Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 45

යෙහෝවා වගේ අනිත් අයට නොසැලෙන ආදරයක් පෙන්නන්න

යෙහෝවා වගේ අනිත් අයට නොසැලෙන ආදරයක් පෙන්නන්න

“එකිනෙකා සමඟ ප්‍රේමණීයව කටයුතු කරන්න. එකිනෙකාට දයාව පෙන්වන්න.”—සෙක. 7:9.

ගීතිකාව 107 ප්‍රේමයේ උතුම්ම ආදර්ශය

මේ ලිපියෙන් *

1-2. අනිත් අයට ආදරය පෙන්නන්න තියෙන හේතු මොනවාද?

අනිත් අයට ආදරය පෙන්නන්න අපිට හුඟක් හේතු තියෙනවා. ඒ හේතුවලින් කීපයක් හිතෝපදේශ පොතෙන් හොයාගන්න පුළුවන්. ඒකේ මෙහෙම කියනවා ‘ප්‍රේමයද විශ්වාසවන්තකමද ඔබෙන් ඈත් නොවේවා! එසේ කළොත් ඔබේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගෙන දෙවි සහ මිනිසුන් ඉදිරියේ හොඳ නමක් දිනාගැනීමට ඔබට හැකි වනු ඇත.’ ඒ වගේම “ප්‍රේමයෙන් කටයුතු කරන තැනැත්තා බොහෝ ආශීර්වාද ලබයි” කියලත් “ධර්මිෂ්ඨකමටත් ප්‍රේමයටත් ප්‍රිය කරන තැනැත්තාට ජීවනයද යුක්තියද ගෞරවයද ලැබෙයි” කියලත් ඒකේ කියනවා.—හිතෝ. 3:3, 4; 11:17; 21:21.

2 අපේ සහෝදර සහෝදරියන්ට විශේෂ ආදරයක් පෙන්නන්න තියෙන හේතු තුනක් ඒ පදවලින් හොයාගන්න පුළුවන්. (1) ඒ වගේ ආදරයක් පෙන්නන අයව යෙහෝවා දෙවියන්ට ගොඩක් වටිනවා. (2) ඒකෙන් අපිටත් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණෙකට ඒ වගේ ආදරයක් පෙන්නද්දී හැමදාම අපි ළඟින්ම ඉන්න කිට්ටු යාළුවෝ ඇති කරගන්න පුළුවන්. (3) ඒ වගේ ආදරයක් පෙන්නන අයට යෙහෝවා දෙවියන් ගොඩක් ආශීර්වාද කරනවා. ඔහු එයාලට අනාගතයේදී සදාකල් ජීවිතයත් දෙනවා. “එකිනෙකා සමඟ ප්‍රේමයෙන් කටයුතු කරන්න. එකිනෙකාට දයාව පෙන්වන්න” කියලා යෙහෝවා දෙවියන් කියපු දේට කීකරු වෙන්න අපිට කොයි තරම් හේතු තියෙනවාද!—සෙක. 7:9.

3. මේ ලිපියෙන් අපි ඉගෙනගන්නේ මොනවා ගැනද?

3 අපි විශේෂ ආදරයක් පෙන්නන්න ඕනෙ කාටද? ඒ වගේ ආදරයක් පෙන්නන එක ගැන අපිට රූත් පොතෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ වගේ ආදරයක් පෙන්නන්න පුළුවන් කොහොමද? ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ ප්‍රශ්න 4ට උත්තර අපි මේ ලිපියෙන් බලනවා.

අපි විශේෂ ආදරයක් පෙන්නන්න ඕනෙ කාටද?

4. ආදරය පෙන්නද්දී යෙහෝවාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (මාක් 10:29, 30)

4 අපි කලින් ලිපියෙන් බැලුවා වගේ යෙහෝවා දිගටම ඔහුගේ සේවකයන්ට විශේෂ ආදරයක් පෙන්නනවා. (දානි. 9:4) ඒ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. “දෙවිගේ ප්‍රේමණීය දරුවන්” විදිහට අපිටත් ඕනෙ “දෙවිව අනුකරණය කරන්න.” (එෆී. 5:1) ඒ නිසා අපිත් සහෝදර සහෝදරියන්ට කවදාවත් වෙනස් වෙන්නේ නැති ආදරයක් පෙන්නන්න උපරිමයෙන් උත්සාහ කරනවා.—මාක් 10:29, 30 කියවන්න.

