Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 50

‘ඔබ මා සමඟ පාරාදීසයේ ඉන්නවා’

‘ඔබ මා සමඟ පාරාදීසයේ ඉන්නවා’

“ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා.”—ලූක් 23:43.

ගීතිකාව 145 පාරාදීසය දෙවිගේ පොරොන්දුවකි

මේ ලිපියෙන් a

1. යේසුස් ඔහු ළඟ හිටපු අපරාධකාරයාට කිව්වේ මොනවාද? (ලූක් 23:39-43)

 යේසුස් සහ ඔහුගේ දෙපැත්තේ හිටපු අපරාධකාරයන් දෙන්නා අන්තිම හුස්ම ටික ගත්තේ ගොඩක් වේදනාවෙන්. (ලූක් 23:32, 33) ඒ අපරාධකාරයෝ දෙන්නා යේසුස්ට සෑහෙන්න අපහාස කළා. ඒකෙන් පැහැදිලියි එයාලා යේසුස්ගේ අනුගාමිකයන් නෙවෙයි කියලා. (මතෙ. 27:44; මාක් 15:32) හැබැයි පස්සේ එක් කෙනෙක් වෙනස් වුණා. එයා කිව්වා “යේසුස්, ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වන විට මාව අමතක කරන්න එපා” කියලා. ඒ වෙලාවේ යේසුස් මෙහෙම කිව්වා. “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා.” (ලූක් 23:39-43 කියවන්න.) යේසුස් කිව්වේ එයාව ස්වර්ගයට ගන්නවා කියලා නෙවෙයි. ඒ වගේම යේසුස් “ස්වර්ග රාජ්‍යය” ගැන දේශනා කරද්දී එයා ඒක පිළි අරන් යේසුස්ගේ ගෝලයෙක් වුණා කියලා කියන්නත් කිසිම සාක්ෂියක් නැහැ. (මතෙ. 4:17) එහෙමනම් යේසුස් කිව්වේ මේ පොළොව පාරාදීසයක් වෙන කාලේ ගැනයි. කොහොමද අපි ඒක දන්නේ?

යේසුස් එක්ක කතා කරපු අපරාධකාරයා ගැන අපිට තේරුම්ගන්න පුළුවන් මොනවාද? (2-3 ඡේද බලන්න)

2. පසුතැවිලි වුණ අපරාධකාරයා යුදෙව්වෙක් කියලා අපි දන්නේ කොහොමද?

2 පේන විදිහට මේ පසුතැවිලි වුණ අපරාධකාරයා යුදෙව්වෙක්. කොහොමද ඒක දන්නේ? එයා අනිත් අපරාධකාරයාට මෙහෙම කිව්වා. “මේ මිනිසාට සමාන දඬුවමක් ඔබට ලැබිලත් ඔබට දෙවි සඳහා කිසි ගරුබියක් නැද්ද?” (ලූක් 23:40) යුදෙව්වන් නමස්කාර කළේ එක දෙවි කෙනෙක්ට විතරයි. හැබැයි වෙනත් ජාතීන් ගොඩක් දෙවිවරු ඇදහුවා. (නික්. 20:2, 3; 1 කොරි. 8:5, 6) පසුතැවිලි වුණ ඒ අපරාධකාරයා වෙනත් ජාතියක කෙනෙක් නම් එයා අහන්න තිබුණේ “ඔබට දෙවිවරුන් සඳහා කිසි ගරුබියක් නැද්ද” කියලයි. අනිත් අතට දෙවියන් යේසුස්ව එව්වේ “ඊශ්‍රායෙල් වංශයේ නැති වුණු බැටළුවන් වෙතට” මිසක් වෙනත් ජාතීන් වෙතට නෙවෙයි. (මතෙ. 15:24) දෙවියන් මිනිස්සුන්ට නැවත නැඟිටීමක් දෙනවා කියලා ඊශ්‍රායෙල්වරුන්ට කියලා තිබුණා. ඒ ගැන මේ අපරාධකාරයාත් දැනන් ඉන්න ඇති. ඒ නිසා යේසුස්ව නැවත නැඟිට්ටවලා දේවරාජ්‍යයේ රජු විදිහට පත් කරයි කියලා එයා විශ්වාස කළා. ඒ වගේම දෙවියන් එයාවත් නැවත නැඟිට්ටවයි කියලා එයාගේ හිතේ බලාපොරොත්තුවක් ඇති වෙන්නත් ඇති.

