Skip to content

පටුනට යන්න

අන්ධකාරයෙන් ආලෝකයට කැඳවයි

අන්ධකාරයෙන් ආලෝකයට කැඳවයි

‘යෙහෝවා දෙවි ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූවේය.’—1 පේතෘ. 2:9.

ගීතිකා: 116, 102

1. යෙරුසලම විනාශ කරද්දී සිද්ධ වුණේ මොන වගේ දේවල්ද?

බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් ක්‍රි.පූ. 607දී එයාගේ බලවත් හමුදාවත් එක්ක ඇවිල්ලා යෙරුසලම යටත් කරගත්තා. ඒ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. ‘එයා ඇවිත් ඔවුන්ගේ තරුණයන්ව දේවමාලිගාවේදීම මරලා දැම්මා. තරුණ තරුණියන්ටවත් මහලු හෝ අබලදුබල අයටවත් කිසිම අනුකම්පාවක් පෙන්නුවේ නැහැ.’ ඒ විතරක් නෙමෙයි එයා ‘සැබෑ දෙවිගේ ගෘහයට ගිනි තබා යෙරුසලමේ පවුරද බිඳ දැම්මා. එහි සියලුම බලකොටුද එහි තිබූ වෙනත් වටිනා දේවල්ද ගිනිබත් කළා. එයා සෑම දෙයක්ම විනාශ කළා.’—2 ලේක. 36:17, 19.

2. යෙහෝවා දෙවි දුන්න අනතුරු ඇඟවීම මොකක්ද? යුදෙව්වන්ට සිද්ධ වෙන්නේ මොකක්ද?

2 යෙරුසලමේ විනාශය ගැන පුදුම වෙන්න යුදෙව්වන්ට කිසිම හේතුවක් තිබුණේ නැහැ. යුදෙව්වන් දිගින් දිගටම දෙවිට අකීකරු වුණොත් බැබිලෝනිවරුන් එයාලව යටත් කරගන්නවා කියලා දෙවි අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් අවුරුදු ගාණක් තිස්සේ අනතුරු ඇඟෙව්වා. යුදෙව්වන් හුඟදෙනෙක් කඩුවෙන් මැරුම් කනවා කියලත් ඉතුරු වෙන අයට බැබිලෝනියේ වහලුන් වෙන්න සිද්ධ වෙනවා කියලත් දෙවි කිව්වා. (යෙරෙ. 15:2) වහලුන් විදිහට එයාලා ගත කරපු ජීවිතේ මොන වගේද? යුදෙව්වන් බැබිලෝනියේ වහලුන් වුණා හා සමාන දෙයක් යේසුස්ගේ අනුගාමිකයන්ටත් සිද්ධ වුණාද? එහෙම වුණා නම් ඒ කවදද?

වහලුන් විදිහට ගත කරපු ජීවිතේ

3. වහලුන් විදිහට ඊජිප්තුවේ ගත කරපු ජීවිතේට වඩා බැබිලෝනියේ ජීවිතේ වෙනස් වුණේ කොහොමද?

3 වහලුන් විදිහට බැබිලෝනියට අරන් යන යුදෙව්වන්ට දෙවි කලින්ම මෙහෙම කියලා තිබුණා. “ජනයෙනි, ඔබ දැන් ජීවත් වන දේශයෙහි ගෙවල් ගොඩනඟා ඒවාහි පදිංචි වන්න. දේශයෙහි වගා කටයුතු කර, එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්න. එමෙන්ම යෙහෝවා දෙවි වන මා ඔබව වහල්භාවයට යැවූ නගරය තුළ සාමය රැකෙන අයුරින් ජීවත් වන්න. ඒ නගරය වෙනුවෙන් යාච්ඤා කරන්න. මන්ද එහි සාමකාමී වාතාවරණයක් පැවතුණොත් ඔබටත් සමාදානයෙන් ජීවත් වීමට හැකි වනු ඇත.” (යෙරෙ. 29:5, 7) දෙවි දුන්න ඒ මඟ පෙන්වීමට කීකරු වුණ යුදෙව්වන් වහලුන් වෙලා හිටියත් සාමාන්‍යයෙන් හොඳ ජීවිතයක් ගත කළා. එදිනෙදා වැඩකටයුතු නිදහසේ කරගන්න, රට ඇතුළේ ඕනෑම තැනකට යන්න බැබිලෝනිවරුන් යුදෙව්වන්ට ඉඩ දීලා තිබුණා. බැබිලෝනිය ඒ කාලේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක්. පැරණි ලියවිලිවලින් හොයාගෙන තියෙන විදිහට සමහර යුදෙව්වන් ව්‍යාපාර කටයුතු හොඳින් ඉගෙනගත්තා. දක්ෂ කර්මාන්තකරුවන් වුණා. සමහරු ධනවතුන් වුණා. සියවස් ගාණකට කලින් ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහලුන් විදිහට ගත කරපු ජීවිතේ එක්ක බලද්දී බැබිලෝනියේදී දුෂ්කරතා අද්දැක්කේ නැති තරම්.—නික්මයාම 2:23-25 කියවන්න.

