Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි වගේ දයාවන්ත, සාධාරණ අය වෙමු

යෙහෝවා දෙවි වගේ දයාවන්ත, සාධාරණ අය වෙමු

‘විනිශ්චය කරද්දී සාධාරණය ඉටු කරන්න. එකිනෙකා සමඟ ප්‍රේමණීයව කටයුතු කරන්න. දයාව පෙන්වන්න.’—සෙක. 7:9.

ගීතිකා: 125, 88

1, 2. (අ) දෙවිගේ නීතිය ගැන යේසුස්ට හැඟුණේ කොහොමද? (ආ) පරිසිවරු සහ නීතිය පිටපත් කරන අය නීතිය වැරදි විදිහට යොදාගත්තේ කොහොමද?

මෝසෙස්ට දුන්න නීතිය ගැන යේසුස්ගේ හිතේ ලොකු අගයක් තිබුණා. මොකද ඔහුගේ ජීවිතේ වටිනාම කෙනා වුණ යෙහෝවා දෙවියි ඒ නීතිය දුන්නේ. යේසුස්ට තිබුණ හැඟීම ගීතාවලිය 40:8 විස්තර කරන්නේ මෙහෙමයි. “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි. ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත.” දෙවිගේ නීතිය කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලත් ඒකේ කිසිම අඩුවක් නැහැ කියලත් නීතියේ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වෙනවා කියලත් යේසුස් කරපු කියපු දේවලින් පෙනුණා.—මතෙ. 5:17-19.

2 නීතිය පිටපත් කරන අය, පරිසිවරු වැරදි විදිහට නීතිය යොදාගද්දී යේසුස්ට දැනුණේ පුදුම දුකක්. එයාලගේ ඉගැන්වීම් නිසා නීතිය ලොකු බරක් විදිහටයි මිනිසුන්ට දැනුණේ. එයාලට යේසුස් මෙහෙම කිව්වා. “ඔබ මිංචි, ඈඳුරු, සූදුරු යන දේවලින් දසයෙන් කොටස දෙන නමුත් යුක්තිය, දයාව, විශ්වාසවන්තකම යන නීතියේ වඩා බැරෑරුම් කාරණාවලට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ.” (මතෙ. 23:23) එයාලට ඕනෙ වුණේ හැම පොඩි දේටම නීති දාලා අනිත් අයට වඩා එයාලා උසස් කියලා පෙන්නන්න. දෙවි නීතිය දුන්නේ ඇයි කියලා තේරුම්ගන්න එයාලට වුවමනාවක් තිබුණේ නැහැ. ඒත් යෙහෝවා දෙවි නීතිය දුන්න හේතුව, ඒ නීතිවලින් දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා යේසුස් තේරුම්ගත්තා.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද?

3 මෝසෙස්ට දුන්න නීතිය පිළිපදින එක අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (රෝම 7:6) එහෙමනම් දෙවි ඇයි ඒක බයිබලේට ඇතුළත් කළේ? දෙවිට ඕනෙ අපි නීතියේ තියෙන “බැරෑරුම් කාරණා” තේරුම් අරන් ඒවා අදාළ කරගන්නවා දකින්නයි. ඒ කියන්නේ නීතියක් හදන්න හේතු වුණ ප්‍රතිපත්තිය අපි තේරුම්ගන්න ඕනෙ කියලයි. ආරක්ෂිත නුවරවල් ගැන හිතන්න. ඒ නුවරකට යන වරදකරුවෙක් කරන්න ඕනෙ දේවල් ගැනත් ඒකෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් කලින් ලිපියෙන් අපි දැනගත්තා. ආරක්ෂිත නුවරවල් පිහිටවපු එකෙන් (1) දෙවිගේ දයාව ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද, (2) දෙවි ජීවිතය සලකන විදිහ තේරුම්ගන්න පුළුවන් කොහොමද, (3) දෙවි හැම අතින්ම සාධාරණ කෙනෙක් කියලා පැහැදිලි වෙන්නේ කොහොමද කියන ප්‍රශ්න 3ට උත්තර අපි මේ ලිපියෙන් බලමු. ඒ ප්‍රශ්න ගැන බලද්දී යෙහෝවා දෙවිගේ ගුණාංග ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද කියලා හිතන්න.—එෆීස 5:1 කියවන්න.

