Skip to content

පටුනට යන්න

සත්‍යය මිල දී ගන්න. ඒක විකුණන්න එපා

සත්‍යය මිල දී ගන්න. ඒක විකුණන්න එපා

“සත්‍යය මිල දී ගන්න. එය ලබාගත් පසු නොවිකුණන්න. ප්‍රඥාවද හික්මවීමද අවබෝධයද මිල දී ගන්න.”—හිතෝ. 23:23.

ගීතිකා: 94, 96

1, 2. (අ) ඔයාගේ ජීවිතේ වටිනාම දේ මොකක්ද? (ආ) අපි අගය කරන්නේ බයිබලෙන් ඉගෙනගත්ත මොන සත්‍යයන්ද? ඒ ඇයි? (ලිපියේ මුල් පින්තූර බලන්න.)

ඔයාගේ ජීවිතේ වටිනාම දේ මොකක්ද? යෙහෝවා දෙවිගේ සෙනඟ විදිහට අපිට වැඩියෙන්ම වටින්නේ යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන බැඳීමයි. කිසිම දෙයක් නිසා ඒ බැඳීම නැති කරගන්න අපි කැමති නැහැ. බයිබලේ තියෙන සත්‍යයන් අපි සලකන්නෙත් වටිනා දේවල් විදිහට. මොකද ඒ සත්‍යයන් නිසයි අපිට දෙවිගේ යාළුවෙක් වෙන්න පුළුවන් වුණේ.—කොලො. 1:9, 10.

2 උදාර උපදේශකයාණන් වන යෙහෝවා දෙවි බයිබලෙන් අපිට වටිනා සත්‍යයන් හුඟක් උගන්වනවා. ඔහුගේ නමේ තියෙන වැදගත්කම ගැන, ඔහුගේ ගතිලක්ෂණ ගැන ඔහු අපිට උගන්වනවා. ඔහුගේ එකම පුතාව අපි වෙනුවෙන් දෙන්න තරම් ඔහු අපිට ආදරෙයි කියලත් ඔහු කියනවා. දේවරාජ්‍යය ගැනත් ඔහු අපිට උගන්වනවා. අභිෂේක ලත් අයට ස්වර්ගයෙත් ‘වෙනත් බැටළුවන්ට’ පාරාදීසයෙත් හැමදාටම ජීවත් වෙන බලාපොරොත්තුව ඔහු දීලා තියෙනවා. (යොහ. 10:16) අපි ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියලා ඔහු අපිට කියලා දෙනවා. බයිබල් සත්‍යයන් නිසයි අපේ නිර්මාතෘ එක්ක බැඳීමක් ඇති කරගන්නත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් අපිට පුළුවන් වෙලා තියෙන්නේ.

3. අපි සත්‍යය මිල දී ගන්නේ සල්ලි දීලාද?

3 යෙහෝවා දෙවි ත්‍යාගශීලියි. කොයි තරම්ද කියනවා නම් ඔහු අපි වෙනුවෙන් ඔහුගේ එකම පුතාව පවා දුන්නා. එහෙමනම් සත්‍යය දැනගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ව දෙවි දැක්කාම එයාට සත්‍යය හොයාගන්න ඔහු කොයි තරම් කැමැත්තෙන් උදව් කරයිද! ඒත් දෙවි අපිට සත්‍යය ඉගැන්වීම් කියලා දෙන්නේ මුදලක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. එක අවස්ථාවක සීමොන් කියන කෙනා පේතෘස්ට කිව්වා දෙවිගේ බලය තව කෙනෙක්ට ලබා දෙන්න පුළුවන් හැකියාව තමන්ට දුන්නොත් ඒ වෙනුවෙන් මුදල් දෙන්නම් කියලා. පේතෘස් එයාට කිව්වේ මෙහෙමයි. “ඔබේ මුදල් ඔබ සමඟම විනාශ වේවා! ඔබ හිතුවාද දෙවිගෙන් නොමිලේ ලැබෙන මේ දීමනාව මුදල් දී ගන්න පුළුවන් දෙයක් කියා?”—ක්‍රියා 8:18-20.

සත්‍යය ‘මිල දී ගන්නවා’ කියන්නේ මොකක්ද?

4. අපි මේ ලිපියෙන් ඉගෙනගන්නේ මොනවා ගැනද?

