Skip to content

පටුනට යන්න

හැම දවසකම එකිනෙකාව දිරිගන්වන්න

හැම දවසකම එකිනෙකාව දිරිගන්වන්න

“යම් දිරිගැන්වීමක් ලබා දෙන්න ඔබ කැමති නම් ඔබට පුළුවන් දැන් කතා කරන්න.”—ක්‍රියා 13:15.

ගීතිකා: 121, 45

1, 2. අනිත් අයව දිරිගන්වන්න ඕනෙ ඇයි?

“අම්මලා කවදාවත් මට හොඳක් කියන්නේ නෑ. ‘ඔයා වැඩ කරන්නේ පොඩි ළමෙක් වගේ, ඔයා නම් කවදාවත් දෙයක් ඉගෙනගන්නේ නෑ, බලන්න ඔයාගේ මහත.’ ඒ වගේ දේවල් තමයි එයාලා මට නිතරම කියන්නේ. ඒවා ඇහෙද්දී සමහර වෙලාවට මට ඇඬෙනවා. එයාලා එක්ක කතා කරන්න හිතෙන්නෙත් නෑ. මට දැනෙන්නේ මං කිසි වැඩකට නැති කෙනෙක් කියලා.” එහෙම කිව්වේ අවුරුදු 18ක් වයස ක්‍රිස්ටිනා. [1]

2 ඊට වෙනස්ව කෙනෙක්ට දිරිගැන්වීමක් ලැබෙද්දී ඒක එයාට ලොකු ශක්තියක්. රූබන් කියන දේ බලන්න. “අවුරුදු ගාණක් තිස්සේ මට හිතුණේ මගේ කිසි වටිනාකමක් නෑ කියලා. දවසක් මං වැඩිමහල්ලෙක් එක්ක සේවයේ යද්දී එයාට තේරුණා මං ඉන්නේ දුකෙන් කියලා. මගේ හිතේ තිබුණ හැම දෙයක්ම කියද්දී එයා හොඳට අහගෙන හිටියා. මං කරන හොඳ දේවල් එයා අගය කළා. ගේකුරුල්ලන් හුඟදෙනෙකුට වඩා අපි එක් එක් කෙනාව දෙවිට වටිනවා කියලා යේසුස් කිව්ව දේ එයා මට මතක් කළා. ඒ බයිබල් පදේ නිතරම වගේ මං මතක් කරගන්නවා. ඒක අදටත් මට ලොකු සහනයක්. එදා එයා කියපු දේවල් මට ලොකු ශක්තියක් වුණා.”—මතෙ. 10:31.

3. (අ) අනිත් අයව දිරිගන්වන එක ගැන පාවුල් කිව්වේ මොකක්ද? (ආ) අපි බලන්නේ මොනවා ගැනද?

3 නිතරම එකිනෙකාව දිරිගන්වන්න කියලා බයිබලේ අපිට උනන්දු කරනවා. පාවුල් මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, ඔබ ජීවමාන දෙවිව අත්හැරියොත් ඔබේ හදවත විශ්වාසයක් නැති දුෂ්ට තත්වයකට පත් විය හැක. එහෙයින් පරෙස්සම් වන්න. ඔබෙන් ඕනෑම කෙනෙකු පාපයේ මුළා කරවන බලපෑමට හසු වී තම සිත් දැඩි කරගත හැකි නිසා ඒ සම්බන්ධයෙන් එකිනෙකාට උපදෙස් හා මඟ පෙන්වීම් උනන්දුවෙන් ලබා දිය යුතුයි.” (හෙබ්‍රෙ. 3:12, 13) එතන ‘උපදෙස්, මඟ පෙන්වීම් දෙන්න’ කියද්දී “දිරිගන්වන්න” කියන අදහසත් ඇතුළත්. ඒක හැම දවසකම කරන්න කියලයි පාවුල් උනන්දු කළේ. දැන් අපි මේ ප්‍රශ්න ගැන බලමු. අනිත් අයව දිරිගන්වන්න ඕනෙ ඇයි? යෙහෝවා දෙවි, යේසුස් සහ පාවුල් අනිත් අයව දිරිගන්වපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? අනිත් අයව දිරිගන්වන්න පුළුවන් කොහොමද?

