Skip to content

පටුනට යන්න

දේවවචනය ඔයා කොයි තරම් අගය කරනවද?

දේවවචනය ඔයා කොයි තරම් අගය කරනවද?

දෙවිගේ පණිවිඩය ඔබ පිළිගත්තේ මිනිසුන්ගෙන් ලැබුණු දෙයක් ලෙස නොව දෙවිගෙන් ලැබුණු පණිවිඩයක් ලෙසය.’—1 තෙස. 2:13.

ගීතිකා: 114, 113

1-3. යුවෝදියා සහ සින්ටිකී අතරේ ඇති වුණ ප්‍රශ්නෙට හේතුව මොකක් වෙන්න ඇද්ද? ඒ වගේ ප්‍රශ්න වළක්වගන්න පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

බයිබලය අපිට හුඟක් වටිනවා. මොකද අපි දන්නවා ඒක දෙවිගෙන්ම ලැබුණ තෑග්ගක් කියලා. ප්‍රශ්න ගැටලු වළක්වගන්න උදව් වෙන මඟ පෙන්වීම්, අඩුපාඩු හදාගන්න අවශ්‍ය උපදෙස් දෙවි අපිට බයිබලේ මාර්ගයෙන් දෙනවා. අපි ඒවා සලකන්නේ කොහොමද? මේ සිද්ධිය බලන්න. මුල් සියවසේ හිටපු යුවෝදියා සහ සින්ටිකී අතරේ වාදයක් ඇති වුණා. ඒකට හේතුව බයිබලේ සඳහන් වෙලා නැහැ. ඒත් අපි හිතමු වාදයට හේතු වෙන්න ඇත්තේ මෙන්න මේ වගේ දෙයක් කියලා.

2 සමහරවිට යුවෝදියා සභාවේ කීපදෙනෙක්ට එයාගේ ගෙදර කෑමකට එන්න කියන්න ඇති. ඒත් එයා සින්ටිකීට එන්න කිව්වේ නැහැ. ඒ සාදයේදී කට්ටිය කොච්චර විනෝද වුණාද කියලා ආරංචි වුණාම සින්ටිකීට දුක හිතුණා. එයාට මෙහෙම හිතෙන්න ඇති. ‘ඇයි එයා මට එන්න කිව්වේ නැත්තේ? මං හිතං හිටියේ අපි හොඳ යාළුවෝ කියලා.’ හිත රිදුණ නිසා ‘මං එයාට හොඳ පාඩමක් උගන්නන්නං’ කියලා සින්ටිකී හිතුවා. යුවෝදියා ආරාධනා කරපු අයටම එයාත් එයාගේ ගෙදරට ආරාධනා කළා. ඒත් යුවෝදියාට එන්න කිව්වේ නැහැ. ඒ ප්‍රශ්නෙට සභාවේ තව අයත් මැදි වෙන්න ඇති. ඒකෙන් සභාවේ එකමුතුකමට හානියක් වෙන්න තිබුණා. පාවුල් ඒ දෙන්නව නිවැරදි කරන්න පියවර ගත්තා. ඒ දෙන්නා පාවුල්ගේ උපදෙස් පිළි අරගෙන ආයෙත් සතුටින් සේවය කරන්න ඇති.—ෆිලි. 4:2, 3.

3 සමහරවිට ඔයාත් ඉන්නේ සභාවේ කෙනෙක් එක්ක හිත් අමනාපයෙන් වෙන්න ඇති. ඒත් බයිබලේ තියෙන උපදෙස්වලට කීකරු වෙනවා නම් ඔයාට පුළුවන් ඒ ප්‍රශ්නේ විසඳගන්න. ඒ විතරක් නෙමෙයි ඒ වගේ ප්‍රශ්න ඇති වෙන එක වළක්වගන්නත් බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවා. දෙවිගේ වචනය මුළු හදින්ම අගය කරනවා නම් අපි ඒවාට කීකරු වෙනවා.—ගීතා. 27:11.

