Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 46

විවාහ ජීවිතයට පා තබද්දී දෙවියන්ගේ සේවයට මුල් තැන දෙන්න

විවාහ ජීවිතයට පා තබද්දී දෙවියන්ගේ සේවයට මුල් තැන දෙන්න

‘යෙහෝවා දෙවි මාගේ ශක්තියය. මම මුළු සිතින්ම ඔහු කෙරෙහි විශ්වාසය තබමි.’—ගීතා. 28:7.

ගීතිකාව 131 ‘දෙවි එක් කළ දෙය වෙන් නොකළ යුතුයි’

මේ ලිපියෙන් *

1-2. (අ) අලුතෙන් විවාහ වුණ අය යෙහෝවා ගැන විශ්වාසය තියන්න ඕනෙ ඇයි? (ගීතාවලිය 37:3, 4) (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

ඔයා විවාහ වෙන්න ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් විවාහ වෙලා වැඩි දවසක් නැද්ද? එහෙමනම් ඔයා ආදරය කරන කෙනාත් එක්ක එකතු වෙලා සතුටින් මේ ජීවන ගමන යන්න ඔයා ආසාවෙන් ඉන්නවා ඇති. හැබැයි විවාහය කියන්නේ රෝස මල් යහනාවක් නෙවෙයි. ඔයාට හැම දවසකම අභියෝග එයි, වැදගත් තීරණ ගන්න වෙයි. ඔයා අභියෝගවලට මුහුණ දෙන විදිහ, ගන්න තීරණ ඔයාගේ විවාහ ජීවිතයේ සතුටට බලපානවා. සමහර තීරණවල ප්‍රතිඵල සමහරවිට අවුරුදු ගාණක් යන කල් බලපාන්න පුළුවන්. ඒ නිසා හොඳ තීරණ ගන්න හැම තිස්සෙම යෙහෝවා මත රඳා ඉන්න. එතකොට සතුටින් පිරුණු ශක්තිමත් විවාහ ජීවිතයක් ගත කරන්න ඔයාට පුළුවන්. හැබැයි ඔයා මේ ගමන යද්දී යෙහෝවාව අමතක කළොත් අභියෝග එද්දී විවාහයෙන් බලාපොරොත්තු වුණ සතුට ලැබෙන්නේ නැති වෙයි.ගීතාවලිය 37:3, 4 කියවන්න.

2 මේ ලිපියෙන් මූලිකව කතා කරන්නේ අලුතෙන් විවාහ වුණ අයටයි. හැබැයි අවුරුදු ගාණක් විවාහ වෙලා ඉන්න අයත් මේකේ සාකච්ඡා කරන අභියෝගවලට මුහුණ දෙනවා ඇති. අපි මේ ලිපියෙන් අතීතයේ හිටපු විශ්වාසවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන්ගේ ආදර්ශ ගැන බලනවා. ඒ අයගේ ආදර්ශ විවාහ ජීවිතයට වගේම අපේ ජීවිතේ තවත් ගොඩක් පැතිවලට උදව් වෙනවා. ඒ වගේම අපේ කාලේ විවාහ වෙලා ඉන්න අයගේ අද්දැකීම් කීපයකුත් අපි මේ ලිපියෙන් බලනවා.

අලුත විවාහ වුණ අය මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද?

අලුතෙන් විවාහ වුණ දෙන්නෙක්ට යෙහෝවා දෙවියන්ට වැඩි සේවයක් කරන්න බැරි වෙන්නේ එයාලා ගන්න මොන වගේ තීරණ නිසාද? (3 සහ 4 ඡේද බලන්න)

3-4. අලුත විවාහ වුණ අය මුහුණ දෙන අභියෝග මොනවාද?

3 දෙන්නෙක් අලුතෙන් විවාහ වුණාම අනිත් අය කරන දේවල්ම කරන්න එයාලට බලපෑම් එන්න පුළුවන්. උදාහරණෙකට දෙමව්පියන්, නෑදෑයෝ කියන්න පුළුවන් ඉක්මන්ට දරුවෙක් හදාගන්න කියලා. එහෙම නැත්නම් යාළුවෝ, නෑදෑයෝ කියන්න පුළුවන් සල්ලි ටිකක් හම්බ කරලා ගෙයක් දොරක් හදාගෙන සැප පහසු ජීවිතයක් ගත කරන්න කියලා.

