Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 48

“ඔබ ශුද්ධව සිටිය යුතුයි”

“ඔබ ශුද්ධව සිටිය යුතුයි”

“ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.”—1 පේතෘ. 1:15.

ගීතිකාව 34 දෙවිට විශ්වාසවන්තව සිටීම

මේ ලිපියෙන් *

1. පේතෘස් ක්‍රිස්තියානීන්ට දුන්න මඟ පෙන්වීම මොකක්ද? ඒකට කීකරු වෙන්න අමාරුයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි?

අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන එක වුණත් පොළොවේ ජීවත් වෙන එක වුණත් පේතෘස් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට දුන්න මේ මඟ පෙන්වීම අපි හැමෝටම වැදගත්. එයා මෙහෙම කිව්වා. “ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි. මන්ද, ‘මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි’ කියා ලියා ඇත.” (1 පේතෘ. 1:15, 16) යෙහෝවා දෙවියන් තමයි ශුද්ධකමේ උතුම්ම ආදර්ශය. මේ බයිබල් පදයෙන් පැහැදිලි වෙනවා අපි පව්කාරකම උරුම කරගෙන තිබුණත් අපිටත් ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කියලා. ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා ඔහුව ආදර්ශයට අරන් අපිත් ශුද්ධව ඉඳියි කියලා. මේ මඟ පෙන්වීම දුන්න පේතෘස් ගැන හිතන්න. එයා අතිනුත් ගොඩක් අඩුපාඩුකම් වුණා. ඒත් එයාගේ ජීවිතේ දිහා බලද්දී අපිට පැහැදිලි වෙනවා අඩුපාඩුකම් වුණත් අපිටත් පුළුවන් ‘ශුද්ධව ඉන්න’ කියලා.

2. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

2 ශුද්ධකම කියන්නේ මොකක්ද? යෙහෝවා මොන තරම් ශුද්ධ කෙනෙක්ද කියලා බයිබලේ පෙන්නලා තියෙන්නේ කොහොමද? ශුද්ධව ඉන්නවා කියලා ජීවත් වෙන විදිහෙන් අපිට පෙන්නන්න පුළුවන් කොහොමද? ශුද්ධකමයි, දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමයි අතර සම්බන්ධය මොකක්ද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

ශුද්ධකම කියන්නේ මොකක්ද?

3. ශුද්ධ, පිරිසිදු ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා කියද්දී සාමාන්‍යයෙන් මිනිසුන්ගේ හිත්වල මැවෙන්නේ මොන වගේ කෙනෙක්වද? ඒත් ඇත්තටම ශුද්ධකම කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්නේ කොහොමද?

3 ශුද්ධ, පිරිසිදු ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා කියද්දී හුඟක් අයගේ හිතේ මැවෙන්නේ විශේෂ ආගමික ඇඳුම් ඇඳගත්ත, වැඩි හිනාවක් කතාබහක් නැති, බැරෑරුම් පෙනුමක් තියෙන කෙනෙක්ව. හැබැයි ඇත්තටම ශුද්ධ කෙනෙක් කියන්නේ ඒ වගේ කෙනෙක්ටද? නැහැ. මොකද ශුද්ධකමේ උල්පත වන යෙහෝවා දෙවියන්ව බයිබලේ හඳුන්වලා තියෙන්නේ “ප්‍රීතිමත් දෙවි” කියලා. (1 තිමෝ. 1:11) යෙහෝවාට නමස්කාර කරන අයවත් හඳුන්වලා තියෙන්නේ “සන්තෝෂවත්” සෙනඟක් විදිහටයි. (ගීතා. 144:15) ඒ වගේම විශේෂ ඇඳුම් ඇඳගෙන තමන් කොච්චර ධර්මිෂ්ඨද කියලා අනිත් අයට පේන්න දේවල් කරපු අයට යේසුස් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. (මතෙ. 6:1; මාක් 12:38) ශුද්ධකම කියන්නේ මොකක්ද කියලා සැබෑ ක්‍රිස්තියානීන් විදිහට අපි ඉගෙනගන්නේ ඒ ගැන බයිබලේ කියලා තියෙන දේවල්වලින්. “ඔබ ශුද්ධව සිටිය යුතුයි” කියලා දෙවියන් අපෙන් ඉල්ලන්නේ ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නිසයි. අපිට කරන්න බැරි දෙයක් ඔහු කවදාවත් අපෙන් ඉල්ලන්නේ නැහැ. අපි මුලින්ම බලමු ශුද්ධව ඉන්නවා කියන එකෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද කියලා.

