Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 28

දේවරාජ්‍යයේ පාලනය දැනටමත් පටන් අරන්!

දේවරාජ්‍යයේ පාලනය දැනටමත් පටන් අරන්!

“මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන් හා ඔහුගේ ක්‍රිස්තුස් සතු වී ඇත.”—එළි. 11:15.

ගීතිකාව 22 අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!

මේ ලිපියෙන් *

1. අපිට සහතික වෙන්න පුළුවන් මොකක් ගැනද? ඒ ඇයි?

 මේ ලෝකේ සිද්ධ වෙන දේවල් දිහා බලද්දී ඔයාට මොනවාද හිතෙන්නේ? ඉස්සර වගේ නෙවෙයි දැන් පවුලේ අය අතර ලොකු බැඳීමක් නැහැ. මිනිස්සු එන්න එන්නම ආත්මාර්ථකාමී, දරුණු අය වෙලා. පාලකයන් ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසෙත් බින්දුවටම බැහැලා. බැලූ බැල්මට අපේ අනාගතේ අඳුරුයි වගේ නේද? ඒත් ඒ දේවල්ම තමයි අපේ හිතේ බලාපොරොත්තුවක් ඇති කරන්නෙත්. ඒ කොහොමද? අද මිනිස්සු හිතන්නේ පතන්නේ, වැඩ කරන්නේ “අවසාන කාලය” ගැන බයිබලේ තියෙන අනාවැකියක කියලා තියෙන විදිහටමයි. (2 තිමෝ. 3:1-5) ඒ අනාවැකිය ඉටු වෙනවා දකිද්දී අවංක අයට තේරෙනවා දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් දැනටමත් ස්වර්ගයේ රජකම් කරන්න පටන් අරගෙනයි තියෙන්නේ කියලා. හැබැයි ඒක දේවරාජ්‍යය ගැන බයිබලේ තියෙන අනාවැකිවලින් එකක් විතරයි. පහුගිය දශක ගණනාව පුරා ඉටු වුණ ඒ වගේ තවත් අනාවැකි ගැන අධ්‍යයනය කරන එකෙන් අපේ විශ්වාසේ තවත් ශක්තිමත් වෙයි.

දානියෙල් සහ එළිදරව් පොතේ තියෙන අනාවැකි හරියට ජිග්සෝ පසල් එකක කෑලි වගේ. ඒ කෑලි එකට එකතු කරද්දී සම්පූර්ණ චිත්‍රය හැදෙනවා. ඒ වගේ ඒ අනාවැකි එකිනෙකට සම්බන්ධ වෙන විදිහ තේරුම්ගද්දී ඒ චිත්‍රයේ අපි දැන් ඉන්නේ කොහෙද කියලා අපිට දකින්න පුළුවන් (2 ඡේදය බලන්න)

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? ඒ ඇයි? (කවරයේ පින්තූරය බලලා ඒ ගැන අදහසක් දෙන්න.)

2 (1) දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තේ කවදාද කියලා තේරුම්ගන්න උදව් වෙන අනාවැකියක් ගැන, (2) දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් ස්වර්ගයේ රජකම් කරන්න පටන් අරගෙනයි තියෙන්නේ කියලා තේරුම්ගන්න උදව් වෙන අනාවැකි ගැන, (3) දේවරාජ්‍යයෙන් දෙවියන්ගේ සතුරන්ව විනාශ කරන්නේ කොහොමද කියලා පෙන්නන අනාවැකි කීපයක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. ඒ අනාවැකි හරියට ජිග්සෝ පසල් එකක කෑලි වගේ. ජිග්සෝ පසල් එකේ කෑලි එකට එකතු කරද්දී තමයි සම්පූර්ණ චිත්‍රය දැකගන්න පුළුවන්. ඒ වගේ මේ අනාවැකි එකිනෙකට සම්බන්ධ වෙන විදිහ තේරුම්ගද්දී තමයි සම්පූර්ණ පින්තූරේ අපි දැන් ඉන්න තැන හොඳටම පැහැදිලි වෙන්නේ.

දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තේ කවදාද?

3. දානියෙල් 7:13, 14 තියෙන අනාවැකියෙන් අපිට ලැබෙන සහතිකය මොකක්ද?

