Skip to content

පටුනට යන්න

ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද?

ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද?

“මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න.”—රෝම 12:2.

ගීතිකා: 88, 45

1, 2. (අ) තමන් ගැන හිතන්න කියලා පේතෘස් කිව්වාම යේසුස් කිව්වේ මොනවාද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) යේසුස් එහෙම කිව්වේ ඇයි?

තව ටික දවසකින් තමන්ට වේදනාකාරී මරණයක් අද්දකින්න වෙනවා කියලා යේසුස් කිව්වාම ගෝලයන්ට ඒක අදහාගන්න බැරි වුණා. මොකද එයාලා හිතුවේ යේසුස් ඊශ්‍රායෙල් දේශයට රාජ්‍යයක් ආපහු ලබා දෙයි කියලයි. ඒ වෙලාවේ පේතෘස් මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබ ගැනත් ටිකක් හිතන්න. ඒ වගේ දෙයක් ඔබට කවදාවත් සිදු විය යුතු නැහැ.” එතකොට යේසුස් මෙහෙම කිව්වා. “සාතන්! මගෙන් අහකට යන්න! මට බාධා කරන්න එපා. ඔබ සිතන්නේ මිනිසුන් සිතන විදිහටයි. දෙවි සිතන විදිහට නොවෙයි.”—මතෙ. 16:21-23; ක්‍රියා 1:6.

2 යේසුස් කියපු දෙයින් පැහැදිලි වෙනවා යෙහෝවා දෙවි හිතන විදිහට වඩා සාතන්ගේ පාලනය යටතේ තියෙන මේ ලෝකයේ අය හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කියලා. (1 යොහ. 5:19) මේ ලෝකයේ ඉන්න හුඟක් අය හිතන්නේ තමන් ගැනම විතරයි. එහෙම කරන්න කියලා තමයි පේතෘසුත් යේසුස්ව දිරිගැන්නුවේ. ඒත් යේසුස් දැනන් හිටියා ළඟදීම මුහුණ දෙන්න වෙන වේදනාකාරී මරණයට තමන් සූදානම් වෙනවාටයි දෙවි කැමති කියලා. යේසුස් හිතුවේ දෙවි හිතන විදිහට මිසක් මේ ලෝකයේ මිනිසුන් හිතන විදිහට නෙවෙයි.

3. දෙවි හිතන විදිහට හිතන එක අභියෝගයක් වෙන්නේ ඇයි?

3 ක්‍රිස්තියානීන් විදිහට අපි උපරිමයෙන් උත්සාහ කරන්නේ යෙහෝවා දෙවි සතුටු වෙන විදිහට හැම දේම කරන්න. හැබැයි අපි හිතන්නේ කොහොමද? හැම කාරණයක් ගැනම දෙවි හිතන විදිහට හිතන්න අපි උත්සාහ කරනවාද? ලෝකයේ අය වගේ හිතන්නේ නැතුව ඉන්න එක ලොකු අභියෝගයක්. මොකද ඒ අයගේ බලපෑම හැම තැනම පැතිරිලායි තියෙන්නේ. (එෆී. 2:2) ඒ වගේම අපි ගැනම හිතන්න කියලා එයාලා නිතරම දිරිගන්වන නිසා පරෙස්සම් නොවුණොත් අපිත් ඒ උගුලට අහු වෙන්න ඉඩ තියෙනවා.

4. (අ) අපි හිතන විදිහට බලපෑම් කරන්න මේ ලෝකයේ මිනිසුන්ට ඉඩ දුන්නොත් මොනවා වෙයිද? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

4 අපි හිතන විදිහට බලපෑම් කරන්න මේ ලෝකයේ මිනිසුන්ට ඉඩ දුන්නොත් අපිත් ආත්මාර්ථකාමී විදිහට වැඩ කරන්න පෙලඹෙයි. අපිට හරියි කියලා හිතෙන දේ කරන්නත් පෙලඹෙයි. (මාක් 7:21, 22) ඒ නිසා ‘මිනිසුන් හිතන විදිහට’ හිතනවා වෙනුවට ‘දෙවි හිතන විදිහට’ හිතන්න අපි ඉගෙනගන්න එක හරිම වැදගත්. දෙවි හිතන විදිහට හිතන එක ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි? ඒක කරන්න පුළුවන් කොහොමද? එහෙම හිතන එක අපේ නිදහසට බාධාවක් නොවෙන්නේ ඇයි? මේ ලෝකයේ මිනිසුන් හිතන විදිහට හිතන එකෙන් වැළකිලා ඉන්න පුළුවන් කොහොමද? ඒවාට උත්තර මේ ලිපියෙන් බලමු. සමහර කාරණා ගැන දෙවි හිතන විදිහ දැනගන්න පුළුවන් කොහොමද කියලත් දෙවි හිතන විදිහට හිතන්න පුරුදු වෙන්නේ කොහොමද කියලත් ඊළඟ ලිපියෙන් බලමු.