4. “ශුද්ධකම” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

4 “ශුද්ධ” නැත්නම් “ශුද්ධකම” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? බයිබලේ ඒ වචන ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙන්නේ උසස් සදාචාර ප්‍රමිති රකින, දෙවියන් පිළිගන්න විදිහට ඔහුට නමස්කාර කරන කෙනෙක්ව විස්තර කරන්න. ඒ වගේම දෙවියන්ගේ සේවය සඳහා වෙන් කරලා තියෙන දෙයක් නැත්නම් කෙනෙක් කියන අදහසත් ඒකට ඇතුළත්. වෙන විදිහකින් කියනවා නම් අපි දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිති රකිද්දී ඔහු පිළිගන්න විදිහට ඔහුට නමස්කාර කරද්දී ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් තියාගද්දී අපි ශුද්ධයි කියලා කියන්න පුළුවන්. බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා යෙහෝවා කියන්නේ මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කියලා. ඒ වගේ ශුද්ධ දෙවි කෙනෙක්ට කිට්ටු වෙන්න ලැබුණ එක මොන තරම් ආශීර්වාදයක්ද!

“යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය”

5. දේවදූතයන් කියන දෙයින් අපිට යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 යෙහෝවා දෙවියන් හැම අතින්ම ශුද්ධ දෙවි කෙනෙක්. ඔහුගේ සිංහාසනය ළඟින්ම ඉන්න සෙරාෆ්වරු කියන මේ දෙයින් ඒක තවත් පැහැදිලි වෙනවා. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.” (යෙසා. 6:3) ඒ තරම් ශුද්ධ දෙවි කෙනෙක්ගේ ළඟින් ඉන්න නම් ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න නම් දේවදූතයනුත් ගොඩක් ශුද්ධ අය වෙන්න ඕනේ. එයාලා කොච්චර ශුද්ධද කියනවා නම් මිනිසුන්ට පණිවිඩ අරන් පොළොවට ආපු අවස්ථාවලදී ඒ ආපු තැනත් ශුද්ධ තැනක් වුණා. ඇවිළෙන පඳුරක් තුළින් දේවදූතයෙක් මෝසෙස්ට කතා කරපු සිද්ධිය ඒකට හොඳ උදාහරණයක්.—නික්. 3:2-5; යොෂු. 5:15.

උත්තම පූජකයාගේ හිස්වැස්මේ “ශුද්ධකමේ උල්පත යෙහෝවා දෙවිය” කියලා තහඩුවක කොටලා තිබුණා (6-7 ඡේද බලන්න)

6-7. (අ) නික්මයාම 15:1, 11 මෝසෙස් යෙහෝවා දෙවියන්ගේ ශුද්ධකම ගැන කිව්වේ මොකක්ද? (ආ) යෙහෝවා ශුද්ධයි කියලා මතක් කරගන්න ඊශ්‍රායෙල්වරුන්ට උදව් වුණේ මොනවාද? (කවරයේ පින්තූරය බලන්න.)

6 මෝසෙස් රතු මුහුද හරහා ඊශ්‍රායෙල්වරුන්ව ගෙනාවට පස්සේ එයා ඊශ්‍රායෙල්වරුන්ට කැවැද්දුවා යෙහෝවා මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කියලා. (නික්මයාම 15:1, 11 කියවන්න.) මොකද ඊජිප්තුවරුන්ගේ සහ කානානිවරුන්ගේ දෙවිවරු යෙහෝවාට වඩා ගොඩක් වෙනස්. උදාහරණෙකට කානානිවරු එයාලගේ දෙවිවරුන්ට නමස්කාර කරද්දී දරුවන්ව පූජා කළා. පිළිකුල්සහගත ලිංගික ක්‍රියාවල යෙදුණා. (ලෙවී. 18:3, 4, 21-24; ද්වි. 18:9, 10) හැබැයි යෙහෝවා ඒ වගේ දුෂ්ට, පිළිකුල් දේවල් ඔහුට නමස්කාර කරන සෙනඟගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. මොකද යෙහෝවා තමයි ශුද්ධකමේ උල්පත. ඒ නිසයි “ශුද්ධකමේ උල්පත යෙහෝවා දෙවිය” කියලා කොටපු තහඩුවක් උත්තම පූජකයාගේ හිස්වැස්මේ බඳින්න කියලා යෙහෝවා කිව්වේ.—නික්. 28:36-38.

