Skip to content

පටුනට යන්න

“මම ඔබේ සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නෙමි”

“මම ඔබේ සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නෙමි”

“යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ගය ගැන මට උගන්වන්න. මම ඔබේ සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නෙමි.”—ගීතා. 86:11.

ගීතිකා: 31, 72

1-3. (අ) බයිබලේ තියෙන සත්‍යයන් ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? පැහැදිලි කරන්න. (ලිපියේ මුල් පින්තූර බලන්න.) (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

භාණ්ඩයක් මිල දී ගත්තාට පස්සේ ඒක ආපහු දීලා වෙන දෙයක් ගන්න එක එහෙම නැත්නම් ආපහු සල්ලි ඉල්ලගන්න එක අද සාමාන්‍යය දෙයක් වෙලා. ඉන්ටර්නෙට් එක හරහා භාණ්ඩ මිල දී ගන්න හුඟක් අයත් ඒ දේ කරනවා. ගත්ත දේ ගැන එයාලා සෑහීමට පත් වෙන්නේ නැත්නම්, ඒකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් එයාලා ඒ දේ කරනවා.

2 ඒත් අපි මිල දී ගත්ත සත්‍යය අපි කවදාවත් වෙන දෙයක් එක්ක මාරු කරන්න හොඳ නැහැ. ඒක “මිල දී” ගත්තාට පස්සේ ඒක ‘විකුණන්න’ එහෙම නැත්නම් ඒක අපේ ජීවිතෙන් අයින් කරන්න අපිට ඕනෙ නැහැ. (හිතෝපදේශ 23:23 කියවන්න; 1 තිමෝ. 2:4) සත්‍යය මිල දී ගන්න අපි කැප කරපු දේවල් කීපයක් ගැන අපි කලින් ලිපියේ බැලුවා. වෙනත් දේවල් වෙනුවෙන් යොදවපු කාලය ඒවාවලින් එකක්. සමාජයේ ඉහළට ගිහින් මුදල් හම්බ කරන්න තිබුණ අවස්ථා තව එකක්. නෑදෑ හිත මිතුරන් එක්ක අපිට තිබුණ බැඳීම් සමහරවිට අපි කැප කරන්න ඇති. අපි හිතපු විදිහ, සමහර පුරුදු වෙනස් කරගන්න ඇති. දෙවි අකමැති චාරිත්‍ර සහ උත්සව පවත්වන එක නවත්තන්න ඇති. ඒත් අපි කැප කරපු ඒ හැම දේටම වඩා සත්‍යය මිල දී ගත්ත නිසා ලැබුණ ආශීර්වාද වටිනවා කියලා අපිට විශ්වාසයි.

3 අගනා මුතු හොයාගෙන ගිය සංචාරක වෙළෙන්දෙක් ගැන යේසුස් උපමාවක් කිව්වා. වටිනා මුතු ඇටයක් හම්බ වුණාම ඒක මිල දී ගන්න එයා ඉක්මනින්ම එයා ළඟ තිබුණ හැම දෙයක්ම විකුණුවා. ඒ මුතු ඇටයෙන් නියෝජනය වුණේ දේවරාජ්‍යය ගැන සත්‍යය. යේසුස් ඒ උපමාවෙන් ඉගැන්නුවේ සත්‍යය හොයන අයට ඒක කොච්චර වටිනවාද කියලා. (මතෙ. 13:45, 46) අපි මුලින්ම සත්‍යය දැනගත්තාම ඒ කියන්නේ දේවරාජ්‍යය ගැන සහ බයිබලේ තියෙන වෙනත් සත්‍යයන් ගැන දැනගත්තාම ඒක මිල දී ගන්න අපි ළඟ තිබුණ ඕනෙම දෙයක් කැප කරන්න අපි අදිමදි කළේ නැහැ. අපි දිගටම ඒ සත්‍යයන් වටිනා දේවල් විදිහට සලකනවා නම් ඒවා අපේ ජීවිතෙන් අයින් කරන්න හිතන්නේවත් නැහැ. ඒත් දෙවිගේ සෙනඟ අතරේ ඉන්න සමහරු ඒවා ගැන තියෙන අගය අඩු කරගෙන ඒවා අත්හැරලා දාන්න පෙලඹිලා තියෙනවා. අපිට නම් කවදාවත් ඒ වගේ දෙයක් කරන්න ඕනෙ නැහැ. ‘සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්න’ කියලා බයිබලේ තියෙන උපදෙසට කීකරු වෙන්නයි අපිට ඕනේ. (3 යොහන් 2-4 කියවන්න.) ඒ කියන්නේ සත්‍ය ඉගැන්වීම්වලට අපේ ජීවිතේ මුල් තැන දීලා අපි ජීවත් වෙන විදිහෙන් ඒක පෙන්නන්නයි ඕනේ. ඒත් කෙනෙක් සත්‍යය ‘විකුණන්න’ එහෙම නැත්නම් ඒක අත්හරින්නේ පෙලඹෙන්නේ කොහොමද? කවදාවත් ඒ වගේ දෙයක් නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද? ‘සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්න’ අපිට තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?

