Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 51

නොසන්සුන් තත්වයන් මැද සන්සුන්ව ඉන්න

නොසන්සුන් තත්වයන් මැද සන්සුන්ව ඉන්න

“ඔබේ සිත් කලබල කරගන්න එපා. ඒ වගේම ඔබේ සිත් තුළ බියක් ඇති කරගෙන පසුබසින්නත් එපා.”—යොහ. 14:27.

ගීතිකාව 112 යෙහෝවා සමාදානයේ දෙවියි

මේ ලිපියෙන් a

1. “දෙවි ලබා දෙන සමාදානය” මොන වගේද? ඒක ලබාගන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? (ෆිලිප්පි 4:6, 7)

 මේ ලෝකේ මිනිස්සු ගාව නැති, එයාලා දන්නෙවත් නැති සමාදානයක් අද අපි අද්දකිනවා. ඒ “දෙවි ලබා දෙන සමාදානය.” ඒ කියන්නේ අපිට ඔහුත් එක්ක විශේෂ බැඳීමක් තියෙන නිසා දැනෙන සන්සුන්කම. ඒ නිසා අපිට ලොකු ආරක්ෂාවකුත් දැනෙනවා. (ෆිලිප්පි 4:6, 7 කියවන්න.) බයිබලේ දෙවියන්ව හඳුන්වලා තියෙන්නේ “සමාදානයේ දෙවි” විදිහට. (1 තෙස. 5:23) අපිට ඔහුත් එක්ක විතරක් නෙවෙයි ඔහුගේ සෙනඟ එක්කත් කිට්ටු බැඳීමක් තියෙනවා. අපි යෙහෝවා දෙවියන්ව වඩාත් හොඳින් දැන හඳුනා ගද්දී, ඔහුව විශ්වාස කරද්දී, ඔහුට කීකරු වෙද්දී ඕනෑම ප්‍රශ්නයක් මැද සන්සුන්ව ඉන්න අපිට පුළුවන්.

2. දෙවියන් අපිට සමාදානය දෙයි කියලා සහතික වෙන්න පුළුවන් ඇයි?

2 වසංගතවලට, ආපදාවලට, නොසන්සුන් තත්වයන්වලට, පීඩාවලට මුහුණ දෙද්දී ඇත්තටම දෙවියන් දෙන සමාදානය ලබාගන්න පුළුවන්ද? ඒ ප්‍රශ්න ගැන හිතද්දීත් අපිට බයක් දැනෙනවා. ඒත් යේසුස් මෙහෙම කිව්වා. “ඔබේ සිත් කලබල කරගන්න එපා. ඒ වගේම ඔබේ සිත් තුළ බියක් ඇති කරගෙන පසුබසින්නත් එපා.” (යොහ. 14:27) අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ඒ උපදෙස අදාළ කරගෙන තියෙනවා. කොයි තරම් අමාරු දේවල්වලට මුහුණ දුන්නත් යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් එයාලා දිගටම සන්සුන්ව ඉන්නවා.

වසංගත මැද සන්සුන්ව

3. වසංගතයක් අපිට බලපාන්න පුළුවන් කොහොමද?

3 හිතාගන්නවත් බැරි විදිහට අපේ ජීවිත උඩු යටිකුරු කරන්න වසංගතයකට පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් තමයි කොරෝනා වසංගතය. එක සමීක්ෂණයකට හවුල් වුණ බාගෙකටත් වැඩිදෙනෙක් කිව්වේ වසංගත කාලේ එයාලට හරියට නින්ද ගියේ නැහැ කියලා. ඒ වගේම වසංගතේ නිසා ගොඩක් අයගේ කනස්සල්ල, මානසික අවපීඩනය වැඩි වුණා. මත්ද්‍රව්‍ය සහ මත්පැන් පාවිච්චි කරන ප්‍රමාණයත් වැඩි වුණා. හුඟක් අය පවුලේ අයට දරුණු විදිහට සැලකුවා. ඒ විතරක් නෙවෙයි සමහරු ජීවිතේ නැති කරගන්නත් හැදුවා. ඔයා ඉන්න පැත්තෙත් වසංගතයක් පැතිරිලා තියෙනවා නම් ඔයාට දැනෙන කනස්සල්ල අඩු කරගෙන දෙවියන් දෙන සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?