7 ඒ තහඩුව දකින හැම වෙලාවකම යෙහෝවා කොච්චර ශුද්ධ දෙවි කෙනෙක්ද කියලා ඊශ්‍රායෙල්වරුන්ට මතක් වෙන්න ඇති. හැබැයි කෙනෙක් උත්තම පූජකයා ඉන්න තැනට වඩා ටිකක් ඈතින් ඉන්නවා නම් එයාට තහඩුවේ ලියලා තියෙන දේ හරියට පේන්නේ නැත්නම් යෙහෝවා ශුද්ධයි කියන දේ එයාට අමතක වෙයිද? නැහැ. ඒ කාලේ පුරුෂයන්ව, ස්ත්‍රීන්ව, දරුවන්ව එක තැනකට එකතු කරලා නීතිය ඒ හැමෝටම ඇහෙන්න කියෙව්වා. (ද්වි. 31:9-12) ඔයාත් එදා ඒ ඊශ්‍රායෙල්වරු අතර හිටියා නම් ඔයාටත් මේ වචන ඇහෙයි. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.’ “යෙහෝවා දෙවි වන මා ශුද්ධව සිටින නිසා ඔබද මා ඉදිරියේ ශුද්ධව සිටිය යුතුයි.”—ලෙවී. 11:44, 45; 20:7, 26.

8. ලෙවී කතාව 19:2 සහ 1 පේතෘස් 1:14-16 අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 ඊශ්‍රායෙල් සෙනඟට කියවපු නීතියෙන් කොටසක් දැන් අපි බලමු. ඒක තියෙන්නේ ලෙවී කතාව 19:2. එතන යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.’” පස්සේ කාලෙක පේතෘස් ක්‍රිස්තියානීන්ට “ඔබත් ශුද්ධව සිටින්න” කියලා කියද්දී සමහරවිට නීතියේ තිබුණු ඒ දේ එයාගේ මනසේ තියෙන්න ඇති. (1 පේතෘස් 1:14-16 කියවන්න.) අද අපි මෝසෙස්ගේ නීතිය යටතේ නැති වුණත් පේතෘස් කියපු දෙයින් පැහැදිලි වෙනවා ලෙවී කතාව 19:2 කියන දේ අපිටත් අදාළයි කියලා. යෙහෝවා දෙවියන් ශුද්ධයි. ඒ නිසා අපි අභිෂේක ලත් අය වුණත් වෙනත් බැටළුවන් වුණත් යෙහෝවා වගේ ශුද්ධව ඉන්න ඕනේ.—1 පේතෘ. 1:4; 2 පේතෘ. 3:13.

‘ශුද්ධකම ඔබේ මුළු ජීවිතෙන්ම පෙන්විය යුතුයි’

9. ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

9 අපිට ඕනෙ අපේ ශුද්ධ දෙවියන්ව සතුටු කරන්න. ඒ නිසා ජීවිතේ හැම පැත්තකින්ම ශුද්ධව ඉන්න අපි උපරිමයෙන් උත්සාහ කරනවා. ඒක කරන්න අපිට උදව් වෙන මඟ පෙන්වීම් ඔහු අපිට දීලා තියෙනවා. ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයෙන් ඒ වගේ වටිනා මඟ පෙන්වීම් අපිට ඉගෙනගන්න පුළුවන්. හෙබ්‍රෙව් විශාරදයෙක් වන මාකස් කාලිෂ් මෙහෙම කියනවා. “මේ පරිච්ඡේදයේ ශුද්ධව ඉන්න එක ගැන ගොඩක් මඟ පෙන්වීම් දීලා තියෙනවා. ඒවා ජීවිතේ හැම පැත්තටම අදාළ කරලත් තියෙනවා. ඇත්තටම කිව්වොත් සමහර පැතිවලින් බයිබලේ තියෙන පළවෙනි පොත් පහෙන් වැදගත්ම පරිච්ඡේදය මේක කියලා කියන්නත් පුළුවන්.” ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදය පටන්ගද්දීම “ඔබද ශුද්ධව සිටිය යුතුයි” කියලා සඳහන් වෙනවා. දැන් අපි ඒ පරිච්ඡේදයේ පද කීපයක් අරගෙන ඒක ජීවිතේට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා බලමු.