3. යේසුස් පාරාදීසේ ගැන කිව්වාම ඒ අපරාධකාරයාගේ මනසට එන්න ඇත්තේ මොන වගේ දෙයක්ද? පැහැදිලි කරන්න. (උත්පත්ති 2:15)

3 යුදෙව්වෙක් විදිහට ආදම් සහ ඒව ගැන, එයාලට දීපු ලස්සන පාරාදීසය ගැන ඒ අපරාධකාරයා දැනන් ඉන්න ඇති. ඒ නිසා යේසුස් පාරාදීසය කියලා කියපු ගමන් මේ පොළොව ඒදන් උයන වගේ ලස්සන තැනක් වෙලා තියෙන විදිහ එයාගේ මනසට එන්න ඇති.—උත්පත්ති 2:15 කියවන්න.

4. අපි හිතන්න ඕනෙ මොනවා ගැනද?

4 යේසුස් කියපු දේ ගැන හිතද්දී අපි තුළ පෙලඹීමක් ඇති වෙනවා පාරාදීසය මොන වගේ එකක් වෙයිද කියලා හිතලා බලන්න. අපි දන්නවා සලමොන් රජගේ කාලේදී දේශය පුරා සාමකාමී තත්වයක් තිබ්බා. පාරාදීසය මොන වගේ වෙයිද කියලා ඒ කාලෙන් පොඩි ඉඟියක් ලබාගන්න පුළුවන්. හැබැයි යේසුස් කියන්නේ සලමොන්ට වඩා ගොඩක් ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒ නිසා ඔහු අභිෂේක ලත් අයත් එක්ක එකතු වෙලා මේ පොළොවට ඊටත් වඩා හොඳ කාලයක් ගේනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ. (මතෙ. 12:42) ඒ ගැන හිතද්දී “වෙනත් බැටළුවන්ට” ලොකු පෙලඹීමක් ඇති වෙනවා පාරාදීසේ ජීවත් වෙන්න සුදුසුකම් ලබන්න පුළුවන් කොහොමද කියලා හොයලා බලන්න.—යොහ. 10:16.

පාරාදීසය මොන වගේ වෙයිද?

5. ඔයා හිතන විදිහට පාරාදීසේ ජීවිතය මොන වගේ එකක් වෙයිද?

5 පාරාදීසේ ගැන හිතද්දී ඔයාගේ මනසේ මැවෙන්නේ මොන වගේ පින්තූරයක්ද? සමහරවිට ඒදන් උයන වගේ ලස්සන උයනක් ඔයාගේ මනසට එනවා ඇති. (උත්. 2:7-9) ඒ වගේම “එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත” කියලා මීකා කියපු දේ ඔයාට මතක් වෙනවා ඇති. (මීකා 4:3, 4) නැත්නම් මේ පොළොවේ ඇති තරම් කෑම තියෙනවා කියලා බයිබලේ තියෙන තවත් අනාවැකි ඔයාගේ මනසට එන්නත් ඇති. (ගීතා. 72:16; යෙසා. 65:21, 22) දැන්, ඒ ඔක්කොමත් එක්ක හිතන්න ඔයා ඉන්නේ පාරාදීසේ ලස්සන උයනක් මැද කියලා. ඔයාගේ ඉස්සරහා කෑම පිරිච්ච මේසයක් තියෙනවා. ඔයා දකිනවා ඒ මේසේ වටේ ඔයාගේ පවුලේ අය, යාළුවෝ, නැවත නැඟිට්ට අය ඉඳගෙන ඉන්නවා. එයාලගේ සතුටු හිනා හඬ රැව් පිළිරැව් දෙනවා. ඒ අතර හමාගෙන එන සිහිල් සුළඟත් එක්ක ගස්වල, මල්වල නැවුම් සුවඳ ඔයාට දැනෙනවා. ඒක නිකම්ම නිකම් දවල් හීනයක් නෙවෙයි. ළඟදීම ඒක ඉටු වෙනවා. හැබැයි ඒවා විතරක්ම නෙවෙයි පාරාදීසේදී අපේ හිතට සතුටක් දැනෙන වැඩත් අපිට කරන්න තියෙනවා.