5-6. කෙනෙක් විශ්වාසවන්තයි කියලා කියද්දී මිනිසුන්ට සාමාන්‍යයෙන් එන්නේ මොන වගේ අදහසක්ද?

5 යෙහෝවා පෙන්නන විශේෂ ආදරය ගැන තේරුම්ගන්න තරමටම අපිටත් පුළුවන් අනිත් අයට ඒ වගේ ආදරයක් පෙන්නන්න. මුලින්ම අපි ඒ ආදරයයි, සාමාන්‍යයෙන් මිනිස්සු විශ්වාසවන්තකම කියලා කියද්දී අදහස් කරන දේයි අතර තියෙන වෙනස බලමු. ඒක තේරුම්ගන්න මේ උදාහරණය බලන්න.

 6 හිතන්න, සේවකයෙක් ආයතනයක අවුරුදු ගාණක් තිස්සේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. එයාව හඳුන්වන්නේ ඒ ආයතනයට විශ්වාසවන්තව වැඩ කරන කෙනෙක් විදිහට. හැබැයි එයා අවුරුදු ගාණක්ම එහෙම වැඩ කළේ ආයතනය ගැන තියෙන ආදරේ නිසා නෙවෙයි, එයාට හොඳ පඩියක් ලැබුණු නිසා වෙන්න ඇති. ආයතනයේ වැඩ කළත් ආයතනයෙන් ගන්න සමහර තීරණවලට එයා එච්චර කැමති නැති වෙන්නත් පුළුවන්. සමහරවිට වෙන තැනකින් ඊට වඩා හොඳ පඩියක් එක්ක රස්සාවක් ලැබුණොත් එයා මේ ආයතනය දාලා යයි.

7-8. (අ) කෙනෙක් තව කෙනෙක්ට විශේෂ ආදරයක් පෙන්නන්න පෙලඹෙන්නේ ඇයි? (ආ) අපි දැන් රූත්ගේ කතාව බලන්නේ ඇයි?

7  6වෙනි ඡේදයේ කතා කරපු විදිහට කෙනෙක්ට විශ්වාසවන්තව ඉන්න එකයි, කෙනෙක්ට විශේෂ ආදරයක් පෙන්නන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. කෙනෙක් විශේෂ ආදරයක් තව කෙනෙක්ට පෙන්නන්නේ එහෙම කරන්න ඕන නිසාම නෙවෙයි. ඒ වෙනුවට හදවතින්ම පෙලඹිලයි. මොන දේ වුණත් ඒ ආදරය කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඒ වගේ ආදරයක් පෙන්නපු හුඟදෙනෙක් ගැන බයිබලේ වාර්තා වෙලා තියෙනවා. එයාලාගෙන් එක්කෙනෙක් තමයි දාවිත්. යොනාතාන්ගේ තාත්තා දාවිත්ව මරන්න හැදුවත් දාවිත් දිගටම යොනාතාන්ට ගොඩක් ආදරේ කළා. ඒ ආදරේ පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ. යොනාතාන් මැරිලා අවුරුදු ගාණක් ගියාට පස්සෙත් එයාගේ පුතෙක් වුණ මෙෆිබොෂෙත්ට දාවිත් කරුණාවන්තව සැලකුවේ ඒ ආදරය නිසයි.—1 සාමු. 20:9, 14, 15; 2 සාමු. 4:4; 8:15; 9:1, 6, 7.

8 යෙහෝවා වගේ අනිත් අයට ආදරේ පෙන්නන විදිහ ගැන රූත් පොතෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. රූත්, නායොමි සහ බෝවස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපේ සහෝදර සහෝදරියන් එක්ක වැඩ කරද්දී ඒවා අදාළ කරගන්න පුළුවන් කොහොමද? *

රූත් පොතෙන් වටිනා පාඩම්!

