Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 47

ඔයාගේ විශ්වාසය කොච්චර ශක්තිමත්ද?

ඔයාගේ විශ්වාසය කොච්චර ශක්තිමත්ද?

“ඔබේ සිත් කලබල කරගන්න එපා. දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.”—යොහ. 14:1.

ගීතිකාව 119 සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු

මේ ලිපියෙන් *

1. සමහර වෙලාවට අපේ හිතේ මොන වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද?

අසත්‍යය උගන්වන ආගම්වල විනාශය, මාගොග් දේශයේ ගොග්ගේ ප්‍රහාරය, හර්–මගෙදොන් යුද්ධය වගේ ඉස්සරහට වෙන්න යන දේවල් ගැන හිතද්දී ඔයාගේ හිතටත් බයක් දැනෙනවාද? සමහරවිට ඔයා මෙහෙම කල්පනා කරනවා ඇති. ‘ඒ දේවල්වලට මුහුණ දෙද්දී අවසානය දක්වාම විශ්වාසවන්තව ඉන්න තරම් ශක්තිමත් විශ්වාසයක් මට තියෙයිද?’ එහෙමනම් මේ ලිපිය ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. එක අවස්ථාවක යේසුස් තමන්ගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “ඔබේ සිත් කලබල කරගන්න එපා. දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.” (යොහ. 14:1) ඔයාට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් ඉස්සරහට එන ඕනම අභියෝගයකට බය නැතුව මුහුණ දෙන්න ඔයාට පුළුවන්.

2. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද? අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 දැන් අපි මුහුණ දෙන ප්‍රශ්න, අභියෝග ගැන හිතද්දී අපේ දුර්වල තැන් මොනවාද කියලා හඳුනාගෙන අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න අපිට පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න එන්න එන්න අපේ විශ්වාසයත් තව ශක්තිමත් වෙනවා. එතකොට අනාගතයේදී එන ඕනම පීඩාවකට මුහුණ දෙන්න අපි බය වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී යේසුස්ගේ ගෝලයෝ එයාලගේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඕනෙ කියලා පැහැදිලි වුණා. ඒ වගේ අවස්ථා 4ක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. සමහරවිට එයාලා මුහුණ දුන්නා වගේ අභියෝගවලට අද අපිටත් මුහුණ දෙන්න වෙනවා ඇති. ඒවා ජය ගන්න පුළුවන් විදිහ ගැනත් අනාගතයේදී එන පීඩා ජය ගන්න, දැන් මුහුණ දෙන දේවල් උදව් වෙන්නේ කොහොමද කියලත් අපි බලනවා.

යෙහෝවා අපිව බලාගන්නවා කියලා සැක නොකර ඉන්න විශ්වාසය උදව් වෙනවා

අගහිඟකම්වලට මුහුණ දෙන්න වුණත් දිගටම දේවරාජ්‍යයට මුල් තැන දෙන්න විශ්වාසය අපිට උදව් වෙනවා (3-6 ඡේද බලන්න)

3. මතෙව් 6:30, 33 යේසුස් අපට ඉගැන්නුවේ මොකක්ද?

3 පවුලේ මූලිකයෙක්ට තමන්ගේ බිරිඳට, දරුවන්ට අවශ්‍ය දේවල් දෙන්න ලොකු වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම මේ කාලේ පවුලේ අයව රැකබලා ගන්න ලේසි නැහැ. සමහර වෙලාවට හිතපු නැති විදිහට එයාගේ රස්සාව නැති වෙන්න පුළුවන්. අලුත් රස්සාවක් හෙව්වත් හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. තවත් අයට රස්සාවක් ලැබුණත් ඒක ක්‍රිස්තියානීන්ට සුදුසු නැති විදිහේ එකක් නිසා භාරගන්න බැහැ. ඒ වගේ අවස්ථාවලදී යෙහෝවා කොහොමහරි අවශ්‍ය දේ, අවශ්‍ය වෙලාවට දෙනවා කියලා ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. කන්ද උඩ දේශනාවේදී යේසුස් තමන්ගේ ගෝලයන්ට ඒ දේ කාවැද්දුවා. (මතෙව් 6:30, 33 කියවන්න.) දෙවියන් අපිව කවදාවත් අත්හරින්නේ නැහැ කියන විශ්වාසය තියෙනවා නම් මොන අගහිඟකම් තිබුණත් වැදගත්ම වැඩේ වෙන දේවරාජ්‍යයට මුල් තැන දෙන්න අපිට පුළුවන්. යෙහෝවා දෙවියන් අපිව රැකබලා ගන්න විදිහ අපි අද්දකිද්දී අපි තව තවත් ඔහුට කිට්ටු වෙනවා. ඒ වගේම ඔහු ගැන තියෙන විශ්වාසයත් තව තවත් ශක්තිමත් වෙනවා.