4. අන්තිම කාලය ගැන යේසුස් කියපු අනාවැකිය දැනන් ඉන්න එක සන්සුන්ව ඉන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

4 අන්තිම කාලේ “එක් තැනක් පාසා තවත් තැනක” වේගයෙන් පැතිරෙන දරුණු වසංගත ඇති වෙනවා කියලා යේසුස් කලින්ම කිව්වා. (ලූක් 21:11) ඒක දන්න නිසා ඒ දේවල් වෙද්දී අපි පුදුම වෙන්නේ නැහැ. මොකද මේ ඉටු වෙන්නේ යේසුස් කියපු දේවල් කියලා අපි දන්නවා. ඒ නිසා ‘ඒ දේවල්වලට බය වෙන්න’ අපිට කිසිම හේතුවක් නැහැ.—මතෙ. 24:6.

වසංගතයකදී සන්සුන්ව ඉන්න බයිබලේ ඕඩියෝ රෙකෝඩිංවලට ඇහුම්කන් දෙන එක ඔයාට උදව් වෙයි (5 ඡේදය බලන්න)

5. (අ) වසංගතයක් මැද ඉද්දී අපි යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න ඕනෙ මොනවාද? (ෆිලිප්පි 4:8, 9) (ආ) බයිබලේ ඕඩියෝ රෙකෝඩිං අහන එක ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

5 වසංගතයක් පැතිරෙද්දී ලේසියෙන්ම කලබල වෙන්න, බයක් දැනෙන්න පුළුවන්. ඒකම තමයි සහෝදරි ඩේසිටත් වුණේ. b එයාගේ බාප්පයි, මහප්පගේ පුතායි, පවුලේ දොස්තරයි කොරෝනා හැදිලා මැරුණා. ඒ නිසා එයා බය වුණා එයාටත් වයිරස් එක හැදිලා එයාගේ වයසක අම්මාටත් බෝ වෙයි කියලා. රස්සාව නැති වෙයි කියලත් එයා බය වුණා. එහෙම වුණොත් කන්නේ බොන්නේ, ගෙවල් කුලී ගෙවා ගන්නේ කොහොමද කියලා එයා වධ වුණා. ඒ ගැන හිතලා හිතලා එයාට නින්ද ගියෙත් නැහැ. හැබැයි හිත ආයෙත් සන්සුන් කරගන්න ඩේසිට පුළුවන් වුණා. ඒ කොහොමද? හිත සන්සුන් කරගෙන දිරිගැන්වෙන දේවල් ගැන හිතන්න උදව් කරන්න කියලා එයා යෙහෝවා දෙවියන්ගෙන් නිශ්චිතවම ඉල්ලුවා. (ෆිලිප්පි 4:8, 9 කියවන්න.) ඒ වගේම බයිබලේ ඕඩියෝ රෙකෝඩිංවලටත් එයා ඇහුම්කන් දුන්නා. ඒවා අහද්දී එයාට දැනුණේ යෙහෝවා එයාට කතා කරනවා වගේ. සහෝදරි ඩේසි මෙහෙම කියනවා. “ඒ රෙකෝඩිංවල තියෙන සන්සුන් කටහඬවල් ඇහෙද්දී මගේ හිත නිවිලා ගියා. යෙහෝවාගේ ආදරේ මට දැනුණා.”—ගීතා. 94:19.

6. පෞද්ගලික අධ්‍යයනය සහ රැස්වීම් ඔයාට උදව් වෙන්නේ කොහොමද?

6 වසංගතයක් ඇති වුණාම කලින් කළා වගේ සමහර දේවල් කරගෙන යන්න අපිට අමාරු වෙයි. ඒත් කිසිම දෙයක් නිසා පෞද්ගලික අධ්‍යයනය, රැස්වීම් අතපසු කරන්න එපා. අපේ පොත් පත්වල, වීඩියෝවල අපි මුහුණ දෙනවා වගේ දේවල්වලට මුහුණ දුන්න සහෝදරයන්ගේ ගොඩක් අද්දැකීම් තියෙනවා. (1 පේතෘ. 5:9) ඒත් එයාලට පුළුවන් වෙලා තියෙනවා දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න. අපේ ප්‍රශ්න අමතක කරලා දාලා දෙවියන්ගේ වචනෙන් අපේ මනස පුරවගන්න රැස්වීමුත් අපිට උදව් වෙනවා. ඒ වගේම අනිත් අයව දිරිගන්වන්නත් දිරිගැන්වීම් ලබන්නත් ඒක හොඳ අවස්ථාවක්. (රෝම 1:11, 12) දෙවියන්ගේ සේවකයන් අසනීපෙන්, බයෙන්, තනිකමෙන් ඉද්දී ඔහු එයාලට උදව් කරලා තියෙන විදිහ ගැන හිතද්දී දෙවියන් ඔයාවත් අමතක කරන්නේ නැහැ කියලා ඔයාට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙයි.

