Skip to content

පටුනට යන්න

ඉදිරියටම යන්න!

ඉදිරියටම යන්න!

“දිගටම දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්න.”—ගලා. 5:16.

ගීතිකා: 22, 75

1, 2. එක සහෝදරයෙක් තමන් ගැනම තේරුම්ගත්තේ මොකක්ද? එයා කළේ මොනවාද?

රොබට් බව්තීස්ම වුණේ යෞවන වයසේදී. ඒත් සත්‍යය එයාගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ නැහැ. එයා මෙහෙම කියනවා. “මං වැරදි වැඩ කළේ නැහැ. ඒත් මං දෙවිගේ දේවල් කළේ කරන්නන් වාලේ. මං හැම රැස්වීමකටම ගියා. අවුරුද්දට කීප වතාවක් සහායක පුරෝගාමි සේවයත් කළා. බැලූ බැල්මට පෙනුණේ මට දෙවි එක්ක හොඳ බැඳීමක් තිබුණා වගේ. ඒත් මොකක්දෝ අඩුවක් මට දැනුණා.”

2 ඒ අඩුව මොකක්ද කියලා එයාට තේරුණේ විවාහ වුණාට පස්සේ. එයායි, එයාගේ බිරිඳයි සෙල්ලමක් විදිහට එකිනෙකාගෙන් බයිබලෙන් ප්‍රශ්න අහනවා. එයාගේ බිරිඳ ලේසියෙන්ම ඒවාට උත්තර දුන්නාට රොබට්ට හුඟක් වෙලාවට උත්තර දෙන්න බැරි වුණා. “‘බයිබලේ ගැන මං වැඩිය දන්නේ නැහැනේ. එහෙම තියාගෙන මං කොහොමද නමස්කාර වැඩවලදී පවුලේ පෙරමුණ ගන්නේ? මං මොනවා හරි කරන්න ඕනෙ’ කියලා මට හිතුණා. ඊටපස්සේ මං බයිබලේ අධ්‍යයනය කළා. තව තවත් අධ්‍යයනය කළා. බයිබලේ තොරතුරු එකකට එකක් සම්බන්ධ වෙන විදිහ මට තේරෙන්න පටන්ගත්තේ එතකොටයි. බයිබලේ ගැන හොඳ අවබෝධයක් ඒකෙන් මට ලැබුණා. ඒත් වැදගත්ම දේ වුණේ දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඒකෙන් මට පුළුවන් වුණ එකයි.”

3. (අ) රොබට්ගේ අද්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

3 ඒ අද්දැකීමෙන් අපි මොනවාද ඉගෙනගන්නේ? සමහරවිට අපිට බයිබලේ ගැන යම් දැනුමක් ඇති. අපි වරද්දන්නේ නැතුව රැස්වීම්, සේවයේ යනවත් ඇති. ඒත් අපි දෙවිගේ මඟ පෙන්වීම් හොඳින් අදාළ කරගන්න අය කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. අපි දැනටමත් දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න අය වුණත් අපි අපිවම හොඳින් සෝදිසි කරලා බැලුවොත් අපිට තේරෙයි තව දියුණු වෙන්න හුඟක් පැති තියෙනවා කියලා. (ෆිලි. 3:16) අපි දැන් ප්‍රශ්න 3කට උත්තර බලමු. (1) අපි දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න අයද කියලා දැනගන්න පුළුවන් කොහොමද? (2) තව හොඳින් දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද? (3) දෙවිත් එක්ක තියෙන බැඳීම අපේ එදිනෙදා ජීවිතේට බලපාන්නේ කොහොමද?

අපිවම සෝදිසි කරලා බලමු

4. එෆීස 4:23, 24 සඳහන් දේ අදාළ වෙන්නේ කාටද?