3 දේවරාජ්‍යයේ රජ වෙන්න සුදුසුම කෙනා යේසුස් කියන දේ අපිට දානියෙල් 7:13, 14 තියෙන අනාවැකියෙන් පැහැදිලි වෙනවා. එතන කියන විදිහට හැම ජාතියකම ඉන්න අය යේසුස්ට කැමැත්තෙන්ම ‘සේවය කරනවා.’ ඒ වගේම ඔහුගේ පාලනය කවදාවත් නැති වෙන්නේ නැහැ. දානියෙල් පොතේ තියෙන තවත් අනාවැකියක කියනවා යේසුස්ට රජකම ලැබෙන්නේ කාලවල් හතක් අවසානයේදී කියලා. ඒ ප්‍රීතිමත් දේ සිද්ධ වුණේ කවදාද කියලා දැනගන්න මොකක් හරි විදිහක් තියෙනවාද?

4. යේසුස්ට රජකම ලැබෙන්නේ කවදාද කියලා දැනගන්න දානියෙල් 4:10-17 අපිට උදව් වෙන්නේ කොහොමද? පැහැදිලි කරන්න. (පාදසටහනත් බලන්න.)

4 දානියෙල් 4:10-17 කියවන්න. “කාලවල් හත” කියන්නේ අවුරුදු 2,520ක කාල පරිච්ඡේදයක්. ඒක පටන්ගත්තේ ක්‍රි.පූ. 607 යෙරුසලමේ දෙවියන්ගේ පාලනය නියෝජනය කරපු අන්තිම රජව බැබිලෝනිවරුන් යටත් කරගන්නවත් එක්කමයි. ඒක අවසන් වුණේ ක්‍රි.ව. 1914දී. ඒ දේවරාජ්‍යයේ රජ වෙන්න නීත්‍යානුකූල අයිතිය ඇති තැනැත්තා වන යේසුස්ව යෙහෝවා දෙවියන් රජ විදිහට පත් කළාට පස්සේ. *එස. 21:25-27.

5. “කාලවල් හත” ගැන තියෙන අනාවැකිය දැනගෙන ඉන්න එකෙන් අපිට තියෙන එක ප්‍රයෝජනයක් කියන්න.

5 අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? “කාලවල් හත” ගැන තියෙන අනාවැකිය තේරුම්ගන්න එක හරිම වැදගත්. මොකද යෙහෝවා දෙවියන් පොරොන්දු වුණ දේවල් හරි වෙලාවට, ඒ විදිහටම ඉටු කරනවා කියන එක ගැන අපිට තියෙන විශ්වාසය ඒකෙන් තවත් ශක්තිමත් වෙනවා. ඒ කොහොමද? දේවරාජ්‍යය පිහිටුවන්නේ මොන අවුරුද්දේද කියලා යෙහෝවා කලින්ම තීරණය කළා. ඒ වගේම ඒ විදිහටම ඔහු ඒක ඉටු කළා. එහෙනම් අනිත් අනාවැකි හැම එකක්මත් දෙවියන් නියම වෙලාවට ඉටු කරනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ. ඒකෙන් අපි මොකක්ද තේරුම්ගන්නේ? යෙහෝවා දෙවියන්ගේ දවස ‘ප්‍රමාද වෙන්නේ නැහැ.’ ඒක හරි වෙලාවට අනිවාර්යයෙන්ම එනවා.—හබ. 2:3.

යේසුස් දේවරාජ්‍යයේ රජ වුණා කියලා අපි දන්නේ කොහොමද?

6. (අ) යේසුස් ස්වර්ගයේ රජ වුණා කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද? (ආ) එළිදරව් 6:2-8 තියෙන අනාවැකියෙන් ඒක තවත් පැහැදිලි වෙන්නේ කොහොමද?

