Skip to content

පටුනට යන්න

ඔයාගේ නිර්මාතෘ කැමති ඔයා සතුටින් ඉන්නවාටයි

ඔයාගේ නිර්මාතෘ කැමති ඔයා සතුටින් ඉන්නවාටයි

“ජීවිත කාලය පුරාම ඔහු ඔබව යහපත් දෙයින් තෘප්තිමත් කරන්නේය.”—ගීතා. 103:5.

ගීතිකා: 135, 39

1, 2. අනාගතය සැලසුම් කරද්දී ඔයාගේ නිර්මාතෘට සවන් දෙන එක ඥානවන්ත ඇයි? (ලිපියේ මුල් පින්තූර බලන්න.)

ඔයා යෞවනයෙක් නම් අනාගතය සැලසුම් කරන්න ඕනෙ විදිහ ගැන ඔයාට හුඟක් උපදෙස් ලැබෙනවා ඇති. ඔයාගේ ගුරුවරු, වෙනත් වැඩිහිටියන් ඔයාට කියයි ඉහළටම ඉගෙනගන්න කියලා. එහෙම නැත්නම් හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් රැකියාවක් හොයාගන්න කියලා. ඒත් යෙහෝවා දෙවි ඔයාට කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඇත්ත, ඉස්කෝලේ යන කාලේ ඔයා මහන්සි වෙලා අධ්‍යාපන කටයුතු කරයි කියලා දෙවි ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාට පුළුවන් කාටවත් බරක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න. (කොලො. 3:23) ඒත් අනාගතය ගැන වැදගත් තීරණ ගද්දී දෙවි දීලා තියෙන මඟ පෙන්වීම් සැලකිල්ලට අරන් ඒ තීරණ ගන්න කියලයි දෙවි ඔයාට කියන්නේ. එතකොට ඔයාට පුළුවන් මේ අවසාන කාලේ දෙවි සතුටු වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න.—මතෙ. 24:14.

2 හැම දෙයක් ගැනම දන්නේ යෙහෝවා දෙවි කියලා අමතක කරන්න එපා. අනාගතයේදී වෙන්නේ මොකක්ද කියලත් දුෂ්ට සමාජයේ අවසානය කොච්චර ළඟයිද කියලත් ඔහු හරියටම දන්නවා. (යෙසා. 46:10; මතෙ. 24:3, 36) දෙවි ඔයා ගැනත් දන්නවා. ඔයාට සැබෑ සතුට ලැබෙන්නේ මොන දේවලින්ද ඔයා දුකට පත් වෙන්නේ මොන දේවලින්ද කියලා ඔහු දන්නවා. මිනිසුන් දෙන උපදෙස් හොඳයි වගේ පෙනුණත් ඒවා පදනම් වෙන්නේ බයිබලේ මත නෙමෙයි නම් ඒවා ඥානවන්ත උපදෙස් නෙමෙයි.—හිතෝ. 19:21.

ප්‍රඥාව ලැබෙන්නේ දෙවිගෙන් විතරයි

3, 4. නරක උපදෙස් පිළිගත්ත නිසා ආදම් සහ ඒවටත් එයාලගෙන් පැවත ආපු අයටත් වුණේ මොකක්ද?

3 නරක උපදෙස් දෙන එක ආදම් සහ ඒවගේ කාලේ ඉඳන්ම පැවතෙන දෙයක්. නරක උපදෙස් මුලින්ම දුන්නේ සාතන්. සාතන් ඒවට කිව්වා ජීවිතේ ගත කරන්න ඕනෙ කොහොමද කියලා එයාලම තීරණය කළොත් එයාලට වැඩි සතුටක් අද්දකින්න පුළුවන් කියලා. (උත්. 3:1-6) ඒත් සාතන් ඒක කිව්වේ ආත්මාර්ථකාමී අරමුණකින්. එයාට ඕනෙ වුණේ ආදම්, ඒව වගේම එයාලගෙන් පැවතෙන අය එයා කියන දේ අහලා එයාට නමස්කාර කරනවා දකින්නයි. සාතන් මිනිසුන් වෙනුවෙන් මුකුත්ම කරලා තිබුණේ නැහැ. මිනිසුන්ට තිබුණ හැම දේම එයාලට දීලා තිබුණේ යෙහෝවා දෙවි. විවාහය කියන තෑග්ග දෙවි එයාලට දුන්නා. ජීවත් වෙන්න ලස්සන උයනක් වගේම සදාකල් ජීවත් වෙන්න පුළුවන් විදිහේ පරිපූර්ණ ශරීරත් එයාලට දුන්නා.

