Skip to content

පටුනට යන්න

කිසිම දෙයක් නිසා තෑග්ග අහිමි කරගන්න එපා

කිසිම දෙයක් නිසා තෑග්ග අහිමි කරගන්න එපා

‘කිසිම කෙනෙකුට ඔබේ තෑග්ග අහිමි කිරීමට ඉඩ නොදෙන්න.’—කොලො. 2:18.

ගීතිකා: 122, 139

1, 2. (අ) දෙවිගේ සෙනඟ ආසාවෙන් ඉන්නේ මොන තෑග්ග ලබාගන්නද? (ආ) ඒ තෑග්ග දිහාම බලාගෙන ඉන්න උදව් වෙන්නේ මොනවාද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

අභිෂේක ලත් අයට වටිනා බලාපොරොත්තුවක් තියෙනවා. එයාලා බලාගෙන ඉන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න. “ස්වර්ගයට යෑම සඳහා දෙවිගෙන් ලැබූ කැඳවීම” පාවුල් විස්තර කළේ තෑග්ගක් විදිහට. (ෆිලි. 3:14) යේසුස් එක්ක රජකම් කරන්නත් ඔහුත් එක්ක එකතු වෙලා මිනිසුන්ව පරිපූර්ණ තත්වයට ගේන්නත් එයාලට අවස්ථාව ලැබෙනවා. (එළි. 20:6) කොච්චර ලස්සන බලාපොරොත්තුවක්ද! වෙනත් බැටළුවන් ඉදිරියෙත් වටිනා තෑග්ගක් තියෙනවා. එයාලා බලාගෙන ඉන්නේ පාරාදීස පොළොවේ හැමදාම ජීවත් වෙන්න. එයාලටත් සතුටු වෙන්න මොන තරම් හේතු තියෙනවාද!—2 පේතෘ. 3:13.

2 අභිෂේක ලත් අය දිගටම විශ්වාසවන්තව ඉඳලා තෑග්ග ලබාගන්නවා දකින්නයි පාවුල්ට ඕනෙ වුණේ. පාවුල් එයාලට දිරිගැන්නුවේ “මනස ස්වර්ගයේ තිබෙන දේවලට යොමු කර තබාගන්න” කියලයි. (කොලො. 3:2) ඒ කියන්නේ එයාලා ඒ අනර්ඝ තෑග්ග දිහාම බලාගෙන ඉන්න ඕනෙ කියන එකයි. (කොලො. 1:4, 5) අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන එක වුණත් පොළොවේ ජීවත් වෙන එක වුණත් යෙහෝවා දෙවි දෙන්න යන ආශීර්වාද ගැන හිතින් මවාගන්න එක තෑග්ග දිහාම බලාගෙන ඉන්න අපිට උදව්වක්.—1 කොරි. 9:24.

3. පාවුල් අනතුරු ඇඟෙව්වේ මොනවා ගැනද?

3 තෑග්ග අහිමි වෙන්න හේතු වෙන දේවල් ගැන පාවුල් අනතුරු ඇඟෙව්වා. උදාහරණෙකට කොලොස්සි සභාවට ලියද්දී ක්‍රිස්තියානීන් කියලා බොරුවට මවාපාපු අය ගැන පාවුල් කිව්වා. එයාලා යේසුස් ගැන විශ්වාසය තියනවා වෙනුවට නීතියේ තියෙන දේවල් අකුරටම පිළිපැදලා දෙවිගේ අනුමැතිය දිනාගන්න උත්සාහ කළා. (කොලො. 2:16-18) පාවුල් කිව්ව සමහර දේවල් අපිටත් අදාළයි. දුරාචාරයට පොලඹවන සිතුවිලිවලින් ආරක්ෂා වෙන විදිහත් සභාවේ අය සහ පවුලේ අය එක්ක තියෙන ප්‍රශ්න විසඳගන්න විදිහත් එයා සඳහන් කළා. කොලොස්සි සභාවට ආදරෙන් දුන්න ඒ මඟ පෙන්වීම් අපිට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා මේ ලිපියෙන් බලමු.

