Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිව ඔයාගේ රැකවරණය කරගන්න

යෙහෝවා දෙවිව ඔයාගේ රැකවරණය කරගන්න

“යෙහෝවා දෙවි තම සේවකයන්ගේ ජීවිත බේරාගන්නේය. ඔහුගේ රැකවරණය පතන කිසිවෙක් දඬුවම් නොලබන්නේය.”—ගීතා. 34:22.

ගීතිකා: 8, 54

1. පාපය උරුම වෙලා තියෙන නිසා අපෙන් වැඩිදෙනෙක්ට හැඟෙන්නේ කොහොමද?

“මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද!” (රෝම 7:24) එහෙම කිව්වේ පාවුල්. ඔයාටත් එහෙම හැඟිලා තියෙනවාද? දෙවිව සතුටු කරන්න අපිට කොච්චර ආසාවක් තිබුණත් ඒක කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. එහෙම වෙලාවලදී අපි කලකිරෙනවා. සමහරවිට අපි අතින් වෙලා තියෙන බරපතළ වරදක් නිසා දෙවි කවදාවත් සමාව දෙන එකක් නැහැ කියලා හිතෙන්නත් පුළුවන්.

2. (අ) වෙච්ච වරදක් ගැන හිතහිත දුක් විඳින්න ඕනෙ නැහැ කියලා ගීතාවලිය 34:22 පෙන්නන්නේ කොහොමද? (ආ) මේ ලිපියෙන් අපි ඉගෙනගන්නේ මොනවාද? (“ පාඩම්ද නැත්නම් යමක් නියෝජනය වෙනවාද?” යන කොටුව බලන්න.)

2 අපි යෙහෝවා දෙවිව අපේ රැකවරණය කරගන්නවා නම් වෙච්ච වරදක් ගැන හිතහිත දුක් විඳින්න ඕනෙ නැහැ කියලා බයිබලයේ අපිට කියනවා. (ගීතාවලිය 34:22 කියවන්න.) දෙවිව රැකවරණය කරගන්නවා කියන්නේ මොකක්ද? දෙවිගෙන් සමාව ලබාගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? අතීතයේදී දෙවි ආරක්ෂිත නුවරවල් පිහිටුවලා ඇති කරපු සැලැස්ම ගැන ඉගෙනගද්දී ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න අපිට පුළුවන්. නීතිය යටතේ තිබුණ ඒ සැලැස්ම ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී අවසන් වුණා. ඒත් ඒ සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවි. ඒ නිසා වැරදි ගැන, වරදක් කරපු කෙනෙක් ගැන, පසුතැවිලි වෙන කෙනෙක් ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ඒ සැලැස්ම අපිට උදව් කරනවා. ඊට කලින් ආරක්ෂිත නුවරවල් තිබුණේ ඇයි කියලත් ඒවාවලින් ඉටු වුණ කාර්යය ගැනත් බලමු.

නගර කීපයක් වෙන් කරන්න

3. මිනී මරුවෙක්ට මොනවා කරන්න කියලාද නීතියේ තිබුණේ?

3 යෙහෝවා දෙවිට ජීවිතය අනර්ඝයි. ජීවිතයක් නැති කරන එක දෙවි සැලකුවේ බරපතළ වරදක් විදිහට. ඒ නිසයි කෙනෙක් තව කෙනෙක්ව මැරුවොත් මිය ගිය කෙනාගේ ළඟම නෑයෙක්ට මිනී මරුවාව මරන්න නීතියෙන් අවසර තිබුණේ. (ගණන්. 35:19) ජීවිතයක් නැති කළොත් ඒ වෙනුවෙන් ජීවිතයක් දෙන්න ඕනෙ කියලා දෙවි බලාපොරොත්තු වුණා. ඒ නීතිය නිසා නැති කරපු ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න මිනී මරුවාට සිද්ධ වුණා. එහෙම නොකළොත් “දේශය දූෂ්‍ය වෙනවා” කියලා දෙවි කිව්වා.—ගණන්. 35:33, 34.

4. අත්වැරදීමකින් තව කෙනෙක්ගේ ජීවිතයක් නැති වුණොත් කරන්න ඕනෙ මොකක්ද?