4. අකීකරු වුණ යුදෙව්වන් නිසා දුෂ්කරතා අද්දකින්න වුණේ වෙන කාටද? එයාලට දෙවිගේ නීතියට ඇතුළත් වුණ හැම දේම පිළිපදින්න බැරි වුණේ ඇයි?

4 ජීවිතේ ගත කරන්න ඕන කරන හැම දේම වගේ යුදෙව්වන්ට තිබුණත් දෙවිට නමස්කාර කරන එක එයාලට අභියෝගයක් වුණා. මොකද දේවමාලිගාව සහ පූජාසනය බැබිලෝනිවරු විනාශ කරලයි තිබුණේ. තමන්ට පවරලා තිබුණ කාර්යයන් හරියට කරන්න පූජකයන්ට පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඒත් වහලුන් හැටියට අරන් ගිය අය අතරේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් දෙවිගේ නීතියට කීකරු වෙන්න තමන්ට පුළුවන් හැම දේම කළා. උදාහරණෙකට දානියෙල්, ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ දෙවි අපවිත්‍රයි කියලා සලකපු කෑම කෑවේ නැහැ. දානියෙල් නිතිපතා දෙවිට යාච්ඤා කළා කියලත් බයිබලේ සඳහන් වෙනවා. (දානි. 1:8; 6:10) ඒත් එයාලා ජීවත් වුණේ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරපු අය යටතේ නිසා දෙවිගේ නීතියේ සඳහන් වුණ හැම දේම පිළිපදින්න එයාලට බැරි වුණා.

5. දෙවි තම සෙනඟට දුන්න පොරොන්දුව මොකක්ද? ඒක හිතාගන්න අමාරු දෙයක් කියන්නේ ඇයි?

5 දෙවි බලාපොරොත්තු වුණ විදිහට ආයෙත් ඔහුට නමස්කාර කරන්න යුදෙව්වන්ට පුළුවන් වෙයිද? ඒ කාලේ හැටියට ඒක විශ්වාස කරන්න අමාරු දෙයක්. මොකද බැබිලෝනිවරුන් කවදාවත් වහලුන්ව නිදහස් කරන්නේ නැහැ. ඒත් යුදෙව්වන්ව බැබිලෝනියෙන් නිදහස් කරනවා කියලා දෙවි පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඒ විදිහටම ඉටු වුණා. දෙවි පොරොන්දු වෙන ඕනම දෙයක් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.—යෙසා. 55:11.

යේසුස්ගේ අනුගාමිකයනුත් බැබිලෝනියේ වහලුන් වුණාද?

6, 7. බැබිලෝනියේ වහල්භාවය ගැන අපි තේරුම්ගත්ත විදිහේ යම් වෙනසක් කරන්න වුණේ ඇයි?

6 යුදෙව්වන් බැබිලෝනියේ වහලුන් වුණා වගේ දෙයක් යේසුස්ගේ අනුගාමිකයනුත් අද්දැක්කද? අවුරුදු ගාණක් තිස්සේ ‘මුරටැඹ’ සඟරාවල සඳහන් වුණේ 1918දී යේසුස්ගේ අනුගාමිකයන් මහ බැබිලෝනියේ වහලුන් වුණා කියලයි. එයාලා 1919දී ඒකෙන් නිදහස් වුණා. ඒත් ඒ ගැන අපි තේරුම්ගත්ත විදිහ ආයෙත් සෝදිසි කරලා බලන්න සිද්ධ වුණා. ඒ ඇයි කියලා අපි මේ ලිපියෙනුත් ඊළඟ ලිපියෙනුත් බලනවා.