හැඟීම් පාලනය කරගන්න දේවවචනය අපිට කියලා දෙනවා

4, 5. හැඟීම් පාලනය කරගන්න බයිබලේ තියෙන මොන වගේ මඟ පෙන්වීම්ද අපිට උදව් වෙන්නේ?

4 හිත රිදුණම ඒ හැඟීමෙන් ගොඩ එන එක, කේන්තියක් දැනෙද්දී ඒක පාලනය කරගන්න එක හැම වෙලේම ලේසි නැහැ. සමහරවිට අපේ සංස්කෘතිය, අපේ පෙනුම, හමේ පාට නිසා කවුරු හරි අපිට අපහාස කරනවා නම් අපිට අසාධාරණ විදිහට සලකනවා නම් අපිට ලොකු දුකක්, තරහක් දැනෙයි. ඒ දේ කරන්නේ සභාවේ කෙනෙක් නම් දැනෙන දුක තවත් වැඩියි. ඒ වගේ අවස්ථාවලදී අපිට උදව් වෙන්නේ බයිබලේ තියෙන මොන උපදෙසද?

5 “අමනාප වීමට ඉක්මන් නොවන්න” කියලා දෙවි අපිට උනන්දු කරනවා. මොකද අපි හැඟීම් පාලනය කරගත්තේ නැත්නම් ඒක අපිට අනතුරක්. (දේශනාකාරයා 7:9; හිතෝපදේශ 16:32 කියවන්න.) දුකෙන්, තරහෙන් ඉද්දී අපි දේවල් කරන්නේ, කියන්නේ හැඟීම්වලට වහල් වෙලා. පස්සේ අපි ඒ ගැන පසුතැවෙයි. ඒත් දෙවි දීලා තියෙන උපදෙස අදාළ කරගන්නවා නම් ප්‍රශ්න හුඟක් වළක්වගන්න අපිට පුළුවන්. අනිත් අයට සමාව දෙන්න කියලත් බයිබලේ අපිට කියනවා. යේසුස් කිව්වේ අපි අනිත් අයට සමාව දෙන්නේ නැත්නම් දෙවි අපිට සමාව දෙන්නේ නැහැ කියලා. (මතෙ. 6:14, 15) මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘අනිත් අය එක්ක මීට වඩා ඉවසීමෙන් වැඩ කරන්න මට පුළුවන්ද? එයාලට ඉක්මනින්ම සමාව දෙන්න මං ලෑස්තිද?’

6. අමනාපය හිතේ තියාගත්තොත් මොකද වෙන්නේ?

6 කෙනෙක් එක්ක ඔයා දිගින් දිගටම අමනාපයෙන් ඉන්නවා නම් ඔයාගේ හිතේ එයා ගැන වෛරයක් ඇති වෙයි. එයා ගැන වැරදි විදිහට හිතන්න ඔයා සභාවේ අයව පොලඹවන්නත් ඉඩ තියෙනවා. තරහා, අමනාපය හංගගෙන ඉන්න කොච්චර උත්සාහ කළත් කාලයක් යද්දී ඒක අනිත් අයට තේරෙනවා. එතකොට ඔයාව ආශ්‍රය කරන්න එයාලා වැඩිය කැමති වෙන එකක් නැහැ. (හිතෝ. 26:24-26) තරහා, අමනාපය හිතෙන් අයින් කරගෙන අනිත් කෙනාට සමාව දෙන්න උදව් වෙන බයිබලේ තියෙන උපදෙස් වැඩිමහල්ලන් ඔයාට මතක් කරලා දෙයි. (ලෙවී. 19:17, 18; රෝම 3:11-18) බයිබලෙන් දෙන ඒ උපදෙස්වලට ඔයා කීකරු වෙනවද?