9. දෙවියන් තමන්ට දුක් කරදර ගෙනාවා කියලා නායොමිට හැඟුණේ ඇයි?

9 රූත් පොතෙන් නායොමි ගැන, නායොමිගේ ලේලි කෙනෙක් වුණ රූත් ගැන සහ නායොමිගේ මහත්තයාගේ නෑදෑයෙක් වුණ බෝවස් ගැන අපිට ඉගෙනගන්න පුළුවන්. ඊශ්‍රායෙල් දේශයේ ඇති වුණ සාගතයක් නිසා නායොමි එයාගේ මහත්තයායි, පුතාලා දෙන්නායි එක්ක මෝවබ් දේශයේ පදිංචියට ගියා. එහෙදී එයාගේ මහත්තයා මැරුණා. පුතාලා දෙන්නා විවාහ වෙලා කාලයක් ගියාට පස්සේ ඒ දෙන්නාත් මැරුණා. (රූත් 1:3-5; 2:1) එක පිට එක ආපු ඒ කරදර නිසා නායොමි හොඳටම කලකිරුණා. කොච්චරද කියනවා නම් යෙහෝවා දෙවියන් එයාට විරුද්ධව දේවල් කරනවා කියලයි එයාට දැනුණේ. ‘සියලු බලැති දෙවි මාව අත්හැරලා. මගේ ජීවිතේ දැන් මට තිත්ත වෙලා. යෙහෝවා දෙවි මාව අවමානයට ලක් කළා. සියලු බලැති දෙවි මා පිටට දුක් කරදර ගෙනාවා’ කියලා එයා කිව්වේ ඒ නිසයි.—රූත් 1:13, 20, 21.

10. නායොමි කියපු දේවල් ගැන යෙහෝවාට හැඟුණේ කොහොමද? ඔහු කළේ මොකක්ද?

10 නායොමි කියපු දේවල් නිසා යෙහෝවා නායොමි එක්ක කේන්ති අරන් එයාව අත්හැරියාද? නැහැ. කලකිරිලා හිටපු නායොමිගේ හැඟීම් යෙහෝවා තේරුම්ගත්තා. ‘දුක් කරදරවලින් මිරිකී සිටින ප්‍රඥාවන්තයෙකු පවා මෝඩයෙකු සේ හැසිරීමට ඉඩ තියෙනවා’ කියලා ඔහු හොඳින්ම දන්නවා. (දේශ. 7:7) යෙහෝවා එයාව අත්හැරලා නැහැ, එයා ළඟින්ම ඉන්නවා කියලා තේරුම්ගන්න නායොමිට උදව් ඕන වෙලා තිබුණා. යෙහෝවා එයාට උදව් කළේ කොහොමද? (1 සාමු. 2:8) නායොමිට විශේෂ ආදරයක් පෙන්නන්න ඔහු රූත්ව පෙලඹෙව්වා. යෙහෝවා එයාට තාමත් ආදරෙයි කියලා තේරුම්ගන්නත් අධෛර්යය කරවන සිතුවිලිවලින් ගොඩ එන්නත් රූත් හරිම ආදරෙන් ටිකෙන් ටික නායොමිට උදව් කළා. රූත්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11. අධෛර්යය වෙලා ඉන්න අයට උදව් කරන්න සහෝදර සහෝදරියන් පෙලඹෙන්නේ ඇයි?