4 ඒත් ආදම් සහ ඒව දෙවිට අකීකරු වෙලා එයාලට ජීවිතේ දුන්න දෙවිගෙන් ඈත් වුණා. ඒකේ ප්‍රතිඵල හරිම දරුණුයි. ගහකින් මලක් කඩලා දැම්මාම ඒක පරවෙලා යනවා වගේ දෙවි එක්ක එයාලට තිබුණ බැඳීම නැති වුණාම එයාලත් ටිකෙන් ටික මහලු වෙලා මිය ගියා. එයාලගේ දරුවන්ටත් මරණය උරුම වුණා. (රෝම 5:12) ආදම්, ඒව වගේ අද ඉන්න හුඟක් අයත් දෙවි කියන දේ ගණන් ගන්නේ නැතුව එයාලට ඕන ඕන විදිහට ජීවත් වෙනවා. (එෆී. 2:1-3) ඒත් එයාලා අද්දකින ප්‍රතිඵල දකිද්දී ‘යෙහෝවා දෙවිට විරුද්ධව යොදාගත හැකි ප්‍රඥාවක් නැත’ කියලා බයිබලේ කියන දේ ඇත්තක් කියලා පැහැදිලියි.—හිතෝ. 21:30.

5. මිනිසුන් ගැන දෙවිට තිබුණ නිසැකකම මොකක්ද? ඒක හරියි කියලා ඔප්පු වුණාද?

5 මිනිසුන්ගෙන් සමහරදෙනෙක් යෙහෝවා දෙවිව දැන හඳුන ගන්නත් ඔහුට නමස්කාර කරන්නත් කැමති වෙනවා කියන නිසැකකම දෙවිට තිබුණා. ඒ පිරිසට යෞවන යෞවනියන් විශාල පිරිසකුත් ඇතුළත් වෙනවා. (ගීතා. 103:17, 18; 110:3) ඒ යෞවනයන්ව දෙවිට හුඟක් වටිනවා. ඔයාත් ඒ අයගෙන් එක් කෙනෙක්ද? එහෙමනම් දෙවිගෙන් ලැබෙන “යහපත් දේවල්” නිසා ඔයාත් ලොකු සතුටක් අද්දකිනවා ඇති. (ගීතාවලිය 103:5 කියවන්න; හිතෝ. 10:22) දෙවි දීලා තියෙන යහපත් දේවල් 4ක් ගැන දැන් අපි බලමු. (1) දෙවිගෙන් ලැබෙන පෝෂණය. (2) හොඳ යාළුවෝ. (3) අර්ථවත් ඉලක්ක. (4) සැබෑ නිදහස.

දෙවි ඔයාව හොඳින් පෝෂණය කරනවා

6. දෙවිව හඳුනගන්න, ඔහුගේ මඟ පෙන්වීම් පතන්න ඔයා උත්සාහ කරන්න ඕනෙ ඇයි? ඒක කරන්න දෙවි ඔයාට උදව් කරන්නේ කොහොමද?

6 සතුන්ට වඩා වෙනස්ව දෙවි අපිව නිර්මාණය කළේ ඔහුව හඳුනගන්න, ඔහුගේ මඟ පෙන්වීම් ලබාගන්න අවශ්‍යතාව ඇතුවයි. (මතෙ. 4:4) දෙවිට සවන් දෙද්දී අපිට අවබෝධය, ප්‍රඥාව වගේම සතුටත් ලැබෙනවා. යේසුස් මෙහෙම කිව්වා. “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.” (මතෙ. 5:3) දෙවිව හඳුනගන්නත් ඔහුගේ මඟ පෙන්වීම් ලබාගන්නත් උදව් කරන්න දෙවි අපිට බයිබලය දීලා තියෙනවා. ‘විශ්වාසවන්ත දාසයා’ මාර්ගයෙන් අපිව ඇති තරම් පෝෂණය කරනවා. (මතෙ. 24:45) ඒ පෝෂණය කොයි තරම් නම් විවිධත්වයකින් අපිට ලැබෙනවාද!—යෙසා. 65:13, 14.

