Skip to content

පටුනට යන්න

ඔයා හිතන්නේ යෙහෝවා දෙවි හිතන විදිහටද?

ඔයා හිතන්නේ යෙහෝවා දෙවි හිතන විදිහටද?

ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.”—රෝම 12:2.

ගීතිකා: 56, 123

1, 2. යෙහෝවා දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගද්දී අපි ඉගෙනගන්නේ මොනවා කරන්නද? උදාහරණයක් දෙන්න.

හිතන්න කෙනෙක් පොඩි දරුවෙක්ට තෑග්ගක් දෙනවා කියලා. දෙමාපියන් ඒ දරුවාට කියනවා “තැන්ක් යූ” කියන්න කියලා. දරුවා ඒ දේ කියන්නේ දෙමාපියන් එයාට කියපු නිසයි. හැබැයි ලොකු වෙද්දී ඒ දරුවා තේරුම්ගන්නවා අනිත් අය කාරුණික දෙයක් කළාම එයාලට ස්තුති කරන්න දෙමාපියන් ඉගැන්නුවේ ඇයි කියලා. ඒ නිසා අනිත් අය කාරුණික දෙයක් කරද්දී ඒ වෙනුවෙන් ස්තුති කරන්න එයාම පෙලඹෙනවා.

2 ඒ වගේම දෙයක් තමයි අපිටත් වෙලා තියෙන්නේ. අපි මුලින්ම යෙහෝවා දෙවි ගැන ඉගෙනගද්දී ඔහුට කීකරු වෙන එකේ වැදගත්කම දැනගත්තා. හැබැයි කාලයත් එක්කම ඔහුත් එක්ක තියෙන බැඳීම වැඩි වෙද්දී ඔහු හිතන විදිහ ඒ කියන්නේ ඔහු කැමති, අකමැති දේවල් සහ ඔහු කාරණා දිහා බලන විදිහ ගැන අපි දැනගත්තා. දෙවි හිතන විදිහට හිතන්න අපි උත්සාහ කරද්දී අපි ඔහු කැමති ආකාරයට දේවල් කරන්න සහ තීරණ ගන්න පෙලඹෙනවා.

3. යෙහෝවා දෙවි හිතන විදිහට හිතන එක අභියෝගයක් වෙන්න පුළුවන් ඇයි?

යෙහෝවා දෙවි හිතන විදිහට හිතන්න අපි ඉගෙනගන්නේ ලොකු ආසාවකින් වුණත් අපි අසම්පූර්ණ නිසා සමහර කාරණා දිහා දෙවි බලන විදිහට බලන එක අභියෝගයක් වෙනවා. උදාහරණෙකට දේශනා සේවය, ලේවලින් වළකින එක, ධන සම්පත් පස්සේ යන එක සහ අනාචාරය වගේ දේවල් ගැන දෙවි හිතන්නේ කොහොමද කියලා අපි දන්නවා. ඒත් දෙවි ඒ විදිහට හිතන්නේ ඇයි කියලා තේරුම්ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා තවත් වැඩියෙන් දෙවි හිතන විදිහට හිතන්න අපිට ඉගෙනගන්න පුළුවන් කොහොමද? දැනුත් අනාගතයේදීත් හරි තීරණ ගන්න ඒක උදව් වෙන්නේ කොහොමද?

දෙවි හිතන විදිහට හිතන්න පුළුවන් කොහොමද?

4. ‘අලුත් ආකාරයකින් හිතන්න පුරුදු වෙන්න’ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

4 රෝම 12:2 කියවන්න. දෙවි හිතන විදිහට හිතන්න ඉගෙනගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද කියලා පාවුල් මේ පදයේ පැහැදිලි කළා. එයා කිව්වේ “තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න” ඕනෙ කියලයි. ඒකෙන් අදහස් වෙන්නේ ලෝකයේ අදහස් සහ ආකල්ප අපි ප්‍රතික්ෂේප කරන්න ඕනෙ කියන එකයි. අපි අලුත් ආකාරයකින් හිතන්න පුරුදු වෙන්න ඕනෙ කියලත් පාවුල් කිව්වා. ඒ කියන්නේ අපි බයිබලය අධ්‍යයනය කරන්න, දෙවි හිතන විදිහ තේරුම්ගන්න, ඒ ගැන හොඳින් කල්පනා කරන්න වගේම පුළුවන් උපරිමයෙන් ඔහු හිතන විදිහට හිතන්න වෑයම් කරන්න ඕනෙ කියන එකයි.

