෙකාට උදව් කරන්න

14. දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

14 අපේ සහෝදර සහෝදරියන්ට දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න උදව් කරන්න නම් අපි එයාලට අනුකම්පාවෙන් සලකන්න ඕනේ. (1 යොහ. 3:10, 11, 16-18) හැම දෙයක්ම හොඳින් තියෙද්දී අපේ සහෝදර සහෝදරියන්ට ආදරේ කරලා මදි. එයාලා ප්‍රශ්න ගැටලු අද්දකිද්දීත් අපි ආදරේ පෙන්නන්න ඕනේ. උදාහරණෙකට ආදරේ කරන කෙනෙක්ගේ මරණය නිසා වියෝදුකෙන් ඉන්න කෙනෙක්ව ඔයා දන්නවාද? එයාට සහනයක් නැත්නම් වෙන මොකක් හරි උදව්වක් ඕනෙද? ස්වාභාවික විපතකට මුහුණ දුන්න සහෝදර සහෝදරියන්ව ඔයා දන්නවාද? ඒ අයගේ නමස්කාර මධ්‍යස්ථාන, ගෙවල් නැවත ගොඩනඟන්න උදව් ඕනෙද? සහෝදර සහෝදරියන් ගැන අපිට කොයි තරම් ආදරයක්, අනුකම්පාවක් තියෙනවාද කියලා අපි කියන දේවලින් විතරක් නෙමෙයි අපේ ක්‍රියාවෙනුත් අපි පෙන්නන්න ඕනේ. ඒක තමයි වඩා වැදගත් දේ.

15. 1 යොහන් 4:7, 8 අනුව අපි කරන්න ඕනෙ මොනවාද?

15 එකිනෙකාට ආදරෙන් සලකද්දී අපි ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවියන්ව. (1 යොහන් 4:7, 8 කියවන්න.) අපිට අනිත් අයට ආදරේ පෙන්නන්න පුළුවන් ප්‍රධාන විදිහක් තමයි සමාව දෙන එක. හිතන්න, කෙනෙක් අපේ හිත රිදෙන දෙයක් කරලා පස්සේ සමාව ඉල්ලනවා කියලා. අපි එයාට ආදරෙයි නම් එයාට සමාව දීලා ඒක අමතක කරලා දානවා. (කොලො. 3:13) දවසක් සහෝදර ඇල්ඩෝට ඇහුණා එයාට හිතවත් සහෝදරයෙක් සහෝදර ඇල්ඩෝගේ ජාතියේ අයව පහත් කරලා කතා කරනවා. ඒක ඇහුණාම එයාට ලොකු දුකක් දැනුණා. එයා මෙහෙම කියනවා. “ඒ සහෝදරයා ගැන හිතේ තරහක් ඇති කරගන්නේ නැතුව ඉන්න මට උදව් කරන්න කියලා මං දිගටම යාච්ඤා කළා.” ඇල්ඩෝ තවත් දෙයක් කළා. එයා ඒ සහෝදරයාගෙන් ඇහුවා එයාත් එක්ක සේවයේ යන්න එන්න පුළුවන්ද කියලා. එකට සේවයේ යද්දී ඇල්ඩෝ එයාට දැනුණ දුක ඒ සහෝදරයාට කිව්වා. ඇල්ඩෝ මෙහෙම කියනවා. “එයා කියපු දේ නිසා මට ලොකු දුකක් දැනුණා කියලා දැනගත්තාම එයා මගෙන් සමාව ඉල්ලුවා. එයා සමාව ඉල්ලපු විදිහෙන් මට තේරුණා එයා ඇත්තටම එයා කියපු දේ ගැන දුක් වෙනවා කියලා. එදා අපි ප්‍රශ්නේ විසඳගත්තා. අපි ආයෙත් හොඳ යාළුවෝ.”