7. යොහන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

7 වසංගතයක් තියෙද්දී සමහර වෙලාවට අපිට සහෝදරයන්ව හම්බ වෙන්න බැහැ. හම්බ වුණත් සමාජ දුරස්ථභාවය තියාගන්න වෙයි. එහෙම වුණාම ලොකු දුකක්, තනිකමක් දැනෙන්න පුළුවන්. සැරයක් යොහන්ටත් එයාගේ කිට්ටු යාළුවෙක් වුණ ගායස්ව හම්බ වෙන්න ලොකු ආසාවක් තිබුණා. (3 යොහ. 13, 14) ඒත් ඒ වෙලාවේ ඒක කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා යොහන් ගායස්ට ලියුමක් ලිව්වා. මොකක්ද පාඩම? සහෝදර සහෝදරියන්ව හම්බ වෙලා කතා කරන්න බැරි වුණත් එයාලට කෝල් එකක් දෙන්න. මෙසේජ් කරන්න. කිසිම වසංගතයකට ඉඩ දෙන්න එපා සහෝදරයන්ව ඔයාගෙන් ඈත් කරන්න. ඔයා එයාලට කිට්ටුවෙන් හිටියොත් ඔයාගේ පාළුව, තනිකම මැකිලා යයි. ලොකු සහනයකුත් දැනෙයි. හැබැයි ඒ මොන දේ කළත් ඔයාට දිගටම ලොකු පීඩනයක් දැනෙනවා නම් වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්න.—යෙසා. 32:1, 2.

ආපදා මැද සන්සුන්ව

8. ආපදාවක් ඔයාට බලපාන්න පුළුවන් කොහොමද?

8 ඔයා කවදා හරි ගංවතුරකින්, භූමිකම්පාවකින්, ගින්නකින් පීඩා විඳලා තියෙනවාද? එහෙනම් සමහරවිට සෑහෙන කාලයක් යන කල් ඔයාට ලොකු කනස්සල්ලක්, බරක් දැනෙයි. ඒකෙන් ඔයා ආදරේ කරන කෙනෙක් නැති වුණා නම්, ඔයාගේ ගේ දොර, බඩු මුට්ටු විනාශ වුණා නම් ඔයාට ලොකු අසරණකමක් සමහරවිට කේන්තියක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් අදහස් වෙනවාද ඔයා සල්ලිවලට කෑදර එහෙම නැත්නම් දෙවියන් ගැන කිසිම විශ්වාසයක් නැති කෙනෙක් කියලා? නැහැ. මොකද ඒ වගේ වේදනාකාරී දේකට මුහුණ දෙන ඕනම කෙනෙක්ට ඒක වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙද්දී ඔයාට හැම දේම එපා වෙන්න පුළුවන් කියලා අනිත් අයත් දන්නවා. (යෝබ් 1:11) හැබැයි ඒ වගේ ප්‍රශ්නයක් මැද වුණත් ඔයාට ආයෙත් හිතේ සාමය ඇති කරගන්න පුළුවන්. ඒ කොහොමද?

9. ආපදාවලට මුහුණ දෙන්න යේසුස් අපිව කලින්ම සූදානම් කළේ කොහොමද?