4 හිතන්න, අත්වැරදීමකින් කෙනෙක් අතින් තව කෙනෙක් මැරුණා කියලා. ඒක අත්වැරදීමක් වුණත් නැති වෙච්ච ජීවිතේ ආයේ ගන්න බැහැ. ඒ ජීවිතේට එයා වග කියන්න ඕනේ. (උත්. 9:5) ඒත් එහෙම කෙනෙක්ට දයාව පෙන්නන්න යෙහෝවා දෙවි සැලැස්මක් ඇති කරලා තිබුණා. මැරුණ කෙනාගේ ළඟම නෑයාගෙන් තමන්ගේ ජීවිතේ බේරගන්න දේශයේ තිබුණ ආරක්ෂිත නුවරවල් 6න් එකකට පලා යන්න එයාට පුළුවන්කම තිබුණා. හැබැයි උත්තම පූජකයා මැරෙන කල් එයා ජීවත් වෙන්න ඕනෙ ඒ නුවරේ.—ගණන්. 35:15, 28.

5. ආරක්ෂිත නුවරවල් ගැන ඉගෙනගද්දී දෙවිව තවත් හොඳින් දැනගන්න පුළුවන් කොහොමද?

5 ආරක්ෂිත නුවරවල් පිහිටුවන සැලැස්ම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මිනිස්සු ඇති කරගත්ත එකක් නෙමෙයි. “දේශයේ නගර කිහිපයක් ආරක්ෂිත නුවරවල් වශයෙන් වෙන් කරගන්න” කියලා ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ දෙවි. (යොෂු. 20:1, 2, 7, 8) ඒ සැලැස්ම නිසා දෙවි සමාව දෙන විදිහ ගැන තව හොඳින් තේරුම්ගන්න අපිට පුළුවන් කොහොමද? යෙහෝවා දෙවිව රැකවරණය කරගන්න අපිට පුළුවන් කොහොමද?

වරද වැඩිමහල්ලන්ට කියන්න

6, 7. (අ) අත්වැරදීමකින් මිනී මැරුමක් වුණ කෙනෙක් එක්ක වැඩිමහල්ලන් කටයුතු කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) ඒ වගේ කෙනෙක් වැඩිමහල්ලන් එක්ක කතා කරන එක ඥානවන්ත දෙයක් කියන්නේ ඇයි?

6 අත්වැරදීමකින් කෙනෙක් අතින් මිනී මැරුමක් වුණොත් එයා ආරක්ෂිත නුවරකට පලා යන්න ඕනෙ වගේම නුවරේ දොරටුව අසලදී ‘වැඩිමහල්ලන්ට තමා අතින් සිදු වුණ දේ කියන්න ඕනේ.’ එතකොට නුවරේ වැඩිමහල්ලන් එයාව නුවරට පිළිගන්නවා. (යොෂු. 20:4) ඊටපස්සේ එයාව විනිශ්චය කරන්න මිනී මැරුම වුණ නගරයේ වැඩිමහල්ලන් ළඟට යවනවා. (ගණන් කතාව 35:24, 25 කියවන්න.) මිනී මැරුම අත්වැරදීමකින් වුණ එකක් කියලා ඒ වැඩිමහල්ලන් තීරණය කළොත් එයාව ආයෙත් ආරක්ෂිත නුවරට එවනවා.

7 තමන් අතින් වුණ දේ ගැන වැඩිමහල්ලන්ට කියන්න ඕනෙ ඇයි? සෙනඟ අතරේ අපවිත්‍ර දෙයක් වෙද්දී ඒක නිවැරදි කරන වගකීම තිබුණේ වැඩිමහල්ලන්ට. යෙහෝවා දෙවිගෙන් සමාව ලබාගන්න වරදකරුට උදව් කරන්නත් එයාලට පුළුවන්. බයිබල් විශාරදයෙක් මෙහෙම කිව්වා. “වරදකරුවෙක් වැඩිමහල්ලන් ළඟට ගියේ නැත්නම් එයාගේ ජීවිතේ නැති වෙන්න ඉඩ තිබුණා. එහෙම වුණා නම් ඒකට වග කියන්න ඕනෙ එයාමයි. මොකද දෙවි කියලා තිබුණ දේට එයා අකීකරු වුණා.” අත්වැරදීමකින් මිනී මැරුමක් වුණ කෙනෙක්ට තමන්ගේ ජීවිතේ බේරගන්න අවස්ථාව තිබුණේ එයා උදව් ඉල්ලලා ඒවා පිළිගන්නවා නම් විතරයි. ආරක්ෂිත නුවරකට පලා ගියේ නැත්නම් මැරුණ කෙනාගේ ළඟම නෑයෙක්ට එයාව මරන්න අවසර තිබුණා.