දුරාචාර සිතුවිලි උගුල්ලලා දාන්න

4. දුරාචාරයට පොලඹවන සිතුවිලි තෑග්ග ලබාගන්න බාධාවක් වෙන්නේ ඇයි?

4 දෙවිගේ සෙනඟට ලැබෙන තෑග්ග ගැන සඳහන් කළාට පස්සේ පාවුල් මෙහෙම කිව්වා. ‘වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.’ (කොලො. 3:5) වැරදි ආශාවක් කොච්චර ප්‍රබලද කිව්වොත් ඒකෙන් දෙවි එක්ක තියෙන බැඳීම වගේම අපේ බලාපොරොත්තුවත් නැති වෙන්න පුළුවන්. කලින් දුරාචාරයේ යෙදුණ සහෝදරයෙක් ඒ ගැන පසුතැවුණාට පස්සේ කිව්වේ මෙහෙමයි. “වැරදි ආශාවන් පාලනය කරගන්න එක මට කොච්චර අමාරු වුණාද කියනවා නම් වරද කළාට පස්සේ තමයි ඒකේ බරපතළකම තේරුණේ.”

5. වරදකට වැටෙන්නේ නැතුව ඉන්න අපිට කරන්න පුළුවන් මොනවාද?

5 යෙහෝවා දෙවි දීලා තියෙන ප්‍රමිති කැඩෙන්න පුළුවන් අවස්ථා ගැන හිතලා බලන එක හුඟක් වැදගත්. උදාහරණෙකට විවාහ වෙන්න ඉන්න දෙන්නෙක් එයාලා අතින් වරදක් වෙන්න පුළුවන් අවස්ථා ගැන මුල ඉඳන්ම කතා කරන එක ඥානවන්තයි. එහෙම කරද්දී සිප වැලඳගන්න එක, දෙන්නා එක්ක තනි වෙන එක වගේ දේවල් ගැන සීමා දාගන්න එයාලට පුළුවන්. (හිතෝ. 22:3) ව්‍යාපාර වැඩකට ගෙදරින් පිට යන්න වුණොත් නැත්නම් විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක වැඩ කරන්න වුණොත් වෙන්න පුළුවන් අනතුරු ගැනත් හිතන්න. (හිතෝ. 2:10-12, 16) ඒ වගේ අවස්ථාවලදී ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද? ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා අනිත් අයට කියන්න. ඔයාගේ හැසිරීම ගැන සැලකිලිමත් වෙන්න. කොයිම විදිහකින්වත් අනිත් අයගේ හැඟීම් අවුස්සන විදිහට හැසිරෙන්න එපා. එක වැරදි ඉඟියකින් වුණත් හරිම භයානක දෙයක් වෙන්න පුළුවන්. පාළුවක්, තනිකමක්, දුකක් දැනෙන අවස්ථාවලදීත් අපි පරෙස්සම් වෙන්න ඕනේ. මොකද ඒ වගේ වෙලාවට ආදරේ, සැලකිල්ල ඕනෙ කියලා තදින්ම දැනෙන්න පුළුවන්. ඒ නිසා ‘කවුරු වුණත් කමක් නැහැ එයා මට ආදරෙයිනේ’ කියලා හිතලා ඕනම කෙනෙක්ට ළං වෙන්න ඉඩ තියෙනවා. ඔයාටත් එහෙම දැනුණොත් යෙහෝවා දෙවිගෙන්, සභාවේ අයගෙන් උදව් ඉල්ලන්න. ඔයාගේ තෑග්ග නැති කරන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා.—ගීතාවලිය 34:18; හිතෝපදේශ 13:20 කියවන්න.

6. විනෝදයට කරන දේවල් තෝරගද්දී අපි මතක තියාගන්න ඕනෙ මොනවාද?

