Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

අපි යෙහෝවා දෙවිගේ මහත් කරුණාව අද්දැක්කා

අපි යෙහෝවා දෙවිගේ මහත් කරුණාව අද්දැක්කා

තරුණ කාලේ ඉඳන්ම මගේ තාත්තා ආගම දහමට හුඟක් ළැදියි. ඒ නිසා තාත්තාට ඕනෙ වුණේ මෙතෝදිස්ත පූජකයෙක් වෙන්න. ඒත් බයිබල් ශිෂ්‍යයන්ගේ පොත් වගයක් කියෙව්වට පස්සේ තාත්තා ඒ අදහස වෙනස් කරගත්තා. බයිබල් ශිෂ්‍යයන් එක්ක සාකච්ඡාවක් පටන් අරන් 1914දී තාත්තා බව්තීස්ම වෙද්දී වයස 17යි. 1වෙනි ලෝක යුද්දේ කාලෙදී හමුදාවට බැඳෙන්න කියලා ආණ්ඩුවෙන් අණ කළත් තාත්තා ඒක ප්‍රතික්ෂේප කළා. ඒ නිසා තාත්තාව මාස 10කට කැනඩාවේ කිංස්ටන්වල තියෙන හිරගෙදරට යැව්වා. හිරෙන් නිදහස් වුණාට පස්සේ එයා පුරෝගාමි සේවය පටන්ගත්තා.

තාත්තායි අම්මායි බැඳලා තියෙන්නේ 1926දී. අම්මාගේ නම හේසල් විල්කින්සන්. අම්මාගේ අම්මා සත්‍යයට ඇවිත් තියෙන්නේ 1908දී. මම ඉපදුණේ 1931 අප්‍රියෙල් 24වෙනිදා. අපේ පවුලේ ළමයි 4දෙනෙක් ඉන්නවා. මං දෙවෙනියා. තාත්තාට බයිබලය ගැන තිබුණේ ලොකු ආදරයක්, ගෞරවයක්. ඒ ආදරේ, ගෞරවය අපේ හිත්වලත් ඇති කරගන්න තාත්තා අපිට උදව් කළා. අපේ ජීවිතවල වැදගත්ම දේ වුණේ යෙහෝවා දෙවිට කරන නමස්කාරය. පවුලක් විදිහට අපි නිතරම වගේ සේවයේ ගියා.—ක්‍රියා 20:20.

මමත් තාත්තාගේ අඩිපාරේ ගියා

2වෙනි ලෝක යුද්දේ පටන් අරන් අවුරුද්දකට පස්සේ කැනඩාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කළා. ජාතික කොඩියට ආචාර කරන එක, ජාතික ගීය කියන එක ඉස්කෝලේ ළමයින්ට අනිවාර්යය දෙයක් වුණත් එයාලා ඒක කරන වෙලාවේ මටයි, අක්කාටයි පන්තියෙන් එළියට වෙලා ඉන්න ටීචර් අවසර දුන්නා. ඒත් දවසක් මං බයගුල්ලෙක් කියලා ටීචර් ළමයි ඉස්සරහා මට ලැජ්ජා කළා. එදා ඉස්කෝලේ ඇරුණට පස්සේ ළමයි කීපදෙනෙක් ඇවිත් බිම වැටෙන කල් මට ගැහුවා. ඒකෙන් වුණේ “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි” කියලා බයිබලේ තියෙන දේට කීකරු වෙන්න මං අරන් තිබුණ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වුණ එකයි.—ක්‍රියා 5:29.

මං 1942 ජූලි මාසේ බව්තීස්ම වුණා. එතකොට මට වයස 11යි. ගොවිපොළක තිබුණ වතුර ටැංකියක තමයි මාව බව්තීස්ම කළේ. හැම නිවාඩු කාලෙකම මං සහායක පුරෝගාමි සේවය කළා. එකපාරක් මායි තව සහෝදරයෝ 3දෙනෙකුයි සේවය කරන්න ඔන්ටාරියෝවල උතුරු පැත්තට ගියා. ඒ පැත්තේ ගොඩක් අයගේ රස්සාව ගස් කපන එක.