9 මේ ලෝකේ ඉන්න සමහර අය හිතනවා ‘අපිට නං කවදාවත් ආපදාවක් වෙන එකක් නෑ’ කියලා. ඒත් අපි දන්නවා යේසුස් කියපු විදිහට අන්තිම කාලේදී “මහත් භූමිකම්පා” ඇතුළු තවත් ආපදා, ව්‍යසන එන්න එන්නම වැඩි වෙනවා කියලා. (ලූක් 21:11) ඒ වගේම ‘අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වෙනවා’ කියලත් යේසුස් කිව්වා. (මතෙ. 24:12) අද කාලේ සිද්ධ වෙන අපරාධ, සැහැසික ක්‍රියා, ත්‍රස්තවාදී ප්‍රහාර දිහා බැලුවාම යේසුස් කියපු දේ කොච්චර ඇත්තක්ද කියලා පැහැදිලියි. හැබැයි ඔහු කවදාවත් කිව්වේ නැහැ ඒ වගේ දේවල් වෙන්නේ දෙවියන්ගේ අනුමැතිය නැති අයට විතරයි කියලා. දෙවියන්ට විශ්වාසවන්තව හිටපු හුඟක් අයත් ඒ දේවල්වලට ගොදුරු වෙලා තියෙනවා. (යෙසා. 57:1; 2 කොරි. 11:25) යෙහෝවා දෙවියන් හැම ආපදාවකින්ම, අනතුරකින්ම ආශ්චර්යවත් විදිහට අපිව බේරුවේ නැතත් දිගටම සන්සුන්ව ඉන්න ඔහු අපිට ඔහුගේ සමාදානය දෙනවා.

10. ආපදාවකට දැන් ඉඳන්ම සූදානම් වෙන එකෙන් අපේ විශ්වාසය පේන්නේ කොහොමද? (හිතෝපදේශ 22:3)

10 අපි කල්තියාම ලෑස්ති වෙලා ඉන්නවා නම් ආපදාවක් එද්දී කලබල වෙන්නේ නැතුව සන්සුන්ව ඉන්න ඒක ලොකු උදව්වක් වෙයි. කෙනෙක් කල්තියාම ඒ වගේ දේකට ලෑස්ති වෙන්නේ දෙවියන් ගැන විශ්වාසයක් නැති නිසාද? නැහැ. ඇත්තම කිව්වොත් එහෙම කරන එකෙන් තමයි අපි පෙන්නන්නේ අපිව රැකබලා ගන්න දෙවියන්ට පුළුවන් කියන එක ගැන අපිට කොච්චර විශ්වාසයක් තියෙනවාද කියලා. ඒ කොහොමද? ආපදාවලට කල්තියාම ලෑස්ති වෙන්න කියලා බයිබලේ කියනවා. (හිතෝපදේශ 22:3 කියවන්න.) ඒ වගේම සඟරාවලින්, රැස්වීම්වලින්, නිවේදනවලින් සංවිධානය අපිට ආයේ ආයේ මතක් කරනවා එහෙම කරන්න කියලා. c ඉතින් ඔයාටත් යෙහෝවාව විශ්වාසද? එහෙමනම් ආපදාවක් කට ළඟටම එන කල් ඉන්නේ නැතුව දැන්ම ඒකට ලෑස්ති වෙන්න.

කලින්ම සූදානම් වුණොත් ආපදාවකදී ජීවිතේ බේරගන්න පුළුවන් (11 ඡේදය බලන්න) d

11. සහෝදරි මාගරට්ගෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

11 සහෝදරි මාගරට්ගේ අද්දැකීම බලන්න. එයාගේ පැත්තේ ලැව් ගින්නක් ඇති වුණ නිසා බලධාරීන් කිව්වා හැමෝටම ඒ ප්‍රදේශයෙන් පිටත් වෙන්න කියලා. හැබැයි මිනිස්සු හැමෝම එකම වෙලාවේ ඒ පළාතෙන් පිට වෙන්න හදපු නිසා එක වාහනයකටවත් යාගන්න බැරි වෙන විදිහේ ලොකු තදබදයක් තිබුණා. ටික වෙලාවකින් ඒ පැත්තම කළු දුමෙන් වැහිලා ගියා. සෑහෙන වෙලාවක් යන කල් එයා වාහනේ ඇතුළෙම හිර වෙලා හිටියා. හැබැයි හොඳ වෙලාවට සහෝදරි මාගරට් එයාගේ පර්ස් එකේ සිතියමක් දාගෙන තිබුණා. ඒ නිසා එයාට වෙන පාරකින් ආරක්ෂිත තැනකට යාගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි එයා ඊට කලින්ම ඒ පාරේ ගිහිල්ලා පාර හොඳට බලාගෙන තිබුණ නිසා අතරමං වුණේ නැහැ. සහෝදරි මාගරට් කලින්ම හොඳට සූදානම් වෙලා හිටපු නිසයි එයාගේ ජීවිතේ බේරුණේ.

12. ආරක්ෂාව ගැන දීලා තියෙන මඟ පෙන්වීම් අපි පිළිපදින්න ඕනෙ ඇයි?