4-5. අගහිඟකම්වලට මුහුණ දෙන්න එක පවුලකට උදව් වුණේ මොනවාද?

4 වෙනිසියුලාවේ සහෝදර මිගෙල්ගේ අද්දැකීම බලන්න. එයාට ගොවිපොළක් තිබුණා. එයායි, එයාගේ පවුලේ අයයි ජීවත් වුණේ ඒකේ ආදායමෙන්. දවසක් කට්ටියක් ඇවිල්ලා තුවක්කු පෙන්නලා එයාලව ගොවිපොළෙන් එළවලා දැම්මා. මිගෙල් මෙහෙම කියනවා. “ඊටපස්සේ කෙනෙක්ගෙන් ඉල්ලගත්ත පොඩි ඉඩම් කෑල්ලක තමයි අපි වගා කළේ. හැම දවසක්ම පටන්ගන්න කලින් මං යෙහෝවාගෙන් ඉල්ලුවා ‘අනේ යෙහෝවා, එදා වේල පිරිමහගන්න අපිට උදව් කරන්න’ කියලා.” ජීවිතේ ගැටගහගන්න එක මේ පවුලට ලේසි වුණේ නැහැ. හැබැයි යෙහෝවා එයාලව කොහොමහරි රැකබලා ගන්නවා කියලා එයාලට ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ නිසා එයාලා කවදාවත් රැස්වීම්, සේවේ අතපසු කළේ නැහැ. එයාලා දේවරාජ්‍යයට මුල් තැන දෙන්න එයාලගේ පැත්තෙන් හැම දේම කරද්දී යෙහෝවා ඔහුගේ පැත්තෙන් එයාලට ඕන කරන දේවල් අඩුවක් නැතුව දුන්නා.

5 ඒ අමාරු කාලේ පුරාම සහෝදර මිගෙල් සහ එයාගේ බිරිඳ යූරායි දෙවියන් එයාලව බලාගත්ත විදිහ අද්දැක්කා. යෙහෝවා එයාලට ඕන දේවල් දෙන්න සහෝදරයන්ගේ හිත් පෙලඹෙව්වා. සමහර සහෝදරයන් මිගෙල්ට රස්සාවක් හොයාගන්නත් උදව් කළා. තවත් අවස්ථාවලදී ශාඛා කාර්යාලයෙන් අවශ්‍යතා තියෙන අයට සහනාධාර දෙද්දී එයාලටත් ඒවා ලැබුණා. මේ හැම දේකින්ම පේනවා යෙහෝවා එයාලව කවදාවත් අත්හැරියේ නැහැ කියලා. ඒ නිසා ඔහු ගැන එයාලට තියෙන විශ්වාසයත් තව තවත් ශක්තිමත් වුණා. මිගෙල්ගේ ලොකු දුව හොසලින් යෙහෝවා එයාලට උදව් කරපු විශේෂ අවස්ථාවක් ගැන කියද්දී මෙහෙම කිව්වා. “ඒ කාලේ පුරාම අපිව බලාගත්තේ යෙහෝවාම තමයි. ඒ ගැන මට කිසිම සැකයක් නෑ. මං දන්නවා යෙහෝවා මාව එක මොහොතකටවත් තනි කරන්නේ නෑ. එයා තමයි මගේ හොඳම යාළුවා. දැන් අපි මුහුණ දෙන අමාරු දේවල් ඉස්සරහට එන ඕනම දේකට මුහුණ දෙන්න අපිට ශක්තියක් වෙයි.”