සමහරු සත්‍යය විකුණන්නේ ඇයි?

4. යේසුස්ගේ කාලේ හිටපු සමහරු දිගටම සත්‍ය මාර්ගයේ ගමන් කළේ නැත්තේ ඇයි?

4 යේසුස්ගේ කාලේ හිටපු සමහරු මුලින් සත්‍යය පිළිගත්තත් දිගටම ඒ මාර්ගයේ ගමන් කළේ නැහැ. උදාහරණෙකට යේසුස් ආශ්චර්යයක් කරලා විශාල පිරිසකට කෑම දුන්නාට පස්සේ ඒ සෙනඟ ගලීල මුහුද එහා පැත්තට යන කල්ම යේසුස් එක්ක ආවා. ඒත් “ඔබ මනුෂ්‍ය පුත්‍රයාගේ ශරීරය කෑමට ගන්නේවත් ඔහුගේ රුධිරය බොන්නේවත් නැත්නම් ඔබට ජීවනය හිමි වන්නේ නැහැ” කියලා යේසුස් කිව්වාම එයාලා පුදුම වුණා. යේසුස් කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද කියලා අහනවා වෙනුවට එයාලා මෙහෙම කිව්වා. “මෙය මහ පුදුම කතාවක්. මේ වගේ දේවල් අසාගෙන ඉන්න පුළුවන් කාටද?” ප්‍රතිඵලයක් විදිහට ‘යේසුස්ගේ ගෝලයන්ගෙන් බොහෝදෙනෙක් තමන් කලින් අත්හැර ආ දේවලට ආපසු හැරී ගියා. ඔහු සමඟ සිටීමට ඔවුන් තුළ තවදුරටත් කැමැත්තක් තිබුණේ නැහැ.’—යොහ. 6:53-66.

5, 6. (අ) අද ඉන්න සමහරු සත්‍ය මාර්ගයෙන් ඉවත් වෙලා තියෙන්නේ ඇයි? (ආ) කෙනෙක් නොදැනුවත්වම සත්‍ය මාර්ගයෙන් ඉවත්ව යන්න පුළුවන් කොහොමද?

5 අද ඉන්න සමහරු හිතාමතාම සත්‍ය මාර්ගයෙන් ඉවත්ව යන්න තීරණය කරලා තියෙනවා. සමහරවිට එයාලා එහෙම කළේ බයිබල් පදයක් ගැන තිබුණ අවබෝධය තවත් පැහැදිලි වෙද්දී කරපු වෙනස්කමක් නිසා නැත්නම් සංවිධානයේ මූලිකත්වය අරන් වැඩ කරන සහෝදරයෙක් කියපු, කරපු දෙයක් නිසා වෙන්න පුළුවන්. බයිබලේ යොදාගෙන කවුරු හරි උපදෙසක් දුන්න නිසා එහෙම නැත්නම් සභාවේ කෙනෙක් එක්ක මත ගැටුමක් ඇති වුණ නිසා සත්‍ය මාර්ගයෙන් ඉවත්ව යන අයත් ඉන්නවා. තවත් අය සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයගේ එහෙමත් නැත්නම් විරුද්ධවාදීන්ගේ අදහස් පිළි අරන් සත්‍ය මාර්ගයෙන් ඉවත්ව යනවා. (හෙබ්‍රෙ. 3:12-14) ඒත් හරි නම් එයාලා කරන්න ඕනෙ පේතෘස්ව ආදර්ශයට ගන්න එකයි. යේසුස් ඔහුගේ නියෝජිතයන්ගෙන් ඇහුවාම එයාලත් යේසුස්ව අත්හැරලා යනවාද කියලා පේතෘස් කිව්වේ මෙහෙමයි. “ස්වාමීනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයට මඟ පාදන වදන් පවසන්නේ ඔබ පමණයි.”—යොහ. 6:67-69.