5. අධ්‍යයනය කරනවා කියන්නේ මොකක්ද?

5 අධ්‍යයනය කරනවා කියන්නේ නිකම්ම තොරතුරු කියවන එකවත් උත්තර යටින් ඉරි ගහන එකවත් නෙවෙයි. අධ්‍යයනය කරද්දී ඒ තොරතුරුවලින් යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද, ඔහු යම් කාරණයක් ගැන හිතලා තියෙන්නේ කොහොමද සහ ඔහු එහෙම හිතලා තියෙන්නේ ඇයි කියලා අපි හිතන්න ඕනේ. ඒ වගේම සමහර දේවල් කරන්න කියලත් තවත් දේවල් කරන්න එපා කියලත් ඔහු කියලා තියෙන්නේ ඇයි කියලා අපි තේරුම්ගන්න ඕනේ. ඉගෙනගන්න දේවල් අදාළ කරගෙන අපි කටයුතු කරන විදිහ සහ හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන් කොහොමද කියලත් හිතන්න ඕනේ. අපි අධ්‍යයනය කරන හැම වතාවකදීම ඒ හැම දෙයක් ගැනම හිතන්න අපිට බැරි වෙයි. ඒත් අපි අධ්‍යයනය කරන්න යොදවන කාලයෙන් භාගයක් ඒ තොරතුරු ගැන හිතන්න වෙන් කරගන්න එක වැදගත්.—ගීතා. 119:97; 1 තිමෝ. 4:15.

6. බයිබලයේ තියෙන තොරතුරු ගැන හොඳට හිතද්දී ලැබෙන ප්‍රතිඵල මොනවාද?

6 දිගටම බයිබලය අධ්‍යයනය කරලා ඒ ගැන හිතද්දී දෙවි හිතන විදිහ කොයි තරම් උසස්ද කියලා අපිටම තහවුරු වෙනවා. ඒ වගේම කාරණා ගැන ඔහු හිතන්නේ කොහොමද කියලත් ඔහු හිතන විදිහ හරි කියලත් තේරුම්ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි හිතන විදිහ වෙනස් කරගෙන අලුත් විදිහකට හිතන්න අපි පෙලඹෙනවා. කාලයත් එක්කම හැම කාරණයක් ගැනම දෙවි හිතන විදිහට හිතන්න අපි පෙලඹෙනවා.

අපි හිතන දේවල් අපේ ක්‍රියාවලට බලපානවා

7, 8. (අ) යෙහෝවා දෙවි ධන සම්පත් ගැන හිතන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූර බලන්න.) (ආ) ධන සම්පත් ගැන දෙවි හිතන විදිහට හිතුවොත් අපි වඩාත්ම වැදගත් දේ විදිහට සලකන්නේ මොකක්ද?

7 අපි මනසට ඇතුල් කරගන්න දේවල් අපේ සිතුවිලිවලට විතරක් නෙවෙයි අපි කටයුතු කරන විදිහටත් බලපානවා. (මාක් 7:21-23; යාකො. 2:17) ඒක තේරුම්ගන්න උදාහරණ කීපයක් බලමු. යෝසෙප් සහ මරියා ඒ තරම් පොහොසත් අය නෙවෙයි. ඒත් යේසුස්ව හදා වඩා ගන්න දෙවි තෝරාගත්තේ ඒ දෙන්නාව. (ලෙවී. 12:8; ලූක් 2:24) යේසුස් ඉපදුණු වෙලේ මරියා යේසුස්ව “ගවඔරුවක” තිබ්බා. (ලූක් 2:7) ඕනෙ නම් යෙහෝවා දෙවිට පුළුවන්කම තිබුණා වඩාත් සැප පහසු තැනක යේසුස්ව ඉපදෙන්න සලස්වන්න. ඒත් ඔහු වඩාත්ම වටිනා දේ විදිහට සැලකුවේ නමස්කාරයට මුල් තැන දෙන පවුලක යේසුස් හැදී වැඩෙන එකයි.