4 පරෙස්සම් වුණේ නැත්නම් සැප පහසු ජීවිතයක් ගත කරන්න කියලා හිතාගෙන යුවළක් ණය වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ණය ගෙවන්න නෝනාටයි, මහත්තයාටයි දෙන්නටම වැඩිපුර වැඩ කරන්න සිද්ධ වෙයි. එහෙම වුණාම බයිබලය අධ්‍යයනය කරන්න, පවුලේ නමස්කාරය කරන්න, සේවේ යන්න කාලේ ඉතුරු වෙන්නේ නැහැ. සල්ලි වැඩිපුර හම්බ කරන්න ඕන නිසා එහෙම නැත්නම් රස්සාවක් කරන තැනින් එන බලපෑම නිසා රැස්වීම් අතපසු වෙන්නත් පුළුවන්. ඒ නිසා අන්තිමට යෙහෝවාට වැඩි සේවයක් කරන්න තියෙන අවස්ථා එයාලට නැති වෙනවා. ඒකෙන් ලැබෙන සතුට අද්දකින්නත් බැරි වෙනවා.

5. ක්ලවුස් සහ මෙරිසාගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

5 සැබෑ සතුට ලබා දෙන්න ධන සම්පත්වලට බැහැ කියලා හුඟක් අයගේ අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා. උදාහරණෙකට ක්ලවුස් සහ මෙරිසාගේ අද්දැකීම බලන්න. * විවාහ වුණ අලුත වැඩිපුර සල්ලි හම්බ කරන්න කියලා හිතාගෙන ඒ දෙන්නාම රස්සා කළා. හැබැයි කොච්චර සල්ලි හම්බ කළත් ඒ දෙන්නා හිටියේ සතුටින් නෙවෙයි. ක්ලවුස් මෙහෙම කියනවා. “අපිට සල්ලිවලින් නම් අඩුවක් තිබ්බේ නැහැ. හැබැයි සේවේ වැඩි කරන්න, නමස්කාරයේ දේවල වැඩිපුර හවුල් වෙන්න අපිට කිසිම ඉලක්කයක් තිබ්බේ නැහැ. ඇත්තටම කියනවා නම් කොච්චර සල්ලි තිබ්බත් අපි දෙන්නා හිටියේ ලොකු පීඩනයකින්.” සමහරවිට ඔයාට හැඟෙන්නෙත් මේ දෙන්නාට හැඟුණ විදිහටද? අධෛර්යය වෙන්න එපා. වෙනස්කම් කරගන්න ඔයාට උදව් වෙන හුඟක් ආදර්ශ තියෙනවා. යෙහෝෂපාට් රජගෙන් ස්වාමිපුරුෂයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි මුලින්ම බලමු.

යෙහෝෂපාට් වගේ යෙහෝවාව විශ්වාස කරන්න

6. සතුරන් දෙවියන්ගේ සෙනඟට විරුද්ධව එද්දී යෙහෝෂපාට් රජ කළේ මොකක්ද? (හිතෝපදේශ 3:5, 6)

