Skip to content

පටුනට යන්න

“පාරාදීසයේදී හම්බ වෙමු!”

“පාරාදීසයේදී හම්බ වෙමු!”

‘ඔබ මා සමඟ පාරාදීසයේ සිටිනවා.’—ලූක් 23:43.

ගීතිකා: 145, 139

1, 2. පාරාදීසය ගැන මිනිසුන්ට තියෙන විවිධ මත මොනවාද?

කොරියාවේ පැවැත්තුව සමුළුවකට විවිධ රටවලින් සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ඇවිත් හිටියා. සමුළුව ඉවර වෙලා එයාලා යද්දී ඒ රටේ සහෝදර සහෝදරියන් අත වනන ගමන් එයාලට කිව්වා “අපි පාරාදීසයේදී හම්බ වෙමු” කියලා. එයාලා කියපු ඒ පාරාදීසය මොකක්ද?

2 පාරාදීසය කියන වචනය ගැන අද ඉන්න හුඟක් අයට තියෙන්නේ විවිධ මත. සමහරු කියනවා ඒක මිනිසුන් හිතින් මවාගත්ත දෙයක් කියලා. සතුටු වෙන්න පුළුවන් ඕනෙම තැනක් පාරාදීසයක් කියලා කියන අයත් ඉන්නවා. දවස් ගාණක් හාමතේ හිටපු කෙනෙකුට කෑම පිරුණු මේසයක් ඉස්සරහා ඉද්දී එයා ඉන්නේ පාරාදීසයක කියලා හිතෙයි. ලස්සන මල් පිරුණු තැනිතලාවකට ගිය කාන්තාවක් කිව්වා “මේක නම් පාරාදීසයක්” කියලා. පාරාදීසය කියද්දී ඔයාගේ මනසට එන්නේ මොකක්ද? පාරාදීසයක ජීවත් වෙන්න ඔයා බලාපොරොත්තුවෙන් ඉන්නවාද?

3. බයිබලේ පාරාදීසය ගැන මුලින්ම සඳහන් වෙන්නේ කොහේද?

3 බයිබලේ අතීතයේ තිබුණ පාරාදීසයක් ගැනත් අනාගතයේදී තියෙන්න යන පාරාදීසයක් ගැනත් කතා කරනවා. පාරාදීසය ගැන බයිබලේ මුලින්ම සඳහන් වෙන්නේ උත්පත්ති පොතේ. ලතින් පිටපතකින් පරිවර්තනය කරපු “ඩුඒ වර්ෂන්” කියන කතෝලික බයිබලේ උත්පත්ති 2:8 සඳහන් වෙන්නේ මෙහෙමයි. “මුල් කාලයේදී ස්වාමීන් වන දෙවි ප්‍රීතිය පිරුණු පාරාදීසයක් පිහිටෙව්වා. ඔහු සෑදූ මිනිසාව ඔහු එහි තැබුවේය.” හෙබ්‍රෙව් පිටපත්වල ඒ පදයේ සඳහන් වෙන්නේ ‘ඒදන් උයන’ කියලයි. “ඒදන්” කියන වචනයේ තේරුම “ප්‍රීතිය, සතුට” කියන එකයි. සතුටින් ජීවත් වෙන්න ඕනෙ කරන හැම දේම ඒ උයනේ තිබුණා. එහේ හිටපු සතුන් සහ මිනිසුන් එකිනෙකාට හිරිහැර කළේ නැහැ.—උත්. 1:29-31.

4. ඒදන් උයන පාරාදීසයක් කියලා කියන්න පුළුවන් ඇයි?

4 උයන හැටියට පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනය ග්‍රීක භාෂාවට පරිවර්තනය කරද්දී පාවිච්චි කරලා තියෙන්නේ “පැරැදිසෝස්” කියන වචනය. එක විශ්වකෝෂයක සඳහන් වෙනවා “පැරැදිසෝස්” කියන වචනය ග්‍රීක ජාතිකයෙක්ට ඇහෙද්දී එයාගේ මනසට එන්නේ ලස්සන, ඇති තරම් ඉඩකඩ තියෙන, කාටවත් කාගෙන්වත් කරදරයක් වෙන්නේ නැති, එක එක ජාතියේ පලතුරු ගස්වලින් පිරුණු උයනක් කියලා. (The Cyclopaedia by M’Clintock and Strong) ඒදන් උයන ඇත්තටම පාරාදීසයක් කියලා ඒ විස්තරයෙන් තේරෙනවා.—උත්පත්ති 2:15, 16 බලන්න.

