Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 44

යෙහෝවා ඔයාට පෙන්නන ආදරය හරිම විශේෂයි!

යෙහෝවා ඔයාට පෙන්නන ආදරය හරිම විශේෂයි!

යෙහෝවා දෙවිගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.’—ගීතා. 136:1.

ගීතිකාව 108 දෙවිගේ සදාතනික ප්‍රේමය

මේ ලිපියෙන් *

1. යෙහෝවා දෙවියන් අපිව දිරිගන්වන්නේ මොනවා කරන්නද?

ආදරය කියන්නේ යෙහෝවා ගොඩක් ආස කරන ගුණාංගයක්. (හොෂෙ. 6:6) මීකා මාර්ගයෙන් ඔහු අපිට කිව්වා “ප්‍රේමයෙන් කටයුතු කරන්න” කියලා. (මීකා 6:8) ඒකෙන් පැහැදිලියි දෙවියන්ගේ සේවකයනුත් ඔහු වගේම ඒ ලස්සන ගුණාංගය පෙන්නනවා දකින්න යෙහෝවා හුඟක් ආසයි කියලා. කලින් සඳහන් කරපු බයිබල් පද දෙකේම යෙහෝවා කතා කළේ විශේෂ ආදරයක් පෙන්නන එක ගැනයි. හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ විශේෂ ආදරය හැඳින්නුවේ “ළැදි ප්‍රේමය” කියලයි.—සඳහන් කරලා තියෙන බයිබල් පදවල පාදසටහනත් බලන්න.

2. යෙහෝවා පෙන්නන ආදරයේ තියෙන විශේෂත්වය මොකක්ද?

2 දෙවියන් විශේෂ ආදරයක් පෙන්නපු අවස්ථා ගැන බයිබලේ කියලා තියෙනවා. යෙහෝවා පෙන්නන ඒ ආදරේ තියෙන විශේෂත්වය මොකක්ද? ඒ ආදරය කවදාවත් අඩු වෙන්නේ නැහැ. මොන දේ වුණත් ඔහු ආදරය කරන කෙනාගේ ළඟින්ම ඉන්නවා. බයිබලේ ගොඩක් අවස්ථාවල සඳහන් වෙලා තියෙන්නේ යෙහෝවා මිනිසුන්ට පෙන්නපු විශේෂ ආදරය ගැනයි. හැබැයි මිනිස්සු අනිත් අයට ඒ වගේ ආදරයක් පෙන්නපු අවස්ථා ගැනත් බයිබලේ තියෙනවා. ඒ කොහොමවුණත් ඒ වගේ ආදරයක් පෙන්නන එක ගැන හොඳම ආදර්ශය තියලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. යෙහෝවා මිනිසුන්ට විශේෂ ආදරයක් පෙන්නලා තියෙන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. ඔහුව ආදර්ශයට අරන් අනිත් අයට ඒ වගේ ආදරයක් පෙන්නන්න අපිට පුළුවන් කොහොමද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.

“ඉමහත් ප්‍රේමයක්” පෙන්වන යෙහෝවා දෙවියන්

3. යෙහෝවා දෙවියන් තමන් ගැන මෝසෙස්ට කිව්වේ මොනවාද?

3 ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් නිදහස් වෙලා ඇවිත් වැඩි කල් යන්න කලින් දෙවියන් ඔහුගේ නම ගැනත් ඔහු මොන වගේ කෙනෙක්ද කියන එක ගැනත් මෝසෙස්ට විස්තර කළා. ඔහු මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නෙමි. යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක් පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙමි. මම පරම්පරා දහස් ගණනකට මහත් ප්‍රේමයක් පෙන්වමින් අයුතුකම්වලටද වැරදිවලටද පාපවලටද සමාව දෙන්නෙමි.” (නික්. 34:6, 7) එතන යෙහෝවා තමන් ගැන පැහැදිලි කරද්දී ඔහු මිනිසුන්ට පෙන්නන ආදරේ හරිම විශේෂ පැත්තක් ගැන කිව්වා. ඒ මොකක්ද?

4-5. (අ) යෙහෝවා දෙවියන් තමන් ගැන විස්තර කළේ කොහොමද? (ආ) අපි දැන් බලන්නේ මොනවා ගැනද?