12 අපේම ආරක්ෂාවට බලධාරීන් සමහර වෙලාවට ඇඳිරි නීතිය දානවා. ප්‍රදේශයෙන් පිට වෙන්න කියනවා. නැත්නම් වෙනත් මඟ පෙන්වීම් දෙනවා. සමහර අය ගේ දොර, බඩු මුට්ටු දාලා යන්න කැමති නැති නිසා ඒවාට කීකරු වෙන්න අදිමදි කරනවා. හැබැයි ක්‍රිස්තියානීන් විදිහට අපි කරන්න ඕනෙ මොනවාද? බයිබලේ මෙහෙම කියනවා. ‘මිනිසුන් පිහිටුවා ඇති සෑම අධිකාරියකටම යටත් වන්න. ඒ දේ ස්වාමීන් වෙනුවෙන් කරන්න. උසස් තනතුරක් හොබවන රජෙකුට වුවත්, රජු විසින් එවන ලද ආණ්ඩුකාරයන්ට වුවත් යටත් වන්න.’ (1 පේතෘ. 2:13, 14) අපේ ආරක්ෂාවට දෙවියන් සංවිධානය මාර්ගයෙනුත් මඟ පෙන්වීම් දෙනවා. හදිස්සියකදී කතා කරන්න අපේ ෆෝන් නම්බර් එක වැඩිමහල්ලන්ට දීලා තියන්න කියලා අපිට නිතරම මතක් කරනවා. ඔයා ඒකට කීකරු වෙලා තියෙනවාද? ආපදාවකදී මේ වගේ දේවල් ගැනත් අපිට මඟ පෙන්වීම් ලැබෙයි. “ගෙදරම ඉන්න ඕනෙද නැත්නම් ආරක්ෂාවට වෙන තැනකට යන්න ඕනෙද? සහනාධාර ගන්නේ කොහොමද? අනිත් අයට උදව් කරන්න ඕනෙ කොහොමද, කොයි වෙලේද?” අපි ඒවාට කීකරු නොවී අපිට ඕන විදිහට වැඩ කළොත් අපි අපේ ජීවිත විතරක් නෙවෙයි වැඩිමහල්ලන්ගේ ජීවිතත් අනතුරේ දානවා. මොකද අපිව රැකබලා ගන්න එයාලට ලොකු වගකීමක් තියෙනවා. (හෙබ්‍රෙ. 13:17) සහෝදරි මාගරට් මෙහෙම කියනවා. “මගේ ජීවිතේ බේරුණේ මං සංවිධානයයි, වැඩිමහල්ලොයි කියපු දේවල් ඒ විදිහටම පිළිපැද්ද නිසයි.”

13. අවතැන් වුණ සහෝදරයන්ට සන්සුන්ව, සතුටින් ඉන්න උදව් වෙලා තියෙන්නේ මොකක්ද?

13 ආපදා නිසා, යුද්ධ කෝලහල නිසා අවතැන් වුණ සහෝදරයෝ හුඟදෙනෙක් අලුත් තත්වයන්වලට හැඩගැහෙන්න උපරිමය කරලා තියෙනවා. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනින් නමස්කාරයේ දේවල් කරන්න එයාලා උත්සාහ කරනවා. එයාලා පීඩා නිසා හැම තැනම විසිරිලා ගිය මුල් ක්‍රිස්තියානීන් වගේ යනයන තැන්වල “දෙවිගේ පණිවිඩය ඇතුළත් ශුභාරංචිය” කියනවා. (ක්‍රියා 8:4) ඒක එයාලට උදව් වෙනවා ප්‍රශ්න ගැනම හිතන්නේ නැතුව දේවරාජ්‍යයට අවධානය දෙන්න. උන්හිටි තැන් නැති වුණත් දිගටම සන්සුන්ව, සතුටින් ඉන්න එයාලට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි.

විරුද්ධවාදිකම් මැද සන්සුන්ව

14. පීඩා, විරුද්ධවාදිකම් එද්දී අපේ හිතේ සාමය නැති වෙන්නේ ඇයි?

