Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

‘යෙහෝවා දෙවි අපි වෙනුවෙන් යහපත් දේ කළා’

‘යෙහෝවා දෙවි අපි වෙනුවෙන් යහපත් දේ කළා’

“සර්, ඔයාට පුළුවන්ද පොලිස් ස්ටේෂන් එකට කෝල් එකක් දෙන්න?” එහෙම කිව්වේ හෝටලේ පිළිගැනීමේ නිලධාරිනිය. ඒ සිද්ධිය වෙද්දී අපි ගැබොන් කියන බටහිර අප්‍රිකානු රටට ඇවිත් පැය කීපයක්වත් ගත වෙලා තිබුණේ නැහැ. 1970 ගණන්වල අපේ වැඩකටයුතු එහේ තහනම් කරලයි තිබුණේ.

මගේ බිරිඳ ඩැනියෙලෙ සාමාන්‍යයෙන් අවට වෙන දේවල් ගැන විමසිල්ලෙන් ඉන්න කෙනෙක්. ඒ වෙලාවේ එයා මගේ කනට කරලා මෙහෙම කිව්වා. “එයාලට කෝල කරන්න ඕනෙ වෙන එකක් නෑ. එයාලා දැනටමත් මෙහෙට ඇවිත්.” එයා කිව්වා හරි. වාහනයක් ඇවිත් හෝටලේ ඉස්සරහා නතර කළා. ඒකේ ආපු නිලධාරීන් මාවයි, ඩැනියෙලෙවයි අත්අඩංගුවට ගත්තා. එයාලා ඇවිත් කියලා ඩැනියෙලෙ මට කියපු නිසා මං ළඟ තිබුණ වැදගත් ලියකියවිලි වගයක් අපිත් එක්ක හිටපු සහෝදරයෙකුට ඉක්මනින්ම දෙන්න මට පුළුවන් වුණා.

අපිව පොලීසියට අරන් යන අතරේ මං කල්පනා කළේ ඩැනියෙලෙ වගේ නිර්භීත, දෙවිටත් දෙවිගේ සංවිධානයටත් ළැදි බිරිඳක් මට ලැබුණ එක කොයි තරම් ආශීර්වාදයක්ද කියලා. මායි, ඩැනියෙලෙයි මොන අභියෝගය ආවත් සහයෝගයෙන් වැඩ කළා. අපේ සේවේට තහංචි තිබුණ රටවල සේවේ කරන්න අපි දෙන්නාට අවස්ථාව ලැබුණ විදිහ මං ඔයාලට විස්තර කරන්නම්.

සත්‍යය දැනගන්න දෙවි මට උදව් කළා

මං ඉපදුණේ 1930 ප්‍රංශයේ උතුරු පැත්තට වෙන්න තිබුණ ක්වා කියන නගරයේ. අපේ පවුලම තද කතෝලිකයෝ. අපි වරද්දන්නේ නැතුව හැම සතියේම පූජාවට ගියා. තාත්තාත් පල්ලියේ හුඟක් දේවල්වලට සම්බන්ධ වෙලා හිටියා. ඒත් මට අවුරුදු 14දී වෙච්ච සිද්ධියකින් මට තේරුණා පූජකයන් එකක් කිව්වාට කරන්නේ තව දෙයක් කියලා.

2වෙනි ලෝක යුද්දේ කාලේ ප්‍රංශය තිබුණේ ජර්මානු හමුදාව යටතේ. අපේ පල්ලියේ පූජකයා එයාගේ දේශනවල උනන්දු කළේ නාට්සි පාලනයට පක්ෂව වැඩ කරන්න කියලයි. එයා කියපු දේවල් අහලා අපි පුදුම වුණා. ප්‍රංශයේ හිටපු හුඟක් අය වගේ අපිත් පුරුදු වෙලා හිටියා මිත්‍ර පාක්ෂික හමුදාව BBC ප්‍රවෘත්ති සේවය හරහා බෙදාහැරපු තොරතුරුවලට සවන් දෙන්න. 1944 සැප්තැම්බර් මාසේ මිත්‍ර පාක්ෂික හමුදාව ජයග්‍රහණය කරනවා කියලා දැනගත්තාම පූජකයා එකපාරටම පැති මාරු කළා. ඒ සිද්ධියත් එක්ක පූජකයන් ගැන මට තිබුණ විශ්වාසය අඩු වෙලා ගියා.