අපිට මඟ පෙන්නන්නේ යෙහෝවා දෙවි

7, 8. (අ) දෙවි ඔහුගේ සෙනඟට මඟ පෙන්නන්නේ කොහොමද? (ආ) බයිබලේ තියෙන සමහර මඟ පෙන්වීම් මොනවද? අපි ඒවාට කීකරු වෙන්න ඕනෙ ඇයි?

7 දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසට අයිති අයට දෙවි මඟ පෙන්නනවා, උගන්වනවා. ඒ කොහොමද? දෙවි යේසුස්ව ‘සභාවේ හිස’ විදිහට පත් කරලා තියෙනවා. දෙවිගේ සෙනඟට උගන්වන්න, මඟ පෙන්නන්න යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” පත් කරලා තියෙනවා. (එෆී. 5:23; මතෙ. 24:45-47) මුල් සියවසේ හිටපු පාලක මණ්ඩලයට වගේම ඒ දාසයාටත් බයිබලේ ගැන තියෙන්නේ ලොකු අගයක්. ඒක දෙවිගෙන්ම ලැබුණ පොතක් කියලා එයාලට කිසිම සැකයක් නැහැ. (1 තෙසලෝනික 2:13 කියවන්න.) බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් කීපයක් දැන් බලමු.

8 රැස්වීම් අතපසු කරන්න එපා කියලා බයිබලේ අපිට උනන්දු කරනවා. (හෙබ්‍රෙ. 10:24, 25) අපි කොහේ ජීවත් වුණත් අපේ ඉගැන්වීම්, විශ්වාසයන් එක හා සමාන වෙන්න ඕනෙ කියලා බයිබලේ කියනවා. (1 කොරි. 1:10) ‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’ කියලත් බයිබලේ අපිට මතක් කරනවා. (මතෙ. 6:33) ගෙයින් ගෙට ගිහින්, මහජනයා ගැවසෙන තැන්වල වගේම මිනිසුන් ඉන්න ඕනෑම තැනකට ගිහින් ශුභාරංචිය දේශනා කරන්න කියලා බයිබලේ අපිට මඟ පෙන්නනවා. (මතෙ. 28:19, 20; ක්‍රියා 5:42; 17:17; 20:20) බයිබලේ වැඩිමහල්ලන්ට මඟ පෙන්නලා තියෙන්නේ සභාව පවිත්‍රව තියාගන්න කියලයි. (1 කොරි. 5:1-5, 13; 1 තිමෝ. 5:19-21) අපේ මනස, ශරීරිය අපවිත්‍ර කරන ඕනෑම දේකින් වළකින්න කියලත් දේවවචනය අපිට මඟ පෙන්නනවා.—2 කොරි. 7:1.

9. දේවවචනයේ තියෙන දේවල් අපිට උගන්වන්න යේසුස් පත් කළේ කාවද?

9 ‘බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න කාගෙවත් උදව් ඕනෙ නැහැ, ඒවා තනියෙන් තේරුම්ගන්න පුළුවන්’ කියලා සමහරු හිතනවා. ඒත් 1919දී යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” පත් කළා. එදා ඉඳන් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට බයිබලේ තියෙන ඉගැන්වීම් තේරුම් කරලා දෙන්නේ, ඒවා අදාළ කරගන්න උදව් කරන්නේ ඒ දාසයා මාර්ගයෙන් විතරයි. බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් සභාව පවිත්‍රව, සාමකාමීව, එක්සත්ව තියාගන්න අපිට පුළුවන්. ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘යේසුස් මඟ පෙන්නන්න යොදාගන්න විශ්වාසවන්ත දාසයාට මං කීකරුද?’

යෙහෝවා දෙවිගේ රථය වේගයෙන් ගමන් කරනවා

10. දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස එසකියෙල් පොතේ විස්තර කරන්නේ කොහොමද?