11 යෙහෝවා වගේ අනිත් අයට ආදරේ කරන කෙනෙක් අධෛර්යය වෙලා ඉන්න අයට උදව් කරන්න පෙලඹෙනවා. රූත් වගේ අනිත් අය ගැන සැලකිලිමත් හුඟක් සහෝදර සහෝදරියන් අපි අතර ඉන්නවා. කෙනෙක් දුකෙන් නැත්නම් අධෛර්යය වෙලා ඉන්නවා කියලා දැක්කාම එයාලා ඒ කෙනා ළඟින්ම ඉඳන් එයාට උදව් කරනවා. එයාලට සහෝදරයන් ගැන ලොකු ආදරයක්, කැක්කුමක් තියෙනවා. අනිත් අයට උදව් කරන්න, සනසන්න එයාලට පුළුවන් හැම දේම එයාලා කරන්නේ ඒ නිසයි. (හිතෝ. 12:25; 24:10) ඇත්තටම පාවුල් අපි හැමෝටම කරන්න කිව්වෙත් ඒ දේම තමයි. ඔහු මෙහෙම කිව්වා. ‘කලකිරී සිටින අයව සනසවන්න. දුර්වල වී සිටින අයට උපකාර කරන්න. සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.’—1 තෙස. 5:14.

අධෛර්යය වෙලා ඉන්න කෙනෙක්ට උදව් කරන්න පුළුවන් හොඳම විදිහක් තමයි එයාට හොඳින් ඇහුම්කන් දෙන එක (12 ඡේදය බලන්න)

12. අධෛර්යය වෙලා ඉන්න කෙනෙක්ව සනසන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද?

12 අධෛර්යය වෙලා ඉන්න කෙනෙක්ව සනසන්න පුළුවන් හොඳම විදිහ තමයි එයාට හොඳින් ඇහුම්කන් දෙන එක. ඒ වගේම ඔයාගේ ආදරේ එයාට දැනෙන්න සලස්වන එක. යෙහෝවාගේ ආදරණීය බැටළුවෙක්ට ඔයා ඒ විදිහට උදව් කරද්දී ඔහුට ඒක ගොඩක් වටිනවා. (ගීතා. 41:1) ඒ වගේ අය ගැන යෙහෝවාට හැඟෙන විදිහ ගැන හිතෝපදේශ 19:17 මෙහෙම කියනවා. “දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි. ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.”

ඕපා මෝවබ් දේශයට හැරිලා යන අතරතුරේ රූත් එයාගේ නැන්දම්මා වන නායොමිගේ උරහිසට අත තියාගෙන මෙහෙම කියනවා. “ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා.” (13 ඡේදය බලන්න)

13. රූත්ගේ තීරණය ඕපාගේ තීරණයට වඩා වෙනස් වුණේ කොහොමද? රූත් කවදාවත් වෙනස් වෙන්නේ නැති ආදරයක් නායොමිට පෙන්නුවේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

13 නායොමිගේ මහත්තයායි, එයාගේ පුතාලා දෙන්නායි මැරුණාට පස්සේ වුණේ මොනවාද කියලා දැන් අපි බලමු. ඒක අපිට උදව් වෙනවා යෙහෝවා පෙන්නනවා වගේ ආදරයක් පෙන්නන්න අපිට පුළුවන් කොහොමද කියලා තවත් හොඳින් තේරුම්ගන්න. නායොමිට ආරංචි වුණා “යෙහෝවා දෙවි තම සෙනඟට ආශීර්වාද කර තිබූ බැවින් ඊශ්‍රායෙල්වරුන්ට කෑමෙන් කිසි අඩුවක්” තිබුණේ නැහැ කියලා. ඉතින් නායොමි ආයෙත් යූදා දේශයට යන්න තීරණය කළා. (රූත් 1:6) ලේලිලා දෙන්නාත් එයාත් එක්ක යන්න පිටත් වුණා. ගමන අතරතුරේදී තුන් පාරක්ම නායොමි ලේලිලා දෙන්නාට බල කරලා කිව්වා ආයෙත් මෝවබ් දේශයට යන්න කියලා. ඉතින් මොකද වුණේ? “ඕපා නැන්දම්මාව සිප ඇගෙන් සමුගත්තාය. නමුත් රූත් දිගටම ඇය සමඟ සිටියාය” කියලා බයිබලේ කියනවා. (රූත් 1:7-14) ඕපා නායොමි කියපු දේට එකඟ වෙලා ආයෙත් මෝවබ් දේශයට ගියා. හැබැයි රූත් නායොමි බලාපොරොත්තු වුණාටත් වැඩිය දෙයක් කළා. එයාට ආයෙත් මෝවබ් දේශයට යන්න නිදහස තිබුණත් අසරණ වෙලා හිටපු මහලු නායොමි එක්කම ඉඳලා එයාට උදව් කරන්න රූත් තීරණය කළා. (රූත් 1:16, 17) ඒකෙන් පැහැදිලියි ඒ තීරණය ගන්න රූත්ව පෙලඹුවේ නායොමි ගැන එයාගේ හිතේ කවදාවත් වෙනස් වෙන්නේ නැති ආදරයක් තිබුණ නිසා කියලා. රූත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14. (අ) අද ඉන්න හුඟක් සහෝදර සහෝදරියන් කරන්නේ මොනවාද? (ආ) හෙබ්‍රෙව් 13:16 අනුව අපිට යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න පුළුවන් කොහොමද?