යුද්දේ ඉවර වෙලා ටික කාලෙකට පස්සේ තාත්තා නැති වුණා. ඒ වෙද්දී මගේ අක්කා බැඳලා බෙල්ජියම්වල හිටියේ. ඒ නිසා අම්මාව බලාගන්න වගකීම පැවරුණේ මට. මං හොඳ රස්සාවක් හොයාගත්තා. මගේ ප්‍රධානියයි, එයාගේ පුතාලයි තද කතෝලිකයෝ. රස්සාවේ ඉහළටම යන්න මට පුළුවන්කම තිබුණත් දේවල් වෙනස් වෙන්න වැඩි දවසක් ගියේ නැහැ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලා හිටපු මගේ අක්කා 1953දී අපිව බලන්න ආවා. කතෝලික පල්ලියෙන් උගන්වපු නිරය, ත්‍රිත්වය, අමරණීය ආත්මය වගේ ඉගැන්වීම් වැරදියි කියලා එයා බයිබලෙන් පැහැදිලි කරලා දුන්නා. එයා පාවිච්චි කරන්නේ කතෝලික බයිබලේ නෙමෙයි කියලා මං මුලින් එයා එක්ක වාද කළා. ඒත් මට තේරුණා එයා කියන්නේ ඇත්ත කියලා. අක්කා පරණ ‘මුරටැඹ’ සඟරා වගයක් මට ගෙනත් දුන්නා. ඒවා කියවද්දී මට තේරුණා මේක තමයි සත්‍යය කියලා. ඒත් රස්සාව නැති වෙයි කියන බයට මං සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරන්න අදිමදි කළා.

මාස කීපයක්ම බයිබලෙයි, ‘මුරටැඹ’ ලිපියි මං අධ්‍යයනය කළේ තනියම. පස්සේ මං තීරණය කළා නමස්කාර මධ්‍යස්ථානයකට යන්න. එහේ හැමෝම එකිනෙකාට ආදරෙන් සලකපු විදිහ මගේ හිත්ගත්තා. සහෝදරයෙක් එක්ක මාස 6ක් බයිබලේ පාඩම් කරලා 1954 සැප්තැම්බර් මාසේ මං බව්තීස්ම වුණා. ටික කාලෙකින් මගේ අම්මායි, නංගියි දෙන්නත් බව්තීස්ම වුණා.

දෙවි ගැන විශ්වාසය තිබ්බා

1958 නිව් යෝර්ක්වල තිබුණ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වෙන්න මට අවස්ථාවක් ලැබුණා. සමුළුවට සති කීපයකට කලින් මගේ අම්මා නැති වුණා. පවුලක් බලාගන්න වගකීම තිබුණේ නැති නිසා මං රස්සාවෙන් අස් වෙලා පුරෝගාමි සේවේ පටන්ගත්තා. ඔය අතරේ තමයි පුරෝගාමි සේවේ කරකර හිටපු ඩැනියෙලෙව මට හම්බ වුණේ. 1959 මැයි මාසේ අපි විවාහ වුණා.

ඩැනියෙලෙ පූර්ණකාලීන සේවේ පටන් අරන් තිබුණේ ගෙදර ඉඳන් හුඟක් ඈතින් තිබුණ බ්‍රිටැනිවල. එහේ ජීවිතේ එච්චර ලේසි නැහැ. දුෂ්කර පැතිවලට යන්න වුණේ බයිසිකලයෙන්. තද කතෝලිකයන් හිටපු ඒ පළාතේ සේවේ කරන්න ඩැනියෙලෙට ලොකු ධෛර්යයක් ඕනෙ වුණා. මගේ වගේම එයාගේ මනසෙත් තිබුණේ අවසානය ගොඩක් ළඟයි කියන දේ. ඒ නිසා අපි අපේ උපරිමයෙන් සේවේ කළා. (මතෙ. 25:13) සේවෙට මුල් තැන දෙන්න ඩැනියෙලෙට තිබුණ කැමැත්ත අවුරුදු ගාණක්ම පූර්ණකාලීන සේවේ කරන්න අපිට ලොකු හයියක් වුණා.

