Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිව විශ්වාස කරන්න

යෙහෝවා දෙවිව විශ්වාස කරන්න

“ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.”—හිතෝ. 3:5.

ගීතිකා: 3, 8

1. අපි හැමෝටම සහනය ඕනෙ ඇයි?

අපි හැමෝටම සහනය ඕනේ. එක පිට එක එන කරදර නිසා, බලාපොරොත්තු සුන්වීම් නිසා අපෙන් හුඟදෙනෙක් ඉන්නේ දුකෙන්. එහෙම නැත්නම් අසනීපයක් නිසා, ටිකෙන් ටික වයසට යන නිසා, අපි ආදරේ කරන කෙනෙක් මිය ගිය නිසා අපිට ලොකු දුකක් දැනෙනවා ඇති. අපෙන් සමහරදෙනෙක්ට අනිත් අයගේ නපුරුකම් දරාගන්න වෙලා ඇති. ඒ විතරක් නෙමෙයි මිනිසුන්ගේ දුෂ්ටකම් එන්න එන්නම වැඩි වෙනවා. “ඉතා අසීරු, අනතුරු සහිත” මේ කාලේ සිද්ධ වෙන ඒ හැම දේකින්ම තේරෙන්නේ අපි ඉන්නේ “අවසාන කාලේ” කියලා. (2 තිමෝ. 3:1) ඒ කියන්නේ දවසින් දවස අපි ළං වෙන්නේ දෙවි පොරොන්දු වෙලා තියෙන ලස්සන කාලෙට. ඒත් දෙවිගේ පොරොන්දු ඉටු වෙන කල් අපි සෑහෙන කාලයක් තිස්සේ බලන් ඉඳලා ඇති. අපි අද්දකින ප්‍රශ්න ගැටලුත් එන්න එන්නම වැඩි වෙනවා. එහෙමනම් සහනයක් හොයාගන්නේ කොහෙන්ද?

2, 3. (අ) හබක්කුක් ගැන අපි දන්නේ මොනවාද? (ආ) හබක්කුක් පොතේ තොරතුරු අපි සලකා බලන්නේ ඇයි?

2 ඒ ප්‍රශ්නෙට උත්තරේ හබක්කුක් පොතේ තියෙනවා. හබක්කුක් කියන නමේ තේරුම “ආදරෙන් වැළඳගන්නවා” කියන එක වෙන්න ඇති. ඒකෙන් යෙහෝවා දෙවි අපිව ඔහුගේ තුරුලට අරන් සනසන විදිහ එහෙම නැත්නම් අපි දෙවිව තදින් අල්ලගෙන ඉන්න විදිහ පෙන්නනවා වෙන්න පුළුවන්. හබක්කුක්ගේ ජීවිතේ ගැන හුඟක් විස්තර බයිබලේ නැතත් එයා ලියපු පොතෙන් අපිට ලොකු දිරිගැන්වීමක් ලබන්න පුළුවන්. හබක්කුක් දෙවිගෙන් ප්‍රශ්න ඇහුවා. දෙවි එයා අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නා විතරක් නෙමෙයි ඒ දෙන්නා අතර වුණ සංවාදය බයිබලේට ඇතුළත් කරන්නත් ඔහු මඟ පෙන්නුවා. මොකද අපි හැමෝටම ඒකෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන් කියලා දෙවි දන්නවා.—හබ. 2:2.

3 යෙහෝවා දෙවි සහ කනස්සල්ලෙන් හිටපු හබක්කුක් අතර ඇති වුණ ඒ සංවාදයෙන් විතරයි අපිට හබක්කුක් ගැන විස්තර දැනගන්න පුළුවන්. අපේ ප්‍රයෝජන සඳහා ලියපු ‘ශුද්ධ ලියවිල්ලට’ දෙවි ඒ සංවාදය ඇතුළත් කළේ ‘එමගින් විඳදරාගැනීමට ඉගෙනගන්නත්, සැනසිල්ල අද්දකින්නත්’ අපිට පුළුවන් නිසයි. ‘බලාපොරොත්තුවක් ඇතුව සිටීමටත්’ ඒකේ තියෙන තොරතුරු අපිට උපකාරවත් වෙනවා. (රෝම 15:4) හබක්කුක් පොත අපි එක් එක් කෙනාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? දෙවිව විශ්වාස කරලා වැඩ කරනවා කියන එකෙන් අදහස් කරන දේ තව හොඳින් තේරුම්ගන්න ඒ පොත අපිට උදව් කරනවා. මොන ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වුණත් මනසේ සාමය ඇතුව ඉන්න පුළුවන් කියන දේත් අපි ඒ පොතෙන් ඉගෙනගන්නවා.