8, 9. බරපතළ වරදක් කරපු කෙනෙක් වැඩිමහල්ලන්ට ඒ ගැන කියන්න ඕනෙ ඇයි?

8 අදත් කෙනෙක් අතින් බරපතළ වරදක් වුණාම ඒ ගැන එයා වැඩිමහල්ලන්ට කියන්න ඕනේ. එහෙම කරන්න ඕනෙ ඇයි? (1) බරපතළ වරදක් වුණාම ඒක විනිශ්චය කරන වගකීම යෙහෝවා දෙවි වැඩිමහල්ලන්ට පවරලා තියෙනවා. (යාකො. 5:14-16) (2) පසුතැවෙන කෙනාට ආයෙත් දෙවිගේ අනුමැතිය ලබාගන්න උදව් කරන්නත් ඒ වරද ආයේ නොකර ඉන්න එයාට උදව් කරන්නත් වැඩිමහල්ලන්ට පුළුවන්. (ගලා. 6:1; හෙබ්‍රෙ. 12:11) (3) ඒ වගේ කෙනෙක්ට දෙවිගේ ආදරය දැනෙන්න සලස්වන්න වැඩිමහල්ලන්ව හොඳින් පුහුණු කරලා තියෙනවා. ඒක එයාට උදව් වෙනවා දුකෙන්, හිතේ තියෙන බරෙන් නිදහස් වෙන්න. “කුණාටුවෙන් සැඟවීමට රක්ෂස්ථානයක්” විදිහට දෙවි වැඩිමහල්ලන්ව හඳුන්වලා තියෙන්නේ හොඳ හේතු ඇතුව. (යෙසා. 32:1, 2) යෙහෝවා දෙවි මොන තරම් දයාන්විත කෙනෙක්ද කියලා ඒ සැලැස්මෙන් පැහැදිලි වෙන්නේ නැද්ද?

9 වැඩිමහල්ලන් එක්ක කතා කරලා එයාලගේ උදව් ගන්න එකෙන් ලොකු සැනසීමක් ලැබෙනවා කියලා ගොඩක් අය අද්දැකලා තියෙනවා. ඩැනියෙල්ගේ අද්දැකීම බලන්න. එයාගේ අතින් බරපතළ වරදක් වුණත් මාස ගාණක් යන කල් එයා වැඩිමහල්ලන්ට ඒ ගැන කිව්වේ නැහැ. ඒ ගැන එයා කියන්නේ මෙහෙමයි. “ඒක වෙලා සෑහෙන දවසක් ගිහින් තිබුණ නිසා මං හිතුවේ වැඩිමහල්ලන්ට මට උදව් කරන්න බෑ කියලා.” හැබැයි එයා හිටියේ එයා කරපු වරද ගැන කවුරු හරි දැනගනියිද කියන බයෙන්. එයා කරපු හැම යාච්ඤාවකදීම මුලින්ම එයාගේ වරදට සමාව ඉල්ලන්න ඕනෙ කියලත් එයාට හිතුණා. අන්තිමේදී එයා වැඩිමහල්ලන් ළඟට ගියා. “එයාලා එක්ක කතා කළාට පස්සේ මට දැනුණේ කාලයක් තිස්සේ මං උහුලගෙන හිටපු ලොකු බරක් එයාලා මගෙන් නිදහස් කළා වගේ.” ඩැනියෙල්ට දැන් නිදහසේ යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න පුළුවන්. එයාගේ හිත එයාට වධ දෙන්නේ නැහැ. දැන් එයා සහායක සේවකයෙක් විදිහට සේවය කරනවා.

ආරක්ෂිත නුවරකට පලා යන්න ඕනේ

10. සමාව ලබාගන්න නම් වරදකරුවෙක් කරන්න ඕනෙ වුණේ මොකක්ද?