14 අපේ හිතට සහනයක්, සන්සුන්කමක් ගේන දේවල් අපෙන් උදුරගන්න පීඩා, විරුද්ධවාදිකම්වලට පුළුවන්. අපි නිදහසේ එකට රැස් වෙද්දී, සේවේ යද්දී, එදිනෙදා දේවල් කරද්දී අපිට ලොකු සතුටක්, තෘප්තියක් ලැබෙනවා. හැබැයි හිතන්න, අපිව කොයි වෙලේක හරි අත්අඩංගුවට ගනියි කියලා බයෙන් අපිට ඒ දේවල් කරන්න වුණා නම් ඒක අපේ හිතට කොච්චර බරක් වෙයිද! ඒ වගේ තත්වෙක ඉන්න ඕනම කෙනෙක්ට ඒ බය දැනෙන්න පුළුවන්. හැබැයි අපි පරෙස්සම් වෙන්න ඕනේ. මොකද යේසුස් කියපු විදිහට පීඩා නිසා අපි සත්‍යයෙන් වැටිලා යන්නත් පුළුවන්. (යොහ. 16:1, 2) ඉතින් පීඩාවලට මුහුණ දෙද්දී දිගටම සන්සුන්ව ඉන්න අපිට පුළුවන් කොහොමද?

15. අපි පීඩාවලට බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි? (යොහන් 15:20; 16:33)

15 බයිබලේ මෙහෙම කියනවා. “ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.” (2 තිමෝ. 3:12) සහෝදර ඔන්ද්‍රේගේ අද්දැකීම බලන්න. එයාගේ රටේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරද්දී මුලින් එයා මෙහෙම හිතුවා. ‘අපේ රටේ සාක්ෂිකරුවෝ කොච්චර නං ඉන්නවාද! බලධාරීන්ට පුළුවන්ද ඔය ඔක්කොමල්ලාව අල්ලලා හිරේ දාන්න?’ එහෙම හිතුවා කියලා ඔන්ද්‍රේට කිසිම සහනයක් දැනුණේ නැහැ. ඒ වෙනුවට එයා හිටියේ කොයි වෙලේ බලධාරීන්ට අහු වෙයිද කියන බයෙන්. හැබැයි අනිත් සහෝදරයෝ හිතුවේ ඊට වඩා වෙනස් විදිහට. එයාලා තේරුම් අරන් හිටියා එයාලත් බලධාරීන්ට අහු වෙන්න පුළුවන් කියලා. හැබැයි එයාලා ඒ ගැන ඕනෑවට වඩා වධ වෙන්නේ නැතුව කාරණය යෙහෝවාට බාර දුන්නා. ඒ නිසා එයාලා ඔන්ද්‍රේ තරම් කනස්සලු වුණේ නැහැ. ඒක දැකපු ඔන්ද්‍රේ හිතන විදිහ වෙනස් කරගෙන එයාලා වගේ සම්පූර්ණයෙන්ම යෙහෝවා දෙවියන් මත රඳා ඉන්න තීරණය කළා. ඊටපස්සේ එයාට ලොකු සන්සුන්කමක් දැනුණා. දැන් එයා පීඩා මැද වුණත් සතුටින් ඉන්නවා. අපිටත් පුළුවන් ඒ දේම කරන්න. ඇත්ත, පීඩා එනවා කියලා යේසුස් කලින්ම කිව්වා. හැබැයි ඒත් එක්කම අපිට දිගටම විශ්වාසවන්තව ඉන්න පුළුවන් කියලත් ඔහු සහතිකයක් දුන්නා.—යොහන් 15:20; 16:33 කියවන්න.

16. විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී අපි කීකරු වෙන්න ඕනෙ මොන මඟ පෙන්වීම්වලටද?

16 අපේ වැඩකටයුතු තහනම් කරද්දී නැත්නම් ඒවාට තහංචි දාද්දී ශාඛා කාර්යාලයෙන්, වැඩිමහල්ලන්ගෙන් අපිට ගොඩක් මඟ පෙන්වීම ලැබෙයි. ඒ මඟ පෙන්වීම් දීලා එයාලා අපිව ආරක්ෂා කරනවා. ඒ වගේම දිගටම පෝෂණය ලබාගන්න, පුළුවන් විදිහට සේවේ හවුල් වෙන්න අපිට උදව් කරනවා. ඒ නිසා මඟ පෙන්වීමක් දුන්නේ ඇයි කියලා හරියටම තේරුණේ නැතත් ඒකට උපරිමයෙන් කීකරු වෙන්න. (යාකො. 3:17) ඒ වගේම සහෝදරයන් ගැන, සංවිධානයේ වැඩකටයුතු ගැන කිසිම තොරතුරක් ඒවා දැනගන්න අයිතියක් නැති අයට කියන්න එපා.—දේශ. 3:7.