අපි බැඳලා ටික දවසකින් චාරිකා සේවේ යන්න අපිට පැවරුමක් ලැබුණා. අපි සරල ජීවිතේකට හැඩගැහුණා. අපි ගිය පළවෙනි සභාවේ හිටියේ ප්‍රචාරකයන් 14යි. අපිට එයාලගේ ගෙදරක නවාතැන් දෙන්න තරම් පහසුකම් එයාලට තිබුණේ නැහැ. ඒ නිසා අපි නිදාගත්තේ නමස්කාර මධ්‍යස්ථානයේ වේදිකාවේ මෙට්ටයක් දාලා. ඒක එච්චර සැප පහසු නැති වුණත් අපේ කොන්දට නම් ඒකෙන් හොඳක් වුණා.

අපි සභාවන් බලන්න අපේ පුංචි කාර් එකෙන් ගියා

චාරිකා සේවේ කරද්දී අපි හුඟක් කාර්යබහුල වුණත් ඩැනියෙලෙ ඒ ජීවිතේට හොඳින් හැඩගැහුණා. රැස්වීමෙන් පස්සේ වැඩිමහල්ලන්ගේ රැස්වීම් තියෙද්දී එයා කාර් එකට වෙලා බලන් හිටියා මිසක් කවදාවත් කන්කෙඳිරි ගෑවේ නැහැ. අපි චාරිකා සේවේ හවුල් වුණේ අවුරුදු 2ක් විතරයි. ඒත් යුවළක් විදිහට හොඳින් අදහස් හුවමාරු කරගන්න එක, සහයෝගයෙන් වැඩ කරන එක කොච්චර වැදගත්ද කියලා අපි ඒ කාලේ ඉගෙනගත්තා.—දේශ. 4:9.

අලුත් පැවරුම් සතුටින් භාරගත්තා

1962දී බෘක්ලින්වල තිබුණ ගිලියද් පාසැලේ 37වෙනි පන්තියට සහභාගි වෙන්න අපිට ආරාධනයක් ලැබුණා. මාස 10ක් තිස්සේ තිබුණ ඒ පාසැලට 100දෙනෙක් සහභාගි වුණා. ඒ අය අතරේ යුවළයන් හිටියේ 13යි. අපි දෙන්නාට ලැබුණ ඒ අවස්ථාව අපි සැලකුවේ ලොකු ආශීර්වාදයක් විදිහට. පාසැලෙන් ලැබුණ පුහුණුවට අමතරව ෆ්‍රෙඩ්රික් ෆ්‍රාන්ස්, යූල්සීස් ග්ලාස්, ඇලෙක්සැන්ඩර් මැක්මිලන් වගේ දෙවිට විශ්වාසවන්ත සහෝදරයන් එක්කත් අපිට කාලේ ගත කරන්න ලැබුණා.

අපි දෙන්නාට එකට ගිලියද් පාසැලට යන්න ලැබුණ එක ලොකු සතුටක් වුණා

දේවල් හොඳට නිරීක්ෂණය කරන හැකියාව දියුණු කරගන්න එක ගිලියද් පාසැලේ පුහුණුවට ඇතුළත් වුණ දෙයක්. සමහර සෙනසුරාදා දවස්වල පන්ති ඉවර වුණාම එයාලා අපිව නිව් යෝර්ක් නගරේ බලන්න එක්කන් ගියා. ඒකත් අපේ පුහුණුවේ කොටසක්. අපි දැකපු දේවල් ගැන අහලා තියෙන ප්‍රශ්න පත්‍රයකට සඳුදාට අපිට උත්තර ලියන්න තිබුණා. නිව් යෝර්ක් නගරේ සංචාරය කරලා එද්දී ගොඩක් වෙලාවට අපි හිටියේ හෙම්බත් වෙලා. ඒත් අපිව නගරේ බලන්න අරන් ගිය සහෝදරයා ඒ ගමන ගිහින් ආවාට පස්සේ අපේ ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න ලේසි වෙන්න අපෙන් සමහර ප්‍රශ්න ඇහුවා. ඒ ගමන් ගිහින් එද්දී අපි කොච්චර මහන්සි වෙලා හිටියාද කියනවා නම් දවසක් අහපු ප්‍රශ්නෙකට ඩැනියෙලෙ දුන්නේ කොහොමටවත් ගැළපෙන්නේ නැති උත්තරයක්. ඒක අහලා අපි හැමෝටම හිනා ගියා.

