Skip to content

පටුනට යන්න

අසත්‍ය උගන්වන ආගම්වලින් නිදහස්!

අසත්‍ය උගන්වන ආගම්වලින් නිදහස්!

“මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න.”—එළි. 18:4.

ගීතිකා: 101, 93

1. මහ බැබිලෝනියෙන් නිදහස් වෙනවා කියන බලාපොරොත්තුව දෙවිගේ සෙනඟට තිබුණේ ඇයි? අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

යේසුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයන් මහ බැබිලෝනියේ වහලුන් වුණා කියලා අපි කලින් ලිපියෙන් දැනගත්තා. ඒත් එයාලා හැමදාටම වහලුන් වෙලා හිටියේ නැහැ. මොකද දෙවි තමන්ගේ සෙනඟට අණ කරන්නේ “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න” කියලා. (එළිදරව් 18:4 කියවන්න.) දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් මහ බැබිලෝනියෙන් නිදහස ලබනවා කියලා ඒකෙන් පැහැදිලියි. ඒත් එයාලා නිදහස ලබන්නේ කවදද? ඒකට උත්තරේ දැනගන්න කලින් අපි මේ ප්‍රශ්නවලට උත්තර බලමු. මහ බැබිලෝනියෙන් අයින් වෙන්න 1914ට කලින් ඉඳන්ම බයිබල් ශිෂ්‍යයන් නිර්භීතව පියවර ගත්තේ කොහොමද? 1වෙනි ලෝක යුද්දේ කාලේ සහෝදරයෝ කොච්චර උද්‍යෝගයෙන් දේශනා කළාද? දෙවිගේ සෙනඟ මහ බැබිලෝනියේ වහලුන් වුණේ දෙවිට එයාලව හික්මවන්න, නිවැරදි කරන්න ඕන වුණ නිසාද?

“මහ බැබිලෝනියේ වැටීම”

2. 1වෙනි ලෝක යුද්දෙට කලින් ඉඳන්ම බයිබල් ශිෂ්‍යයන් තීරණ කරලා තිබුණේ මොකක් කරන්නද?

2 ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වල උගන්වන්නේ බයිබලේ තියෙන දේවල් නෙමෙයි කියලා 1වෙනි ලෝක යුද්දෙට දශක ගාණකට කලින් චාල්ස් ටේස් රසල් ඇතුළු බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තා. ඒ නිසා ඒ ආගම්වලට කිසිම විදිහකින් සම්බන්ධ නොවී ඉන්න එයාලා තීරණය කළා. 1879 නොවැම්බර් මාසේ පළ වුණ “සයන්ස් වොච් ටවර්” සඟරාවේ පැහැදිලිවම මෙහෙම සඳහන් වුණා. “හැම පල්ලියකම අය කියන්නේ තමන් ක්‍රිස්තුස්ගේ නිර්මල මනාලිය කියලා. ඒත් එයාලා ළැදි ආණ්ඩුවලටයි. ඒ නිසා ඒ හැම ආගමක්ම මහ බැබිලෝනියේ කොටසක්. බයිබලේ එයාලව හඳුන්වන්නේ ගණිකාවක් හැටියටයි.”—එළිදරව් 17:1, 2 කියවන්න.

3. දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම්වලට තමන් තවදුරටත් සම්බන්ධ නැහැ කියලා දැනුම් දෙන්න බයිබල් ශිෂ්‍යයන් කළේ මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම්වලට දිගටම සහය දුන්නොත් දෙවිගේ ආශීර්වාද ලැබෙන්නේ නැහැ කියලා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් තේරුම්ගත්තා. ඒ නිසා හුඟදෙනෙක් තමන් තවදුරටත් පල්ලියේ සාමාජිකයන් නෙමෙයි කියලා ලිපි මාර්ගයෙන් පල්ලිවලට දැන්නුවා. සමහරු පල්ලියේදී අනිත් අයට ඇහෙන්න එයාලගේ ලියුම කියෙව්වා. එහෙම කරන්න අවසර ලැබුණේ නැති වුණාම එයාලා පල්ලියේ එක් එක් සාමාජිකයාට ඒ ලියුම් යැව්වා. අසත්‍ය උගන්වන ආගම්වලට තමන් කිසිම විදිහකින් සම්බන්ධ නැහැ කියලා බයිබල් ශිෂ්‍යයන් ඒ විදිහට පැහැදිලිව පෙන්නුවා. ඊට අවුරුදු ගාණකට කලින් එයාලා ඒ වගේ පියවරක් ගත්තා නම් සමහරවිට මරණ දඬුවම වුණත් ලැබෙන්න ඉඩ තිබුණා. ඒත් 1870 වෙද්දී හුඟක් රටවල ආණ්ඩු කලින් තරම්ම පල්ලිවලට සහය දුන්නේ නැහැ. බයිබලේ තියෙන දේවල් ගැන නිදහසේ කතා කරන්න, පල්ලියේ ඉගැන්වීම් ප්‍රශ්න කරන්න පුළුවන් වාතාවරණයක් ඒ වෙද්දී තිබුණා.

4. 1වෙනි ලෝක යුද්දේ කාලෙදී බයිබල් ශිෂ්‍යයන්ට මහ බැබිලෝනිය ගැන හැඟුණේ කොහොමද? පැහැදිලි කරන්න.

4 තමන් තවදුරටත් දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම්වලට සම්බන්ධ නැහැ කියන දේ පවුලේ අයට, යාළුවන්ට, පල්ලියේ සාමාජිකයන්ට විතරක් දන්වලා මදි කියලා බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තා. දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම් හැම එකක්ම බයිබලේ ගණිකාවකට සමාන කරලා තියෙනවා කියලා මුළු ලෝකෙටම කියන්නයි එයාලට ඕන වුණේ. ඒ නිසා “බැබිලෝනියේ වැටීම” කියන ලිපිය ඇතුළත් පත්‍රිකාවක් 1917ත් 1918ත් අතර කාලෙදී එයාලා බෙදා දුන්නා. ඒ වෙද්දී හිටියේ බයිබල් ශිෂ්‍යයන් සුළු පිරිසක් වුණත් එයාලට පිටපත් 1,00,00,000ක් බෙදා දෙන්න පුළුවන් වුණා. ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම් මොන තරම් කුහකද කියලා ඒ පත්‍රිකාවෙන් හෙළි කළා. පූජකයන්ට ඒක දරාගන්න බැරි වුණා. ඒත් බයිබල් ශිෂ්‍යයන් එක අඩියක්වත් පස්සට තිබ්බේ නැහැ. අත් නෑර දේශනා කරන්න, මිනිසුන්ට කීකරු වෙනවට වඩා දෙවිට කීකරු වෙන්න එයාලට තිබුණේ ලොකු අධිෂ්ඨානයක්. (ක්‍රියා 5:29) ඒ දේවලින් පැහැදිලි වෙන්නේ 1වෙනි ලෝක යුද්දේ කාලෙදී දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් මහ බැබිලෝනියේ වහල්භාවයට ඇතුල් වෙමින් හිටියා නෙමෙයි, වහල්කමින් නිදහස් වෙන්න පියවර ගනිමින් හිටියා කියලා. ඒ දේම කරන්න එයාලා අනිත් අයටත් උදව් කළා.

යුධ ගිනි මැද උද්‍යෝගයෙන්

5. 1වෙනි ලෝක යුද්දේ කාලෙදී සහෝදරයන් උද්‍යෝගයෙන් සේවය කළා කියලා අපි කියන්නේ ඇයි?