අපි හැමෝටම දිරිගැන්වීම් ඕනේ

4. දිරිගැන්වීම් ඕනෙ කාටද? හුඟක් අය අනිත් අයව දිරිගන්වන්නේ නැත්තේ ඇයි?

4 අපි හැමෝටම දිරිගැන්වීම් ඕනේ. විශේෂයෙන්ම දෙමාපියන් දරුවන්ව දිරිගන්වන එක අත්‍යවශ්‍යයි. ගුරුවරයෙක් මෙහෙම කියනවා. “පැළයකට වතුර ඕනෙ වගේ දරුවන්ට දිරිගැන්වීම් ඕනෙමයි. දිරිගැන්වීම් ලැබෙද්දී තමන් වටිනවා කියන හැඟීම එයාලට ඇති වෙනවා.” ඒත් අපි ඉන්නේ “අවසාන කාලයේ” නිසා හුඟක් අය ආත්මාර්ථකාමියි. එයාලට “තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැහැ.” (2 තිමෝ. 3:1-5) සමහර දෙමාපියන් තමන්ගේ දරුවන්ව දිරිගන්වන්නේ නැත්තේ එයාලා ඇතිදැඩි වුණේ කිසිම දිරිගැන්වීමක් ලැබුණේ නැති පරිසරයක නිසයි. දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් දිරිගැන්වීම් ඕනේ. තමන්ගේ රැකියාව කොච්චර හොඳට කළත් කවුරුත් අගය කරන්නේ නැහැ කියලා කීදෙනෙක් නම් කියනවද!

5. අනිත් අයව දිරිගන්වන්න පුළුවන් කොහොමද?

5 අපි නිතරම සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන නිසා දිරිගැන්වෙන දෙයක් එයාලට කියන්න අපිට ඕන තරම් අවස්ථා ලැබෙනවා. (දේශනාකාරයා 4:9, 10 කියවන්න.) කෙනෙක් යම් දෙයක් හොඳට කළාම අපිට පුළුවන් එයාව අගය කරන්න. තමන් වටින්නේ නැහැ කියලා කෙනෙක්ට හැඟෙද්දී එයාගේ හොඳ ගතිගුණ ගැන එයාට මතක් කරන්න අපිට පුළුවන්. කෙනෙක් අධෛර්යය වෙලා ඉද්දී අපිට පුළුවන් එයාව සනසන විදිහට කතා කරන්න. (1 තෙස. 5:14) මේ ප්‍රශ්න ඔයාගෙන්ම අහලා බලන්න. ‘අනිත් අයව මට වටින්නේ ඇයි, එයාලට මං ආදරේ ඇයි කියලා මං කියනවද? ලැබෙන හැම අවස්ථාවකදීම මං අනිත් අයව දිරිගන්වනවද?’ “සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන කොතරම් වටින්නේද” කියලා බයිබලේ කියන දේ නිතරම හිතේ තියාගන්න.—හිතෝ. 15:23.

6. දෙවිගේ සේවකයන්ව අධෛර්යය කරන්න සාතන්ට ඕනෙ ඇයි? සාතන් ඒක කරන්න හදපු අවස්ථාවක් ගැන කියන්න.