දෙවි හිතන විදිහට හිතන එක ප්‍රයෝජනවත්

5. තමන් හිතන විදිහට කවුරුවත් බලපෑම් කරනවාට සමහර අය කැමති නැත්තේ ඇයි?

5 සමහර අය කියනවා “මං වැඩ කරන්නේ මට ඕන විදිහට” කියලා. එහෙම කරන්න තමන්ට අයිතිය තියෙනවා කියලා එයාලට හිතෙනවා ඇති. අනිත් අය තමන්ව පාලනය කරනවාටවත් අනිත් හැමෝම කරන විදිහට දේවල් කරන්න කියලා බල කරනවාටවත් එයාලා කැමති නැහැ. *

6. (අ) යෙහෝවා දෙවි අපිට නිදහස දීලා තියෙන්නේ මොනවාටද? (ආ) ඒ නිදහසට සීමාවක් නැද්ද?

6 දෙවි හිතන විදිහට හිතන කෙනෙක්ට වුණත් තමන් කැමති විදිහට තීරණ ගන්න නිදහස තියෙනවා. 2 කොරින්ති 3:17 කියන්නේ “යෙහෝවා දෙවිගේ බලය ඇති තැන නිදහස ඇත” කියලයි. අපි මොන වගේ කෙනෙක් වෙනවාද කියලා තීරණය කරන්න දෙවි අපි හැමෝටම නිදහස දීලා තියෙනවා. පෞද්ගලික කාරණාවලදී අපේ කැමැත්තට එකඟව දේවල් කරන්න අපිට නිදහස තියෙනවා. හැබැයි දෙවි අපිට දීලා තියෙන නිදහසට සීමාවක් තියෙනවා. (1 පේතෘස් 2:16 කියවන්න.) දෙයක් හරිද වැරදිද කියලා තීරණය කරන්න වෙද්දී බයිබලයේ තියෙන මඟ පෙන්වීම් හොයලා බලලා ඒ අනුව තීරණයකට එයි කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම කරන එක අපේ නිදහසට බාධාවක්ද? නැත්නම් අපිට ප්‍රයෝජනවත්ද?

7, 8. දෙවි කැමති විදිහට කාරණා ගැන හිතන එකෙන් අපේ නිදහස නැති වෙලා යනවාද? උදාහරණයක් දෙන්න.

7 දෙමාපියන් උත්සාහ කරනවා අවංක වෙන්න, මහන්සි වෙලා වැඩ කරන්න, අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න වගේ හොඳ ගතිපැවතුම් දරුවන්ට උගන්වන්න. එහෙම කරන්නේ එයාලගේ නිදහස නැති කරන්න නෙවෙයි. දරුවන් සතුටින් ජීවත් වෙනවා දකින්න ආස නිසයි. වැඩිහිටියන් වෙලා ගෙදරින් පිට වුණාට පස්සේ තමන් කැමති විදිහට ජීවත් වෙන්න දරුවන්ට නිදහස තියෙනවා. දෙමාපියන් උගන්වපු විදිහට ජීවත් වෙන්න එයාලා තීරණය කළොත් හරි තීරණ ගන්නත් අනවශ්‍ය සිත්තැවුල් අද්දකින්නේ නැතුව ඉන්නත් එයාලට පුළුවන් වෙයි.