6 දුරාචාරයට පොලඹවන සිතුවිලි උගුල්ලලා දාන්න නම් විනෝදයට කරන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අද විනෝදයට අහන, බලන, කියවන ගොඩක් දේවල තියෙන්නේ සොදොම් සහ ගොමෝරා නගරවල තිබුණා වගේ හරිම පහත් දේවල්. (යූද් 7) හුඟක් චිත්‍රපටිවල, සිංදුවල, පොත්වල පෙන්නන්න හදන්නේ ඕනම දෙයක් කරලා ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න එකේ කිසිම වරදක් නැහැ කියලයි. ඒක එයාලට සාමාන්‍ය දෙයක්. මේ ලෝකේ ඉදිරිපත් කරන ඕනම දේකින් විනෝද වෙනවා වෙනුවට ඒකෙන් තෑග්ග ලබාගන්න අපිට බාධාවක් වෙයිද කියලා හිතලා බලමු.—හිතෝ. 4:23.

අනිත් අයට ආදරෙන්, කරුණාවෙන් සලකන්න

7. සභාවේ අය අතරේ මොන වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද?

7 ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් වෙන්න ලැබුණ එක ලොකු ආශීර්වාදයක්. රැස්වීම්වලදී දෙවි ගැන ඉගෙනගන්නත් එකිනෙකා එක්ක ආදරෙන්, සහයෝගයෙන් වැඩ කරන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. ඒ දේවල් තෑග්ග දිහා බලාගෙන ඉන්න මොන තරම් උදව්වක්ද! ඒත් සමහර අවස්ථාවලදී වැරදි වටහාගැනීම් නිසා අපි අතරෙත් ප්‍රශ්න ඇති වෙනවා. ඉක්මනටම ප්‍රශ්න විසඳගත්තේ නැත්නම් අපේ හිතේ අමනාපයක් ඇති වෙන්න පුළුවන්.—1 පේතෘස් 3:8, 9 කියවන්න.

8, 9. (අ) තෑග්ග දිනාගන්න උදව් වෙන්නේ මොන වගේ ගුණාංගද? (ආ) සහෝදරයෙක් අපේ හිත රිද්දුවොත් එයාට සමාව දෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

8 අමනාපයක් හිතේ තියාගෙන ඉන්න එක තෑග්ග දිනාගන්න බාධාවක්. ඒ බාධාව ජය ගන්නේ කොහොමද කියලා පාවුල් පැහැදිලි කළා. “දෙවි තෝරාගත් ශුද්ධ, ප්‍රේමණීය අය ලෙස ඉමහත් දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න. අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න. නමුත් ඒ සියල්ලට අමතරව ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි.”—කොලො. 3:12-14.

9 අනිත් අයට ආදරේ, කරුණාව පෙන්නනවා නම් එයාලට සමාව දෙන එකත් අමාරු නැහැ. කෙනෙක් කරපු, කියපු දේකින් හිත රිදුණා නම් ඔයාගේ අතිනුත් අනිත් අයගේ හිත කී පාරක් රිදිලා ඇතිද කියලා කල්පනා කරන්න. එයාලා ඔයාට සමාව දීලා ආදරේ, කරුණාව පෙන්නුව එක ඔයා අගය කරන්නේ නැද්ද? (දේශනාකාරයා 7:21, 22 කියවන්න.) අපි අතරේ තියෙන එක්සත්කම රැකගන්න යේසුස් අපිට උදව් කරනවා. ඒක අපි කොයි තරම් අගය කරන්න ඕනෙද! (කොලො. 3:15) අපි නමස්කාර කරන්නේ එකම දෙවිට. දේශනා කරන්නේ එකම පණිවිඩය. අපි මුහුණ දෙන ප්‍රශ්නත් එක වගේ. ඒ නිසා අනිත් අයට මුළු හදවතින්ම සමාව දෙමු. එතකොට අපි අතර තියෙන බැඳීම් ශක්තිමත් වෙනවා විතරක් නෙමෙයි දිගටම තෑග්ග දිහා බලාගෙන ඉන්නත් අපිට පුළුවන්.

10, 11. (අ) ඊර්ෂ්‍යාව හරිම භයානක දෙයක් කියන්නේ ඇයි? (ආ) අනිත් අයට ඊර්ෂ්‍යා නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද?