අනාගතයේදී නැවත නැඟිටලා එන අයට උගන්වන්න අපිට විශේෂ වැඩ කොටසක් තියෙනවා (6 ඡේදය බලන්න)

6. පාරාදීසේදී අපි කරන්නේ මොනවාද? (පින්තූරය බලන්න.)

6 දෙවියන් අපිව නිර්මාණය කළේ වැඩ කරලා සතුටක් ලබන්න පුළුවන් විදිහට. (දේශ. 2:24) ඒ නිසා දහස් අවුරුදු පාලනයේදීත් අපිට කරන්න ගොඩක් වැඩ තියෙයි. ටිකක් හිතන්න, මහත් පීඩාවෙන් බේරිලා එන අයටයි, නැවත නැඟිටින මිලියන ගාණක් දෙනාටයි කෑම බීම, ඇඳුම් පැළඳුම් ලබාගන්න, ගෙයක් දොරක් හදාගන්න ගොඩක් වැඩ කරන්න වෙයි. ඒ වගේම ආදම් සහ ඒවට දුන්න උයන එයාලා තවත් ලස්සන කළා වගේ මේ පොළොව පාරාදීසයක් කරන්න අපිටත් ලොකු වැඩක් තියෙයි. ඒ විතරක් නෙවෙයි නැවත නැඟිටින මිලියන ගාණක් දෙවියන් ගැනයි, ඔහුගේ අරමුණ ගැනයි හැම විස්තරයක්ම දන්නේ නැති නිසා අපිට වෙනවා එයාලට ඒ ගැන කියලා දෙන්න. යේසුස් එන්න කලින් හිටපු දෙවියන්ගේ සේවකයන්වත් අමතක කරන්න බැහැ. එයාලා මැරුණාට පස්සේ වුණ දේවල් ගැන එයාලටත් කියලා දෙන්න වෙයි.

7. අපිට සහතික වෙන්න පුළුවන් මොකක්ද? ඒ ඇයි?

7 අපි ඉස්සරහා තියෙන පාරාදීසය සාමකාමී, කිසිම දේකින් අඩුවක් නැති, හැම දේම පිළිවෙළට වෙන තැනක් කියලා අපිට සහතිකයි. මොකද යේසුස්ගේ පාලනය යටතේ ලැබෙන ජීවිතේ කොයි වගේ එකක්ද කියලා දෙවියන් දැනටමත් අපිට ඉඟියක් දීලා තියෙනවා. ඒක දැනගන්න අපි සලමොන්ගේ කාලෙට යමු.

පාරාදීසයෙන් බිඳක්!

8. ගීතාවලිය 37:10, 11, 29 දාවිත් ලියපු දේ අතීතයේදී ඉටු වුණේ කොහොමද? (මේ සඟරාවේ තියෙන “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.)

8 ප්‍රඥාවන්ත වගේම විශ්වාසවන්ත කෙනෙක් රජකමට පත් වුණාම යටත්වැසියන්ට මොන වගේ කාලයක් උදා වෙනවාද කියලා දාවිත් ලිව්වා. (ගීතාවලිය 37:10, 11, 29 කියවන්න.) පාරාදීසය ගැන කතා කරද්දී අපි හුඟක් වෙලාවට ගීතාවලිය 37:11 අනිත් අයට පෙන්නනවා. කන්ද උඩ දේශනයේදී දේවරාජ්‍යය ගැන කතා කරද්දීත් යේසුස් ඒ වචන උපුටලා ගත්තා. (මතෙ. 5:5) හැබැයි දාවිත් කියපු වචන ඉටු වෙන්නේ අනාගතයේ විතරක් නෙවෙයි. ඒක සලමොන්ගේ කාලෙත් ඉටු වුණා. ඒ කොහොමද? සලමොන් රජ වුණාම වෙන කවදාවත් අද්දැකලා නැති විදිහේ “කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන,” සාමකාමී, සෞභාග්‍යමත් කාලයක් ඊශ්‍රායෙල් දේශයට උදා වුණා. මොකද යෙහෝවා දෙවියන් සලමොන්ට මෙහෙම කියලා තිබුණා. ‘ඔබ මගේ ආඥාවලට කීකරු වෙමින් මගේ පනත්වලට අනුව ජීවත් වුණොත් මම ඔබේ දේශය පුරා සමාදානය ඇති කරන්නෙමි. ඔබ කිසිවෙකුට බිය නොවී සැනසීමෙන් නිදාගන්නහුය.’ (ලෙවී. 20:24; 26:3, 6) දෙවියන් දුන්න ඒ පොරොන්දුව සලමොන්ගේ කාලේදී ඉටු වුණා. (1 ලේක. 22:9; 29:26-28) ඒ විතරක් නෙවෙයි ‘දුෂ්ටයන් නැති වී යනවා’ කියලත් දෙවියන් පොරොන්දු වුණා.—ගීතා. 37:10.