8 ධන සම්පත් ගැන දෙවි හිතන්නේ කොහොමද කියලා ඒ වාර්තාවෙන් අපිට තේරුම්ගන්න පුළුවන්. සමහර දෙමාපියන් අවධානය දෙන්නේ දරුවන්ට සැප පහසු ජීවිතයක් ලබා දෙන එක ගැන මිසක් දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න එක ගැන නෙවෙයි. හැබැයි දෙවි වඩාත්ම වටිනා දේ විදිහට සලකන්නේ අපි ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්න එකයි. ඒ ගැන දෙවි හිතන විදිහ ඔයා හොඳින්ම තේරුම් අරන්ද ඉන්නේ? ඔයා කටයුතු කරන විදිහෙන් ඒක පේනවාද?—හෙබ්‍රෙව් 13:5 කියවන්න.

9, 10. කෙනෙක් කරන දෙයක් නිසා තව කෙනෙක් බාධාවට පත් වෙන එක ගැන අපිත් හිතන්නේ දෙවි හිතන විදිහටමයි කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

9 දැන් අපි බලමු කෙනෙක් කරන දෙයක් නිසා තව කෙනෙක් බාධාවට පත් වෙනවා නම් ඒ කියන්නේ පාපයක් කරන්න නැත්නම් දෙවිව අත්හරින්න පෙලඹෙනවා නම් ඒ ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද කියලා. යේසුස් මෙහෙම කිව්වා. ‘යමෙක් කරන දෙයක් නිසා මා කෙරෙහි විශ්වාසය තබන කුඩා දරුවන් හා සමාන ඔවුන්ගෙන් එක් කෙනෙකු හෝ වැටී ගියොත් ඇඹරුම් ගලක් ඒ දේ කරන තැනැත්තාගේ බෙල්ලේ එල්ලා ඔහුව මුහුදේ හෙළීම වඩාත් හොඳයි.’ (මාක් 9:42) අනිත් අයව බාධාවට පත් වෙන විදිහට දේවල් කරන එක යේසුස් සැලකුවේ කොයි තරම් බරපතළ දෙයක් විදිහටද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. යේසුස්ට හැඟෙන්නෙත් යෙහෝවා දෙවිට හැඟෙන විදිහටමයි. කෙනෙක් තමන් කරන කියන දෙයක් නිසා තව කෙනෙක් පාපයක් කරන්න පෙලඹෙයිද කියන එක ගැන කිසිම තැකීමක් කරන්නේ නැති එක කොයි තරම් බරපතළ කාරණයක් විදිහට දෙවි සලකනවාද කියලා ඒකෙන් තේරුම්ගන්න පුළුවන්.—යොහ. 14:9.

10 ඒ කාරණය ගැන අපි හිතන්නෙත් දෙවි සහ යේසුස් හිතන විදිහටමද? ඒක අපි ක්‍රියා කරන විදිහෙන් පැහැදිලි වෙනවාද? උදාහරණෙකට අපි යම් විලාසිතාවකට කැමති වෙන්න පුළුවන්. ඒත් ඒක ඇන්දොත් සභාවේ අය අපහසුතාවට පත් වෙයි නැත්නම් අනාචාර සිතුවිලි ඇති වෙයි කියලා දන්නවා නම් මොකද කරන්නේ? සහෝදරයන්ට තියෙන ආදරේ නිසා ඒ ඇඳුම අඳින්නේ නැතුව ඉන්න අපි පෙලඹෙයිද?—1 තිමෝ. 2:9, 10.