8 දරුවන්ට ආදරෙන් සලකන දෙමාපියන් වගේ යෙහෝවා දෙවිත් කැමති තමන්ගේ දරුවන්ට හොඳම ජීවිතයක් ලබා දෙන්න. (යෙසා. 48:17, 18) ඒ නිසයි හරි වැරැද්ද තේරුම්ගන්න උදව් වෙන ප්‍රතිපත්ති ගැනත් අනිත් අයට සලකන්න ඕන විදිහ ගැනත් ඔහු අපිට උගන්වන්නේ. කාරණා දිහා ඔහු බලන විදිහට බලන්න කියලත් ඔහු දීලා තියෙන ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න කියලත් ඔහු අපිට ආරාධනා කරනවා. ඒ ආරාධනය පිළිගත්තොත් අපේ නිදහස නැති වෙන්නේ නැහැ. බුද්ධිමත්ව හිතලා හරි තීරණ ගන්න ඒක අපිට උදව් වෙනවා. (ගීතා. 92:5; හිතෝ. 2:1-5; යෙසා. 55:9) දෙවිගේ ප්‍රතිපත්ති කඩ වෙන්නේ නැති විදිහට අපි කැමති දේවල් කරන්නත් අපිට පුළුවන් වෙනවා. (ගීතා. 1:2, 3) යෙහෝවා දෙවි හිතන විදිහට හිතද්දී මොන තරම් ප්‍රයෝජන ලැබෙනවාද!

යෙහෝවා දෙවි හිතන විදිහ හුඟක් උසස්

9, 10. දෙවි හිතන විදිහ මේ ලෝකයේ මිනිසුන් හිතන විදිහට වඩා උසස් වෙන්නේ කොහොමද?

9 දෙවි හිතන විදිහට හිතන්න අපි උත්සාහ කරන්න ඕන තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි ලෝකයේ මිනිසුන් හිතන විදිහට වඩා දෙවි හිතන විදිහ හුඟක් උසස් වෙන එක. යහපත් ජීවිතයක් ගත කරනවා කියන්නේ මොකක්ද, පවුල් ජීවිතය සතුටින් ගෙවන්න පුළුවන් කොහොමද, හොඳ රස්සාවක් හොයාගන්න කරන්න ඕනෙ මොනවාද වගේ දේවල් ගැන මිනිසුන් විවිධ මත ඉදිරිපත් කරනවා. හැබැයි යෙහෝවා දෙවි හිතන විදිහ ඊට වඩා හාත්පසින්ම වෙනස්. උදාහරණෙකට මේ ලෝකය මිනිසුන්ව දිරිගන්වන්නේ තමන්ගේම සතුට ගැන හිතන්න කියලයි. අනාචාර ජීවිතයක් ගත කරන එකේ කිසිම වරදක් නැහැ කියලා හිතන්නත් සාධාරණ හේතුවක් නැතත් දික්කසාද වුණාට, වෙන් වුණාට කමක් නැහැ කියලා හිතන්නත් මිනිසුන්ව පොලඹවනවා. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඊට වඩා වෙනස්. ඒවාට වඩා මේ ලෝකයේ මිනිසුන් ලබා දෙන උපදෙස් ප්‍රයෝජනවත් කියලා කියන්න පුළුවන්ද?

10 යේසුස් කිව්වා “ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලිනුයි” කියලා. (මතෙ. 11:19) මේ ලෝකය තාක්ෂණය අතින් හිණිපෙත්තටම නැඟලා තිබුණත් යුද්ධ, ජාතිවාදය, අපරාධ වගේ සැබෑ සතුට නැති වෙන්න බලපාන දේවලට විසඳුමක් හොයාගෙන නැහැ. අනාචාර ජීවිතයක් ගෙවන එකේ කිසි වරදක් නැහැ කියලා මේ ලෝකයේ මිනිසුන් හිතුවත් ඒ නිසා පවුල් කැඩෙන එක, සෞඛ්‍ය ගැටලු මතු වෙන එක වගේ නරක ප්‍රතිඵල අද්දකින්න වෙලා තියෙනවා කියලා හුඟදෙනෙක් පිළිගන්නවා. හැබැයි යෙහෝවා දෙවි හිතන විදිහට හිතන අයට පුළුවන් වෙලා තියෙනවා පවුල් ජීවිතය සතුටින් ගත කරන්න, නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගන්න සහ ලෝකේ වටේම ඉන්න සාක්ෂිකරුවන් එක්ක සමාදානයෙන් ඉන්න. (යෙසා. 2:4; ක්‍රියා 10:34, 35; 1 කොරි. 6:9-11) දෙවි හිතන විදිහ මේ ලෝකේ මිනිසුන් හිතන විදිහට වඩා හුඟක් උසස් කියලා ඒකෙන් පැහැදිලි වෙනවා නේද?

11. මෝසෙස් හිතුවේ කවුරු හිතන විදිහටද? ප්‍රතිඵලය මොකක්ද?