4 හිතෝපදේශ 23:23 කියවන්න. බයිබලේ තියෙන සත්‍යය ඉගෙනගන්න අපේ පැත්තෙන් අපි වෑයමක් දරන්න ඕනේ. ඒ වෙනුවෙන් දේවල් කැප කරන්නත් වෙනවා. දේවල් කැප කරලා සත්‍යය මිල දී ගත්තාට පස්සේ ඒක විකුණන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි ඉගෙනගන්න සත්‍යයන් අපි කවදාවත් අපේ ජීවිතෙන් අයින් කරන්නේ නැතුව ඉන්න ඕනෙ කියන එකයි. සත්‍යය මිල දී ගන්නවා කියන්නේ මොකක්ද? ඒ වෙනුවෙන් අපිට මොනවා කැප කරන්න වෙයිද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගද්දී සත්‍ය ඉගැන්වීම් තව වැඩියෙන් අගය කරන්නත් ඒවා කවදාවත් අපේ ජීවිතෙන් අයින් නොකර ඉන්නත් අපි පෙලඹෙයි. ඒ වගේම දෙවිගෙන් අපිට ලැබුණ සත්‍යය වෙන කිසිම දේකට වඩා වටින්නේ ඇයි කියලා තේරුම්ගන්නත් අපිට පුළුවන්.

5, 6. (අ) මුදල් නොදී සත්‍යය මිල දී ගන්නේ කොහොමද? පැහැදිලි කරන්න. (ආ) සත්‍ය ඉගැන්වීම් නිසා අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

5 දෙයක් නොමිලේ ලැබෙනවා කියන්නේ ඒ වෙනුවෙන් කිසි දෙයක් වැය කරන්න වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. “මිල දී ගන්න” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයට “ලබාගන්න” කියන අදහසත් ඇතුළත්. ඒ වචන දෙකෙන්ම තේරෙනවා වටිනවා කියලා කෙනෙක් සලකන දෙයක් ලබාගන්න යම් වෑයමක් දරන්න ඕනෙ එහෙම නැත්නම් ඒ වෙනුවෙන් යම් දෙයක් කැප කරන්න ඕනෙ කියලා. ඒත් වැය කරන්න ඕනෙ මුදල්මයි කියලා අදහස් වෙන්නේ නැහැ. හිතන්න, කඩේක කෙසෙල් නොමිලේ දෙනවා කියලා. නොමිලේ දුන්නත් ඒවා ලබාගන්න නම් අපි ඒ කඩේට ගිහින් ඒවා ගන්න ඕනේ. සත්‍ය ඉගැන්වීම් දැනගන්න නැත්නම් “සත්‍යය මිල දී ගන්න” අපි මුදල් දෙන්න ඕනෙ නැහැ. ඒත් ඒ වෙනුවෙන් අපි වෑයමක් දරන්න ඕනේ. කැප කිරීම් කරන්න ඕනේ.

6 යෙසායා 55:1-3 කියවන්න. මේ බයිබල් පදත් උදව් වෙනවා “සත්‍යය මිල දී ගන්න” කියද්දී අදහස් වෙන දේ තවත් තේරුම්ගන්න. එතන යෙහෝවා දෙවි ඔහුගේ වචනය වතුරට, කිරිවලට, වයින්වලට සමාන කරනවා. පිපාසයෙන් ඉන්න කෙනෙකුට වතුර ටිකකින් ලොකු ප්‍රබෝධයක් දැනෙනවා වගේ බයිබලේ තියෙන සත්‍යයන් දැනගත්තාම කෙනෙක්ට ලොකු ප්‍රබෝධයක් දැනෙනවා. කිරි බොන නිසා දරුවෙක් ශක්තිමත්ව වැඩෙනවා වගේ බයිබලේ සඳහන් සත්‍යයන් නිසා කෙනෙක්ට දෙවි එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න පුළුවන්. දෙවි ඔහුගේ වචනය වයින්වලටත් සමාන කරන්නේ ඇයි? බයිබලේ කියන්නේ වයින්වලින් මිනිසුන් සතුටක් ලබනවා කියලා. (ගීතා. 104:15) වයින් මිල දී ගන්න කියලා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ අපි දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වුණොත් සතුටින් ඉන්න පුළුවන් කියලයි. (ගීතා. 19:8) දෙවිගේ වචනය වතුරට, කිරිවලට, වයින්වලට සමාන කරලා දෙවි අපිට පෙන්නන්නේ අපි සත්‍ය ඉගැන්වීම් දැනගෙන ඒවා ජීවිතේට අදාළ කරගත්තොත් අපිට ප්‍රයෝජන ලැබෙනවා කියලයි. “සත්‍යය මිල දී ගන්න” අපිට කැප කරන්න වෙන දේවල් 5ක් ගැන දැන් බලමු.