6 යේසුස් ස්වර්ගයේ රජකම් කරන්නේ කවදාද කියලා හරියටම අඳුරගන්න උදව් වෙන දේවල් කීපයක් ඔහු මේ පොළොවේ ඉද්දී ගෝලයන්ට කිව්වා. ඒ අතරේ යුද්ධ, සාගත, භූමිකම්පා ගැන ඔහු සඳහන් කළා. ඒ වගේම ‘එක් තැනක් පාසා තවත් තැනක වසංගත ඇති වෙනවා’ කියලත් ඔහු කිව්වා. කොරෝනා වසංගතය ඒකට හොඳම උදාහරණයක්. ඒ සිද්ධීන් ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය අඳුරගන්න තියෙන ‘ලකුණට’ අයිති දේවල්. (මතෙ. 24:3, 7; ලූක් 21:7, 10, 11) යේසුස් ස්වර්ගයට ගිහින් අවුරුදු 60කටත් වඩා වැඩි කාලයක් ගියාට පස්සේ ඔහු යොහන්ටත් කිව්වා සාගත, වසංගත, යුද්ධ වගේ දේවල් සිද්ධ වෙන කාලයක් එනවා කියලා. (එළිදරව් 6:2-8 කියවන්න.) 1914 යේසුස් දේවරාජ්‍යයේ රජ වුණාට පස්සේ ඔහු කලින් කියපු ලකුණේ හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා.

7. යේසුස් ස්වර්ගයේ රජ වුණාම පොළොවේ ගොඩක් ප්‍රශ්න ඇති වුණේ ඇයි?

7 එළිදරව් 6:2 කියන දෙයින් පැහැදිලි වෙනවා ස්වර්ගයේ රජ වෙච්ච ගමන්ම යේසුස් කළේ යුද්ධයක් කරන්න පිටත් වුණ එකයි කියලා. ඒ කාට විරුද්ධවද? ඒ සාතන්ට සහ භූතයන්ට විරුද්ධව. ඒ යුද්ධයෙන් සාතන්ට අන්ත පරාජයක් අත් වුණා කියලා එළිදරව් 12වෙනි පරිච්ඡේදයේ කියනවා. ඊටපස්සේ සාතන්ව සහ භූතයන්ව යේසුස් පොළොවට හෙළුවා. එදා ඉඳන් සාතන් ඉන්නේ කේන්තියෙන් වියරු වැටිලා. ඒ නිසයි ‘පොළොවේ ඉන්න අයට දරුණු විපත්වලට මුහුණ දෙන්න’ වෙලා තියෙන්නේ.—එළි. 12:7-12.

ලෝකේ පුරා සිද්ධ වෙන දේවල් අහන්න දකින්න ලැබෙද්දී අපි ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. හැබැයි ඒවාවලින් බයිබල් අනාවැකි ඉටු වෙන විදිහ අපි දකිනවා. ඒ නිසා දේවරාජ්‍යයේ පාලනය පටන් අරගෙනයි තියෙන්නේ කියලා අපිට කිසිම සැකයක් නැහැ (8 ඡේදය බලන්න)

8. දේවරාජ්‍යය ගැන තියෙන අනාවැකි ඉටු වෙන විදිහ දකිද්දී ඒක අපිට බලපාන්නේ කොහොමද?

8 අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? අන්තිම කාලේදී ලෝක සිද්ධීන්වල, මිනිස්සුන්ගේ ගතිගුණවල පැහැදිලි වෙනසක් දකින්න තියෙනවා. ඒකෙන් තේරෙනවා යේසුස් දැනටමත් ස්වර්ගයේ රජ වෙලා කියලා. ඉතින් මිනිස්සු තමන්ගේ වාසිය ගැන විතරක් හිතලා වැඩ කරද්දී, දරුණු විදිහට හැසිරෙද්දී කලකිරෙනවා වෙනුවට ඒවායින් බයිබල් අනාවැකි ඉටු වෙන විදිහ දකින්න. දැනටමත් දේවරාජ්‍යයේ පාලනය පටන් අරගෙනයි තියෙන්නේ කියලා තේරුම්ගන්න. (ගීතා. 37:1) හර්–මගෙදොන් යුද්ධයට අපි දවසින් දවස ළං වෙද්දී ලෝකේ තත්වය මීටත් වඩා දරුණු වෙයි. (මාක් 13:8; 2 තිමෝ. 3:13) මේ ලෝකේ මෙච්චර ප්‍රශ්න තියෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා අපිට උදව් කරලා තියෙන එක ඇත්තටම ලොකු සහනයක් නෙවෙයිද!