6. අගහිඟකම්වලට මුහුණ දෙද්දී විශ්වාසය ශක්තිමත් කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

6 මේ කාලේ ඔයා ගොඩක් අගහිඟකම්වලට මුහුණ දෙනවාද? ඒක ලේසි නැහැ කියලා අපි දන්නවා. හැබැයි මේ අමාරු කාලය ඔයාගේ විශ්වාසය තව ශක්තිමත් කරගන්න අවස්ථාවක් කරගන්න. ඒක කරන්න මතෙව් 6:25-34 යේසුස් කියපු දේ ගැන හොඳට හිතන එක, ඒ ගැන යාච්ඤා කරන එක උදව් වෙයි. ඒ වගේම අගහිඟකම් මැද්දේ වුණත් දිගටම යෙහෝවාට මුල් තැන දීලා වැඩ කරපු අයව ඔහු බලාගත්ත විදිහ ගැන තියෙන අද්දැකීම් කියවන්න. (1 කොරි. 15:58) එහෙම කරද්දී ඔයාටම තේරෙයි යෙහෝවා එයාලට උදව් කළා නම් ඔහු ඔයාටත් අනිවාර්යයෙන්ම උදව් කරනවා කියලා. ඔයාට ඕනෙ මොනවාද, ඒවා දෙන්නේ කොහොමද කියලා යෙහෝවා හොඳටම දන්නවා. ඔහු ඔයාට උදව් කරන විදිහ ඔයා අද්දකිද්දී ඔයාට ඔහු ගැන තියෙන විශ්වාසය තව තවත් ශක්තිමත් වෙයි. අනාගතයේදී ඊටත් වඩා අමාරු දේවල් එද්දී ඒවට මුහුණ දෙන්නත් ඒක උදව් වෙයි.—හබ. 3:17, 18.

කුණාටු වගේ පීඩාවලට මුහුණ දෙන්න විශ්වාසය උදව් වෙනවා

ස්වාභාවික විපත්වලට මුහුණ දෙද්දී, කුණාටු වගේ පීඩා එද්දී දිගටම ශක්තිමත්ව ඉන්න විශ්වාසය අපිට උදව් වෙනවා (7-11 ඡේද බලන්න)

7. දරුණු කුණාටුවක් ආපු වෙලාවේ ගෝලයන්ගේ විශ්වාසය ගැන පැහැදිලි වුණේ මොකක්ද? (මතෙව් 8:23-26)

7 දවසක් යේසුස් සහ ඔහුගේ ගෝලයෝ ඔරුවේ ඉද්දී ලොකු කුණාටුවක් ආවා. ඒ අවස්ථාව යේසුස් පාවිච්චි කළා විශ්වාසය ශක්තිමත් කරගන්න එකේ වැදගත්කම ගැන එයාලට කියලා දෙන්න. (මතෙව් 8:23-26 කියවන්න.) ඒ කුණාටුව කොච්චර දරුණුද කියනවා නම් බෝට්ටුවටත් උඩින් රළ ගහන්න පටන්ගත්තා. ඒ වෙලාවේ යේසුස් හිටියේ තද නින්දක. කුණාටුව නිසා බය වුණ ගෝලයෝ යේසුස්ව නැගිට්ටවලා “අපිව බේරගන්න” කියලා කෑ ගැහුවා. ඒ වෙලාවේ යේසුස් කිව්ව දේ බලන්න. “ඇයි ඔබ මේ තරම් භය වෙලා? ඔබේ විශ්වාසය අඩු වෙලාද?” ඇයි යේසුස් ඒ වගේ දෙයක් කිව්වේ? යේසුස්වයි, ගෝලයන්වයි ඕනම දේකින් බේරගන්න යෙහෝවාට හැකියාව තියෙනවා. හැබැයි ඒක තේරුම්ගන්න තරම් ශක්තිමත් විශ්වාසයක් එයාලට තිබුණේ නැහැ. මොකක්ද අපි ඒකෙන් ඉගෙනගන්නේ? සමහරවිට ඇත්තම කුණාටු එහෙම නැත්නම් කුණාටු වගේ ප්‍රශ්න අපිටත් එනවා. ඒවාට හොඳින් මුහුණ දෙන්න ශක්තිමත් විශ්වාසයක් තියෙන්නම ඕනේ.