4 යෙහෝවා එතන කිව්වේ ඔහු ප්‍රේමය පෙන්නනවා කියලා නෙවෙයි, “ඉමහත් ප්‍රේමයක්” පෙන්නනවා කියලයි. ඒ කියන්නේ යෙහෝවා අපිට විශේෂ ආදරයක් පෙන්නද්දී ඒකත් උපරිමයෙන්ම පෙන්නනවා කියන එකටයි. ‘නව ලොව පරිවර්තනයේ’ “ඉමහත් ප්‍රේමයක්” කියන අදහස තැන් කීපයකම සඳහන් වෙනවා. (ගණන්. 14:18; නෙහෙ. 9:17; ගීතා. 86:15; 103:8; යෝවෙ. 2:13; යෝනා 4:2) ඒ තරම් ආදරයක් පෙන්නන්න පුළුවන් යෙහෝවාට විතරයි. ඒක මිනිසුන්ට පෙන්නන්න බැහැ. යෙහෝවාම තමයි ඔහු ඒ වගේ ආදරයක් පෙන්නන කෙනෙක් කියලා කීප සැරයක්ම බයිබලේ සඳහන් කරලා තියෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා ඔහු ඒ ගුණාංගයට කොච්චර ආසද කියලා. * දාවිත් යෙහෝවා දෙවියන් ගැන මේ වගේ දෙයක් කිව්වා. ‘යෙහෝවා දෙවියනි, ඔබ පෙන්වන මහත් ප්‍රේමය ස්වර්ගය දක්වාම නැඟ තිබේ. දෙවියනි, ඔබ පෙන්වන ප්‍රේමය මොන තරම් අනර්ඝද! ඔබේ පියාපත් සෙවණේ සිටිමින් මනුෂ්‍යයෝ රැකවරණය ලබන්නෝය.’ (ගීතා. 36:5, 7) යෙහෝවා අපිට පෙන්නන විශේෂ ආදරය දාවිත් වගේ අපිත් අගය කරනවාද?

5 යෙහෝවා අපිට පෙන්නන විශේෂ ආදරය ගැන තවත් හොඳින් තේරුම්ගන්න අපි ප්‍රශ්න දෙකකට උත්තර බලමු. යෙහෝවා ඒ වගේ ආදරයක් පෙන්නන්නේ කාටද? ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

යෙහෝවා දෙවියන් විශේෂ ආදරයක් පෙන්නන්නේ කාටද?

6. යෙහෝවා විශේෂ ආදරයක් පෙන්නන්නේ කාටද?

6 දෙවියන් හැම කෙනෙක්ටම විශේෂ ආදරයක් පෙන්නන්නේ නැහැ. ඔහු ඒක පෙන්නන්නේ ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් තියෙන අයට විතරයි. දෙවියන් ඔහුගේ මිතුරන්ට විශ්වාසවන්තයි. එයාලට ලස්සන ජීවිතයක් දෙන්න ඔහු ආසාවෙන් ඉන්නවා. ඔහු කවදාවත් එයාලව අත්හරින්නේ නැහැ.

දෙවියන් ඔහුට නමස්කාර කරන්නේ නැති අයටත් ගොඩක් හොඳ දේවල් දෙනවා (7 ඡේදය බලන්න) *

7. යෙහෝවා මිනිස්සු හැමෝටම ආදරය පෙන්නලා තියෙන්නේ කොහොමද?

7 යෙහෝවා දෙවියන් මිනිස්සු හැමෝටම ආදරේ පෙන්නලා තියෙනවා. ඒක කරලා තියන ප්‍රධාන විදිහක් ගැන යේසුස් නිකදේමස්ට මෙහෙම කිව්වා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහ. 3:1, 16; මතෙ. 5:44, 45.

දාවිත් සහ දානියෙල් කිව්ව විදිහට යෙහෝවා දෙවියන් ඔහුව හඳුනාගෙන ඔහුට ළං වෙන, ඔහුට ගරුබිය පෙන්වන, ආදරේ කරන, ඔහුට කීකරු වන අයට විශේෂ ආදරයක් පෙන්වනවා (8 සහ 9 ඡේද බලන්න)

8-9. (අ) යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ට විශේෂ ආදරයක් පෙන්නන්නේ ඇයි? (ආ) අපි ඊළඟට බලන්නේ මොනවා ගැනද?