7. දෙවි දෙන පෝෂණය ලබාගන්න එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

7 දෙවි දෙන පෝෂණයට පුළුවන් දේවල් ගැන හොඳින් හිතලා බලන්නත් ප්‍රඥාවන්ත තීරණ ගන්නත් ඔයාට උදව් කරන්න. ඒ හැකියාවන් හුඟක් පැතිවලින් ඔයාට ආරක්ෂාවක්. (හිතෝපදේශ 2:10-14 කියවන්න.) උදාහරණෙකට ‘නිර්මාතෘ කෙනෙක් නැහැ,’ ‘සල්ලි තිබුණොත් විතරයි සතුටින් ඉන්න පුළුවන්’ වගේ බොරු අදහස් හඳුනගන්න ඒ හැකියාවන් නිසා ඔයාට පුළුවන්. ඒ වගේම ඒ හැකියාවන්ට පුළුවන් ඔයාට අනතුරක් වෙන්න පුළුවන් ආශාවලින්, පුරුදුවලින් වළකින්න ඔයාට උදව් කරන්න. ඒ නිසා දෙවි දෙන ප්‍රඥාව ලබාගන්නත් සිතීමේ හැකියාව තව දියුණු කරන්නත් උපරිම උත්සාහයක් දරන්න. යෙහෝවා දෙවි ඔයාට හුඟක් ආදරෙයි කියලත් දෙවිට ඕනෙ ඔයාට හොඳම ජීවිතේ දෙන්නයි කියලත් එතකොට ඔයාට තේරෙයි.—ගීතා. 34:8; යෙසා. 48:17, 18.

8. ඔයා දැන් යෙහෝවා දෙවිට ළං වෙන්න ඕනෙ ඇයි? ඒක ඔයාට අනාගතයේදී උදව් වෙන්නේ කොහොමද?

8 ළඟදීම මේ දුෂ්ට සමාජය විනාශ වෙනවා. එදාට අපිව ආරක්ෂා කරන්නත් අපේ අවශ්‍යතාවන් ඉටු කරන්නත් ඒ කියන්නේ සමහරවිට අපේ ඊළඟ කෑම වේල අපිට දෙන්න පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවිට විතරයි. (හබ. 3:2, 12-19) ඒ නිසා දෙවිට ළං වෙන්නත් ඔහු ගැන ඔයාට තියෙන විශ්වාසය තව ශක්තිමත් කරගන්නත් දැන් තමයි කාලේ. (2 පේතෘ. 2:9) ඔයා ඒ දේ කරනවා නම් දාවිත් කිව්ව මේ දේ කියන්න ඔයාටත් පුළුවන්. “යෙහෝවා දෙවි සැමවිටම මා ඉදිරියේ සිටිනවා කියා මම විශ්වාස කරමි. ඔහු මාගේ දකුණු පැත්තේ සිටින නිසා මම නොසැලී සිටිමි.”—ගීතා. 16:8.

දෙවි ඔයාට හොඳ යාළුවන්ව දෙනවා

9. (අ) යොහන් 6:44 කියන්නේ යෙහෝවා දෙවි මොකක් කරනවා කියලාද? (ආ) සාක්ෂිකරුවන්ව හම්බ වෙද්දී තියෙන විශේෂත්වය මොකක්ද?