4 දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තාම අපි අපේ ජීවිතේ හුඟක් වෙනස්කම් කරගත්තා. බව්තීස්ම වුණාට පස්සෙත් අපි දිගටම අවශ්‍ය වෙනස්කම් කරගන්නවා. ඒ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “ඔබ අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු විය යුතුයි.” (එෆී. 4:23, 24) එතන ‘අලුත් පුද්ගලයන් වෙන්න’ කියද්දී ඒ දේ දිගටම කරන්න ඕනෙ කියන අදහස මුල් භාෂාවේ තිබුණා. පාපය උරුම වෙලා තියෙන නිසා අපිට දිගටම වෙනස්කම් කරගන්න වෙනවා. අවුරුදු ගාණක් තිස්සේ දෙවිට සේවය කරන අය වුණත් දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න දිගටම උත්සාහ කරන්න ඕනේ.—ෆිලි. 3:12, 13.

5. අපිවම සෝදිසි කරලා බලන්න උදව් වෙන ප්‍රශ්න මොනවාද?

5 අපි යෞවනයන් වුණත් වැඩිහිටියන් වුණත් අවංකවම අපි ගැන සෝදිසි කරලා බලන්න ඕනේ. මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘දෙවිගේ මඟ පෙන්වීම් මං කලින්ට වඩා හොඳින් දැන් අදාළ කරගන්නවා කියලා මට දැනෙනවාද? යේසුස් වගේ හිතන්න, වැඩ කරන්න මං ටිකෙන් ටික උත්සාහ කරනවාද? රැස්වීම් ගැන මට හැඟෙන විදිහෙන්, රැස්වීම්වලදී මං කරන කියන දේවලින් මං දෙවිගේ මඟ පෙන්වීම්වලට යටත් කෙනෙක් කියලා තේරෙනවාද? මට තියෙන ඉලක්ක ගැන මගේ කතාබහෙන් තේරෙන්නේ මොනවාද? මගේ අධ්‍යයන පුරුදුවලින්, අඳින පළඳින විදිහෙන්, උපදෙසක් ලැබුණාම ඒක භාරගන්න විදිහෙන් මං ගැන තේරෙන්නේ මොනවාද? වැරදි පෙලඹීම් එද්දී මං මොනවාද කරන්නේ? මං අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් කියලා කියන්න පුළුවන්ද?’ (එෆී. 4:13) අපි කොයි තරම් දුරට දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න අයද කියලා තේරුම්ගන්න ඒ ප්‍රශ්න උදව් වෙයි.

6. අපි ගැන දැනගන්න පුළුවන් තවත් විදිහක් මොකක්ද?

6 අපි දෙවිගේ මඟ පෙන්වීම් හොඳින් අදාළ කරගන්න අයද කියලා තේරුම්ගන්න සමහර වෙලාවට අනිත් අයගේ උදව්වත් අපිට ඕනේ. තමන් ජීවත් වෙන විදිහ ගැන දෙවි සතුටු වෙන්නේ නැහැ කියලා තේරුම්ගන්න තම ආශාවන්ට හසු වුණ කෙනෙකුට බැහැ කියලයි පාවුල් කිව්වේ. ඒත් දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙක් දෙවි දේවල් දිහා බලන විදිහ තේරුම්ගන්නවා. තමන්ගෙම ආශාවන්ට අහු වෙලා වැඩ කරන අයට දෙවි කැමති නැහැ කියලා එයා දන්නවා. (1 කොරි. 2:14-16; 3:1-3) හිතන්න, සභාවේ කෙනෙක් තමන්ගෙම ආශාවන්ට අනුව වැඩ කරන උගුලට අහු වෙලා කියලා. යේසුස් වගේ හිතන්න උත්සාහ කරන වැඩිමහල්ලන්ට ඒක ඉක්මනින්ම තේරෙනවා. එතකොට එයාලා උත්සාහ කරනවා ඒ කෙනාට උදව් කරන්න. ඒ උදව් ලැබෙන්නේ ඔයාට නම් ඔයා ඒවා පිළි අරන් වෙනස්කම් කරගන්නවාද? එහෙම කළොත් ඒකෙන් පේන්නේ දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න ඔයා ආසාවෙන් ඉන්නවා කියලයි.—දේශ. 7:5, 9.