8-9. ඇනෙල්ට මුහණ දෙන්න වුණේ මොනවාටද? ඒකට හොඳින් මුහුණ දෙන්න එයාට උදව් වුණේ මොනවාද?

8 ඇනෙල් කියන්නේ පෝටෝ රිකෝවල ජීවත් වෙන තනිකඩ සහෝදරියක්. 2017 ආපු මරියා කියන සුළිකුණාටුව නිසා එයාගේ ගේ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එයාගේ රස්සාවත් නැති වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “වෙච්ච දේවල් නිසා මං හුඟක් අසරණ වුණා. මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැරි වුණා. හැබැයි ප්‍රශ්න නිසා මගේ විශ්වාසය දුර්වල කරගන්නවා වෙනුවට මගේ හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවාට කියලා ඔහුව සම්පූර්ණයෙන් විශ්වාස කරන්න මම ඒකෙන් ඉගෙනගත්තා.”

9 ඒ පීඩාවට හොඳින් මුහුණ දෙන්න ඇනෙල්ට තව දෙයක් උදව් වුණා. ඒ තමයි කීකරුකම. ඒ ගැන එයා මෙහෙම කියනවා. “සංවිධානයෙන් ලැබුණු මඟ පෙන්වීම්වලට කීකරු වුණ එක මට උදව් වුණා ඒ ප්‍රශ්නෙට සන්සුන්ව මුහුණ දෙන්න. යෙහෝවා සහෝදරයන්ව පාවිච්චි කරලා මාව දිරිගන්වපු විදිහ, මට අවශ්‍ය දේවල් දුන්න විදිහ මං අද්දැක්කා. මං ඉල්ලුවාටත් වැඩිය දේවල් යෙහෝවා මට දුන්නා. මගේ විශ්වාසය කලින්ටත් වඩා දැන් ගොඩක් ශක්තිමත්.”

10. කුණාටු වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

10 මේ දවස්වල ඔයාත් කුණාටු වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවාද? සමහරවිට ඔයා ස්වාභාවික විපතකට මුහුණ දෙනවා ඇති. නැත්නම් දරුණු අසනීපයක් නිසා කරන්නේ මොනවාද කියලා හිතාගන්න බැරුව ඔයා ගොඩක් දුකෙන් ඇති. ඒ වගේ වෙලාවට ලොකු පීඩනයක්, කනස්සල්ලක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල්වලට ඉඩ දෙන්න එපා යෙහෝවා ගැන ඔයාට තියෙන විශ්වාසය අඩු කරන්න. ඒ වෙනුවට ඔයාගේ හිතේ තියෙන හැම දේම කියලා යෙහෝවාට යාච්ඤා කරන්න. මේ වෙන කල් ඔහු ඔයාට උදව් කරලා තියෙන විදිහ ගැන කල්පනා කරලා ඔයාගේ විශ්වාසය තව වැඩි කරගන්න. (ගීතා. 77:11, 12) යෙහෝවා ඔයාව අත්හැරලා නැහැ, කවදාවත්ම ඔයාව අත්හරින්නෙත් නැහැ.

11. අමාරු අවස්ථාවලදී වුණත් පෙරමුණ ගන්න අයට අපි කීකරු වෙන්න ඕනෙ ඇයි?