ලෙවී කතාව 19:3 දෙමාපියන් ගැන සඳහන් ආඥාව අපිව පොලඹවන්නේ මොනවා කරන්නද? (10-12 ඡේද බලන්න) *

10-11. ලෙවී කතාව 19:3 කියන්නේ මොකක්ද? ඒක වැදගත් ඇයි?

10 “ඔබද ශුද්ධව සිටිය යුතුයි” කියලා කිව්වට පස්සේ යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබ සියලුදෙනාම තම තමාගේ පියාටද මවටද ගෞරවයෙන් සලකන්න. මා ඔබේ දෙවි වන යෙහෝවාය.’—ලෙවී. 19:2, 3.

11 පියාටත් මවටත් ගෞරව කරන්න කියලා යෙහෝවා කියනවා. පොහොසත් තරුණයාගේ සිද්ධිය මතකද? එයා යේසුස්ගෙන් ඇහුවා ‘සදාකාල ජීවිතය ලබාගන්න මං කරන්න ඕනෙ මොනවාද’ කියලා. කරන්න ඕන දේවල්වලට පියාට මවට ගෞරව කරන එකත් යේසුස් ඇතුළත් කළා. (මතෙ. 19:16-19) ඒ වගේම අම්මාවයි, තාත්තාවයි රැකබලා ගන්න එක නොසලකා හැරපු පරිසිවරුන් සහ නීතිය පිටපත් කරන්නන්ව යේසුස් පිළිකුල් කළා. ඔහු එයාලට කිව්වේ එයාලා ‘දෙවිගේ වචනය අවලංගු කරලා තියෙනවා’ කියලා. (මතෙ. 15:3-6) ඒ විතරක් නෙවෙයි දසපනතේ 5වෙනි ආඥාවේ සඳහන් වෙන්නෙත් ලෙවී කතාව 19:3 තියෙන දේමයි. (නික්. 20:12) මතක තියාගන්න, ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න කියලා යෙහෝවා කියන්නේ “මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි” කියලා කිව්වාට පස්සේ. ඒකෙන් පැහැදිලි වෙනවා ශුද්ධ අය විදිහට යෙහෝවා දෙවියන් අපිව සලකන්න නම් අපි අපේ දෙමාපියන්ට ගෞරව කරන්න ඕනෙ කියලා.

12. ලෙවී කතාව 19:3 කියන දේ අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

12 අපිට පුළුවන් අපෙන්ම මෙහෙම අහගන්න. ‘මං මගේ අම්මාටයි, තාත්තාටයි ගෞරව කරනවාද?’ ඔයාට හිතෙනවා නම් ඔයා ඒක හරියට කරලා නැහැ කියලා දැන් ඉඳන් ඒක කරන්න පටන්ගන්න. කොහොමද ඒක කරන්නේ? ඔයාට පුළුවන් එයාලා වෙනුවෙන් කාලේ වෙන් කරලා එයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. අඩුපාඩු මොනවාද කියලා හොයලා බලලා ඒ දේවල් එයාලට දෙන්න. නමස්කාරයේ දේවල් හොඳට කරන්න, දෙවියන්ට තව ළං වෙන්න එයාලට උදව් කරන්න. එයාලව දිරිගන්වන්නත් අමතක කරන්න එපා. එහෙම කරනවා නම් ලෙවී කතාව 19:3 දෙවියන් කියපු දේ අදාළ කරගන්න අපිටත් පුළුවන්.

13. (අ) ලෙවී කතාව 19:3 තියෙන්නේ තව මොනවා ගැනද? (ආ) යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (ලූක් 4:16-18)