11 අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් පිළිගත්තා දෙවි තරම් උසස් අදහස් තියෙන වෙන කෙනෙක් නැහැ කියලා. උදාහරණෙකට “ඊජිප්තුවරුන් ලැබූ දැනුම් සම්භාරය” මෝසෙස්ට ලැබුණත් එයා දැනගෙන හිටියා සැබෑ ප්‍රඥාව ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන් කියලා. (ක්‍රියා 7:22; ගීතා. 90:12) ඒ නිසයි එයා දෙවිගෙන් ඉල්ලුවේ “ඔබේ මාර්ග මට කියා දෙන්න” කියලා. (නික්. 33:13) මෝසෙස් හිතුවේ දෙවි හිතන විදිහට නිසා දෙවි තමන්ගේ අරමුණ ඉටු කරගන්න එයාව යොදාගත්තා. ඒ වගේම ශක්තිමත් විශ්වාසයක් තිබුණ කෙනෙක් විදිහට දෙවි එයාව හඳුන්වලා තියෙනවා.—හෙබ්‍රෙ. 11:24-27.

12. පාවුල් තීරණ ගත්තේ කොහොමද?

12 අඩුම තරමින් භාෂා දෙකක්වත් දැනගෙන හිටපු පාවුල් උගත්, බුද්ධිමත් කෙනෙක් වුණා. (ක්‍රියා 5:34; 21:37, 39; 22:2, 3) හැබැයි යම් කාරණයක් හරිද වැරදිද කියලා තීරණය කරන්න වෙද්දී එයා මේ ලෝකයේ ප්‍රඥාව මත රඳලා හිටියේ නැහැ. ඒ වෙනුවට එයා හැම තීරණයක්ම ගත්තේ ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙනයි. (ක්‍රියා 17:2; 1 කොරින්ති 2:6, 7, 13 කියවන්න.) ප්‍රතිඵලයක් විදිහට දේවසේවය සාර්ථකව ඉටු කරන්නත් කවදාවත් අහිමි නොවෙන ත්‍යාගයක් බලාපොරොත්තුවෙන් ඉන්නත් එයාට පුළුවන් වුණා.—2 තිමෝ. 4:8.

13. දෙවි කැමති විදිහට අපේ සිතුවිලි සකස් කරගන්න වගකීම තියෙන්නේ කාටද?

13 දෙවි හිතන විදිහ තේරුම් අරන් ඒ විදිහට අපේ ජීවිත ගත කරනවා නම් සැබෑ සතුට අද්දකින්න පුළුවන්. හැබැයි දෙවි හිතන විදිහට හිතන්න කියලා ඔහු අපිට කවදාවත් බල කරන්නේ නැහැ. ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාවත්’ වැඩිමහල්ලන්වත් අපි හිතන විදිහට බලපෑම් කරන්න උත්සාහ කරන්නේ නැහැ. (මතෙ. 24:45; 2 කොරි. 1:24) දෙවි කැමති විදිහට අපේ සිතුවිලි සකස් කරගන්න වගකීම තියෙන්නේ අපි එක් එක් කෙනාට මිසක් වෙන කාටවත් නෙවෙයි.

මේ ලෝකයට අනුව හැඩගැහෙන්න එපා

14, 15. (අ) දෙවි කැමති විදිහට හිතන්න උදව් වෙන්නේ මොනවා ගැන කල්පනා කරන එකද? (ආ) ලෝකයේ මිනිසුන් දරන ආකල්ප අපේ මනසට ඇතුල් කරගන්න හොඳ නැත්තේ ඇයි? උදාහරණයක් දෙන්න.

14 රෝම 12:2 මෙහෙම කියනවා. “මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න. එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.” සත්‍යය ගැන දැනගන්න කලින් මොන විදිහට හිතන්න පුරුදු වෙලා හිටියත් දෙවි කැමති විදිහට හිතන්න පුරුදු වෙන්න අපිට පුළුවන් කියලා ඒ පදයෙන් පැහැදිලි වෙනවා. අපේ ජානවල බලපෑම සහ අපි ලබලා තියෙන අද්දැකීම් අපි හිතන විදිහට යම් දුරකට හරි බලපානවා. හැබැයි හුඟක් වෙලාවට අපේ මනසට ඇතුල් කරගන්න තෝරාගන්න දේවල් අනුව අපි හිතන විදිහ වෙනස් වෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි හිතන විදිහ ගැන හොඳට කල්පනා කළොත් ඔහු හිතන විදිහේ කිසිම වරදක් නැහැ කියලා අපිටම තහවුරු වෙයි. එතකොට කැමැත්තෙන්ම දෙවි හිතන විදිහට හිතන්න අපි පෙලඹෙයි.