6 ස්වාමිපුරුෂයෙනි, ඔයාලට තියෙන වගකීම නිසා හිතට ලොකු බරක් දැනෙනවාද? ඔයාත් ස්වාමිපුරුෂයෙක් නම් යෙහෝෂපාට් රජගෙන් ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. යූදා දේශයේ රජ විදිහට සෙනඟව ආරක්ෂා කරන වගකීම තිබුණේ එයාට. ඒ බැරෑරුම් වගකීම එයා ඉටු කළේ කොහොමද? එයා නුවරේ ආරක්ෂාව තර කරන්න නුවරවල් ශක්තිමත් කළා. හමුදාවට සෙබළුන් 11,60,000කට වඩා බඳවාගත්තා. (2 ලේක. 17:12-19) කාලෙකට පස්සේ යෙහෝෂපාට්ට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අම්මොන්වරු, මෝවබ්වරු සහ සේයිර් කඳුකරයේ වැසියන් විශාල හමුදාවක් එක්ක යූදා සෙනඟට විරුද්ධව ආවා. ඒ නිසා යොහෝෂපාට් රජගේ ජීවිතය විතරක් නෙවෙයි එයාගේ පවුලේ අයගේ, මුළු සෙනඟගේ ජීවිතත් තිබුණේ ලොකු අනතුරක! (2 ලේක. 20:1, 2) ඒ වෙලාවේ යෙහෝෂපාට් කළේ මොකක්ද? එයා හිතෝපදේශ 3:5, 6 (කියවන්න.) තියෙන මඟ පෙන්වීම් අදාළ කරගෙන යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා. එයා නිහතමානීව යෙහෝවා දෙවියන්ට කරපු යාච්ඤාව 2 ලේකම් 20:5-12 සඳහන් වෙනවා. ඒක කියවද්දී තේරෙනවා එයාට ස්වර්ගයේ ඉන්න එයාගේ තාත්තා ගැන කොයි තරම් විශ්වාසයක් තිබුණාද කියලා. යෙහෝවා එයාගේ යාච්ඤාවට උත්තර දුන්නේ කොහොමද?

7. යෙහෝෂපාට්ගේ යාච්ඤාවට යෙහෝවා උත්තර දුන්නේ කොහොමද?

7 යෙහෝවා යහෂියෙල් මාර්ගයෙන් යෙහෝෂපාට්ට මෙහෙම කිව්වා. “ඔවුන් ඉදිරියට ගොස් නිශ්චලව බලා සිටින්න. එවිට යෙහෝවා දෙවි ඔබව ගලවන ආකාරය ඔබේ ඇස් දෙකෙන්ම දැකගැනීමට ඔබට හැකි වෙයි.” (2 ලේක. 20:13-17) සතුරු හමුදාවක් යුද්දෙට එද්දී නිකම් බලන් ඉඳලා හරියයිද! ඒක අමුතු මඟ පෙන්වීමක් වගේ පෙනුණාට ඒක ලැබුණේ යෙහෝවා දෙවියන්ගෙන්. ඒ නිසා යෙහෝෂපාට් රජ ඒ කියපු දේට සම්පූර්ණයෙන්ම කීකරු වුණා. එයාට යෙහෝවා ගැන කොයි තරම් විශ්වාසයක් තිබුණාද කියනවා නම් එයා සතුරු හමුදාව ඉස්සරහට මුලින්ම යවන්නේ කිසිම ආයුධයක් නැති ගීතිකා කණ්ඩායමක්. ඉතින් යෙහෝෂපාට් එයාගේ පැත්තෙන් යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාසය කරලා වැඩ කරද්දී යෙහෝවාත් ඔහුගේ පැත්තෙන් ඔහු වුණ පොරොන්දුව ඉටු කළා. අන්තිමට සතුරු හමුදාවට අත් වුණේ අන්ත පරාජයක්!—2 ලේක. 20:18-23.

යෙහෝවාට මුල් තැන දෙන්න අලුතෙන් විවාහ වුණ දෙන්නෙක්ට යාච්ඤා කරන එකයි, බයිබලය අධ්‍යයනය කරන එකයි උදව් වෙනවා (8 සහ 10 ඡේද බලන්න)