දේවරාජ්‍යය ඉදිරියේ දෙවියන්ගේ සතුරන්ට අන්ත පරාජයක්!

9. දානියෙල් 2:28, 31-35 පෙන්නන විදිහට අන්තිම ලෝක අධිරාජ්‍යය මොකක්ද? ඒ අධිරාජ්‍යය බලයට පත් වුණේ කවදාද?

9 දානියෙල් 2:28, 31-35 කියවන්න. ඒ බයිබල් පදවල තියෙන අනාවැකි ඉටු වෙන විදිහත් අද අපේ ඇස් දෙකෙන්ම දැකගන්න පුළුවන්. “මතු දවස්වලදී” ඒ කියන්නේ යේසුස් රජ වුණාට පස්සේ සිද්ධ වෙන දෙයක් ගැන නෙබුකද්නෙෂර් රජ හීනෙකින් දැක්කා. ඒ හීනෙන් එයා දැක්කේ ලොකු රූපයක්. ඒකේ ‘පාද හැදිලා තියෙන්නේ යකඩවලින් සහ මැටිවලින්.’ ඒ පාදවලින් නියෝජනය වුණේ අන්තිම ලෝක අධිරාජ්‍යයයි. ඒ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය. ඒක බිහි වුණේ 1වෙනි ලෝක මහා යුද්ධ කාලේදී බ්‍රිතාන්‍යය හා ඇමරිකාව අත්වැල් බැඳගන්නවත් එක්කමයි. එයාලා යේසුස්ට විරුද්ධව වැඩ කරන නිසා එයාලත් යේසුස්ගේ සතුරෝ වුණා. හැබැයි මේ අන්තිම ලෝක අධිරාජ්‍යය ඉතිහාසයේ තිබුණ අනිත් අධිරාජ්‍යයන්ට වඩා වෙනස් වුණේ කොහොමද? නෙබුකද්නෙෂර් දැකපු හීනෙන් ඒකට අපිට ඉඟි දෙකක් හොයාගන්න පුළුවන්.

10. (අ) දානියෙල්ගේ අනාවැකියෙන් පැහැදිලි වෙන විදිහට බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යයේ තියෙන විශේෂ ලක්ෂණය මොකක්ද? (ආ) අපි පරෙස්සම් වෙන්න ඕනෙ කාගෙන්ද? (“ මැටිවලින් පරෙස්සම් වෙන්න!” කියන කොටුව බලන්න.)

10 පළවෙනි ඉඟිය මොකක්ද? නෙබුකද්නෙෂර් රජ දැකපු හීනේ අනිත් ලෝක අධිරාජ්‍යයන් හැදිලා තිබුණේ කිසිම දෙයක් මිශ්‍ර වෙලා නැති රන්, රිදී වගේ ලෝහවලින්. හැබැයි අන්තිම ලෝක අධිරාජ්‍යය ඒ කියන්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය හැදිලා තිබුණේ යකඩ සහ මැටි මිශ්‍ර වෙලයි. මැටි මිශ්‍ර වෙලා තියෙන එකෙන් අදහස් වෙන්නේ ඒ අධිරාජ්‍යයට “සාමාන්‍ය ජනයාත් සම්බන්ධයි” කියන එක. (දානි. 2:43) අද සිද්ධ වෙන දේවල්වලින් ඒක හොඳටම පැහැදිලියි. සාමාන්‍ය මිනිස්සුන්ට අද ලොකු බලයක් තියෙනවා. කොච්චරද කියනවා නම් පාලකයන්ව පත් කරන්න එහෙම නැත්නම් එයාලව අයින් කරන්න වුණත් මිනිස්සුන්ට පුළුවන්. ඒ වගේම මිනිස්සු කොයි වෙලේ බැලුවත් මානව හිමිකම් වෙනුවෙන් සටන් කරනවා, උද්ඝෝෂණය කරනවා. ඒ වගේම එයාලා අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීය සමිතිත් පිහිටුවලා තියෙනවා. ඒ නිසා හුඟක් බලවත් වගේ පෙනුණාට හිතන තරම් බලයක් ආණ්ඩුවලට නැහැ.