9. ෂෙබා දේශයේ රැජිණ සලමොන්ගේ පාලනය ගැන කිව්වේ මොනවාද?

9 සලමොන්ගේ පාලනයේ සාර්ථකත්වය ගැන දුර ඈත දේශවල පැතිරුණා. ඒක ෂෙබා දේශයේ රැජිණටත් ආරංචි වුණා. ඒ නිසා ඇත්ත නැත්ත ඇස් දෙකෙන්ම බලාගන්න එයා දුර කතර ගෙවාගෙන යෙරුසලමට ආවා. (1 රාජා. 10:1) සලමොන්ගේ රාජධානිය බැලුවාට පස්සේ එයා මෙහෙම කිව්වා. “ඇත්තටම ඒවා ගැන මට දැනගන්න ලැබුණේ අල්පයක් විතරයි! නිරතුරුවම ඔබ ඉදිරියේ සිට ඔබේ ප්‍රඥාවන්ත වදන් අසන්න ලැබෙන ඔබේ සේවකයනුත් ඔබේ සෙනඟත් මොන තරම් ආශීර්වාද ලත් අයද!” (1 රාජා. 10:6-8) ඒත් එදා තිබුණ ඒ ජීවිතය යේසුස්ගේ පාලනය යටතේ ලැබෙන පාරාදීසයෙන් එක බිඳක් විතරයි.

10. යේසුස් සලමොන්ට වඩා ශ්‍රේෂ්ඨ ඇයි?

10 යේසුස් හැම පැත්තකින්ම සලමොන්ට වඩා ශ්‍රේෂ්ඨයි. මොකද සලමොන් පාපය උරුම කරගත්ත කෙනෙක්. ඒ වගේම එයා ගත්ත තීරණ නිසා පස්සේ කාලෙක දෙවියන්ගේ සෙනඟට ගොඩක් දුක් විඳින්නත් වුණා. ඒත් යේසුස් පරිපූර්ණ කෙනෙක්. ඔහුගේ අතින් කවදාවත් වැරැද්දක් වෙන්නේ නැහැ. (ලූක් 1:32; හෙබ්‍රෙ. 4:14, 15) සාතන් මොන විදිහේ පරීක්ෂා ගෙනාවත් යේසුස් ඒ එකකටවත් අහු වුණේ නැහැ. ඒ හැම දේකින්ම ඔහු ඔප්පු කරලා පෙන්නුවා තමන්ගේ යටතේ ඉන්න අයට හානියක් වෙන විදිහේ කිසිම දෙයක් ඔහු අතින් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ කෙනෙක් අපේ රජ වුණ එක ගැන ඔයාගේ හිතේ ලොකු අගයක් ඇති වෙන්නේ නැද්ද?

11. පාලනය කරන්න යේසුස් එක්ක හවුල් වෙන්නේ කවුද?

11 දෙවියන්ගේ අරමුණ පොළොවේ ඉටු කරන්න, දේවරාජ්‍යය යටතේ ඉන්න මිනිස්සුන්ව බලාගන්න හවුල් පාලකයන් 1,44,000දෙනෙක් යේසුස්ට උදව් වෙනවා. (එළි. 14:1-3) එයාලා ගොඩක් දුෂ්කරතා මැද විශ්වාසවන්තව හිටපු ස්ත්‍රීන් සහ පුරුෂයන්. ඒ නිසා එයාලා අනිත් අයගේ දුක හොඳට අඳුරනවා. ඒත් එයාලට තියෙන්නේ මොන වගේ වැඩ කොටසක්ද?

අභිෂේක ලත් අයට තියෙන වැඩ කොටස

12. යෙහෝවා දෙවියන් 1,44,000දෙනාට දෙන්නේ මොන වගේ පැවරුමක්ද?

