Skip to content

පටුනට යන්න

තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න යෞවන ඔයාටත් පුළුවන්

තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න යෞවන ඔයාටත් පුළුවන්

“ජීවනයට යන මාර්ගය මට පෙන්වන්න.”—ගීතා. 16:11.

ගීතිකා: 133, 89

1, 2. වෙනස්කම් කරගන්න පුළුවන් කියලා ටෝනිගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

ටෝනි ඇතිදැඩි වුණේ තාත්තා කෙනෙක්ගේ රැකවරණය නැතුව. පාසැලේ උසස් පෙළ පන්තිවල ඉගෙනගත්තාට පාඩම් වැඩවලට එයා උනන්දු වුණේ නැහැ. එයාට ඕනෙ වුණේ ඉස්කෝලෙන් අයින් වෙන්න. චිත්‍රපටි බලන්න, යාළුවෝ එක්ක කාලේ ගත කරන්න තමයි එයා වැඩිපුරම ආස කළේ. එයා නරක ළමයෙක් නොවුණත් එයාගේ ජීවිතේට කිසි අරමුණක් තිබුණේ නැහැ. දවසක් එයාට සාක්ෂිකරුවන් දෙන්නෙක්ව හම්බ වුණා. එයා දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ කියලා කිව්වාම එයාලා ටෝනිට ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ සහ ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද’ කියන සඟරා 2 දුන්නා.

2 ඊළඟ වතාවේ හම්බ වෙද්දී ටෝනිගේ ලොකු වෙනසක් සාක්ෂිකරුවන් දැක්කා. එයාලා දීපු සඟරා දෙක ටෝනි කීප සැරයක්ම කියවලා තිබුණා. එයා කිව්වා “දෙවි කෙනෙක් ඉන්නම ඕනෙ” කියලා. බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තාට පස්සේ ජීවිතේ දිහා එයා බලපු විදිහ වෙනස් වුණා. කලින් ඉස්කෝලේ වැඩවලට උනන්දු වුණේ නැති ටෝනි පස්සේ පාසැලේ දක්ෂම ශිෂ්‍යයෙක් වුණා. ඒ ගැන පුදුම වුණ විදුහල්පති ටෝනිගෙන් ඇහුවා “මේ වගේ වෙනසක් වුණේ සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරන්න පටන්ගත්ත නිසාද” කියලා. හේතුව ඒකයි කියලා පිළිගත්ත ටෝනි, බයිබලෙන් ඉගෙනගත්ත දේවල් විදුහල්පති එක්කත් කතා කළා. එයා උසස් පෙළ සමත් වුණා වගේම දැන් ස්ථාවර පුරෝගාමියෙක් සහ සහායක සේවකයෙක් විදිහට සේවය කරනවා. යෙහෝවා දෙවි වගේ ආදරණීය තාත්තා කෙනෙක් එයාට ඉන්න එක ගැන එයාට දැනෙන්නේ ලොකු සතුටක්.—ගීතා. 68:5.

දෙවිට කීකරු වුණොත් ජීවිතේ සාර්ථකයි

3. යෞවනයන්ට දෙවි කියන්නේ මොකක්ද?

3 ටෝනිගේ අද්දැකීමෙන් තේරෙන්නේ යෙහෝවා දෙවි යෞවන ඔයාලා ගැන සැලකිලිමත් කියලයි. ඔහුට ඕනෙ ඔයා සාර්ථක, තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා දකින්න. ඒ නිසා ඔහු කියනවා “ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න” කියලා. (දේශ. 12:1) ඒක කරන එක ලේසි නැති වුණත් ඒක කරන්න බැරි දේකුත් නෙමෙයි. දෙවිගේ උදව්වෙන් ඔයාට පුළුවන් දැනුත් ඉස්සරහටත් සාර්ථක ජීවිතයක් ගත කරන්න. ඒක ඇත්තක් කියලා පොරොන්දු දේශය යටත් කරගත්ත ඊශ්‍රායෙල්වරුන්ගෙන් සහ ගොලියත්ව පරාජය කරපු දාවිත්ගෙන් ඔප්පු වෙන්නේ කොහොමද?