නුවරවල් පිහිටුවලා තිබුණ විදිහ දෙවිගේ දයාවට සාක්ෂියක්

4, 5. (අ) ආරක්ෂිත නුවරකට පහසුවෙන්ම පලා යන්න පුළුවන් වුණේ මොන දේවල් නිසාද? ඒ විදිහට දේවල් හදලා තිබුණේ ඇයි? (ආ) ඒකෙන් දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

4 දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා යෝර්දාන් ගඟේ දෙපැත්තේ ආරක්ෂිත නුවරවල් 3 බැගින් වෙන් කරන්න කියලා. (ගණන්. 35:11-14) එහෙම කිව්වේ කෙනෙක්ට ඉක්මනින්, පහසුවෙන් පලා යන්න පුළුවන් වෙන්නයි. එයාලා ඒ නුවරවල්වලට යන පාරවල් පවා පිළිවෙළකට තියාගත්තා. (ද්වි. 19:3) ඒවා ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙන විදිහට පාර දෙපැත්තේ සලකුණු දාලා තිබුණා කියලත් යුදෙව් පොත්වල තියෙනවා. ඒ විදිහට නුවරවල් පිහිටුවලා තිබුණ නිසා අත්වැරදීමකින් ජීවිතයක් නැති කරපු කෙනෙක්ට එයාගේ ජීවිතේ බේරගන්න වෙනත් දේශයකට පලා යන්න ඕනෙ වුණේ නැහැ. ඒ නිසා බොරු දෙවිවරුන්ට නමස්කාර කරන උගුලෙන් එයා බේරුණා.

5 මිනී මරුවෙක්ට දෙවි නියම කරපු දඬුවම මරණයයි. ඒත් අත්වැරදීමකින් කෙනෙක් අතින් ජීවිතයක් නැති වුණොත් එයාට දයාව, අනුකම්පාව, රැකවරණය ලබන්නත් දෙවි අවස්ථාව දුන්නා. ඒ සැලැස්ම ගැන බයිබල් විචාරකයෙක් මෙහෙම කියනවා “හැම මඟ පෙන්වීමක්ම දෙවි දුන්නේ තේරුම්ගන්න, අදාළ කරගන්න පහසු විදිහට.” ඒකෙන් පැහැදිලියි යෙහෝවා දෙවි දඬුවම් කරන්න බලාගෙන ඉන්න නපුරු විනිශ්චයකරුවෙක් නෙමෙයි “දයාවෙන් පිරී” කෙනෙක් කියලා.—එෆී. 2:4.

6. පරිසිවරු දෙවිගේ දයාව අනුකරණය කළාද?

6 පරිසිවරු අනිත් අයට දයාව පෙන්නන්න පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. එකම වරද තුන් පාරකට වඩා කරපු කෙනෙක්ට එයාලා සමාව දුන්නේ නැහැ. එයාලගේ වැරදි ආකල්පය ගැන යේසුස් උපමාවකින් පැහැදිලි කළා. උපමාවේ හිටපු පරිසිවරයා මෙහෙම යාච්ඤා කළා. ‘දෙවියනි, මම ඔබට ස්තුති කරනවා. අන් අය වගේ මම පව්කාරයෙක් නෙමෙයි. මේ බදු එකතු කරන්නාට වඩා මම කොයි තරම් වෙනස්ද! මම කවදාවත් අන් අයගේ දේවල් අයුතු ලෙස ගන්නේ නැහැ. අධර්මිෂ්ඨකම් කරන්නේ නැහැ. අනාචාරයේ යෙදී නැහැ.’ අනිත් අයව පහත් කරලා සලකපු පරිසිවරු දයාව පෙන්නන එක ගැන හිතුවේවත් නැහැ.—ලූක් 18:9-14.