10 සමාව ලබාගන්න නම් වරදකරුවෙක් පුළුවන් තරම් ඉක්මනට ළඟම තියෙන ආරක්ෂිත නුවරකට යන්න ඕනෙ වුණා. (යොෂුවා 20:4 කියවන්න.) එයාගේ ජීවිතේ බේරුණේ ආරක්ෂිත නුවරට ගිහින් උත්තම පූජකයා මැරෙන කල් ඒ නුවරේ හිටියොත් විතරයි. ඒ කියන්නේ සමාව ලබාගන්න එයාගේ පැත්තෙන් කැප කිරීම් කරන්න වුණා කියන එකයි. එයා කරකර හිටපු රැකියාව, එයාගේ නිවස, ඕනම තැනකට යන්න එයාට තිබුණ නිදහස නැති වුණා. * (ගණන්. 35:25) ඒ ඕනම කැප කිරීමකටම වඩා එයාගේ ජීවිතේ වටින්නේ නැද්ද? හිතන්න, එයා ආරක්ෂිත නුවර අත්හැරලා යන්න තීරණය කළා කියලා. එහෙම කළොත් එයා පෙන්නන්නේ එයාගේ අතින් නැති වුණ ජීවිතේ ගැන එයාට කිසිම ගානක් නැහැ කියලා. ඒකෙන් එයා එයාගේ ජීවිතෙත් අනතුරේ දානවා.

11. දෙවි පෙන්නන දයාව අගය කරනවා කියලා පසුතැවිලි වෙන කෙනෙක්ට පෙන්නන්න පුළුවන් කොහොමද?

11 අදත් දෙවිගෙන් සමාව ලබාගන්න නම් පසුතැවිලි වෙන කෙනෙක් කරන්න ඕනෙ දේවල් තියෙනවා. මුලින්ම වැරදි ක්‍රියාව එයා නවත්තන්න ඕනේ. ඒ ක්‍රියාවට පොලඹවන ඕනම දේකින් වැළකිලා ඉන්නත් ඕනේ. කොරින්ති සභාවේ හිටපු අයට පාවුල් මෙහෙම කිව්වා. “දෙවි ඉදිරියේ අවංකවම දුක් වීමෙන් ඔබට අත් වන ප්‍රතිඵල මොනවාද කියා දැන් බලන්න. මුලින්ම ඔබ යම් පියවර ගැනීමට දැඩි වෑයමක් දැරූ අතර ඇති වූ කැළැල නැති කිරීමටද මහත් ආශාවක් ඔබ තුළ ඇති විය. එලෙසම කලින් කළ වරද ගැන පිළිකුලක්ද දෙවි සඳහා ගරුබියක්ද ඔබට ඇති වූ අතර වරද නිවැරදි කරගැනීමට අවංක ආශාවකින්ද උද්‍යෝගයෙන්ද ඔබ ක්‍රියා කර ඇත.” (2 කොරි. 7:10, 11) වැරදි ක්‍රියාව අත්හරින්න කෙනෙක් ලොකු වෑයමක් දරනවා නම් ඒ වරද සැහැල්ලුවට ගන්නේ නැහැ කියලා එයා පෙන්නනවා. දෙවිගෙන් සමාව ලබාගන්න එයාගේ පැත්තෙන් යමක් කරන්න ඕනෙ කියලා එයා තේරුම් අරන් ඉන්නවා කියලත් ඒකෙන් පේනවා.

12. දෙවිගේ දයාව දිගටම අද්දකින්න නම් මොන වගේ දේවල් අත්හරින්න වෙයිද?

12 යෙහෝවා දෙවිගේ දයාව දිගටම අද්දකින්න නම් වරදකට පොලඹවන්න පුළුවන් ඕනම දෙයක් සමහරවිට කාලයක් තිස්සේ ආසාවෙන් කරපු දෙයක් වුණත් ඔයාට අත්හරින්න වෙයි. (මතෙ. 18:8, 9) උදාහරණෙකට ඔයාගේ යාළුවෝ දෙවි අකමැති දෙයක් කරන්න කියනවා නම් එයාලව ආශ්‍රය නොකර ඉන්න වුණත් ඔයා ලෑස්තිද? මත්පැන් බොද්දී ඔයාට ඔයාව පාලනය කරගන්න අමාරුයි නම් සීමාව ඉක්මවලා බොන්න පෙලඹෙන්න පුළුවන් අවස්ථා ඔයා මඟහරිනවාද? ලිංගික ආශාවන් පාලනය කරගන්න එක අමාරුයි කියලා ඔයාට දැනෙනවා නම් හැඟීම් අවුස්සන්න පුළුවන් චිත්‍රපටි, වෙබ් සයිට් නොබලා ඉන්නවාද? හැඟීම් පාලනය කරගන්න අමාරු වෙන හැම දේකින්ම වළකින්න ඔයා වෑයම් කරනවාද? ඒ දේවල් කරන එක කොච්චර අමාරු වුණත් දෙවිගේ ප්‍රමිති රකින එක ඒ ඕනම කැප කිරීමකටම වඩා වටිනවා. මොකද අපි අතින් දෙවිගේ ප්‍රමිතියක් කැඩුණොත් දෙවිගේ ආදරය අපිට නැති වෙනවා. ඒ තරම් වේදනාවක් තවත් නැහැ. දෙවිගේ “සදාතනික ප්‍රේමය” තමයි කෙනෙක්ට ලබන්න පුළුවන් වටිනාම දේ.—යෙසා. 54:7, 8.