10 දෙවි ස්වර්ගයේ ඉන්න තමන්ගේ සේවකයන්ව හරිම පිළිවෙළකට සංවිධානය කරලා තියෙනවා කියලා බයිබලෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. උදාහරණෙකට එසකියෙල් දැක්ක මේ දර්ශනය ගැන හිතන්න. යෙහෝවා දෙවි මඟ පෙන්නන ඕනෑම දිශාවකට හරිම වේගයෙන් ගමන් කරන රථයක් එයා දැක්කා. (එස. 1:4-28) ඒ රථයෙන් නියෝජනය වුණේ දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසයි. දෙවි දෙන මඟ පෙන්වීම් ඒ අය ඉක්මනින්ම ක්‍රියාත්මක කරනවා. ඊටපස්සේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසටත් මඟ පෙන්නනවා. පහුගිය අවුරුදු 10 ඇතුළත දෙවිගේ සංවිධානයේ කොච්චර වෙනස්කම් සිද්ධ වුණාද! ඒ වෙනස්කම් කරන්න මඟ පෙන්නන්නේ යෙහෝවා දෙවි කියලා කවදාවත් අමතක කරන්න එපා. දෙවිගේ මඟ පෙන්වීමට අනුව යේසුස්, දේවදූතයන් එක්ක එකතු වෙලා මේ දුෂ්ට සමාජය ළඟදීම විනාශ කරනවා. දෙවිගේ නමට අගෞරව කරන, ඔහුගේ පාලනයට විරුද්ධ වෙන කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.

ඉදි කිරීම් වැඩවලට කැමැත්තෙන්ම හවුල් වෙන අයව අපි අගය කරන්න ඕනේ (11 ඡේදය බලන්න)

11, 12. දෙවිගේ සංවිධානයට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මොන වගේ දේවල්ද?

11 මේ අවසාන කාලේ දෙවිගේ මඟ පෙන්වීමෙන් ඔහුගේ සංවිධානය කරලා තියෙන දේවල් කීපයක් බලමු. (1) ඉදි කිරීම්. සහෝදර සහෝදරියන් සිය ගාණක් වෝර්වික්වල අපේ අලුත් මූලස්ථානය ඉදි කරන්න වෙහෙස නොබලා වැඩ කළා. කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ සහෝදර සහෝදරියන් දහස් ගාණක් ලෝකෙ පුරා නමස්කාර මධ්‍යස්ථාන, ශාඛා කාර්යාල ඉදි කරමින් ඉන්නවා. ඒ අයට මඟ පෙන්වීම් දෙන්නේ ලෝක ව්‍යාප්ත නිර්මාණ/ඉදි කිරීම් අංශයෙන්. දෙවි වෙනුවෙන් එයාලා ඇපකැප වෙලා කරන සේවය අපි කොච්චර අගය කරන්න ඕනෙද! ලෝකෙ පුරාම ඉන්න දෙවිගේ සේවකයන් තමන්ට පුළුවන් උපරිමයෙන් සම්මාදම් කරලා ඉදි කිරීම් වැඩ දිගටම කරගෙන යන්න සහය දෙනවා. එයාලා පෙන්නන ළැදිකම දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ.—ලූක් 21:1-4.

12 (2) බයිබලේ ගැන තව තවත් දැනුවත් කිරීම. තමන්ගේ සෙනඟට උගන්වන්න යෙහෝවා දෙවි හරිම කැමතියි. (යෙසා. 2:2, 3) දෙවිගේ සංවිධානය සැලසුම් කරන පාසැල් ඒකට කදිම සාක්ෂියක්. අපිට පුරෝගාමි පාසැල, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල, ගිලියද් පාසැල, නවක බෙතෙල් සේවකයන් සඳහා පාසැල, චාරිකා සේවකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැල, වැඩිමහල්ලන් සඳහා පාසැල, පත් කළ සහෝදරයන් සඳහා පාසැල, ශාඛා කමිටු සාමාජිකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැල තියෙනවා. බයිබලේ ගැන දැනුවත් කරන තවත් විදිහක් තමයි jw.org වෙබ් සයිට් එක. ඒකේ බයිබලේ, අපේ ප්‍රකාශන භාෂා සිය ගාණකින් පළ වෙනවා. දරුවන්, පවුල් වෙනුවෙන්ම වෙන් වුණ කොටස් ඒකේ තියෙනවා. සාක්ෂිකරුවන්ගේ අලුත්ම තොරතුරු ‘පුවත්’ කියන කොටසෙන් දැනගන්න පුළුවන්. සේවයේදී, පවුලේ නමස්කාරයේදී ඔයා jw.org වෙබ් සයිට් එක පාවිච්චි කරනවද?