4, 5. ඊශ්‍රායෙල්වරුන්ට කානාන් දේශය යටත් කරගන්නත් දාවිත්ට ගොලියත්ව පරාජය කරන්නත් පුළුවන් වුණ එකෙන් අපි ඉගෙනගන්න පාඩම මොකක්ද? (ලිපියේ මුල් පින්තූර බලන්න.)

4 පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන්න මඟ පෙන්වීම මොකක්ද? දෙවි කිව්වාද තව හොඳට සටන් කරන්න පුහුණු වෙන්න කියලා? නැහැ. (ද්වි. 28:1, 2) දෙවි කිව්වේ ඔහුව විශ්වාස කරලා ඔහුට කීකරු වෙන්න කියලයි. (යොෂු. 1:7-9) ඒක තේරුමක් නැති මඟ පෙන්වීමක් කියලා මිනිසුන්ට හිතෙන්න පුළුවන්. ඒත් ඊශ්‍රායෙල්වරුන්ට ලැබුණ හොඳම මඟ පෙන්වීම ඒකයි. එහෙම කරපු නිසා කානානිවරුන්ගේ නගර එකින් එක යටත් කරගන්න දෙවි එයාලට උදව් කළා. (යොෂු. 24:11-13) දෙවිට කීකරු වෙන්න නම් ඔහු ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. දෙවිව විශ්වාස කරලා වැඩ කරද්දී හැම වෙලේම ලැබෙන්නේ හොඳ ප්‍රතිඵල. ඒක අදටත් අදාළයි.

5 අඩි නවයහමාරක් විතර උස ගොලියත් දක්ෂ සටන්කරුවෙක්. එයා ළඟ තිබුණේ හොඳම ආයුධ. (1 සාමු. 17:4-7) දාවිත්ට තිබුණේ ගල් පටියක් විතරයි. ඒත් එයාට දෙවි ගැන ලොකු විශ්වාසයක් තිබුණා. දාවිත් ගොලියත් එක්ක සටනට යන එක මෝඩ වැඩක් කියලා දෙවි ගැන විශ්වාසයක් නැති කෙනෙක් හිතයි. ඒත් මෝඩ වුණේ කවුද?—1 සාමු. 17:48-51.

6. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

6 සතුටින් පිරුණු, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපිට උදව් වෙන දේවල් 4ක් ගැන අපි කලින් ලිපියේ බැලුවා. දෙවිගෙන් ලැබෙන පෝෂණය, හොඳ යාළුවෝ, අර්ථවත් ඉලක්ක සහ සැබෑ නිදහස කියන ඒ දේවල් හතරෙන් අපිට ප්‍රයෝජන ලබන්න පුළුවන් තවත් විදි අපි මේ ලිපියෙන් බලමු. ඒකට 16වෙනි ගීතිකාවේ තියෙන ප්‍රතිපත්ති කීපයකුත් උදව්වට ගමු.

හොඳින් පෝෂණය වෙන්න

7. (අ) දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක් කොයි වගේද? (ආ) දාවිත් තමන්ගේ “උරුමය” හැටියට සැලකුවේ මොකක්ද? ඒක එයාට උදව් වුණේ කොහොමද?

