Skip to content

පටුනට යන්න

ප්‍රීතිමත් හඬින් ගයන්න!

ප්‍රීතිමත් හඬින් ගයන්න!

“අපේ දෙවිට ප්‍රශංසා ගී ගැයීම කොතරම් අගනේද!”—ගීතා. 147:1.

ගීතිකා: 10, 2

1. ගීතිකා ගායනා කරන එක උදව් වෙන්නේ මොනවාටද?

“වචනවලට පුළුවන් සිතුවිලි මවන්න. සංගීතයට පුළුවන් හැඟීම් පුබුදුවන්න. හැබැයි ගීතයකට පුළුවන් හදවත ස්පර්ශ කරන්න” කියලා ප්‍රසිද්ධ ගීත රචකයෙක් කිව්වා. යෙහෝවා දෙවිට අපේ හිතේ තියෙන ආදරය කියන්න, ඔහුට ප්‍රශංසා කරන්න අපේ ගීතිකා මොන තරම් උදව්වක්ද! ගීතිකා කියද්දී අපි දෙවිට කොච්චර කිට්ටුද කියලා අපිට දැනෙනවා. තනියෙන් කිව්වත් සහෝදර සහොදරියන් එක්ක එකතු වෙලා කිව්වත් දෙවිට කරන නමස්කාරයේදී ගීතිකාවලට වැදගත් තැනක් හිමි වෙන්නේ ඇයි කියලා ඒකෙන් පැහැදිලියි.

2, 3. (අ) රැස්වීම්වලදී හඬ නඟලා ගීතිකා කියන එක ගැන සමහරුන්ට හැඟෙන්නේ කොහොමද? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

2 රැස්වීම්වලදී හඬ නඟලා ගීතිකා කියන එක ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? එහෙම කියන්න ඔයාට ලැජ්ජා හිතෙනවාද? සමහර සංස්කෘතීන්වල පිරිමි අය අනිත් අය ඉස්සරහා ගීත ගායනා කරන්න කැමති නැහැ. ඒ වගේ ආකල්ප නිසා මුළු සභාවම අධෛර්යය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වැඩිමහල්ලන් ගීතිකා කියන්න අදිමදි කරනවා නම්, ඒ වෙලාවේ සභාවේ වෙන වැඩක් කරනවා නම් ඒක හොඳ ආදර්ශයක් නෙමෙයි.—ගීතා. 30:12.

3 ගීතිකා ගායනා කරන එක දෙවිට නමස්කාර කරන්න පුළුවන් ප්‍රධාන විදිහක්. ඒ නිසා ගීතිකාව අතරතුරේ එහෙ මෙහෙ යන්නේ නැතුව ඉන්නත් කියන හැම ගීතිකාවකටම හවුල් වෙන්නත් අදිටන් කරගමු. මේ ප්‍රශ්න ගැන හිතන එක ඒකට උදව්වක්. ‘රැස්වීම්වලදී ගීතිකා ගායනා කරන එක ගැන මට දැනෙන්නේ කොහොමද? අනිත් අය ඉස්සරහා ගීතිකා කියන්න ලැජ්ජයි නම් කරන්න පුළුවන් මොනවාද? හැඟීමෙන් ගීතිකා කියන්න පුළුවන් කොහොමද?’

සැබෑ නමස්කාරයේ ගීතිකාවලට හිමි තැන

4, 5. ගීතිකා ගායනා කරන්න අතීතයේදී තිබුණේ මොන වගේ සැලසුම්ද?

4 අතීතයේ ඉඳන් යෙහෝවා දෙවිගේ සේවකයන් ඔහුට ප්‍රශංසා කරන්න සංගීතය යොදාගත්තා. ඊශ්‍රායෙල්වරු දෙවිට විශ්වාසවන්තව හිටපු කාලෙදී ගීතිකා ගායනා කරන එක එයාලගේ නමස්කාරයේ ප්‍රධාන දෙයක් වුණා. උදාහරණෙකට දාවිත් දේවමාලිගාව වෙනුවෙන් දේවල් සැලසුම් කරද්දී සංගීත භාණ්ඩ වාදනය කරන්න ලෙවීවරුන් 4,000ක් පත් කළා. ඒ අයගෙන් 288දෙනෙක් “යෙහෝවා දෙවිට ගී ගැයීම සඳහා හොඳින් පුහුණුව ලබපු” අය.—1 ලේක. 23:5; 25:7.