8. ස්වාමිපුරුෂයන්ට යෙහෝෂපාට්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 ඔයා ස්වාමිපුරුෂයෙක් නම් යෙහෝෂපාට්ගෙන් ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. පවුලේ මූලිකයා විදිහට පවුලට අවශ්‍ය දේවල් දෙන්න, එයාලව ආරක්ෂා කරන්න වගකීම තියෙන්නේ ඔයාට. හැබැයි අභියෝග එද්දී ඒවාට තනියෙන් මුහුණ දෙන්න පුළුවන් කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි කවදාවත් එහෙම හිතන්න එපා. ඒ වෙනුවට යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. ඔයාගේ අභියෝගය ගැන කියලා තනියම වගේම බිරිඳ එක්කත් එකතු වෙලා යාච්ඤා කරන්න. යෙහෝවා මඟ පෙන්නන විදිහ තේරුම්ගන්න බයිබලය අධ්‍යයනය කරන්න. අපේ ප්‍රකාශනවල තොරතුරු හොයලා බලන්න. යෙහෝවා දෙන මඟ පෙන්වීම් අදාළ කරන්න. බයිබලේ මඟ පෙන්නන විදිහට ඔයා තීරණ ගද්දී සමහරවිට අනිත් අය ඒකට කැමති වෙන එකක් නැහැ. එයාලා කියයි ‘මෝඩ වැඩ කරන්න එපා. වැඩිපුර සල්ලි හම්බ කළේ නැත්නම් කොහොමද පවුලේ අයව සතුටින් තියන්නේ’ කියලා. ඒ වගේ වෙලාවට යෙහෝෂපාට්ව මතක් කරගන්න. යෙහෝෂපාට් යෙහෝවා දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා ඒක එයාගේ ක්‍රියාවෙන් පෙන්නුවා. ඒ නිසා යෙහෝවා එයාව අත්හැරියේ නැහැ. ඔහු කවදාවත් ඔයාව අත්හරින්නෙත් නැහැ. (ගීතා. 37:28; හෙබ්‍රෙ. 13:5) පවුලක් විදිහට සතුටින් ඉන්න කරන්න පුළුවන් තව දේවල් මොනවාද?

යෙසායා සහ එයාගේ බිරිඳ වගේ සේවේට මුල් තැන දෙන්න

9. යෙසායා සහ එයාගේ බිරිඳ ගැන ඔයා දන්නේ මොනවාද?

9 යෙසායා කියන්නේ අනාගතවක්තෘවරයෙක්. ඒ වගේම බයිබලය කියනවා එයාගේ බිරිඳත් “අනාගතවක්තෘවරියක්” කියලා. ඒකෙන් පැහැදිලි වෙනවා යෙසායාට වගේම එයාගේ බිරිඳටත් යෙහෝවා විශේෂ පැවරුමක් දීලා තිබුණා කියලා. (යෙසා. 8:1-4) යුවළක් විදිහට ඒ දෙන්නාම මුල් තැන දුන්නේ දෙවියන්ට කරන නමස්කාරයට. විවාහ වුණ අයට ඒ දෙන්නා කොච්චර හොඳ ආදර්ශයක්ද!

10. යෙහෝවාට මුල් තැන දෙන්න බයිබලේ තියෙන අනාවැකි අධ්‍යයනය කරන එක විවාහ වුණ අයට උදව් වෙන්නේ කොහොමද?

10 අද ඉන්න විවාහක අයටත් පුළුවන් යෙහෝවාට මුල් තැන දීලා සේවේ කරන්න. එහෙම කරන්න නම් එයාලා යෙහෝවා ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඕනේ. ඒකට යුවළක් විදිහට බයිබල් අනාවැකි අධ්‍යයනය කරන එක උදව් වෙයි. (තීත. 1:2) ඒ වගේම බයිබල් අනාවැකිවල ඉටු වීමට එයාලට හවුල් වෙන්න පුළුවන් විදිහ ගැන එයාලට හිතන්නත් පුළුවන්. උදාහරණෙකට අවසානයට කලින් ලෝකේ පුරා ශුභාරංචිය දේශනා කරනවා කියන අනාවැකිය යේසුස් කිව්වා. (මතෙ. 24:14) ඒ අනාවැකියේ ඉටු වීමට තමන්ට හවුල් වෙන්න පුළුවන් කොහොමද කියලා යුවළකට කල්පනා කරලා බලන්න පුළුවන්. දෙවියන් කියලා තියෙන අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන විශ්වාසය වැඩි වෙද්දී ඔහුට වැඩිපුර සේවේ කරන්න අපිට තියෙන අධිෂ්ඨානයත් වැඩි වෙනවා.

ප්‍රිසිලා සහ අකිලා වගේ දේවරාජ්‍යයට මුල් තැන දෙන්න

11. මොන වෙනස්කම වුණත් ප්‍රිසිලා සහ අකිලාට කරන්න පුළුවන් වුණේ මොකක්ද? ඒ ඇයි?