සත්‍යය මිල දී ගන්න ඔයා කැප කළේ මොනවාද?

7, 8. (අ) සත්‍යය ඉගෙනගන්න අපි කාලය වැය කරන්න ඕනෙ ඇයි? (ආ) එක ශිෂ්‍යයෙක්ට කැප කරන්න වුණේ මොනවාද? ඒ කැප කිරීම් නිසා ලැබුණ ආශීර්වාද මොනවාද?

7 කාලය. දේවරාජ්‍යය ගැන ශුභාරංචියට ඇහුම්කන් දෙන්න, බයිබලය සහ ඒ මත පදනම් ප්‍රකාශන කියවන්න, සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න, සභා රැස්වීම්වලට සූදානම් වෙන්න, ඒවාට යන්න කාලය වැය වෙනවා. ඒවාට කාලේ හොයාගන්න නම් වැදගත්කමින් අඩු දේවල් වෙනුවෙන් අපි දෙන කාලය අඩු කරන්න ඕනේ. (එෆීස 5:15, 16 සහ පාදසටහන කියවන්න.) බයිබලේ සඳහන් මූලික ඉගැන්වීම් දැනගන්න කොච්චර කාලයක් යනවාද? ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. යෙහෝවා දෙවිගේ ප්‍රඥාව ගැන, ඔහු දේවල් කරන විදිහ ගැන, ඔහු කරලා තියෙන දේවල් ගැන ඉගෙනගෙන ඉවර කරන්න බැහැ. (රෝම 11:33) ‘මුරටැඹ’ සඟරාවේ පළවෙනි කලාපයේ සත්‍යය ලස්සන මලකට සමාන කරලා තිබුණා. එතන කිව්වා එක මලක් හොයාගත්තා කියලා සෑහීමට පත් වෙන්නේ නැතුව තව මල් හොයන්න කියලා. සත්‍ය ඉගැන්වීම් බයිබලේ පුරාම සඳහන් කරලා තියෙන එකෙන් තේරෙනවා දෙවිට ඕනෙ අපි එක සත්‍ය ඉගැන්වීමක් දැනගෙන සෑහීමට පත් වෙනවා දකින්න නෙමෙයි කියලා. අපි තව තවත් මල් හොයාගෙන ඒවා රැස් කරගන්න ඕනේ. අපි අපෙන්ම මෙහෙම අහලා බලමු. ‘මං යෙහෝවා දෙවි ගැන කොයි තරම් දුරට දන්නවාද?’ අපි හැමදාටම ජීවත් වුණත් දෙවි ගැන හැම දවසකම ඉගෙනගන්න දේවල් තියෙයි. අපිට දැන් තියෙන කාලය යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න උපරිමයෙන්ම පාවිච්චි කරන එක කොච්චර වැදගත්ද! එහෙම කරපු කෙනෙක් ගැන දැන් බලමු.

8 මරිකෝ * හොඳ අධ්‍යපානයක් ලබන අරමුණින් ජපානයේ ඉඳන් නිව් යෝර්ක් නුවරට ආපු යෞවනියක්. දවසක් එයාගේ ගෙදරට ආපු පුරෝගාමි සහෝදරියක් එයාට ශුභාරංචිය ගැන කතා කළා. ඒ වෙද්දී මරිකෝට ආගමක් තිබුණත් එයා අපේ සහෝදරිය එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. බයිබලෙන් ඉගෙනගත්ත දේවලට එයා කොච්චර ආස වුණාද කියනවා නම් එයා කිව්වා සතියට දෙපාරක්ම පාඩම කරමු කියලා. එයාගේ ඉස්කෝලේ වැඩයි, රැකියාවයි නිසා එයා හුඟක් කාර්යබහුලයි. ඒත් එයා රැස්වීම් එන්න පටන්ගත්තා. විනෝදය වෙනුවෙන් දෙන කාලේ අඩු කරලා ඒ කාලේ තව වැඩියෙන් දෙවි ගැන ඉගෙනගන්න එයා යෙදෙව්වා. ඒකෙන් එයාට පුළුවන් වුණා යෙහෝවා දෙවිට තව තවත් ළං වෙන්න. අවුරුද්දක් යන්නත් කලින් එයා බව්තීස්ම වුණා. ඊට මාස 6කට පස්සේ පුරෝගාමි සේවය පටන්ගත්ත මරිකෝ තවමත් සතුටින් ඒ සේවය කරනවා.