අප්‍රිකාවේ සහෝදරයන්ව බලන්න යන්න ලැබුණ එකෙන් අපි ලොකු සතුටක් ලැබුවා

පුහුණුව අවසානයේදී අපේ පැවරුම ප්‍රංශයේ ශාඛා කාර්යාලයේ සේවේ කරන එකයි කියලා දැනගත්තාම අපි පුදුම වුණා. අපි දෙන්නා එහේ එකට අවුරුදු 53කට වැඩි කාලයක් සේවේ කළා. 1976දී ශාඛා කමිටු සම්බන්ධීකාරක විදිහට සේවේ කරන්න මට පැවරුමක් ලැබුණා. ඒ විතරක් නෙමෙයි අපේ වැඩකටයුතු තහනම් කරලා තිබුණ අප්‍රිකාවෙත් මැදපෙරදිගත් සමහර රටවලට ගිහින් එහේ වැඩකටයුතු හොයලා බලන්නත් මට පැවරුමක් ලැබුණා. එහෙම ගිය ගමනකදී තමයි මේ ලිපියේ මුලින් සඳහන් කරපු සිද්ධිය වුණේ. ඇත්තම කියනවා නම් මට ඒ වගේ පැවරුම් කරන්න බැහැ කියලා හිතුණ අවස්ථා තිබුණේ නැතුවමත් නෙමෙයි. ඒත් ඩැනියෙලෙගෙන් ලැබුණ සහය ඒ වගේ පැවරුම් සාර්ථකව කරන්න මට ලොකු හයියක් වුණා.

1988 පැරිස්වල පවත්වපු සමුළුවක සහෝදර තියඩෝර් ජැරස් දුන්න දේශනයක් පරිවර්තනය කරමින්

වේදනාකාරී අද්දැකීමක්

බෙතෙල් එකේ අපි ගත කරපු ජීවිතේට අපි හුඟක් ආස කළා. ගිලියද් පාසැලට යන්න කලින් ඩැනියෙලෙට පුළුවන් වුණා මාස 5ක් ඇතුළත ඉංග්‍රීසි භාෂාව හොඳට ඉගෙනගන්න. ඒ නිසා එයාට පුළුවන් වුණා පරිවර්තන අංශයේ වැඩ කරන්න. බෙතෙල් සේවෙන් අපි ලබපු සතුට සභාවේ කරපු සේවේ නිසා දෙගුණ තෙගුණ වුණා. මට තාම මතකයි පැරිස්වල ඩැනියෙලෙ එක්ක රෑ වෙන කල් බයිබල් පාඩම්වලට යන විදිහ. ලොකු වෙහෙසක් දැනුණත් හොඳ බයිබල් පාඩම් පවත්වලා අපි ලොකු සතුටක් ලැබුවා. ඔය අතරේ තමයි හිතපු නැති විදිහට දේවල් වෙනස් වෙන්න පටන්ගත්තේ. ඩැනියෙලෙගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරුණ නිසා හිතුව තරම් සේවයක් කරන්න එයාට බැරුව ගියා.

1993දී අපි දැනගත්තා ඩැනියෙලෙට පියයුරු පිළිකාවක් තියෙනවා කියලා. ශල්‍යකර්මය නිසාත් කීමෝතෙරපි නිසාත් එයා හුඟක් දුක් වින්දා. ඊට අවුරුදු 15කට පස්සේ ආයෙත් එයාට පිළිකාව හැදුණා. ඒක කලින්ට වඩා දරුණුයි. ඒත් පරිවර්තනය කරන්න එයාට ලැබිලා තිබුණ පැවරුමට එයා හුඟක් ආස කරපු නිසා සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරුණු හැම වෙලාවකම එයා ඇවිත් පරිවර්තන වැඩ කළා.

