Skip to content

පටුනට යන්න

දෙවිගේ වචනයට එකඟව සංවිධානය වුණු සෙනඟක්

දෙවිගේ වචනයට එකඟව සංවිධානය වුණු සෙනඟක්

“යෙහෝවා දෙවි ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් දැමුවේය. ඔහු මනා අවබෝධයකින් යුතුව අහස ස්ථිර ලෙස පිහිටෙව්වේය.”—හිතෝ. 3:19.

ගීතිකා: 105, 107

1, 2. (අ) දෙවි තම සේවකයන්ව සංවිධානය කරලා තියෙනවා කියන දේ ගැන සමහරු කියන්නේ මොනවද? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

“දෙවියන්ව විශ්වාස කරනවා නම් ඒ ඇති. අපිට මඟ පෙන්නන්න ආයේ අමුතුවෙන් සංවිධානයක් ඕනෙ නැහැ” කියලා සමහරු කියනවා. ඒ අදහස හරිද? ඒකට උත්තරේ දැනගන්න මේ ලිපිය උදව් වෙයි.

2 අපි මේ ලිපියෙන් බලන්නේ යෙහෝවා දෙවි හැම දේම පිළිවෙළකට කරනවා කියන්න තියෙන සාක්ෂි ගැනයි. ඒ වගේම ඔහු තම සෙනඟව සංවිධානය කරනවා කියන දේ ගැනයි. සංවිධානය මාර්ගයෙන් දෙවි මඟ පෙන්වද්දී අපි කරන්න ඕන දේ ගැනත් බලමු. (1 කොරි. 14:33, 40) මුල් සියවසේ හිටපු දෙවිගේ සේවකයන් ශුද්ධ ලියවිලිවල තිබුණ මඟ පෙන්වීම්වලට කීකරු වුණ නිසා හුඟදෙනෙක්ට ශුභාරංචිය කියන්න පුළුවන් වුණා. අපිත් අපිට මඟ පෙන්නන්න දේවවචනයට ඉඩ දෙනවා. දෙවිගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා. ලෝකෙ පුරාම ශුභාරංචිය දේශනා කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. සභාව පවිත්‍රව, සාමකාමීව, එක්සත්ව තියාගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ඒ නිසයි.

දෙවිගේ හැම වැඩක්ම පිළිවෙළයි

3. යෙහෝවා දෙවි හැම දෙයක්ම පිළිවෙළකට කරන දෙවි කෙනෙක් කියලා ඔයාට ස්ථිර ඇයි?

3 “යෙහෝවා දෙවි ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් දැමුවේය. ඔහු මනා අවබෝධයකින් යුතුව අහස ස්ථිර ලෙස පිහිටෙව්වේය.” (හිතෝ. 3:19) දෙවි හැම දෙයක්ම පිළිවෙළකට කරනවා කියලා ඔහුගේ නිර්මාණවලින් පැහැදිලියි. ඒත් “අපි මේ දකින්නේ දෙවිගේ බලවත් ක්‍රියාවලින් අල්පමාත්‍රයක් පමණි. ඔහුගේ මහත් හඬෙන් අපේ සවනට වැටෙන්නේ සිහින් නාදයක් පමණි.” (යෝබ් 26:14) විශ්වයේ තියෙන හැම දේටම පිළිවෙළක් තියෙනවා කියලා තේරුම්ගන්න අපි දන්න අල්පමාත්‍රය හොඳටම ඇති. (ගීතා. 8:3, 4) මන්දාකිනිවල තරු මිලියන ගාණක් තිබුණත් ඒවා ගමන් කරන්නේ තමන්ට නියමිත ගමන් මඟේ. සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක එකිනෙක ගැටෙන්නේ නැතුව සූර්යයා වටා ගමන් කරන විදිහ ගැන හිතන්න. ඒවාවල ඒ තරම් පිළිවෙළක් දකින්න තියෙන්නේ දෙවි ඒවා තිතටම සැලසුම් කරපු නිසයි. දෙවි “තම ප්‍රඥාවෙන් අහස්තලය” සහ පොළොව හදපු විදිහ ගැන හිතද්දී ඔහුට ප්‍රශංසා කරන්න, නමස්කාර කරන්න, ඔහුට ළැදිව ඉන්න අපි පෙලඹෙන්නේ නැද්ද?—ගීතා. 136:1, 5-9.