7 බයිබලේ මහ බැබිලෝනිය කියලා හඳුන්වන්නේ දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම්. 1918දී දෙවිගේ සේවකයන් මහ බැබිලෝනියේ වහලුන් වුණා නම් එයාලා යම් විදිහකින් ඒ කාලය අතරතුරේදී අසත්‍ය උගන්වන ආගම්වල අණසක යටතේ ඉන්න ඕනේ. ඇත්ත, ඒ කාලෙදී දෙවිගේ අභිෂේක ලත් සේවකයන් හුඟක් විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නා. ඒත් ඒවායින් වැඩි හරියක් ආවේ ආණ්ඩුවලින් මිසක් අසත්‍ය උගන්වන ආගම්වලින් නෙමෙයි. ඒ වගේම 1වෙනි ලෝක යුද්දෙට දශක ගාණකට කලින් ඉඳන් අභිෂේක ලත් අය පල්ලිවල උගන්වපු දේවල් බයිබලේ තියෙන ඉගැන්වීම්වලට වඩා වෙනස් කියලා තේරුම් අරන් ඒවායින් අයින් වෙන්න පියවර අරන් තිබුණා. ඒ නිසා යේසුස්ගේ අනුගාමිකයන් මහ බැබිලෝනියේ වහලුන් වුණේ 1918දී කියලා කියන්න බැහැ.

මහ බැබිලෝනියේ වහලුන් වුණේ කවදද?

8. නියෝජිතයන් මිය ගියාට පස්සේ වුණේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

8 ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ ඉගැන්වීම් පිළිගත්ත දහස් ගාණක්ව දෙවි තමන්ගේ බලයෙන් අභිෂේක කළා. එදා ඉඳන් එයාලා “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක් සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්” වුණා. (1 පේතෘස් 2:9, 10 කියවන්න.) යේසුස්ගේ නියෝජිතයන් ජීවත් වෙලා හිටපු කාලය පුරාම එයාලා දෙවිගේ සේවකයන්ව හොඳින් රැකබලා ගත්තා. ඒත් එයාලා මිය ගියාට පස්සේ සභාවේ හිටපු සමහරු යේසුස්ගේ ඉගැන්වීම් විකෘති කළා. එයාලට ඕන වුණේ සභාවේ අය එයාලව අනුගමනය කරනවා දකින්නයි. එයාලා ඇරිස්ටෝටල්, ප්ලේටෝ වගේ දාර්ශනිකයන්ගේ මතවලට හුඟක් ආස කරපු නිසා ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් උගන්වනවා වෙනුවට දාර්ශනිකයන්ගේ අදහස් ඉගැන්වීම්වලට එකතු කරන්න පටන්ගත්තා. (ක්‍රියා 20:30; 2 තෙස. 2:6-8) එහෙම කරපු හුඟදෙනෙක් සහෝදරයන් අතරේ ප්‍රසිද්ධ, සභාවේ වගකීම් දරපු අය. “ඔබ සියලුදෙනාම සහෝදරයෝ” කියලා යේසුස් කියලා තිබුණත් එක පිරිසක් නායකයන් වෙන්න පටන්ගත්තා. ඒ අය පස්සේ කාලෙක බිෂොප්වරු, පූජකයන් හැටියට පෙනී හිටියා.—මතෙ. 23:8.

9. ක්‍රිස්තියානීන් කියලා කියාගත්ත අයට රෝම අධිරාජ්‍යයේ පිළිගැනීම ලැබුණේ කොහොමද? ඒකෙන් වුණේ මොකක්ද?