ඔයා නිහතමානී නම් අනිත් අයට ඔයා ළඟට ඇවිත් සමාව ඉල්ලන්න ලේසියි (4-8 ඡේද බලන්න)

7, 8. (අ) අනිත් අයට දයාව පෙන්නන්න පුළුවන් කොහොමද? (ආ) සමාව දෙද්දී නිහතමානී වෙන එක වැදගත් ඇයි?

7 පරිසිවරු වගේ නෙමෙයි යෙහෝවා දෙවි වගේ අනිත් අයට දයාව පෙන්නන්න. (කොලොස්සි 3:13 කියවන්න.) එහෙම කරනවා නම් අපිට වරදක් කරපු කෙනෙක්ට අපි ළඟට ඇවිත් සමාව ඉල්ලන්න අමාරු නැහැ. (ලූක් 17:3, 4) මේ ගැන හිතන්න. ‘කීප සැරයක් මගේ හිත රිද්දපු කෙනෙක්ට වුණත් මම ඉක්මනින්ම සමාව දෙනවාද? ඒ වගේ කෙනෙක් එක්ක සමාදාන වෙන්න මට ලොකු ආසාවක් තියෙනවාද?’

8 සමාව දෙන්න නම් අපි නිහතමානී වෙන්න ඕනේ. පරිසිවරු හිතුවේ හැමෝටම වඩා එයාලා උසස් කියලා. ඒ නිසයි අනිත් අයට සමාව දෙන්න එයාලට බැරි වුණේ. ඒත් ‘අනිත් අය අපිට වඩා උතුම් කියලා අපි හිතනවා’ නම් සමාව දෙන්න ලේසියි. (ෆිලි. 2:3) ඔයාත් යෙහෝවා දෙවිව ආදර්ශයට අරන් වැඩ කරන කෙනෙක්ද? අතීතයේදී කෙනෙක්ට දෙවිගේ දයාව ලබාගන්න පහසු වුණා වගේ අපෙන් සමාව ඉල්ලන්නත් අනිත් අයට පහසු වෙන්න ඕනේ. ඒකටත් නිහතමානිකම උදව්වක්. අමනාප වෙන්න ඉක්මන් නොවී දයාව පෙන්නන්න ඉක්මන් වෙමු.—දේශ. 7:8, 9.

ජීවිතය වටින දෙයක් විදිහට සලකන්න

9. ජීවිතේ අනර්ඝයි කියලා තේරුම්ගන්න දෙවි ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළේ කොහොමද?

9 ආරක්ෂිත නුවරවල් පිහිටුවන්න ප්‍රධාන හේතුවක් වුණේ නිරපරාදේ ජීවිත නැති කරන එක බරපතළ දෙයක් කියලා කාවද්දන්නයි. (ද්වි. 19:10) යෙහෝවා දෙවිට ජීවිතය අනර්ඝයි. මිනී මරණ එක ඔහුට පිළිකුලක්. (හිතෝ. 6:16, 17) ඔහු සාධාරණ, ශුද්ධ කෙනෙක් නිසා මිනී මැරුමක් අත්වැරදීමකින් වුණත් ඒක නොසලකා හරින්න ඔහුට බැහැ. අත්වැරදීමකින් ජීවිතයක් නැති කරපු කෙනෙක්ට දෙවිගේ දයාව ලබන්න පුළුවන්කම තිබුණා. ඒත් ඊට කලින් එයා වුණ දේ ගැන වැඩිමහල්ලන්ට කියන්න ඕනේ. ඒක අත්වැරදීමකින් වුණ මරණයක් කියලා වැඩිමහල්ලන් තීරණය කළොත් උත්තම පූජකයා මැරෙන කල් එයාට ඒ නුවරේ ජීවත් වෙන්න වුණා. සමහරවිට ජීවිත කාලෙම එයාට ඉන්න වුණේ ඒ නුවරේ. දෙවි ඇති කරපු මේ සැලැස්ම නිසා ජීවිතය අනර්ඝයි කියලා තේරුම්ගන්න ඊශ්‍රායෙල්වරුන්ට පුළුවන් වුණා. ජීවිතය දුන්න තැනැත්තාට ගෞරව කරන්න නම් ජීවිතයක් අනතුරේ දාන්න පුළුවන් හැම දෙයක් ගැනම එයාලට සැලකිලිමත් වෙන්න වුණා.