4. වැදගත් ප්‍රශ්න හුඟකට උත්තර දෙන්න විද්‍යාඥයන්ට බැරි ඇයි?

4 විශ්වය ගැනත් පොළොව ගැනත් හුඟක් දේවල් විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඒ සොයාගැනීම් නිසා අපේ ජීවිතවලට ප්‍රයෝජන ලැබිලා තියෙනවා. ඒත් විශ්වය බිහි වුණේ කොහොමද, මිනිසුන් සහ සත්තු පොළොවේ ජීවත් වෙන්නේ ඇයි, ගස් වැල් පෘථිවියේ තියෙන්නේ ඇයි වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර විද්‍යාඥයන් ළඟ නැහැ. හැමදාටම ජීවත් වෙන්න මිනිසුන්ට මේ තරම් ආසාවක් තියෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්නත් බැහැ. (දේශ. 3:11) විද්‍යාඥයන් ඇතුළුව හුඟදෙනෙක්ට ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න බැරි දෙවි කෙනෙක් ඉන්නවා කියලා එයාලා විශ්වාස නොකරන නිසයි. ඒ වෙනුවට එයාලා පිළිගන්නේ පරිණාමවාදය. ඒත් දෙවි ඒ ප්‍රශ්නවලට උත්තර තම වචනය වන බයිබලේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා.

5. දෙවි පිහිටුවලා තියෙන නීති මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද?

5 විශ්වයේ සහ ජීවීන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් දෙවි පිහිටුවලා තියෙන නීති වෙනස් වෙන්නේ නැති නිසා අපි ඒවා ගැන විශ්වාසය තියලා වැඩ කරනවා. උදාහරණෙකට විදුලි කාර්මිකයන්, ජල නළ කාර්මිකයන්, ඉන්ජිනේරුවන්, ගුවන් නියමුවන්, ශල්‍ය වෛද්‍යවරුන් එයාලගේ වෘත්තියේදී ප්‍රයෝජනයට ගන්නේ ඒ නීති. ශල්‍ය වෛද්‍යවරයෙක් ගැන හිතන්න. හෘද සැත්කමක් කරද්දී රෝගියාගේ හෘද වස්තුව තියෙන්නේ කොහෙද කියලා හොයන්න එයාට අවශ්‍ය නැහැ. මොකද මිනිස් සිරුරේ හෘද වස්තුව තියෙන්නේ යම් නිශ්චිත තැනක. ගුරුත්වාකර්ෂණය දෙවි පිහිටුවලා තියෙන තවත් නීතියක්. උස් තැනකින් පැන්නොත් අනිවාර්යයෙන්ම බිමට වැටෙනවා කියලා ඕනෑම කෙනෙක් දන්නේ ඒ නීතිය නිසයි. ඒ ගැන අපිට විශ්වාස නිසා අනතුරුවලින් වළකින්න අපි පියවර ගන්නවා.

දෙවි තම සෙනඟව සංවිධානය කළා

6. දෙවිට නමස්කාර කරන අයව දෙවි හොඳින් සංවිධානය කරයි කියලා හිතන්න පුළුවන් ඇයි?

6 යෙහෝවා දෙවිගේ හැම නිර්මාණයකම පුදුමාකාර පිළිවෙළක්, සැලැස්මක් තියෙනවා. එහෙමනම් ඔහුට නමස්කාර කරන සෙනඟව ඔහු හොඳින් සංවිධානය නොකර ඉඳියිද? දෙවි බයිබලේ මාර්ගයෙන් ඔහුට නමස්කාර කරන්න ඕන විදිහ අපිට උගන්වනවා. දෙවි බයිබලය, ඔහුගේ සංවිධානය මාර්ගයෙන් දෙන මඟ පෙන්වීම් ජීවිතේට අදාළ කරගත්තොත් විතරයි අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ.