11, 12. දෙවි පිළිකුල් කරන දේවල් හෙළාදකින්නත් අපිවම පාලනය කරගන්නත් ඉගෙනගන්න එක අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

11 යෙහෝවා දෙවි අධර්මිෂ්ඨකම හෙළාදකිනවා. (යෙසා. 61:8) පව්කාරකම උරුම වෙලා තියෙන නිසා සමහර අවස්ථාවලදී හරි දේ කරන එක අපිට අභියෝගයක් කියලා දෙවි දන්නවා. ඒත් ඔහු අපිට උනන්දු කරන්නේ ඔහු වගේම අධර්මිෂ්ඨකමට ද්වේෂ කරන්න කියලයි. (ගීතාවලිය 97:10 කියවන්න.) දෙවි අධර්මිෂ්ඨකමට ද්වේෂ කරන්නේ ඇයි කියලා හොඳින් හිතලා බලන එක අපිට උදව් වෙනවා ඔහු හිතන විදිහට ඒ දේවල් ගැන හිතන්න සහ ඔහු හෙළාදකින කිසිම දෙයක් නොකර ඉන්න.

12 අධර්මිෂ්ඨකම හෙළාදකින්න ඉගෙනගත්තොත් බයිබලයේ කෙළින්ම වැරදියි කියලා නැති කාරණයක් වුණත් වැරදියි කියලා තේරුම්ගන්න අපිට පුළුවන්. උදාහරණෙකට කෙනෙක්ගේ ඔඩොක්කුවේ ඉඳන් කාමුක හැඟීම් ඇවිස්සෙන විදිහට නටන නැටුම් අද හුඟක් ප්‍රසිද්ධ වෙලා. ‘එහෙම නැටුවා කියලා අපි අනාචාරයේ යෙදෙන්නේ නැහැනේ’ කියලා හිතන නිසා සමහර අය ඒවාට හවුල් වෙන එකේ වරදක් දකින්නේ නැහැ. * යෙහෝවා දෙවිත් හිතන්නේ එහෙමද? ඔහු අධර්මිෂ්ඨකමට අයිති හැම දේම හෙළාදකිනවා. ඒ නිසා දෙවි පිළිකුල් කරන හැම දේම හෙළාදකින්නත් අපිවම පාලනය කරගන්නත් ඉගෙනගෙන, දෙවි පිළිකුල් කරන හැම දේකින්ම වැළකිලා ඉන්න උපරිමයෙන් වෑයම් කරමු.—රෝම 12:9.

අනාගතයේදී හරි තීරණයක් ගන්න දැන්ම සූදානම් වෙන්න

13. අනාගතයේදී හරි තීරණ ගන්න නම් දැන් ඉඳන්ම දෙවි කාරණා ගැන හිතන්නේ කොහොමද කියලා හිතන එක වැදගත් ඇයි?

13 අපි අධ්‍යයනය කරද්දී යෙහෝවා දෙවි කාරණා ගැන හිතන විදිහ ගැන හිතන්න ඕනේ. ඒක අපිට උදව් වෙයි අනාගතයේදී හරි තීරණ ගන්න. එතකොට ඕනෙම වෙලාවක ඉක්මන් තීරණයක් ගන්න වෙද්දී අපි කරන්න ඕන දේ කලින්ම තීරණය කරලා තියෙන නිසා කලබල වෙන්න ඕනෙ නැහැ.—හිතෝ. 22:3.