8 යෙහෝවා හැමෝටම ආදරය කළත් ඔහු විශේෂ ආදරයක් පෙන්නන්නේ ඔහුගේ සේවකයන්ට විතරයි. දාවිත් සහ දානියෙල් කිව්ව මේ දේවලින් ඒක තවත් පැහැදිලි වෙනවා. දාවිත් කිව්වා, “ඔබව හඳුනාගත් අයට ඔබේ නොමියන ප්‍රේමය සැමදා පෙන්වන්න” කියලා. ඒ වගේම “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය දක්වන අයට ඔහු සදාකාලයෙන් සදාකාලයට ප්‍රේමය පෙන්වන්නේය” කියලත් එයා කිව්වා. දානියෙල් මෙහෙම කිව්වා. “ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට ඔබ ප්‍රේමය නොඅඩුව පෙන්වනවා.” (ගීතා. 36:10; 103:17; දානි. 9:4) යෙහෝවා දෙවියන්ගේ සේවකයන් (1) ඔහුව හඳුනාගෙන ඔහුට ළං වෙනවා. (2) ඔහුට ගරුබිය දක්වනවා. (3) ඔහුට මුළු හදවතින්ම ආදරය කරනවා. (4) ඔහුට කීකරු වෙනවා. දෙවියන් එයාලට විශේෂ ආදරයක් පෙන්නන්නේ ඒ නිසයි. යෙහෝවා ඒ වගේ ආදරයක් පෙන්නන්නේ ඔහු කැමති විදිහට ඔහුට නමස්කාර කරන අයට විතරයි කියලා ඒකෙන් පැහැදිලියි.

9 අපි බැලුවා යෙහෝවා මිනිස්සු හැමෝටම ආදරෙයි කියලා. දෙවියන්ට සේවය කරන්න කලින් අපිත් ඒ ආදරය අද්දැක්කා. (ගීතා. 104:14) හැබැයි ඔහුට නමස්කාර කරන අය විදිහට දැන් අපිට ඔහුගේ විශේෂ ආදරය අද්දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. යෙහෝවා තමන්ගේ සේවකයන්ට මේ පොරොන්දුව දීලා තියෙනවා. “ඔබ කෙරෙහි මට තිබෙන ප්‍රේමය කිසිදා නැති නොවෙයි.” (යෙසා. 54:10) දාවිත් ඒක එයාගේ ජීවිතෙන්ම අද්දැක්කා. එයා කිව්වා “යෙහෝවා දෙවි තමාට පක්ෂපාත තැනැත්තාට විශේෂ සැලකිල්ලක් දක්වන්නේය” කියලා. (ගීතා. 4:3) ඒ ගැන හිතද්දී අපි පෙලඹෙන්න ඕනෙ මොනවා කරන්නද? ඒ ගැන ගීතිකාකරු කිව්වේ මෙහෙමයි. “ප්‍රඥාවන්තයෙක්, මේ සෑම දෙයක් ගැනම හොඳින් සිතා බලන්නේය. යෙහෝවා දෙවි මහත් ප්‍රේමයකින් යුක්තව සිදු කළ මේ සෑම ක්‍රියාවක් ගැනම ඔහු ගැඹුරින් කල්පනා කර බලන්නේය.” (ගීතා. 107:43) ගීතිකාකරු මාර්ගයෙන් ඒ දේ කිව්වේ යෙහෝවා දෙවියන්. ඒ නිසා අපිත් යෙහෝවා අපිට පෙන්නලා තියෙන ආදරේ ගැන හිතලා බලන එක කොච්චර වැදගත්ද! යෙහෝවා ඔහුගේ සෙනඟට විශේෂ ආදරයක් පෙන්නන විදි තුනක් ගැනත් ඒකෙන් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි දැන් බලමු.