15 හැබැයි දෙවි හිතන විදිහට හිතන්න නම් අපි “මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න” ඕනේ. ඒ කියන්නේ දෙවි හිතන විදිහට වෙනස්ව හිතන්න පොලඹවන දේවල් බලන එක, කියවන එක සහ ඒවාට ඇහුම්කන් දෙන එක අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒක කොයි තරම් වැදගත්ද කියලා තේරුම්ගන්න උදාහරණයක් බලමු. නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගන්න කැමති කෙනෙක් තීරණය කරන්න පුළුවන් තමන් ගුණදායක කෑම කනවා කියලා. ඒත් ඒ කෑම කන අතරතුරේ නරක් වුණු කෑමත් කෑවොත් මොනවා වෙයිද? යෙහෝවා දෙවි හිතන විදිහ ගැන ඉගෙනගන්න උත්සාහ කරන අතරතුරේ ලෝකයේ අදහස් අපේ මනසට ඇතුල් කරගත්තොත් ඒකත් හරියට ගුණදායක කෑම කන අතරේ නරක් වුණු කෑම කනවා වගේ දෙයක්.

16. අපි අපිවම ආරක්ෂා කරගන්න ඕනෙ මොන දේවලින්ද?

16 අපි ජීවත් වෙන්නේ මේ ලෝකයේ නිසා මිනිසුන් දරන අදහස් මනසට ඇතුල් වෙන එක සම්පූර්ණයෙන්ම වළක්වාගන්න අපිට බැහැ. (1 කොරි. 5:9, 10) උදාහරණෙකට දේශනා සේවයේ යද්දී මිනිසුන් කියන වැරදි අදහස් සහ බොරු විශ්වාසයන් අපිට අහන්න ලැබෙනවා. ඒ වගේ දේවල් අහන්න ලැබෙන එක වළක්වාගන්න බැරි වුණත් ඒ අදහස් ගැනම හිතහිතා ඉන්නවත් ඒ දේවල් හරියි කියලා පිළිගන්නවත් ඕනෙ නැහැ. යේසුස් කළා වගේ අපිත් සාතන්ගෙන් එන අදහස් ඉක්මනින්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒ වගේම ලෝකයේ අදහස් අපේ මනසට ඇතුල් වෙන එක වළක්වාගන්න පුළුවන් හැම අවස්ථාවකදීම ඒ දේවලින් වළකින්න අපි වගබලා ගන්න ඕනේ. (හිතෝපදේශ 4:23 කියවන්න.) ඒ කොහොමද?

17. මේ ලෝකයේ මිනිසුන්ගේ අදහස් මනසට ඇතුල් වෙන එක වළක්වාගන්න අපිට පුළුවන් කොහොමද?

17 යාළුවන්ව තෝරාගද්දීත් පරෙස්සම් වෙන්න ඕනේ. යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ නැති අයව කිට්ටු යාළුවන් කරගත්තොත් අපිත් එයාලා වගේ හිතන්න පෙලඹෙයි කියලා බයිබලයේ අනතුරු අඟවලා තියෙනවා. (හිතෝ. 13:20; 1 කොරි. 15:12, 32, 33) විනෝදයට කරන්න තෝරාගන්න දේවල් ගැනත් අපි පරෙස්සම් වෙන්න ඕනේ. පරිණාමය, ප්‍රචණ්ඩත්වය, අනාචාරය ඇතුළත් දේවල් විනෝදයට තෝරාගන්න එක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ‘දෙවි පිළිබඳ දැනුමට විරුද්ධ’ අදහස් අපේ මනසට ඇතුල් වෙන එක වළක්වාගන්න ඒක උදව් වෙයි.—2 කොරි. 10:5.

විනෝදයටවත් හානිකර දේවල් තෝරාගන්නේ නැතුව ඉන්න ඔයාගේ දරුවන්ට ඔයා උදව් කරනවාද? (18 සහ 19 ඡේද බලන්න)

18, 19. (අ) මේ ලෝකයේ අදහස් අපේ මනසට ඇතුල් වෙයි කියලා බැලූ බැල්මට පේන්නේ නැති පැති ගැනත් අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි? (ආ) අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද? ඒ ඇයි?