5 දෙවිගේ සේවකයන්ට ශුභාරංචිය දේශනා කරන්න තිබුණ උද්‍යෝගය 1වෙනි ලෝක යුද්දේ කාලෙදී අඩු වුණ නිසා දෙවිගේ අනුමැතිය එයාලට නැති වුණා කියලයි අපි කලින් හිතුවේ. ඒ නිසා දෙවි කෙටි කාලෙකට එයාලව මහ බැබිලෝනියේ වහලුන් වෙන්න ඉඩහැරියා කියලත් අපි විශ්වාස කළා. ඒත් 1914ත් 1918ත් අතර කාලෙදී දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් කණ්ඩායමක් විදිහට තමන්ට පුළුවන් උපරිමයෙන් සේවය කළා කියලා පස්සේ කාලෙකදී එයාලම කිව්ව දේවලින් පැහැදිලි වුණා. ඒ කාලය අතරතුරේ හිටපු බයිබල් ශිෂ්‍යයන්ගේ ඉතිහාසය ගැන දැනගන්න තරමට බැබිලෝනියේ වහලුන් වෙනවා කියන එකෙන් අදහස් කළේ මොකක්ද කියලා තව හොඳින් තේරුම්ගන්න අපිට පුළුවන් වෙනවා.

6, 7. (අ) 1වෙනි ලෝක යුද්දේ කාලෙදී බයිබල් ශිෂ්‍යයන් මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද? (ආ) එයාලා උද්‍යෝගයෙන් සේවය කළා කියන්න තියෙන සාක්ෂි මොනවද?

6 1වෙනි ලෝක යුද්දේ කාලෙදී දේශනා සේවය කරන්න බයිබල් ශිෂ්‍යයන්ට තිබුණ උද්‍යෝගය අඩු වුණේ නැහැ. ඒත් සේවයට බාධා වුණ දේවල් කීපයක් තිබුණා. ඒ වගේ බාධා 2ක් දැන් බලමු. (1) බයිබලේ විතරක් පාවිච්චි කරලා දේශනා කරන විදිහ බයිබල් ශිෂ්‍යයන් දැනගෙන හිටියේ නැති එක. එයාලා පුරුදු වෙලා හිටියේ පොත් පත් මාර්ගයෙන් පණිවිඩය මිනිසුන්ට දැනුම් දෙන්නයි. ආණ්ඩුවෙන් 1918දී ‘අභිරහස හෙළි කිරීම’ කියන පොත තහනම් කළාම දේශනා කරන එක හුඟදෙනෙක්ට අභියෝගයක් වුණා. (2) 1918දී වේගයෙන් පැතිරුණ ස්පාඤ්ඤ උණ. ඒක හරිම භයානක වසංගතයක් නිසා නිදහසේ විවිධ තැන්වලට ගිහින් දේශනා කරන්න එයාලට බැරි වුණා. ඒ මොන අභියෝග ආවත් ශුභාරංචිය දේශනා කරන්න පුළුවන් උපරිමය එයාලා කළා.

බයිබල් ශිෂ්‍යයන් උද්‍යෝගයෙන් සේවය කළා (6 සහ 7 ඡේද බලන්න)

7 1914දී බයිබල් ශිෂ්‍යයන් ඉදිරිපත් කරපු “ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” කියන වැඩසටහනත් ඒකට හොඳ සාක්ෂියක්. ආදම්ගේ කාලේ ඉඳන් යේසුස්ගේ දහස් අවුරුදු පාලනයේ අවසානය දක්වා බයිබලේ සඳහන් විස්තර ඒකෙන් පෙන්නුවා. රූගත කරපු දර්ශන, වර්ණ ගන්නපු වීදුරු කාච, පසුබිම් කථනය, සංගීතය ඒකට ඇතුළත් වුණා. ඒ කාලේ හැටියට ඒක අලුත් දෙයක්. ඒ වැඩසටහන පෙන්නපු මුල් අවුරුද්දේදී විතරක් 90,00,000ටත් වඩා වැඩිදෙනෙක් ඒක නැරඹුවා. ඒ කියන්නේ අද ලෝකෙ පුරාම ඉන්න සාක්ෂිකරුවන්ගේ ගාණටත් වඩා වැඩි ගාණක් ඒක නරඹලා තියෙනවා. එක්සත් ජනපදයේ පවත්වපු පොදු රැස්වීම්වලට 1916දී 8,09,393දෙනෙක් සහභාගි වුණා කියලා වාර්තාවලින් පේනවා. 1918 වෙද්දී ඒ ගාණ 9,49,444දෙනෙක් දක්වා වැඩි වුණා. බයිබල් ශිෂ්‍යයන් උද්‍යෝගයෙන් දෙවිට සේවය කළා කියලා ඒ සාක්ෂිවලින් පැහැදිලි වෙන්නේ නැද්ද?