යෙහෝවා අපිට විශේෂ ආදරයක් පෙන්නන නිසා ලැබෙන ප්‍රයෝජන

තමන්ගේ සෙනඟට යෙහෝවා තවත් හොඳ දේවල් දීලා තියෙනවා (10-16 ඡේද බලන්න) *

10. යෙහෝවාගේ ආදරය කවදාවත් නැති වෙන්නේ නැහැ කියලා දැනගෙන ඉන්න එක අපිට ශක්තියක් වෙන්නේ කොහොමද? (ගීතාවලිය 31:7)

10 යෙහෝවා විශේෂ ආදරයක් පෙන්නන එක කවදාවත් නවත්තන්නේ නැහැ. ඒ ගැන ගීතාවලිය 136වෙනි පරිච්ඡේදයේ 26 වතාවක්ම සඳහන් කරලා තියෙනවා. ඒ පරිච්ඡේදය පටන්ගන්නේ “යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය. ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය” කියලයි. (ගීතා. 136:1) ඒ පරිච්ඡේදය පුරාම දෙවියන් අපිට ඔහුගේ විශේෂ ආදරය පෙන්නලා තියෙන එක එක විදි ගැන සඳහන් වෙනවා. ඒ පරිච්ඡේදයේ 2වෙනි පදයේ ඉඳන් 26වෙනි පදය වෙන කල් හැම පදයකම “ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය” කියලා ආයේ ආයේ කියලා තියෙනවා. ඒ පද කියවද්දී අපිට කොච්චර ලොකු සහනයක් දැනෙනවාද! කෙනෙක් දෙවියන්ට නමස්කාර කරන්න පටන්ගද්දී දෙවියන් ඔහුට ළං වෙනවා. දෙවියන්ට එයා ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියනවා නම් ඔහු කවදාවත් එයාව අත්හරින්නේ නැහැ. විශේෂයෙන්ම අමාරු දේවල්වලට මුහුණ දෙද්දී යෙහෝවා එයා ළඟින්ම ඉන්නවා. ඒක දැනන් ඉන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? අපි ඔහුගේ සෙනඟ වන නිසා දෙවියන් කවදාවත් අපිව අත්හරින්නේ නැහැ. මොන අභියෝග, බාධා ආවත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඒක අපිට ලොකු ශක්තියක්.—ගීතාවලිය 31:7 කියවන්න.

11. ගීතාවලිය 86:5 කියන විදිහට යෙහෝවා සමාව දෙන්න පෙලඹෙන්නේ ඇයි?

11 යෙහෝවාට අපි ගැන විශේෂ ආදරයක් තියෙන නිසා ඔහු අපිට සමාව දෙනවා. වරදක් කරපු කෙනෙක් පසුතැවිලි වෙලා ඒ වරද හදාගන්නවා කියලා දැක්කාම යෙහෝවා දෙවියන් එයාට සමාව දෙනවා. එහෙම කරන්නේ ඔහුගේ හිතේ ඒ කෙනා ගැන ලොකු ආදරයක් තියෙන නිසයි. ඒ ගැන දාවිත් කිව්වේ මෙහෙමයි. “අප කළ පාපවල තරමටම ඔහු අපට දඬුවම් කළේ නැත. අප කළ වැරදිවලට ලැබිය යුතු දඬුවම ඔහු අපට දුන්නේ නැත.” (ගීතා. 103:8-11) කරපු වරදක් ගැන හිත වධ දෙද්දී ඒක දරාගන්න කොච්චර අමාරුද කියලා දාවිත් අද්දැකීමෙන්ම දැනන් හිටියා. හැබැයි යෙහෝවා “සමාව දීමට කැමති” කෙනෙක් කියලා දාවිත් තේරුම්ගත්තා. දෙවියන් සමාව දෙන්න පෙලඹෙන්නේ ඇයි? ඒකට උත්තරේ ගීතාවලිය 86:5 (කියවන්න.) තියෙනවා. දාවිත් කිව්ව විදිහට අවංකව පසුතැවිලි වෙලා සමාව ඉල්ලන හැමෝටම යෙහෝවා දෙවියන් විශේෂ ආදරයක් පෙන්නනවා.

12-13. අපි කලින් කරපු වරදක් නිසා හිත වධ දෙනවා නම් ඒකෙන් ගොඩ එන්න උදව් වෙන්නේ මොකක්ද?