යෙහෝවා දෙවිට කියන්න

4. හබක්කුක් කනස්සල්ලෙන් හිටියේ ඇයි?

4 හබක්කුක් 1:2, 3 කියවන්න. හබක්කුක් ජීවත් වුණේ ප්‍රශ්න ගැටලු පිරුණු කාලෙක. එයා වට වෙලා හිටියේ දුෂ්ට, නපුරු මිනිසුන්ගෙන්. බලන බලන හැම තැනම එයා දැක්කේ නපුරුකම්, අසාධාරණකම්. ඒ ගැන එයාට දැනුණේ ලොකු දුකක්, අසරණකමක්. ‘මේ දුෂ්ටකම් කවදා ඉවර වෙයිද? මේ ගැන යමක් කරන්න ඇයි යෙහෝවා දෙවි මෙච්චර පරක්කු’ කියලා එයා කල්පනා කළා. ඒ නිසයි මැදිහත් වෙලා යමක් කරන්න කියලා එයා දෙවිගෙන් බැගෑපත්ව ඉල්ලුවේ. යෙහෝවා දෙවිට තමන්ගේ සෙනඟ ගැන දැන් ගානක් නැතුව ඇති කියලත් දුෂ්ටකම්වලට දෙවි ඉඩ දීලා තියෙන කාලේ වැඩියි කියලත් හබක්කුක්ට හිතෙන්න ඇති. ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද?

5. හබක්කුක් පොතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

5 හබක්කුක් ඒ වගේ ප්‍රශ්න දෙවිගෙන් ඇහුවේ එයාට දෙවි ගැන, දෙවිගේ පොරොන්දු ගැන කලින් තිබුණ විශ්වාසය දැන් නැති නිසාද? නැහැ. එයාට තිබුණ ප්‍රශ්න, සැකයන් ගැන එයා කිව්වේ දෙවිට මිසක් මිනිසුන්ට නෙමෙයි. ඒකෙන් පේනවා දෙවි ගැන එයාට තිබුණ විශ්වාසය නැති වෙලා තිබුණේ නැහැ කියලා. එයා හිටියේ යම් පියවරක් ගන්න දෙවි මෙච්චර පරක්කු ඇයි කියලත් මෙච්චර දුක් විඳින්න දෙවි ඉඩ දීලා තියෙන්නේ ඇයි කියලත් තේරුම්ගන්න බැරුවයි. හබක්කුක්ගේ හැඟීම් බයිබලේට ඇතුළත් කරන්න දෙවි තීරණය කරපු එකෙන් අපිට දෙයක් ඉගෙනගන්න පුළුවන්. ඒ තමයි අපේ හිතට වධ දෙන ප්‍රශ්න ගැන, සැකයන් ගැන දෙවිට කියන්න අපි බය වෙන්න ඕනෙ නැහැ කියන දේ. (ගීතා. 50:15; 62:8) හිතෝපදේශ 3:5 මෙහෙම කියනවා. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.” හබක්කුක් කළෙත් ඒ දේමයි.

6. අපි යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

6 හබක්කුක් තමන් හිටපු තත්වය ගැන වධ වෙලා දේවල් තමන්ගේ අතට ගන්න ගියේ නැහැ. එයාට හැඟෙන විදිහ ගැන එයා දෙවිට කිව්වා. එයා අපිට ආදර්ශයක්. යාච්ඤා අසන තැනැත්තා වන යෙහෝවා දෙවිට අපේ හිතේ තියෙන හැම දේම කියද්දී ඔහු ගැන අපිට තියෙන විශ්වාසය පේනවා. (ගීතා. 65:2) දෙවි අපිට උත්තර දෙන විදිහ අද්දකින්න එතකොට අපිට පුළුවන් වෙයි. ඔහු අපිව සනසද්දී, අපිට මඟ පෙන්නද්දී ඔහු අපිව ආදරෙන් වැළඳගන්නවා කියලා අපිට දැනෙයි. (ගීතා. 73:23, 24) අපි මොන විදිහේ පීඩාවකට මුහුණ දුන්නත් ඒ ගැන දෙවිට හැඟෙන විදිහ ඔහු අපිට තේරුම් කරලා දෙයි.