13 ශුද්ධව ඉන්න උදව් වෙන තව දෙයක් ගැන ලෙවී කතාව 19:3න් අපිට ඉගෙනගන්න පුළුවන්. එතන යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට කියනවා “මා නියම කළ සබත් දිනයන් පවත්වන්න” කියලා. අද අපි ක්‍රිස්තියානීන් විදිහට මෝසෙස්ගේ නීතියට යටත් නැති නිසා සබත පවත්වන්නේ නැහැ. හැබැයි ඊශ්‍රායෙල්වරු සබත පවත්වපු විදිහෙන් සහ ඒකෙන් ලබපු ප්‍රයෝජනවලින් අපිටත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. යෙහෝවා සබත දුන්නේ එදිනෙදා වැඩවලින් විවේක අරගෙන ඒ කාලය යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න පාවිච්චි කරන්න. * බයිබලේ කියනවා යේසුත් හැම සබත් දවසකම සිනගෝගයට ගිහිල්ලා ශුද්ධ ලියවිලි කියවන්න පුරුදු වෙලා හිටියා කියලා. (නික්. 31:12-15; ලූක් 4:16-18 කියවන්න.) ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට ‘සබත පවත්වන්න’ කිව්වේ ඇයි කියලා අපි තේරුම් අරන් ඉන්නවා නම් කොච්චර වැඩ තිබුණත් අපිත් ඊශ්‍රායෙල්වරු වගේ යෙහෝවා එක්ක තියෙන අපේ බැඳීම ශක්තිමත් කරගන්න කාලේ වෙන් කරගන්නවා. ඔයාට හිතෙනවාද ඔයා ඒ දේ කරනවා මදි කියලා? එහෙමනම් අදම ඒක කරන්න අධිෂ්ඨාන කරගන්න. ඔයා නමස්කාරයේ දේවල්වලට කාලේ වෙන් කරන තරමටම ඔයාට දෙවියන් එක්ක තියෙන බැඳීමත් ශක්තිමත් වෙයි. මොකද ශුද්ධව ඉන්න නම් අපිට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙන්නම ඕනේ.

යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න

14. ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයේ කාවද්දන්නේ මොනවා ගැනද?

14 ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයේ ශුද්ධව ඉන්න උදව් වෙන තව දෙයක් ගැන සඳහන් වෙනවා. එතන 4වෙනි පදය අවසන් වෙන්නේ “මා ඔබේ දෙවි වන යෙහෝවාය” කියන වාක්‍යයෙන්. 19වෙනි පරිච්ඡේදයේ ඒ අදහස 16 වතාවක් සඳහන් වෙලා තියෙනවා. දසපනතේ පළවෙනි ආඥාවේ තියෙන්නෙත් ඒ වගේ අදහසක්මයි. එතන කියනවා “ඔබේ දෙවි වන යෙහෝවා මමය. මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුයි” කියලා. (නික්. 20:2, 3) මොකක්ද ඒකෙන් පැහැදිලි වෙන්නේ? ක්‍රිස්තියානීන් විදිහට ශුද්ධව ඉන්න නම් යෙහෝවාත් එක්ක අපිට තියෙන බැඳීමට හරස් වෙන්න කිසිම දේකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම යෙහෝවාගේ නම දරන සෙනඟක් විදිහට ඔහුගේ ශුද්ධ නම අගෞරවයට පත් වෙන කිසිම දෙයක් අපි කරන්නෙත් නැහැ.—ලෙවී. 19:12; යෙසා. 57:15.

15. සත්ව පූජා ගැන ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයේ සඳහන් කරලා තියෙන දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 යෙහෝවාව තමන්ගේ දෙවියන් විදිහට පිළිගන්න නම් ඊශ්‍රායෙල්වරු ඔහු දුන්න නීතිවලට කීකරු වෙන්න ඕන වුණා. ඒ ගැන ලෙවී කතාව 18:4 මෙහෙම කියනවා. “ඔබ මාගේ තීන්දුවලට යටත් විය යුතුයි. මාගේ පනත්වලට කීකරු වෙමින් ඒවා අනුව ජීවත් විය යුතුයි. මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය.” යෙහෝවා දුන්න ඒ වගේ “පනත්” කීපයක් 19වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. උදාහරණෙකට 19:5-8, 21, 22 බැලුවොත් එතන කතා කරන්නේ සත්ව පූජා ගැන. සත්ව පූජා ඔප්පු කරද්දීත් ඊශ්‍රායෙල්වරු ඒවා ඔප්පු කරන්න ඕනෙ ‘යෙහෝවා දෙවිගේ ශුද්ධ දේ කෙලසෙන්නේ’ නැති විදිහට. ඒ කියන්නේ යෙහෝවා දෙවියන් පිළිගන්න විදිහට. මොකක්ද අපි ඒකෙන් ඉගෙනගන්නේ? හෙබ්‍රෙව් 13:15 කියන විදිහට අද අපි යෙහෝවාට කරන ප්‍රශංසාවත් හරියට පූජාවක් වගේ. ඒ පූජාව ඔප්පු කරද්දීත් අපි ඒක යෙහෝවා පිළිගන්න විදිහට ඔප්පු කරන්න ඕනේ.

16. ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයෙන් අපිට මතක් කරලා දෙන තව දෙයක් මොකක්ද?

16 ශුද්ධව ඉන්න නම් අපි අනිත් අයට වඩා වෙනස් වෙන්න ඕනේ. සමහරවිට ඒක ලේසි නැති වෙන්න පුළුවන්. ඔයාගේ ඉස්කෝලේ යාළුවෝ, වැඩපොළේ අය, සත්‍යයේ නැති නෑදෑයෝ සහ තවත් අය දෙවියන් අකමැති දෙයක් කරන්න ඔයාට බලපෑම් කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවලට හරි තීරණයක් ගන්න උදව් වෙන දෙයක් ලෙවී කතාව 19:19 තියෙනවා. එතන මෙහෙම කියනවා. “ඔබේ ඇඳුම් මැසීමට නූල් වර්ග දෙකකින් වියන ලද රෙද්දක් භාවිත නොකරන්න.” යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට ඒ වගේ නීතියක් දුන්නේ එයාලා අනිත් ජාතීන්ට වඩා වෙනස් කියලා මතක් කරන්නයි. අද අපි ඒ නීතියට යටත් නැති වුණත් ඒකේ තියෙන ප්‍රතිපත්තිය අපිටත් අදාළයි. අපි අපේ යාළුවන්ට, වැඩපොළේ අයට, නෑදෑයන්ට ආදරෙයි. හැබැයි ජීවිතේ තීරණ ගනිද්දී එයාලා කියන දේවල් කරන්නවත් එයාලා වගේ වෙන්නවත් අපි කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. මොකද දෙවියන්ගේ සෙනඟ විදිහට අපි එයාලට වඩා වෙනස්. අපි මේ ලිපියේ මුලින් බලපු විදිහට ශුද්ධකම කියද්දී දෙවියන් සඳහා වෙන් කරලා තියෙනවා කියන අදහසත් ඒකට ඇතුළත්. ඒ නිසා අනිත් අයට වඩා වෙනස් වෙන්න අපි කවදාවත් බය වෙන්නේවත් ලැජ්ජා වෙන්නේවත් නැහැ.—2 කොරි. 6:14-16; 1 පේතෘ. 4:3, 4.

ලෙවී කතාව 19:23-25 සඳහන් නීතියෙන් ඊශ්‍රායෙල්වරුන්ට මතක් කරලා දුන්නේ මොනවාද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (17 සහ 18 ඡේද බලන්න) *

17-18. ලෙවී කතාව 19:23-25 කියන දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් වැදගත් පාඩම මොකක්ද?

17 “මා ඔබේ දෙවි වන යෙහෝවාය” කියලා කියද්දී ඊශ්‍රායෙල්වරු එයාලගේ ජීවිතේ මුල් තැන දෙන්න ඕනෙ තමන් එක්ක තියෙන බැඳීමට කියලා යෙහෝවා දෙවියන් එයාලට මතක් කළා. එයාලට ඒක කරන්න පුළුවන් එක විදිහක් ගැන ලෙවී කතාව 19:23-25 දක්වා සඳහන් වෙනවා. (කියවන්න.) එයාලා පොරොන්දු දේශයට ආවට පස්සේ කෑමට ගන්න පුළුවන් පල දරන ගහක් හිටෙව්වොත් පළවෙනි අවුරුදු තුනේම ඒ ගහෙන් ගෙඩි කන්න එයාලට අවසර තිබුණේ නැහැ. 4වෙනි අවුරුද්දෙත් ඒවා ශුද්ධ දෙයක් විදිහට සලකලා දෙවියන්ට කැප කරන්න ඕනේ. 5වෙනි අවුරුද්දේදී තමයි එයාලට ඒ ගහේ ගෙඩි කන්න අවසර ලැබුණේ. ඇයි යෙහෝවා ඒ වගේ නීතියක් දුන්නේ? ඒ නීතියෙන් එයාලට මතක් කළා එයාලා තමන්ගේ අවශ්‍යතාවලට මුල් තැන දෙනවා වෙනුවට යෙහෝවාට මුල් තැන දෙන්න ඕන කියන කාරණය. යෙහෝවා එයාලට ඕනෙ හැම දෙයක්ම අඩුපාඩුවක් නැතුව ලබා දෙයි කියන විශ්වාසය ඇතුව වැඩ කරන එක ඔහු එයාලගෙන් බලාපොරොත්තු වුණා. ඒ වගේම ශුද්ධ කූඩාරමේ සිද්ධ වෙන නමස්කාර කටයුතුවලට අදිමදි නොකර පරිත්‍යාග කරන එකේ වැදගත්කමත් යෙහෝවා මේ නීතියෙන් එයාලට ඉගැන්නුවා.