9 දෙවිට නමස්කාර නොකරන කෙනෙක්ව මුල්ම වතාවට ඔයාට මුණගැහුණා කියලා හිතන්න. එයාගේ නම, පෙනුම ඇරෙන්න එයා ගැන වැඩි දෙයක් ඔයා දන්නේ නැහැ. ඒත් දෙවිට නමස්කාර කරන කෙනෙක්ව මුල්ම වතාවට හම්බ වෙද්දී වුණත් ඔයා එයා ගැන දන්න දේවල් තියෙනවා. එයා යෙහෝවා දෙවිට ආදරේ කරනවා කියලා ඔයා දන්නවා. දෙවි එයාගේ හොඳ ගුණාංගයක් දැකලා ඔහුගේ පවුලේ සාමාජිකයෙක් වෙන්න එයාට ආරාධනා කළා කියලත් ඔයා දන්නවා. (යොහන් 6:44 කියවන්න.) එයා හැදුණු වැඩුණු ප්‍රදේශය, රට, එයාගේ පසුබිම මොකක් වුණත් ඔයා එයා ගැනත් එයා ඔයා ගැනත් හුඟක් දේවල් දන්නවා.

යෙහෝවා දෙවිට ඕනෙ ඔයා හොඳ යාළුවන් ඇතුව ඉන්නවා දකින්නයි. අර්ථවත් ඉලක්ක තියෙනවා දකින්නයි (9-12 ඡේද බලන්න)

10, 11. දෙවිගේ සෙනඟට තියෙන පොදු ලක්ෂණ මොනවාද? ඒක ඔයාට උදව් වෙන්නේ කොහොමද?

10 උදාහරණෙකට ඔයාලා කතා කරන භාෂාව මොකක් වුණත් ඔය දෙන්නාම “පවිත්‍ර භාෂාව” කතා කරනවා කියලා ඔයාට ස්ථිරයි. (ශෙප. 3:9) ඒ නිසා ඔයාලා දෙන්නාගේ විශ්වාසයන් එක සමානයි. ඔය දෙන්නාටම දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඔයාලා අදාළ කරගන්නේ එකම සදාචාර ප්‍රමිති. ඔය දෙන්නාටම අනාගතය ගැන ලස්සන බලාපොරොත්තුවක් තියෙනවා. අපි අතරේ විශ්වාසයක් ඇති වෙන්න ඒ තොරතුරු උදව් වෙනවා. ඒ විශ්වාසය නිසා අපි අතරේ ලොකු බැඳීමක් ඇති වෙනවා.

11 එහෙමනම් යෙහෝවා දෙවිගේ සේවකයෙක් හැටියට ඔයාට හොඳම යාළුවෝ ඉන්නවා කියලා කියන්න පුළුවන්. මීට කලින් කවදාවත් හම්බ වෙලා නැතත් ඒ වගේ හොඳ යාළුවෝ ඔයාට ලෝකේ පුරාම ඉන්නවා. යෙහෝවා දෙවිගේ සෙනඟට විතරක් තියෙන ඒ ලස්සන තෑග්ග වෙන කිසිම සෙනඟකට තියෙනවාද?

අර්ථවත් ඉලක්ක තියන්න දෙවි ඔයාට උදව් කරනවා

12. ඔයාට තියන්න පුළුවන් අර්ථවත් ඉලක්ක මොනවාද?

12 දේශනාකාරයා 11:9–12:1 කියවන්න. ඔයාටත් ඉලක්ක තියෙනවාද? හැමදාම බයිබලේ කියවන්න, රැස්වීම්වලදී අර්ථවත් අදහස් දක්වන්නත් හොඳින් පැවරුම් ඉදිරිපත් කරන්නත් ඔයා ඉලක්ක තියාගෙන ඇති. සේවයේදී තවත් හොඳට බයිබලේ යොදාගෙන කතා කරන්න ඔයාට ඉලක්කයක් ඇති. ඔයා ඒ ඉලක්ක ජය ගන්නවා කියලා දැනෙද්දී එහෙම නැත්නම් අනිත් අය ඒ ගැන ඔයාට කියද්දී ඔයාට හැඟෙන්නේ කොහොමද? ඔයාට ලොකු සතුටක් දැනෙයි. ඇත්තටම ඔයා ඒ ගැන සතුටු වෙන්න ඕනේ. මොකද ඔයා කරන්නේ යෙහෝවා දෙවි ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ. යේසුස් කළෙත් ඒ දේමයි.—ගීතා. 40:8; හිතෝ. 27:11.