7 දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක්ට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. එයා උත්සාහ කරන්නේ දෙවි හිතන විදිහ තේරුම්ගන්න. එයාට මඟ පෙන්නන්න එයා දෙවිට ඉඩ දෙනවා වගේම ඒවා පිළිපදිනවා. (1 කොරි. 2:12, 13) දාවිත් ඒ වගේ කෙනෙක්. “යෙහෝවා දෙවිට මා කරන සේවය මාගේ උරුමය” කියලා එයා කිව්වා. (ගීතා. 16:5) දෙවිත් එක්ක තිබුණ බැඳීම එයා සැලකුවේ තමන්ගේ උරුමය විදිහට. දාවිත්ගේ රක්ෂස්ථානය වුණෙත් දෙවි. (ගීතා. 16:1) “මම ප්‍රීතියෙන් ඉපිල යන්නෙමි” කියලා කියන්න එයාට පුළුවන් වුණේ ඒ නිසයි. දෙවි එක්ක තිබුණ බැඳීම නිසා එයා ලබපු සතුට තරම් සතුටක් වෙන කිසිම දේකින් එයා ලැබුවේ නැහැ.—ගීතාවලිය 16:9, 11 කියවන්න.

8. තෘප්තිය අද්දකින්න පුළුවන් මොන වගේ දේවල්වලින්ද?

8 සල්ලි, විනෝදය පස්සේ යන අයට කවදාවත් දාවිත්ට තිබුණ සතුට අද්දකින්න බැහැ. (1 තිමෝ. 6:9, 10) කැනඩාවේ සහෝදරයෙක් මෙහෙම කියනවා. “අපි අපිටම ලබාගන්න දේවලින් නියම සතුට ලැබෙන්නේ නෑ. යෙහෝවා දෙවි වෙනුවෙන් අපි කරන දේවල්වලිනුයි ඒ සතුට ලැබෙන්නේ.” (යාකො. 1:17) ඔයා දෙවි ගැන විශ්වාසය තියලා ඔහුට සේවය කරනවා නම් ඔයාට පුළුවන් අර්ථවත් වගේම තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න. ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඔයා කරන්න ඕනෙ මොනවාද? බයිබලේ කියවන්න. දෙවිගේ නිර්මාණ නිරීක්ෂණය කරන්න. දෙවිට ඔයා ගැන තියෙන ආදරේ ඇතුළුව ඔහුගේ ගුණාංග ගැන හිතන්න. එහෙම කරද්දී ඔයා කරන්නේ දෙවිත් එක්ක කාලය ගත කරන එක.—රෝම 1:20; 5:8.

9. ඔයාව නිවැරදි කරන්න බයිබලේට ඉඩ දෙන්න පුළුවන් කොහොමද?

9 තාත්තා කෙනෙක් වගේ අවශ්‍ය වෙලාවට අපිව නිවැරදි කරලා දෙවි ඔහුගේ ආදරේ අපිට පෙන්නනවා. ඒ නිවැරදි කිරීම් අගය කරපු දාවිත් මෙහෙම කිව්වා. “මට මඟ පෙන්වූ යෙහෝවා දෙවිට මම ප්‍රශංසා කරමි. මාගේ ඇතුළාන්තයටම කාවැදුණු ඒ මඟ පෙන්වීම් රාත්‍රී කාලයේදී මාව නිවැරදි කළේය.” (ගීතා. 16:7) දෙවිට හැඟුණ විදිහ ගැන දාවිත් නිතරම හිතුවා වගේම ඒ විදිහට හිතන්න එයාත් උත්සාහ කළා. එහෙම කරද්දී දෙවි කැමති විදිහට එයාගේ පෞද්ගලිකත්වය හදාගන්න එයාට පුළුවන් වුණා. ඔයාත් එහෙම කරනවා නම් දෙවි ගැන ඔයාට තියෙන ආදරේ වගේම ඔහුව සතුටු කරන්න තියෙන ආසාව තව වැඩි වෙයි. එතකොට අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඔයාට පුළුවන්. ක්‍රිස්ටින් මෙහෙම කියනවා. “බයිබලේ තොරතුරු හොඳින් ගවේෂණය කරලා කියවපු දේ ගැන හිතද්දී මට දැනෙනවා දෙවි ඒ දේවල් ලියුවේ මං වෙනුවෙන්මයි කියලා.”