8. පෙරමුණ අරන් වැඩ කරපු සහෝදරයන් 1වෙනි ලෝක යුද්දේ කාලෙදී බයිබල් ශිෂ්‍යයන්ට දිරියක් වුණේ කොහොමද?

8 බයිබල් ශිෂ්‍යයන්ව දිරිගන්වන්න, එයාලට අවශ්‍ය පොත් පත් ලබා දෙන්න 1වෙනි ලෝක යුද්දේ කාලෙදී පෙරමුණ අරන් වැඩ කරපු සහෝදරයන් හුඟක් මහන්සි වුණා. ඒ සහෝදරයන්ගේ සහය ශුභාරංචිය අත් නෑර දේශනා කරන්න බයිබල් ශිෂ්‍යයන්ට මොන තරම් දිරියක් වෙන්න ඇද්ද! ඒ කාලේ උද්‍යෝගයෙන් සේවය කරපු සහෝදර රිචඩ් එච්. බාබර් කිව්වේ මෙහෙමයි. “ඒ අමාරු කාලෙදීත් චාරිකා සේවකයන් කීපදෙනෙක්ම අපිට හිටියා. ‘මුරටැඹ’ සඟරාවත් නොවරදවාම සහෝදරයන්ගේ අතට ගියා. තහනම් වුණත් අපි කැනඩාවටත් සඟරා යැව්වා. ‘අභිරහස හෙළි කිරීම’ කියන පොත පොලිසියෙන් ගත්ත නිසා සහෝදරයන් හුඟදෙනෙක් ළඟ ඒක තිබුණේ නැහැ. ඒ නිසා අපි සාක්කුවේ දාගෙන යන්න පුළුවන් විදිහට ඒ පොත පොඩියට හැදුවා. ඔය අතරේ සහෝදර රදෆර්ඩ් අපිට කිව්වා බටහිර එක්සත් ජනපදයේ සමහර නගරවල සමුළු තියන්න සැලසුම් කරන්න කියලා. දේශන දෙන්න සහෝදරයන්ව ඒවාට යවන්න කියලත් එයා කිව්වා. එයාට ඕන වුණේ සහෝදරයන්ව පුළුවන් තරම් දිරිගන්වන්නයි.”

නිවැරදි කරන්න අවශ්‍ය වුණා

9. (අ) 1914ත් 1919ත් අතර කාලෙදී දෙවිගේ සෙනඟව නිවැරදි කරන එක අවශ්‍ය දෙයක් වුණේ ඇයි? (ආ) ඒත් ඒකෙන් අදහස් කළේ නැත්තේ මොකක්ද?