9 රෝම අධිරාජ්‍යයා වුණ කොන්ස්ටන්ටයින් ක්‍රි.ව. 313දී ක්‍රිස්තියානීන් කියලා කියාගත්ත ඒ අයට රාජ්‍ය අනුග්‍රහය දුන්නා. ඒත් එක්කම පූජකයනුයි රෝම පාලකයනුයි සහයෝගයෙන් වැඩ කරන්න පටන්ගත්තා. උදාහරණෙකට කොන්ස්ටන්ටයින් ආගමික නායකයන් එක්ක නයිසියා නගරයේ විශේෂ රැස්වීමක් පැවැත්තුවා. යේසුස්ව දෙවියන් හැටියට පිළිගන්න එක ප්‍රතික්ෂේප කරපු නිසා පූජකයෙක් වුණ ඒරියස්ව පිටුවහල් කරන්න අධිරාජ්‍යයා නියෝග කළේ ඒ රැස්වීමෙන් පස්සෙයි. තියඩෝෂස් රෝම අධිරාජ්‍යයා වුණාට පස්සේ කතෝලික ආගම රෝමයේ ප්‍රධාන ආගම හැටියට නම් කළා. වෙනත් ආගම් අදහපු රෝමවරුන් ක්‍රිස්තියානීන් වුණේ ඒ කාලෙදී කියලයි ඉතිහාසඥයන් කියන්නේ. ඒත් ඇත්තටම ක්‍රිස්තියානීන් කියලා කියාගත්ත අය ඒ වෙද්දීත් රෝමවරුන් අදහපු ආගම්වල දේවල් තමන්ගේ විශ්වාසයන්ට එකතු කරගෙනයි හිටියේ. වෙනත් විදිහකින් කියනවා නම් ඒ වෙද්දීත් එයාලා මහ බැබිලෝනියේ කොටසක් වෙලා ඉවරයි. ඒ අඳුරු කාලෙදීත් දෙවිට විශ්වාසවන්තව සේවය කරපු අභිෂේක ලත් අය හිටියා. ඒ අය යේසුස් උපමාවේ සඳහන් කරපු තිරිඟුවලට සමානයි. දෙවිට නමස්කාර කරන්න එයාලා තමන්ට පුළුවන් උපරිමය කළා. ඒත් කිසිම කෙනෙක් එයාලට සවන් දුන්නේ නැහැ. (මතෙව් 13:24, 25, 37-39 කියවන්න.) ඇත්තටම එයාලා හිටියේ බැබිලෝනියේ වහලුන් වෙලයි කියලා කියන්න පුළුවන්.

10. පූජකයන්ගේ ඉගැන්වීම් ගැන මිනිසුන්ට ප්‍රශ්න කරන්න පුළුවන් වුණේ මොකක් නිසාද?

10 යේසුස් මිය ගිහින් ගත වුණ සියවස් කීපයේ හිටපු හුඟක් අයට ග්‍රීක නැත්නම් ලතින් භාෂාවෙන් බයිබලේ කියවන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා එයාලට පුළුවන් වුණා ශුද්ධ ලියවිල්ලේ තිබුණ ඉගැන්වීම් පල්ලිවල ඉගැන්වීම් එක්ක සසඳලා බලන්න. පල්ලිවල උගන්වන්නේ බොරු කියලා තේරුම්ගත්ත සමහරු ඒවා ප්‍රතික්ෂේප කළා. ඒත් ඒ ගැන අනිත් අයට කියන්න ගියේ නැහැ. මොකද එහෙම කළා නම් එයාලට මරණ දඬුවම වුණත් ලැබෙන්න ඉඩ තිබුණා.

11. පල්ලිවල පූජකයන් බයිබලේ මිනිසුන් අතරට යන එක වැළැක්වුවේ කොහොමද?

11 කාලයක් යද්දී ග්‍රීක සහ ලතින් භාෂාව කතා කළේ ටිකදෙනයි. වැඩිදෙනෙක් කතා කරපු භාෂාවලට බයිබලේ පරිවර්තනය කරන එකත් පූජකයන් තහනම් කළා. ප්‍රතිඵලයක් විදිහට බයිබලේ කියවන්න පුළුවන්කම තිබුණේ පූජකයන්ටයි උගතුන් කීපදෙනෙක්ටයි විතරයි. හැම පූජකයෙක්ටම හොඳට ලියන්න, කියවන්න හැකියාව තිබුණෙත් නැහැ. කවුරු හරි පල්ලියේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළොත් එයාට පූජකයන් දරුණු විදිහට දඬුවම් කළා. ඒ නිසා අභිෂේක ලත් අයට රැස් වෙන්න වුණේ පුංචි කණ්ඩායම් විදිහට. සමහරුන්ට රැස් වෙන්නම බැරි වුණා. බැබිලෝනියේ වහලුන් වෙලා ඉද්දී දෙවිගේ සැලැස්මට අනුව පූජකයන්ට නමස්කාර කටයුතු කරන්න බැරි වුණා වගේ “රාජකීය පූජක පන්තියටත්” ඒ කාලෙදී හොඳින් සංවිධානය වෙලා නමස්කාර කටයුතු කරන්න බැරි වුණා. මහ බැබිලෝනිය මිනිසුන්ව බය කරලා තමන්ගේ අණසක යටතේ තියාගෙනයි හිටියේ.

බලාපොරොත්තුවේ සේයාවක්!