මොන තරම් දරුණු අසනීපයක් එක්ක පොරබදින්න වුණත් බෙතෙල් සේවේ අත්හරින්න අපි හිතුවේවත් නැහැ. ඒත් ඒ අසනීපේ එක්ක බෙතෙල් සේවේ කරන එක ලේසි වුණෙත් නැහැ. විශේෂයෙන්ම කෙනෙක්ගේ තත්වය කොච්චර දරුණුයිද කියලා අනිත් අය දන්නේ නැති වුණාම ඒක ඒ කෙනාට තවත් අමාරුයි. (හිතෝ. 14:13) ඩැනියෙලෙ වයස හැත්තෑ ගණන්වල ඉද්දීත් එයාගේ මුහුණේ තිබුණ හිනාව නැති වෙලා ගියේ නැහැ. එයා දිහා බලද්දී කාටවත් කියන්න බැරි වුණා එයාට එච්චර බරපතළ අසනීපයක් තිබුණා කියලා. එයා කොයි වෙලාවේවත් එයාගේ අසනීපේ ගැන හිතහිත දුක් වුණේ නැහැ. එයා හැම වෙලේම උත්සාහ කළේ අනිත් අයට උදව් කරන්න. අනිත් අයට සවන් දෙන එක ඒ අයට සහනයක් කියලා එයා දැනන් හිටියා. (හිතෝ. 17:17) බය නැතුව පිළිකා රෝගයත් එක්ක සටන් කරන්න තව සහෝදරියන්ට උදව් කරන්න ඩැනියෙලෙ එයාගේ අද්දැකීම් පාවිච්චි කළා.

අසනීප තත්වයත් එක්ක දිගටම පූර්ණකාලීන සේවේ කරන්න ඩැනියෙලෙට බැරි වුණා. ඉතිං එයා පුළුවන් හැම පැත්තකින්ම මගේ වැඩවලට සහය දුන්නා. එයාගේ උදව් නිසා ශාඛා කමිටු සම්බන්ධීකාරක විදිහට අවුරුදු 37ක්ම සේවේ කරන්න මට පුළුවන් වුණා. හැමදාම එයා වරද්දන්නේ නැතුව දවල් කෑම එක අපේ කාමරේ ඉඳන්ම කන්න පුළුවන් වෙන්න හැම දෙයක්ම ලෑස්ති කළා. කන ගමන් අපි දෙන්නාට ටිකක් කාලේ ගත කරන්න ඒකෙන් පුළුවන් වුණා.—හිතෝ. 18:22.

අපි හිතුවේ එදා දවසේ කරදර ගැන විතරයි

ඩැනියෙලෙ හැම වෙලේම දේවල් දිහා බැලුවේ හොඳ විදිහට. ජීවත් වෙන්න තිබුණ ආසාව එයා නැති කරගත්තේ නැහැ. පස්සේ එයාට තුන්වෙනි පාරටත් පිළිකාව හැදුණා. ඒ වෙලාවේ අපිට අසරණකමක් දැනුණා. සමහර ප්‍රතිකාර නිසා එයාට ඇවිද ගන්නවත් බැරි වුණ දවස් තිබුණා. දක්ෂ පරිවර්තකයෙක් වුණ එයාට හරියට වචන ගළපගන්නවත් බැරි වෙද්දී මට දැනුණේ ලොකු දුකක්.

ඒත් අපි යාච්ඤා කරන එක නැවැත්තුවේ නැහැ. මොකද දරාගන්න බැරි තරම් පීඩාවක් විඳින්න දෙවි ඉඩ දෙන්නේ නැහැ කියලා අපි දැනන් හිටියා. (1 කොරි. 10:13) දෙවි බයිබලේ, බෙතෙල් ප්‍රතිකාර අංශයේ හිටපු අය සහ සහෝදර සහෝදරියන් මාර්ගයෙන් අපිව දිරිගන්වපු විදිහ ගැන අපේ හිතේ තිබුණේ ලොකු අගයක්.

අපි ගන්න ඕනෙ මොන ප්‍රතිකාරද කියලා තීරණය කරන්න කලින් අපි හැම වෙලේම දෙවිගෙන් මඟ පෙන්වීම් පැතුවා. එක කාලයක් ඩැනියෙලෙ කිසිම ප්‍රතිකාරයක් නැතුව හිටියා. අවුරුදු 23ක්ම ඩැනියෙලෙට ප්‍රතිකාර කරපු දොස්තරටවත් හිතාගන්න බැරි වුණා මොන වගේ ප්‍රතිකාරයක්ද දැන් කරන්න ඕනෙ කියලා. මොකද කීමෝතෙරපි කරපු හැම වෙලාවකම ඩැනියෙලෙගේ සිහිය නැති වුණා. ඒකට විසඳුමක් දෙන්න දොස්තරටත් බැරි වුණා. අපිට දැනුණේ අපි තනි වෙලා කියලයි. පස්සේ වෙන දොස්තර කෙනෙක් ඩැනියෙලෙට ප්‍රතිකාර කරන්න භාරගත්තා. ඒ වෙලාවේ අපිට දැනුණේ අපේ තත්වයෙන් ගොඩ එන්න දෙවි මඟක් සලසලා දුන්නා කියලයි.