6 හිතෝපදේශ 24:10 මෙහෙම කියනවා. “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය.” අපිව අධෛර්යය කළොත් දෙවිගෙන් අපිව ඈත් කරන්න පුළුවන් කියලා සාතන් දන්නවා. දරුණු පීඩා ගෙනල්ලා යෝබ්ව අධෛර්යය කරන්න සාතන් උත්සාහ කළේ ඒ නිසයි. ඒත් ඒක අසාර්ථක වුණා. මොකද යෝබ් දිගටම දෙවිට ළැදිව හිටියා. (යෝබ් 2:3; 22:3; 27:5) අපිටත් පුළුවන් දිගටම සාතන්ට විරුද්ධව සටන් කරන්න. ලැබෙන හැම අවස්ථාවකදීම පවුලේ අයව, සභාවේ අයව අපි දිරිගන්වනවා නම් දෙවිට ළැදිව ඉන්න, සතුටින් දේවල් කරන්න ඒක එයාලට ලොකු හයියක්. එතකොට සාතන්ට දිනන්න කිසිම ඉඩක් නැහැ.

වටිනා ආදර්ශ

7, 8. (අ) යෙහෝවා දෙවි තම සේවකයන්ව දිරිගන්වලා තියෙන්නේ කොහොමද? (ආ) දෙවිව ආදර්ශයට ගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

7 යෙහෝවා දෙවි ගැන ගීතිකාකරු කිව්වේ මෙහෙමයි. ඔහු “බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.” (ගීතා. 34:18) යෙරෙමියා බය වෙලා, අධෛර්යය වෙලා ඉද්දී එයාට උදව් කරනවා කියලා දෙවි පොරොන්දු වුණා. (යෙරෙ. 1:6-10) මහලු වයසේ හිටපු දානියෙල්ව දෙවි දේවදූතයෙක්ව එවලා ශක්තිමත් කළා. “ඔබ බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙක්” කියලා ඒ දේවදූතයා දානියෙල්ට කිව්වා. (දානි. 10:8, 11, 18, 19) ඔයාටත් පුළුවන්ද දෙවිව ආදර්ශයට ගන්න? පුරෝගාමීන්, කලින් තරම් සේවය කරන්න බැරි මහලු සහෝදර සහෝදරියන් ඇතුළුව සභාවේ ඉන්න හැමෝවම දිරිගන්වන්න ඔයාට පුළුවන්ද?

8 යේසුස් යෙහෝවා දෙවි එක්ක අවුරුදු ගාණක් ස්වර්ගයේ ජීවත් වුණ නිසා පොළොවට ආවාම යේසුස්ට දිරිගැන්වීම් ඕනෙ නැහැ කියලා දෙවි හිතුවේ නැහැ. අවස්ථා 2කදීම දෙවි ස්වර්ගයේ ඉඳලා මෙහෙම කිව්වා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි.” (මතෙ. 3:17; 17:5) සේවය පටන්ගද්දී සහ පොළොවේ හිටපු අන්තිම අවුරුද්දේදී තමන්ගේ පියා තමන්ට ආදරෙයි කියලා, තමන් ගැන සතුටු වෙනවා කියලා කියද්දී යේසුස් කොයි තරම් දිරිගැන්වෙන්න ඇද්ද! මිය යන්න කලින් දවසේ රෑ ඔහු හිටියේ ලොකු පීඩනයකින්. ඒ වෙලාවේ දෙවි දේවදූතයෙක්ව එවලා ඔහුව ශක්තිමත් කළා. (ලූක් 22:43) දෙමාපියෙනි, යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න. නිතරම දරුවන්ව දිරිගන්වන්න. එයාලා දෙයක් හොඳට කළාම අගය කරන්න. ඉස්කෝලෙදී යම් අභියෝගයකට මුහුණ දෙනවා නම් එයාලව ශක්තිමත් කරන්න.