10. යෙසායා 26:3 කියන විදිහට දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න උත්සාහ කරන එක ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

10 ඔයා දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න උත්සාහ කරද්දී මේ සමාජයේ වැඩිදෙනෙක් හිතන විදිහට හිතන්නේ නැතුව අනාගතේ දිහා දෙවි බලන විදිහට බලන්න ඔයාට පුළුවන්. වැඩිදෙනෙක්ට නැති ඒ අවබෝධය දෙවි ඔයාට දෙන්නේ ඇයි? දෙවිට ඕනෙ ජීවිතේ වැඩියෙන්ම වටින්නේ මොනවාද කියලා ඔයා තේරුම් අරන් අනාගතේ ගැන බය නොවී ඥානවන්ත තීරණ ගන්නවා දකින්න. (යෙසායා 26:3 කියවන්න.) ජොෂුවා මෙහෙම කියනවා. “දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා නම් ජීවිතේ වැඩියෙන්ම වටින්නේ මොනවාද නැත්තේ මොනවාද කියලා ඔයාට තේරුම්ගන්න පුළුවන්.”

දෙවිට ආදරේ කරන අයව යාළුවන් කරගන්න

11. දාවිත් තෝරගත්තේ මොන වගේ යාළුවන්වද?

11 ගීතාවලිය 16:3 කියවන්න. දාවිත් හොඳ යාළුවෝ කරගත්තේ දෙවිට ආදරේ කරපු අයව. එයාලගේ ආශ්‍රයෙන් එයා ලොකු සතුටක් ලැබුවා. එයාලා යෙහෝවා දෙවිගේ උසස් සදාචාර ප්‍රමිති රකින්න උත්සාහ කරපු අය නිසා දාවිත් එයාලව හැඳින්නුවේ “ශුද්ධ තැනැත්තන්” විදිහට. තමන්ගේ යාළුවන් ගැන ඒ විදිහටම හැඟුණ තවත් ගීතිකාකරුවෙක් මෙහෙම කිව්වා. “ඔබ කෙරෙහි ගරුබියක් ඇති අයද ඔබේ අණපනත් පිළිපදින අයද මාගේ මිතුරෝය.” (ගීතා. 119:63) අපි කලින් ලිපියේ බලපු විදිහට යෙහෝවා දෙවිගේ සෙනඟ අතරෙන් යාළුවෝ හොයාගන්න ඔයාට පුළුවන්.

12. දාවිත්ට සහ යොනාතාන්ට හොඳ යාළුවන් වෙන්න පුළුවන් වුණේ ඇයි?

12 දාවිත් එයාගේ යාළුවෝ විදිහට තෝරගත්තේ එයාගෙම වයසේ අය විතරක් නෙමෙයි. යොනාතාන් දාවිත්ගේ කිට්ටු යාළුවෙක්. ඔයා දන්නවාද යොනාතාන් දාවිත්ට වඩා අවුරුදු 30ක් විතර වැඩිමල් කියලා? ඒත් හොඳම යාළුවෝ වෙන්න එයාලට පුළුවන් වුණා. මොකද එයාලා දෙන්නාටම දෙවි ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ දෙන්නා එකිනෙකාට ගෞරව කළා. අනිත් කෙනාට තිබුණ හොඳ ගුණාංග එයාලා අගය කළා.—1 සාමු. 13:3; 14:13; 17:48-50; 18:1.

13. තව යාළුවෝ හොයාගන්න ඔයාට පුළුවන් කොහොමද? අද්දැකීමක් කියන්න.