14 යෙහෝවා වගේ අනිත් අයට ආදරේ කරන කෙනෙක් එයාගෙන් බලාපොරොත්තු වෙනවාටත් වඩා දේවල් කරනවා. අද ඉන්න හුඟක් සහෝදරයන් කවදාවත් දැකලාවත් නැති සහෝදරයන්ට එයාලගේ ආදරය පුදුමාකාර විදිහට පෙන්නලා තියෙනවා. උදාහරණෙකට ස්වාභාවික විපතක් සිද්ධ වුණාම සහෝදරයන්ට උදව් කරන්න එයාලා ඉක්මනින්ම ඉදිරිපත් වෙනවා. සභාවේ කෙනෙක්ට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නම් එයා ගැන හොයලා බලලා ඉක්මනින්ම එයාට උදව් කරනවා. ඒ සහෝදරයන් හරියට මුල් සියවසේ මැසිඩෝනියාවේ හිටපු ක්‍රිස්තියානීන් වගේ. අසරණ වෙලා ඉන්න සහෝදරයන්ට උදව් කරන්න එයාලා ගොඩක් කැප කිරීම් කරනවා. සමහර වෙලාවට ‘තමන්ට කරන්න පුළුවන් දේටත් වඩා උපරිමයෙන්’ කරනවා. (2 කොරි. 8:3) ඒ වගේ ආදරයක් පෙන්නන සහෝදර සහෝදරියන් ගැන යෙහෝවා දෙවියන් කොච්චර සතුටු වෙනවා ඇද්ද!—හෙබ්‍රෙව් 13:16 කියවන්න.

යෙහෝවා පෙන්නනවා වගේ ආදරයක් පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

15-16. රූත් අත්හරින්නේ නැතුව නායොමිට උදව් කළේ කොහොමද?

15 රූත්ගේ කතාවෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒවායින් කීපයක් දැන් අපි බලමු.

16 උත්සාහය අත්හරින්න එපා. රූත් නායොමි එක්ක යූදා දේශයට යන්න එනවා කියලා කිව්වාම මුලින්ම නායොමි ඒකට කැමති වුණේ නැහැ. හැබැයි රූත් එයාගේ තීරණය වෙනස් කළේ නැහැ. ඊටපස්සේ මොකක්ද වුණේ? “රූත්, ඇය සමඟ යෑමට ගත් තීරණය කොයි ලෙසකින්වත් වෙනස් නොකරන බව නායොමි තේරුම්ගත් විට ඇය තවදුරටත් ඒ ගැන කතා නොකළාය.”—රූත් 1:15-18.

17. අත්හරින්නේ නැතුව කෙනෙක්ට උදව් කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