12 වරදක් කළාම අපේ හිත වධ දෙන එක හොඳ දෙයක්. මොකද පසුතැවිලි වෙලා ඒ වරද හදාගන්න අපි පෙලඹෙන්නේ ඒ නිසයි. හැබැයි සමහර සහෝදරයන් එයාලා කලින් කරපු වැරදි ගැන ඕනාවට වඩා හිතහිත දුක් වෙනවා. එයාලා හිතනවා වැරදි හදාගෙන කොච්චර පසුතැවිලි වුණත් දෙවියන්ගෙන් තමන්ට සමාව ලැබෙන්නේ නැහැ කියලා. ඔයාත් ඒ වගේ හැඟීම් එක්ක පොරබදින කෙනෙක්ද? එහෙනම් යෙහෝවා දෙවියන්ගේ හිතේ ඔයා ගැන විශේෂ ආදරයක් තියෙනවා කියලා මතක් කරගන්න. ඔයාට ඒ හැඟීම්වලින් ගොඩ එන්න ඒක ඔයාට උදව්වක් වෙයි.

13 ඒක දැනන් ඉන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? අපි පව්කාරකම උරුම කරගෙන තියෙන අය වුණත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සතුටින් දෙවියන්ට සේවය කරන්න අපිට පුළුවන්. එහෙම කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ ‘යේසුස්ගේ රුධිරය අපව සියලුම පාපවලින් පවිත්‍ර කරන’ නිසයි. (1 යොහ. 1:7) ඔයා අතින් වුණ වරදක් නිසා ඔයා අධෛර්යය වෙලා ඉන්නවා නම් අවංකව පසුතැවිලි වෙන අයට සමාව දෙන්න යෙහෝවා ආසාවෙන් බලාගෙන ඉන්නවා කියන දේ අමතක කරන්න එපා. දාවිත් මෙහෙම කිව්වා. “ඔහු කෙරෙහි ගරුබියක් දක්වන අයට ඔහු පෙන්වන ප්‍රේමය අතිමහත්ය. එය අහසත් පොළොවත් අතර තිබෙන පරතරය තරම් මහත්ය. බස්නාහිර නැඟෙනහිරෙන් බොහෝ ඈත්ව තිබෙන්නා සේ ඔහු අපේ වැරදිද අපෙන් දුරස් කරන්නේය.” (ගීතා. 103:11, 12) එතන කියන විදිහට යෙහෝවා දෙවියන් අපිට සමාව දෙන්නේ ඔහුගේ හිතේ අපි ගැන විශේෂ ආදරයක් තියෙන නිසයි. ඇත්තටම ඔහු අපිට ‘දයාව පෙන්නලා මුළු හදින්ම සමාව දෙනවා.’—යෙසා. 55:7.

14. දෙවියන්ගේ ආදරය නිසා අපිට ආරක්ෂාවක් ලැබෙන විදිහ දාවිත් විස්තර කළේ කොහොමද?

14 යෙහෝවාට අපි ගැන විශේෂ ආදරයක් තියෙන නිසා ඔහුත් එක්ක තියෙන බැඳීම ආරක්ෂා කරගන්න අපිට උදව් කරනවා. දාවිත් දෙවියන්ට යාච්ඤා කරලා මෙහෙම කිව්වා. ‘ආරක්ෂාව පතා මා සැඟවෙන්නේ ඔබ ළඟය. විපත්තිවලින් ඔබ මා ආරක්ෂා කරන්නෙහිය. ඔබ මට ගැලවීම ලබා දෙන නිසා මම නිතරම ප්‍රීති ඝෝෂා මැද සිටින්නෙමි. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්නා දෙවිගේ මහත් ප්‍රේමය අද්දකින්නේය.’ (ගීතා. 32:7, 10) ශක්තිමත් පවුරක් තියෙන නගරයකට ඒ පවුරෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේ යෙහෝවාට අපි ගැන තියෙන ආදරේ නිසා අපේ විශ්වාසයට හානියක් වෙන දේවල්වලින් ඔහු අපිව ආරක්ෂා කරනවා. දෙවියන් අපිව ආරක්ෂා කරන තව විදිහක් තමයි අපිව ඔහුට තවත් ළං කරගන්න එක. එහෙම කරන්නෙත් ඔහු අපිට ගොඩක් ආදරේ නිසයි.—යෙරෙ. 31:3.

15. යෙහෝවාගේ ආදරය උස් බලකොටුවකට සහ රක්ෂස්ථානයකට සමාන කරන්න පුළුවන් ඇයි?