යෙහෝවා දෙවිට සවන් දෙන්න

7. හබක්කුක් එයාට හැඟෙන විදිහ ගැන දෙවිට කියද්දී දෙවි මොකද කළේ?

7 හබක්කුක් 1:5-7 කියවන්න. තමන්ගේ ප්‍රශ්න ගැන, තමන්ට හැඟෙන විදිහ ගැන දෙවිට කිව්වාට පස්සේ දෙවි ඒ ගැන මොකක් කරයිද කියලා හබක්කුක් හිතන්න ඇති. ආදරණීය තාත්තා කෙනෙක් විදිහට යෙහෝවා දෙවි හබක්කුක්ගේ හැඟීම් තේරුම්ගත්තා. එයා ලොකු පීඩනයකින් ඉන්න නිසයි ඒ විදිහට ප්‍රශ්න කරන්නේ කියලා තේරුම්ගත්ත දෙවි එයාට තදින් කතා කරනවා වෙනුවට අවිශ්වාසවන්ත යුදෙව්වන්ට ළඟදීම වෙන්නේ මොකක්ද කියලා හබක්කුක්ට හෙළි කළා. යුදෙව්වන් පිට ගේන දඬුවම අත ළඟයි කියලා දෙවි මුලින්ම කියන්න ඇත්තේ හබක්කුක්ට වෙන්න ඇති.

8. යෙහෝවා දෙවි කිව්ව දේ ගැන හබක්කුක් පුදුම වෙන්න ඇත්තේ ඇයි?

8 දුෂ්ට, අයුක්තිසහගත යුදෙව්වන්ට විරුද්ධව පියවර ගන්න තමන් ඉන්නේ සූදානමින් කියලා දෙවි හබක්කුක්ට කිව්වා. ඒ දේ “ඔබ ජීවත්ව සිටින මේ කාලයේදී” වෙනවා කියලා දෙවි කිව්ව ඒකෙන් පැහැදිලි වුණා ඒක ළඟදීම වෙනවා කියලා. යුදෙව්වන්ට දඬුවම් කරන්නේ බැබිලෝනිවරුන් මාර්ගයෙන් කියලා දෙවි කියද්දී හබක්කුක් පුදුම වෙන්න ඇති. මොකද බැබිලෝනිවරුන් කියන්නේ සිත්පිත් නැති, කුරිරු ජාතියක්. අඩු තරමේ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවිගේ ප්‍රමිති ගැන අවබෝධයක් හරි තිබුණා. ඒත් බැබිලෝනිවරුන්ට ඒකවත් තිබුණේ නැහැ. එයාලා ඊශ්‍රායෙල්වරුන්ට වඩා හරිම දුෂ්ටයි. ‘තමන්ගේ සෙනඟට දඬුවම් කරන්න යෙහෝවා දෙවි ඒ වගේ ජාතියක් පාවිච්චි කරන්නේ ඇයි? ඒකෙන් වෙන්නේ යුදෙව්වන් හැමෝම තවත් දුක් විඳින එක නේද’ කියලා හබක්කුක්ට හිතෙන්න ඇති. ඔයා එයාගේ තැන හිටියා නම් ඔයාට මොනවා හිතෙයිද?

9. හබක්කුක් අහන්න ඇත්තේ මොන වගේ ප්‍රශ්නද?

9 හබක්කුක් 1:12-14, 17 කියවන්න. තමන් අවට ඉන්න දුෂ්ට මිනිසුන්ට දඬුවම් කරන්න දෙවි බැබිලෝනිවරුන්ව යොදාගන්නවා කියලා හබක්කුක් තේරුම්ගත්තත් ඒ ගැන එයාගේ මනසේ විවිධ ප්‍රශ්න ඇති වුණා. ඒත් එයා නිහතමානීව දිගටම දෙවිව විශ්වාස කරලා වැඩ කළා. දෙවි “මාගේ පර්වතය” කියලා එයා කිව්වේ ඒ නිසයි. (ද්වි. 32:4; යෙසා. 26:4) යෙහෝවා දෙවි ආදරණීය, කරුණාවන්ත දෙවි කෙනෙක් කියලා හබක්කුක් විශ්වාස කළා. ඒ නිසා එයා බය නැතුව දෙවිගෙන් මේ ප්‍රශ්න ඇහුවා. ‘යූදා දේශයේ තියෙන තත්වය තවත් දරුණු අතට හැරෙන්න දෙවි ඉඩ දෙන්නේ ඇයි? ඇයි දෙවි ඒ ගැන මේ දැන්ම මුකුත් නොකරන්නේ? දුෂ්ටකමට තව වැඩි වෙන්න ඉඩ දීලා සියලු බලැති දෙවි නිහඬව බලන් ඉන්නේ ඇයි?’ ‘ශුද්ධ තැනැත්තාණන්’ වන යෙහෝවා දෙවිට “නපුර ගණන් නොගෙන සිටීමට” බැහැ කියලා හබක්කුක් දැනන් හිටියා.