5, 6. පාරාදීසයේ දිගටම ජීවත් වෙන්න තිබුණ අවස්ථාව මුල් යුවළට අහිමි වුණේ ඇයි? සමහරුන්ගේ මනසට එන ප්‍රශ්නේ මොකක්ද?

5 යෙහෝවා දෙවි ආදම් සහ ඒවව නිර්මාණය කරලා එයාලව පදිංචි කළේ ලස්සන උයනක. ඒක පාරාදීසයක්. ඒත් එයාලා දෙවිට අකීකරු වුණ නිසා ඒ පාරාදීසයේ දිගටම ජීවත් වෙන්න තිබුණ අවස්ථාව එයාලට විතරක් නෙමෙයි එයාලගෙන් පැවතෙන අයටත් නැති වුණා. (උත්. 3:23, 24) ඊටපස්සේ ඒ පාරාදීසයේ කිසිම මිනිසෙක් වාසය කළේ නැතත් නෝවාගේ කාලේ ඇති වුණ ජලගැල්ම දක්වාම ඒ උයන තියෙන්න ඇති කියලා හිතන්න පුළුවන්.

6 ‘දෙවි ආයෙත් පොළොව පාරාදීසයක් කරයිද’ කියලා සමහරු හිතනවා ඇති. ඔයා ආදරේ කරන අය එක්ක පාරාදීසයේ ජීවත් වෙන්න ආසාවෙන් ඉන්නවා නම් ඒක ඉටු වෙයි කියලා කියන්න ඔයාට හේතු තියෙනවාද? පොළොව පාරාදීසයක් වෙනවා කියලා ඔයාට ස්ථිර ඇයි කියලා පැහැදිලි කරන්න ඔයාට පුළුවන්ද?

ආයෙත් පොළොව පාරාදීසයක් වෙනවා

7, 8. (අ) දෙවි ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව මොකක්ද? (ආ) දෙවි දුන්න පොරොන්දුව නිසා ආබ්‍රහම් මොකක් තේරුම්ගන්න ඇද්ද?

7 පාරාදීසය ගැන ඇති වෙන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් හොඳම තැන බයිබලයයි. මොකද බයිබලේ තියෙන්නේ මුල්ම පාරාදීසය නිර්මාණය කරපු යෙහෝවා දෙවිගේ අදහස්. දෙවි ඔහුගේ මිත්‍රයෙක් වුණ ආබ්‍රහම්ට කියපු දේ බලන්න. ආබ්‍රහම්ගෙන් පැවතෙන අයව “මුහුදු වෙරළේ වැලි මෙන්” වැඩි කරනවා කියලා කිව්වාට පස්සේ දෙවි එයාට මේ පොරොන්දුව දුන්නා. “ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.” (උත්. 22:17, 18) පස්සේ කාලෙක දෙවි ආබ්‍රහම්ගේ පුතාටත්, මුනුපුරාටත් ඒ පොරොන්දුවම දුන්නා.—උත්පත්ති 26:4; 28:14 කියවන්න.

8 ඒ ආශීර්වාද ලැබෙන්නේ ස්වර්ගයේදී කියලා ආබ්‍රහම් හිතුවේ නැහැ. “පොළොවේ සියලු ජාතීහු” ආශීර්වාද ලබන්නේ පොළොවේදී කියලා ආබ්‍රහම් තේරුම්ගන්න ඇති. පොළොව පාරාදීසයක් වෙනවා කියන්න තියෙන එකම සාක්ෂිය ඒ පොරොන්දුව විතරද?

9, 10. අනාගතයේදී පොළොව පාරාදීසයක් වෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් තව මොන පොරොන්දු නිසාද?

9 යෙහෝවා දෙවි ආබ්‍රහම්ගෙන් පැවතුණු දාවිත්ට මඟ පෙන්නුවා ‘දුෂ්ටයා නැති කාලයක්’ ගැන සඳහන් කරන්න. (ගීතා. 37:1, 2, 10) ඒ කාලේදී “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය” කියලත් “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය” කියලත් දාවිත් කිව්වා. (ගීතා. 37:11, 29; 2 සාමු. 23:2) දෙවිගේ කැමැත්ත කරන්න ආසාවෙන් හිටපු අයට ඒ පොරොන්දු කොහොම බලපාන්න ඇද්ද? කවදා හරි පොළොවේ ඉතුරු වෙන්නේ ධර්මිෂ්ඨ මිනිසුන් විතරයි නම් පොළොව ආයෙත් ඒදන් උයන වගේ පාරාදීසයක් වෙනවා කියලා විශ්වාස කරන්න ඒක එයාලට උදව් වුණා.