9, 10. (අ) ධන සම්පත් ගැන අපිට හැඟුණ විදිහ වෙනස් කරගන්න සත්‍ය ඉගැන්වීම් උදව් වෙන්නේ කොහොමද? (ආ) තරුණියක් අත්හැරියේ මොන වගේ දේවල්ද? ඒ ගැන එයාට හැඟෙන්නේ කොහොමද?

9 ධන සම්පත් ලබාගන්න තියෙන අවස්ථා. සත්‍යය ඉගෙනගන්න සමහරවිට අපි කරන උසස් රැකියාව එහෙම නැත්නම් මේ සමාජයේ ඉහළට යන්න තියෙන අවස්ථා අපිට කැප කරන්න වෙයි. උදාහරණෙකට පේතෘස් සහ අන්දෘ ධීවරයන් විදිහට රැකියාවක් කරකර හිටියත් තමන්ගේ අනුගාමිකයන් වෙන්න කියලා යේසුස් එයාලට කිව්වාම එයාලා ඒ රැකියාව අත්හැරලා දැම්මා. (මතෙ. 4:18-20) සත්‍යය ඉගෙනගන්න හැම කෙනෙක්ම තමන් කරන රැකියාව අත්හරින්න ඕනෙ කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ. මොකද සමහරුන්ට පවුලේ අයව රැකබලා ගන්න වගකීම තියෙනවා. (1 තිමෝ. 5:8) ඒත් සත්‍යය ඉගෙනගද්දි ඔයා තේරුම්ගන්නවා ජීවිතේ වැඩියෙන්ම වටින්නේ ධන සම්පත් රැස් කරගන්න එක නෙමෙයි කියලා. යේසුස් කිව්වේ ‘තවදුරටත් මෙලොවෙහි වස්තු රැස් කර නොගන්න. ඒ වෙනුවට ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්න’ කියලා. (මතෙ. 6:19, 20) මරියා ඒක කරපු තරුණියක්.

10 මරියා පුංචි කාලේ ඉඳන් ගොල්ෆ් ක්‍රීඩාවට දක්ෂයි. පාසැලේ ඉහළ පන්තිවලදී ඒ ක්‍රීඩාවට එයාට තිබුණ දක්ෂකම තවත් කැපී පෙනුණා. ඒ නිසාම විශ්වවිද්‍යාලයකට යන්න ශිෂ්‍යත්වයකුත් එයාට ලැබුණා. එයාට ඕනෙ වුණේ ප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩිකාවක් වෙලා හුඟක් සල්ලි හම්බ කරන්න. ඔය අතරේ එයා බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. ඉගෙනගත්ත දේවලට එයා කොච්චර ආස වුණාද කියනවා නම් ඒවා එයා ඉක්මනින්ම ජීවිතේට අදාළ කරගත්තා. එයා හිතපු විදිහ, ජීවත් වුණ විදිහ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව වෙනස් කරගද්දී එයාගේ සතුටත් වැඩි වුණා. එයා තේරුම්ගත්තා දෙවි එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න නම් ගොල්ෆ් ක්‍රීඩාවෙන් ඉහළට යන්න එයාට තිබුණ ඉලක්කය එයා අත්හරින්න ඕනෙ කියලා. මොකද ඒ දෙකම එකපාර කරන්න බැහැ. (මතෙ. 6:24) අද වෙද්දී මරියා පුරෝගාමියෙක්. එයාගේ ජීවිතේ සතුටින් පිරිලා, එයා ගත කරන්නේ අර්ථවත් ජීවිතයක් කියලා එයා කියනවා.