ආරක්ෂාව ලැබෙයි

13. ආරක්ෂිත නුවරේ ඉන්න කෙනෙක්ට බයක් නැතුව, සතුටින් ජීවත් වෙන්න පුළුවන් වුණා කියන්නේ ඇයි?

13 කෙනෙක් ආරක්ෂිත නුවරකට ඇතුල් වුණාට පස්සේ එයාගේ ජීවිතේ නැති වෙයි කියලා බයෙන් ඉන්න ඕනෙ වුණේ නැහැ. මොකද දෙවිම කිව්වේ එහෙදී “ඔහුට ආරක්ෂාව ලැබෙයි” කියලා. (යොෂු. 20:2, 3) කාලයක් ගියාට පස්සේ එයා කරපු වරද ගැන ආයෙත් නඩු විභාගයක් කරන්න ඕනෙ කියලා දෙවි කිව්වේ නැහැ. මැරුණ කෙනාගේ නෑයාට ඒ නුවරට ඇතුල් වෙලා එයාව මරන්න අවසර තිබුණෙත් නැහැ. ඒ නුවරේ ඉද්දී එයා හිටියේ යෙහෝවා දෙවිගේ රැකවරණය යටතේ. ආරක්ෂිත නුවර හිරගෙයක් නෙමෙයි. නිදහසේ වැඩ කරන්න, අනිත් අයට උදව් කරන්න, හිතේ සාමයෙන් දෙවිට සේවය කරන්න එයාට අවස්ථාව තිබුණා.

යෙහෝවා දෙවි සමාව දෙනවා කියලා නිසැක වෙන්න (14-16 ඡේද බලන්න)

14. පසුතැවිලි වෙන කෙනෙක්ට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?

14 කෙනෙක් තමන් කරපු වරද ගැන පසුතැවිලි වුණත් තවමත් ඒ ගැන එයාගේ හිත වධ දෙනවා ඇති. ඒ වරද දෙවිට කවදාවත් අමතක වෙන එකක් නැහැ කියලා හිතෙනවා ඇති. ඔයාටත් හිතෙන්නේ එහෙමද? යෙහෝවා දෙවි ඔයාට සමාව දුන්නාට පස්සේ ආයේ කවදාවත් ඒ වරද මතක් කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන හිතහිත දුක් විඳින්න එපා. වැඩිමහල්ලන් ඩැනියෙල්ව නිවැරදි කරලා නිදොස් හෘදය සාක්ෂියක් ඇති කරගන්න උදව් කළාට පස්සේ එයාට දැනුණේ පුදුම නිදහසක්. ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. “මගේ අතින් වරදක් වුණා තමයි. ඒත් දැන් ඒක ඉවරයි. ඒ ගැන හිතහිත දුක් වෙන්න ඕනෙ නැහැ. යෙහෝවා දෙවි මගේ හිතේ තිබුණ බර මගෙන් අයින් කරලා ඒක ඈතට වීසි කළා. ආයේ ඒ බර මගේ ඔළුවට දාගන්න ඕනෙ නැහැ.” ආරක්ෂිත නුවරට ගියාට පස්සේ මැරුණ කෙනාගේ නෑයා ඇවිත් තමන්ව මරයි කියලා බයෙන් ඉන්න ඕනෙ වුණේ නැහැ. ඒ වගේ තමයි යෙහෝවා දෙවි සමාව දුන්නාට පස්සේ කරපු වරද ආයේ මතක් කරලා අපිට දඬුවම් කරයි කියලා බයෙන් ඉන්න ඕනෙ නැහැ.—ගීතාවලිය 103:8-12 කියවන්න.

15, 16. දෙවි අපිට සමාව දෙනවා කියලා ස්ථිර වෙන්න පුළුවන් ඇයි?