13 දෙවිට ආදරේ කරන, දෙවිව විශ්වාස කරලා වැඩ කරන අයව යාළුවෝ කරගන්නවා නම් දාවිත් සහ යොනාතාන් අද්දැක්ක සතුට අපිටත් අද්දකින්න පුළුවන්. කීරා මෙහෙම කියනවා. “විවිධ පසුබිම්වලට, සංස්කෘතීන්වලට අයත් යාළුවෝ මට ලෝකේ පුරාම ඉන්නවා.” ඔයාත් තව තව යාළුවෝ හොයාගද්දී ලෝකේ පුරාම ඉන්න දෙවිගේ සෙනඟව එක්සත් කරන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට සහ දෙවිගේ බලයට පුළුවන් වෙලා තියෙන විදිහ ඔයා දකියි.

අර්ථවත් ඉලක්ක තියන්න

14. (අ) අර්ථවත් ඉලක්ක තියන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද? (ආ) ඉලක්ක ගැන සමහර යෞවනයන් කියන්නේ මොනවාද?

14 ගීතාවලිය 16:8 කියවන්න. දාවිත්ට වැදගත්ම දේ වුණේ දෙවිට කරන සේවය. ඔයාත් ඉලක්ක තියද්දී දෙවිට මුල් තැන දෙන්න. යෙහෝවා දෙවි ඔයාත් එක්ක ඉන්නවා කියන දේ මතකයේ තියාගෙන ඉලක්ක තියන්න. එතකොට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ඔයාට පුළුවන්. ස්ටීවන් මෙහෙම කියනවා. “ඉලක්කයකට ළං වෙන්න උත්සාහ කරද්දී, ඒක ජය ගද්දී, මං ලබපු දියුණුව ගැන හිතද්දී මට දැනෙන්නේ ලොකු තෘප්තියක්.” ජර්මනියේ ඉඳන් වෙන රටකට ගිහින් සේවය කරන යෞවනයෙක් මෙහෙම කියනවා. “වයසට ගියාම මගේ ජීවිතේ දිහා ආපහු හැරිලා බලලා ‘මං හැම දෙයක්ම කරලා තියෙන්නේ මං වෙනුවෙන්නේ’ කියලා හිතලා දුක් වෙන්න මං ආස නැහැ.” ඔයාත් එහෙම හිතන කෙනෙක්ද? එහෙමනම් ඔයාගේ දක්ෂතා, හැකියාවන් දෙවිට ගෞරවයක් ගේන්නත් අනිත් අයට උදව් කරන්නත් යොදවන්න. (ගලා. 6:10) වැඩි සේවයක් කරන්න ඉලක්ක තියලා ඒවා ජය ගන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න. ඔහු අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි.—1 යොහ. 3:22; 5:14, 15.

15. ඔයාට තියන්න පුළුවන් ඉලක්ක මොනවාද? (“ තියන්න පුළුවන් සමහර ඉලක්ක” කියන කොටුව බලන්න.)

15 ඔයාට තියන්න පුළුවන් මොන වගේ ඉලක්කද? ඔයාගෙම වචනවලින් රැස්වීමේදී අදහස් දක්වන්න ඉලක්කයක් තියාගන්න. පුරෝගාමි සේවය කරන්න, බෙතෙල් සේවය කරන්න, අලුත් භාෂාවක් ඉගෙනගන්න ඉලක්කයක් තියන්නත් පුළුවන්. පූර්ණකාලීන සේවය කරන බාරාක් මෙහෙම කියනවා. “හැමදාම උදේට නැඟිටිද්දී මං අද මගේ ශක්තිය දෙන්නේ දෙවි වෙනුවෙන් කියලා දන්න නිසා මට දැනෙන්නේ පුදුම සතුටක්. වෙන කිසිම දේකින් ඒ වගේ සතුටක් ලැබෙන්නේ නැහැ.”

දෙවි දෙන නිදහස අගය කරන්න

16. දෙවිගේ නීති, ප්‍රතිපත්ති ගැන දාවිත්ට හැඟුණේ කොහොමද? ඒ ඇයි?