11. සත්‍යය ඉගෙනගද්දී නෑදෑ, හිතමිතුරන් එක්ක අපිට තියෙන බැඳීම්වලට මොනවා වෙන්න පුළුවන්ද?

11 බැඳීම්. අපි බයිබලෙන් ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න පටන්ගද්දී අපේ යාළුවන්, පවුලේ අය අපිත් එක්ක අමනාප වෙන්න පුළුවන්. ඒකට හේතුව යේසුස් ඔහුගේ අනුගාමිකයන් වෙනුවෙන් යාච්ඤා කරද්දී කියපු දේකින් අපිට දැනගන්න පුළුවන්. ඔහු කිව්වේ “ඔබ පවසන දේ සත්‍යයයි. ඒ සත්‍යය මගින් ඔවුන්ව ශුද්ධව තබාගන්න” කියලා. (යොහ. 17:17, පාදසටහන) “ශුද්ධව තබාගන්න” කියද්දී ‘දෙවි වෙනුවෙන්ම වෙන් කර තබන්න’ කියන අදහසත් ඇතුළත්. බයිබල් සත්‍යයන් අපි අදාළ කරගද්දී මේ සමාජයේ ඉන්න වැඩිදෙනෙක්ට වඩා අපි වෙනස් කියලා පැහැදිලිව පේනවා. ඒ වෙනසට අපේ නෑදෑ හිතමිතුරන් අකමැති වෙන්න පුළුවන්. එයාලා එක්ක අමනාප වෙන්න අපිට ඕනෙ නැහැ. ඒත් එයාලගෙන් සමහරු අපෙන් ඈත් වෙයි. තවත් සමහරු අපිට නපුරු විදිහට සලකයි. ඒ ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද යේසුස් කිව්වා “මිනිසෙකුගේ සතුරන් වන්නේ ඔහුගේම පවුලේ සාමාජිකයන්” කියලා. (මතෙ. 10:36) සත්‍යය වෙනුවෙන් අපි මොන දේ කැප කළත් ඊට වඩා වැඩියෙන් අපිට ආශීර්වාද ලැබෙනවා කියලා යේසුස් පොරොන්දු වුණා.—මාක් 10:28-30 කියවන්න.

12. එක යුදෙව්වෙක් සත්‍යය ඉගැන්වීම් දැනගන්න කැප කළේ මොනවාද?

12 යුදෙව්වෙක් වුණ ආරොන් පොඩි කාලේ ඉඳන්ම විශ්වාස කළේ දෙවිගේ නම උච්චාරණය කරන එක වැරදියි කියලා. ඒත් දෙවි ගැන සත්‍යය දැනගන්න එයාට ආසාවක් තිබුණා. දවසක් සාක්ෂිකරුවෙක් එයාට පෙන්නුවා දෙවිගේ නම ලියන්න පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් ගාත්‍රාක්ෂර 4ට ප්‍රාණාක්ෂර එකතු කළාම “යෙහෝවා” කියලා ශබ්ද කරන්න පුළුවන් කියලා. ඒක අහලා ආරොන් ගොඩක් සතුටු වුණා. එයා සිනගෝගයකට ගිහින් එහේ හිටපු ආගමික නායකයන්ට ඒ ගැන කිව්වා. දෙවිගේ නම ගැන සත්‍යය දැනගත්තාම එයාලා සතුටු වෙයි කියලයි ආරොන් හිතුවේ. ඒත් ඒක ඇහුවාම එයාලා ආරොන්ට කෙළ ගහලා එළවලා දැම්මා. එයාගේ පවුලේ අයත් එයා එක්ක අමනාප වුණා. ඒත් ඒ කිසිම දෙයක් නිසා දෙවි ගැන ඉගෙනගන්න එක ආරොන් නැවැත්තුවේ නැහැ. පස්සේ එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලා මිය යන කල්ම දෙවිට සේවය කළා. සත්‍යය ඉගෙනගද්දී නෑදෑ හිතමිතුරන් එක්ක අපිට තියෙන බැඳීම් අත්හරින්න වුණත් අපි සූදානමින් ඉන්න ඕනේ.

13, 14. අපි හිතන විදිහ, අපේ හැසිරීම වෙනස් කරගන්න සත්‍යය ඉගැන්වීම් උදව් වෙන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.