11 ප්‍රිසිලා සහ අකිලා අලුතෙන් විවාහ වුණ අයට හොඳ ආදර්ශයක්. එයාලා ජීවත් වුණේ රෝමයේ. එහෙදී එයාලට යේසුස් ගැන ශුභාරංචිය අහන්න ලැබුණා. ඊටපස්සේ එයාලා යේසුස්ගේ අනුගාමිකයන් වුණා. එයාලා යුවළක් විදිහට යෙහෝවා දෙවියන්ට සේවේ කරන ගමන් හරිම සතුටින් ජීවත් වෙන්න ඇති. හැබැයි හදිස්සියේම හිතපු නැති දෙයක් සිද්ධ වුණා. රෝම අධිරාජ්‍යයා වුණ ක්ලෝදියස් නියෝගයක් නිකුත් කළා රෝමයේ ඉන්න හැම යුදෙව්වෙක්ම එහෙන් පිට වෙන්න ඕනෙ කියලා. ප්‍රිසිලා සහ අකිලා කියන්නෙත් යුදෙව්වන්. ඉතින් ඒ නියෝගය එයාලට කොහොම බලපාන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්ද? හුරු පුරුදු ගෙදර දාලා නන්නාඳුනන පළාතක පදිංචි වෙන්න එයාලට සිද්ධ වුණා. කූඩාරම් හදන ව්‍යාපාරය මුල ඉඳන්ම පටන්ගන්න වුණා. කොටින්ම කිව්වොත් ඒ දෙන්නාට එයාලගේ ජීවිතය අලුත් තැනක අලුතින්ම ගොඩනඟන්න වුණා. එහෙමයි කියලා එයාලා දේවරාජ්‍යයට මුල් තැන දෙන එක පැත්තකට දැම්මාද? නැහැ නේද? එයාලා කොරින්තියේ පදිංචි වුණාට පස්සෙත් සභාවට ගොඩක් උදව් කළා. පාවුල් එක්ක එකතු වෙලා සහෝදරයන්ව ශක්තිමත් කළා. ඒ විතරක් නෙවෙයි පස්සේ කාලෙක ශුභාරංචිය අහලා නැති පැතිවලටත් ගිහිල්ලා සේවේ කළා. (ක්‍රියා 18:18-21; රෝම 16:3-5) මොන අභියෝග ආවත් දේවරාජ්‍යයට මුල් තැන දුන්න ඒ යුවළට යෙහෝවා දෙවියන් කොච්චර ආශීර්වාද කරන්න ඇද්ද!

12. විවාහක යුවළක් දෙවියන්ට වැඩිපුර සේවේ කරන්න ඉලක්ක තියාගන්න ඕනෙ ඇයි?

12 විවාහක යුවළකට පුළුවන් ප්‍රිසිලා සහ අකිලාව ආදර්ශයට අරන් දේවරාජ්‍යයට මුල් තැන දෙන්න. යුවළක් එයාලට තියෙන ඉලක්ක ගැන විවාහයට කලින් කතාබහ කරගන්න එක හරිම වැදගත්. යුවළක් විදිහට දෙවියන්ට වැඩි සේවයක් කරන්න ඉලක්ක තියාගද්දී, ඒ ඉලක්ක ජයගන්න මහන්සි වෙද්දී යෙහෝවා දෙවියන් එයාලත් එක්ක ඉඳලා එයාලට උදව් කරන විදිහ වැඩි වැඩියෙන් අද්දකින්න එයාලට පුළුවන්. (දේශ. 4:9, 12) රසල්ගෙයි, එලිසබෙත්ගෙයි අද්දැකීම බලන්න. රසල් මෙහෙම කියනවා. “යාළු වෙලා ඉන්න කාලේ දෙවියන්ට වැඩි සේවයක් කරන්න පුළුවන් මොන පැතිවලින්ද කියලා අපි දෙන්නා කතා කළා.” එලිසබෙත් මෙහෙම කියනවා. “කලින්ම ඒ ගැන කතා කරලා තිබුණ නිසා තීරණ ගන්න වෙද්දී ඒ ඉලක්කවලට බාධාවක් වෙන්නේ නැති විදිහට තමයි අපි තීරණ ගත්තේ.” ඒ නිසා ඒ දෙන්නාට පුළුවන් වුණා ප්‍රචාරකයන් අඩු රටක් වන මයික්‍රෝනීසියාවට ගිහිල්ලා සේවේ කරන්න.