18 නොහිතන පැතිවලිනුත් මේ ලෝකයේ අදහස් අපේ මනසට ඇතුල් වෙන්න පුළුවන්. උදාහරණෙකට වාර්තාකරුවන් සමහර දේශපාලන මතවලට පක්ෂව තොරතුරු වාර්තා කරනවා. ලෝකයේ මහා ඉහළින් සලකන සමහර දේවල් ගැන ප්‍රවෘත්තිවලින් පෙන්වනවා. සමහර චිත්‍රපටිවලින්, පොත් පත්වලින් දිරිගන්වන්නේ මුලින්ම “තමන් ගැන හිතන්න,” “පවුල ගැන හිතන්න” වගේ අදහස්. ඒ අදහස් ආකර්ෂණීය විදිහටත් වරදක් නැහැ කියලා පේන විදිහටත් ඉදිරිපත් කරනවා. හැබැයි බයිබලයේ කියන්නේ අපිටත් පවුලේ අයටත් නියම සතුට අද්දකින්න පුළුවන් වෙන්නේ හැම දේකටම වඩා වැඩියෙන් යෙහෝවා දෙවිට ආදරේ කළොත් විතරයි කියලයි. (මතෙ. 22:36-39) අනාචාර ජීවිතයක් ගත කරන එකේ වරදක් නැහැ කියලා කෙළින්ම නොකිව්වත් එහෙම ඇඟවෙන විදිහටයි අද පුංචි දරුවන්ගේ සමහර වැඩසටහන් පවා සකස් කරලා තියෙන්නේ.

19 ඒ තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ විනෝද වෙන එක වැරදියි කියලාද? නැහැ. ඒත් අපි මේ දේවල් ගැන හිතන්න ඕනේ. ‘විනෝදයට කරන්න තියෙන සමහර දේවලින් ලෝකයේ අදහස් හරියි කියලා අඟවද්දී අපි ඒ දේවල් ඉක්මනින්ම හඳුනාගන්නවාද? ඒ වගේ අදහස් ඇතුළත් ටීවී වැඩසටහන් බලන එකෙන් සහ ප්‍රකාශන කියවන එකෙන් මං වැළකෙනවාද? මගේ දරුවන්වත් ඒ වගේ දේවලින් වළක්වාගන්නවාද? දෙවි හිතන විදිහට හිතන්න දරුවන්ව පුහුණු කරලා මේ ලෝකයේ අදහස්වලින් එයාලව ආරක්ෂා කරගන්නවාද?’ දෙවි හිතන විදිහ මිනිසුන් හිතන විදිහට වඩා කොයි තරම් වෙනස්ද කියන එක අපි හොඳින් අවබෝධ කරගත්තොත් “මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න” අපිට පුළුවන්.

ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද?

20. ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද කියන එක තීරණය වෙන්නේ මොකක් අනුවද?

20 ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද? ඒක තීරණය වෙන්නේ ඔයා තොරතුරු ලබාගන්නේ කොහෙන්ද කියන එක අනුවයි. තොරතුරු ලබාගන්න පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවිගෙන් නැත්නම් සාතන් යටතේ තියෙන මේ ලෝකයෙන් විතරයි. අපි ලෝකයේ මිනිසුන් දරන අදහස් පිළිගත්තොත් ඒ විදිහට හිතන්නත් ක්‍රියා කරන්නත් පෙලඹෙයි. ඒ නිසා අපි හිතන දේවල් ගැන හුඟක් පරෙස්සම් වෙමු.

21. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

21 මේ ලිපියෙන් අපි බැලුවා යෙහෝවා දෙවි හිතන විදිහට හිතන්න නම් නරක දේවල් ප්‍රතික්ෂේප කරන එකට වඩා වැඩි දෙයක් අපි කරන්න ඕනෙ කියලා. දෙවි හිතන විදිහ ගැන අපි හොඳින් කල්පනා කරන්නත් ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

^ 5 ඡේ. තමන් හිතන විදිහට කවුරුවත් බලපෑම් කරනවාට අකමැති කෙනෙක්ට වුණත් අනිත් අය කරන කියන දේවල් බලපානවා. උදාහරණෙකට ජීවය ඇරඹුණේ කොහොමද නැත්නම් තෝරාගන්න ඕනෙ මොන වගේ ඇඳුම්ද වගේ දේවල් ගැන හිතද්දී අනිත් අයගේ අදහස් යම් දුරකට හරි බලපානවා. හැබැයි අපිට බලපෑම් කරන්න ඉඩ දෙන්නේ කාටද කියලා තීරණය කරන්න අපිට පුළුවන්.