Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාවුල්ව ‘තුන්වෙනි ස්වර්ගයටත්’ ‘පාරාදීසයකටත්’ ඔසවාගනු ලැබුවා කියලා කියද්දී අදහස් වෙන්නේ මොකක්ද?—2 කොරි. 12:2-4.

2 කොරින්ති 12:2, 3 පදවල සඳහන් වෙන ‘තුන්වෙනි’ ස්වර්ගයට ඔසවනු ලැබූ පුරුෂයා කවුද? පාවුල් කොරින්තිවරුන්ට ලියද්දී තමන්ව නියෝජිතයෙක් විදිහට දෙවි පත් කරලා තිබුණා කියන කාරණය කාවැද්දුවා. (2 කොරි. 11:5, 23) ඊටපස්සේ ස්වාමීන්ගෙන් තමන්ට ලැබුණු ආශ්චර්යවත් දර්ශන සහ විශේෂ පණිවිඩ ගැන සඳහන් කළා.—2 කොරි. 12:1, 5.

ඒ දර්ශන සහ විශේෂ පණිවිඩ ලැබුණේ පාවුල්ට නිසා ‘තුන්වෙනි ස්වර්ගයටත්’ ‘පාරාදීසයකටත්’ ඔසවාගනු ලැබුවෙත් පාවුල්වමයි කියලා හිතන්න පුළුවන්. (2 කොරි. 12:2-4) “විශේෂ පණිවිඩ” විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට එළිදරව් කිරීම් කියන අදහසත් ඇතුළත්. අනාගතයේදී වෙන්න යන දෙයක් ගැන දෙවි පාවුල්ට හෙළි කළා කියලා ඒකෙන් පැහැදිලියි.

‘තුන්වෙනි ස්වර්ගයෙන්’ අදහස් වෙන්නේ මොකක්ද?

බයිබලයේ ස්වර්ගය හඳුන්වන්න “අහස” කියන වචනයත් සංකේතවත් විදිහට යොදාගෙන තියෙනවා. මිනිස් පාලන ක්‍රම හඳුන්වන්නත් “අහස” කියන වචනය යොදාගෙන තියෙනවා. (දානි. 4:20-22) දෙවිගේ පාලනයට යොමු දක්වද්දීත් ඒ වචනය පාවිච්චි කරලා තියෙනවා. උදාහරණයකට දෙවිගේ පාලනය නියෝජනය කරන දේවරාජ්‍යය හඳුන්වලා තියෙන්නෙත් අලුත් අහස විදිහටයි.—එළි. 21:1.

පාවුල් ‘තුන්වෙනි ස්වර්ගය’ කියලා කියන්නේ ඇයි? බයිබලයේ හුඟක් වෙලාවට අංක තුන යොදාගන්නේ යම් දෙයක් අවධාරණය කරන්න, හුඟක් ශ්‍රේෂ්ඨයි කියලා පෙන්වන්න එහෙමත් නැත්නම් ප්‍රබලයි කියලා කාවද්දන්න. (යෙසා. 6:3; එස. 21:27; එළි. 4:8) පේන විදිහට පාවුල් අංක තුන යොදාගෙන තියෙන්නේ අනිත් හැම පාලන ක්‍රමයකටම වඩා ශ්‍රේෂ්ඨ පාලන ක්‍රමයක් ගැන කියන්නයි. ඒකෙන් ඇඟවෙනවා යේසුස් සහ 1,44,000දෙනාගෙන් සෑදුණු දෙවිගේ රාජ්‍යය කොයි තරම් ශ්‍රේෂ්ඨ පාලනයක්ද කියලා. (2004 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 8 පි. 5 ඡේ. බලන්න.) ඒ රාජ්‍යය හඳුන්වන්න තමයි පේතෘස් “අලුත් අහස” කියන යෙදුම යොදාගෙන තියෙන්නේ.—2 පේතෘ. 3:13.

පාවුල් දැක්ක “පාරාදීසය” මොකක්ද?

පාරාදීසය කියන වචනයෙන් මේ දේවල් අදහස් වෙන්න පුළුවන්. (1) ඉදිරියේදී පැමිණෙන්න නියමිත පාරාදීස පොළොව. (2) දෙවිගේ පාලනය යටතේ පාරාදීස පොළොවේ ජීවත් වෙන අය දෙවිත් එක්ක තියෙන බැඳීම නිසා අද්දකින්න යන සාමකාමී තත්වය. (3) ‘දෙවිගේ පාරාදීසයේදී’ ඒ කියන්නේ ස්වර්ගයේදී, එහෙ ඉන්න අය අද්දකින හිතාගන්නවත් බැරි ආශීර්වාද.—එළි. 2:7; 2015 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ 8 පි. 8 ඡේ. බලන්න.

2 කොරින්ති 12:4 තමන් ලබපු අද්දැකීම විස්තර කරද්දී සමහරවිට පාවුල්ගේ මනසේ ඒ අදහස් තුනම තියෙන්න ඇති.

සාරාංශය:

2 කොරින්ති 12:2 සඳහන් ‘තුන්වෙනි ස්වර්ගයෙන්’ අදහස් කරන්නේ යේසුස් සහ 1,44,000දෙනාගෙන් සෑදුණු දෙවිගේ රාජ්‍යය ඒ කියන්නේ “අලුත් අහස” කියලා හිතන්න පුළුවන්.—2 පේතෘ. 3:13.

දෙවිගේ රාජ්‍යයට “තුන්වෙනි ස්වර්ගය” කියලා කියන්නේ ඒක අනිත් හැම පාලන ක්‍රමයකටම වඩා හුඟක් ශ්‍රේෂ්ඨ නිසයි.

දර්ශනයකදී පාවුල්ව ‘ඔසවාගනු ලැබූ පාරාදීසයෙන්’ මේ දේවල් අදහස් වෙනවා කියලා හිතන්න පුළුවන්. (1) ඉදිරියේදී පැමිණෙන්න නියමිත පාරාදීස පොළොව. (2) දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලෙදී දෙවිත් එක්ක තියෙන බැඳීම නිසා ඔහුගේ සෙනඟ අද්දකින්න යන සාමකාමී තත්වය. ඒ තත්වය අදට වඩා සිය දහස් ගුණයකින් ඒ කාලෙදී අද්දකින්න ලැබෙනවා. (3) ‘දෙවිගේ පාරාදීසය’ විදිහට හඳුන්වන ස්වර්ගය.

පාවුල් දර්ශනයෙන් දැක්කේ මේ පොළොව පාරාදීසයක් කරන්න දේවරාජ්‍යයේ පාලකයන් සහ එහි යටත්වැසියන් සහයෝගයෙන් එකට වැඩ කරන ආකාරයයි කියලා අපි බලපු තොරතුරුවලින් පැහැදිලි වෙනවා.