7. බයිබලේ ලියලා තියෙන විදිහෙන් අපි තේරුම්ගන්නේ මොකක්ද?

7 බයිබලේ කියන්නේ නිකම්ම යුදෙව් පොත් කීපයක සහ ක්‍රිස්තියානි පොත් කීපයක එකතුවක් කියලයි සමහර විශාරදයන් කියන්නේ. ඒත් ඇත්ත ඒක නෙමෙයි. බයිබලේට ඇතුළත් පොත් ලියන්නේ කවුද, කොයි කාලෙදීද, මොන තොරතුරුද කියලා තීරණය කළේ දෙවි. ඒ නිසයි දෙවිගේ පණිවිඩය තේරුම්ගන්න බයිබලේ තියෙන හැම පොතක්ම අපිට උදව් වෙන්නේ. උත්පත්ති පොතේ ඉඳන් එළිදරව් පොත දක්වා දිව යන්නේ එක තේමාවක්. ඒ දේවරාජ්‍යය මාර්ගයෙන් පාලනය කරන්න දෙවිට තියෙන අයිතිය තහවුරු කරලා දෙවිගේ මුල් අරමුණ ඉටු කරන විදිහයි. දේවරාජ්‍යයේ රජු “පැවත එන තැනැත්තා” වන යේසුස් කියලත් බයිබලේ පැහැදිලි කරනවා.—උත්පත්ති 3:15; මතෙව් 6:10; එළිදරව් 11:15 කියවන්න.

8. ඊශ්‍රායෙල්වරුන්ව හොඳින් සංවිධානය කරලා තිබුණේ කොහොමද?

8 දෙවි නීතිය මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ව සංවිධානය කළා. උදාහරණෙකට ඊශ්‍රායෙල් සෙනඟ එක තැනකින් තවත් තැනකට යද්දී යන්න ඕන පිළිවෙළ ගැන, ශුද්ධ කූඩාරමට අයිති දේවල් ගෙනියන්න ඕන පිළිවෙළ ගැන මඟ පෙන්වීම් දෙවි එයාලට දීලා තිබුණා. “සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ සේවය කරන්න” ස්ත්‍රීන් පිරිසක්ව පත් කරලා තිබුණා. (නික්. 38:8) පස්සේ කාලෙක දාවිත් රජ විවිධ සේවාවන් ඉටු කරන්න පූජකයන්ව, ලෙවීවරුවන්ව හොඳින් සංවිධානය කළා. (1 ලේක. 23:1-6; 24:1-3) ඊශ්‍රායෙල්වරු දෙවිට කීකරු වෙද්දී දෙවි එයාලට ආශීර්වාද කළා. එයාලව හොඳින් සංවිධානය කරලා තිබුණ නිසා එයාලා අතරේ එක්සත්කම තිබුණා.—ද්වි. 11:26, 27; 28:1-14.

9. මුල් සියවසේ තිබුණ සභාවන් සංවිධානය කරලා තිබුණේ කොහොමද?

9 මුල් සියවසේ තිබුණ සභාවලත් වැඩකටයුතු සිද්ධ වුණේ හරිම පිළිවෙළකට. සභාවලට මඟ පෙන්වීම් දෙන්න පාලක මණ්ඩලයක් හිටියා. මුල් කාලේ පාලක මණ්ඩලයේ හිටියේ යේසුස්ගේ නියෝජිතයන් වුණත් කාලයත් එක්කම වෙනත් වැඩිමහල්ලන්ව ඒ සඳහා පත් කළා. (ක්‍රියා 6:1-6; 15:6) සභාවල අයට අවශ්‍ය උපදෙස්, මඟ පෙන්වීම් ඇතුළත් ලිපි ලියන්න දෙවි පාලක මණ්ඩලයේ සමහර අයට, එයාලට සහය වුණ අයට මඟ පෙන්නුවා. (1 තිමෝ. 3:1-13; තීත. 1:5-9) පාලක මණ්ඩලයෙන් ලැබුණ මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී සභාවන් ප්‍රයෝජන ලැබුවද?