යෙහෝවාට මුල් තැන දෙන්න අලුතෙන් විවාහ වුණ දෙන්නෙක්ට වැඩි සේවයක් කරන්න ඉලක්ක තියාගන්න එක උදව් වෙනවා (13 ඡේදය බලන්න)

13. ගීතාවලිය 28:7 කියන විදිහට යෙහෝවාව විශ්වාස කරන කෙනෙක්ට ලැබෙන්නේ මොනවාද?

13 රසල් සහ එලිසබෙත් වගේ විවාහ වුණ ගොඩක් අය දෙවියන්ට වැඩි සේවයක් කරන්න ජීවිතේ සරල කරගෙන තියෙනවා. විවාහ වුණ දෙන්නෙක් දෙවියන්ට වැඩිපුර සේවේ කරන්න ඉලක්ක තියාගෙන ඒවා ජය ගන්න මහන්සි වෙද්දී ඒකෙන් එයාලට ගොඩක් ආශීර්වාද ලැබෙනවා. යෙහෝවා දෙවියන් එයාලව බලාගන්න විදිහ එයාලට අද්දකින්න පුළුවන්. ඔහු ගැන තියෙන විශ්වාසයත් වැඩි වෙනවා. ඒ වගේම ජීවිතේ නියම සතුට අද්දකින්නත් පුළුවන්.ගීතාවලිය 28:7 කියවන්න.

පේතෘස් සහ එයාගේ බිරිඳ වගේ යෙහෝවාගේ පොරොන්දු ගැන විශ්වාස කරන්න

14. මතෙව් 6:25, 31-34 කියන පොරොන්දුව තමන්ට විශ්වාසයි කියලා පේතෘස් සහ එයාගේ බිරිඳ පෙන්නුවේ කොහොමද?

14 විවාහ වුණ දෙන්නෙක්ට පේතෘස් සහ එයාගේ බිරිඳගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. පේතෘස්ට මුලින්ම යේසුස්ව මුණගැහිලා මාස ගාණකට පස්සේ යේසුස් එයාට කිව්වා තමන්ගේ අනුගාමිකයෙක් වෙන්න කියලා. ඒ වෙද්දී පේතෘස් රස්සාවක් විදිහට කළේ මාළු අල්ලන එක. ඒක කරලා තමයි එයා එයාගේ පවුලේ අයව බලාගත්තේ. ඉතින් යේසුස්ගේ ආරාධනාව පිළිගන්න කලින් සමහරවිට පේතෘස් හිතන්න ඇති ‘මං යේසුස් එක්ක ගියොත් මගේ පවුලේ අය ජීවත් වෙන්නේ කොහොමද’ කියලා. (ලූක් 5:1-11) ඒත් අපි දන්නවා අන්තිමට පේතෘස් තීරණය කළා යේසුත් එක්ක යන්න. ඒක කොච්චර ඥානවන්ත තීරණයක්ද! හැබැයි ඒ තීරණය ගන්න එයාට පුළුවන් වුණේ එයාගේ බිරිඳ එයාට ලොකු සහයෝගයක් දුන්න නිසයි. බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා පස්සේ කාලෙක පේතෘස් ඈත සභාවලට ගිය සමහර අවස්ථාවලදී එයාගේ බිරිඳවත් එක්කගෙන ගියා කියලා. (1 කොරි. 9:5) අනිත් අතට එයාගේ බිරිඳ හොඳ ආදර්ශයක් වුණේ නැත්නම් ස්වාමිපුරුෂයන්ට සහ භාර්යාවන්ට උපදෙස් දෙන්න පේතෘස්ට පුළුවන් වෙයිද? (1 පේතෘ. 3:1-7) මේ හැම දේකින්ම පැහැදිලි වෙන්නේ මොකක්ද? පේතෘස්ටයි, එයාගේ බිරිඳටයි රාජ්‍යයට මුල් තැන දීලා වැඩ කරන්න පුළුවන් වුණේ යෙහෝවා එයාලව බලාගන්නවා කියන එක ගැන එයාලට කිසිම සැකයක් තිබුණේ නැති නිසයි.මතෙව් 6:25, 31-34 කියවන්න.