11. රූපයේ පාද කොටසෙන් බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය නියෝජනය වෙන එකේ තියෙන විශේෂත්වය මොකක්ද?

11 දෙවෙනි ඉඟිය මොකක්ද? නෙබුකද්නෙෂර් දැකපු රූපේ පාද කොටසෙන් ඒ කියන්නේ අවසාන කොටසෙන් තමයි බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය නියෝජනය වුණේ. ඒකෙන් පැහැදිලි වෙනවා ඒ අධිරාජ්‍යයෙන් පස්සේ තව එකක් එන්නේ නැහැ කියලා. ඒ වෙනුවට හර්–මගෙදොන් යුද්ධයේදී දේවරාජ්‍යය ඒ අධිරාජ්‍යය ඇතුළු අනිත් හැම මිනිස් ආණ්ඩුවක්ම සුනුවිසුනු කරනවා කියලා බයිබලේ කියලා තියෙනවා. *එළි. 16:13, 14, 16; 19:19, 20.

12. දානියෙල්ගේ අනාවැකිය තේරුම්ගන්න එක අපිට සහනයක් වෙන්නේ කොහොමද?

12 අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? අපි ඉන්නේ අන්තිම කාලේ කියලා තේරුම්ගන්න දානියෙල්ගේ අනාවැකියෙන් තවත් සාක්ෂියක් හොයාගන්න පුළුවන්. මීට අවුරුදු 2,500කටත් වඩා වැඩි කාලෙකට කලින් දානියෙල් කිව්වා බැබිලෝනියට පස්සේ තවත් ලෝක අධිරාජ්‍යයන් හතරක් දෙවියන්ගේ සෙනඟට බලපෑම් කරනවා කියලා. දානියෙල් දැකපු ඒ අධිරාජ්‍යයන් හතරෙන් අන්තිම අධිරාජ්‍යය තමයි බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය. ඒකෙන් පස්සේ තව අධිරාජ්‍යයක් එන්නේ නැහැ. ඒ කියන්නේ දේවරාජ්‍යයෙන් මිනිස් ආණ්ඩු හැම එකක්ම මේ පොළොවෙන් අතුගාලා දාන්න තව වැඩි කාලයක් නැහැ කියන එකයි. (දානි. 2:44) ඒක ඇත්තටම සහනයක් නෙවෙයිද?

13. එළිදරව් 17:9-12 තියෙන ‘අටවෙනි රජගෙන්’ සහ “රජවරුන් දහදෙනාගෙන්” නියෝජනය වෙන්නේ මොනවාද? ඒ අනාවැකිය ඉටු වෙලා තියෙන්නේ කොහොමද?

13 එළිදරව් 17:9-12 කියවන්න. 1වෙනි ලෝක මහා යුද්ධයෙන් වුණ විනාශයත් එක්කම අන්තිම කාලේ ගැන කියලා තියෙන තවත් අනාවැකියක් ඉටු වුණා. ඒ මොකක්ද? ලෝක නායකයන්ට ඕනෙ වුණා මුළු ලෝකෙටම සාමය ගේන්න. ඒ වෙනුවෙන් එයාලා 1920 ජනවාරිවල ජාතීන්ගේ සංගමය පිහිටෙව්වා. ඊටපස්සේ 1945 ඔක්තෝබර්වල ජාතීන්ගේ සංගමය වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටෙව්වා. ‘අටවෙනි රජ’ කියලා බයිබලේ හඳුන්වලා තියෙන්නේ ඒ සංවිධානයයි. හැබැයි ඒක ලෝක අධිරාජ්‍යයක් නෙවෙයි. එහෙනම් ඒකට බලය ලැබෙන්නේ කොහොමද? එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය, අධිකාරිය ලැබෙන්නේ ලෝකේ පුරාම තියෙන ආණ්ඩුවලින්. එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහයෝගය දෙන ඒ ආණ්ඩු බයිබලේ හඳුන්වලා තියෙන්නේ “රජවරුන් දහදෙනා” විදිහටයි.

14-15. (අ) එළිදරව් 17:3-5 “මහ බැබිලෝනිය” ගැන කියන්නේ මොකක්ද? (ආ) ඉස්සර බොරු ආගම්වලට මිනිස්සු ගොඩක් සහයෝගය දුන්නා. ඒත් දැන් සිද්ධ වෙන්නේ මොකක්ද?