12 යෙහෝවා දෙවියන් යේසුස්ටයි, ඔහුගේ හවුල් පාලකයන්ටයි සලමොන්ට දුන්නාටත් වඩා විශාල වැඩක් භාර දෙනවා. සලමොන්ට තිබුණේ එක දේශයක ඉන්න මිලියන ගාණක් සෙනඟව බලාගන්න. හැබැයි දේවරාජ්‍යය යටතේ යේසුස්ටයි, 1,44,000දෙනාටයි පොළොව පුරාම ඉන්න බිලියන ගාණක් මිනිස්සුන්ව බලාගන්න වෙනවා. ඒක මොන තරම් වටින පැවරුමක්ද!

13. යේසුස්ගේ හවුල් පාලකයන්ට තියෙන විශේෂ පැවරුම මොකක්ද?

13 යේසුස් වගේම 1,44,000දෙනාත් රජවරු සහ පූජකයන් විදිහට වැඩ කරනවා. (එළි. 5:10) මෝසෙස්ගේ නීතියට අනුව ඊශ්‍රායෙල් සෙනඟව නිරෝගීව තියාගන්න, දෙවියන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න උදව් කරන්න ප්‍රධාන වගකීම තිබුණේ පූජකයන්ට. බයිබලේ මෙහෙම කියනවා. ‘නීතිය සැබෑ දෙයෙහි ඡායාවක් පමණි. එය දෙනු ලැබුවේ ඉදිරියේදී පැමිණෙන වඩාත් හොඳ දේවල් පිළිබඳ යම් අදහසක් ලබා දීම සඳහායි.’ (හෙබ්‍රෙ. 10:1) ඒ විදිහට බලද්දී පාරාදීසේ ඉන්න සෙනඟටත් දිගටම නිරෝගීව ඉන්න, යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න උදව් කරන්න යේසුස්ගේ හවුල් පාලකයන්ටත් විශේෂ පැවරුමක් තියෙනවා. එදාට එයාලා මේ පොළොවේ ඉන්න අයත් එක්ක කොහොම අදහස් හුවමාරු කරගනීද කියලා අපි දන්නේ නැහැ. හැබැයි පාරාදීසේදී දෙවියන් මොන සැලැස්ම දැම්මත් අපි හැමෝටම අවශ්‍ය මඟ පෙන්වීම් අවශ්‍යම වෙලාවට ලැබෙයි කියලා කිසිම සැකයක් නැහැ.—එළි. 21:3, 4.

“වෙනත් බැටළුවන්” කරන්න ඕන දේ

14. “වෙනත් බැටළුවන්” සහ “කුඩා රැළ” අතර තියෙන්නේ මොන වගේ බැඳීමක්ද?

14 යේසුස් ඔහුගේ හවුල් පාලකයන්ව හඳුන්වන්නේ “කුඩා රැළ” විදිහට. (ලූක් 12:32) ඊට අමතරව යේසුස්ට තවත් රැළක් ඉන්නවා. ඔහු එයාලව හැඳින්නුවේ “වෙනත් බැටළුවන්” කියලා. කණ්ඩායම් දෙකක් වුණාට එයාලා අතර කිට්ටු බැඳීමක් තියෙනවා. මොකද ඒගොල්ලෝ වැඩ කරන්නේ එක රැළක් විදිහට. (යොහ. 10:16) දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඒ කණ්ඩායම් දෙක දැන් වගේම පාරාදීසේදීත් එකට මහන්සි වෙලා වැඩ කරනවා. “කුඩා රැළට” ස්වර්ගයේ සදාකල ජීවිතයත් “වෙනත් බැටළුවන්ට” මේ පොළොවේ සදාකාල ජීවිතයත් ලැබෙනවා. හැබැයි පාරාදීස පොළොවක සදාකාල ජීවිතය අත් කරගන්න නම් “වෙනත් බැටළුවන්” කරන්න ඕනෙ මොනවාද?

පාරාදීසේ ජීවිතේට ලෑස්ති වෙනවා කියලා අපිට දැන් ඉඳන්ම පෙන්නන්න පුළුවන් (15 ඡේදය බලන්න) b

15. (අ) “වෙනත් බැටළුවන්” යේසුස්ගේ සහෝදරයන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද? (ආ) අපේ සහෝදරයාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (පින්තූරය බලන්න.)