10. පාලක මණ්ඩලයෙන් ලැබුණ මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී සභාවන් ලබපු ප්‍රයෝජන මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

10 ක්‍රියා 16:4, 5 කියවන්න. “යෙරුසලමේ සිටි නියෝජිතයන් හා වැඩිමහල්ලන්” තීරණය කරපු දේවල් ගැන සභාවන් දැනුවත් කරන්න මුල් සියවසේදී සහෝදරයන් කීපදෙනෙක්ව පත් කරලා තිබුණා. එයාලා පාලක මණ්ඩලයේ නියෝජිතයන්. පාලක මණ්ඩලයෙන් ලැබුණ මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී “සභාවල සිටි සියලුදෙනාගේ විශ්වාසය ශක්තිමත් වූ අතර එහි සිටි අයගේ ගණනද දිනෙන් දින වැඩි වුණා.”

ඔයා මඟ පෙන්වීම්වලට කීකරු වෙනවද?

11. දෙවිගේ සංවිධානයෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී වැඩිමහල්ලන්, සහායක සේවකයන් කරන්න ඕනෙ මොනවද?

11 දෙවිගේ සංවිධානයෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී ශාඛා කමිටු නැත්නම් දේශීය කමිටු සාමාජිකයන්, චාරිකා සේවකයන්, වැඩිමහල්ලන් ඉක්මනින් ඒවාට කීකරු වෙන්න ඕනේ. බයිබලේ අපි හැමෝටම උනන්දු කරන්නේ පෙරමුණ ගන්න සහෝදරයන්ට කීකරු වෙන්න කියලයි. (ද්වි. 30:16; හෙබ්‍රෙ. 13:7, 17) ලැබෙන මඟ පෙන්වීම්වලට විරුද්ධව කෙනෙක් කැරලිගහනවා නම් ඒ ගැන කන් කෙඳිරිගානවා නම් එයා හරියට මුල් සියවසේ හිටපු දියොත්‍රෙෆස් වගේ. අපි කවුරුත් එහෙම වෙන්න කැමති නැහැ. (3 යොහන් 9, 10 කියවන්න.) ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා නම් සභාවේ සාමය, එකමුතුකම රැකගන්න දායක වෙන්න අපිට පුළුවන්. ඒ නිසා අපි අපෙන්ම මෙහෙම අහගමු. ‘මං දේවල් කරන විදිහ දකිද්දී යෙහෝවා දෙවිට ළැදිව ඉන්න සභාවේ අය දිරිගැන්වෙයිද? පෙරමුණ ගන්න සහෝදරයන් දෙන මඟ පෙන්වීම් මං ඉක්මනින්ම අදාළ කරගන්නවද?’

12. වැඩිමහල්ලන්ව, සහායක සේවකයන්ව පත් කරන්නේ කොහොමද?

12 මෑතකදී පාලක මණ්ඩලය කරපු යම් වෙනසක් ගැන 2014 නොවැම්බර් 15 ‘මුරටැඹ’ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපියේ සඳහන් වුණා. ඒ ලිපියේ පැහැදිලි කළේ මුල් සියවසේදී පාලක මණ්ඩලය සභාවල වගකීම් දරන්න සහෝදරයන්ව පත් කරන අධිකාරිය එදා හිටපු සංචාරක සේවකයන්ට දීලා තිබුණා කියලයි. බයිබලේ තියෙන ඒ සැලැස්මට අනුව 2014 සැප්තැම්බර් මාසේ ඉඳලා වැඩිමහල්ලන්ව, සහායක සේවකයන්ව පත් කරන වගකීම පැවරෙන්නේ චාරික සේවකයන්ට කියලා ඒ ලිපියේ සඳහන් වුණා. සභාවක වැඩිමහල්ලන් යම් සහෝදරයෙක්ව නිර්දේශ කළාම චාරිකා සේවක ඒ සහෝදරයාව සහ එයාගේ පවුලේ අයව අඳුනගන්න උත්සාහ කරනවා. සමහරවිට එයාත් එක්ක සේවයේ හවුල් වෙයි. (1 තිමෝ. 3:4, 5) ඊටපස්සේ චාරිකා සේවක වැඩිමහල් මණ්ඩලයත් එක්ක එකතු වෙලා බයිබලේ තියෙන සුදුසුකම් ඒ සහෝදරයාට තියෙනවද කියලා හොඳින් සලකලා බලනවා.—1 තිමෝ. 3:1-10, 12, 13; 1 පේතෘ. 5:1-3.