9. යේසුස් ගෝලයන් එක්ක වැඩ කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

9 යේසුස් මිය යන්න කලින් දවසේ රෑ ගෝලයන්ගේ පාද හෝදලා නිහතමානී වෙන එක කොච්චර වැදගත්ද කියන පාඩම එයාලට ඉගැන්නුවා. ඒත් උඩඟුකම නිසා උතුම්ම කෙනා කවුද කියලා එයාලා වාද කරන්න පටන්ගත්තා. තමන් යේසුස්ව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා පේතෘස් මහ ඉහළින් කිව්වා. (ලූක් 22:24, 33, 34) ඒත් යේසුස් එයාලගේ අඩුපාඩුවලට අවධානය දෙනවා වෙනුවට එයාලා පෙන්නපු ළැදිකම අගය කළා. යේසුස් කළාටත් වඩා “මහත් ක්‍රියා” එයාලා කරනවා කියලා ඔහු කිව්වා. යෙහෝවා දෙවි එයාලට හුඟක් ආදරෙයි කියලත් ඔහු කිව්වා. (ලූක් 22:28; යොහ. 14:12; 16:27) ‘මාත් යේසුස්ව ආදර්ශයට ගන්නවද? අනිත් අයගේ අඩුපාඩු දිහාම බලන්නේ නැතුව එයාලගේ හොඳ පැති මං අගය කරනවද’ කියලා හිතලා බලන්න.

10, 11. පාවුල් සහෝදරයන්ව දිරිගැන්නුවේ කොහොමද? එයා කැමැත්තෙන් හිටියේ මොකක් කරන්නද?

10 පාවුල් දේශනා කරන්න විවිධ ප්‍රදේශවලට යද්දී සමහර සහෝදරයන්වත් හවුල් කරගත්තා. අවුරුදු ගාණක් එයාලව කිට්ටුවෙන් ආශ්‍රය කරපු නිසා පාවුල් එයාලගේ අඩුපාඩු දකින්න ඇති. ඒත් එයා ඒවා ගැන ලියනවා වෙනුවට ලිපිවල එයාලව අගය කළා. තිමෝති ගැන කිව්වේ “ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන ඔහු, මගේම දරුවෙක් හා සමානයි” කියලා. තිමෝති සහෝදරයන් ගැන අවංක සැලකිල්ලක් පෙන්නයි කියලා තමන්ට විශ්වාසයි කියලත් එයා කිව්වා. (1 කොරි. 4:17; ෆිලි. 2:19, 20) කොරින්ති සභාවට ලියද්දී පාවුල් තීතස් ගැන කිව්වේ “ඔහු මගේ හවුල්කරුවෙකුද ඔබේ ප්‍රයෝජනය සඳහා පත් කළ හවුල් සේවකයෙකුද වන බව සැලකිල්ලට ගන්න” කියලයි. (2 කොරි. 8:23) පාවුල්ට එයාලා ගැන හැඟෙන විදිහ දැනගත්තම තිමෝති සහ තීතස් කොච්චර දිරිගැන්වෙන්න ඇද්ද!

11 සමහර අවස්ථාවල පාවුල් සහ බානබස් සහෝදරයන්ව දිරිගන්වන්න ගියේ එයාලගේ ජීවිත අනතුරේ තියෙද්දියි. උදාහරණෙකට ලිස්ත්‍රාවේ අය එයාලව මරන්න බලාගෙන ඉන්නවා කියලා දැන දැනත් එයාලා ආපහු එහෙට ගියා. එහෙම ගියේ අලුතින් ගෝලයන් වුණ අයව දිරිගන්වන්න. දිගටම විශ්වාසවන්තව ඉන්න එයාලට උදව් කරන්න. (ක්‍රියා 14:19-22) එෆීසයට ගිය අවස්ථාවකත් විශාල පිරිසක් පාවුල්ට විරුද්ධව කෝලහල කළා. ඒත් ඉක්මනින් ඒ නගරෙන් පිට වෙනවා වෙනුවට ‘කෝලහලයට සම්බන්ධ සියලුදෙනා විසිර ගිය පසු පාවුල් ගෝලයන්ව කැඳවා ඔවුන්ව දිරිගැන්නුවා. ඉන්පසු ඔහු ඔවුන්ගෙන් සමුගෙන මැසිඩෝනියාව බලා පිටත්ව ගියා. ඔහු ඒ පළාතට ගොස් එහි සිටි අය සමඟ බොහෝ දේවල් කතා කර ඔවුන්වත් දිරිගැන්නුවා. ඉන්පසු ඔහු ගියේ ග්‍රීසියට.’—ක්‍රියා 20:1, 2.