10 අපේ තෑග්ග අහිමි වෙන්න හේතු වෙන තවත් දෙයක් තමයි ඊර්ෂ්‍යාව. ඒක කොච්චර භයානක දෙයක්ද කියලා බයිබලෙත් පෙන්නනවා. කායින්ගේ හිතේ තිබුණ ඊර්ෂ්‍යාව නිසා ආබෙල්ව මරන්න පවා එයා පෙලඹුණා. කෝරා, දාතාන් සහ අබිරාම්, මෝසෙස්ට ඊර්ෂ්‍යා කරපු නිසා එයාට විරුද්ධව කැරලිගැහුවා. සාවුල්, දාවිත්ව මරන්න හැදුවෙත් එයා ගැන තිබුණ ඊර්ෂ්‍යාව නිසා. “ඊර්ෂ්‍යාව ඇති විවාදශීලී කෙනෙකු තුළ වියවුලද සියලු ආකාර පිළිකුල් දේවල්ද දක්නට ලැබේ” කියන දේ මොන තරම් ඇත්තක්ද!—යාකො. 3:16.

11 අනිත් අයට ආදරෙන්, කරුණාවෙන් සලකන්න වෑයම් කරන කෙනෙක්ගේ හිතේ ඊර්ෂ්‍යාවට කිසිම ඉඩක් නැහැ. බයිබලේ කියන්නේ ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත’ කියලයි. (1 කොරි. 13:4) ඊර්ෂ්‍යාව හිතෙන් උගුල්ලලා දාන්න නම් යෙහෝවා දෙවි වගේ දේවල් දිහා බලන්න අපිත් පුරුදු වෙන්න ඕනේ. සභාවේ ඉන්න හැමෝම එකම ශරීරයේ අවයව විදිහට සලකන්න උත්සාහ කරමු. “එක් අවයවයකට යම් ගෞරවයක් හිමි වන විට අන් සියලුම අවයවද එකට සතුටු වෙති” කියලා කියන දේත් හිතට ගමු. (1 කොරි. 12:16-18, 26) සභාවේ කෙනෙක්ට යම් වරප්‍රසාදයක් ලැබුණොත් ඊර්ෂ්‍යා නොකර ඒ ගැන සතුටු වෙන්න. සාවුල්ගේ පුතා යොනාතාන් අපිට ආදර්ශයක්. සාවුල්ගෙන් පස්සේ රජකම ලැබෙන්නේ දාවිත්ට කියලා දැනගත්තාම ඊර්ෂ්‍යා කරනවා වෙනුවට එයා දාවිත්ට උදව් කරලා දාවිත්ව දිරිමත් කළා. (1 සාමු. 23:16-18) යොනාතාන් වගේ වෙන්න ඔයාටත් පුළුවන්ද?

පවුලේ හැමෝම තෑග්ග දිනන්න නම් . . .

12. පවුලක් විදිහට තෑග්ග දිනාගන්න උදව් වෙන්නේ දෙවි දෙන මොන මඟ පෙන්වීම්ද?

12 පවුලේ හැමෝම දෙවි දෙන මඟ පෙන්වීම් අදාළ කරගද්දී පවුලේ සාමය, සතුට ඇති වෙනවා විතරක් නෙමෙයි හැමෝටම තෑග්ග දිනාගන්නත් ඒක උදව් වෙනවා. පාවුල් දුන්න මේ ඥානවන්ත උපදෙස බලන්න. ‘භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස එසේ කිරීම සුදුසුය. ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන් සමඟ අධික ලෙස කෝප නොවී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න. දරුවෙනි, සියලු කාරණාවලදී දෙමාපියන්ට කීකරු වන්න. එසේ කිරීමෙන් ස්වාමීන් සතුටු වෙයි. පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති නොකරන්න. මන්ද එසේ කිරීමෙන් ඔවුන් තුළ කලකිරීමක් ඇති වේ.’ (කොලො. 3:18-21) ඒ උපදෙස් ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ප්‍රයෝජනවත් කියලා හිතෙන්නේ නැද්ද?

13. සැමියාට දෙවි ගැන ඉගෙනගන්න ආසාවක් ඇති වෙන විදිහට වැඩ කරන්න බිරිඳකට පුළුවන් කොහොමද?