15 මුලින් කතා කරපු අපරාධකාරයාට යේසුස් ගැන එයාගේ හිතේ තිබුණ අගය සම්පූර්ණයෙන්ම පෙන්නන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද ඊට කලින් එයා මැරුණා. හැබැයි “වෙනත් බැටළුවන්ට” ඒක කරන්න ඕන තරම් අවස්ථා තියෙනවා. එක විදිහක් තමයි යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ට සහාය වෙන එක. යේසුස් කිව්වා අනාගතයේදී වෙනත් බැටළුවන්ව විනිශ්චය කරන්න පදනමක් විදිහට පාවිච්චි කරන්නේ ඒ දේ කියලා. (මතෙ. 25:31-40) ඒත් යේසුස්ගේ සහෝදරයන්ට සහාය වෙන්න පුළුවන් කොහොමද? එක විදිහක් තමයි දේශනා සේවේට සහ ඉගැන්වීමේ වැඩේට උපරිමයෙන් හවුල් වෙන එක. (මතෙ. 28:18-20) ඒක කරන්න නම් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ වගේ බයිබලේ ඉගෙනගන්න උදව් වෙන ප්‍රකාශන සේවේදී පාවිච්චි කරන්න අපි හොඳට පුරුදු වෙන්න ඕනේ. ඒත් ඔයාට දැනට බයිබල් පාඩමක් නැද්ද? එහෙමනම් පුළුවන් තරම් දෙනෙක්ගෙන් බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න ඉලක්කයක් තියාගන්න.

16. පාරාදීසේ ජීවත් වෙන්න දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද?

16 පාරාදීසේ ජීවත් වෙන්න සුදුසු කෙනෙක් වෙන්න ඒක එන කල් ඉන්න ඕනෙම නැහැ. අපිට දැනුත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. උදාහරණෙකට දැන් ඉඳන්ම කතාබහෙන්, වැඩ කරන විදිහෙන්, පුරුදුවලින් දෙවියන්ව ගෞරවයට පත් කරන්න අපි ඉගෙනගන්න ඕනේ. ඒ වගේම යෙහෝවා දෙවියන්ට, විවාහ වුණ කෙනාට සහ අපේ සහෝදරයන්ට ළැදිව ඉන්නත් ඕනේ. මේ දුෂ්ට ලෝකේ ජීවත් වෙද්දී අපි දෙවියන්ගේ ප්‍රමිති කිට්ටුවෙන් පිළිපදින තරමටම පාරාදීසේ ජීවිතේ ලේසි වෙයි. ඒ වගේම ඒ ජීවිතේට හැඩගැහෙන්න අපිට දැන් ඉඳන්ම අපේ හැකියාවන්, ගුණාංග දියුණු කරගන්නත් පුළුවන්. ඒ ගැන මේ සඟරාවේ “‘පොළොව උරුම කරගන්න’ ඔයා ලෑස්තිද?” කියන ලිපියෙන් තවත් විස්තර දැනගන්න.

17. කලින් කරපු වැරදි ගැන අපි ඕනෑවට වඩා දුක් වෙන්න ඕනෙද? පැහැදිලි කරන්න.

17 අතීතයේදී වුණ බරපතළ වැරදි ගැන ඕනෑවට වඩා දුක් වෙවී ඉන්න එක හොඳ නැහැ. මොකද යේසුස් දැනටමත් අපේ පව් වෙනුවෙන් ජීවිතේ පූජා කරලයි තියෙන්නේ. ඒත් එහෙමයි කියලා ඒක හේතුවක් කරගෙන අපි කවදාවත් “හිතාමතාම පව්කාර ක්‍රියාවල” යෙදෙන්නේ නැහැ. (හෙබ්‍රෙ. 10:26-31) හැබැයි කරපු වරද ගැන අපි අවංකව පසුතැවිලි වෙලා, දෙවියන්ගේ සහ වැඩිමහල්ලන්ගේ උදව් අරගෙන ඒකෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා තියෙනවා නම් යෙහෝවා මේ වෙද්දීත් අපිට සමාව දීලා තියෙනවා කියලා කිසිම සැකයක් නැහැ. (යෙසා. 55:7; ක්‍රියා 3:19) යේසුස් පරිසිවරුන්ට කිව්වේ “මා ආවේ පව්කාරයන්ට උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි” කියලා. (මතෙ. 9:13) ඒ නිසා අපේ හැම පාපයක්ම මකලා දාන්න තරම් යේසුස්ගේ ජීවිත පූජාව බලවත් කියලා කවදාවත් අමතක කරන්න එපා!