එකිනෙකාව දිරිගන්වන්න

12. රැස්වීම් යන එක වැදගත් ඇයි?

12 යෙහෝවා දෙවි හැම වෙලාවෙම හිතන්නේ අපේ යහපත ගැන. අතපසු කරන්නේ නැතුව රැස්වීම් යන්න කියලා ඔහු අපිට උනන්දු කරන්නේ ඒ නිසයි. දෙවි ගැන ඉගෙනගන්නත් අනිත් අයව දිරිගන්වන්නත් රැස්වීම්වලදී අපිට පුළුවන්. (1 කොරි. 14:31; හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.) 1වෙනි ඡේදයේ සඳහන් කරපු ක්‍රිස්ටිනා මෙහෙම කියනවා. “මං රැස්වීම් යන්න ආසම සභාවේ අය මට ආදරේ නිසයි. නිතරම මාව දිරිගන්වන නිසයි. සමහර දවස්වලට මං රැස්වීමට යන්නේ ලොකු දුකක් හිතේ තද කරගෙන තමයි. ඒත් සහෝදරියන් ඇවිත් මාව බදාගෙන ‘අද ඔයා හරි ලස්සනයි’ කියලා කියද්දී, සත්‍ය මාර්ගයේ යන්න මං ගන්න උත්සාහය අගය කරද්දී මගේ දුක මට අමතක වෙනවා.” අපි හැමෝම එකිනෙකාව දිරිගන්වන එක කොච්චර වැදගත්ද!—රෝම 1:11, 12.

13. කාලයක් පුරා දෙවිට සේවය කරන අයට වුණත් දිරිගැන්වීම් ඕනෙ ඇයි?

13 කාලයක් පුරා යෙහෝවා දෙවිට සේවය කරන අයට වුණත් දිරිගැන්වීම් ඕනේ. යොෂුවා ගැන හිතන්න. ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී දෙවි එයාව නායකයා විදිහට පත් කළා. එයා කාලයක් තිස්සේ දෙවිට සේවය කරපු කෙනෙක් වුණත් දෙවි මෝසෙස්ට කිව්වා එයාව දිරිගන්වන්න කියලා. “ඔබෙන් පසුව නායකයා හැටියට යොෂුවාව පත් කරන්න. ඒ සඳහා ඔහුව ධෛර්යවත් කර ශක්තිමත් කරන්න. ගඟෙන් එගොඩ වී ඒ දේශයට සෙනඟව රැගෙන යන්නේ ඔහුයි. ඔබ දකින මේ දේශය ඊශ්‍රායෙල් සෙනඟ උරුම කරගන්නේ ඔහුගේ නායකත්වය යටතෙයි” කියලා දෙවි කිව්වා. (ද්වි. 3:27, 28) ඒක යොෂුවාට දිරිගැන්වීම් ඕනෙම අවස්ථාවක්. මොකද ඉදිරියේදී ඊශ්‍රායෙල්වරුන්ට යුද්ධ ගණනාවකට මුහුණ දෙන්න තිබුණා. අඩුම තරමින් ඒවායින් එකක් හරි එයාලා පැරදුණා. ඒ නිසා අධෛර්යය වෙන්න ඉඩ තිබුණා. (යොෂු. 7:1-9) දෙවිගේ සෙනඟව රැකබලා ගන්න මහන්සි වෙලා වැඩ කරන වැඩිමහල්ලන්ව, චාරිකා සේවකයන්ව දිරිගන්වන්න අපිටත් පුළුවන්. (1 තෙසලෝනික 5:12, 13 කියවන්න.) චාරිකා සේවකයෙක් මෙහෙම කිව්වා. “එයාලව දිරිගැන්නුවට හුඟක් ස්තුතියි කියලා සමහර සහෝදරයෝ අපිට ලියුම් දෙනවා. ටිකක් කලකිරිලා ඉන්න වෙලාවලදී අපි ඒ ලියුම් ආපහු කියවනවා. ඒවා අපිට ලොකු දිරිගැන්වීමක්.”