17 අපිට කරන්න පුළුවන් මොනවාද? අධෛර්යය වෙලා නැත්නම් කලකිරිලා ඉන්න කෙනෙක්ට අත්හරින්නේ නැතුව උදව් කරන්න නම් අපිට ගොඩක් ඉවසීම තියෙන්න ඕනේ. උදාහරණෙකට, සහෝදරියක් ගොඩක් අධෛර්යය වෙලා ඉන්නවා කියලා හිතන්න. * එයාට අපේ උදව් ඕනේ. හැබැයි අපි උදව් කරන්න යද්දී සමහරවිට එයා කියයි අපේ උදව් ඕනෙ නැහැ කියලා. ඒ වුණත් එයාට උදව් කරන්න අපි ගන්න උත්සාහය කවදාවත් අත්හරින්න හොඳ නැහැ. (ගලා. 6:2) එයාට උදව් කරන්න එයා අපිට ඉඩ දෙන කල් අපි දිගටම එයා ගැන හොයලා බලනවා. අධෛර්යය වෙලා ඉන්න ඒ ආදරණීය සහෝදරියට ඒ තත්වයෙන් ගොඩ එන්න කොහොම හරි උදව් කරන්නයි අපිට ඕනේ.

18. රූත්ට ගොඩක් දුක හිතෙන්න ඇත්තේ මොකක් නිසාද?

18 අමනාප වෙන්න ඉක්මන් වෙන්න එපා. නායොමි සහ රූත් බෙත්ලෙහෙමට ආවාම නායොමි එයාගේ අසල්වැසියන්ට මෙහෙම කිව්වා. “මෙහෙන් පිට වී යන කොට මට හැම දෙයක්ම තිබුණා. ඒත් යෙහෝවා දෙවි අද මාව මෙතැනට ගෙනාවේ හිස් අතින්.” (රූත් 1:21) රූත් නායොමි වෙනුවෙන් මොන තරම් දේවල් කළාද! එයාත් එක්ක එකට ඇඬුවා. එයාව සැනසුවා. බෙත්ලෙහෙම එන කල්ම දවස් ගාණක් පයින් එයාත් එක්කම ආවා. ඒ හැම දේම කරලත් අන්තිමට නායොමි කිව්වා “යෙහෝවා දෙවි අද මාව මෙතැනට ගෙනාවේ හිස් අතින්” කියලා. එහෙම කියද්දී සමහරවිට රූත් නායොමිගේ ළඟින් හිටගෙන ඉන්න ඇති. නායොමි කතා කළේ හරියට රූත් කරපු කිසිම දෙයක් එයාට වටින්නේ නැති ගාණට. ඒ වචන ඇහෙද්දී රූත්ට කොච්චර දුක හිතෙන්න ඇද්ද! හැබැයි රූත් නායොමිව අත්හැරලා ගියේ නැහැ.

19. අධෛර්යය වෙලා ඉන්න කෙනෙක්ට දිගටම උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

19 අපිට කරන්න පුළුවන් මොනවාද? අධෛර්යය වෙලා ඉන්න සහෝදරියකට අපි කොච්චර උදව් කළත් සමහර වෙලාවට එයා අපේ හිත රිදෙන දේවල් කියන්න පුළුවන්. ඒත් අපි එයාත් එක්ක අමනාප වෙන්නේ නැහැ. එයාට උදව් කරන්න අපි ගන්න උත්සාහය අපි අත්හරින්නෙත් නැහැ. ඒ වෙනුවට එයාට සහනයක් වෙන්න පුළුවන් මොන පැතිවලින්ද කියලා අපිට පෙන්නලා දෙන්න කියලා අපි යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලනවා.—හිතෝ. 17:17.

වැඩිමහල්ලෙනි, බෝවස්ව ආදර්ශයට ගන්න ඔයාලට පුළුවන් කොහොමද? (20 සහ 21 ඡේද බලන්න)

20. දිගටම නායොමිට උදව් කරන්න රූත්ට ශක්තිය ලැබුණේ කොහොමද?