5 දේවමාලිගාව කැප කරද්දීත් සංගීතයට හා ගායනයට තිබුණේ ප්‍රධාන තැනක්. ඒ අවස්ථාවේදී ඊශ්‍රායෙල්වරු ‘හොරණෑ පිඹිමින්, ගායනා කරමින් එක හඬින් යෙහෝවා දෙවිට ස්තුති ප්‍රශංසා කළා. සංගීත භාණ්ඩ වාදනය කරමින් එයාලා දෙවිට ප්‍රශංසා කළ විගස යෙහෝවා දෙවිගේ තේජසින් මුළු ගෘහයම පිරී ගියා.’ එදා ඊශ්‍රායෙල්වරුන්ගේ විශ්වාසය මොන තරම් ශක්තිමත් වෙන්න ඇද්ද!—2 ලේක. 5:13, 14; 7:6.

6. යෙරුසලමේ ආණ්ඩුකාරයා විදිහට ඉද්දී දෙවිට ප්‍රශංසා කරන්න නෙහෙමියා මොන වගේ සැලසුම් යෙදුවාද?

6 නෙහෙමියා යෙරුසලමේ පවුරු ආයෙත් ගොඩනඟන්න සැලසුම් කරද්දී තව විශේෂ දෙයක් සංවිධානය කළා. ඒ තමයි සංගීත භාණ්ඩ වාදනය කරන්න, ගී ගයන්න ලෙවීවරුන්ව සූදානම් කරපු එක. පවුර කැප කරපු අවස්ථාවේ නෙහෙමියා දෙවිට “ස්තුති ප්‍රශංසා ඔප්පු කරන්න ගායක කණ්ඩායම් දෙකක්” පත් කරලා තිබුණා. පවුර දිගේ ප්‍රතිවිරුද්ධ දිශාවලින් ඇවිත් දේවමාලිගාව ළඟදී මුණගැහුණ ඒ කණ්ඩායම් දෙකේ ගී හඬ ඈතට විහිදී ගියා. ඒ හඬ ඇහෙද්දී ඊශ්‍රායෙල්වරුන්ගේ සතුට දෙගුණ තෙගුණ වුණා කියලා කිසිම සැකයක් නැහැ. (නෙහෙ. 12:27, 28, 31, 38, 40, 43) තමන්ගේ සේවකයන් උද්‍යෝගයෙන් ප්‍රශංසා ගී ගයද්දී යෙහෝවා දෙවිට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද!

7. යේසුස්ගේ අනුගාමිකයනුත් ගීතිකා කියන එක වැදගත් දෙයක් විදිහට සලකන්න ඕනෙ කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?

7 යේසුස්ගේ කාලේ වෙද්දීත් සංගීතයට වැදගත් තැනක් හිමි වුණා. මිනිස් ඉතිහාසයේ වැදගත්ම දවසේ සිද්ධ වුණ දේවල් මතකද? යේසුස් ඔහුගේ ගෝලයන්ට ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වා දුන්නාට පස්සේ එයාලා හැමෝම එකතු වෙලා යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගායනා කළා.—මතෙව් 26:30 කියවන්න.

8. ප්‍රශංසා ගී ගායනා කරන එක ගැන මුල් ක්‍රිස්තියානීන් ආදර්ශයක් වුණේ කොහොමද?

8 දෙවිට ප්‍රශංසා ගී ගායනා කරන එක සම්බන්ධයෙන් මුල් ක්‍රිස්තියානීන් හොඳ ආදර්ශයක් වුණා. ඊශ්‍රායෙල්වරුන්ට වගේ එයාලට නමස්කාර කරන්න දේවමාලිගාවක් තිබුණේ නැහැ. එයාලා රැස් වුණේ ගෙවල්වල. ඒ ගෙවල් දේවමාලිගාව තරම් අලංකාර නොවුණත් උද්‍යෝගයෙන් ගීතිකා කියන්න ඒක සහෝදරයන්ට බාධාවක් වුණේ නැහැ. පාවුල් එයාලට මෙහෙම උනන්දු කළා. “ගීතිකාවලින්ද දෙවිට ස්තුති ප්‍රශංසා ඔප්පු කිරීමෙන්ද ඔහුට මියුරු ගීත ගයමින්ද එකිනෙකාට උගන්වා මඟ පෙන්වීම් ලබා දෙන්න. එසේ ඔබේ මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ගී ගයන්න.” (කොලො. 3:16) අපිත් ලොකු අගයකින් ගීතිකා ගායනා කරන්න ඕනේ. මොකද ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයා නියම වේලාවට’ දෙන ආහාරවලට ගීතිකාත් ඇතුළත්.—මතෙ. 24:45.