15 දෙවියන් ඔහුගේ සෙනඟව ආරක්ෂා කරන විදිහ විස්තර කරන්න දාවිත් තවත් උදාහරණයක් පාවිච්චි කළා. එයා මෙහෙම කිව්වා. “ඔබ මට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි. මහත් ප්‍රේමයක් පෙන්වන දෙවි කෙනෙකි.” ඒ වගේම යෙහෝවා දෙවියන් ගැන එයා මෙහෙමත් කිව්වා. “මාගේ බලකොටුව ඔහුය. මට ප්‍රේමණීයව සලකන්නෙත් ඔහුය. මට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුවද මට ගැලවීම ලබා දෙන තැනැත්තාද ඔහුය. මාගේ පලිහ ඔහුය. මා ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්ය.” (ගීතා. 59:17; 144:2) දාවිත් දෙවියන්ගේ ආදරය ආරක්ෂාව දෙන උස් බලකොටුවකට සමාන කළේ ඇයි? ඒ අපි කොහේ ජීවත් වුණත් දෙවියන් එක්ක තියෙන බැඳීම ආරක්ෂා කරගන්න අවශ්‍ය හැම දෙයක්ම ඔහු අපිට ලබා දෙන නිසයි. ඒ වගේම 91වෙනි ගීතිකාවේ මෙහෙම කියනවා. “මම යෙහෝවා දෙවිට මෙසේ කියන්නෙමි. ‘ඔබ මාගේ රැකවරණයය. මාගේ බලකොටුවය.’” (ගීතා. 91:1-3, 9, 14) මෝසෙස්ටත් යෙහෝවා දෙවියන්ව දැනුණේ ආරක්ෂාව ලබා දෙන වාසස්ථානයක් වගේ. (ගීතා. 90:1) මෝසෙස් තමන්ගේ මරණයට ටික කාලෙකට කලින් යෙහෝවා ගැන ලස්සන පින්තූරයක් මැවෙන මේ වගේ දෙයක් කිව්වා. “සදාතන දෙවි රක්ෂස්ථානයක්ය. ඔහුගේ සවිමත් දෑතින් ඔහු ඔබව සදහටම උසුලයි.” (ද්වි. 33:27) ඒකෙන් අපිට යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16. අපිට සහනයක් වෙන්නේ මොන දේවල් ගැන දැනන් ඉන්න එකද? (ගීතාවලිය 136:23)

16 යෙහෝවා දෙවියන් බලකොටුවක් වගේ අපිව ආරක්ෂා කරනවා කියලා දැනන් ඉන්න එක අපිට ලොකු ශක්තියක්. එහෙම වුණත් සමහර වෙලාවට අපි ගොඩක් අධෛර්යය වෙලා වැටෙනවා. ඒ වගේ වෙලාවලදී යෙහෝවා මොනවාද කරන්නේ? (ගීතාවලිය 136:23 කියවන්න.) ඔහු හරිම ආදරෙන් අපිට නැඟිටින්න උදව් කරනවා. (ගීතා. 28:9; 94:18) ඒක දැනන් ඉන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඕනම වෙලාවක අපිට උදව් කරන්න යෙහෝවා දෙවියන් කැමැත්තෙන් ඉන්නවා කියලා දැනන් ඉන්න එක අපිට ලොකු සහනයක්. මොකද (1) අපි කොහේ ජීවත් වුණත් ඔහු අපිව ආරක්ෂා කරනවා කියලත් (2) අපේ ආදරණීය තාත්තා අපි ගැන ගොඩක් සැලකිලිමත් කියලත් අපි දන්නවා.

දෙවියන් පෙන්නන විශේෂ ආදරය අපිට ලොකු ශක්තියක්

17. අපිට කිසිම සැකයක් නැත්තේ මොනවා ගැනද? (ගීතාවලිය 33:18-22)

17 අපි මේ ලිපියෙන් බැලුවා වගේ අභියෝගයකට මුහුණ දෙද්දී අපේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න දෙවියන් අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඒ ගැන අපිට කිසිම සැකයක් නැහැ. (2 කොරි. 4:7-9) යෙරෙමියා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ ඔබේ අතිමහත් ප්‍රේමය ඔබ අපට පෙන්වූ නිසාය. ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.” (විලා. 3:22) ඒ වගේම ගීතිකාකරු කිව්වා “යෙහෝවා දෙවිගේ ඇස් ඔහුට ගරුබිය ඇත්තාවූ ඔහුගේ මහත් ප්‍රේමය ලැබීමට ආශාවෙන් සිටින්නාවූ අය දෙසට යොමු වී තිබේ” කියලා. (ගීතාවලිය 33:18-22 කියවන්න.) අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා කවදාවත් අපිට ආදරය කරන එක නවත්තන්නේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි.