14 එළිදරව් 17:3-5 කියවන්න. එක අවස්ථාවකදී යොහන් ගණිකාවක්ව දර්ශනයකින් දැක්කා. “මහ බැබිලෝනිය” කියලා හඳුන්වන ඒ ගණිකාවගෙන් නියෝජනය වෙන්නේ ලෝක අධිරාජ්‍යයක් වගේ තියෙන සියලුම බොරු ආගම්. යොහන් දැක්ක දර්ශනය ඉටු වෙලා තියෙන්නේ කොහොමද? අවුරුදු දහස් ගාණක් තිස්සේ බොරු ආගමික සංවිධාන දේශපාලනයත් එක්ක මිතුරුකම් පවත්වනවා, එයාලා කරන කරන දේවල්වලට ආශීර්වාදත් කරනවා. හැබැයි ඒ හැම දෙයක්ම වෙනස් වෙන්න තව වැඩි කල් යන්නේ නැහැ. මොකද “දෙවියන් තමන් අරමුණු කරන දේ ඉටු කරන්න” පාලකයන්ව පොලඹවනවා. එතකොට මොනවා වෙයිද? ‘රජවරු දහදෙනාගෙන්’ නියෝජනය වෙන ලෝක පාලකයන් බොරු ආගම්වලට වෛර කරලා ඒවා නැත්තටම නැති කරලා දානවා.—එළි. 17:1, 2, 16, 17.

15 මහ බැබිලෝනියේ විනාශය ළඟයි කියලා අපි දන්නේ කොහොමද? ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න අපි ටිකක් අතීතයේ තිබුණ බැබිලෝනියට යමු. ඒ නුවර වටේ යුප්‍රටීස් ගඟේ අතු ගංගාවක් ගලාගෙන ගියා. ඒ නිසා ඒ නුවරට ලොකු ආරක්ෂාවක් ලැබුණා. එළිදරව් පොතේ මහ බැබිලෝනියට සහයෝගය දෙන මිලියන ගාණක් අයව සමාන කරලා තියෙන්නෙත් ‘ජල ධාරාවලට.’ (එළි. 17:15) හැබැයි ඊටපස්සේ එතන කියනවා බොරු ආගම්වලට ආරක්ෂාවක් වෙලා තියෙන ඒ ජලධාරා ‘හිඳිලා යනවා’ කියලා. (එළි. 16:12) ඒ අනාවැකිය දැන් ඉටු වෙනවාද? ඔව්. අද ඉන්න හුඟක් අයට ආගම් එපා වෙලා. ඒ නිසා එයාලගේ ප්‍රශ්නවලට වෙන වෙන විදිවලින් විසඳුම් හොයන්න එයාලා පටන් අරන් තියෙනවා.

16. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන සහ මහ බැබිලෝනියේ විනාශය ගැන තියෙන අනාවැකි තේරුම්ගන්න එක අපිට උදව් වෙන්නේ කොහොමද?

16 අපිට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන, බොරු ආගම්වලට මිනිස්සුන්ගෙන් ලැබෙන සහයෝගය අඩු වෙන එක ගැන තියෙන අනාවැකි ඉටු වෙද්දී අපි ඉන්නේ අවසාන කාලේ කියලා අපිට තවත් තහවුරු වෙනවා. හැබැයි මහ බැබිලෝනිය විනාශ වෙන්නේ ජලධාරා හිඳිලා යන නිසා නෙවෙයි. එහෙනම් කොහොමද? යෙහෝවා දෙවියන් තමයි “රජවරු දහදෙනාගේ” හිත්වලට ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහයෝගය දෙන ලෝක පාලකයන්ගේ ‘හිත්වලට ඒ අදහස දාන්නේ.’ කවුරුවත් හිතපු නැති විදිහට හදිස්සියෙන්ම මහ බැබිලෝනිය විනාශ වෙද්දී ලෝකේ පුරාම මහා ආන්දෝලනයක් ඇති වෙනවා. * (එළි. 18:8-10) මුළු ලෝකෙම කලඹවන ඒ සිද්ධිය නිසා මිනිස්සුන්ට ගොඩක් අමාරු දේවල්වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙයි. ඒත් දෙවියන්ගේ සෙනඟට සතුටු වෙන්න අඩුම තරමේ හේතු දෙකක්වත් තියෙනවා. (1) මෙච්චර කාලයක් තිස්සේ දෙවියන්ට විරුද්ධව වැඩ කරපු බොරු ආගම් එදාට නැහැ. (2) මේ දුෂ්ට සමාජයෙන් අපි ගැලවීම ලබන දවස අත ළඟයි!—ලූක් 21:28.