දෙවිගේ සංවිධානයට කීකරු වෙමු

13. දෙවිගේ සෙනඟට තියෙන වගකීම මොකක්ද?

13 යෙහෝවා දෙවිගේ සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න ලැබුණ එක මොන තරම් ආශීර්වාදයක්ද! දෙවිගේ ප්‍රතිපත්ති ගැන, ඔහු අපෙන් බලාපොරොත්තු වෙන දේ ගැන දන්න අය හැටියට අපිට වගකීමක් තියෙනවා දෙවිට කීකරු වෙන්න. හරි දේ කරන්න. දුෂ්ට දේවලට ඇලීගැලී ඉන්න මිනිසුන්ගෙන් අපි වට වෙලා හිටියත් අපි යෙහෝවා දෙවි වගේ “නපුරට ද්වේෂ කරන්න” ඕනේ. (ගීතා. 97:10) “යහපතට නපුර කියාද නපුරට යහපත කියාද” කියන අය වගේ වෙන්නේ නැතුව ඉන්නයි අපිට ඕනේ. (යෙසා. 5:20) අපේ ආසාව දෙවිව සතුටු කරන්නයි. ඒ නිසා හැම අතින්ම පවිත්‍රව ඉන්න අපි ලොකු වෑයමක් දරනවා. (1 කොරි. 6:9-11) අපි යෙහෝවා දෙවිට ආදරෙයි. අපිට ඔහුව විශ්වාසයි. ඔහු බයිබලේ මාර්ගයෙන් දෙන මඟ පෙන්වීම්වලට අපි කැමැත්තෙන්ම කීකරු වෙන්නේ ඒ නිසයි. ගෙදරදී, සභාවේදී, පාසැලේදී, වැඩපොළේදී ඒ කොහෙදී වුණත් දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරන එක අපේ අදිටනයි. (හිතෝ. 15:3) ඒක කරන්න පුළුවන් පැති කීපයක් බලමු.

14. තමන් ළැදි දෙවිටයි කියලා පෙන්නන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

14 දරුවන්ව පුහුණු කරද්දී. දෙමාපියන් දරුවන්ව පුහුණු කරන්න ඕනෙ විදිහ ගැන මඟ පෙන්වීම් දෙවි බයිබලේ සඳහන් කරලා තියෙනවා. දරුවන් ඇතිදැඩි කරන විදිහ ගැන අද සමාජයේ වැඩිදෙනෙක්ට තියෙන අදහස්වලට අහු නොවී ඉන්න දෙවිට නමස්කාර කරන දෙමාපියන් වගබලා ගන්න ඕනේ. (එෆී. 2:2) උදාහරණෙකට ‘අපේ රටේ නම් අම්මලා තමයි දරුවන්ට හරි වැරැද්ද කියලා දෙන්නේ’ කියලා තාත්තා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් බයිබලේ පැහැදිලිවම කියන්නේ දෙවි ගැන දරුවන්ට උගන්වන වගකීම තියෙන්නේ තාත්තාට කියලා. (එෆී. 6:4) දෙවිට කීකරු වෙන දෙමාපියන්ට පුළුවන් සාමුවෙල් වගේ පුංචි කාලේ ඉඳන්ම දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න දරුවන්ට උදව් කරන්න.—1 සාමු. 3:19.