10. ආගමික නායකයන්ට අනිත් අයගේ ජීවිත වටින්නේ නැහැ කියලා පැහැදිලි වුණේ කොහොමද?

10 පරිසිවරුන්ට සහ නීතිය පිටපත් කරන අයට නම් අනිත් අයගේ ජීවිත ගැන කිසිම වටිනාකමක් තිබුණේ නැහැ. යේසුස් එයාලට කිව්වේ මෙහෙමයි. “දෙවිගෙන් දැනුම ලබාගැනීම සඳහා මඟ විවෘත කරන දොරේ යතුර ඔබ පැහැරගෙන ගියා. ඔබ එයින් ඇතුල් වෙන්න පියවර නොගත්තා පමණක් නොව ඒ තුළින් යන්න කැමති අයටත් බාධා කළා!” (ලූක් 11:52) යේසුස් එහෙම කිව්වේ ඇයි? හරි නම් එයාලා දෙවි ගැන කියලා දීලා සදාකාල ජීවිතය ලබාගන්න මිනිසුන්ට උදව් කරන්න ඕනේ. ඒත් එයාලා කළේ “ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තා” වන යේසුස්ට ළං වෙන එකෙන් මිනිසුන්ව වැළැක්වුව එකයි. (ක්‍රියා 3:15) ආඩම්බර, ආත්මාර්ථකාමී විදිහට වැඩ කරපු එයාලා මිනිසුන්ට මඟ පෙන්නුවේ විනාශයට යන්නයි.

11. (අ) ජීවිතේ අනර්ඝ දෙයක් විදිහට පාවුල් සැලකුවා කියලා පැහැදිලි වුණේ කොහොමද? (ආ) සේවයේදී පාවුල්ව ආදර්ශයට ගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

11 එදා හිටපු ආගමික නායකයන් වගේ නොවී ඉන්න නම් අපි ජීවිතේ අනර්ඝ දෙයක් විදිහට සලකන්න ඕනේ. පාවුල් එහෙම කළා. හම්බ වුණ හැම කෙනෙක්ටම එයා දේවරාජ්‍යය ගැන කිව්වා. “මම සියලුදෙනාගේ ලෙයින් නිදහස්” කියලා එයාට කියන්න පුළුවන් වුණේ ඒ නිසයි. (ක්‍රියා 20:26, 27 කියවන්න.) පාවුල් දේශනා කළේ හිත නිදොස්ව තියාගන්න ඕනෙ නිසාද? නැත්නම් දෙවි ඒක කරන්න කිව්ව නිසාද? නැහැ. එයා මිනිසුන්ට ආදරය කරපු නිසයි. එයාලගේ ජීවිත ගොඩක් වටින නිසයි. එයාට ඕනෙ වුණේ සදාකාල ජීවිතය ලබාගන්න මිනිසුන්ට උදව් කරන්නයි. (1 කොරි. 9:19-23) යෙහෝවා දෙවිට ඕනෙ හැමෝම පසුතැවිලි වෙලා දිගටම ජීවත් වෙනවා දකින්නයි. (2 පේතෘ. 3:9) අනිත් අය ගැන අනුකම්පාවක් තියෙනවා නම් උද්‍යෝගයෙන් සේවය කරන්නත් සේවයෙන් නියම සතුට ලබන්නත් අපිට පුළුවන්. දෙවි වගේ අපිත් අනිත් අයට ආදරේ කරමු.

12. ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන එක අපිට වැදගත් ඇයි?

12 අපිත් ජීවිතය අනර්ඝ දෙයක් විදිහට සලකනවා නම් අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. වාහනයක් පදවද්දී, වැඩ කරද්දී අපි ආරක්ෂව ගැන හිතන්න ඕනේ. නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරද්දී, නඩත්තු කරද්දී වගේම රැස්වීම්වලට යන එනකොටත් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමු. මිනිසුන්ගේ ආරක්ෂාව ගැන හිතන එක කාලය, සල්ලි ඉතුරු කරගන්නවාට වඩා වටිනවා. දෙවි කවදාවත් ප්‍රමිති බාල කරන්නේ නැහැ. අපිත් ඔහු වගේ වෙමු. නමස්කාර මධ්‍යස්ථානයේ යම් වැඩක් කරද්දී විශේෂයෙන්ම වැඩිමහල්ලන් හැමෝගෙම ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. (හිතෝ. 22:3) වැඩිමහල්ලෙක් ආරක්ෂාව ගැන යම් මඟ පෙන්වීමක් දුන්නොත් ඒකට කීකරු වෙන්න. (ගලා. 6:1) ඔයාත් ජීවිතේ අනර්ඝ දෙයක් විදිහට සලකනවා නම් අනිත් අයගේ ජීවිතවලට හානියක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ.

සාධාරණව විනිශ්චය කරන්න

13, 14. එදා හිටපු වැඩිමහල්ලන් විනිශ්චය කරද්දී දෙවිව ආදර්ශයට ගත්තේ කොහොමද?

13 විනිශ්චය කරද්දී සාධාරණ වෙන්න කියලා ඊශ්‍රායෙල් දේශයේ හිටපු වැඩිමහල්ලන්ට දෙවි කිව්වා. මුලින්ම එයාලා සිද්ධියට සම්බන්ධ හැම තොරතුරක්ම හොයලා බැලුවා. වරදකරුට දයාව පෙන්නනවාද කියලා තීරණය කරන්න කලින් එයාගේ චේතනාව, ආකල්ප, හැසිරීම මොන වගේද කියලත් හෙව්වා. මැරුණ කෙනා ගැන වෛරයක් හිතේ තිබුණාද කියලත් මිනී මැරුම කළේ හිතාමතාමද කියලත් සෝදිසි කරලා බැලුවා. (ගණන් කතාව 35:20-24 කියවන්න.) වරද කළේ හිතාමතාම කියලා තීරණය කරන්න අඩුම තරමේ සාක්ෂිකරුවන් දෙන්නෙක්වත් ඕනෙ වුණා.—ගණන්. 35:30.

14 වෙච්ච දේ හරියටම දැනගත්තාට පස්සේ කරපු වරද ගැන විතරක් නෙමෙයි ඒ පුද්ගලයා ගැනත් වැඩිමහල්ලන් හිතුවා. නිකම්ම පිටින් බලලා තීරණයක් ගන්නේ නැතුව එයා ඒ වගේ දෙයක් කළේ මොන හේතු නිසාද කියලා තේරුම්ගන්න එයාලා උත්සාහ කළා. යෙහෝවා දෙවි වගේ කාරණා හොඳින් තේරුම් අරන්, දයාවන්ත, සාධාරණ විනිශ්චයක් දෙන්න නම් හැම දේටම වඩා දෙවිගේ බලය ඉල්ලන එක වැදගත් වුණා.—නික්. 34:6, 7.

15. පව්කාරයන් ගැන යේසුස්ට හැඟුණ විදිහ පරිසිවරුන්ට වඩා වෙනස් කියන්නේ ඇයි?