13. මේ සමාජයේ ඉහළටම යන්න ඉලක්ක තියනවාට වඩා දෙවිට සේවය කරන එක වටින්නේ ඇයි?

13 ඔයා යෙහෝවා දෙවිට කරන සේවයට ජීවිතේ මුල් තැන දෙනවා නම් ඒකෙන් ඔයාට නියම සතුට ලැබෙනවා වගේම ඔයාගේ ජීවිතේට ලොකු අර්ථයකුත් ලැබෙනවා. පාවුල් මෙහෙම කිව්වා. “ස්ථිරව සිටින්න. නොසැලී සිටින්න. ස්වාමීන් වෙනුවෙන් ඔබ දරන වෙහෙස නිෂ්ඵල නොවන බව දන්නා නිසා ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න.” (1 කොරි. 15:58) සල්ලි හම්බ කරලා, ප්‍රසිද්ධ වෙලා මේ සමාජයේ ඉහළට යන්න ඉලක්ක තියාගෙන ඉන්න අය ඇත්තටම ඉන්නේ සතුටින් නෙමෙයි. එයාලා සාර්ථකයි වගේ පෙනුණත් එයාලට දැනෙන්නේ ලොකු හිස්කමක්. (ලූක් 9:25) අපිට ඒක සලමොන්ගේ ජීවිතෙන් ඉගෙනගන්න පුළුවන්.—රෝම 15:4.

14. සලමොන් අත්හදා බලපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

14 එතෙක් මෙතක් හිටපු ධනවත්ම, බලවත්ම පාලකයෙක් තමයි සලමොන් රජ. දවසක් එයා හිතුවා ‘විනෝදබර ජීවිතයක් ගත කර මට සතුට ලබාගත හැකිදැයි සොයා බලන්න ඕනෙ’ කියලා. (දේශ. 2:1-10) ඒකට එයා සැප පහසු ගෙවල් ගොඩනැඟුවා. අලංකාර වතු, උයන් හැදුවා. එයා ආස වුණ හැම දේම කළා. එයා බලාපොරොත්තු වුණ තෘප්තිය, සතුට ලැබුණාද? එයා කරපු හැම දේම දිහා හැරිලා බලලා අන්තිමේදී එයා මෙහෙම කිව්වා. ‘ඒ සියල්ල නිෂ්ඵල බව මට පෙනුණා. කිසි වැඩකින් ප්‍රයෝජනයක් නැති බව මට පෙනී ගියා.’ (දේශ. 2:11) සලමොන් තේරුම්ගත්ත දේ ඔයා හිතට ගන්නවාද?

15. දෙවි ගැන ඔයාට විශ්වාසයක් තියෙන්න ඕනෙ ඇයි? ගීතාවලිය 32:8 කියන විදිහට ඒක ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

15 වැරදි තීරණ අරන් ඒවාවල ප්‍රතිඵල විඳිද්දී තමයි සමහරු පාඩමක් ඉගෙනගන්නේ. ඒ දේ ඔයාට වෙනවා දකින්න දෙවි කැමති නැහැ. ඔහුට ඕනෙ ඔයා ඔහුට ඇහුම්කන් දීලා කීකරු වෙනවා දකින්න. ඒක කරන්න නම් ඔයාට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. දෙවිව විශ්වාස කරලා ඔයා තීරණ ගත්තොත් කවදාවත් ඔයාට පසුතැවෙන්න වෙන්නේ නැහැ. “දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය” යෙහෝවා දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ. (හෙබ්‍රෙ. 6:10) ඒ නිසා දෙවි ගැන ඔයාට තියෙන විශ්වාසය තව වැඩි කරගන්න ලොකු වෑයමක් දරන්න. ස්වර්ගයේ ඉන්න ඔයාගේ තාත්තාට ඕනෙ ඔයාට යහපතක් වෙනවා දකින්න කියලා එතකොට ඔයාටම ස්ථිර වෙයි.—ගීතාවලිය 32:8 කියවන්න.

සැබෑ නිදහස දෙවි ඔයාට ලබා දෙනවා

16. නිදහස අපි වටින දෙයක් විදිහට සලකන්න ඕනෙ ඇයි? ඒක අපි ඥානවන්තව පාවිච්චි කරන්න ඕනෙ ඇයි?