9 බයිබල් ශිෂ්‍යයන් උද්‍යෝගයෙන් සේවය කළත් යුද්දේ කාලෙදී එයාලා කරපු සමහර දේවල් බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට එකඟ වුණේ නැහැ. ඒකට හේතුව උසස් බලධාරීන්ට යටත් වෙන්න කියන ප්‍රතිපත්තිය ගැන නිවැරදි අවබෝධයක් ඒ කාලේ එයාලට තිබුණේ නැති එක. (රෝම 13:1) ඒ නිසා යුද්ධය හා සම්බන්ධ කාරණාවලදී කණ්ඩායමක් විදිහට පැති නොගෙන ඉන්න එයාලා අපොහොසත් වුණා. උදාහරණෙකට 1918 මැයි 30වෙනිදා සාමය වෙනුවෙන් යාච්ඤා කරන්න කියලා එක්සත් ජනපදයේ ජනාධිපති ජනතාවගෙන් ඉල්ලලා තිබුණා. බයිබල් ශිෂ්‍යයන්ටත් ඒ දේ කරන්න කියලා ‘මුරටැඹ’ සඟරාවෙන් දිරිගැන්නුවා. සමහර සහෝදරයන් යුද්දෙට මුදලින් සහය දුන්නා. හමුදාවට බැඳිලා සටනට ගිය කීපදෙනෙකුත් හිටියා. ඒ වගේ හේතු නිසා බයිබල් ශිෂ්‍යයන්ව නිවැරදි කරන එක අවශ්‍ය දෙයක් වුණත් එයාලා මහ බැබිලෝනියේ වහලුන් වෙන්න හේතුව ඒකයි කියලා හිතන එක වැරදියි. මොකද 1වෙනි ලෝක යුද්දේ කාලේ වෙද්දී එයාලා සම්පූර්ණයෙන්ම වගේ දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම්වලින් ඈත් වෙලයි හිටියේ.—ලූක් 12:47, 48 කියවන්න.

10. බයිබල් ශිෂ්‍යයන් ජීවිතය වටිනා දෙයක් විදිහට සැලකුවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

10 යුද්ධය හා සම්බන්ධ කාරණාවලදී පැති නොගන්න එක ගැන හරි අවබෝධයක් බයිබල් ශිෂ්‍යයන්ට තිබුණේ නැති වුණත් කෙනෙක්ව මරණ එක බරපතළ වරදක් කියලා එයාලා හොඳින්ම දැනගෙන හිටියා. සමහර සහෝදරයෝ හමුදාවට බැඳිලා යුධ පිටියට ගියත් සතුරු හමුදාවේ අයව මරණ එක එයාලා ප්‍රතික්ෂේප කළේ ඒ නිසයි. එහෙම ප්‍රතික්ෂේප කරපු අයත් එක්ක තිබුණ කේන්තිය නිසා සමහරුන්ව නිලධාරීන් දරුණු සටන් තිබුණ තැන්වලට යැව්වා. එතකොට එයාලා අනිවාර්යයෙන්ම වෙඩි වැදිලා මැරෙනවා.

11. බයිබල් ශිෂ්‍යයන් යුද්ධ කරන එක ප්‍රතික්ෂේප කරපු නිසා උසස් බලධාරීන් ගත්ත පියවර මොකක්ද?

11 සහෝදරයන් දෙවිට විශ්වාසවන්තව ඉද්දී ඒක හරියට සාතන්ගේ ඇහැට කටු අනිනවා වගේ. ඒ නිසා සාතන් තමන්ගේ දුෂ්ට අරමුණ ඉටු කරගන්න නීතිය පාවිච්චි කළා. (ගීතා. 94:20) යුද්දෙදී සටන් කරන එක ප්‍රතික්ෂේප කරන ඕනම කෙනෙකුට මරණ දඬුවම නියම කරන්න නීතියක් ගේන්න ආණ්ඩුව උත්සාහ කළා කියලා එක්සත් ජනපදයේ හමුදා ජෙනරාල්වරයා වුණ ජේම්ස් ෆ්‍රැන්ක්ලින් සහෝදර රදර්ෆඩ් එක්කයි, සහෝදර වැන් ඇම්බර්ග් එක්කයි කතා කරපු වෙලාවක කියලා තිබුණා. ඒ නීතිය ගේන එකේ යටි අරමුණ වුණේ බයිබල් ශිෂ්‍යයන්ට දඬුවම් කරන එකයි. ඒ නීතිය පනවන්න බැරි වුණේ ජනාධිපති අවසර දුන්නේ නැති නිසයි කියලා ජෙනරාල්වරයා තරහෙන් කිව්වා. “ඒත් අපි දන්නවා ඔයාලව අල්ලගන්න මොනවද කරන්න ඕනෙ කියලා. අපි ඒක නොකර ඉඳියි කියලා නම් හිතන්න එපා” කියලා එයා කිව්වේ කේන්තියෙන් පුපුර පුපුර.