6 තවත් අය නොදැනුවත්වම සත්‍යය මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. හරියට ඉවුරක තියෙන බෝට්ටුවක් ටිකෙන් ටික ඈතට ගහගෙන යනවා වගේ ඒ අයත් සත්‍ය මාර්ගයෙන් ඈත් වෙන්නේ ටිකෙන් ටික. ඒක වෙන්නේ එයාලා දෙවි එක්ක තමන්ට තියෙන බැඳීම ටිකෙන් ටික දුර්වල වෙන්න ඉඩ හරින නිසා. කාලයත් එක්කම ඒ බැඳීම නැති වෙලා යනවා. බයිබලේ අපිට කියන්නේ “අප නොමඟ යෑමට ඉඩකඩ ඇති” නිසා පරෙස්සම් වෙන්න කියලා. (හෙබ්‍රෙ. 2:1) ඒ වගේ දෙයක් අපිට නොවෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

සත්‍යය නොවිකුණා ඉන්නේ කොහොමද?

7. සත්‍යය විකුණන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

7 සත්‍ය මාර්ගයේ දිගටම ගමන් කරන්න නම් අපි යෙහෝවා දෙවි කියන හැම දෙයක්ම පිළි අරන් ඒවාට කීකරු වෙන්න ඕනේ. (යොහ. 16:13) සත්‍ය ඉගැන්වීම්වලට අපේ ජීවිතේ ප්‍රධානම තැන දීලා අපි කරන කියන හැම දේකදීම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න ඕනේ. දෙවිට කරපු යාච්ඤාවකදී දාවිත් පොරොන්දු වුණා “මම ඔබේ සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නෙමි” කියලා. (ගීතා. 86:11) දිගටම සත්‍ය මාර්ගයේ ගමන් කරන්න දාවිත්ට තිබුණේ ලොකු අධිෂ්ඨානයක්. අපිටත් ඒ වගේ අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒ වගේ අධිෂ්ඨානයක් අපිට නැත්නම් සත්‍යය මිල දී ගන්න අපි කැප කරපු දේවල් ගැන හිතන්න පටන් අරන් ඒවා පස්සේ ආයෙත් යන්න ආසාවක් ඇති වෙයි. සත්‍යය මිල දී ගන්න අපි කැප කරපු දේවල් පහක් ගැන කලින් ලිපියේ බැලුවා. ඒවා පස්සේ ආයෙත් නොයා ඉන්න පුළුවන් කොහොමද කියලා දැන් බලමු.—මතෙ. 6:19.

8. කෙනෙක් එයාගේ කාලය වැය කරන විදිහ නිසා සත්‍ය මාර්ගයෙන් ඈත් වෙන්න පුළුවන් කොහොමද? අද්දැකීමක් කියන්න.