16 “යෙහෝවා දෙවිගේ බලය ඇති තැන නිදහස ඇත” කියලා පාවුල් කිව්වා. (2 කොරි. 3:17) දෙවි නිදහසට කැමති දෙවි කෙනෙක්. ඔහු ඔයාව නිර්මාණය කරලා තියෙන්නෙත් නිදහස ලබන්න තියෙන ආසාව ඇතුව. ඒත් දෙවි කැමති ඔයා ඒ නිදහස ඥානවන්තව, ඔයාට අනතුරක් නොවන විදිහට පාවිච්චි කරනවා දකින්න. සමහරවිට ඔයාගේ වයසේ සමහර ළමයි අසභ්‍ය දර්ශන බලනවා ඇති. අනාචාරයේ යෙදෙනවා ඇති. ජීවිතේ අනතුරේ දාන ක්‍රීඩාවල යෙදෙනවා ඇති. මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඇති. බැලූ බැල්මට ඒ දේවලින් විනෝදයක් ලැබෙනවා වගෙයි පේන්නේ. ඒත් ඇත්තටම ඒවාවලින් ලැබෙන්නේ ලෙඩ රෝග, ඇබ්බැහි වීම, මරණය වගේ නරක ප්‍රතිඵල. (ගලා. 6:7, 8) ඒ දේවල් කරන යෞවනයන් හිතන්නේ එයාලා සැබෑ නිදහස විඳිනවා කියලයි. ඒත් ඒක බොරුවක්.—තීත. 3:3.

17, 18. (අ) දෙවිට කීකරු වෙද්දී අපි සැබෑ නිදහස අද්දකින්නේ කොහොමද? (ආ) අද මිනිසුන් අද්දකින නිදහසට වඩා වැඩි නිදහසක් මුලදී ආදම් සහ ඒව අද්දැක්කේ කොහොමද?

17 ඊට වෙනස්ව දෙවිට කීකරු වෙන එකෙන් අපිට වෙන්නේ යහපතක්. දෙවිගේ ප්‍රමිති නිසා අපිට හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වගන්නත් සැබෑ නිදහස අද්දකින්නත් පුළුවන්. (ගීතා. 19:7-11) ඔයාට තියෙන නිදහස ඥානවන්තව පාවිච්චි කරද්දී ඒ කියන්නේ දෙවිගේ නීති, ප්‍රතිපත්තිවලට කීකරු වෙන්න ඔයා තීරණය කරද්දී ඔයා වගකීමෙන් වැඩ කරන කෙනෙක් කියලා යෙහෝවා දෙවිත් ඔයාගේ දෙමාපියනුත් දකියි. එතකොට ඔයාගේ දෙමාපියන් තව වැඩියෙන් ඔයාව විශ්වාස කරලා දැනට දීලා තියෙනවාට වඩා වැඩි නිදහසක් ඔයාට දෙයි. දෙවි පොරොන්දු වෙලා තියෙනවා ළඟදීම ඔහුගේ සේවකයන්ට සැබෑ නිදහස ලබා දෙනවා කියලා. බයිබලේ කියන්නේ “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක්” එයාලට ලැබෙනවා කියලයි.—රෝම 8:21.

18 ආදම් ඒවට තිබුණේ ඒ වගේ නිදහසක්. ඒදන් උයනේ ඉද්දී ඒ දෙන්නාට දෙවි කරන්න එපා කියලා තිබුණේ එකම එක දෙයක් විතරයි. ඒ තමයි එක ගහකින් පලතුරු කන්න එපා කියපු එක. (උත්. 2:9, 17) ඒ නීතිය අසාධාරණ, දැඩි එකක් කියලා ඔයා හිතනවාද? කොහොමටවත් නැහැ. මිනිසුන් කොයි තරම් නම් නීති දාලා තියෙනවාද! ඒවාට කීකරු වෙන්න කියලා කොයි තරම් බල කරනවාද! ඒත් දෙවි ආදම් ඒවට දුන්නේ එක නීතියක් විතරයි.