12, 13. මහ බැබිලෝනියේ බලය අඩු වෙන්න පටන්ගත්තේ මොන දේවල් නිසාද? පැහැදිලි කරන්න.

12 යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ට දෙවි පිළිගන්න විදිහට නමස්කාර කරන්න නිදහස ලැබෙයිද? ඔව්. දේවල් දෙකක් නිසා මහ බැබිලෝනියේ බලය ටිකෙන් ටික අඩු වෙන්න පටන්ගත්තා. (1) 15වෙනි සියවසේ මැද භාගයේදී මුද්‍රණ යන්ත්‍රය හඳුන්වලා දුන්න එක. මුද්‍රණ යන්ත්‍රය හඳුන්වලා දෙන්න කලින් බයිබලේ පිටපත් කළේ අතින්. ඒක ලේසි දෙයක් නෙමෙයි. දක්ෂ පිටපත්කරුවෙක්ට බයිබලේ එක පිටපතක් හදන්න මාස 10ක් විතර ගියා. එයාලා බයිබලේ පිටපත් කළේ කඩදාසි වගේ හීනියට පදම් කරගත්ත සත්ව හම්වල. ඒ නිසා බයිබල් පිටපත් තිබුණේ හරිම ටිකයි. ඒවා හරිම ගණන්. ඒත් මුද්‍රණ යන්ත්‍ර, කඩදාසි හඳුන්වලා දුන්නට පස්සේ හොඳින් පුහුණු වුණ කෙනෙක්ට දවසකට පිටු 1,300කට වඩා මුද්‍රණය කරන්න පුළුවන් වුණා.

මුද්‍රණ යන්ත්‍රය හඳුන්වලා දුන්න නිසාත් නිර්භීත බයිබල් පරිවර්තකයන් නිසාත් මහ බැබිලෝනියේ බලය ටිකෙන් ටික අඩු වුණා (12 සහ 13 ඡේද බලන්න)

13 (2) 16වෙනි සියවසේ මුල් කාලෙදී බයිබලේ පරිවර්තනය කරපු එක. පල්ලියට බය වුණේ නැති කීපදෙනෙක් මිනිසුන් හුඟදෙනෙක් කතා කරපු භාෂාවලට බයිබලේ පරිවර්තනය කරන්න පටන්ගත්තා. තමන්ගේ ජීවිතේ තියෙන්නේ අනතුරේ කියලා දැන දැනත් එයාලා ඒ වැඩේ දිගටම කරගෙන ගියා. ඒ ගැන පූජකයෝ හිටියේ බයෙන්. මොකද මිනිසුන් තමන්ගේම භාෂාවෙන් බයිබලේ කියවලා මේ වගේ ප්‍රශ්න එයාලගෙන් අහයි කියලා පූජකයෝ දැනගෙන හිටියා. ‘බයිබලේ කොතනද ශුද්ධගිනිස්ථානය ගැන කතා කරන්නේ? මිය ගිය කෙනෙක් වෙනුවෙන් පූජාවක් තියන්න පූජකයාට ගෙවන්න ඕනෙ කියලා බයිබලේ කොහෙද කියන්නේ? පාප්වරු ගැන, කාදිනල්වරු ගැන බයිබලේ කොතනද තියෙන්නේ?’ පල්ලියේ උගන්වපු බොරු ඉගැන්වීම්වලට පදනම වුණේ යේසුස් එන්න අවුරුදු සිය ගාණකට කලින් ජීවත් වුණ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වගේ දාර්ශනිකයන්ගේ අදහස්. ඒ ඉගැන්වීම් ගැන මිනිසුන් ප්‍රශ්න කරද්දී පූජකයන්ට තරහා ගියා. ඒවා ප්‍රතික්ෂේප කරපු අයට එයාලා නියම කළේ මරණ දඬුවම. එයාලට ඕනෙ වුණේ මිනිසුන් බයිබලේ කියවලා ප්‍රශ්න අහන එක නවත්තන්නයි. හුඟක් අවස්ථාවලදී එයාලා සාර්ථක වුණා. ඒත් මහ බැබිලෝනියේ පාලනයට විරුද්ධ වුණ නිර්භීත කීපදෙනෙකුත් හිටියා. එයාලා දේවවචනයේ තියෙන සැබෑ ඉගැන්වීම් හොයාගත්තා විතරක් නෙමෙයි ඒවා ගැන තව තවත් හොයන්න එයාලට තිබුණේ ලොකු ආසාවක්. මහ බැබිලෝනියෙන් නිදහස් වෙන කාලය ටිකෙන් ටික ළං වුණා.