ගොඩක් අමාරු තත්වයන්වලට මුහුණ දෙද්දී වුණත් හිතේ සාමය තියාගන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? (17 ඡේදය බලන්න) e

17. නියෝජිතයන් වගේ අපේ අධිෂ්ඨානයත් වෙන්න ඕනෙ මොකක්ද?

17 අපි “යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යයට” හවුල් වෙන එක සාතන් අපිට පීඩා කරන ප්‍රධාන හේතුවක්. (එළි. 12:17) හැබැයි අපිව බය ගස්සලා අපේ සේවේ නතර කරලා දාන්න සාතන්ටවත් එයාගේ පැත්තේ ඉන්න අයටවත් ඉඩ දෙන්න එපා. දේශනා කරන එකෙන්, අනිත් අයට බයිබලේ ගැන උගන්වන එකෙන් සැබෑ සතුට, සහනය අපිට ලැබෙනවා. දේශනා කරන්න එපා කියලා යුදෙව් බලධාරීන් නියෝජිතයන්ට අණ කරද්දී එයාලා දෙවියන්ට කීකරු වෙලා දිගටම දේශනා සේවේ කරගෙන ගියා. ඒකෙන් එයාලට ලොකු සතුටක් ලැබුණා. (ක්‍රියා 5:27-29, 41, 42) අපිත් ඉන්නේ අපේ වැඩකටයුතු තහනම් කරලා තියෙන රටක නම් සේවේ කරන විදිහ ගැන අපි ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ. (මතෙ. 10:16) හැබැයි අපි උපරිමය කරනවා නම් දෙවියන් දෙන සමාදානය අද්දකින්න අපිට පුළුවන්. මොකද අපි කරන දෙයින් අපි යෙහෝවාව ගොඩක් සතුටු කරනවා. ඒ වගේම අපි කරන්නේ ජීවිත ගලවන වැඩක්.

‘සමාදානයේ දෙවියන්ගෙන්’ ආශීර්වාද!

18. අපිට නියම සමාදානය ලැබෙන්නේ කාගෙන්ද?

18 අමාරුම තත්වයන්වලට වුණත් මුහුණ දෙද්දී කලබල වෙන්නේ නැතුව සන්සුන්ව ඉන්න අපිට පුළුවන්. එහෙම කරන්න නම් දෙවියන්ගෙන් ලැබෙන සමාදානය අපිට ඕනේ. ඒක දෙන්න පුළුවන් යෙහෝවාට විතරයි. ඒ නිසා වසංගතයකට, ආපදාවකට එහෙම නැත්තම් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී දිගටම ඔහු මතම රැඳිලා ඉන්න. සංවිධානයත් එක්කම ඉන්න. ඔයාට තියෙන බලාපොරොත්තුව ගැන හිතන්න. එතකොට අනිවාර්යයෙන්ම ‘සමාදානයේ දෙවියන්ගෙන් ඔයාට ආශීර්වාද ලැබෙයි.’ (ෆිලි. 4:9) ඒත් ප්‍රශ්නවලට මැදි වෙලා ඉන්න අපේ සහෝදරයන්ට දෙවියන් දෙන සමාදානය ලබාගන්න උදව් කරන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

a යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට සමාදානය දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒත් ඔහු දෙන්නේ මොන වගේ සමාදානයක්ද? ඒක ලබාගන්න අපි කරන්න ඕනෙ මොනවාද? වසංගතවලට, ආපදාවලට, පීඩාවලට මුහුණ දෙද්දී පවා අපිට ඒ ‘සමාදානය අද්දකින්න’ පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

b සමහර නම් වෙනස් කර ඇත.

c 2017 අංක 5 “පිබිදෙව්!” සඟරාවේ “හදිසි ආපදාවකදී ජීවිත රැක දෙන පියවර” කියන ලිපිය බලන්න.

d පින්තූරයේ අදහස: කලින්ම සූදානම් වුණ නිසා ඉක්මනින්ම ගෙදරින් පිට වෙන්න සහෝදරියකට ලේසි වුණා.

e පින්තූරයේ අදහස: අපේ වැඩකටයුතු තහනම් කරලා තියෙන රටක ජීවත් වෙන සහෝදරයෙක් පරෙස්සමින් වැඩපොළේ ඉන්න කෙනෙක්ට සාක්ෂි දරනවා.