14. පොතිෆර්ගේ බිරිඳගේ ඉල්ලීමට යෝසෙප් ප්‍රතිචාරය දක්වපු විදිහෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 පොතිෆර්ගේ බිරිඳ වැරදි යෝජනාවක් කළාම යෝසෙප් ඒක ප්‍රතික්ෂේප කළා. විවාහක යුවළක් එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න එක ගැන දෙවිට හැඟෙන විදිහ යෝසෙප් කලින්ම තේරුම් අරන් හිටියා කියලා ඒකෙන් පැහැදිලියි. (උත්පත්ති 39:8, 9 කියවන්න.) එයා පොතිෆර්ගේ බිරිඳට කිව්වා ‘මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව පව් කරන්නේ කොහොමද’ කියලා. අනාචාරය ගැන යෝසෙප් හිතුවෙත් දෙවි හිතන විදිහටමයි කියලා ඒකෙන් පැහැදිලියි. වැඩපොළේ කෙනෙක් ඔයාට ඉඟි බිඟි පෑවොත් නැත්නම් කෙනෙක් අසභ්‍ය පණිවිඩයක් ඔයාගේ ෆෝන් එකට එව්වොත් මොකද කරන්නේ? * ඒ වගේ කාරණා ගැන දෙවි හිතන්නේ කොහොමද කියලත් ඔහු හිතන විදිහ තමයි හරි කියලත් අපි හොඳින් තේරුම් අරන් ඉන්නවා නම් ඒ වගේ අවස්ථාවකදී කරන්න ඕන දේ කලින්ම හිතලා තියෙනවා නම් දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන්.

15. හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා වගේ දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන් කොහොමද?

15 තමන් හදපු රූපය ඉදිරියේ වැඳ වැටෙන්න කියලා නෙබුකද්නෙෂර් රජ නියෝග කළත් ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ නිර්භීතව ඒක ප්‍රතික්ෂේප කළා. දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න නම් කරන්න ඕනෙ දේ ගැන එයාලා කලින්ම හිතලා තිබුණා කියලා එයාලා රජුට දීපු උත්තරෙන් පැහැදිලි වෙනවා. (නික්. 20:4, 5; දානි. 3:4-6, 12, 16-18) අපිත් එහෙමද? අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ උත්සවයකට සම්මාදමක් දෙන්න කියලා වැඩපොළේ ස්වාමියා කිව්වොත් ඔයා මොකද කරන්නේ? එහෙම දෙයක් වෙන කල් ඉන්නේ නැතුව ඒ වගේ දේවල් ගැන දෙවි හිතන්නේ කොහොමද කියලා දැන්මම හිතමු. එතකොට ඒ වගේ තත්වෙකට මුහුණ දෙන්න වෙද්දී හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා වගේ බය නැතුව හරි දේ කියන්නත් කරන්නත් අපිට පුළුවන් වෙයි.

ඔයා තොරතුරු හොඳින් අධ්‍යයනය කරලා වෛද්‍ය ප්‍රතිකාරවලට අදාළ නීතික ලියවිල්ලක් සකස් කළාද? ඔයාගේ තීරණය ගැන වෛද්‍යවරයාව දැනුවත් කළාද? (16 ඡේදය බලන්න)

16. දෙවි හිතන විදිහ ගැන අවබෝධ කරගෙන ඉන්න එක හදිසි අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න වෙද්දී අපිට උදව් වෙන්නේ කොහොමද?

16 දෙවි හිතන විදිහ ගැන අපි හොඳින් කල්පනා කරනවා නම් හදිසි අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න වෙද්දිත් දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන් වෙයි. අපි රුධිරයවත් රුධිරයේ ප්‍රධාන කොටස්වත් ගන්නේ නැහැ. (ක්‍රියා 15:28, 29) ඒත් රුධිරය සම්බන්ධ කරගෙන කරන සමහර ප්‍රතිකාර ක්‍රම ගැන අපි එක් එක් කෙනා බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව තීරණයක් ගන්න ඕනේ. අසනීපයක් නිසා ලොකු වේදනාවකින් ඉද්දී ඒ වගේ කාරණයක් ගැන තීරණයක් ගන්න එක ලේසියිද? නැහැ නේද? ඒ නිසා දැන්මම ඒ කාරණා ගැන හොඳින් අධ්‍යයනය කරන්න. ඔයාගේ තීරණය නීතික ලියවිල්ලක සටහන් කරන්න. ඔයා ගත්ත තීරණය ගැන ඔයාගේ වෛද්‍යවරයාව කලින්ම දැනුවත් කරන්න. *

17-19. යෙහෝවා දෙවි හිතන විදිහ ගැන දැන්ම ඉගෙනගන්න එක වැදගත් ඇයි? උදාහරණයක් දෙන්න.