ස්ථාවර පුරෝගාමි සේවය මං පටන්ගත්තේ 1949 මැයි මාසේ. ඒ කාලේ කැනඩාවේ ශාඛා කාර්යාලය ඉදි කරකරයි හිටියේ. ඒකේ වැඩ කරන්න මටත් එන්න කිව්වා. ඒ වැඩ ඉවර වුණාම මට අවස්ථාව ලැබුණා කැනඩාවේ බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වෙන්න. මම වැඩ කළේ මුද්‍රණ අංශයේ. එහෙදී මුද්‍රණ යන්ත්‍රවල වැඩ කරන්න මට පුහුණුවක් ලැබුණා. කැනඩාවේ සාක්ෂිකරුවන් අද්දැකපු විරුද්ධවාදිකම් ගැන තියෙන පත්‍රිකාවක් සති ගාණක් තිස්සේ රෑ නිදිමරාගෙන මුද්‍රණය කරපු හැටි මට අදටත් මතකයි.

පස්සේ කාලෙක මං සේවා අංශයේ වැඩ කළා. දරුණු විරුද්ධවාදිකම් තිබුණ ක්විබෙක්වල සේවයට යන්න ඉදිරිපත් වුණ පුරෝගාමීන් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න කියලා මට කිව්වා. එහෙම යන්න ඉදිරිපත් වුණ සහෝදරියක් තමයි මේරි සාසූලා. එයා ඇල්බර්ටාවල කෙනෙක්. මේරිගේ අම්මායි තාත්තායි ඕතඩොක්ස් පල්ලියේ සාමාජිකයෝ. එයායි එයාගේ අයියායි බයිබලේ පාඩම් කරන එක නවත්තන්න බැහැ කිව්වම එයාලව ගෙදරින් එළවලා තියෙනවා. එයාලා බව්තීස්ම වෙලා තියෙන්නේ 1951දී. ඊට මාස 6කට පස්සේ ඒ දෙන්නා පුරෝගාමි සේවය පටන් අරන්. මේරිගේ හිතේ යෙහෝවා දෙවි ගැන ලොකු ආදරයක් තියෙනවා කියලා එයාත් එක්ක කතා කරද්දී මට තේරුණා. ‘මෙයා තමයි මට ගැළපෙන කෙනා’ කියලා ඒ වෙලාවේ මට හිතුණා. මාස 9කට පස්සේ ඒ කියන්නේ 1954 ජනවාරි 30වෙනිදා අපි බැන්දා. ඊට සතියකට පස්සේ චාරිකා සේවයේ යන්න පුහුණුවක් දෙන්න අපිට එන්න කිව්වා. ඊළඟ අවුරුදු 2කේ අපි චාරිකා සේවය කළේ උතුරු ඔන්ටාරියෝවල.

ලෝකෙ පුරාම ශුභාරංචිය පැතිරුණ නිසා ඒ රටවල සේවය කරන්න මිෂනාරිවරුන් ඕනෙ වුණා. අපිත් හිතුවා ඒ සේවේ රස බලන්න. කැනඩාවේ සීතල දරාගන්න පුළුවන් නම් ග්‍රීෂ්ම කාලේ මදුරු කරදරේ ඉවසන්න පුළුවන් නම් ඕනෙම රටක සේවය කරන්න පුළුවන් කියලා අපිට හිතුණා. ඔය කාලෙදී තමයි ගිලියද් පාසැලේ 27වෙනි පන්තියට සහභාගි වෙන්න අපිට ආරාධනයක් ලැබුණේ. 1956 ජූලි මාසේ අපේ පුහුණුව ඉවර වුණාම අපි අලුත් පැවරුම භාරගන්න බ්‍රසීලයට ගියා.