12, 13. (අ) පෙරමුණ ගත්ත සහෝදරයන් 8දෙනාට හිරදඬුවම් ලැබුණේ ඇයි? (ආ) එයාලව හිරේ දැම්මා කියලා යෙහෝවා දෙවිට කීකරු වෙන්න එයාලා ගත්ත අදිටන වෙනස් වුණාද? පැහැදිලි කරන්න.

12 කිව්ව විදිහටම බයිබල් ශිෂ්‍යයන්ට දඬුවම් කරන්න විදිහක් හොයාගත්ත බලධාරීන් සහෝදර රදර්ෆඩ්, වැන් ඇම්බර්ග් ඇතුළුව “වොච් ටවර්” සමිතියේ පෙරමුණ අරන් වැඩ කරපු සහෝදරයන් අටදෙනාව අත්අඩංගුවට ගත්තා. නඩුව විභාග කරපු විනිසුරුවරයා කිව්වේ ජර්මන් හමුදා බළඇණියකට වඩා ඒ සහෝදරයන් 8දෙනා භයානකයි කියලා. එයාලා අවමන් කරන්නේ ආණ්ඩුවට විතරක් නෙමෙයි හමුදාවටත්, පල්ලිවල පූජකයන්ටත් එයාලා කරන්නේ ලොකු අවමානයක්. එයාලට ලැබෙන්න ඕන බරපතළ දඬුවමක් කියලත් විනිසුරුවරයා කිව්වා. ප්‍රතිඵලයක් විදිහට ඒ සහෝදරයන් 8දෙනාට දිගු කාලෙකට හිරදඬුවම් නියම කරලා ජෝර්ජියාවේ ඇට්ලන්ටාවල හිරකඳවුරකට යැව්වා. ඒත් යුද්දේ ඉවර වුණාම එයාලව නිදහස් කරලා එයාලට විරුද්ධව තිබුණ චෝදනා අයින් කළා.

13 දෙවිට කීකරුව ඉන්න ඒ සහෝදරයන් 8දෙනා අරන් තිබුණ අධිෂ්ඨානය හිරේ හිටපු කාලෙදීත් වෙනස් වුණේ නැහැ. එහෙම කියන්න තියෙන සාක්ෂි මොනවද? හිරෙන් නිදහස් කරන්න කියලා ඉල්ලලා එයාලා එක්සත් ජනපදයේ ජනාධිපතිට ලියුමක් යැව්වා. “මිනී නොමරන්න” කියලා බයිබලේ පැහැදිලිවම සඳහන් වෙනවා කියලත් දෙවිගේ සේවකයෙක් හිතාමතාම ඒ අණට අකීකරු වුණොත් දෙවිගේ අනුමැතිය එයාට නැති වෙනවා කියලත් එහෙම කෙනෙක්ට අත් වෙන්නේ විනාශය කියලත් සහෝදරයන් ඒ ලියුමේ සඳහන් කළා. බයිබල් ශිෂ්‍යයන් යුද්දෙට හවුල් වුණේ නැත්තේ, ඉදිරියේදී හවුල් වෙන්නෙත් නැත්තේ ඒ නිසයි කියලා එයාලා පැහැදිලි කළා. ඒ විදිහට ලියන්න එයාලට කොයි තරම් නිර්භීතකමක් තියෙන්න ඇද්ද! තමන්ගේ විශ්වාසය පාවා දෙන එක ඒ සහෝදරයන්ගේ හිතේ කොනකවත් තිබුණේ නැහැ කියලා නිසැකයි.

නිදහස!

14. 1914ත් 1919ත් අතර කාලේ සිද්ධ වුණ දේවල් බයිබලේ සඳහන් දේකින් විස්තර කරන්න.