15 පරිසිවරුන් විනිශ්චය කරද්දී කිසිම දයාවක් පෙන්නුවේ නැහැ. එයාලා හිතුවේ කරපු වරද ගැන මිසක් පුද්ගලයා ගැන නෙමෙයි. දවසක් යේසුස් මතෙව්ගේ ගෙදර කෑම කනවා දැකලා පරිසිවරු ගෝලයන්ගෙන් ඇහුවා ‘ඔබේ ගුරුතුමා බදු එකතු කරන්නන් හා පව්කාරයන් එක්ක කෑම කන්නේ ඇයි’ කියලා. යේසුස් එයාලට මෙහෙම කිව්වා. ‘රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ. “මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි” යන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න. මා ආවේ පව්කාරයන්ට උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නෙමෙයි.’ (මතෙ. 9:9-13) ඒ කියන්නේ යේසුස් වැරදි දේවල් සැහැල්ලුවට ගත්තා කියන එකද? නැහැ. ඔහුට ඕනෙ වුණේ වැරදි ක්‍රියා එයාලා අත්හරිනවා දකින්න. පසුතැවිලි වෙන්න කියලා ඔහු නිතරම මතක් කළේ ඒකයි. (මතෙ. 4:17) “බදු එකතු කරන්නන් සහ පව්කාරයන්ගෙන්” සමහර අයට තමන්ගේ වැරදි හදාගන්න වුවමනාවක් තිබුණා කියලා යේසුස් තේරුම්ගත්තා. එයාලා මතෙව්ගේ ගෙදරට ආවේ කෑම කන්නම නෙමෙයි යේසුස්ගෙන් ඉගෙනගන්න ලොකු ආසාවක් තිබුණ නිසයි. (මාක් 2:15) මිනිසුන්ව තේරුම්ගන්න පරිසිවරුන්ට වුවමනාවක් තිබුණේ නැති එක කොච්චර දුකක්ද! වැරදි කරන අයට වුණත් වෙනස් වෙන්න පුළුවන් කියලා එයාලා හිතුවේ නැහැ. එයාලා මිනිසුන්ව සැලකුවේ වැඩකට නැති පව්කාරයෝ විදිහට.

16. විනිශ්චය කමිටුවක් තේරුම්ගන්න උත්සාහ කරන්න ඕනෙ මොකක්ද?

16 වැඩිමහල්ලන් යෙහෝවා දෙවි වගේ “යුක්තියට ප්‍රිය” අය වෙන්න ඕනේ. (ගීතා. 37:28) මුලින්ම බරපතළ වරදක් වෙලා තියෙනවාද කියලා එයාලා “හොඳින් සොයා බැලිය යුතුයි.” වරදක් වෙලා තියෙනවා නම් කරන්න ඕනෙ දේ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව තීරණය කරනවා. (ද්වි. 13:12-14) විනිශ්චය කමිටුවක ඉන්න වැඩිමහල්ලන් වරද කරපු කෙනා අවංකවම පසුතැවිලි වෙනවාද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒත් ඒක ලේසි නැහැ. මොකද පසුතැවිලි වෙන කෙනෙක්ව හඳුනගන්න එයා හිතන විදිහ විශේෂයෙන්ම කරපු වරද ගැන එයාට හැඟෙන විදිහ තේරුම්ගන්න ඕනේ. (එළි. 3:3) දයාව ලබන්න නම් වරද කරපු කෙනා පසුතැවිලි වෙන එක අනිවාර්යය දෙයක්. *

17, 18. කෙනෙක් අවංකවම පසුතැවිලි වෙනවා කියලා වැඩිමහල්ලන් දැනගන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