8 කාලය. නොදැනුවත්වම සත්‍ය මාර්ගයෙන් ඈත් නොවෙන්න නම් අපි දිගටම අපිට තියෙන කාලය ඥානවන්තව පාවිච්චි කරන්න ඕනේ. පරෙස්සම් වුණේ නැත්නම් අපි වැඩිපුර කාලයක් විනෝද වෙන්න, ඉන්ටර්නෙට් එකේ සැරිසරන්න, TV බලන්න වගේ දේවල්වලට යොදවන්න ඉඩ තියෙනවා. ඇත්ත, ඒවා වැරදි නැහැ. ඒත් අපි කලින් දෙවිට සේවය කරන්න යොදාගත්ත කාලය ඒ දේවල් වෙනුවෙන් පාවිච්චි කරන එකයි භයානක. එමාට වුණෙත් ඒ වගේ දෙයක්. * එයා පුංචි කාලේ ඉඳන්ම අශ්වයන්ට ආසයි. පුළුවන් හැම වෙලාවකම එයා කළේ අශ්වයන් පිටේ යන එකයි. ඒත් ඒ වෙනුවෙන් යොදවපු කාලය වැඩියි කියලා එයාට තේරුණා. ඒ නිසා එයා වෙනස්කම් කරගත්තා. කාලයක් අශ්ව දස්කම්වලට සහභාගි වුණ කෝරි වෙල්ස් කියන සහෝදරියගේ අද්දැකීමත් එයාට උදව් වුණා. * එමා දැන් වැඩිපුර කාලයක් යොදවන්නේ යෙහෝවා දෙවිට සේවය කරන්න. ඒ එක්කම දෙවිට සේවය කරන එයාගේ පවුලේ අය එක්ක, සභාවේ අය එක්ක වැඩියෙන් කාලය ගත කරන්නත් එයාට පුළුවන්. කලින්ට වඩා එයා දැන් දෙවිට කිට්ටුයි කියලා එයාට දැනෙනවා. ඒ වගේම එයාගේ කාලය ඥානවන්තව පාවිච්චි කරනවා කියලා දන්න නිසාත් එයාට ලොකු සතුටක් දැනෙනවා.

9. ධන සම්පත් ලබාගන්න තියෙන අවස්ථා පස්සේ යන එක ජීවිතේ වැදගත්ම දේ වෙන්න පුළුවන් කොහොමද?

9 ධන සම්පත් ලබාගන්න තියෙන අවස්ථා. අපේ ජීවිතේ මුල් තැන ධන සම්පත්වලට දුන්නොත් දිගටම සත්‍ය මාර්ගයේ ගමන් කරන්න අපිට බැහැ. සත්‍යය ඉගෙනගත්ත මුල් කාලේ අපි තේරුම්ගත්තා ධන සම්පත් රැස් කරගන්නවාට වඩා දෙවිට සේවය කරන එකයි වැදගත්ම දේ කියලා. ඒ නිසා අපි කැමැත්තෙන්ම ධන සම්පත් ලබාගන්න තිබුණ අවස්ථා කැප කළා. ඒත් කාලයක් යද්දී අපිට පේන්න පුළුවන් අනිත් අය අලුත්ම ෆෝන්, ටැබ් වගේ දේවල් ගන්නවා. අත දිග ඇරලා සල්ලි වියදම් කරලා විනෝද වෙනවා. ‘එහෙම විනෝද වෙන්න අපිට බැහැනේ’ කියලා සමහරවිට අපිට හිතෙයි. ඊටපස්සේ තියෙන දෙයින් සෑහීමට පත් වෙනවා වෙනුවට යෙහෝවා දෙවිට සේවය කරන එක අඩු කරලා සල්ලි පස්සේ යන්න අපිත් පටන්ගනියි. දේමස්ට වුණෙත් ඒකමයි. ‘පවතින සමාජයේ දේවලට එයා කොච්චර ඇලුම් කළාද’ කියනවා නම් එයා පාවුල් එක්ක සේවය කරන්න තිබුණ පැවරුම අත්හැරියා. (2 තිමෝ. 4:10) සමහරවිට දෙවිට කරපු සේවයට වඩා ධන සම්පත්වලට එයා ආස කරන්න ඇති. එහෙම නැත්නම් පාවුල් එක්ක සේවය කරන්න තවත් නම් කැප කිරීම් කරන්න බැහැ කියලා හිතෙන්න ඇති. මොකක්ද පාඩම? සමහරවිට අපිත් කලින් ධන සම්පත්වලට ගොඩක් ආසාවෙන් ඉන්න ඇති. පරෙස්සම් වුණේ නැත්නම් ඒ ආසාව ආයෙත් අපේ හිතේ දලු ලා වැඩෙන්න පුළුවන්. අන්තිමේදී සත්‍ය ඉගැන්වීම්වලට තියෙන අගය ඒකෙන් යටපත් වෙයි.

10. අපි අහු නොවී ඉන්න ඕනෙ මොන දේටද?