13. වැඩිමහල්ලන් මඟ පෙන්වීමක් දුන්නම අපේ සහයෝගය පෙන්නන්න පුළුවන් කොහොමද?

13 වැඩිමහල්ලන් අපිට බයිබලෙන් මඟ පෙන්වීම් දෙන්නේ සභාව රැකබලා ගන්න එක එයාලගේ වගකීමක් නිසයි. ඒවා අපේම ප්‍රයෝජනයට නිසා අපි ඒවාට කීකරු වෙන්න ඕනේ. (1 තිමෝ. 6:3) තෙසලෝනික සභාවේ සිද්ධ වුණ දෙයක් බලන්න. එහේ හිටපු සමහරු හැසිරුණේ “නොහික්මුණු ආකාරයකින්.” එයාලා වැඩක් කරනවා වෙනුවට අනිත් අයගේ වැඩවලට ඇඟිලි ගහමින් හිටියා. වැඩිමහල්ලන් කොච්චර උපදෙස් දුන්නත් එයාලා ඒවා පිළිගත්තේ නැහැ. එහෙම හැසිරෙන අය ගැන ‘විශේෂ සෝදිසියකින් සිටින්න. එලෙසම ඒ වගේ අය සමඟ තවදුරටත් ඇසුරු නොකරන්න’ කියලා පාවුල් සභාවේ අයට කිව්වා. පාවුල් අදහස් කළේ එයාලව සතුරන් හැටියට සලකන්න කියලා නෙමෙයි. ඒත් එයාලව කිට්ටුවෙන් ඇසුරු කරන්න එපා කියලයි. (2 තෙස. 3:11-15) අදත් කෙනෙක් දෙවිගේ මඟ පෙන්වීම් සුළුවට අරන් වැඩ කළොත් එයාට උදව් කරන්න වැඩිමහල්ලන් පියවර ගන්නවා. හිතන්න, කෙනෙක් දෙවිට නමස්කාර නොකරන කෙනෙක් එක්ක යාළු වුණා කියලා. වැඩිමහල්ලන් එයාට අවශ්‍ය මඟ පෙන්වීම් බයිබලෙන් ලබා දෙනවා. (1 කොරි. 7:39) කීප සැරක්ම එයාට උදව් කරන්න හැදුවත් එයා ඒවා ගණන් ගන්නේ නැත්නම් ඒ හැසිරීම ගැන සභාවේ අනිත් අයට අනතුරු අඟවමින් දේශනයක් දෙන්න වැඩිමහල්ලන් තීරණය කරන්න පුළුවන්. ඔයාගේ සභාවෙත් ඒ වගේ දේශනයක් දුන්නොත් ඔයා මොකද කරන්නේ? ඒකේ කතා කළේ කවුරු ගැනද කියලා ඔයා දන්නවා නම් නමස්කාර වැඩවලදී ඇරෙන්න අනිත් වෙලාවලදී එයාව කිට්ටුවෙන් ඇසුරු කරන එකෙන් ඔයා වළකිනවද? ඒ මඟ පෙන්වීමට අපි කීකරු වෙද්දී සමහරවිට ඒ කෙනා තමන්ගේ වරද තේරුම් අරන් ඒක හදාගන්න පෙලඹෙයි. [1]

සභාවේ පවිත්‍රකම, එක්සත්කම රැකගන්න

14. සභාවේ පවිත්‍රකම රැකගන්න අපිට දායක වෙන්න පුළුවන් කොහොමද?