19. සැබෑ නිදහස අද්දකින්න උදව් වෙන මොන දේවල්ද යෙහෝවා දෙවි සහ යේසුස් අපිට උගන්වන්නේ?

19 දෙවි අපිට හුඟක් නීති දෙනවා වෙනුවට ආදරෙන් පෙලඹිලා දේවල් කරන්න ඔහු අපිට කියලා දෙනවා. ඔහු දීලා තියෙන ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්නත් නරක දේ පිළිකුල් කරන්නත් ඔහු අපිට උගන්වනවා. (රෝම 12:9) මිනිසුන් නරක දේවල් කරන්න පෙලඹෙන්නේ මොන හේතු නිසාද කියලා කන්ද උඩ දේශනාවේදී යේසුස් තේරුම් කරලා දුන්නා. (මතෙ. 5:27, 28) දේවරාජ්‍යයේ රජු විදිහට ඔහු අනාගතයේදීත් හරි දේ සහ වැරදි දේ ගැන ඔහු හිතන විදිහට හිතන්න අපිට උගන්වයි. (හෙබ්‍රෙ. 1:9) පරිපූර්ණ අය වෙන්න ඔහු අපිට උදව් කරයි. එදාට නරක දේ කරන්න අපි තුළ පෙලඹීමක් ඇති වෙන්නේවත් පාපය නිසා ඇති වෙන නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්නවත් අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඒක කොච්චර ලස්සන කාලයක් වෙයිද! යෙහෝවා දෙවි පොරොන්දු වුණ “කියා නිම කළ නොහැකි නිදහස” අපිට ලැබෙන්නේ ඒ කාලේදියි.

20. (අ) යෙහෝවා දෙවි ඔහුට තියෙන නිදහස පාවිච්චි කරන්නේ කොහොමද? (ආ) දෙවිව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

20 දේවරාජ්‍යයේ පාලනය යටතේ ජීවත් වෙද්දීත් අපේ නිදහසට යම් සීමාවන් තියෙයි. එදාටත් අපි හැම දේම කරන්න ඕනෙ දෙවිටත් අනිත් අයටත් තියෙන ආදරෙන් පෙලඹිලයි. ආදරේ නිසා දේවල් කරද්දී අපි ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවිව. කිසිම සීමා මායිමක් නැති සම්පූර්ණ නිදහස අද්දකින එකම කෙනා ඔහු වුණත් ඔහු හැම දේම කරන්නේ අනිත් අය වෙනුවෙන් තියෙන ආදරේ නිසයි. (1 යොහ. 4:7, 8) අපිට සැබෑ නිදහස ලැබෙන්නේ අපි දෙවිව ආදර්ශයට ගත්තොත් විතරයි කියලා ඒකෙන් පැහැදිලියි.

21. (අ) දාවිත්ට යෙහෝවා දෙවි ගැන හැඟුණේ කොහොමද? (ආ) ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

21 යෙහෝවා දෙවි ඔයාට දීලා තියෙන යහපත් දේවල් ඔයා අගය කරනවාද? දෙවි ඔයාව පෝෂණය කරනවා. හොඳ යාළුවෝ, අර්ථවත් ඉලක්ක, අනාගතයේදී සැබෑ නිදහස ලැබෙනවා කියන පොරොන්දුව ඔයාට දීලා තියෙනවා. ඒ දෙවි දීලා තියෙන යහපත් දේවලින් කීපයක් විතරයි. (ගීතා. 103:5) ඒ දේවල් ගැන හිතද්දී මෙහෙම කියන්න ඔයාත් පෙලඹෙයි. “ජීවනයට යන මාර්ගය මට පෙන්වන්න. මා ඔබ ඉදිරියේ සිටින විට සැබෑ ප්‍රීතිය ඇත්තේය. ඔබේ දකුණු පැත්තේ සිටීමෙන් මට සැමදාටම සතුට ලැබෙන්නේය.” (ගීතා. 16:11) 16වෙනි ගීතිකාවේ තියෙන තවත් වටිනා සත්‍යයන් ගැන ඊළඟ ලිපියෙන් බලමු. හොඳම ජීවිතේ ලබාගන්න ඒ සත්‍යයන් ඔයාට උදව් කරයි.