18-19. (අ) අපි මතක තියාගන්න ඕනෙ මොනවාද? (ආ) අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවාද?

18 අපි මතක තියාගන්න ඕනෙ මොනවාද? යෙහෝවා මිනිස්සු හැමෝටම ආදරෙයි. දෙවියන්ට සේවය කරන්න කලින් අපිත් ඒ ආදරය අද්දැක්කා. හැබැයි දැන් දෙවියන්ගේ සෙනඟ විදිහට ඔහු පෙන්නන විශේෂ ආදරය ලබන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ආදරය නිසා යෙහෝවා තාත්තා කෙනෙක් වගේ අපිව ඔහුගේ තුරුලට අරගෙන ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි දෙවියන් අපිට අනාගතය ගැන දීලා තියෙන හැම පොරොන්දුවක්ම ඉටු කරනවා. ඔහු ආස අපි හැමදාටම ඔහුගේ දරුවන් විදිහට සතුටින් ඉන්නවා දකින්නයි. (ගීතා. 46:1, 2, 7) ඉතින් අපි මොන දේට මුහුණ දුන්නත් දිගටම අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න යෙහෝවා අනිවාර්යයෙන්ම අපිට උදව් කරනවා.

19 යෙහෝවා තමන්ගේ සෙනඟට විශේෂ ආදරයක් පෙන්නන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බැලුවා. අපිත් ඔහුව ආදර්ශයට අරන් අනිත් අයට ඒ වගේ ආදරයක් පෙන්නයි කියලා යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙනවා. අපිට ඒක කරන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 136 ඔබට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබේවා!

^ 5 ඡේ. යෙහෝවා දෙවියන් හැමෝටම ගොඩක් ආදරෙයි. හැබැයි සමහර අයට ඔහු විශේෂ ආදරයක් පෙන්නනවා. ඔහු ඒ වගේ ආදරයක් පෙන්නන්නේ කාටද? ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තරත් ඒ විශේෂ ආදරය ගැන තවත් තොරතුරුත් මේ ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් අපි බලමු.

^ 4 ඡේ. යෙහෝවා අපිට විශේෂ ආදරයක් පෙන්නද්දී ඒක උපරිමයෙන්ම පෙන්නනවා කියන අදහස බයිබලේ තවත් තැන්වල සඳහන් වෙනවා.—නෙහෙමියා 13:22; ගීතාවලිය 69:13; 106:7; විලාප ගී 3:32 බලන්න.

^ 54 ඡේ. පින්තූරයේ අදහස: යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන් ඇතුළු හැමෝටම ආදරය පෙන්නනවා. මේ පින්තූර තුනෙන් දෙවියන් අපි හැමෝටම ආදරය පෙන්නලා තියෙන විදි තුනක් පෙන්නනවා. දෙවියන් ඒක කරලා තියෙන ප්‍රධානම විදිහ තමයි ඔහුගේ පුතාගේ ජීවිතය අපි වෙනුවෙන් දුන්න එක.

^ 62 ඡේ. පින්තූරයේ අදහස: යේසුස්ගේ ජීවිත පූජාව පිළිගෙන දෙවියන්ට නමස්කාර කරන අයට දෙවියන් විශේෂ විදිහකින් ඔහුගේ ආදරය පෙන්නනවා. යෙහෝවා හැමෝටම ආදරෙයි කියලා අපි දන්නවා. ඒ ආදරේට අමතරව දෙවියන්ට නමස්කාර කරන අයට ඔහු පෙන්නන විශේෂ ආදරය ලබන්නත් අවස්ථාව ලැබෙනවා. දෙවියන් ඒ ආදරය පෙන්නන විදි කීපයක් මේ පින්තූරවලින් පෙන්නලා තියෙනවා.