20 අවශ්‍ය වෙලාවට දිරිගන්වන්න. රූත් නායොමිව අත්හරින්නේ නැතුව දිගටම ආදරේ පෙන්නලා එයාට උදව් කළත් රූත්ටත් දිරිගැන්වීම් ඕන වුණා. ඒක තේරුම්ගත්ත යෙහෝවා, බෝවස් මාර්ගයෙන් එයාව දිරිගැන්නුවා. බෝවස් රූත්ට මෙහෙම කිව්වා. “ඔබේ යහපත් ක්‍රියාවලට යෙහෝවා දෙවිගෙන් ඔබට ආශීර්වාද ලැබේවා! ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ පියාපත් සෙවණේ රැකවරණය සොයන ඔබට ඔහුගෙන් බොහෝ ආශීර්වාද ලැබේවා!” ඒ වචන ඇහුණාම රූත්ට කොච්චර සහනයක් දැනෙන්න ඇද්ද! ඒ ගැන එයා බෝවස්ට මෙහෙම කිව්වා. “ඔබ ඔබේ මෙහෙකාරිය වන මාව සනසා මගේ බිය සැක දුරු කළා.” (රූත් 2:12, 13) අවශ්‍යම වෙලාවේ බෝවස් රූත්ව දිරිගන්වපු නිසා විඳදරාගෙන දිගටම නායොමිට උදව් කරන්න රූත්ට ශක්තිය ලැබුණා.

21. වැඩිමහල්ලන් සහෝදර සහෝදරියන් ගැන සැලකිලිමත් කියලා පෙන්නන්නේ කොහොමද? (යෙසායා 32:1, 2)

21 අපිට කරන්න පුළුවන් මොනවාද? අත්හරින්නේ නැතුව අනිත් අයට ආදරය පෙන්නන අයටත් සමහර අවස්ථාවලදී දිරිගැන්වීම් ඕනේ. රූත් නායොමිව හරිම ආදරෙන් රැකබලා ගත්ත විදිහ ගැන හොඳ අවධානයක් දුන්න බෝවස් රූත්ව අගය කළා. බෝවස්ව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන් අනිත් අයට උදව් කරන්න මහන්සි වෙන සහෝදරයන් ගැන හොඳ අවධානයකින් ඉඳලා ඒ අයව දිරිගන්වනවා. අවශ්‍යම වෙලාවේ ලැබෙන ඒ වගේ දිරිගැන්වීම් එයාලා කරන යහපත් දේවල් දිගටම කරන්න ඒ සහෝදරයන්ට ශක්තියක්.—යෙසායා 32:1, 2 කියවන්න.

යෙහෝවා පෙන්නනවා වගේ ආදරයක් පෙන්නන අයට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

22-23. නායොමි හිතන විදිහ වෙනස් කරගත්තේ කොහොමද? ඒක කරන්න එයාට උදව් වුණේ මොකක්ද? (ගීතාවලිය 136:23, 26)

22 ටික දවසකට පස්සේ ගොඩක් කරුණාවන්ත කෙනෙක් වුණ බෝවස් නායොමිටයි, රූත්ටයි අවශ්‍ය ධාන්‍ය ලැබෙන්න සැලැස්සුවා. (රූත් 2:14-18) ඒ දේවල් ලැබුණාම නායොමි මොනවාද කිව්වේ? එයා කිව්වා, “ජීවතුන් වගේම මළවුන්වත් කිසිදා අමතක නොකර නොසැලෙන ප්‍රේමයක් පෙන්වූ යෙහෝවා දෙවිගෙන් ඔහුට ආශීර්වාද ලැබේවා” කියලා. (රූත් 2:20අ) නායොමි හිතන විදිහ කොච්චර වෙනස් වෙලාද! කලින් එයා අඬඅඬා කිව්වේ “යෙහෝවා දෙවි මාව අවමානයට ලක් කළා” කියලා. හැබැයි දැන් එයා හරිම සතුටින් ‘යෙහෝවා දෙවියන් නොසැලෙන ප්‍රේමයක් පෙන්නන්න අමතක කළේ නැහැ’ කියලා කියනවා. නායොමිට එයා හිතන විදිහ වෙනස් කරගන්න උදව් වුණේ මොකක්ද?