13 අපවිත්‍ර සිතුවිලි සහ පුරුදු. සත්‍ය ඉගැන්වීම් ගැන දැනුවත් වෙලා ඒවා ජීවිතේට අදාළ කරගන්න පටන්ගද්දී අපි හිතන විදිහ, අපේ හැසිරීම අපි වෙනස් කරගන්න ඕනේ. පේතෘස් මෙහෙම කිව්වා. ‘කීකරු දරුවන් වන්න. ඔබ මීට පෙර නොදැනුවත්කමින් තෘප්තිමත් කරගත් ආශාවලට අනුව තවදුරටත් ක්‍රියා නොකරන්න. ඔබ ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි.’ (1 පේතෘ. 1:14, 15) කොරින්තියේ හිටපු හුඟක් අය කලින් ගත කළේ අනාචාර ජීවිත. යෙහෝවා දෙවි ඉදිරියේ පවිත්‍ර අය වෙන්න නම් එයාලට සිද්ධ වුණා එයාලගේ ජීවිතවල ලොකු වෙනස්කම් කරගන්න. (1 කොරි. 6:9-11) අදත් හුඟක් අය සත්‍යය ඉගෙනගද්දී එයාලගේ ජීවිතවල වෙනස්කම් කරගන්නවා. පේතෘස් ඒ ගැන මේ වගේ දෙයක් කිව්වා. “ඔබ දෙවිව නාඳුනන මේ සමාජයේ මිනිසුන් කැමති දේවල් කරමින් ඇති තරම් කාලයක් ජීවත් වී ඇත. ඒ කාලයේදී ඔබ නින්දිත ලෙස හැසිරෙමින් කාමාශාවෙන්ද අධික වයින් පානයෙන්ද ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීමෙන්ද තරඟයට මත්පැන් බීමෙන්ද රූප වන්දනාවට සම්බන්ධ පිළිකුල්සහගත ක්‍රියා කරමින්ද සිටියහුය.”—1 පේතෘ. 4:3.

14 ඩෙවින් සහ ජැස්මින් යුවළ අවුරුදු ගාණක් තිස්සේ වෙරි වෙන කල් බොන්න පුරුදු වෙලා හිටපු දෙන්නෙක්. ඩෙවින් ගිණුම් වැඩවලට දක්ෂ කෙනෙක් වුණත් එයාගේ බීම නිසා එක තැනක එක දිගට රස්සාව කරන්න එයාට බැරි වුණා. ජැස්මින් ප්‍රසිද්ධ වෙලා හිටියේ කේන්ති යන, දරුණු විදිහට හැසිරෙන කෙනෙක් විදිහට. දවසක් එයා පාරේ වෙරි මතින් හිටපු වෙලාවක එයාට සාක්ෂිකරුවන් දෙන්නෙක් හම්බ වුණා. එයාලා කිව්වා බයිබල් පාඩමක් කරන්න ඊළඟ සතියේ ජැස්මින්ගේ ගෙදර එන්නම් කියලා. සාක්ෂිකරුවන් ආවාම ජැස්මිනුත් ඩෙවිනුත් හිටියේ හොඳටම බීලා. ඒ දෙන්නා හිතුවේ නැහැ කිව්ව විදිහටම සාක්ෂිකරුවන් එයි කියලා. ඒත් ඊළඟ වතාවේ සාක්ෂිකරුවන් එද්දී ඒ දෙන්නා හිටියේ හොඳ සිහියෙන්. බයිබලේ තියෙන සත්‍යයන් දැනගන්න එයාලට තිබුණේ පුදුම කැමැත්තක්. එයාලා ඉගෙනගත්ත දේවල් ඉක්මනින්ම අදාළ කරගත්තා. මාස 3ක් යන්නත් කලින් එයාලා බොන එක නැවැත්තුවා විතරක් නෙමෙයි එයාලගේ විවාහය ලියාපදිංචිත් කළා. දෙන්නාගේ වෙනස දැකපු හුඟක් අය බයිබලේ පාඩම් කරන්න කැමති වුණා.

15. සත්‍යය ඉගෙනගන්න අපිට කැප කරන්න වෙන අමාරුම දේ මොකක් වෙන්න පුළුවන්ද? ඒ ඇයි?