10. අපිටත් හබක්කුක්ට හැඟුණ විදිහට හැඟෙන්න පුළුවන් කොහොමද?

10 අපි දෙවිට ඇහුම්කන් දෙනවා. ඔහු ගැන විශ්වාසය තියලා බයිබලේ අධ්‍යයනය කරනවා. ඒකෙන් අපේ බලාපොරොත්තුව ශක්තිමත් වෙනවා. දෙවිගේ පොරොන්දු ගැන ඔහුගේ සංවිධානය අපිට නිතරම මතක් කරනවා. ඒත් ‘මේ දුක් කරදර කවදා ඉවර වෙයිද’ කියලා හබක්කුක්ට හැඟුණ විදිහට අපිටත් හැඟෙන්න පුළුවන්. හබක්කුක් ඊළඟට කරපු දෙයින් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

දෙවි පියවර ගන්න කල් බලන් ඉන්න

11. හබක්කුක්ගේ අධිෂ්ඨානය වුණේ මොකක්ද?

11 හබක්කුක් 2:1 කියවන්න. හබක්කුක්ට දැනුණ පීඩනය දෙවි එක්ක කතා කළාට පස්සේ නැති වෙලා ගියා. එයාගේ මනස සැහැල්ලු වුණා. දෙවි දේවල් කරන කල් බලන් ඉන්න එයා අධිෂ්ඨානය කරගත්තා. ඒක කොච්චර ශක්තිමත් අධිෂ්ඨානයක්ද කියනවා නම් එයා ආයෙත් කිව්වා “විපත්ති දවස එන තෙක් මම නිහඬව බලා සිටින්නෙමි” කියලා. (හබ. 3:16) දෙවි දේවල් කරන කල් ඉවසීමෙන් බලන් හිටපු තවත් විශ්වාසවන්ත සේවකයන් හිටියා. අපිටත් ඒ දේම කරන්න එයාලගේ ආදර්ශය උදව්වක්.—මීකා 7:7; යාකො. 5:7, 8.

12. හබක්කුක්ගෙන් අපි ඉගෙනගන්න පාඩම් මොනවාද?

12 හබක්කුක්ට තිබුණ අධිෂ්ඨානයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (1) අපි මොන තරම් පීඩනයකින් හිටියත් දෙවිට යාච්ඤා කරන එක කවදාවත් නවත්තන්න හොඳ නැහැ. අපේ හිතේ තියෙන හැම දෙයක්ම අපි දෙවිට කියන්න ඕනේ. (2) දෙවි බයිබලේ, ඔහුගේ සංවිධානය මාර්ගයෙන් අපිට කියන දේවලට අපි ඇහුම්කන් දෙන්න ඕනේ. (3) අපි අද්දකින දුක් පීඩාවලට නියමිත කාලේදී දෙවි විසඳුමක් ගේනවා කියන විශ්වාසයෙන් ඉන්න ඕනේ. හබක්කුක්ව ආදර්ශයට ගන්නවා නම් මනසේ සාමය ඇතුව ඉන්නත් විඳදරාගන්නත් අපිට පුළුවන් වෙයි. මොන ප්‍රශ්න තිබුණත් ඉවසීමෙන්, සතුටින් ඉන්න අපේ බලාපොරොත්තුව අපිට උදව් වෙයි.—රෝම 12:12.

13. යෙහෝවා දෙවි හබක්කුක්ව සැනසුවේ කොහොමද?