16 ගීතාවලිය 16:2, 4 කියවන්න. කලින් ලිපියෙන් අපි ඉගෙනගත්තා වගේ අපි දෙවිගේ නීති, ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙද්දී හරි දේට ඇලුම් කරන්නත් වැරදි දේට පිළිකුල් කරන්නත් අපි ඉගෙනගන්නවා. එතකොට අපි සැබෑ නිදහස අද්දකිනවා. (ආමො. 5:15) දාවිත් දෙවිගෙන් ඇහුවා “මා ගත කරන යහපත් ජීවිතයෙන් ඔබට ප්‍රයෝජනයක් තිබේද” කියලා. මුල් භාෂාවට අනුව දාවිත් ඒකෙන් අදහස් කළේ එයා තුළ මොකක් හරි යහපතක් තියෙනවා නම් ඒ යෙහෝවා දෙවි නිසයි කියලා. දෙවිව ආදර්ශයට අරන් යහපත් දේවලට ඇලුම් කරන්න දාවිත් ලොකු උත්සාහයක් ගත්තා. රූප නමස්කාරය වගේ දෙවි පිළිකුල් කරපු දේවලට පිළිකුල් කරන්නත් දාවිත් ඉගෙනගත්තා. රූප නමස්කාරය කරපු අය තමන්වම නින්දාවට පත් කරගත්තා. ඒ විතරක් නෙමෙයි දෙවිට දෙන්න ඕනෙ ගෞරවය වෙන කෙනෙකුට නැත්නම් වෙන දේකට දුන්නා.—යෙසා. 2:8, 9; එළි. 4:11.

17, 18. (අ) වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන අය අද්දකින දේවල් ගැන දාවිත් කිව්වේ මොකක්ද? (ආ) අද ඉන්න මිනිසුන් “බොහෝ වේදනා” අද්දකින්නේ ඇයි?

17 අතීතයේදී මිනිසුන් බොරු දෙවිවරුන්ට කරපු නමස්කාරයට වේශ්‍යාකමේ යෙදෙන එකත් ඇතුළත් වුණා. (හොෂෙ. 4:13, 14) වේශ්‍යාකමේ යෙදිලා සතුටක් ලබන්න කැමති හුඟදෙනෙක් බොරු දෙවිවරුන්ට කරපු නමස්කාරයට ඇදිලා ගියේ ඒ නිසයි. ඒත් ඒකෙන් එයාලා හිතපු සතුට ලැබුණාද? කොහොමටවත් නැහැ! බොරු දෙවිවරුන්ට නමස්කාර කරන අය “බොහෝ වේදනා අද්දකිති” කියලා දාවිත් කිව්වා. එයාලා තමන්ගේ දරුවන්වත් ඒ දෙවිවරුන්ට පූජා කළා. (යෙසා. 57:5) යෙහෝවා දෙවි ඒ වගේ කෲර දේවල් පිළිකුල් කළා. (යෙරෙ. 7:31) ඔයා ඒ කාලේ ජීවත් වුණා නම් ඔයාගේ දෙමාපියෝ යෙහෝවා දෙවිට නමස්කාර කරන එක ගැන ඔයා සතුටු වෙන්නේ නැද්ද?

18 අදත් දෙවි ගැන අසත්‍යය උගන්වන ආගම්වල ඉන්න හුඟදෙනෙක් වේශ්‍යාකමේ යෙදෙන එක බරපතළ දෙයක් හැටියට හිතන්නේ නැහැ. සමලිංගික ක්‍රියාවල යෙදෙන එකේ වරදක් නැහැ කියලයි එයාලා හිතන්නේ. ඒක නිදහස විඳින විදිහක් කියලා එයාලා හිතුවත් ඇත්තටම ඒකෙන් වෙන්නේ එයාලා “බොහෝ වේදනා” අද්දකින එකයි. (1 කොරි. 6:18, 19) ඔයා ඒක දැකලා ඇති. යෞවනයෙනි, ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවිට ඇහුම්කන් දෙන්න. දෙවිට කීකරු වෙන එකෙන් වෙන්නේ යහපතක් කියන දේ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. වේශ්‍යාකමේ යෙදෙන එකෙන් ලැබෙන නරක ප්‍රතිඵල ගැන හිතන්න. තාවකාලික සතුටක් ලැබුණත් ඒකෙන් වෙන හානිය ඊට වඩා හුඟක් වැඩියි. (ගලා. 6:8) ජොෂුවා මෙහෙම කියනවා. “අපිට තියෙන නිදහස අපිට කැමති ඕනෙම විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒක අයුතු විදිහට පාවිච්චි කරද්දී සතුටක් ලැබෙන්නේ නැහැ.”