බ්‍රසීලයේ මිෂනාරි සේවය

බ්‍රසීලයට ගිය ගමන්ම වගේ අපි පෘතුගීසි භාෂාව ඉගෙනගන්න පටන්ගත්තා. කෙනෙක්ව හම්බ වුණාම කියන්න පුළුවන් දේවල් කීපයක් මුලින්ම අපි ඉගෙනගත්තා. කෙටියෙන් සඟරාවක් ඉදිරිපත් කරන විදිහත් කටපාඩම් කරගත්තා. කෙනෙක් අපේ පණිවිඩයට සවන් දෙන්න කැමති නම් දේවරාජ්‍යයෙන් අපිට ලැබෙන ආශීර්වාද ගැන තියෙන බයිබල් පදයක් එයාට ඇහෙන්න කියවන්න කියලයි අපිට මඟ පෙන්නලා තිබුණේ. අපි සේවයේ ගිය මුල්ම දවසේ උනන්දුව දක්වපු කාන්තාවක්ව හම්බ වුණා. එයාට ඇහෙන්න එළිදරව් 21:3, 4 කියවලා ඉවර වෙනවත් එක්කම මාව කලන්තේ දාලා වැටුණා. මොකද එහේ රස්නේ මට දරාගන්න බැරි වුණා. දිගටම ඒක මට අභියෝගයක් වුණා.

සේවය කරන්න අපිව යැව්වේ කැම්පොස් නගරේට. අපි යද්දී එහේ තිබුණේ පුංචි කණ්ඩායමක්. දැන් එහේ සභා 15ක් තියෙනවා. එස්තර් ට්‍රේසි, රැමෝනා බවර්, ලූයිසා ෂ්වාර්ට්ස්, ලොරෙන් බෲක්ස් කියන මිෂනාරි සහෝදරියන් 4දෙනා හිටියෙත් එහේ. අපිත් එයාලා හිටපු ගෙදරම පදිංචි වුණා. රෙදි හෝදන්න උදව් කරන එක, දර ගේන එක මට තිබුණ වැඩ කොටසයි. සාමාන්‍යයෙන් අපි කට්ටිය සඳුදාට ‘මුරටැඹ’ පාඩම සාකච්ඡා කරනවා. එක දවසක් මාර වැඩක් වුණා. පාඩම ඉවර වෙලා මේරි සෝෆා එකේ හාන්සි වෙලා එදා දවසේ වෙච්ච දේවල් ගැන මාත් එක්ක කතා කරකර හිටියා. ඔහොම ඉඳලා මේරි නැඟිට්ටා විතරයි එයා ඔළුව තියාගෙන හිටපු කුෂන් එක යටින් සර්පයෙක් ආවා. ඒ වෙලාවේ අපි හොඳටම බය වුණා. මං කොහොමහරි ඌව මරලා දැම්මා.

පෘතුගීසි භාෂාව ඉගෙනගන්න පටන් අරන් අවුරුද්දක් විතර යද්දී චාරිකා සේවය කරන්න අපිට පැවරුමක් ලැබුණා. අපි ගිය පැතිවල කරන්ට් එක තිබුණේ නැහැ. නිදාගන්න වුණේ පැදුරුවල. අපි සභාවලට ගියේ අශ්වයාගේ පිටේ. නැත්නම් කරත්තවල. ඔය කාලෙදී අපිට අවස්ථාව ලැබුණා දේශනා කරලා නැති ප්‍රදේශයක සේවය කරන්න. ඒක කඳුකර පළාතක්. අපි එහෙට ගියේ කෝච්චියෙන්. අපි දෙන්නා හිටියේ කුලියට ගත්ත පුංචි කාමරේක. සේවයේදී බෙදලා දෙන්න ශාඛා කාර්යාලයෙන් අපිට සඟරා 800ක් එවලා තිබුණා. ඒවා ගේන්න අපි දෙන්නා කීප සැරයක්ම තැපැල් කාර්යාලයට ගියා.