10 කාලයත් එක්කම ඊශ්‍රායෙල්වරු දෙවිව අත්හැරියා. ඒ නිසා එයාලගේ දේශය විනාශ කරලා හුඟදෙනෙකුව වහලුන් විදිහට අරන් යන්න දෙවි බැබිලෝනිවරුන්ට ඉඩහැරියා. (2 ලේක. 36:15-21; යෙරෙ. 4:22-27) ඒත් දෙවි අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කිව්වා ඊශ්‍රායෙල්වරු ආයෙත් එයාලගේ දේශයට එනවා කියලා. කිව්ව විදිහටම ඒ අනාවැකි ඉටු වුණා. ඒවා අද ඉන්න දෙවිගේ සෙනඟටත් බලාපොරොත්තුවක් දෙනවා. ඒවායින් සමහරක් ගැන කතා කරද්දී අනාගතයේදී පොළොව පාරාදීසයක් වෙනවා කියන්න තියෙන තවත් හේතු ඔයා දකියි.

11. යෙසායා 11:6-9 මුලින් ඉටු වුණේ කොහොමද? ඒත් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නය මොකක්ද?

11 යෙසායා 11:6-9 කියවන්න. ඊශ්‍රායෙල්වරු තමන්ගේ දේශයට ආයෙත් ආවාම දේශය සාමකාමී තැනක් වෙනවා කියලා දෙවි යෙසායා මාර්ගයෙන් කලින්ම කිව්වා. සතුන්ගෙන්, මිනිසුන්ගෙන් කිසිම හානියක් වෙයි කියලා එයාලට බය වෙන්න ඕනෙ වුණේ නැහැ. එයාලා අද්දැක්ක සාමකාමී පරිසරය ඒදන් උයනේ තිබුණ පරිසරයට සමානයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? (යෙසා. 51:3) ඒ අනාවැකියේ කියනවා “ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන්” ඊශ්‍රායෙල් දේශය විතරක් නෙමෙයි මුළු පොළොවම පිරී යනවා කියලා. ඒක ඉටු වෙන්නේ කවදාද?

12. (අ) බැබිලෝනියෙන් නිදහස් වෙලා ආපු අය අද්දැක්ක ආශීර්වාද මොනවාද? (ආ) යෙසායා 35:5-10 සඳහන් දේ අනාගතයේදීත් ඉටු වෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

12 යෙසායා 35:5-10 කියවන්න. බැබිලෝනියේ ඉඳන් ආපහු එන ඊශ්‍රායෙල්වරුන්ට සතුන්ගෙන්වත් මිනිසුන්ගෙන්වත් හානියක් වෙන්නේ නැහැ කියලා යෙසායා ආයෙත් කියනවා. ඒදන් උයනේ තිබුණා වගේ ඇති තරම් වතුර තියෙන නිසා දේශයෙන් හොඳ පලදාවක් ලැබෙන්නත් යනවා. (උත්. 2:10-14; යෙරෙ. 31:12) ඒ අනාවැකිය අදාළ වුණේ ඒ කාලෙට විතරද? අන්ධ, කොර, බිහිරි අයට සුවය ලැබෙනවා කියලත් ඒ අනාවැකියේ කියනවා. නිදහස් වෙලා ආපු ඊශ්‍රායෙල්වරු ඒ ඉටු වීම අද්දැක්කේ නැහැ. ඒ දේ ඉටු වෙන්නේ අනාගතයේදී.

13, 14. යෙසායා 65:21-23 කියන දේ ඊශ්‍රායෙල්වරුන් අද්දැක්කේ කොහොමද? ඒත් ඒ අනාවැකියේ මොන කොටසද තවමත් ඉටු වෙලා නැත්තේ? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

13 යෙසායා 65:21-23 කියවන්න. යුදෙව්වන් ආයෙත් එයාලගේ දේශයට ආවාම එයාලට ජීවත් වෙන්න සැප පහසු ගෙවල් තිබුණේ නැහැ. අස්වැන්නෙන් බර වුණ මිදිවතු, කෙත්වතු තිබුණේ නැහැ. ඒත් දෙවි එයාලට ආශීර්වාද කරපු නිසා වැඩි කාලයක් යන්න කලින් ගෙවල් ගොඩනඟලා ඒවාවල වාසය කරන්නත් එයාලා වගා කරපු දේවල පලදාව භුක්ති විඳින්නත් එයාලට පුළුවන් වුණා.