පාරාදීසේ හැමදාම ජීවත් වෙන්න ඔයාටත් පුළුවන්

18. පසුතැවිලි වුණ අපරාධකාරයාත් එක්ක පාරාදීසේදී ඔයා කතා කරන්න කැමති මොනවා ගැනද?

18 හිතන්න, පාරාදීසේදී ඔයාට අර අපරාධකාරයාව හම්බ වෙනවා කියලා. ඔයා මොනවාද එයාත් එක්ක කතා කරන්නේ? සැකයක් නැහැ ඔය දෙන්නාම යේසුස්ගේ ජීවිත පූජාව ගැන ලොකු අගයකින් කතා කරයි. සමහරවිට ඔයා එයාගෙන් අහයි “යේසුස් මැරෙන්න කලින් ගෙවුණ අන්තිම පැය කීපයේ තව මොනවාද වුණේ? යේසුස් ඔයාගේ ඉල්ලීමට උත්තර දෙද්දී කොහොමද දැනුණේ” කියලා. අනිත් අතට එයාත් ඔයාගෙන් අහයි “අන්තිම කාලේ සාතන්ගේ ලෝකෙන් ඔයාට මොන වගේ අභියෝගද ආවේ” කියලා. නැවත නැඟිටලා එන ඒ වගේ අයට බයිබලේ තියෙන දේවල් උගන්වන්න ලැබෙන එක කොච්චර ලොකු ගෞරවයක්ද!—එෆී. 4:22-24.

මේ කාලේ ඉඳන්ම සහෝදරයෙක් ඉගෙනගන්න ආසාවෙන් හිටපු දෙයක් දහස් අවුරුදු පාලනයේදී හරිම සතුටින් කරනවා (19 ඡේදය බලන්න)

19. පාරාදීසේ ජීවත් වෙන එක නිරස වෙන්නේ නැත්තේ ඇයි? (කවරයේ පින්තූරය බලන්න.)

19 පාරාදීසේ ජීවිතය කවදාවත් නිරස වෙන්නේ නැහැ. මොකද එදාට අපිට අලුත් අලුත් අයව ආශ්‍රය කරන්න අවස්ථාව ලැබෙයි. ඒ වගේම සතුටක් ලැබෙන ගොඩක් වැඩ තියෙයි. ඒ හැම දේටම වඩා අපේ යෙහෝවා දෙවියන්ව තව අඳුරගන්න, ඔහු ලබා දෙන දේවල්වලින් සතුටක් ලබන්න අපිට අවස්ථාව තියෙනවා. ඇත්තම කිව්වොත් ඔහු ගැන, ඔහුගේ නිර්මාණ ගැන සදහටම ඉගෙනගන්නත් එදාට අපිට පුළුවන්. පාරාදීසේ දවසින් දවස ගෙවෙද්දී යෙහෝවා ගැන තියෙන ආදරේ තව තවත් ගැඹුරු වෙයි. එහෙම බලද්දී හැමදාටම ජීවත් වෙන්න පුළුවන් මේ ලස්සන පාරාදීසය අපේ ඉස්සරහින් තියපු එක ගැන අපි යෙහෝවා දෙවියන්ට සහ යේසුස්ට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද!

ගීතිකාව 22 අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!

a පාරාදීසය මොන වගේ වෙයිද කියලා ඔයාත් කල්පනා කරනවාද? එහෙම කරන එකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. මොකද යෙහෝවා දෙවියන් අපි හැමෝම වෙනුවෙන් සූදානම් කරලා තියෙන දේවල් ගැන හිතන තරමටම ඒ ගැන උද්‍යෝගයෙන් අනිත් අයට කියන්න ඔයා පෙලඹෙයි. පාරාදීසය ගැන යේසුස් දුන්න පොරොන්දුව තව තවත් විශ්වාස කරන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

b පින්තූරේ අදහස: නැවත නැඟිටලා එන අයට උගන්වන්න ආසාවෙන් ඉන්න සහෝදරයෙක් දැනුත් බයිබලේ තියෙන දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්නවා.