බ්‍රසීලයේ හිටපු වගකීම් දරපු සහෝදරයන්ට සහ මිෂනාරි සහෝදරියන්ට විශේෂ පාසැලක් 1962දී තිබුණා. ඒ පාසැල බ්‍රසීලය පුරාම විවිධ තැන්වල පැවැත්තුවා. මාස 6ක් ඒකේ උපදේශකයෙක් විදිහට වැඩ කරන්න මට පැවරුමක් ලැබුණා. ඒත් මට යන්න වුණේ මේරි නැතුව. පාසැල පවත්වන්න මනවුස් නගරේට ගිය වෙලාවේ අපි එහේ සමුළුවක් සංවිධානය කළා. ඒත් ඒ දවස්වල තද වැස්ස නිසා බොන්න තිබුණ වතුර ඔක්කොම අපිරිසිදු වුණා. අවහන්හල තියන්න ලෑස්ති කරලා තිබුණ තැනත් මඩ වුණා. මං හමුදා නිලධාරියෙක්ට කතා කරලා අපේ ප්‍රශ්නේ ගැන එයාට කිව්වා. සමුළුව තිබුණ දවස් කීපය පුරාම බොන්න අවශ්‍ය වතුර අපිට ලබා දෙන්න එයා සැලසුම් කළා විතරක් නෙමෙයි ලොකු ටෙන්ට් 2ක් ගහන්න සොල්දාදුවෝ කීපදෙනෙක්වත් එව්වා. ඒකේ තමයි අපේ අවන්හල තිබ්බේ.

මං ඒ වැඩවලට ගිහින් හිටපු කාලේ මේරි ව්‍යාපාරික ස්ථානවල සාක්ෂි දරලා තියෙනවා. එහේ වැඩි හරියක් ඉඳලා තියෙන්නේ බිස්නස් කරන්න පෘතුගාලේ ඉඳන් ආපු අය. එයාලගේ ඔළුවේ තිබුණේ සල්ලි හම්බ කරන එක විතරයි. පණිවිඩයට උනන්දුව දක්වපු කිසිම කෙනෙක්ව මේරිට ඒ කාලේ හම්බ වෙලා තිබුණේ නැහැ. ඒ ගැන අධෛර්යය වෙලා එයා යාළුවන්ට කියලා තිබුණා “කීයටවත් පෘතුගාලෙට යන්න නම් මං කැමති නැහැ” කියලා. ඒක වෙලා වැඩි කල් යන්න කලින් අපිට ලියුමක් ආවා. ඒකේ තිබුණේ අපිව පෘතුගාලෙට මාරු කරලා කියලයි. ඒ වෙද්දී එහේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලයි තිබුණේ. ලියුම දැක්කම මේරිට අදහාගන්න බැරි වුණා. ඒත් අපි පැවරුම භාර අරන් පෘතුගාලෙට ගියා.

පෘතුගාලයේදී කරපු සේවය

අපි පෘතුගාලේ ලිස්බන් නගරේට ආවේ 1964 අගෝස්තු මාසේ. එහේ රහස් පොලිසිය නිතරම වගේ අපේ සහෝදරයන්ට හිරිහැර කළා. එහේ තිබුණ තත්වය නිසා එහෙට ගිහින් ටික දවසක් යන කල් කිසිම සහෝදරයෙක්ට කතා නොකර ඉන්න එක තමයි ඥානවන්තම දේ වුණේ. අපි බෝඩිං කාමරයක් කුලියට අරන් ඒකේ නතර වුණා. වීසා ලැබුණම අපි පුංචි ගෙයක් කුලියට ගත්තා. 1965 ජනවාරි මාසේ තමයි අපි බෙතෙල් එකේ සහෝදරයන්ට කතා කළේ. මාස 5කට පස්සේ රැස්වීමකට යන්න ලැබුණ එක කොයි තරම් සතුටක්ද!

අපේ වැඩ තහනම් කරලා තිබුණ නිසා නමස්කාර මධ්‍යස්ථාන වහලයි තිබුණේ. රැස්වීම් තිබ්බේ සහෝදරයන්ගේ ගෙවල්වල. නිතරම වගේ ඒ ගෙවල්වලට පොලිසියෙන් ඇවිත් සෝදිසි කළා. සහෝදර සහෝදරියන් සිය ගාණක්ව ප්‍රශ්න කරන්න පොලිසියට අරන් ගියා. පොලිසියෙන් එයාලට වධ දීලා පෙරමුණ ගන්න සහෝදරයන්ගේ නම් කියන්න කියලා එයාලට බල කළා. එකිනෙකාව වාසගමින් හඳුන්නනවා වෙනුවට මුල් නමින් හඳුන්නන්න සහෝදර සහෝදරියන් පටන්ගත්තේ ඒ නිසයි. ඒක සහෝදරයන්ට ආරක්ෂාවක් වුණා.