14 බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා නම් සභාව පවිත්‍රව තියාගන්න දායක වෙන්න අපි හැමෝටම පුළුවන්. කොරින්ති සභාවේ සිද්ධ වුණ දෙයක් බලන්න. පාවුල් එයාලට ගොඩක් ආදරේ කළා. එයාලගෙන් වැඩිදෙනෙක්ට සත්‍යයට එන්න උදව් කළේ පාවුල්. (1 කොරි. 1:1, 2) ඒ සභාවේ කෙනෙක් අනාචාරයේ යෙදෙනවා කියලත් සභාවේ අය ඒ ගැන කිසි පියවරක් අරන් නැහැ කියලත් දැනගත්තම පාවුල්ට කොහොම හැඟෙන්න ඇද්ද! “ඔබ ඒ මිනිසාව සාතන්ට භාර දිය යුතුයි” කියලා පාවුල් වැඩිමහල්ලන්ට කිව්වා. ඒකෙන් පාවුල් අදහස් කළේ ඒ කෙනාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න කියලයි. (1 කොරි. 5:1, 5-7, 12) අදත් කෙනෙක් බරපතළ වරදක් කරලා ඒ ගැන අවංකව පසුතැවෙන්නේ නැත්නම් එයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න වැඩිමහල්ලන් තීරණය කරයි. ඒ වගේ කෙනෙක්ට සලකන්න ඕන විදිහ ගැන බයිබලේ දීලා තියෙන මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙනවා නම් සභාව පවිත්‍රව තියාගන්න සහය වෙන්න අපිට පුළුවන්. ඒ වගේම සමහරවිට ඒ කෙනා අවංකව පසුතැවිලා දෙවිගෙන් සමාව ඉල්ලන්න වුණත් පෙලඹෙයි.

15. සභාවේ සාමය රැකගන්න අපිට පුළුවන් කොහොමද?

15 කොරින්ති සභාවේ තවත් ප්‍රශ්නයක් තිබුණා. සභාවේ හිටපු සමහරු සහෝදරයන්ට විරුද්ධව නඩු දැම්මා. “සිදු වූ අසාධාරණය දරාගෙන සිටීම සුදුසු වන්නේ නැද්ද” කියලා පාවුල් එයාලගෙන් ඇහුවේ ඒ නිසයි. (1 කොරි. 6:1-8) අදත් සමහර සහෝදරයෝ තව සහෝදරයෝ එක්ක එකතු වෙලා ව්‍යාපාර කරනවා. ඒවා පාඩු වෙන අවස්ථා තියෙනවා. නැත්නම් අනිත් සහෝදරයා වංචා කළා කියලා හිතෙන අවස්ථාත් තියෙනවා. එහෙම වෙද්දී සමහරු තමන්ගේ සහෝදරයාට විරුද්ධව නඩු දානවා. ඒ වගේ දේවල් සභාවේ සාමයට තර්ජනයක්. මිනිසුන් සභාව ගැන, යෙහෝවා දෙවි ගැන වැරදි විදිහට හිතන්නත් ඉඩ තියෙනවා. අපිට පාඩුවක් සිද්ධ වුණත් ඒක දරාගෙන සහෝදරයන් එක්ක සාමයෙන් ඉන්න ඕනෙ ඇයි කියන දේ තේරුම්ගන්න දේවවචනය අපිට උදව් කරනවා. [2] බරපතළ ප්‍රශ්න ඇති වුණාම යේසුස් දුන්න මඟ පෙන්වීම් අදාළ කරගෙන ඒවා විසඳගන්නවා නම් සභාවේ සාමය රැකගන්න අපිට පුළුවන්.—මතෙව් 5:23, 24; 18:15-17 කියවන්න.

16. දෙවිගේ සේවකයන් එකමුතු ඇයි?