14 දෙවිගේ සෙනඟ “වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වෙන්නෝය” කියලා ඒ අනාවැකියේ කියනවා. සමහර ගස් අවුරුදු දහස් ගාණක් තියෙනවා. එච්චර කාලයක් ජීවත් වෙන්න නම් මිනිසුන්ට හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. යෙසායා විස්තර කරන්නේ පාරාදීසයක ජීවිතයක්. ඒ අනාවැකිය අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.

පාරාදීසය ගැන යේසුස් දුන්න පොරොන්දුව ඉටු වෙන්නේ කොහොමද? (15 සහ 16 ඡේද බලන්න)

15. යෙසායා පොතේ සඳහන් සමහරක් ආශීර්වාද මොනවාද?

15 අනාගතයේදී පොළොව පාරාදීසයක් වෙනවා කියලා ස්ථිරවම කියන්න අපි දැන් කතා කරපු අනාවැකි උදව් වෙන විදිහ ගැන ටිකක් හිතන්න. දෙවිගෙන් ආශීර්වාද ලබන සෙනඟගෙන් මුළු පොළොවම පිරෙනවා. කිසි සතෙකුගෙන්, දරුණු මිනිසුන්ගෙන් හානියක් වෙයි කියලා කවුරුත් බයෙන් ඉන්නේ නැහැ. අන්ධ, බිහිරි, කොර අයට සුවය ලැබෙනවා. හැමෝම තමන් ඉදි කරපු ගෙවල්වල සතුටින් ජීවත් වෙනවා. තමන් වගා කරන දේවල පලදාව භුක්ති විඳිනවා. මිනිසුන් දිගු කාලයක් ජීවත් වෙනවා. අනාගතයේදී ඒ වගේ පාරාදීසයක ජීවත් වෙන්න අපිට පුළුවන් කියලා බයිබලේ සහතික වෙනවා. ඒත් ඒ අනාවැකිවලින් පොළොව පාරාදීසයක් වෙනවා කියන දේ අදහස් වෙන්නේ නැහැ කියලා සමහරු කියනවා. ඒ අයට ඔයා දෙන්නේ මොන වගේ උත්තරයක්ද? පොළොව පාරාදීසයක් වෙනවා කියන්න ඔයාට තියෙන සාක්ෂි මොනවාද? මෙතෙක් ජීවත් වුණ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වුණ යේසුස් කියපු දේකින් හොඳ සාක්ෂියක් හොයාගන්න පුළුවන්.

ඔබ මා සමඟ පාරාදීසයේ සිටිනවා!

16, 17. යේසුස් පාරාදීසය ගැන කතා කළේ කොයි වෙලාවේදීද?

16 යේසුස්ට බොරු චෝදනා කරලා ඔහුව වධකණුවක ඇණ ගැහුවා. ඔහුගේ දෙපැත්තේ අපරාධකරුවන් දෙන්නෙක් හිටියා. යේසුස් රජ කෙනෙක් කියලා තේරුම්ගත්ත ඒ එක අපරාධකරුවෙක් මිය යන්න කලින් මෙහෙම කිව්වා. “යේසුස්, ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වන විට මාව අමතක කරන්න එපා.” (ලූක් 23:39-42) යේසුස් එයාට කියපු දේ ලූක් 23:43 තියෙනවා. ඒ පදය පරිවර්තනය කරන්න ඕනෙ විදිහ ගැන විවිධ මත තියෙනවා. සමහර විශාරදයන් කියන්නේ මුල් භාෂාවට අනුව ඒක පරිවර්තනය වෙන්න ඕනෙ “ඔබ අද මා සමඟ පාරාදීසයේ සිටින බවට මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා” හැටියට කියලයි. ඒත් හැමෝම ඒ අදහසට එකඟ නැහැ.

17 අද තියෙන හුඟක් භාෂාවල යම් වාක්‍යයකට විරාම ලකුණු යොදන විදිහ අනුව, වාක්‍යය සකස් කරන විදිහ අනුව නිවැරදි අදහස දෙන්න එහෙම නැත්නම් අදහස තවත් පැහැදිලිව කියන්න පුළුවන්. ඒත් හොයාගෙන තියෙන පැරණිම ග්‍රීක අත්පිටපත්වල විරාම ලකුණු පාවිච්චි කරලා නැති තරම්. එහෙමනම් යේසුස් එතනදී කිව්වේ “ඔබ අද මා සමඟ පාරාදීසයේ සිටින බවට මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා” කියලාද නැත්නම් “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා” කියලාද? හුඟක් පරිවර්තකයන් ඒ පදය පරිවර්තනය කරලා තියෙන්නේ එයාලට හරියි කියලා හිතෙන විදිහට. ඒ නිසයි ඒ අදහස් දෙකම විවිධ බයිබල් පරිවර්තනවල දකින්න තියෙන්නේ.