තව හොඳින් අදාළ කරගන්න

7. දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙක් වෙන්න නම් බයිබලේ ගැන දැනුමක් තිබිලා විතරක් මදි කියන්නේ ඇයි?

7 සලමොන් රජුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? එයා යෙහෝවා දෙවි ගැන හුඟක් දේවල් දැනන් හිටියා. එයා ලියපු සමහර දේවල් බයිබලෙටත් ඇතුළත් කළා. ඒත් කාලයක් යද්දී දෙවි එක්ක එයාට තිබුණ බැඳීම දුර්වල වුණා. දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න එයාට බැරි වුණා. (1 රාජා. 4:29, 30; 11:4-6) ඒකෙන් තේරෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙක් වෙන්න නම් බයිබලේ ගැන දැනුවත් වෙලා විතරක් මදි. අපි සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා ඉන්න දිගටම වෑයම් කරන්න ඕනේ. (කොලො. 2:6, 7) ඒක කරන්න පුළුවන් කොහොමද?

8, 9. (අ) සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (ආ) අපි බයිබලේ අධ්‍යයනය කරන්නේ, ඒ ගැන හිතන්නේ මොන අරමුණින්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

8 පාවුල් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ “අවබෝධයෙන් ක්‍රියා කරන අය වීමට දැඩි උත්සාහයක් දරන්න” කියලයි. (හෙබ්‍රෙ. 6:1) ඒ උපදෙස අදාළ කරගන්න අපිට පුළුවන් කොහොමද? එක විදිහක් තමයි ‘දෙවිගේ ප්‍රේමය’ කියන පොත අධ්‍යයනය කරන එක. බයිබල් ප්‍රතිපත්ති ජීවිතේට අදාළ කරගන්න පුළුවන් විදි තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙයි. ඔයා දැනටමත් ඒ පොත පාඩම් කරලා ඉවර නම් සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා ඉන්න උදව් කරන තවත් ප්‍රකාශනයක් අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්. (කොලො. 1:23) ඉගෙනගන්න ඒ දේවල් ගැන හොඳට හිතන්න. ඒවා අදාළ කරගන්න උදව් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න.

9 අධ්‍යයනය කරද්දී, ඒවා ගැන හොඳට හිතද්දී අපි ඒක කරන්න ඕනෙ යෙහෝවා දෙවිව සතුටු කරන්නත් ඔහුට කීකරු වෙන්නත් අපේ හිතේ තියෙන ආසාව තව වැඩි කරගන්න අරමුණින්. (ගීතා. 40:8; 119:97) දෙවිත් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන ඕනෙම දෙයක් අපේ ජීවිතෙන් අයින් කරන්නත් එතකොට අපි ඉගෙනගන්නවා.—තීත. 2:11, 12.

10. දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න කෙනෙක් වෙන්න යෞවනයන්ට පුළුවන් කොහොමද?

10 ඔයා යෞවන කෙනෙක්ද? දෙවිත් එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න උදව් වෙන ඉලක්ක ඔයාට තියෙනවාද? බෙතෙල් එකේ සහෝදරයෙක් සමුළුවලට ගියාම ඒ සමුළුවේ බව්තීස්ම වෙන්න ඉන්න යෞවනයන් එක්ක කතා කරලා එයාලගේ ඉලක්ක ගැන අහනවා. ඒ අයගෙන් හුඟදෙනෙක්ට ඉලක්ක තිබුණා. සමහරු පූර්ණකාලීන සේවය කරන්න, තවත් අය ප්‍රචාරකයන් අඩු පළාත්වලට ගිහින් සේවය කරන්න ඉලක්ක තියාගෙන හිටියා. ඔය අතරේ කිසිම ඉලක්කයක් තිබුණේ නැති අයත් හිටියා. එහෙම වුණේ එයාලා දේවල් කරන්නන් වාලේ කරපු නිසා වෙන්න බැරිද? ඔයා යෞවනයෙක් නම් මේ ගැන හිතන්න. ‘මං රැස්වීම්, සේවයේ යන්නේ දෙමාපියන් කියන නිසාද? නැත්නම් මං දෙවිට ආදරේ නිසාද?’ දෙවි එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න උදව් වෙන ඉලක්ක තරුණ, මහලු අපි හැමෝටම තියෙන්න ඕනේ. දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න කෙනෙක් වෙන්න ඒ ඉලක්ක අපිට උදව් වෙයි.—දේශ. 12:1, 13.