17 “ස්වාමීනි, ඔබ ගැනත් ටිකක් හිතන්න” කියලා පේතෘස් කිව්වාම යේසුස් කියපු දේ ගැන ටිකක් හිතන්න. දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වෙන දේ ගැනත් අනාවැකිවල තමන් ගැන සඳහන් වෙන දේවල් ගැනත් යේසුස් කලින්ම හොඳට හිතලා තිබුණා. දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න වගේම තමන්ගේ ජීවිතය පූජා කරන්න යේසුස්ට ඒ දැනුම උදව් වුණා.—මතෙව් 16:21-23 කියවන්න.

18 අපි දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගනියි කියලත් ශුභාරංචිය දේශනා කරයි කියලත් දෙවි බලාපොරොත්තු වෙනවා. (මතෙ. 6:33; 28:19, 20; යාකො. 4:8) ඒත් අපි ඒ දේවල් කරද්දී සමහර අය අපිව අධෛර්යය කරන්න ඉඩ තියෙනවා. සමහරවිට පේතෘස් වගේ එයාලත් ඒ දේ කරන්නේ හොඳ චේතනාවකින් වෙන්න පුළුවන්. හිතන්න වැඩපොළේ ස්වාමියා ඔයාගේ පඩිය වැඩි වෙන විදිහට උසස් වීමක් දෙන්න ඉදිරිපත් වෙනවා කියලා. ඒත් ඔයා ඒක භාරගත්තොත් නමස්කාර කටයුතුවලට යොදවන කාලය කැප කරන්න වෙනවා. ඔයා මොකද කරන්නේ? වෙන ප්‍රදේශයකට ගිහින් අමතර අධ්‍යාපනයක් ලබන්න ඔයාට අවස්ථාව ලැබෙනවා කියලා හිතන්න. ඒකට කැමති වුණොත් ඔයාට අම්මලාගෙන් වෙන් වෙලා යන්න වෙනවා. ඒ අවස්ථාවේදී ඒ ගැන යාච්ඤා කරන්න, තොරතුරු පර්යේෂණය කරන්න, පවුලේ අයත් එක්ක හරි වැඩිමහල්ලන් එක්ක හරි ඒ ගැන කතා කරන්න ඔයාට සිද්ධ වෙයිද? ඒ වගේ කාරණා ගැන දෙවි හිතන්නේ කොහොමද කියලා දැන්මම හිතලා බලලා ඔහු හිතන විදිහට හිතන්න ඉගෙනගන්න. එතකොට කවදා හරි දවසක ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණොත් ඔයාට ඒ ගැන හිතහිතා ඉන්න ඕන වෙන එකක් නැහැ. යෙහෝවා දෙවිට කරන සේවයට මුල් තැන දෙන්න ඔයා තීරණය කරලා තියෙන නිසා කරන්න ඕනෙ මොකක්ද කියලා ඔයාටම තේරෙයි.

19 ඔයාගේ විශ්වාසය සෝදිසියට ලක් වෙන ඒ වගේ තවත් අවස්ථා ගැන හොඳට හිතන්න. අපිට මුහුණ දෙන්න වෙන හැම දෙයක් ගැනම කලින්ම හිතන්න බැහැ තමයි. ඒත් අපේ පෞද්ගලික අධ්‍යයනයේදී අපි දෙවි හිතන විදිහ ගැන හොඳට කල්පනා කරනවා නම් ඕනෙම කාරණයක් ගැන තීරණයක් ගන්න වෙද්දී අපි ඉගෙනගෙන තියෙන දේවල් පදනම් කරගෙන හරි තීරණයක් ගන්න අපිට පුළුවන් වෙයි. ඒ නිසා අපි අධ්‍යයනය කරද්දී දෙවි හිතන විදිහ ගැන හොඳට කල්පනා කරන්නත් දෙවි හිතන විදිහට දේවල් ගැන හිතන්නත් කාලය ගමු. ඒ වගේම ඒ තොරතුරු හරි තීරණ ගන්න අපිට උදව් වෙන්නේ කොහොමද කියලත් හිතමු.