14. (අ) බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න ලොකු වුවමනාවක් තිබුණ අය මොනවද කළේ? (ආ) සහෝදර රසල් සත්‍යය සොයා ගිය ගමන විස්තර කරන්න.

14 බයිබලේ අධ්‍යයනය කරන්න, ඉගෙනගත්ත දේවල් අනිත් අයට කියන්න හුඟදෙනෙක්ට ඕන වුණා. පූජකයන් කියන කියන දේවල් විශ්වාස කරන්න එයාලා කැමති වුණේ නැහැ. ඒ නිසා පූජකයන්ගේ බලපෑම අඩු, නිදහසේ බයිබලේ අධ්‍යයනය කරන්න පුළුවන් රටවලට එයාලා ගියා. ඒ වගේ එක රටක් ඇමරිකාව. 1870 වෙද්දී ඇමරිකාවේ හිටපු චාල්ස් ටේස් රසල් තවත් කීපදෙනෙක් එක්ක එකතු වෙලා බයිබලේ තියෙන තොරතුරු ගැඹුරින් අධ්‍යයනය කරමින් හිටියා. මුලින්ම සහෝදර රසල්ට ඕන වුණේ සත්‍ය තොරතුරු උගන්වන්නේ මොන ආගමේද කියලා දැනගන්න. එයා ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වල ඉගැන්වීම් වගේම ක්‍රිස්තියානි නොවන ආගම්වල ඉගැන්වීම් බයිබලේ තියෙන තොරතුරු එක්ක සසඳලා බැලුවා. ඒ කිසිම ආගමක් බයිබලේ තියෙන ඉගැන්වීම්වලට එකඟව වැඩ කරන්නේ නැහැ කියලා සහෝදර රසල් තේරුම්ගත්තා. එක අවස්ථාවක එයා පල්ලි කීපයක නායකයන්ව හම්බ වෙලා එයායි එයා එක්ක බයිබලේ අධ්‍යයනය කරපු පිරිසයි බයිබලෙන් හොයාගත්ත ඉගැන්වීම් ගැන කතා කළා. සහෝදර රසල් හිතුවේ පූජකයන් සත්‍ය ඉගැන්වීම් පිළි අරන් ඒවා එයාලගේ සාමාජිකයන් එක්ක බෙදාගනියි කියලා. ඒත් ඒ ඉගැන්වීම් ගැන දැනගන්න පූජකයන්ට වුවමනාවක් තිබුණේ නැහැ. දෙවිට නමස්කාර කරන්න නම් දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම්වලින් ඈත් වෙන්න ඕනෙ කියලා සහෝදර රසල් ඇතුළු පිරිස තේරුම්ගත්තා.—2 කොරින්ති 6:14 කියවන්න.

15. (අ) යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් බැබිලෝනියේ වහලුන් වුණේ කවදද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

15 යේසුස්ගේ නියෝජිතයන් මිය ගියාට පස්සේ යේසුස්ගේ අනුගාමිකයන් මහ බැබිලෝනියේ වහලුන් වුණා කියලා අපි මේ ලිපියෙන් දැනගත්තා. ඒත් අපි තවත් වැදගත් ප්‍රශ්න කීපයකට උත්තර දැනගන්න ඕනේ. 1914ට දශක ගාණකට කලින් ඉඳන් අභිෂේක ලත් අය මහ බැබිලෝනියෙන් නිදහස් වෙන්න පියවර ගත්තා කියලා කියන්න තියෙන සාක්ෂි මොනවද? 1වෙනි ලෝක යුද්දේ කාලේ දේශනා සේවය අඩාළ වුණ නිසා දෙවි ඔහුගේ සේවකයන් ගැන අසතුටු වුණාද? ඒ කාලේ හිටපු සමහර සහෝදරයන් එයාලගේ විශ්වාසය පාවා දුන්නද? ඒ නිසා දෙවිගේ අනුමැතිය එයාලට නැති වුණාද? 2වෙනි සියවසේ ඉඳන් යේසුස්ගේ අනුගාමිකයන් මහ බැබිලෝනියේ වහලුන් වෙලා හිටියා නම් එයාලා නිදහස ලැබුවේ කවදද? ඒ ප්‍රශ්නවලට උත්තර ඊළඟ ලිපියෙන් බලමු.