13 ඔයාගේ සැමියා දෙවිට නමස්කාර නොකරන කෙනෙක්ද? එයා ඔයාට හරියට සලකන්නේ නැහැ කියලා හිතෙනවාද? එහෙම වෙද්දී ඔයා එයාත් එක්ක තරහා වෙලා වාද කරන්නත් ඉඩ තියෙනවා. ඔයා වාද කරලා දිනුවත් ඒකෙන් එයා කවදා හරි දෙවිට නමස්කාර කරන්න කැමති වෙයි කියලා නම් හිතන්න බැහැ. ඒත් පවුලේ මූලිකයා විදිහට දෙන්න ඕනෙ ගෞරවය එයාට දෙනවා නම් පවුලේ සාමය රැකගන්නත් යෙහෝවා දෙවිට ගෞරවය දෙන්නත් ඔයාට පුළුවන්. සමහරවිට ඔයාගේ හොඳ හැසිරීම නිසා කවදා හරි දවසක දෙවිට සේවය කරන්න පවා එයා කැමති වෙයි. දෙන්නාම එකතු වෙලා තෑග්ග දිනාගද්දී ඒක මොන තරම් සතුටක් වෙයිද!—1 පේතෘස් 3:1, 2 කියවන්න.

14. දෙවිට නමස්කාර නොකරන ඔයාගේ බිරිඳ ඔයාට ගෞරවය දෙන්නේ නැත්නම් කරන්න පුළුවන් මොනවාද?

14 ඔයාගේ බිරිඳ දෙවිට සේවය නොකරන කෙනෙක්ද? සමහරවිට එයා ඔයාට ගෞරව කරන්නේ නැහැ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. එහෙම වෙලාවලදී එයාට කෑගහලා බැණලා ඔයාගේ බලය පෙන්නන්න හදන එකෙන් එයා ඔයාට ගෞරව කරයි කියලා හිතනවාද? යේසුස් සභාවේ හිස වුණත් ඔහු හැම තිස්සේම අනිත් අය ගැන ඉවසලා ආදරෙන් එයාලට සැලකුවා. (ලූක් 9:46-48) යේසුස්ව ආදර්ශයට අරන් බිරිඳට ආදරෙන් සලකයි කියලා යෙහෝවා දෙවි ඔයාගෙනුත් බලාපොරොත්තු වෙනවා. (එෆී. 5:23) එහෙම කරද්දී කවදා හරි දවසක ඔයාගේ බිරිඳටත් දෙවිට සේවය කරන්න ආසාවක් ඇති වෙන්න පුළුවන්.

15. බිරිඳට ආදරෙයි කියලා පෙන්නන්න සැමියෙක්ට පුළුවන් කොහොමද?

15 යෙහෝවා දෙවි ස්වාමිපුරුෂයන්ට කියන්නේ “භාර්යාවන් සමඟ අධික ලෙස කෝප නොවී ඔවුන්ට දිගටම ප්‍රේම කරන්න” කියලා. (කොලො. 3:19) ආදරණීය සැමියෙක් එයාගේ බිරිඳට ගෞරවයෙන් සලකනවා. බිරිඳ කියන දේවලට හොඳින් ඇහුම්කන් දෙද්දී සැමියෙක් පෙන්නන්නේ බිරිඳගේ අදහස් එයාට වටිනවා කියලා. (1 පේතෘ. 3:7) හැම වෙලේම බිරිඳ කියන විදිහටම දේවල් කරන්න බැරි වෙයි. ඒත් එයාට ඇහුම්කන් දෙන එක හොඳ තීරණ ගන්න සැමියෙක්ට උදව්වක්. (හිතෝ. 15:22) හොඳ සැමියෙක් ගෞරවය බලෙන් ලබාගන්නවා වෙනුවට ඒක දිනාගන්න වෑයම් කරනවා. සැමියෙක් බිරිඳටයි, දරුවන්ටයි ආදරෙන් සලකද්දී හැමෝටම එකතු වෙලා දෙවිට සතුටින් සේවය කරන්නත් තෑග්ග දිනාගන්නත් පුළුවන්.