15. බැරෑරුම් තීරණ ගන්න වෙද්දී දෙවිට තියෙන අපේ ළැදිකම පැහැදිලි වෙන්නේ කොහොමද?

15 බැරෑරුම් තීරණ ගන්න වෙද්දී. දෙවිට ළැදි කෙනෙක් ජීවිතේ බැරෑරුම් තීරණ ගන්න කලින් ඒ ගැන දෙවි දීලා තියෙන මඟ පෙන්වීම් හොයලා බලනවා. හිතන්න, රැකියාවක් කරන්න වෙනත් රටකට ගිහින් ඉන්න යුවළක් ගැන. එහෙදී ඒ යුවළට දරුවෙක් ලැබෙනවා. දරුවා ඇතිදැඩි කරන එක එයාලගේ රැකියාවට බාධාවක් නිසා එයාලා හිතනවා දරුවාව තමන්ගේ මව් රටේ නෑයන් ළඟට යවන්න ඕනෙ කියලා. ඒක ඒ දෙන්නා ගන්න පෞද්ගලික තීරණයක් තමයි. ඒත් ඊට කලින් ‘ඒ තීරණය ගැන දෙවිට කොහොම හැඟෙයිද’ කියලා ඒ අම්මායි තාත්තායි හිතන්න ඕනේ. (රෝම 14:12 කියවන්න.) රැකියාව, පවුල සම්බන්ධ බැරෑරුම් තීරණ ගන්න කලින් බයිබලේ තියෙන මඟ පෙන්වීම් සලකලා බලන එක හරිම ඥානවන්ත දෙයක්. මොකද යෙහෝවා දෙවිගේ උදව් නැතුව මේ ජීවන ගමනේ තනිවම පියවර තියන්න අපිට බැහැ.—යෙරෙ. 10:23.

16. පුතා ඉපදුණාට පස්සේ අම්මා කෙනෙක්ට ගන්න වුණේ මොන තීරණයද? හරි තීරණය ගන්න එයාට උදව් වුණේ මොනවද?

16 වෙනත් රටක පදිංචියට ගිය යුවළකට ඒ රටේදී දරුවෙක් ලැබුණා. පුතාව ආච්චියි, සීයායි ළඟට යවන්න ඕනෙ කියලා ඒ යුවළ තීරණය කළා. ඔය කාලෙදීම වගේ තමයි දරුවාගේ අම්මා බයිබල් පාඩමක් පටන්ගත්තේ. දරුවට යෙහෝවා දෙවි ගැන උගන්වන එක දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වෙනවා කියලා බයිබල් පාඩම කරද්දී අම්මා තේරුම්ගත්තා. (ගීතා. 127:3; හිතෝ. 22:6) බයිබලේ උනන්දු කරලා තියෙන විදිහට එයා දෙවිට යාච්ඤා කරලා හරි තීරණයක් ගන්න උදව් ඉල්ලුවා. (ගීතා. 62:7, 8) එයාත් එක්ක පාඩම කරපු සහෝදරිය එක්ක, සභාවේ තව අය එක්ක එයා ඒ ගැන කතා කළා. එයාගේ නෑදෑයන්, යාළුවෝ කිව්වේ දරුවාව ආච්චියි, සීයායි ළඟට යවන්න කියලමයි. ඒත් හරි දේ ඒක නෙමෙයි කියලා තේරුම්ගත්ත නිසා එහෙම නොකර ඉන්න එයා තීරණය කළා. සභාවේ අය එයාටයි, එයාගේ පුංචි පුතාටයි උදව් කරපු විදිහ දැකලා එයාගේ සැමියා බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. රැස්වීම්වලටත් යන්න පටන්ගත්තා. යෙහෝවා දෙවි තමන්ගේ යාච්ඤාවට සවන් දුන්නා කියලා දැනුණම ඒ කාන්තාවට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද!