11 පීඩාවලට මුහුණ දෙන්න උදව් වෙන තව දෙයක් මොකක්ද? සහෝදරි ඇනෙල් කිව්ව වගේ, ඒ තමයි කීකරුකම. යෙහෝවා සහ යේසුස් පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන්ව පත් කරලා තියෙන්නේ එයාලා ගැන ලොකු විශ්වාසයක් තියලයි. ඉතින් අපිත් එයාලව විශ්වාස කරලා එයාලට කීකරු වෙන්න ඕනේ. සමහර වෙලාවට එයාලා දෙන මඟ පෙන්වීම් අපිට සීයට සීයක්ම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවලදීත් අපි එයාලට කීකරු වෙනවා නම් යෙහෝවා අපිට ආශීර්වාද කරනවා. අනිත් අතට බයිබලේ තියෙන වාර්තාවලින්, දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ගේ අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා දීපු මඟ පෙන්වීම්වලට කීකරු වෙන එකෙන් ගොඩක් අයගේ ජීවිත ගැලවිලා තියෙනවා කියලා. (නික්. 14:1-4; 2 ලේක. 20:17) ඒ වගේ උදාහරණ ගැන හොඳට හිතන්න. මොකද ඒවා ඔයාට උදව් වෙයි දැනුත් අනාගතයේදීත් සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම කීකරු වෙන්න. (හෙබ්‍රෙ. 13:17) එහෙම කරනවා නම් ඉස්සරහට එන දරුණුම කුණාටුවට, ඒ කියන්නේ මහත් පීඩාවට බය නැතුව මුහුණ දෙන්න ඔයාට පුළුවන් වෙයි.—හිතෝ. 3:25.

අසාධාරණකම්වලට මුහුණ දෙන්න විශ්වාසය උදව් වෙනවා

දිගටම යෙහෝවාට යාච්ඤා කරද්දී අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවා (12 ඡේදය බලන්න)

12. අසාධාරණකම්වලට මුහුණ දෙන්න විශ්වාසය උදව් වෙන්නේ කොහොමද කියලා ලූක් 18:1-8 පැහැදිලි වෙන්නේ කොහොමද?

12 යේසුස් දැනන් හිටියා අසාධාරණකම්වලට මුහුණ දෙද්දී ගෝලයන්ගේ විශ්වාසය සෝදිසියට ලක් වෙනවා කියලා. ඒ නිසා ඔහු එයාලට උපමාවක් කිව්වා. මේ උපමාවේ කතා කරන වැන්දඹුව අධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්ට තමන්ට යුක්තිය ඉටු කරලා දෙන්න කියලා දිගින් දිගටම කන්නලව් කරනවා. මොකද ඒ වැන්දඹුවට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ විනිශ්චයකරු කවදා හරි එයා කියන දේට ඇහුම්කන් දෙයි කියලා. අන්තිමේදී ඒ විනිශ්චයකරු ඒ වැන්දඹුවගේ ඉල්ලීම ඉටු කළා. මොකක්ද පාඩම? යෙහෝවා ඒ විනිශ්චයකරු වගේ අධර්මිෂ්ඨ කෙනෙක් නෙවෙයි. යේසුස් කිව්වා “දිවා රෑ දෙකේම ඔහු තෝරාගත් සේවකයන් ඔහුට කන්නලව් කරන විට දෙවි ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන්නේ නැද්ද?” කියලා. (ලූක් 18:1-8 කියවන්න.) ඊළඟට ඒ වැන්දඹුවගේ විශ්වාසය මතක් කරලා යේසුස් මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන විට එවැනි විශ්වාසයක් තිබෙන අයව ඔහුට මේ පොළොවේදී හමු වෙයිද?” අපිටත් තියෙන්න ඕනෙ ඒ වැන්දඹුවට තිබුණා වගේ විශ්වාසයක් කියන එක යේසුස් ඒකෙන් කාවැද්දුවා. යෙහෝවා දෙවියන් අපේ ඉල්ලීම්වලට උත්තර දෙන කල් අපිත් ඔහුගෙන් ඉල්ලන එක නතර කරන්නේ නැහැ. ඒ වගේම ඔහු ගැන තියෙන විශ්වාසය අඩු කරගන්නෙත් නැහැ. මොකද අපි දන්නවා යෙහෝවා අපිට ඇහුම්කන් දීලා අපිට යුක්තිය ඉටු කරලා දෙයි කියලා. ඒ නිසා දිගටම යාච්ඤාවෙන් ඔයාගේ ඉල්ලීම් ඔහුට කියන්න. මොකද ඔයාගේ යාච්ඤාව ගොඩක් බලවත් එකක්. සමහරවිට ඔයා හිතපු නැති විදිහකින් වුණත් ඔයාගේ යාච්ඤාවට යෙහෝවා උත්තර දෙයි.