10 බැඳීම්. දිගටම සත්‍ය මාර්ගයේ යන්න නම් අපි කරන්න ඕනෙ තව දෙයක් තියෙනවා. ඒ තමයි දෙවිට සේවය කරන්නේ නැති අයගෙන් එන පීඩනයට අහු නොවී ඉන්න එක. අපි මුලින්ම සත්‍යය ඉගෙනගත්ත කාලේ දෙවිට සේවය කරන්නේ නැති අපේ නෑදෑ හිත මිතුරන් එක්ක තිබුණ බැඳීම් වෙනස් වෙන්න ඇති. එයාලගෙන් සමහරු අපේ විශ්වාසයන්වලට ගරු කළත් තවත් අය ඒවාට විරුද්ධ වෙන්න ඇති. (1 පේතෘ. 4:4) ඇත්ත, අපිට ඕනෙ එයාලා එක්ක හොඳින් ඉන්න. එයාලට කාරුණිකව සලකන්න. ඒත් එයාලව සතුටු කරන්න ඕනෙ නිසා යෙහෝවා දෙවිගේ ප්‍රමිති පැත්තකට දාන්න අපිට බැහැ. 1 කොරින්ති 15:33 කියන විදිහට අපි අපේ කිට්ටුම යාළුවෝ කරගන්න ඕනෙ යෙහෝවා දෙවිට ආදරේ කරන අයවයි.

11. අපවිත්‍ර පුරුදුවලින් වළකින්න අපිට පුළුවන් කොහොමද?

11 අපවිත්‍ර සිතුවිලි සහ පුරුදු. සත්‍ය මාර්ගයේ දිගටම ගමන් කරන්න නම් දෙවි ඉදිරියේ අපි පවිත්‍ර, ශුද්ධ අය වෙන්න ඕනේ. (යෙසා. 35:8; 1 පේතෘස් 1:14-16 කියවන්න.) අපි සත්‍යය මුලින් ඉගෙනගද්දී බයිබලේ තියෙන ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ඕනෙ නිසා අපි ජීවිතේ හුඟක් වෙනස්කම් කළා. අපෙන් සමහරු හිතාගන්න බැරි තරම් ලොකු වෙනස්කම් කරගත්තා. ඒත් අපි දැන් ගත කරන පවිත්‍ර ජීවිතය අත්හැරලා ආයෙත් අපවිත්‍ර ජීවිතයක් ගත නොකර ඉන්න අපි වගබලා ගන්න ඕනේ. අපවිත්‍ර දේවලට ආයෙත් අපේ හිතේ ආසාවක් ඇති වෙද්දී ඒවාට විරුද්ධව ඉන්න උදව් වෙන්නේ මොකක්ද? අපිව පවිත්‍ර, ශුද්ධ තත්වයකට ගේන්න දෙවි අපි වෙනුවෙන් කරපු කැප කිරීම ගැන හිතන්න. දෙවි ඔහුගේ එකම පුතා වන යේසුස් ක්‍රිස්තුස්ව අපි වෙනුවෙන් දුන්නා. (1 පේතෘ. 1:18, 19) දෙවි ඉදිරියේ දිගටම පවිත්‍ර අය වෙන්න නම් අපි හැම වෙලේම යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම ගැන හිතන්න ඕනේ.

12, 13. (අ) උත්සව සහ චාරිත්‍ර ගැන යෙහෝවා දෙවිට හැඟෙන විදිහටම අපිට හැඟෙන්න ඕනෙ ඇයි? (ආ) අපි ඊළඟට බලන්නේ මොනවා ගැනද?