17 හිතේ තියෙන දේ හරියටම තේරුම්ගන්න යෙහෝවා දෙවිට, යේසුස්ට පුළුවන්. ඒත් වැඩිමහල්ලන්ට ඒක කරන්න බැහැ. ඔයා වැඩිමහල්ලෙක් නම් කෙනෙක් අවංකවම පසුතැවිලි වෙනවාද කියලා දැනගන්නේ කොහොමද? මුලින්ම දේවල් හොඳින් තේරුම්ගන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න. (1 රාජා. 3:9) ඊටපස්සේ බයිබලය සහ විශ්වාසවන්ත දාසයා දීලා තියෙන ප්‍රකාශන යොදාගෙන එයාගේ පසුතැවිල්ල බොරු මවාපෑමක්ද නැත්නම් එයා “දෙවි ඉදිරියේ අවංකවම දුක් වෙනවාද” කියලා තේරුම්ගන්න. (2 කොරි. 7:10, 11) අවංකවම පසුතැවිලි වුණ සහ එහෙම නොවුණ අය ගැන බයිබලේ තියෙන වාර්තා කියවලා එයාලා හිතපු විදිහ, ක්‍රියා කරපු විදිහ තේරුම්ගන්න බලන්න.

18 ඊළඟට වරද කරපු කෙනාව තේරුම්ගන්න උත්සාහ කරන්න. එයාගේ පසුබිම, චේතනා ගැන වගේම එයා මොන වගේ දුර්වලකම් එක්කද සටන් කරන්නේ කියලා හිතන්න. සභාවේ නායකයා වන යේසුස් “මතුපිටින් දකින දේ අනුව විනිශ්චය නොකරයි. ඔහුට යමක් ඇසුණු පමණින්ද ඔහු දඬුවම් නොකරයි. ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි. ඔහු සාධාරණව කටයුතු කර යටහත්පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි.” (යෙසා. 11:3, 4) වැඩිමහල්ලෙනි, යේසුස් සභාව බලාගන්න භාර දුන්නේ ඔයාලටයි. එහෙමනම් යුක්තියෙන් සහ දයාවෙන් විනිශ්චය කරන්න ඔහු ඔයාලට උදව් නොකර ඉඳියිද? (මතෙ. 18:18-20) අපිව රැකබලා ගන්න වැඩිමහල්ලන් ඉන්න එක අපි කොච්චර අගය කරනවාද! අනිත් අය එක්ක දයාවෙන්, සාධාරණ විදිහට වැඩ කරන්න වැඩිමහල්ලන් අපිට උදව් කරයි.

19. ආරක්ෂිත නුවරවල් ගැන ඉගෙනගත්ත දේවලින් ඔයා අදාළ කරගන්න හිතුවේ මොන කාරණයද?

19 “දෙවි පිළිබඳ දැනුම හා සත්‍යය පිළිබඳ මූලික අවබෝධයක්” නීතියෙන් අපිට ලබාගන්න පුළුවන්. (රෝම 2:20) ඒකෙන් දෙවි ගැනත් ඔහුගේ ප්‍රතිපත්ති ගැනත් අපි ඉගෙනගන්නවා. ආරක්ෂිත නුවරවල් ගැන තිබුණ සැලැස්මෙන් අපි ඉගෙනගත්තා වැඩිමහල්ලන් සාධාරණව විනිශ්චය කරන්න ඕනෙ කියලා. අපි හැමෝම අනිත් අය එක්ක “ප්‍රේමණීයව කටයුතු කරන්න” ඕනෙ කියලත් “දයාව පෙන්නන්න” ඕනෙ කියලත් ඉගෙනගත්තා. (සෙක. 7:9) අපි නීතිය යටතේ නැතත් නීතිය දුන්න යෙහෝවා දෙවි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා යුක්තිය, දයාව පෙන්නන එක දෙවි අදත් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ දෙවි කෙනෙක්ට නමස්කාර කරන්න ලැබුණ එක වරප්‍රසාදයක්. දෙවිගේ ගුණාංග දිගටම අනුකරණය කරලා හැමදාම දෙවිගේ රැකවරණය ලබමු.

^ 16 ඡේ. 2006 සැප්තැම්බර් 15 ‘මුරටැඹ’ කලාපයේ 30 පි. “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.