13. අසාධාරණකම්වලට මුහුණ දුන්න පවුලකට යාච්ඤාව උදව් වුණේ කොහොමද?

13 කොංගෝවල වුණ අද්දැකීමක් බලන්න. සහෝදරි වේරෝගේ මහත්තයා සාක්ෂිකරුවෙක් නෙවෙයි. එයාලට අවුරුදු 15ක දුවෙක් හිටියා. කොංගෝවල ගැටුම් තිබුණ කාලේ හමුදාවේ අය එයාලගේ ගමට පහර දුන්නා. ජීවිතේ බේරගන්න එයාලට එහෙන් පැනලා යන්න වුණා. ඔහොම යන අතරේ එක මාර්ග බාධකයකදී හමුදාවෙන් එයාලව නවත්තලා එයාලව මරනවා කියලා තර්ජනය කළා. ඒ වෙලාවේ සහෝදරි වේරෝ හොඳටම අඬන්න පටන්ගත්තා. ඊටපස්සේ එයාගේ දුව එයාව සනසන්න යෙහෝවාගේ නම කීප වතාවක්ම කියලා හයියෙන් යාච්ඤා කළා. ඒක දැකලා අණ දෙන නිලධාරියා ඇහුවා “ඔය ළමයාට කවුද යාච්ඤා කරන්න ඉගැන්නුවේ” කියලා. එතකොට ඒ දුව මෙහෙම කිව්වා. “අම්මා තමයි මට ඉගැන්නුවේ. මතෙව් 6:9-13 පෙන්නලා අම්මා මට යාච්ඤා කරන විදිහ කියලා දුන්නා.” ඊටපස්සේ අර නිලධාරියා කිව්වා “දුවේ, ඔයා අම්මලත් එක්ක පරෙස්සමෙන් යන්න. ඔයාගේ යෙහෝවා දෙවියන් ඔයාලව ආරක්ෂා කරයි” කියලා.

14. විශ්වාසය සෝදිසියට ලක් වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? ඒ වගේ වෙලාවලදී විඳදරාගන්න උදව් වෙන්නේ මොනවාද?

14 යාච්ඤාව කොච්චර බලවත් දෙයක්ද කියලා ඒ වගේ අද්දැකීම්වලින් පැහැදිලියි නේද? හැබැයි ඔයාගේ යාච්ඤාවට හිතපු තරම් ඉක්මනට, හිතපු විදිහටම උත්තර ලැබුණේ නැත්නම් මොකද කරන්නේ? ඒ වගේ වෙලාවට යේසුස්ගේ උපමාවේ වැන්දඹුව මතක් කරගන්න. දිගටම යෙහෝවාට යාච්ඤා කරන්න. දිගටම ඔහුගෙන් බලය ඉල්ලන්න. (ෆිලි. 4:13) ඔහු ඔයාව කවදාවත් අත්හරින්නේ නැහැ කියලත් ඔයාගේ යාච්ඤාවට නියම වෙලාවට උත්තර දෙයි කියලත් විශ්වාස කරන්න. යෙහෝවා ඔයාට ආශීර්වාද කරන දවස වැඩි ඈතක නැහැ. එදාට ඔයා දුක් වින්දාද කියලවත් ඔයාට මතක තියෙන එකක් නැහැ. ඒ නිසා යෙහෝවාගේ උදව් ඉල්ලලා දිගටම විඳදරාගන්න. ඒක ඔයාට උදව් වෙයි ඉස්සරහට එන අමාරු කාලෙට ශක්තිමත්ව මුහුණ දෙන්න.—1 පේතෘ. 1:6, 7.

කඳු වගේ බාධක ජය ගන්න විශ්වාසය උදව් වෙනවා

15. මතෙව් 17:19, 20 කියන විදිහට යේසුස්ගේ ගෝලයෝ මුහුණ දුන්නේ මොන අභියෝගයටද?