15 දෙවි අකමැති චාරිත්‍ර සහ උත්සව. තමන් කාලයක් කරන්න පුරුදු වෙලා හිටපු චාරිත්‍රවලටත් පවත්වපු උත්සවවලටත් දෙවි කැමති නැහැ කියලා දැනගත්තාම ඒවා නොකර ඉන්න එක සමහරුන්ට එච්චර අමාරු නැහැ. ඒත් තවත් අයට ඒක අමාරු තීරණයක්. පවුලේ අය, රැකියා ස්ථානයේ අය, යාළුවෝ මොනවා කියයිද කියලා හිතලා එයාලා බය වෙනවා. සමහර චාරිත්‍ර විශේෂයෙන්ම මිය ගිය අය වෙනුවෙන් කරන චාරිත්‍ර හුඟක් අය සලකන්නේ ලොකු භක්තියකින් නිසා ඒවාට හවුල් වෙන එක නැවැත්තුවොත් නෑදෑ හිතමිතුරන් කේන්ති ගනියි කියලා සමහරු බයයි. (ද්වි. 14:1) දෙවි අකමැති චාරිත්‍රවලට හවුල් වෙන්නේ නැතුව ඉන්න අතීතයේ එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය අපිට උදව් වෙනවා.

16. එෆීසයේ හිටපු අය කැප කළේ මොනවාද?

16 එෆීසය මන්තර ගුරුකම්වලට ප්‍රසිද්ධ නගරයක්. කලින් ඒ දේවලට හවුල් වුණ අය ක්‍රිස්තියානීන් වුණාම මොකද කළේ? බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “ඔවුන් අතර සිටි මන්තර ගුරුකම්වල නියැලී සිටි බොහෝදෙනෙක් ගුරුකම් සඳහා භාවිත කළ පොත් පත් ගෙනැවිත් සියලුදෙනා ඉදිරියෙහි පුලුස්සා දැමුවෝය. එම පොත් පත්වල වටිනාකම ගණන් බැලූ විට ඒ සියල්ල රිදී කාසි පනස්දහසක් වටිනා බව අනාවරණය විය. මෙසේ යෙහෝවා දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගියේය. එය යටපත් කිරීමට කිසිවෙකුට නොහැකි විය.” (ක්‍රියා 19:19, 20) ඒ විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් එයාලා ළඟ තිබුණ මිල අධික පොත් පත් කැමැත්තෙන්ම අයින් කළා. එයාලා කරපු ඒ කැප කිරීමට ආශීර්වාද ලැබුණා.

17. (අ) සත්‍යය දැනගන්න අපිට අත්හරින්න වෙන සමහර දේවල් මොනවාද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

17 සත්‍යය මිල දී ගන්න ඔයා කැප කළේ මොනවාද? අපි හැමෝම ඒ වෙනුවෙන් අපේ කාලය දෙනවා. තවත් අය පොහොසත් වෙන්න තිබුණ අවස්ථා කැප කරලා තියෙනවා. නෑදෑ හිතමිතුරන් එක්ක තිබුණ කිට්ටු බැඳීම් සමහරුන්ට අත්හරින්න වෙලා තියෙනවා. අපෙන් වැඩිදෙනෙක් අපි හිතපු විදිහ, ක්‍රියා කරපු විදි වෙනස් කරගෙන තියෙනවා. දෙවි අකමැති චාරිත්‍ර, උත්සව අත්හැරලා තියෙනවා. අපි කැප කරපු ඒ කිසිම දේකට වඩා බයිබලේ සඳහන් සත්‍යයන් වටිනවා කියලා අපිට සැකයක් නැහැ. මොකද යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් වෙන්නේ බයිබලේ සඳහන් වටිනා සත්‍යයන්. ඒක තමයි ජීවිතේ වටිනාම දේ. සත්‍යය ඉගෙනගන්න නිසා ලැබෙන ආශීර්වාද මොන තරම්ද කියලා හිතද්දී සමහරු ඇයි සත්‍යය විකුණන්නේ කියලා හිතාගන්න අමාරුයි. එයාලා එහෙම කරන්නේ ඇයි? ඒ වගේ වරදක් නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද? ඊළඟ ලිපියෙන් ඒවාට උත්තර බලමු.

^ 8 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.