Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ලෙවී කතාව 19:16 කියන දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ඊශ්‍රායෙල්වරු ශුද්ධව ඉඳියි කියලා යෙහෝවා දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වුණා. ඒ නිසයි ඔහු එයාලට මෙහෙම නීතියකුත් දුන්නේ. “ඔබ තැනින් තැන ගොස් ඔබේ ආශ්‍රිතයා ගැන අපහාසාත්මක ලෙස කතා නොකරන්න. ඔබේ ආශ්‍රිතයාගේ ජීවිතය නැති කර දැමීමට කුමන්ත්‍රණය නොකරන්න. මා යෙහෝවා දෙවිය.”—ලෙවී. 19:2, 16.

“ආශ්‍රිතයාගේ ජීවිතය නැති කර දැමීමට කුමන්ත්‍රණය නොකරන්න” කියලා පරිවර්තනය කරලා තියෙන්නේ හෙබ්‍රෙව් භාෂාවේ කියමනක්. මුල් ලියවිලිවල සඳහන් වෙන විදිහට ඒකේ අදහස තව කෙනෙක්ගේ ජීවිතය නැති කරලා දාන්න නැඟී සිටින්න එපා කියන එකයි. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒ ගැන එක යුදෙව් පොතක කියන දේ බලන්න. “ඒ හෙබ්‍රෙව් කියමන හරියටම තේරුම්ගන්න බැරි නිසා ඒකෙන් කියන්න හදන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න අමාරුයි.”

සමහර විශාරදයන් ඒක තේරුම්ගන්න ඊට කලින් පදය, ඒ කියන්නේ ලෙවී කතාව 19:15 ඒකට සම්බන්ධ කරලා තියෙනවා. එතන මෙහෙම කියනවා. “නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන් හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක් දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.” එයාලා කියන විදිහට 15 සහ 16 පද අතර සම්බන්ධයක් තියෙනවා නම් 16වෙනි පදයේ කියන්නේ නඩු විභාගවලදී ව්‍යාපාර කටයුතුවලදී සහ පවුලේ ප්‍රශ්නවලදී තව කෙනෙක්ට අසාධාරණයක්, වංචාවක් කරන්න එපා කියලයි. ඒ වගේ දේවල් කරන එක වැරදියි තමයි. ඒත් ඒ පදය තේරුම්ගන්න ඊටත් වඩා හොඳ විදිහක් තියෙනවාද?

ඒකට අපි මුලින්ම 16වෙනි පදයේ මුල් කොටස බලමු. එතන කියනවා “තැනින් තැන ගොස් ඔබේ ආශ්‍රිතයා ගැන අපහාසාත්මක ලෙස කතා නොකරන්න” කියලා. ‘අපහාසාත්මක කතා’ කියලා කියද්දී එතනින් අදහස් කරන්නේ නිකම්ම ඕපාදූප කියන එක නෙමෙයි. ඕපාදූප කියද්දීත් හානියක් වෙනවා තමයි. ඒත් හිතාමතාම කෙනෙක්ගේ නමට කැළලක් ඇති කරද්දී ඒකෙන් වෙන්නේ ඊටත් වඩා ලොකු හානියක්. (හිතෝ. 10:19; දේශ. 10:12-14; 1 තිමෝ. 5:11-15; යාකො. 3:6) ඒක කොච්චර භයානකද කියනවා නම් ඒකෙන් කෙනෙක්ගේ චරිතය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න පුළුවන්. ඇත්තටම චරිතය විතරක් නෙවෙයි ඒවාට පුළුවන් කෙනෙක්ගේ ජීවිතේ වුණත් නැති කරලා දාන්න. ඒකට හොඳම උදාහරණයක් තමයි නාබොත්ගේ සිද්ධිය. එයාට විරුද්ධව බොරු සාක්ෂි දුන්න නිසා මිනිස්සු එයාට ගල් ගහලා මැරුවා. (1 රාජා. 21:8-13) අපහාසාත්මක කටකතා කොච්චර නම් භයානකද!

කෙනෙක් තව කෙනෙක්ට අපහාස කරන්න, චෝදනා කරන්න පෙලඹෙන්නේ එයාගේ හිතේ ඒ කෙනා ගැන වෛරයක් තියෙන නිසයි. ඊළඟ පදේ, ඒ කියන්නේ ලෙවී කතාව 19:17 කියනවා “ඔබේ සිතින් ඔබේ සහෝදරයාට වෛර නොකරන්න” කියලා. පස්සේ කාලෙක යොහනුත් ඒ වගේ දෙයක් ලිව්වා. “තම සහෝදරයාට වෛර කරන සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි. මිනී මරන කිසිවෙකුට සදාකාල ජීවනය හිමි නොවන බව ඔබ දන්නහුය.”—1 යොහ. 3:15.

ලෙවී කතාව 19:16න් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපේ හිතේ කෙනෙක් ගැන තියෙන තරහ නිසා, ඊර්ෂ්‍යාව නිසා අපි එයා ගැන බොරු කතා පතුරනවා නම් අපි එයාට විරුද්ධව ‘කුමන්ත්‍රණය කරනවා’ නම් ඒ කියන්නේ අපේ හිතේ එයා ගැන ලොකු වෛරයක් තියෙනවා කියන එකයි. එහෙමනම් අපිට සිද්ධ වෙනවා අපි කරන කියන දේවල් ගැන යෙහෝවා දෙවියන්ට ගණන් දෙන්න.—මතෙ. 12:36, 37.