15 ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් කඳු වගේ බාධක වුණත් ජය ගන්න පුළුවන් කියලා යේසුස් ගෝලයන්ට ඉගැන්නුවා. (මතෙව් 17:19, 20 කියවන්න.) යේසුස්ගේ ගෝලයෝ කීප වතාවක්ම භූතයන්ව දුරු කළා. හැබැයි එක අවස්ථාවකදී එයාලට ඒක කරගන්න බැරි වුණා. ඇයි ඒ? යේසුස් කිව්වා ඒ එයාලගේ විශ්වාසයේ මදිකම නිසා කියලා. ඔහු කිව්වේ එයාලට අබ ඇටයක් තරම්වත් විශ්වාසයක් තියෙනවා නම් කන්දක් වුණත් අයින් කරන්න පුළුවන් කියලා. කඳු වගේ ප්‍රශ්නවලට අද අපිත් මුහුණ දෙනවා නේද?

වේදනාත්මක දේවල්වලට මුහුණ දෙන්න වුණත් නමස්කාරයේ දේවල් දිගටම කරගෙන යන්න විශ්වාසය අපිට උදව් වෙනවා (16 ඡේදය බලන්න)

16. වියෝදුකෙන් ගොඩ එන්න ගේඩිට විශ්වාසය උදව් වුණේ කොහොමද?

16 ග්වාතමාලාවේ ඉන්න සහෝදරි ගේඩි කඳු වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්න කෙනෙක්. දවසක් රැස්වීම් ඇරිලා එද්දී මිනිස්සු කට්ටියක් ඇවිත් එයාගේ මහත්තයාව මැරුවා. ඒ දුක දරාගන්න එයාට විශ්වාසය උදව් වුණේ කොහොමද? එයා මෙහෙම කියනවා. “යාච්ඤාවෙන් මගේ හිතට දැනුණ හැම දුකක්ම මං යෙහෝවා පිට තිබ්බාම මට පුදුම සහනයක් දැනුණා. ඒ කාලේ පුරාම යෙහෝවා මගේ පවුලේ අය, මගේ යාළුවෝ පාවිච්චි කරලා මාව බලාගත්තා. මං පුළුවන් තරම් නමස්කාරයේ දේවල්වලට කාලේ දුන්නා. ඒ නිසා හෙට දවස ගැන කරදර වෙන්නේ නැතුව එදා දවස ගැන හිතලා වැඩ කරන්න මට පුළුවන් වුණා. යෙහෝවාගේ, යේසුස්ගේ, සංවිධානයේ උදව් මට තියෙන නිසා ඉස්සරහටත් මොන දේ වුණත් ඒ හැම දේටම මුහුණ දෙන්න මට පුළුවන් කියලා මට දැන් විශ්වාසයි.”

17. කඳු වගේ ප්‍රශ්නවලට මුහුණ දෙද්දී අපිට කරන්න පුළුවන් මොනවාද?

17 ඔයා ආදරේ කරන කෙනෙක් මරණය නිසා ඔයාගෙන් වෙන් වෙලාද? එහෙමනම් නැවත නැඟිටුණු අය ගැන බයිබලේ තියෙන වාර්තා කියවලා ඒ ගැන ඔයාට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න. ඔයාගේ පවුලේ කෙනෙක් සභාවෙන් ඉවත් කරලාද? එහෙමනම් යෙහෝවා හික්මවන විදිහ තමයි හරිම විදිහ කියලා ඔයාට තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න. ප්‍රශ්නවලට මුහුණ දෙද්දී වැටෙනවා වෙනුවට විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඒක අවස්ථාවක් කරගන්න. ඔයාගේ හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියන්න. තනි වෙන්න එපා, සහෝදර සහෝදරියන්ට කිට්ටුවෙන් ඉන්න. (හිතෝ. 18:1) පරණ දේවල් මතක් වෙද්දී සමහරවිට ඔයාට ඇඬෙයි. හැබැයි අත්හරින්න එපා, දිගටම විඳදරාගන්න උදව් වෙන දේවල් කරන්න. (ගීතා. 126:5, 6) රැස්වීම්, සේවේ සහ බයිබල් කියවීම කවදාවත් අතපසු කරන්න එපා. ඔහු ඔයාට උදව් කරන විදි ගැන කල්පනා කරන්න. යෙහෝවා ඔයාට දෙන්න ගොඩක් ආශීර්වාද එකතු කරගෙනයි ඉන්නේ. ඒ ගැන හිතන්න. එතකොට ඔයාගේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙයි.

“විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”

18. විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඕනෙ කියලා ඔයාට තේරුණොත් මොනවාද කරන්න පුළුවන්?

18 ඔයා ප්‍රශ්නවලට මුහුණ දුන්න විදිහ නැත්නම් දැන් ඒවාට මුහුණ දෙන විදිහ ගැන හිතද්දී ඔයාගේ විශ්වාසය මදියි කියලා ඔයාට හිතෙනවා නම් අධෛර්යය වෙන්න එපා. ඔයාට පුළුවන් ඒක ශක්තිමත් කරගන්න. “අප තුළ තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරන්න” කියලා යේසුස්ගේ ගෝලයෝ ඉල්ලුවා වගේ ඔයාත් උදව් ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරන්න. (ලූක් 17:5) ඒ වගේම විශ්වාසය ශක්තිමත් කරගන්න මේ ලිපියේ තිබුණ අද්දැකීමුත් ඔයාට උදව් වෙයි. මිගෙල් සහ යූරායි වගේ කලින් දෙවියන් ඔයාට උදව් කරපු විදි ගැන හිතන්න. වේරෝගේ දුව සහ ඇනෙල් වගේ ප්‍රශ්න එද්දී මුළු හදවතින්ම යෙහෝවාට යාච්ඤා කරන්න. ගේඩි වගේ පවුලේ අයව, යාළුවන්ව පාවිච්චි කරලා ඔයාට උදව් කරන්නේ යෙහෝවා කියලා තේරුම්ගන්න. යෙහෝවාගේ උදව් අරගෙන ඔයා දැන් අභියෝගවලට මුහුණ දෙනවා නම් ඉස්සරහට එන ඕනම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න ඔයාට පුළුවන්.

19. යේසුස්ට ලොකු විශ්වාසයක් තිබුණේ මොනවා ගැනද? ඔයාට සහතික වෙන්න පුළුවන් මොනවා ගැනද?

19 අපි මේ ලිපියෙන් බැලුවා වගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඕනෙ කියලා තේරුම්ගන්න යේසුස් ගෝලයන්ට උදව් කළා. හැබැයි දෙවියන්ගේ උදව්වෙන් ඉස්සරහට එන පීඩාවලට එයාලා සාර්ථකව මුහුණ දෙයි කියලා යේසුස්ට ලොකු විශ්වාසයක් තිබුණා. (යොහ. 14:1; 16:33) මහත් සමූහයට ශක්තිමත් විශ්වාසයක් තියෙන නිසා ඉස්සරහට එන මහත් පීඩාවෙන් එයාලට බේරෙන්න පුළුවන් කියලත් යේසුස්ට කිසිම සැකයක් නැහැ. (එළි. 7:9, 14) ඒ මහත් සමූහය අතර ඔයාත් ඉඳියිද? යෙහෝවාගේ උදව්වෙන් දැන් ඔයා විශ්වාසය ශක්තිමත් කරගන්න ලැබෙන හැම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්නවා නම් මහත් සමූහය අතරේ ඉන්න ඔයාටත් පුළුවන්.—හෙබ්‍රෙ. 10:39.

ගීතිකාව 118 “විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”

^ 5 ඡේ. අපි හැමෝම ආසයි මේ දුෂ්ට සමාජයේ විනාශය ඉක්මනටම එනවා දකින්න. ඒත් සමහරවිට අපිට හිතෙන්න පුළුවන් ‘ඒ කාලෙට මුහුණ දෙන්න මට ශක්තිමත් විශ්වාසයක් තියෙනවාද’ කියලා. ඔයාටත් එහෙම හිතෙනවා නම්, මේ ලිපියේ තියෙන අද්දැකීම් සහ මඟ පෙන්වීම් ඔයාගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න උදව් වෙයි.