පවුලේ ප්‍රශ්න තෑග්ග දිනාගන්න බාධාවක් කරගන්න එපා (13-15 ඡේද බලන්න)

යෞවනයෙනි, ඔයාගේ තෑග්ග නැති කරගන්න එපා

16, 17. දෙමාපියන් කියන දෙයක් නිසා ඔයාගේ හිත රිදුණොත් කරන්න පුළුවන් මොනවාද?

16 යෞවනයෙනි, දෙමාපියන් ඔයාලව තේරුම්ගන්නේ නැහැ කියලත් ඕනෑවට වඩා නීති දානවා කියලත් ඔයාලට හිතිලා තියෙනවාද? ඒ වගේ වෙලාවලදී දැනෙන දුක නිසා දෙවිට සේවය කරන එකෙනුත් වැඩක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒත් එහෙම හිතලා යෙහෝවා දෙවිව අත්හරින්න එපා. ඔයා එහෙම කළොත් කවදා හරි ඔයාට තේරෙයි දෙවිට ආදරේ කරන ඔයාගේ දෙමාපියෝ, සභාවේ ඉන්න යාළුවෝ තරම් වෙන කිසිම කෙනෙක් ඔයාට ආදරේ නැහැ කියලා.

17 හිතන්න, ඔයාගේ දෙමාපියන් කවදාවත් ඔයාගේ වරදක් පෙන්නලා දෙන්නේ නැහැ කියලා. එතකොට ඔයා කොහොමද එයාලා ඔයාට ආදරෙයි කියලා දැනගන්නේ? (හෙබ්‍රෙ. 12:8) දෙමාපියන් පරිපූර්ණ අය නෙමෙයි. ඒ නිසා හැම වෙලේම හරි විදිහටම එයාලා ඔයාව නිවැරදි කරයි කියලා හිතන්න එපා. ඔයාට දුකක් දැනුණත් තරහ ගන්නේ නැතුව ඉවසන්න. එයාලා එහෙම කියන්නේ ඇයි කියලා කල්පනා කරන්න. බයිබලේ කියන්නෙත් මෙහෙමයි. “දිව පාලනය කරගන්න තැනැත්තා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේය. වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසා කලබල නොවන්නේය.” (හිතෝ. 17:27) උපදෙස් කොයි විදිහට දුන්නත් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් ඒක පිළි අරන් අදාළ කරගන්නවා. එහෙම කෙනෙක් වෙන්න වෑයම් කරන්න. (හිතෝ. 1:8) ඔයාගේ දෙමාපියන් දෙවිට ආදරෙයි. එයාලා හැම දේම කරන්නේ ඔයා හැමදාම ජීවත් වෙනවා දකින්න ආස නිසා. ඒ වගේ දෙමාපියන් ඉන්න එක මිල කරන්න බැරි තෑග්ගක්.

18. තෑග්ග දිහාම බලාගෙන ඉන්න ඔයා අදිටන් කරගෙන ඉන්නේ ඇයි?

18 ඔයාගේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන එක වුණත් පොළොවේ ජීවත් වෙන එක වුණත් ඔයාට ලැබෙන්න තියෙන්නේ අනර්ඝ තෑග්ගක්. ඒ තෑග්ග දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ මුළු විශ්වයේම නිර්මාතෘ නිසා කවදාවත් ඒක බොරුවක් වෙන්නේ නැහැ. එදාට ‘ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී යනවා’ කියලත් දෙවි කියනවා. (යෙසා. 11:9) ළඟදීම පොළොවේ ඉන්න හැමෝටම යෙහෝවා දෙවිගෙන් ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේ කාලෙක ජීවත් වෙන්න අපි දරන වෑයම කවදාවත් අපතේ යන්නේ නැහැ. ඒ නිසා දෙවි ඔයාට දීලා තියෙන පොරොන්දුව නිතරම මනසේ තියාගන්න. කිසිම දෙයක් නිසා ඔයාගේ තෑග්ග නැති කරගන්න එපා!