අනාගතේට ධෛර්යයෙන් මුහුණ දෙන්න!

17-18. (අ) අපේ විශ්වාසය දිගටම ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද? (ආ) ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

17 දානියෙල් කිව්වා අවසාන කාලේදී ‘නිවැරදි දැනුම නොඅඩුව ලැබෙනවා’ කියලා. ඒක මොන තරම් ඇත්තක්ද! මේ වෙද්දී අපේ කාලේ ඉටු වෙන අනාවැකි ගැන අපිට පැහැදිලි අවබෝධයක් ලැබිලා තියෙනවා. (දානි. 12:4, 9, 10) ඒ අනාවැකි අකුරක් නෑර ඉටු වෙනවා දකිද්දී යෙහෝවා දෙවියන් කොච්චර ශ්‍රේෂ්ඨද කියලා හිතෙනවා. ඔහුගේ වචනය ගැන ලොකු අගයකුත් ඇති වෙනවා. (යෙසා. 46:10; 55:11) එහෙනම් අපි පෙලඹෙන්න ඕනෙ මොනවා කරන්නද? බයිබලය හොඳට අධ්‍යයනය කරලා අපේ විශ්වාසය වැඩි කරගන්න ඕනේ. ඒ වගේම යෙහෝවා එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න අනිත් අයටත් උදව් කරන්න ඕනේ. ඒ විදිහට අපි දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා ඔහු මත රඳා ඉන්නවා නම් ඔහු අපේ ජීවිත සමාදානෙන් පුරවනවා. (යෙසා. 26:3) ඒ වගේම අපිව ඇස් දෙක වගේ බලාගන්නවා.

18 මේ අවසාන කාලේදී ක්‍රිස්තියානි සභාවේ වෙන දේවල් ගැන බයිබලේ තියෙන අනාවැකි මොනවාද? ඒ අනාවැකි අනිත් අනාවැකි එක්ක සම්බන්ධ වෙලා ජිග්සෝ පසල් එකේ සම්පූර්ණ චිත්‍රය හැදෙන්නේ කොහොමද? ස්වර්ගයේ සිංහාසනයක වාඩි වෙලා ඉන්න අපේ රජාණන් වන යේසුස් දැනටමත් අපිට මඟ පෙන්වනවා කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 61 සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!

^ අපි ජීවත් වෙන්නේ ඉතිහාසගත වෙන කාලෙක. මොකද දැනටමත් දේවරාජ්‍යය පාලනය කරන්න පටන් අරගෙනයි තියෙන්නේ. ඒක බයිබල් අනාවැකි කීපයකම පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේ සමහර අනාවැකි ගැන අපි මේ ලිපියෙන් බලමු. යෙහෝවා දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය තව ශක්තිමත් කරගන්නත් මොන දේ වුණත් සන්සුන්ව ඉඳලා ඔහු මත රඳා ඉන්නත් ඒවා අපිට උදව් වෙයි.

^ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ 32වෙනි පාඩමේ 4වෙනි කරුණ සහ jw.org වෙබ් අඩවියේ “දේවරාජ්‍යයේ පාලනය 1914දී ඇරඹෙයි!” කියන වීඩියෝ එක බලන්න.

^ දානියෙල්ගේ අනාවැකිය ගැන වැඩි විස්තර දැනගන්න 2012 ජූනි 15 ‘මුරටැඹ’ සඟරාවේ 14-19 පිටු බලන්න.

^ අනාගතේදී වෙන දේවල් ගැන තවත් තොරතුරු දැනගන්න ‘දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!’ කියන පොතේ 21වෙනි පරිච්ඡේදය බලන්න.