19, 20. යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා ඔහුට කීකරු වෙන යෞවනයන්ට ලැබෙන ආශීර්වාද මොනවාද?

19 යේසුස් මෙහෙම කිව්වා. “ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා. ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.” (යොහ. 8:31, 32) අනාගතයේදී “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක්” අපි භුක්ති විඳින්න යනවා. (රෝම 8:21) ඒත් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙද්දී යේසුස් කතා කරපු නිදහස යම් දුරකට අද්දකින්න දැනුත් අපිට පුළුවන්. උදාහරණෙකට දෙවි ගැන අසත්‍යය උගන්වන ආගම්වල බලපෑමෙන්, මිථ්‍යා විශ්වාසවලින් අපි නිදහස් වෙනවා. දෙවි අකමැති දේවලින් වළකින්නත් අපිට පුළුවන් වෙනවා. ඔයා ඒ නිදහස ලබද්දී සත්‍යය මොකක්ද කියලා අද්දැකීමෙන්ම තේරුම්ගන්න ඔයාට පුළුවන්.

20 යෞවනයෙනි, දෙවි දීලා තියෙන නිදහස අගය කරන්න. ඒක ඥානවන්තව පාවිච්චි කරන්න. එතකොට සාර්ථක ජීවිතයක් ගත කරන්න උදව් වෙන තීරණ දැන් ගන්න ඔයාට පුළුවන්. යෞවනයෙක් මෙහෙම කියනවා. “කරන රැකියාව, විවාහ වෙනවාද නැත්නම් ටික කාලයක් තනිකඩව ඉන්නවාද වගේ බැරෑරුම් තීරණ පස්සේ කාලෙක ගන්න පහසු වෙන්නේ යෞවන කාලේදී නිදහස ඥානවන්තව පාවිච්චි කළොත් විතරයි.”

21. “සැබෑ ජීවිතය” ලබාගන්න ඔයාට පුළුවන් කොහොමද?

21 අද මේ දුෂ්ට සමාජයේ මිනිසුන් සැප පහසු, නියම ජීවිතයක් කියලා කියන ජීවිතය හරිම කෙටියි. හෙට මොකක් වෙයිද කියලා කිසිම මිනිසෙක් දන්නේ නැහැ. (යාකො. 4:13, 14) එහෙමනම් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ “සැබෑ ජීවිතය” ඒ කියන්නේ පාරාදීසයේ සදාකාල ජීවිතය ලබාගන්න ඔයාට උදව් වෙන තීරණ දැන් ගන්න එකයි. (1 තිමෝ. 6:19) තමන්ට සේවය කරන්න කියලා දෙවි කාටවත් බල කරන්නේ නැහැ. ඒක අපිම ගන්න ඕනෙ තීරණයක්. ගත වෙන දවසක් ගාණේ දෙවි එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න. ඔහු දෙන යහපත් දේවල් අගය කරන්න. (ගීතා. 103:5) එතකොට යෙහෝවා දෙවිව ඔයාගේ උරුමය කරගන්න ඔයාට පුළුවන්. හිතාගන්නවත් බැරි තරම් සතුට පිරුණු ජීවිතයක් ඔයාට දෙන්න යෙහෝවා දෙවිට පුළුවන් කියලා සැක කරන්න එපා.—ගීතා. 16:11.