අපි හෙට දවස ගැන ඕනෑවට වඩා දුක් වෙන්නේ නැතුව එදා දවසේ කරදර ගැන විතරක් හිතන්න ඉගෙනගත්තා. යේසුත් කිව්වේ “හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න” කියලයි. (මතෙ. 6:34) දේවල් දිහා හොඳ විදිහට බලලා පොඩි විහිළුවක් තහළුවක් කරලා හිටපු එකත් අපිට උදව් වුණා. කීමෝතෙරපි ප්‍රතිකාරය නොකර මාස දෙකක් ඩැනියෙලෙට ඉන්න වුණාම දවසක් එයා මට කිව්වා “දැන් නම් මට හොඳයි වගේ” කියලා. (හිතෝ. 17:22) මොන තරම් වේදනාවකින් හිටියත් එයා අපේ අලුත් ගීතිකා පුරුදු වෙලා ලොකු සතුටක් ලැබුවා.

සමහර දේවල් කරන එක මට අභියෝගයක් වුණා. ඒත් ඩැනියෙලෙ දේවලට මුහුණ දුන්න විදිහ දැකලා ඒවා කරන්න මට ලොකු ශක්තියක් ලැබුණා. අවංකවම කියනවා නම් අවුරුදු 57ක අපේ විවාහ ජීවිතේ එයා තමයි මගේ හැම දෙයක්ම බලාගත්තේ. අඩු තරමේ බිත්තරයක් බැදගන්නවත් එයා මට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා එයාගේ අසනීප තත්වය බරපතළ වුණාම උයනපිහන, රෙදි හෝදන, පිඟන් කෝප්ප හෝදන වැඩ මට අලුතෙන් ඉගෙනගන්න වුණා. ඩැනියෙලෙ වෙනුවෙන් ඒවා කරලා මං ලැබුවේ සතුටක්. *

යෙහෝවා දෙවිගේ ආදරේ මට වටිනවා

අසනීප නිසාත් එන්න එන්නම වයසට යන නිසාත් අපිට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න වුණා තමයි. ඒත් ආපහු හැරිලා බලද්දී අපි ඒ දේවලින් හුඟක් පාඩම් ඉගෙනගත්තා. එක පාඩමක් තමයි මොන තරම් කාර්යබහුල වුණත් අපි අපේ සැමියා, බිරිඳ එක්ක එකට කාලේ ගත කරන්න ඕනේ කියන එක. සවිශක්තිය තියෙන කාලේ අපි ආදරේ කරන අය වෙනුවෙන් දේවල් කරන්න ඕනේ. එයාලව බලාගන්න ඕනේ. (දේශ. 9:9) දෙවෙනි දේ තමයි පුංචි පුංචි ප්‍රශ්න ගැන අපි ඕනෑවට වඩා හිතන්න හොඳ නැහැ කියන දේ. එහෙම වුණොත් හැම දවසකම අපි අද්දකින ආශීර්වාද අපිට පේන එකක් නැහැ.—හිතෝ. 15:15.

පූර්ණකාලීනව දෙවිට සේවේ කරපු අවුරුදු ගාණ මතක් කරද්දී මට එකක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ තමයි අපි හිතුවාටත් වඩා වැඩියෙන් දෙවි අපිට ආශීර්වාද කළා කියන දේ. දාවිත් කිව්වා වගේ “යෙහෝවා දෙවි මා වෙනුවෙන් යහපත් දේ කළා” කියලා කියන්න මටත් පුළුවන්.—ගීතා. 116:7.

^ 32 ඡේ. මේ ලිපිය සූදානම් කරන අතරතුරේ සහෝදරී ඩැනියෙලෙ බෝකාට් මිය ගියා. එතකොට එයාට වයස අවුරුදු 78යි.