13 හබක්කුක් 2:3 කියවන්න. ඉවසීමෙන් බලන් ඉන්න හබක්කුක් ගත්ත තීරණය ගැන යෙහෝවා දෙවි හුඟක් සතුටු වෙන්න ඇති. එයා මුහුණ දෙන්නේ කොච්චර අමාරු තත්වයකටද කියලා දෙවි දැනන් හිටියා. ඒ නිසා එයා කනස්සලු වුණ දේ ගැන ඉක්මනින්ම යමක් කරනවා කියලා දෙවි එයාට සහතික වුණා. ඒක එයාට මොන තරම් සහනයක් වෙන්න ඇද්ද! ඒක හරියට ‘මාව විශ්වාස කරලා ඉවසීමෙන් බලන් ඉන්න. ඔයාගේ යාච්ඤාවට උත්තර නැහැ වගේ දැනුණත් මං අනිවාර්යයෙන්ම ඔයාට උත්තර දෙනවා’ කියලා දෙවි කිව්වා වගේ. තමන් වුණ පොරොන්දු ඉටු කරන කාලය ඒ වෙද්දීත් නියම කරලා ඉවරයි කියලා දෙවි හබක්කුක්ට මතක් කළා. ඒ නිසා දිගටම ඉවසීමෙන් බලන් ඉන්න කියලා දෙවි එයාට කිව්වා. හබක්කුක්ගේ බලාපොරොත්තු සුන් වෙන්නේ නැහැ.

යෙහෝවා දෙවිට උපරිමයෙන් සේවය කරන්න අපි අධිෂ්ඨානයක් අරන් තියෙන්නේ ඇයි? (14 ඡේදය බලන්න)

14. අමාරු තත්වයන්ට මුහුණ දෙද්දී අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

14 අපිත් දෙවි දේවල් කරන කල් ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. ඔහු අපිට කියන දේවලට ඇහුම්කන් දෙන්නත් ඕනේ. එතකොට මොන ප්‍රශ්නෙට මුහුණ දෙන්න වුණත් සැක නොකර දෙවි ගැන විශ්වාසය තියන්න අපි පෙලඹෙයි. මනසේ සාමය ඇතුව ඉන්නත් අපිට පුළුවන්. දෙවි තවමත් හෙළි කරලා නැති “දේවල් සිදු වීමට නියමිත කාල වකවානු” ගැන ඕනෑවට වඩා හිතන්න එපා කියලා යේසුත් කිව්වා. (ක්‍රියා 1:7) නියම වෙලාවේදී දෙවි දේවල් කරයි කියලා අපි තුළ විශ්වාසයක් තියෙන්න ඕනේ. බලාපොරොත්තු අත්හරින්නේ නැතුව, නිහතමානීව, ඉවසීමෙන්, දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරමු. බලන් ඉන්න අතරේ අපේ කාලය යෙහෝවා දෙවිට සේවය කරන්න යොදවමු.—මාක් 13:35-37; ගලා. 6:9.

යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියන අයට සදාකාල ජීවනය ලැබේ

15, 16. (අ) හබක්කුක් පොතේ සඳහන් වෙන පොරොන්දු මොනවාද? (ආ) ඒවායින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 “ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසවන්තකමින් ක්‍රියා කරන නිසා ඔහුගේ ජීවිතය රැකෙනු ඇත” කියලත් “දෙවිගේ තේජස ගැන පොළොවේ සියලු වැසියෝ දැනගනු ඇත” කියලත් යෙහෝවා දෙවි පොරොන්දු වුණා. (හබ. 2:4, 14) ඒ කියන්නේ දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන අයට දෙවි අනිවාර්යයෙන්ම සදාකාල ජීවිතය දෙනවා කියන එකයි.

16 හබක්කුක් 2:4 තියෙන පොරොන්දුව කොච්චර වැදගත්ද කියනවා නම් පාවුල් එයාගේ ලිපිවල තුන් වතාවක්ම ඒක උපුටා දක්වලා තියෙනවා. (රෝම 1:17; ගලා. 3:11; හෙබ්‍රෙ. 10:38) අපි මොන අමාරු තත්වයට මුහුණ දුන්නත් දිගටම දෙවිට ළැදිව ඉන්නවා නම්, ඔහු ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් දෙවිගේ පොරොන්දු ඉටු වෙනවා දකින්න අපිටත් පුළුවන්. ප්‍රශ්න නෙමෙයි අපේ අනාගත බලාපොරොත්තුව මනසේ තියාගෙන අපි වැඩ කරනවා දකින්නයි යෙහෝවා දෙවි කැමති.

17. දෙවි ගැන විශ්වාසය තියන අයට ඔහු සහතික වෙන්නේ මොකක්ද?