14 1914 ඉඳන් 1919 මුල් කාලේ අතරතුර බයිබල් ශිෂ්‍යයන් අද්දැක්ක දෙයක් ගැන මලාකි 3:1-3 (කියවන්න.) විස්තර කරලා තියෙනවා. “ලෙවීගේ පුත්‍රයන්ව” ඒ කියන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සෝදිසි කරන්න “සැබෑ ස්වාමීන්” වන යෙහෝවා දෙවි, “ගිවිසුමට සම්බන්ධ දූතයා” වන යේසුස් ක්‍රිස්තුස් එක්ක ආවා. එයාලව සෝදිසි කරලා, පවිත්‍ර කරපු නිසා එයාලා හිටියේ අලුත් පැවරුමක් භාරගන්න සුදුසු තත්වයක. 1919දී යේසුස් එයාලව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විදිහට පත් කරලා දෙවිගේ සේවකයන් හැමෝටම අවශ්‍ය පෝෂණය, මඟ පෙන්වීම් ලබා දෙන පැවරුම භාර දුන්නා. (මතෙ. 24:45) දෙවිගේ සෙනඟ මහ බැබිලෝනියෙන් නිදහස ලැබුවා! එදා ඉඳන් අද වෙන කල් දෙවි තමන්ගේ අරමුණ ගැන ඔහුගේ සෙනඟව තව තවත් දැනුවත් කරමින් ඉන්නවා. ප්‍රතිඵලයක් විදිහට දෙවිගේ සෙනඟට දෙවි ගැන තියෙන ආදරේ එන්න එන්නම වැඩි වෙනවා. යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට ආශීර්වාද කරන එක ගැන අපි මොන තරම් සතුටු වෙන්න ඕනෙද! [1]

15. මහ බැබිලෝනියෙන් නිදහස් කරපු එක ගැන අපි දෙවිට ස්තුති කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?

15 මිනිසුන්ව දෙවිගෙන් ඈත් කරන්න සාතන් ගත්ත උත්සාහය අසාර්ථකයි. අපිව මහ බැබිලෝනියේ වහල්කමින් නිදහස් කරපු එක ගැන අපි දෙවිට හුඟක් ස්තුති කරනවා. ඒත් යෙහෝවා දෙවි අපිව මහ බැබිලෝනියෙන් නිදහස් කළේ ඇයි කියලා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. (2 කොරි. 6:1) දෙවිට ඕනෙ හැම කෙනෙක්ම ළඟ ළඟම එන විනාශයෙන් බේරෙනවා දකින්නයි. ඒත් දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම් ලෝකෙ පුරාම ඉන්න මිනිසුන් මිලියන ගාණක්ව තවමත් තමන්ගේ අණසක යටතේ තියාගෙනයි ඉන්නේ. ඒ අයට අපි උදව් කරන්න ඕනේ. අතීතයේ හිටපු විශ්වාසවන්ත සහෝදරයන් වගේ අපිත් අනිත් අයට මහ බැබිලෝනියෙන් නිදහස් වෙන්න උදව් කරන්න අපිට පුළුවන් හැම දේම කරමු.

^ [1] (14 ඡේදය) යුදෙව්වන් බැබිලෝනියේ වහලුන් වුණ එකයි යේසුස්ගේ අනුගාමිකයන් මහ බැබිලෝනියේ වහලුන් වුණ එකයි අතර හුඟක් සමානකම් තියෙනවා. ඒත් අතීත සිදුවීමෙන් යේසුස්ගේ අනුගාමිකයන් මහ බැබිලෝනියේ වහලුන් වෙන එක නියෝජනය වුණා කියලා කියන්න බැහැ. ඒ නිසා අතීත සිද්ධියට සම්බන්ධ හැම පුංචි කාරණයකම ඉටු වීම මොකක්ද කියලා හොයන්න ඕනෙ නැහැ. මොකද ඒ සිදුවීම් දෙක අතරේ යම් වෙනස්කම් තියෙනවා. උදාහරණෙකට යුදෙව්වන් බැබිලෝනියේ වහලුන් විදිහට හිටියේ අවුරුදු 70යි. ඒත් යේසුස්ගේ අනුගාමිකයන් ඊට වඩා හුඟක් කල් මහ බැබිලෝනියේ වහලුන් වෙලා හිටියා.