17. කෙනෙක් එක්ක බයිබල් පාඩමක් කරද්දී අපි අදාළ කරගන්න ඕන මඟ පෙන්වීම් මොනවද?

17 මඟ පෙන්වීම් අදාළ කරගද්දී. අපි දෙවිට ළැදි නම් ඔහුගේ සංවිධානය ලබා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා. උදාහරණෙකට ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතෙන් අපි කෙනෙක් එක්ක පාඩමක් පටන්ගත්තා කියලා හිතන්න. සංවිධානයෙන් අපිට උනන්දු කරන්නේ පාඩම පටන් අරන් වැඩි දවසක් යන්න කලින් පාඩමෙන් පස්සේ විනාඩි කීපයක් අරන් ශිෂ්‍යයාට දෙවිගේ සංවිධානය ගැන යම් අවබෝධයක් ලබාගන්න උදව් කරන්න කියලා. ඒක කරන්න අපිට ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක වගේම ‘දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!’ කියන සඟරාව පාවිච්චි කරන්න පුළුවන්. ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත සාකච්ඡා කරලා ඉවර වුණාම “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න” කියන පොත සාකච්ඡා කරන්න කියලයි අපිට උනන්දු කරන්නේ. ඒ අතරතුරේ ශිෂ්‍යයා බව්තීස්ම වුණත් ඒ පොත ඉවර වෙන කල්ම සාකච්ඡා කරන්න ඕනේ. මොකද ශිෂ්‍යයාට “සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න” ඒක උදව්වක්. (කොලො. 2:7) සංවිධානයෙන් දීලා තියෙන ඒ මඟ පෙන්වීම්වලට ඔයා කීකරු වෙනවද?

18, 19. අපි යෙහෝවා දෙවිට ස්තුති කරන්න ඕනෙ මොන වගේ හේතු නිසාද?

18 යෙහෝවා දෙවිට ස්තුති කරන්න අපිට කොයි තරම් නම් හේතු තියෙනවද! “අපේ ජීවිතයත් පැවැත්මත් අපි කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු මතයි.” (ක්‍රියා 17:27, 28) ඒ විතරක් නෙමෙයි දෙවි අපිට ඔහුගේ වචනය වන බයිබලේ දීලා තියෙනවා. ශුද්ධ ලියවිලිවල සඳහන් දේවල් දෙවිගෙන් ලැබුණ පණිවිඩයක් හැටියට පිළිගත්ත තෙසලෝනික සභාවේ අය වගේ අපිත් බයිබලේ තියෙන්නේ දෙවිගේ පණිවිඩයමයි කියලා මුළු හදින්ම පිළිගන්නවා.—1 තෙස. 2:13.

19 යෙහෝවා දෙවිගේ යාළුවෙක් වෙන්න බයිබලේ අපිට උදව් කරලා තියෙනවා. දෙවිත් අපිව සලකන්නේ යාළුවන් හැටියට. (යාකො. 4:8) දෙවිගේ සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න දෙවි අපිව තෝරගත්ත එක ගැන අපි ඔහුට කොයි තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද! ගීතිකාකරු කිව්වේ “යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය. ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය” කියලයි. (ගීතා. 136:1) අපිට හැඟෙන්නෙත් ඒ විදිහටම නේද? 136වෙනි ගීතිකාවේ හැම පදයකම “ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය” කියන වචන සඳහන් වෙනවා. අපි යෙහෝවා දෙවිටත් ඔහුගේ සංවිධානයටත් හැමදාටම ළැදිව ඉන්නවා නම් ඒ වචන කොච්චර ඇත්තක්ද කියලා අපේ ජීවිතෙන් අද්දකින්න පුළුවන් වෙයි. මොකද දෙවිට ළැදිව ඉන්න අයට ලැබෙන්නේ සදාකාල ජීවනය.