16 දේවවචනයේ මෙහෙම සඳහන් වෙනවා. “සහෝදරයන් එකමුතුව ජීවත් වීම කොතරම් යහපත්ද! කොතරම් ප්‍රසන්නද!” (ගීතා. 133:1) ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට කීකරු වෙද්දී හැම දේම පිළිවෙළකට සිද්ධ වුණා. එයාලා අතරේ එක්සත්කම තිබුණා. අනාවැකියකින් දෙවි තම සෙනඟ ගැන කිව්වේ ‘එකම ගාලක සිටින බැටළුවන් මෙන් මම ඔවුන්ට එකමුතුව විසීමට සලස්වන්නෙමි’ කියලයි. (මීකා 2:12) “ඒ කාලයේදී මම ජනයාට පවිත්‍ර භාෂාව උගන්වා ඒ ගැන නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්නෙමි. එවිට ඒ සියලුදෙනාටම යෙහෝවා දෙවි වන මාගේ නාමයට අයැදින්නත් එක්සත්කමින් මට සේවය කරන්නත් හැකි වනු ඇත” කියලත් දෙවි කිව්වා. (ශෙප. 3:9) අපිට එක්සත් සෙනඟක් විදිහට දෙවිට නමස්කාර කරන්න ලැබුණ එක මොන තරම් සතුටක්ද!

‘කෙනෙක් යම් වැරදි පියවරක්’ ගත්තොත් එයාව නිවැරදි කරන්න වැඩිමහල්ලන් පියවර ගන්නවා (17 ඡේදය බලන්න)

17. සභාවේ කෙනෙක් බරපතළ වරදක් කළාම වැඩිමහල්ලන් කරන්න ඕනෙ මොකක්ද?

17 සභාවේ කෙනෙක් බරපතළ වරදක් කළොත් වැඩිමහල්ලන් ඉක්මනින්ම එයාව නිවැරදි කරන්න පියවර ගන්න ඕනේ. මොකද ඕනම නරක බලපෑමකින් සභාව ආරක්ෂා කරන එක එයාලගේ වගකීමක්. සභාව පවිත්‍රව, එක්සත්ව තියාගන්න එක දෙවි එයාලගෙන් බලාපොරොත්තු වෙනවා. (හිතෝ. 15:3) ඒත් ඒක කරන්න ඕනෙ ආදරෙන්. කොරින්ති සභාවේ අයට පාවුල් හුඟක් ආදරේ කළත් එයාලගේ වැරදි නිවැරදි කරන්න එයා පියවර ගත්තා. පාවුල්ගෙන් ලැබුණ උපදෙස් වැඩිමහල්ලන් ඉක්මනින්ම අදාළ කරගත්තා කියලා එයා ඒ සභාවට ලියපු 2වෙනි ලිපියෙන් පැහැදිලියි. මොකද ඒ ලිපියේ පාවුල් එයාලව අගය කළා. සහෝදරයෙක් ‘නොදැනුවත්ව වැරදි පියවරක් ගත්තොත්’ වැඩිමහල්ලන් එයාව ආදරෙන් නිවැරදි කරන එක කොච්චර වැදගත්ද!—ගලා. 6:1.

18. (අ) දේවවචනයේ තියෙන මඟ පෙන්වීම් මුල් සියවසේ හිටපු අයට උදව් වුණේ කොහොමද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවද?

18 මුල් සියවසේ හිටපු අය දේවවචනයේ තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වුණ එක සභාවේ පවිත්‍රකම, සාමය, එක්සත්කම රැකගන්න උදව් වුණා. (1 කොරි. 1:10; එෆී. 4:11-13; 1 පේතෘ. 3:8) “අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයාටම” ශුභාරංචිය දේශනා කරන්න එයාලට පුළුවන් වුණේ ඒ නිසයි. (කොලො. 1:23) අදත් යෙහෝවා දෙවිගේ සේවකයන් සංවිධානයක් විදිහට එක්සත්ව ලෝකෙ පුරාම දේශනා කරනවා. එයාලගේ එකම අදිටන දේවවචනයේ තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙමින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන එකයි. එහෙම කියන්නේ ඇයි කියලා ඊළඟ ලිපියෙන් බලමු.—ගීතා. 71:15, 16.

^ [1] (13 ඡේදය) ‘යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ කියන පොතේ 134-136 පිටු බලන්න.

^ [2] (15 ඡේදය) සහෝදරයෙක් තවත් සහෝදරයෙක්ට විරුද්ධව නීතික පියවර ගන්න තීරණය කරන්න පුළුවන් අවස්ථා ගැන දැනගන්න “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” පොතේ 255වෙනි පිටුවේ පාදසටහන බලන්න.