16-17. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

16 යොහන්ට එයාගේ සහෝදර සහෝදරියන් ගැන ලොකු ආදරයක් තිබුණා. එයාලා තුළ ශක්තිමත් විශ්වාසයක් තියෙනවා දකින්නයි එයාට ඕනෙ වුණේ. එයාට සහෝදර සහෝදරියන් ගැන තිබුණ ආදරේ, සැලකිල්ල එයා ලියපු ලිපි 3 තියෙන උපදෙස්වලින් හොඳටම පැහැදිලියි. යොහන් වගේ සහෝදර සහෝදරියන් ගැන ආදරයක්, සැලකිල්ලක් තියෙන අය දේවරාජ්‍යයේ පාලනයට හවුල් වෙනවා කියලා දැනගෙන ඉන්න එක මොන තරම් දිරිගැන්වීමක්ද!—1 යොහ. 2:27.

17 මේ ලිපියේ අපි කතා කරපු දේවල් ගැන අපි හොඳට හිතමු. දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න ඒ කියන්නේ අපේ ජීවිතේ හැම කාරණයකදීම යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න අපි අදිටන් කරගමු. දේවවචනය අධ්‍යයනය කරලා ඒකේ තියෙන දේවල් ගැන අපේ විශ්වාසය තව වැඩි කරගමු. යේසුස් ගැන අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් කරගමු. මිනිසුන්ගේ අදහස් වගේම සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගහන අයගේ අදහස් ප්‍රතික්ෂේප කරමු. දෙබිඩි ජීවිතයක් ගත නොකර ඉන්නත් අනිත් අයගෙන් එන වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්නත් අදිටන් කරගමු. යෙහෝවා දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙමු. අපේ හිත රිද්දන අයට සමාව දීලා, උදව් ඕනෙ කරන අයට උදව් කරලා විශ්වාසවන්තව ඉන්න සහෝදර සහෝදරියන්ට උදව් කරමු. එහෙම කරනවා නම් මොන අභියෝග තිබුණත් දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න අපිට පුළුවන්.

ගීතිකාව 49 දෙවිගේ හදවත සතුටු කරමු

^ 5 ඡේ. අපි අද ජීවත් වෙන්නේ බොරුවේ පියා වන සාතන්ගේ පාලනය යටතේ තියෙන ලෝකෙක. ඒ නිසා සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න අපිට ලොකු සටනක් කරන්න වෙනවා. මුල් සියවසේ අගභාගයේ හිටපු ක්‍රිස්තියානීන්ටත් ඒ අභියෝගය තිබුණා. ඒ අභියෝගය ජය ගන්න එයාලටත් අපිටත් උදව් කරන්න යෙහෝවා දෙවියන් යොහන්ට ලිපි 3ක් ලියන්න මඟ පෙන්නුවා. සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන එක අපිට අමාරු කරන දේවල් කීපයක් හඳුනගන්නත් ඒ දේවලට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද කියලත් තේරුම්ගන්න ඒ ලිපි අපිට උදව් වෙනවා.

^ 3 ඡේ. යොහන් ලිපි 3 ලිව්වේ ඇයි” කියන කොටුව බලන්න.

^ 6 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 11 ඡේ. 2018 අගෝස්තු ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “තීරණයකට එන්න කලින් නිවැරදි තොරතුරු ලබාගන්න” කියන ලිපිය බලන්න.

^ 59 ඡේ. පින්තූරයේ අදහස: ඉස්කෝලේදී යෞවන සහෝදරියකට සමලිංගික ක්‍රියාවල කිසි වරදක් නැහැ කියන අදහස දෙන දේවල් නිතරම අහන්න, දකින්න ලැබෙනවා. (සමහර රටවල දේදුන්නේ පාටවලින් සමලිංගික දේවල් නියෝජනය වෙනවා.) ඒ සහෝදරිය ඒ ගැන යෙහෝවා දෙවියන් කියලා තියෙන දේවල් අධ්‍යයනය කරලා එයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්නවා. හරි තීරණයක් ගන්න ඒක එයාට උදව් වෙනවා.