11. (අ) දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න කෙනෙක් වෙන්න අපි කරන්න ඕනෙ මොනවාද? (ආ) අපි ආදර්ශයට ගන්න ඕනෙ කාවද?

11 දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න නම් අපේ ජීවිතේ හදාගන්න ඕනෙ පැති හඳුනගත්තාට පස්සේ අපි ඒ වෙනස්කම් කරගන්න ඕනේ. ඒක හරිම වැදගත්. මොකද අපිට හිමි වෙන්නේ ජීවනයද නැත්නම් මරණයද කියන දේට ඒක බලපානවා. (රෝම 8:6-8) ඇත්ත, අපිට හැම දේම 100%ක් හරියට කරන්න බැහැ. ඒත් දෙවි අපිට ඔහුගේ බලය දීලා උදව් කරන නිසා අපි බය වෙන්න ඕනෙ නැහැ. අවශ්‍ය වෙනස්කම් කරගන්න අපි දිගටම අපේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න ඕනේ. පාලක මණ්ඩලයේ සේවය කරපු සහෝදර ජෝන් බාර් ලූක් 13:24 ගැන කතා කරද්දී මෙහෙම කිව්වා. “සත්‍යයේ ශක්තිමත්ව වැඩෙන්න හුඟක් අයට බැරි වෙන්නේ එයාලගේ පැත්තෙන් වෑයමක් ගන්නේ නැති නිසයි.” එහෙම නොවී අපි යාකොබ් වගේ වෙන්න ඕනේ. දෙවිගෙන් ආශීර්වාදයක් ලැබෙන කල්ම එයා දේවදූතයා එක්ක කරපු පොරබැදීම අත්හැරියේ නැහැ. (උත්. 32:26-28) බයිබලේ අධ්‍යයනය කරන එක රසවත් අද්දැකීමක්. ඒත් අපි ඒක කියවන්නේ නවකතාවක් කියවලා ලබන රසය ලබාගන්න නෙමෙයි ජීවිතේට අදාළ කරගන්න පුළුවන් වටිනා බයිබල් සත්‍යයන් හොයාගන්න අරමුණින්.

12, 13. (අ) “යේසුස්ට තිබූ ආකල්පය” ඇති කරගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (ආ) පේතෘස්ගේ ආදර්ශය සහ එයා දුන්න උපදෙස අපිට උදව් වෙන්නේ කොහොමද? (ඇ) දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? (“ දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න නම්” යන කොටුව බලන්න.)

12 දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න අපි උත්සාහ කරද්දී අපි හිතන විදිහ වෙනස් කරගන්න දෙවිගේ බලය අපිට උදව් කරනවා. එතකොට යේසුස් වගේ හිතන්න අපි ටිකෙන් ටික පුරුදු වෙනවා. (රෝම 15:5) වැරදි ආශාවන් මනසින් අයින් කරගෙන දෙවි සතුටු වෙන ගුණාංග වර්ධනය කරගන්න උදව් කරන්න දෙවිගේ බලයට පුළුවන්. (ගලා. 5:16, 22, 23) අපිවම සෝදිසි කරලා බලද්දී සමහරවිට අපිට තේරෙයි අපි මුල් තැන දෙන්නේ ධනයට නැත්නම් විනෝදයට කියලා. අධෛර්යය වෙන්න එපා! ජීවිතේ මුල් තැන දෙවිට දෙන්න උදව් කරන්න කියලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. ඔහුගේ බලය දිගටම ඉල්ලන්න. (ලූක් 11:13) පේතෘස්ව මතකද? එයාත් සමහර අවස්ථාවලදී යේසුස් හිතපු විදිහට හිතුවේ නැහැ. (මතෙ. 16:22, 23; ලූක් 22:34, 54-62; ගලා. 2:11-14) ඒත් අධෛර්යය වෙලා හරි දේ කරන එක එයා අත්හැරියේ නැහැ. ඒ නිසා දෙවිගේ උදව්වෙන් යේසුස් වගේ හිතන්න එයා පුරුදු වුණා. අපිටත් ඒක කරන්න පුළුවන්.