බය නැතුව ගායනා කරන්න

9. (අ) සමහරු රැස්වීම්වලදී, සමුළුවලදී හඬ නඟලා ගීතිකා කියන්න අදිමදි කරන්නේ ඇයි? (ආ) ප්‍රශංසා ගී ගයද්දී අපි මතක තියාගන්න ඕනෙ මොනවාද? ඒකට පෙරමුණ ගන්න ඕනෙ කවුද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

9 හඬ නඟලා ගීතිකා කියන්න සමහරු අදිමදි කරනවා. ඔයාත් එහෙම කෙනෙක්ද? සමහරවිට ඔයාගේ පවුලේ පසුබිම, සංස්කෘතිය නිසා ගායනා කරන එක ඔයාට නුහුරු ඇති. එහෙම නැත්නම් ඔයාගේ කටහඬ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් එක්ක සන්සන්දනය කරලා ඔයාට ගායනා කරන්න බැහැ කියලා හිතනවා ඇති. ඒත් අපි මතක තියාගන්න ඕනෙ යෙහෝවා දෙවිට ප්‍රශංසා ගීතිකා ගායනා කරන එක අපි හැමෝගෙම වගකීමක් කියලා. ඒ නිසා ගීතිකා පොත උඩට උස්සලා, ඔළුව කෙළින් තියාගෙන උද්‍යෝගයෙන් ගීතිකා ගයමු. (එස්රා 3:11; ගීතාවලිය 147:1 කියවන්න.) හුඟක් නමස්කාර මධ්‍යස්ථානවල අපේ ගීතිකාවල පද මාලාව ස්ක්‍රීන් එකේ පෙන්නන නිසා උද්‍යෝගයෙන් ගායනා කරන්න අපිට පහසුයි. වැඩිමහල්ලන් සඳහා තියෙන පාසැලෙත් ගීතිකා ගායනා කරන්න මෑතක ඉඳන් සැලසුම් යොදලා තියෙනවා. ඒකෙන් තේරෙන්නේ රැස්වීම්වලදී ගීතිකා ගායනා කරන්න වැඩිමහල්ලන් පෙරමුණ ගන්න එක කොච්චර වැදගත්ද කියලා.

10. හඬ නඟලා ගීතිකා කියන්න බය නම් අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

10 ගොඩක් අය හඬ නඟලා ගීතිකා කියන්න බයයි. මොකද එයාලා හිතනවා එහෙම කියද්දී ඒක අනිත් අයට කරදරයක් වෙයි කියලා. නැත්නම් එයාලට හොඳ කටහඬක් නැහැ කියලා. ඒත් මෙහෙම හිතන්න. සාමාන්‍යයෙන් කතා කරද්දී ඕනම කෙනෙක්ට වරදින්නේ නැද්ද? (යාකො. 3:2) එහෙමයි කියලා අපි කතා කරන එක නවත්තනවාද? එහෙමනම් දුර්වල කටහඬක් තිබ්බා කියලා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න තියෙන අවස්ථාව අපි නැති කරගන්නේ ඇයි?

11, 12. ගායන හැකියාව දියුණු කරගන්න පුළුවන් කොහොමද?

11 අපි ගීතිකා කියන්න බය වෙන්නේ හරියටම ගායනා කරන්න දන්නේ නැති නිසා වෙන්න පුළුවන්. ගායන හැකියාව දියුණු කරගන්න අපිට කරන්න පුළුවන් පුංචි දේවල් කීපයක් තියෙනවා. *

12 හුස්ම ගන්න විදිහ පාලනය කරන්න ඉගෙනගත්තොත් ශබ්ද නඟලා ප්‍රාණවත්ව ගායනා කරන්න ඔයාටත් පුළුවන්. බල්බ් එකක් දැල්වෙන්නේ විදුලි බලයෙන්. ඒ වගේ අපි ගන්න හුස්මෙන් තමයි අපේ කටහඬ ප්‍රාණවත් වෙන්නේ. ඔයා සාමාන්‍යයෙන් කතා කරන ශබ්දයෙන්ම නැත්නම් ඊට වඩා වැඩි ශබ්දයකින් ගායනා කරන්න උත්සාහ කරන්න. (‘දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු’ පොතේ 181-184 පිටුවල තියෙන “ඔබේ හුස්මගැනීම නිසි ලෙස පාලනය කිරීම” කියන උපමාතෘකාව බලන්න.) දෙවිට ප්‍රශංසා ගී ගයද්දී “ප්‍රීති ඝෝෂා නඟන්න” කියලා බයිබලෙත් උනන්දු කරනවා.—ගීතා. 33:1-3.

13. බය නැතුව ගායනා කරන්න උදව් වෙන්නේ මොනවාද?