18, 19. යේසුස් කියපු දෙයින් අදහස් වුණ දේ තේරුම්ගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

18 ඒත් යේසුස් කියපු දේ නිවැරදිව තේරුම්ගන්න ඔහු කියපු මේ දේ උදව් වෙනවා. “මනුෂ්‍ය පුත්‍රයා පොළෝගැබෙහි දිවා රෑ දෙකේම දින තුනක් පුරා සිටියි.” ඔහු මෙහෙමත් කිව්වා. “මනුෂ්‍ය පුත්‍රයාව මිනිසුන් අතට පාවා දෙන්න නියමිතයි. ඔවුන් ඔහුව මරණයට පත් කරයි. නමුත් තුන්වෙනිදා ඔහුව නැඟිටුවනු ලබයි.” (මතෙ. 12:40; 16:21; 17:22, 23; මාක් 10:34) ඒක ඒ විදිහටම වුණා කියලා පේතෘස් කිව්වා. (ක්‍රියා 10:39, 40) යේසුස් සහ ඔහු ළඟ හිටපු අපරාධකරු මිය ගිය දවසේම පාරාදීසයකට ගියේ නැහැ කියලා ඒකෙන් තේරෙනවා. බයිබලේ කියන්නේ දෙවි යේසුස්ව නැවත නැඟිටුවන කල් ඔහු දවස් තුනක් මරණ නින්දේ නැත්නම් මිනී වළේ සැතපුණා කියලයි.—ක්‍රියා 2:31, 32. *

19 “අද” කියන වචනය යේසුස් පාවිච්චි කරපු විදිහ ඒ කාලේ සාමාන්‍ය කතාබහේ දකින්න තිබුණා. ඒක මෝසෙස්ගේ කාලෙත් දකින්න තිබුණා. මෝසෙස් එක අවස්ථාවකදී කිව්වා “මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න” කියලා.—ද්වි. 6:6; 7:11; 30:15.

20. යේසුස් කියපු දේ තේරුම්ගන්න උදව් වෙන තවත් දෙයක් මොකක්ද?

20 මැදපෙරදිග ඉන්න බයිබල් පරිවර්තකයෙක් යේසුස් කියපු දේ ගැන මෙහෙම කියනවා. “ඒ පදයේ ‘අද’ කියන වචනයටයි අවධානය දෙන්නේ. ඒක පරිවර්තනය කරන්න ඕනෙ නිවැරදි විදිහ ‘ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා’ කියලයි. පොරොන්දුව දුන්නේ මිය ගිය දවසේ වුණත් ඒක ඉටු වෙන්නේ අනාගතයේදී. මැදපෙරදිග මිනිසුන් සාමාන්‍යයෙන් කතා කරන්නේ ඒ විදිහට. එයාලා එහෙම කියන එකෙන් පෙන්නන්නේ නිශ්චිත දවසක දීපු පොරොන්දුවක් අනාගතයේදී ඉටු කරනවා කියලයි.” ඒ නිසයි අවුරුදු 1,600ක් විතර පැරණි සිරියැක් අනුවාදයක ඒ පදය මේ විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ. “ආමෙන්, මම අද ඔබට කියන්නේ ඔබ මා සමඟ ඒදන් උයනේ සිටින බවයි.”

21. අපරාධකරුට ලැබුණේ නැත්තේ මොකක්ද? ඒ ඇයි?