15. ටියාගෝ සහ එස්තර්ගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

15 ඔයා විවාහ වුණේ මීට අවුරුදු ගාණකට කලින්ද? යුවළක් විදිහට සේවේ වැඩි කරන්න ඔයාලට කරන්න පුළුවන් මොනවාද? ඒක කරන්න උදව් වෙන එක දෙයක් තමයි අනිත් අයගේ අද්දැකීම්. උදාහරණෙකට ඔයාට පුළුවන් “ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා” කියන ලිපි මාලාවේ අද්දැකීම් කියවන්න. බ්‍රසීලයේ ඉන්න ටියාගෝ සහ එස්තර්ට ඒ ලිපි මාලාවේ තිබුණ අද්දැකීම් එයාලගේ සේවේ වැඩි කරගන්න ගොඩක් උදව් වුණා. ටියාගෝ මෙහෙම කියනවා. “ඒ ලිපි මාලාව කියවද්දී යෙහෝවා පුදුමාකාර විදිවලින් ඔහුගේ සේවකයන්ට උදව් කරපු විදිහ අපි දැක්කා. අපිටත් ඕන වුණා ඒක අද්දකින්න.” ඉතින් 2014දී එයාලා වැඩි සේවයක් කරන්න පැරගුවේවලට පදිංචියට ගියා. එදා ඉඳන් එයාලා පෘතුගීසි සභාවක සේවේ කරනවා. එස්තර් කියන දේ බලන්න. “අපි දෙන්නා ගොඩක් ආස බයිබල් පදයක් තමයි එෆීස 3:20. ඒ වචන කොච්චර ඇත්තක්ද කියලා මේ කාලේ පුරාම අපි අද්දැකලා තියෙනවා.” එෆීස 3:20 පාවුල් එෆීසවරුන්ට කිව්වා යෙහෝවා අපි ඉල්ලනවාටත් වඩා වැඩියෙන් දේවල් දෙනවා කියලා. ඒ වචන කොච්චර ඇත්තක්ද කියලා ඔයාත් අද්දැකලා තියෙනවාද?

යෙහෝවාට මුල් තැන දෙන්න අලුතෙන් විවාහ වුණ දෙන්නෙක්ට අද්දැකීම් තියෙන අයගෙන් මඟ පෙන්වීම් ලබාගන්න එක උදව් වෙනවා (16 ඡේදය බලන්න)

16. වැඩි සේවයක් කරන්න කැමති අලුත විවාහ වුණ යුවළකට මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන් කාගෙන්ද?

16 අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවාව විශ්වාස කරලා පුරෝගාමි සේවය කරපු විවාහක යුවළයන් ඕන තරම් අපි අතර ඉන්නවා. දෙවියන්ට වැඩි සේවයක් කරන්න ඉලක්ක තියාගෙන ඒවා ජය ගන්න ඔයාට උදව් කරන්න එයාලට පුළුවන්. එයාලගෙන් මඟ පෙන්වීම් ගද්දී ඔයා පෙන්නන්නේ ඔයා යෙහෝවා දෙවියන්ව විශ්වාස කරනවා කියලයි. (හිතෝ. 22:17, 19) වැඩිමහල්ලන්ටත් පුළුවන් අලුත විවාහ වුණ අයට වැඩි සේවයක් කරන්න ඉලක්ක තියාගෙන ඒවා ජය ගන්න උදව් කරන්න.