අපි දරුවන්ව දිරිගන්වද්දී දෙවිට ළං වෙන්න ඒක එයාලට උදව්වක් (14 ඡේදය බලන්න)

14. කෙනෙක්ට උපදෙසක් දෙද්දී එයාව අගය කරලා දිරිගැන්වෙන විදිහට ඒක දෙන එක වැදගත් කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

14 එක අවස්ථාවක කොරින්ති සභාවේ අයට උපදෙස් දෙන්න පාවුල්ට සිද්ධ වුණා. ඒ උපදෙස් අදාළ කරගත්තම පාවුල් එයාලව අගය කළා. (2 කොරි. 7:8-11) දිගටම හරි දේ කරන්න ඒක එයාලට ලොකු දිරිගැන්වීමක් වුණා. වැඩිමහල්ලන්ට, දෙමාපියන්ට පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන්. දරුවෝ දෙන්නෙක් ඉන්න ආන්ද්‍රෙයාස් මෙහෙම කියනවා. “දරුවන්ව අගය කරද්දී එයාලට එයාලා ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා. අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න ඒක එයාලට උදව්වක්. දරුවට උපදෙසක් දෙද්දී ඒක දිරිගැන්වෙන විදිහට දෙනවා නම් එයා ඒක හිතට ගන්නවා. හරි දේ මොකක්ද කියලා අපේ දරුවෝ දන්නවා. ඒත් එයාලා ඒක කරන්න පෙලඹෙන්නේ අපි එයාලව දිරිගන්වනවා නම් විතරයි.”

දිරිගන්වන්න නම් . . .

15. අනිත් අයව දිරිගන්වන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

15 සේවය කරන්න සභාවේ අය දරන වෑයම, එයාලගේ හොඳ ගතිගුණ අගය කරන්න. (2 ලේක. 16:9; යෝබ් 1:8) එහෙම කරනවා නම් අපි අනුකරණය කරන්නේ යෙහෝවා දෙවිව සහ යේසුස්ව. ඒ දෙන්නා වෙනුවෙන් අපි කරන ඕනම දෙයක් ඒ දෙන්නට හුඟක් වටිනවා. දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් අපි කැමැති තරම් දේවල් කරන්න අපිට බැරුව ඇති. ඒත් අපි කරන දේ දෙවි සහ යේසුස් අගය කරනවා. (ලූක් 21:1-4; 2 කොරින්ති 8:12 කියවන්න.) රැස්වීම් යන්න, සේවයේ යන්න මහලු සහෝදර සහෝදරියන්ට ලේසි නැහැ. ඒත් එයාලා ගන්න උත්සාහය අපි අගය කරනවද?

16. අනිත් අයව දිරිගන්වන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?

16 අගය කරන්න ලැබෙන අවස්ථා මඟහරින්න එපා. කෙනෙක් යම් දෙයක් හොඳට කරන හැම වෙලාවකදීම එයාව අගය කරන්න. පාවුල් සහ බානබස් පිසිදියේ අන්තියෝකියට ගිය වෙලාවේ සිනගෝගයේ නිලධාරීන් මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, රැස්ව සිටින අයට යම් දිරිගැන්වීමක් ලබා දෙන්න ඔබ කැමති නම් ඔබට පුළුවන් දැන් කතා කරන්න.” පාවුල් දේශනයක් දීලා එතන හිටපු අයව දිරිගැන්නුවා. (ක්‍රියා 13:13-16, 42-44) කෙනෙක්ව දිරිගන්වන්න අවස්ථාවක් ලැබෙද්දී ඒක මඟහරින්න එපා. අපි අනිත් අයව දිරිගන්වනවා නම් ඒ අයත් අපිව දිරිගන්වයි.—ලූක් 6:38.