21 යේසුස් අපරාධකරුට පාරාදීසය ගැන කියද්දී ස්වර්ගයේ ජීවත් වෙන්න එයාට අවස්ථාව ලැබෙනවා කියන දේ අදහස් කළේ නැහැ. මොකද ස්වර්ගයේ රජවරු විදිහට පාලනය කරන්න යේසුස් තමන්ගේ නියෝජිතයන් එක්ක ඇති කරගත්ත ගිවිසුම ගැන ඒ අපරාධකරු දැනගෙනවත් හිටියේ නැහැ. (ලූක් 22:29) ඒ වගේම එයා ඒ වෙද්දී බව්තීස්ම වෙලා හිටියේවත් එයාව දෙවිගේ බලයෙන් අභිෂේක කරලා තිබුණේවත් නැහැ. (යොහ. 3:3-6, 12) එහෙමනම් යේසුස් පොරොන්දු වුණේ අනාගතයේදී පොළොව පාරාදීසයක් වුණාම එයාට එහේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලයි. ඊට අවුරුදු ගාණකට පස්සේ පාවුල් දර්ශනයකින් දැක්කා ‘පාරාදීසයකට ඔසවාගනු ලැබූ’ මිනිසෙකුව. (2 කොරි. 12:1-4) ඒ වෙද්දී පාවුල්වත් අනිත් නියෝජිතයන්වත් යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න තෝරගෙනයි තිබුණේ. ඒත් ඒ දර්ශනයෙන් පාවුල් දැක්කේ මේ පොළොව පාරාදීසයක් වෙන එක වෙන්න බැරිද? * ඔයාටත් ඒ පාරාදීසයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙයිද?

ඔයාට බලාපොරොත්තුවෙන් ඉන්න පුළුවන්

22, 23. ඔයාට බලාපොරොත්තුවෙන් ඉන්න පුළුවන් මොකක් ගැනද?

22 දාවිත් “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්න” කාලයක් ගැන කිව්වා. (ගීතා. 37:29; 2 පේතෘ. 3:13) එදාට පොළොවේ ඉන්න හැමෝම දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට කීකරු වෙනවා. යෙසායා 65:22 කියන්නේ “මාගේ සෙනඟ වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වන්නෝය” කියලා. ඒකෙන් තේරෙනවා පාරාදීසයේ ජීවත් වෙන අය අවුරුදු දහස් ගාණක් ජීවත් වෙනවා කියලා. ඒක විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්, එළිදරව් 21:1-4 කියන විදිහට යෙහෝවා දෙවි මිනිසුන්ට ආශීර්වාද කරන්න යනවා. “මරණය තවත් නොවන්නේය” කියන පොරොන්දුව ඒ ආශීර්වාදවලින් එකක්.

23 පාරාදීසය ගැන බයිබලේ උගන්වන දේ හරිම පැහැදිලියි. පාරාදීසයක සදාකල් ජීවත් වෙන්න තිබුණ අවස්ථාව ආදම් සහ ඒව නැති කරගත්තා. ඒත් අනාගතයේදී මුළු පොළොවම ආයෙත් පාරාදීසයක් වෙනවා. දෙවි පොරොන්දු වෙලා තියෙන විදිහට පොළොවේ ඉන්න සෙනඟට දෙවි ආශීර්වාද කරනවා. දාවිත් කිව්වේ මෘදු ගුණැති, ධර්මිෂ්ඨ අය පොළොව උරුම කරගෙන ඒකේ සදාකල් ජීවත් වෙනවා කියලයි. පාරාදීසයේ අපිට සදාකල් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා යෙසායා පොතෙනුත් පැහැදිලියි. යේසුස් අපරාධකරුට දුන්න පොරොන්දුව ඉටු කරද්දී පොළොව ලස්සන පාරාදීසයක් වෙලා තියෙයි. එහේ ජීවත් වෙන්න ඔයාටත් පුළුවන්. “අපි පාරාදීසයේදී හම්බ වෙමු” කියලා එදා කොරියාවේ හිටපු සහෝදර සහෝදරියන් කියපු දේ ඒ කාලේදී ඉටු වෙනවා.

^ 18 ඡේ. මහාචාර්ය මර්වින් පටෙයි කියන්නේ “හුඟක් විශාරදයන් හිතන්නේ යේසුස් ‘අද’ කියන වචනය පාවිච්චි කරපු එකෙන් ඔහු අදහස් කළේ ඔහු මිය ගිය දවසේම ඒ කියන්නේ පැය 24ක් ඇතුළතම ඔහු පාරාදීසයට යනවා” කියලයි. ඒත් ඒ මහාචාර්යවරයා කියනවා විශාරදයන්ගේ ඒ මතය බයිබලේ තියෙන වෙනත් තොරතුරුවලට ගැළපෙන්නේ නැහැ කියලා. උදාහරණෙකට බයිබලේ කියන්නේ යේසුස් මිය ගිහින් දවස් තුනක් සොහොන් ගෙයි ඉඳලා ඊටපස්සේ ස්වර්ගයට ගියා කියලයි.—මතෙ. 12:40; ක්‍රියා 2:31; රෝම 10:7.

^ 21 ඡේ. මේ කලාපයේ තියෙන “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.