15 දෙවි සමාව දෙනවා කියන දේ ගැන ස්ථිර වෙන්න ඊශ්‍රායෙල්වරුන්ට වඩා හේතු අද අපිට තියෙනවා. යෙහෝවා දෙවිට 100%ක්ම කීකරු වෙන්න බැරි වුණ නිසා තමන් “කාලකණ්ණි” කෙනෙක් කියලා පාවුල්ට දැනුණත් එයා මෙහෙම කිව්වා. “මා දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! මන්ද ඔහු අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාව බේරාගන්නේය.” (රෝම 7:25) පාවුල් අදහස් කළේ මොකක්ද? වැරදි දේවල් නොකර ඉන්න ලොකු සටනක් කළත් අතීතයේදී පාවුල් අතින් ගොඩක් වැරදි වෙලා තිබුණා. ඒ ගැන එයා පසුතැවුණා. ඒ නිසා යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන දෙවි එයාට සමාව දුන්නා කියලා එයා විශ්වාස කළා. අපේ පව් වෙනුවෙන් යේසුස් දැනටමත් වන්දිය ගෙවලා ඉවරයි. ඒ නිසා අපිටත් පුළුවන් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සතුටින් දෙවිට සේවය කරන්න. (හෙබ්‍රෙ. 9:13, 14) අපේ උත්තම පූජකයා විදිහට යේසුස්ට පුළුවන් ‘ඔහු මාර්ගයෙන් දෙවිට ළඟා වන අයව සම්පූර්ණයෙන්ම ගලවාගන්න. මොකද ඔවුන් වෙනුවෙන් කන්නලව් කරන්න ඔහු සදහටම ජීවත්ව ඉන්නවා.’ (හෙබ්‍රෙ. 7:24, 25) අතීතයේදී උත්තම පූජකයා කරපු දේවලින් තමන්ගේ වැරදිවලට දෙවි සමාව දෙනවා කියන දේ ඊශ්‍රායෙල්වරුන්ට ස්ථිර වුණා. එහෙමනම් යේසුස් අපේ උත්තම පූජකයා හැටියට ‘අවශ්‍ය වේලාවේදීම දෙවිගේ දයාව හා මහත් කරුණාව ලබාගන්න’ අපිට උදව් කරයි කියලා කිසිම සැකයක් නැහැ.—හෙබ්‍රෙ. 4:15, 16.

16 යෙහෝවා දෙවිව රැකවරණය කරගන්න නම් යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ පූජාව නිසා පොදුවේ හැමෝටම ප්‍රයෝජන ලැබෙනවා කියලා නිකම්ම විශ්වාස කරන එක නෙමෙයි. ඒ පූජාව ඔයාට පෞද්ගලිකව ප්‍රයෝජනවත් කියලා ස්ථිර වෙන්න. (ගලා. 2:20, 21) ඔයාගේ පව්වලට දෙවි සමාව දෙන්නේ ඒ පූජාව නිසයි. ඔයාට සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන්නේ ඒ පූජාව නිසයි. යේසුස්ගේ ජීවිත පූජාව දෙවි ඔයාට දුන්න වටිනා තෑග්ගක්.

17. යෙහෝවා දෙවිව රැකවරණය කරගන්න ඕනෙ ඇයි?

17 ආරක්ෂිත නුවරවල් පිහිටුවලා දෙවි ඇති කරපු සැලැස්මෙන් දෙවි මොන තරම් දයාන්විත කෙනෙක්ද කියලා අපි තේරුම්ගත්තා. දෙවි ජීවිතය සලකන්නේ ගොඩක් වටින දෙයක් විදිහට කියලත් ඒක අපිට මතක් කළා. අපිට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද කියලත් අවංකව පසුතැවිලි වෙන කෙනෙක් කොයි වගේද කියලත් දෙවි සමාව දෙන්න සූදානමින් ඉන්නවා කියලා අපිට ස්ථීර ඇයි කියලත් අපි ඉගෙනගත්තා. ඔයාත් යෙහෝවා දෙවිව ඔයාගේ රැකවරණය කරගන්නවාද? ඒ තරම් රැකවරණයක් වෙන කිසිම දේකින් ලබන්න ඔයාට බැහැ. (ගීතා. 91:1, 2) ආරක්ෂිත නුවරවල් ගැන ඉගෙනගද්දී දෙවිගේ යුක්තිය සහ දයාව අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.

^ 10 ඡේ. ආරක්ෂිත නුවරකට යන කෙනෙක්ගේ පවුලේ අයත් එයා එක්ක ඒ නුවරේ ජීවත් වෙන්න යන්න ඇති කියලා යුදෙව් පොතක සඳහන් වෙනවා.