17. අනිත් අයව අගය කරන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද?

17 අගය කරන හේතුව නිශ්චිතව කියන්න. තියතීරා සභාවේ අයව අගය කරද්දී ඒකට හේතුව යේසුස් නිශ්චිතව කිව්වා. එයාලා කරපු යහපත් දේවල් ඔහු සඳහන් කළා. (එළිදරව් 2:18, 19 කියවන්න.) අපිටත් පුළුවන් යේසුස්ව ආදර්ශයට ගන්න. සමහරවිට තනියෙන් දරුවන්ව ඇතිදැඩි කරන සහෝදරියකව ඔයා දන්නවා ඇති. ඔයාට පුළුවන් අභියෝග මැද වුණත් එයා දරුවන්ව පුහුණු කරන විදිහ අගය කරන්න. ඔයාට දරුවෝ ඉන්නවා නම් දෙවිට සේවය කරන්න දරුවන් දරන වෑයම අගය කරන්න ඔයාට පුළුවන්. ඔයා දකින එයාලගේ හොඳ පැති එයාලට කියන්න. කෙනෙක්ව අගය කරද්දී ඒකට හේතුව නිශ්චිතව කියනවා නම් අපි එයාව අගය කරන්නේ අවංකවමයි කියලා එයාට දැනෙයි.

18, 19. දිගටම යෙහෝවා දෙවිට ළැදිව ඉන්න එකිනෙකාට උදව් කරන්න පුළුවන් කොහොමද?

18 යොෂුවාව දිරිගන්වන්න කියලා දෙවි මෝසෙස්ට කිව්වා වගේ යම් කෙනෙක්ව පෙන්නලා එයාව දිරිගන්වන්න කියලා දෙවි අද අපිට කියන්නේ නැහැ. ඒත් අපි එකිනෙකාව දිරිගන්වන්න වෑයමක් දරද්දී ඒ ගැන දෙවි සතුටු වෙනවා. (හිතෝ. 19:17; හෙබ්‍රෙ. 12:12) උදාහරණෙකට සහෝදරයෙක් බයිබල් දේශනයක් දුන්නම ඒකේ තිබුණ කාරණා ඔයාට උදව් වුණේ කොහොමද කියලා එයාට කියන්න. බයිබල් දේශනයක් දුන්න සහෝදරයෙක්ට සහෝදරියක් මෙහෙම ලියලා යැව්වා. “අපි කතා කළේ ටික වෙලාවකට වුණත් ඔයා මගේ තත්වය තේරුම්ගත්තා. ඔයා කියපු දේවල් මට සහනයක්, ශක්තියක් වුණා. දේශනය දෙද්දීත්, මාත් එක්ක කතා කරද්දීත් ඔයා කතා කරපු විදිහ නිසා ඒ තොරතුරු ලැබුණේ දෙවිගෙන් කියලා මට දැනුණා.”

19 පාවුල් කිව්ව මේ දේ හිතට ගන්නවා නම් දිගටම දෙවිට ළැදිව ඉන්න එකිනෙකාට උදව් කරන්න අපිට පුළුවන්. “ඔබ දැනටමත් කරමින් සිටින ආකාරයට දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න.” (1 තෙස. 5:11) ගත වෙන හැම දවසකම එකිනෙකාව දිරිගන්වන්න අපි වෑයමක් දරනවා නම් ඒ ගැන යෙහෝවා දෙවි හුඟක් සතුටු වෙනවා.

^ [1] (1 ඡේදය) සමහර නම් වෙනස් කර ඇත.