17. ක්ලවුස් සහ මෙරිසාට මුහුණ දෙන්න වුණේ මොනවාටද? එයාලගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

17 සමහර වෙලාවට අපි දෙවියන්ට වැඩිපුර සේවයක් කරන්න කොච්චර සැලසුම් කළත් දේවල් හිතපු නැති විදිහට වෙනස් වෙන්න පුළුවන්. මේ ලිපියේ මුලින්ම කතා කරපු ක්ලවුස් සහ මෙරිසාට වුණෙත් ඒ වගේ දෙයක්. විවාහ වෙලා අවුරුදු තුනකට පස්සේ එයාලා වැඩිපුර සේවේ කරන්න තීරණය කළා. ඒ නිසා එයාලා පදිංචිය මාරු කරලා ෆින්ලන්තයේ ශාඛා කාර්යාලයේ ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන්න ගියා. හැබැයි ගියාම තමයි දැනගත්තේ එයාලට එහේ ඉන්න පුළුවන් වෙන්නේ මාස හයකට විතරයි කියලා. ඒක දැනගත්තාම එයාලා ගොඩක් අධෛර්යය වුණා. ඒත් හිතපු නැති විදිහට වැඩි කල් යන්න කලින් ඒ දෙන්නාට අරාබි භාෂාව ඉගෙනගන්න කියලා ආරාධනාවක් ලැබුණා. දැන් එයාලා වෙන රටක අරාබි භාෂාව කතා කරන සභාවක හරිම සතුටින් සේවේ කරනවා. මෙරිසා ඒ ගැන මෙහෙම කියනවා. “මීට කලින් කවදාවත් කරපු නැති දෙයක් කරන්න ලැබෙද්දී ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා හිතට ලොකු බයක් දැනෙනවා. හැබැයි උදව් ඕනම වෙලාවලදී යෙහෝවා දෙවියන් අපි ළඟින්ම ඉඳලා අපිට උදව් කරපු විදිහ අපි අද්දැක්කා. ඒකෙන් යෙහෝවා ගැන මට තිබ්බ විශ්වාසය තවත් ශක්තිමත් වුණා.” මේ අද්දැකීමෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඔයා යෙහෝවා දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා වැඩ කරනවා නම් ඔහු ඔයාට ආශීර්වාද කරන්න බලාගෙන ඉන්නවා.

18. දිගටම යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න විවාහක යුවළකට පුළුවන් කොහොමද?

18 විවාහය කියන්නේ යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ වටිනා තෑග්ගක්. (මතෙ. 19:5, 6) විවාහක යුවළක් ඒ තෑග්ගෙන් සතුටක් ලබනවා දකින්න යෙහෝවා කැමතියි. (හිතෝ. 5:18) ඔයා ළඟදී විවාහ වුණ කෙනෙක්ද? එහෙමනම් මේ ගැන හිතලා බලන්න. ‘යෙහෝවා දීලා තියෙන දේවල් අගය කරනවා කියලා අපි ජීවත් වෙන විදිහෙන් පෙන්නනවාද? යෙහෝවාට කරන සේවේ තවත් වැඩි කරන්න අපිට පුළුවන්ද?’ ඒ ගැන යාච්ඤාවෙන් යෙහෝවාට කියන්න. බයිබලය අධ්‍යයනය කරලා දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න. ඒවා ජීවිතේට අදාළ කරගන්න. එහෙම කරනවා නම් යෙහෝවාට ජීවිතේ මුල් තැන දීලා යුවළක් විදිහට හැමදාම සතුටින් ඉන්න ඔයාලට පුළුවන්.

ගීතිකාව 132 අප දැන් එක් කෙනෙකු මෙන් වේ

^ 5 ඡේ. අපි ගන්න සමහර තීරණ නිසා යෙහෝවාට කරන සේවේ අඩු වෙන්න පුළුවන්. ඔයා අලුතෙන් විවාහ වුණ කෙනෙක් නම් ඔයාටත් ගොඩක් තීරණ ගන්න වෙනවා. ඒ තීරණ ඔයාගේ මුළු ජීවිත කාලෙටම බලපානවා. හරි තීරණ අරගෙන ඔයාගේ විවාහ ජීවිතය සතුටින් පිරුණු එකක් කරගන්න මේ ලිපිය උදව් වෙයි.

^ 5 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.