12 දෙවි අකමැති චාරිත්‍ර සහ උත්සව. පවුලේ අය, රැකියා ස්ථානයේ අය, ඉස්කෝලේ අය උත්සාහ කරයි අපිවත් එයාලා පත්වන චාරිත්‍ර සහ උත්සවවලට හවුල් කරගන්න. ඒ පීඩනයට අහු නොවී ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? දෙවි ඒ චාරිත්‍රවලට, උත්සවවලට අකමැති ඇයි කියලා අපි හොඳින් තේරුම් අරන් ඉන්න ඕනේ. අපිට පුළුවන් දෙවි අකමැති උත්සවවල මූලාරම්භය ගැන අපේ ප්‍රකාශනවලින් ගවේෂණය කරලා ඒ තොරතුරු ආයෙත් මතක් කරගන්න. අපි ඒ චාරිත්‍ර සහ උත්සව සමරන්නේ නැත්තේ ඇයි කියලා කාලය අරන් හිතද්දී අපි ගමන් කරන්නේ “ස්වාමීන්ට ප්‍රසන්න” මාර්ගයේ කියලා අපිට නිසැක වෙයි. (එෆී. 5:10) අපි යෙහෝවා දෙවිවත් ඔහුගේ වචනයත් විශ්වාස කරනවා නම් අනිත් අය අපි ගැන මොනවා හිතයිද කියලා හිතලා අපි බය වෙන්නේ නැහැ.—හිතෝ. 29:25.

13 අපේ බලාපොරොත්තුව හැමදාටම සත්‍ය මාර්ගයේ ගමන් කරන්න. දිගටම සත්‍ය මාර්ගයේ ගමන් කරන්න අපිට තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් කරගන්න උදව් වෙන්නේ මොනවාද? අපිට උදව් වෙන දේවල් තුනක් ගැන දැන් බලමු.

අධිෂ්ඨානය තව ශක්තිමත් කරගන්න

14. (අ) බයිබලේ අධ්‍යයනය කරන එක සත්‍ය මාර්ගයේ දිගටම ගමන් කරන්න අපිට උදව් වෙන්නේ කොහොමද? (ආ) ප්‍රඥාව, හික්මවීම සහ අවබෝධය අපිට අවශ්‍ය ඇයි?

14 (1) අපි අත් නෑර බයිබලේ අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කරපු දේවල් ගැන හොඳට හිතන්නත් ඕනේ. ඒ වෙනුවෙන් නිතිපතා කාලය වෙන් කරගන්න. ඔයා බයිබලේ අධ්‍යයනය කරන තරමටම සත්‍ය ඉගැන්වීම් ගැන ඔයාට තියෙන අගයත් වැඩි වෙයි. එතකොට සත්‍යය අත්හරින්නේ නැතුව ඉන්න ඔයාට තියෙන අධිෂ්ඨානය වැඩි වෙනවා. හිතෝපදේශ 23:23 “සත්‍යය මිල දී ගන්න. එය ලබාගත් පසු නොවිකුණන්න” කියලා කිව්වාට පස්සේ “ප්‍රඥාවද හික්මවීමද අවබෝධයද මිල දී ගන්න” කියලා කියනවා. සත්‍ය ඉගැන්වීම් දැනගත්තාම අපි ඒවා ජීවිතේට අදාළ කරගන්න ඕනේ. අවබෝධය අපිට උදව් වෙනවා අපි ඉගෙනගන්න දේවල් අපි දැනටමත් දන්න දේවල්වලට සම්බන්ධ කරන්න. අපි ඉගෙනගන්න දේ අදාළ කරගන්න අපිව පොලඹවන්නේ ප්‍රඥාව. අධ්‍යයනය කරද්දී ජීවිතේ අපි කරගන්න ඕනෙ වෙනස්කම් මොනවාද කියලත් අපිට පේනවා. ඒක හරියට සත්‍ය ඉගැන්වීම් මාර්ගයෙන් දෙවි අපිව හික්මවනවා වගේ. අපි ඒවා පිළිගන්න ඕනේ. මොකද දෙවිගේ උපදෙස් රිදීවලට වඩා වටිනවා.—හිතෝ. 8:10.

15. සත්‍යය ඉණපටියක් වගේ අපිව ආරක්ෂා කරන්නේ කොහොමද?