අපිට තිබුණ ලොකුම වගකීම තමයි සහෝදරයන්ට අපේ ප්‍රකාශන දිගටම ලබා දෙන එක. මොකද ඒවායේ තියෙන තොරතුරු විඳදරාගන්න ලොකු ශක්තියක්. මේරි ‘මුරටැඹ’ පාඩම් ලිපි විශේෂ කඩදාසියක ටයිප් කළා. සහෝදරයන්ට අවශ්‍ය පිටපත් හැදුවේ ඒක පාවිච්චි කරලයි.

දේශනා කරන්න තියෙන අයිතිය වෙනුවෙන් කතා කළා

1966 ජූනි මාසේ ලිස්බන් උසාවියේ වැදගත් නඩුවක් විභාග කළා. නීති විරෝධී රැස්වීමකට සහභාගි වුණා කියලා ෆෙයිජූවල තිබුණ සභාවේ හිටපු 49දෙනාටම චෝදනා එල්ල කරලයි තිබුණේ. නඩුවට යන්න කලින් ඒකට එයාලව හොඳින් පුහුණු කරන්න ඕනෙ නිසා මම අනිත් පැත්තේ නීතිඥයා විදිහට රඟපාලා එයාලගෙන් හරස් ප්‍රශ්න ඇහුවා. අපි මොන දේ කළත් නඩුව පරදිනවා කියලා අපි දැනගෙන හිටියා. ඒ සහෝදර සහෝදරියන් 49දෙනාටම හිරදඬුවම් ලැබුණා. එයාලට දවස් 45ත් මාස 512ත් අතර කාලයක් හිරේ ඉන්න වුණා. නඩුව පැරදුණත් ඒකෙන් අපි හොඳ සාක්ෂියක් දැරුවා. අපේ නීතිඥයා නඩුව අවසන් කළේ බයිබලේ සඳහන් වෙන ගමාලියෙල් කියපු දෙයක් කියලයි. (ක්‍රියා 5:33-39) ඒ නඩු විභාගය ගැන මාධ්‍යවලත් පළ වුණා. පස්සේ කාලෙක අපේ නීතිඥයා බයිබල් පාඩමක් පටන් අරන් රැස්වීම්වලටත් සහභාගි වුණා.

1966 මාව ශාඛා කමිටුවේ සම්බන්ධීකාරක විදිහට පත් කළා. මං වැඩි කාලයක් ගත කළේ නීතිමය කාරණා එක්ක. පෘතුගාලයේ සාක්ෂිකරුවන්ට නිදහසේ නමස්කාර කටයුතු කරගෙන යන්න තියෙන අයිතිය තහවුරු කරන්න අපි නීතිමය පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කළා. (ෆිලි. 1:7) 1974 දෙසැම්බර් 18වෙනිදා සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවලට නීත්‍යනුකූල අයිතිය ලැබුණා. ඒ සතුට අපිත් එක්ක බෙදාගන්න ලෝක මූලස්ථානයේ සේවය කරපු සහෝදර නෝර් සහ සහෝදර ෆ්‍රාන්ස් පෘතුගාලෙට ආවා. පොර්ටෝ සහ ලිස්බන් නගරවල විශේෂ රැස්වීම් 2ක් අපි සැලසුම් කළා. ඒ 2ටම 46,870දෙනෙක් ආවා.