18 ලෙවී කතාව 19:23-25 කියවද්දී යේසුස් කන්ද උඩ දේශනයේදී කිව්ව දෙයක් අපිට මතක් වෙනවා. ඔහු මෙහෙම කිව්වා. ‘කන්නේ බොන්නේ මොනවාද කියා සිතමින් තවදුරටත් කනස්සලු නොවන්න. ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න.’ යේසුස් මතක් කරලා දුන්නා යෙහෝවා කුරුල්ලන්වත් රැකබලා ගන්නවා කියලා. එහෙමනම් ඔහු අපිව බලාගන්නේ නැතුව ඉඳියිද! (මතෙ. 6:25, 26, 32) ඒ නිසා දෙවියන් අපිට අවශ්‍ය හැම දෙයක්ම දෙනවා කියලා විශ්වාස කරන්න. ඒ වගේම ඔහුව ආදර්ශයට අරන් ‘දිලිඳුන්ට යහපත් දේවල්’ කරන්න. ඒ කියන්නේ අවශ්‍යතා තියෙන අයට උදව් කරන්න. හැබැයි එහෙම කරද්දී කවදාවත් අනිත් අයට පේන්න ඒක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි සභාවේ වියදම්වලට කැමැත්තෙන්ම සම්මාදම් කරන්නත් අපිට පුළුවන්. ඒ වගේ විදිවලින් අපි ත්‍යාගශීලී වෙද්දී යෙහෝවා දෙවියන් ඒක දකිනවා. ඔහු අපිට ගොඩක් ආශීර්වාදත් කරනවා.—මතෙ. 6:2-4.

19. ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

19 යෙහෝවා දෙවියන්ව ආදර්ශයට අරන් ‘ජීවිතේ හැම පැත්තකින්ම ශුද්ධකම පෙන්නන්න’ පුළුවන් කොහොමද කියලා අපි ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයෙන් බැලුවා. (1 පේතෘ. 1:15) අපි එහෙම කරන නිසා යෙහෝවාට නමස්කාර කරන්නේ නැති අය වුණත් ඔහුට ගෞරව කරන්න පෙලඹිලා තියෙනවා. (1 පේතෘ. 2:12) ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයේ “ශුද්ධව ඉන්න” උදව් වෙන තවත් තොරතුරු සඳහන් වෙලා තියෙනවා. අපි ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 80 “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”

^ 5 ඡේ. යෙහෝවාට අපි ගොඩක් ආදරෙයි. අපිට ඕනෙ ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙන්න. යෙහෝවා දෙවියන් ශුද්ධ නිසා ඔහුගේ නමස්කාරකයන් විදිහට අපිත් ශුද්ධව ඉඳියි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. ඒත් පාපය උරුම වෙලා තියෙන නිසා අපිට ශුද්ධව ඉන්න පුළුවන්ද? ඔව්. ඒ කොහොමද කියලා තේරුම්ගන්න පේතෘස් ක්‍රිස්තියානීන්ට දුන්න මඟ පෙන්වීමක් ගැනත් යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට දුන්න අණපනත් කීපයක් ගැනත් අපි මේ ලිපියෙන් බලමු.

^ 13 ඡේ. සබත ගැනත් ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දේවල් ගැනත් වැඩි විස්තර දැනගන්න 2019 දෙසැම්බර් ‘මුරටැඹ’ සඟරාවේ “වැඩවලටත් විවේකයටත් ‘නියමිත කාලයක් ඇත’” කියන ලිපිය බලන්න.

^ 57 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක් එයාගේ නෝනයි, දරුවනුයි එක්ක එයාගේ දෙමාපියන්ව බලන්න යනවා. එයා නිතරම එයාගේ අම්මායි, තාත්තායි එක්ක කතා කරනවා.

^ 59 ඡේ. පින්තූරයේ අදහස: ඊශ්‍රායෙල්වරයෙක් එයා හිටවපු ගහේ පලතුරු දිහා බලාගෙන ඉන්නවා.