13 පවුලේ නමස්කාරයේදී නැත්නම් ඔයා තනියම ඉන්න වෙලාවක මෙහෙම කරලා බලන්න. ඔයා ආසම ගීතිකාවක් තෝරගන්න. ශබ්ද නඟලා පද මාලාව කියවන්න. ඊටපස්සේ හොඳ හුස්මක් අරන් එක පද මාලාවක් එක හුස්මට ඒ ශබ්දයෙන්ම කියන්න. දැන් ඒ පද මාලාව ඒ හඬින්ම ගායනා කරන්න. (යෙසා. 24:14) දිගටම එහෙම කරද්දී ප්‍රබල හඬකින් ගායනා කරන්න ඔයාට පුළුවන් වෙයි. ඒ ගැන බය වෙන්න, ලැජ්ජා වෙන්න එපා.

14. (අ) හොඳට කට ඇරලා ගායනා කරන්න ඕනෙ ඇයි? (“ ගායන හැකියාව දියුණු කරගන්න නම් . . . ” යන කොටුව බලන්න.) (ආ) ඔයාගේ කටහඬේ තියෙන දුර්වල පැති හදාගන්න උදව් වෙන යෝජනා මොනවාද?

14 ප්‍රාණවත් හඬකින් ගායනා කරන්න නම් කට හොඳට ඇරලා ගායනා කරන්න ඕනේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඔයා කතා කරද්දී කට අරිනවාට වඩා වැඩියෙන් ගායනා කරද්දී කට අරින්න උත්සාහ කරන්න. ඒත් ඔයාට හිතෙනවා නම් ඔයාගේ කටහඬ දුර්වලයි නැත්නම් ඔයා ගායනා කරන්නේ ඉහළ ස්වරයෙන් කියලා මොකද කරන්නේ? ඒකට උදව් වෙන යෝජනා කීපයක් ‘දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු’ පොතේ 184වෙනි පිටුවේ තියෙන “සුවිශේෂ ගැටලු ජයගැනීම” කියන කොටුවේ තියෙනවා.

මුළු හදින්ම ප්‍රශංසා ගී ගයන්න

15. (අ) 2016 වාර්ෂික රැස්වීමේදී දුන්න නිවේදනය මොකක්ද? (ආ) ගීතිකා පොත සංශෝධනය කළේ ඇයි?

15 2016 වාර්ෂික රැස්වීමේදී පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ලෙට් ‘යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු’ කියන අලුත් ගීතිකා පොත හඳුන්වලා දෙද්දී හැමෝම සතුටු වුණා. සහෝදර ලෙට් පැහැදිලි කරපු විදිහට ගීතිකා පොත සංශෝධනය කරන්න එක හේතුවක් වුණේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ‘නව ලොව පරිවර්තනය’ 2013දී සංශෝධනය කරපු එක. ‘නව ලොව පරිවර්තනයෙන්’ අයින් කරපු යෙදුම් අලුත් ගීතිකා පොතෙනුත් අයින් කරලා තියෙනවා. ඒ වගේම අලුත් ගීතිකා පොතට දේශනා සේවය, යේසුස්ගේ ජීවිත පූජාව ගැන කියවෙන ගීතිකාත් එකතු කරලා තියෙනවා. ගීතිකා ගායනා කරන එක සැබෑ නමස්කාරයේ වැදගත් අංගයක් වෙන නිසා පාලක මණ්ඩලයට ඕනෙ වුණා කාලයක් තිස්සේ පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ගීතිකා පොතක් මුදාහරින්න. ඒ නිසයි අලුත් ගීතිකා පොතේ කවරය ‘නව ලොව පරිවර්තනයේ’ කවරයට සමාන වෙන්න සකස් කරලා තියෙන්නේ.

16, 17. අලුත් ගීතිකා පොතේ කරලා තියෙන තවත් වෙනස්කම් මොනවාද?

16 ගීතිකා පොතේ එක එක විෂයන්ට අනුව ගීතිකා වෙන් කරලා තියෙනවා. ඒ විෂයන් සූචියෙන් බලන්න පුළුවන්. උදාහරණෙකට මුල් ගීතිකා 12 තියෙන්නේ යෙහෝවා දෙවි ගැන. ඊළඟ ගීතිකා 8න් කියවෙන්නේ යේසුස් ගැන සහ ජීවිත පූජාව ගැනයි. ඒක නිසා ලේසියෙන්ම සූචිය බලලා තමන් දෙන බයිබල් දේශනයට ගැළපෙන ගීතිකාවක් තෝරගන්න සහෝදරයන්ට පුළුවන්.