යෙහෝවා දෙවි අපේ සේවයට ආශීර්වාද කරපු නිසා පෘතුගාලෙට අයිති දූපත් ගණනාවකම ශුභාරංචිය ව්‍යාප්ත වුණා. සාක්ෂිකරුවන්ගේ ගාණ දවසින් දවස වැඩි වෙද්දී තව ලොකු ශාඛා කාර්යාලයක් ඕනෙ වුණා. අලුතෙන් ඉදි කරපු ශාඛා කාර්යාලය කැප කළේ 1988 අප්‍රියෙල් 23වෙනිදා. කැප කිරීමේ කතාව දුන්නේ සහෝදර මිල්ටන් හෙන්ෂල්. ඒ විශේෂ දවසට සහෝදර සහෝදරියන් 45,522දෙනෙක් සහභාගි වුණා. කලින් පෘතුගාලේ මිෂනාරි සේවය කරපු 20දෙනෙකුත් ඒ අය අතරේ හිටියා.

විශ්වාසවන්ත අයගෙන් ඉගෙනගත්තා

ගත වුණ අවුරුදු ගාණ පුරාම මමයි මේරියි දෙවිට විශ්වාසවන්තව හිටපු අයගෙන් හුඟක් දේවල් ඉගෙනගත්තා. සහෝදර තියඩෝර් ජැරස් කලාපීය සේවක විදිහට ගිය අවස්ථාවක මමත් එයාත් එක්ක ගියා. අපි ගිය එක ශාඛා කාර්යාලයක ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ විසඳන්න ශාඛා කමිටුවේ සහෝදරයන් එයාලට පුළුවන් හැම දේම කරලයි තිබුණේ. එයාලට දැනුණ පීඩනය අඩු කරන්න හිතාගෙන සහෝදර ජැරස් එයාලට කිව්වා “අපිට කරන්න පුළුවන් හැම දේම අපි කරලනේ තියෙන්නේ. දැන් අපි දෙවිගේ බලයට වැඩ කරන්න ඉඩ දෙමු” කියලා. මීට අවුරුදු ගාණකට කලින් අපි බෘක්ලින් ගිය වෙලාවක සහෝදර ෆ්‍රාන්ස් කියපු දෙයක් මට අද වගේ මතකයි. එදා අපි එයාත් එක්ක කතා කරකර ඉද්දී එයා මෙහෙම කිව්වා. “මොන අමාරු දේවලට මුහුණ දෙන්න වුණත් දෙවිගේ සංවිධානය අත්හරින්න එපා. දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න කියලා යේසුස් ගෝලයන්ට දුන්න ආඥාව ඉටු කරන එකම සංවිධානය ඒකයි.”

සහෝදර ෆ්‍රාන්ස් කියපු විදිහටම දෙවිගේ සංවිධානයත් එක්ක හිටපු නිසා මමයි මේරියි ලොකු සතුටක් අද්දැක්කා. කලාපීය සේවක විදිහට විවිධ රටවලට ගිහින් සේවය කරපු කාලේ ලබපු අද්දැකීම් අදටත් අපිට සොඳුරු මතකයන්. දෙවිට විශ්වාසවන්තව සේවය කරන තරුණ, මහලු හැම කෙනෙක්වම එක වගේ අගය කරන්න, දිගටම ඒ සේවය විශ්වාසවන්තව කරගෙන යන්න එයාලව දිරිගන්වන්න ලැබුණ අවස්ථා අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

දන්නෙම නැතුව කාලේ ගෙවිලා ගියා. දැන් අපි දෙන්නම ඉන්නේ වයස 80 ගණන්වල. මේරි ඉන්නෙත් අසනීපෙන්. (2 කොරි. 12:9) අපි ජීවිතේ මුහුණ දුන්න දුෂ්කරතා නිසා අපේ විශ්වාසය තවත් වැඩි වුණා. දෙවිට ළැදිව ඉන්න ගත්ත අධිෂ්ඨානය තවත් ශක්තිමත් වුණා. දෙවිට සේවය කරපු අවුරුදු ගාණ දිහා හැරිලා බලද්දී යෙහෝවා දෙවිගේ මහත් කරුණාව අපි හුඟක් විදිවලින් අද්දැකලා තියෙනවා කියලා අපිට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්. *

^ 29 ඡේ. මේ ලිපිය සූදානම් කරන අතරතුරේ යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරපු සහෝදර ඩග්ලස් ගෙස්ට් 2015 ඔක්තෝබර් 25වෙනිදා මිය ගියා.