15 (2) ඔයා ඉගෙනගත්ත සත්‍යය එදිනෙදා ජීවිතේට අදාළ කරගන්න අධිෂ්ඨාන කරගන්න. බයිබලේ සත්‍ය ඉගැන්වීම් සමාන කරලා තියෙන්නේ සොල්දාදුවෙක් පළඳින ඉණපටියකට. (එෆී. 6:14) අතීතයේ සොල්දාදුවන් යුද්ධ කරද්දී එයාලා පැළඳගෙන හිටපු ඉණපටිය නිසා එයාලට ලොකු ආරක්ෂාවක් ලැබුණා. ඒ වගේම සටන් කරන්නත් පහසු වුණා. ඒත් ඒකට එයාලා ඉණපටිය තදින් බැඳගෙන ඉන්න ඕනෙ වුණා. ඉණපටිය වගේ සත්‍ය ඉගැන්වීම් අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද? ඒවා අපේ හදවතටම කාවදින්න ඉඩ දුන්නොත් වැරදි අදහස්වලින් ආරක්ෂා වෙන්නත් හොඳ තීරණ ගන්නත් අපිට පුළුවන් වෙනවා. අපි බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීලා ඉද්දී, අපි තුළ වැරදි පෙලඹීමක් ඇති වෙද්දී හරි දේ කරන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් කරන්න සත්‍ය ඉගැන්වීම්වලට පුළුවන්. සටනට යද්දී සොල්දාදුවෙක් ඉණපටිය බැඳගෙන යන්න අමතක කළේ නැහැ වගේ එදිනෙදා ජීවිතේ හැම කාරණයකදීම සත්‍ය ඉගැන්වීම් අදාළ කරගන්න අපි අමතක කරන්නේ නැහැ. සොල්දාදුවෙක් එයාගේ කඩුව රඳවලා තියාගත්තේ ඉණපටියේ. ඒ වගේ දෙයක් කරන්න අපිටත් පුළුවන්.

16. සත්‍ය ඉගැන්වීම් ගැන අනිත් අයට කියලා දෙන එක සත්‍ය මාර්ගයේ දිගටම ගමන් කරන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

16 (3) පුළුවන් තරම් දෙනෙක්ට බයිබලේ සඳහන් සත්‍ය ඉගැන්වීම් ගැන කියලා දෙන්න. බයිබලය සමාන කරලා තියෙන්නේ කඩුවකට. හොඳ සොල්දාදුවෙක් එයාගේ කඩුව තදින් අල්ලගෙන හිටියා. ඒ වගේ අපිත් දේවවචනය හොඳින් පාවිච්චි කරන්න ඕනේ. (එෆී. 6:17) අපිට ඕනෙ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගෙන දක්ෂ ගුරුවරුන් වෙන්න. එතකොට අපිට පුළුවන් “සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන” අය වෙන්න. (2 තිමෝ. 2:15) බයිබලේ තියෙන සත්‍යයන් අපි අනිත් අයට උගන්වද්දී ඒ ගැන අපිට තියෙන අවබෝධය තව වැඩි වෙනවා වගේම අගයත් වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි සත්‍ය මාර්ගයේ දිගටම යන්න අපිට තියෙන අධිෂ්ඨානයත් ශක්තිමත් වෙනවා.

17. සත්‍යය ඔයාට වටින්නේ ඇයි?

17 සත්‍ය ඉගැන්වීම් කියන්නේ යෙහෝවා දෙවිගෙන් අපිට ලැබුණු වටිනා තෑග්ගක්. අපේ ජීවිතේ වටිනාම දේ වන දෙවි එක්ක තියෙන බැඳීම ඇති කරගන්න අපිට පුළුවන් වුණේ ඒ නිසයි. යෙහෝවා දෙවි අපිට හුඟක් දේවල් උගන්වලා තියෙනවා. ඒත් ඒවා ඔහු අපිට උගන්වන්න යන දේවල ආරම්භය විතරයි. හිතාගන්නවත් බැරි තරම් දේවල් ඔහු සදාකාලයටම අපිට උගන්වයි. ඔයාට ලැබිලා තියෙන සත්‍යය අගනා මුතු ඇටයක් වගේ රැකගන්න. ඒක කවදාවත් විකුණන්න එපා. එතකොට ඔයාටත් පුළුවන් වෙයි “මම ඔබේ සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නෙමි” කියලා දෙවිට වුණ පොරොන්දුව රකින්න.—ගීතා. 86:11.

^ 8 ඡේ. නම වෙනස් කර ඇත.

^ 8 ඡේ. JW බ්‍රෝඩ්කාස්ටිං එකට ගිහින් අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා > ජීවිත වෙනස් වෙයි යටතේ බලන්න.