23 යෙහෝවා දෙවියන් එයාව කවදාවත් අත්හැරියේ නැහැ කියලා නායොමි අන්තිමේදී තේරුම්ගත්තා. යූදාවලට එන කල් යෙහෝවා දෙවියන් රූත් මාර්ගයෙන් එයාට අවශ්‍ය උපකාර දුන්නා. (රූත් 1:16) එයාලට උදව් කරන්න “මුදවාගන්නෙක්” වෙන බෝවස්ව පෙලඹෙව්වෙත් යෙහෝවා දෙවියන් කියලා නායොමි තේරුම්ගත්තා. * (රූත් 2:19, 20ආ) ‘යෙහෝවා දෙවියන් හැමදාම මං ළඟින්ම ඉඳලා තියෙනවානේ. දැන් තමයි මට ඒක තේරුණේ!’ කියලා නායොමි හිතන්න ඇති. (ගීතාවලිය 136:23, 26 කියවන්න.) ඒ වගේම රූත් සහ බෝවස් එයාව අත්හරින්නේ නැතුව දිගටම උදව් කරපු එක ගැන එයා කොච්චර සතුටු වෙන්න ඇද්ද! අන්තිමේදී නායොමිට එයාගේ අධෛර්යය කරවන සිතුවිලිවලින් ගොඩ එන්න පුළුවන් වුණා. ඒ ගැන ඒ තුන්දෙනාම ගොඩක් සතුටු වෙන්න ඇති.

24. අපේ සහෝදර සහෝදරියන්ට නොසැලෙන ආදරයක් පෙන්නන්න ඕනෙ ඇයි?

24 රූත්ගේ පොතෙන් අපි ඉගෙනගත්තේ මොනවාද? අපිත් යෙහෝවා වගේ අනිත් අයට ආදරේ කරනවා නම් අධෛර්යය වෙලා ඉන්න සහෝදර සහෝදරියන්ට අත්හරින්නේ නැතුව උදව් කරන්න අපිටත් පුළුවන්. ඒ වෙනුවෙන් අපෙන් බලාපොරොත්තු වෙනවාටත් වඩා දේවල් කරන්න අපි සූදානම්. මහන්සි වෙලා අනිත් අයට උදව් කරන සහෝදර සහෝදරියන්ව අවශ්‍ය වෙලාවලදී වැඩිමහල්ලන් දිරිගන්වනවා. අධෛර්යය වෙලා හිටපු අය දැන් ආයෙත් යෙහෝවා දෙවියන්ට සතුටින් සේවය කරනවා දකිද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා. (ක්‍රියා 20:35) හැබැයි අපි අත්හරින්නේ නැතුව නොසැලෙන ආදරයක් පෙන්නන්න ඕන ප්‍රධානම හේතුව මොකක්ද? ඒ “ඉමහත් ප්‍රේමයක්” පෙන්නන යෙහෝවා දෙවියන්ව ආදර්ශයට අරන් ඔහුව සතුටු කරන්න අපිට තියෙන ආසාව නිසයි.—නික්. 34:6; ගීතා. 33:22.

ගීතිකාව 130 සමාව දෙන්න

^ 5 ඡේ. අපේ හිතේ සහෝදර සහෝදරියන් ගැන විශේෂ ආදරයක් තියෙනවා දකින්න යෙහෝවා කැමතියි. අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයන් ඒ වගේ ආදරයක් අනිත් අයට පෙන්නුවා. ඒ ආදරය පෙන්නන විදිහ ගැන අපිට එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. අපි මේ ලිපියෙන් රූත්, නායොමි සහ බෝවස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා බලමු.

^ 8 ඡේ. මේ ලිපිය සූදානම් වෙද්දී රූත් 1 සහ 2 පරිච්ඡේද කියෙව්වොත් මේ පාඩමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාට පුළුවන් වෙයි.

^ 17 ඡේ. නායොමිගේ සිද්ධිය ගැන කතා කරන නිසා මෙතන සහෝදරියන් ගැන කතා කළත් මේ තොරතුරු සහෝදරයන්ටත් අදාළයි.

^ 23 ඡේ. මුදවාගන්නෙක් විදිහට බෝවස්ගේ වගකීම ගැන දැනගන්න 2012 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාවේ “අනුකරණය කිරීමට වටිනා ආදර්ශ - අගනා කාන්තාවක්” කියන ලිපිය යටතේ 20වෙනි පිටුව බලන්න.