දෙවි හිතන විදිහට හිතන අයට ලැබෙන ආශීර්වාද

20, 21. (අ) පාරාදීස පොළොවේදී අපේ නිදහස සතුටින් භුක්ති විඳින්න අපිට පුළුවන් වෙන්නේ ඇයි? (ආ) මේ කාලේදීත් සතුටින් ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

20 අනාගතයේදී ප්‍රීතිමත් කාලයක ජීවත් වෙන්න අපි හැමෝම ඉන්නේ ලොකු ආසාවකින්. අපි අතරින් වැඩිදෙනෙක් ආසාවෙන් ඉන්නේ පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වෙන්න. දේවරාජ්‍යය මාර්ගයෙන් එදාට අපේ දුකට හේතු වෙන හැම දේකටම නිමාවක් ලැබෙයි. අපි ආස කරන දේවල් කරන්න එදාට නිදහස තියෙයි.

21 ඒත් අපිට සීමාවක් නැති නිදහසක් ලැබෙයි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. එදාටත් හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා තීරණය කරන්න ඕනෙ දෙවි හිතන විදිහට සහ ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟවයි. (ගීතා. 37:11) අපි යෙහෝවා දෙවි හිතන විදිහට හිතනවා නම් මේ කාලේදීත් අපිට සතුටින් ඉන්න පුළුවන්.

^ 12 ඡේ. ඒ වගේ නැටුම්වල යෙදෙන අය අඩනිරුවත් ඇඳුම් ඇඳගෙන සේවාලාභියාගේ ඔඩොක්කුවේ ඉඳන් කාමුක හැඟීම් ඇවිස්සෙන විදිහට නටනවා. ක්‍රිස්තියානියෙක් ඒ වගේ දේකට හවුල් වෙලා තියෙනවා නම් වැඩිමහල්ලන් ඒ ගැන හොයලා බලලා ඒක අනාචාරය තරම්ම බරපතළ පාපයක් විදිහට සලකන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒ කාරණය විනිශ්චය කමිටුවකින් හසුරුවනවා. ඒ වගේ නැටුමකට හවුල් වුණු ක්‍රිස්තියානියෙක් වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්නම ඕනේ.—යාකො. 5:14, 15.

^ 14 ඡේ. සමහර අය ෆෝන් එකෙන් අසභ්‍ය පින්තූර, වීඩියෝ, කාමුක හැඟීම් අවුස්සන පණිවිඩ වගේ දේවල් යවනවා. ඒ වගේ අවස්ථාවකදී විනිශ්චය කමිටුවකින් ඒ කාරණය හසුරුවන්න වැඩිමහල්ලන් තීරණය කරන්න ඉඩ තියෙනවා. ඒ වගේ දේවල් කරපු සමහර යෞවනයන්ව ලිංගික අපරාධකරුවන් විදිහට පවා තීන්දු වෙලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න jw.org වෙබ් අඩවියේ “යොවුන් සිතේ ගැටලු - ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක භයානකද?” කියන ලිපිය බලන්න. (බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න.) නැත්නම් 2013 නොවැම්බර් ‘පිබිදෙව්!’ සඟරාවේ 4-5 පිටුවල තියෙන “දුරකථනය හරහා අසභ්‍ය දේ යැවීමේ ඇති භයානකකම ගැන කියා දෙන්න” කියන ලිපිය බලන්න.

^ 16 ඡේ. මේ කාරණය සම්බන්ධයෙන් උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැන දැනගන්න ‘දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු’ කියන පොතේ 246-249 පිටු බලන්න.