17 මේ අන්තිම දවස්වල ජීවත් වෙන අපිට හබක්කුක් පොතෙන් වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන ධර්මිෂ්ඨ අයට සදාකාල ජීවිතය දෙන්න දෙවි පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා මොන අමාරු තත්වයට මුහුණ දුන්නත් අපි දිගටම දෙවි ගැන අපිට තියෙන විශ්වාසය ශක්තිමත් කරගමු. දෙවි හබක්කුක්ට කියපු දේවලින් පැහැදිලියි අපිට අවශ්‍ය උදව් දීලා දෙවි අපිව බේරගන්නවා කියලා. ඔහු අපෙන් ආදරෙන් ඉල්ලන්නේ ඔහු ගැන විශ්වාසය තියලා දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලේ එන කල් ඉවසීමෙන් බලන් ඉන්න කියලයි. ඒ දවස ඔහු දැනටමත් නියම කරලා ඉවරයි. එදාට සතුටින්, සමාදානයෙන් දෙවිට නමස්කාර කරන මිනිසුන්ගෙන් මුළු පොළොවම පිරී යයි.—මතෙ. 5:5; හෙබ්‍රෙ. 10:36-39.

දෙවි ගැන විශ්වාසය තියලා සතුටින් ඉන්න

18. යෙහෝවා දෙවි කිව්ව දේවල් හබක්කුක්ට උදව් වුණේ කොහොමද?

18 හබක්කුක් 3:16-19 කියවන්න. යෙහෝවා දෙවි කිව්ව දේවල් නිසා හබක්කුක්ට ලොකු සහනයක් දැනුණා. අතීතයේදී දෙවි තමන්ගේ සෙනඟ වෙනුවෙන් කරපු පුදුමාකාර දේවල් ගැන හබක්කුක් කල්පනා කළා. ඒකෙන් දෙවි ගැන එයාට තිබුණ විශ්වාසය තව වැඩි වුණා. දෙවි ඉක්මනින්ම අවශ්‍ය පියවර ගනියි කියන නිසැකකම එයාට ඇති වුණා. ඒක එයාට උදව් වුණා තව කාලයක් දුක් විඳින්න වුණත් ඒක දරාගන්න. එයාගේ හිතේ තිබුණ සැකයන් වෙනුවට දෙවි එයාව බේරගන්නවා කියන විශ්වාසය එයා තුළ ඇති වුණා. 18වෙනි පදයේ තියෙන දේ සමහර විශාරදයන් විස්තර කරන්නේ ‘යෙහෝවා දෙවි නිසා මං සතුටින් දුව පැන යන්නෙමි’ කියලා හබක්කුක් කිව්වා කියලයි. ඒක අපිට මොන තරම් වටිනා පාඩමක්ද! දෙවි අපිට ලස්සන පොරොන්දු දීලා තියෙනවා විතරක් නෙමෙයි ඒවා ඉටු කරන්න ඔහු දැනටමත් දේවල් කරමින් ඉන්නවා.

19. හබක්කුක් අද්දැක්ක සහනය අද්දකින්න අපිටත් පුළුවන් කොහොමද?

19 දෙවි ගැන විශ්වාසය තියන්න ඕනෙ කියන වටිනා පාඩම හබක්කුක් පොතෙන් අපි ඉගෙනගන්නවා. (හබ. 2:4) දිගටම දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න නම් දෙවි එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න එක අත්‍යවශ්‍යයි. ඒකට (1) අපි දිගටම යාච්ඤා කරලා අපේ හිතේ තියෙන හැම බරක්ම දෙවිට කියන්න ඕනේ. (2) දෙවි බයිබලේ මාර්ගයෙන් අපිට කියන දේවලට ඇහුම්කන් දෙන්න ඕනෙ වගේම සංවිධානය මාර්ගයෙන් ඔහු දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්නත් ඕනේ. (3) දෙවි ඔහුගේ පොරොන්දු ඉටු කරන කල් දෙවි ගැන විශ්වාසය තියලා ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. දෙවි එක්ක කරපු සංවාදය පටන් ගද්දී හබක්කුක් හිටියේ ලොකු පීඩනයකින්. ඒත් ඒක අවසන් වෙද්දී එයා හිටියේ දිරිගැන්විලා. අපිත් හබක්කුක්ව ආදර්ශයට ගන්නවා නම් යෙහෝවා දෙවි අපිව ආදරෙන් වැළඳගෙන සනසන විදිහ අපිට දැනෙයි. ඊටත් වඩා සහනයක් අපිට තියෙනවාද!