17 ගීතිකාවල පාවිච්චි කරලා තියෙන්නේ හරිම සරල වචන. ඒ නිසා ගීතිකාවෙන් දෙන පණිවිඩය හොඳට තේරුම්ගන්න පුළුවන්. හැමෝටම මුළු හදවතින්ම ගායනා කරන්න ඒක උදව්වක්. ඒ වගේම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැති වචන ගීතිකාවලින් අයින් කරලා තියෙනවා. සමහර ගීතිකාවල මාතෘකාව පවා වෙනස් කරලා. උදාහරණෙකට “ඔබේ සිත රැකගන්න” කියන මාතෘකාව “අපේ සිත ආරක්ෂා කරගමු” කියලා වෙනස් කරලා තියෙනවා. එහෙම කළේ ඒ ගීතිකාව කියද්දී අනිත් අයට උපදෙස් දෙන විදිහට කියනවා වෙනුවට ඒකේ තියෙන දේවල් අපි හැමෝම අදාළ කරගන්න ඕනෙ කියන දේ කාවද්දන්නයි.

පවුලේ නමස්කාරයේදී ගීතිකා පුරුදු වෙන්න (18 ඡේදය බලන්න)

18. අලුත් ගීතිකාවලට හුරු වෙන්න ඕනෙ ඇයි? (පාදසටහනත් බලන්න.)

18 අලුත් ගීතිකා පොතේ ගොඩක් ගීතිකා ලියලා තියෙන්නේ දෙවිට කරන යාච්ඤා වගේ. ඒ නිසා ඔයාට දැනෙන දේ දෙවිට කියන්න ඒ ගීතිකා උදව් වෙයි. “ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට” අපිව පොලඹවන ගීතිකාත් තියෙනවා. (හෙබ්‍රෙ. 10:24) ඒ නිසා ගීතිකාවල තාලයට, රිද්මයට, වචනවලට හුරු වෙන්න උත්සාහයක් ගන්න එක වටිනවා. ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි jw.org වෙබ් අඩවියේ තියෙන පටිගත කරපු අලුත් ගීතිකා අහන එක. ඔයා ගෙදරදී ගීතිකා කියන්න පුරුදු වෙනවා නම් බය නැතුව, හැඟීමෙන් ගීතිකා කියන්න ඔයාටත් පුළුවන් වෙයි. *

19. දෙවිට නමස්කාර කරන්න සභාවේ ඉන්න අපි හැමෝටම හවුල් වෙන්න පුළුවන් කොහොමද?

19 යෙහෝවා දෙවිට කරන නමස්කාරයේදී ගීතිකාවලට තියෙන්නේ විශේෂ තැනක්. ගීතිකා ගායනා කරද්දී අපේ ආදරේ දෙවිට කියන්න, ඔහු අපි වෙනුවෙන් කරලා තියෙන දේවලට අගය පෙන්නන්න අපිට හොඳ අවස්ථාවක් ලැබෙනවා. (යෙසායා 12:5 කියවන්න.) ඔයා උද්‍යෝගයෙන් ගීතිකා කියද්දී අනිත් අයත් එහෙම කරන්න පෙලඹෙයි. ඔයා යෞවනයෙක් වුණත්, මහලු කෙනෙක් වුණත්, අලුත් කෙනෙක් වුණත් ප්‍රීතිමත් හඬින් ගී ගයලා දෙවිට නමස්කාර කරන්න ඔයාටත් පුළුවන්. අදිමදි කරන්නේ නැතුව මුළු හදවතින්ම “යෙහෝවා දෙවිට ගී ගයන්න.” දෙවිට ප්‍රශංසා කරන්න ඔයාගේ ප්‍රීතිමත් හඬත් එක් කරන්න.—ගීතා. 96:1.

^ 11 ඡේ. ගායන හැකියාව දියුණු කරගන්න යෝජනා කීපයක් 2014 දෙසැම්බර් JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනේ තියෙනවා (ඉංග්‍රීසියෙන්) (වීඩියෝ යටතේ ඇති ස්ටූඩියෝ එකෙන්).

^ 18 ඡේ. හැම සමුළුවකම සැසිවාරයක් පටන්ගන්න කලින් පටිගත කළ සංගීතයකට විනාඩි 10කට සවන් දෙන්න අවස්ථාව තියෙනවා. ගායනා කරන්න ආසාවක් ඇති කරගන්නත් සමුළුවේ දේශනවලට හොඳ අවධානයක් දෙන්නත් ඒක අපිට උදව් වෙනවා. ඒ නිසා අපි හැමෝම සංගීතය පටන්ගන්න කලින් වාඩි වෙලා ඒකට හොඳින් සවන් දෙන එක වැදගත්.