13 ඒක කරන්න අපිට විශේෂයෙන්ම උදව් වෙන ගුණාංග කීපයක් ගැන පස්සේ කාලෙක පේතෘස් සඳහන් කළා. (2 පේතෘස් 1:5-8 කියවන්න.) තමාවම පාලනය කරගැනීම, විඳදරාගැනීම, සහෝදර ස්නේහය වගේ ගුණාංග අපි තුළ ඇති කරගන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ‘දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න අද දවසේ මං වර්ධනය කරගන්න උත්සාහ කරන්නේ මොන ගුණාංගයද’ කියලා අපි හැම දවසකම හිතමු.

එදිනෙදා ජීවිතේදී

14. දෙවිත් එක්ක තියෙන බැඳීම අපේ එදිනෙදා ජීවිතේට බලපාන්නේ කොහොමද?

14 යේසුස් වගේ හිතන එක අපේ කතාබහට, එදිනෙදා ගන්න තීරණවලට, රැකියා ස්ථානයේදී නැත්නම් ඉස්කෝලේදී අපේ හැසිරීමට බලපානවා. අපි ගන්න තීරණවලින් අපි ආදර්ශයට ගන්නේ යේසුස්වයි කියලා පෙනෙයි. අපි දෙවිගේ මඟ පෙන්වීම්වලට යටත් අය නම් දෙවි එක්ක අපිට තියෙන බැඳීමට පුංචි හරි හානියක් වෙනවාට අපි කැමති නැහැ. ඒ වගේම නරක දෙයක් කරන්න පෙලඹීමක් එද්දී අපි ඒකට විරුද්ධව සටන් කරනවා. හැම තීරණයක්ම ගන්න කලින් අපි මෙහෙම හිතනවා. ‘මේ තීරණය ගන්න මට උදව් වෙන්නේ මොන බයිබල් ප්‍රතිපත්තිද? මේ වගේ වෙලාවක යේසුස් මොනවා කරයිද? දෙවි සතුටු වෙන්නේ මං මොනවා කළොත්ද?’ හැම කාරණයකදීම ඒ විදිහට හිතන්න අපි පුරුදු වෙන්න ඕනේ. තීරණයක් ගන්න වෙන අවස්ථා කීපයක් ගැන දැන් බලමු. ඒ හැම අවස්ථාවකදීම ඥානවන්ත තීරණයක් ගන්න අපිට උදව් වෙන බයිබල් ප්‍රතිපත්තියකුත් බලමු.

15, 16. (අ) විවාහ වෙන්න කෙනෙක්ව තෝරගද්දී (ආ) යාළුවන් තෝරගද්දී යේසුස් වගේ හිතන එක උදව් වෙන්නේ කොහොමද?

15 විවාහයට කෙනෙක්ව තෝරගද්දී. ඒකට අදාළ වෙන ප්‍රතිපත්තියක් 2 කොරින්ති 6:14, 15 (කියවන්න.) තියෙනවා. දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන කෙනෙක් දේවල් කරන්නේ තමන්ගෙම ආශාවන්ට හසු වුණ කෙනෙක්ට වඩා වෙනස් විදිහට කියලා පාවුල් කිව්වා. ඒ ප්‍රතිපත්තිය ඔයාට උදව් වෙන්නේ කොහොමද?

16 යාළුවන් තෝරගද්දී. ඒකට උදව් වෙන ප්‍රතිපත්තියක් 1 කොරින්ති 15:33 (කියවන්න.) තියෙනවා. දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන කෙනෙක් දෙවිත් එක්ක තියෙන බැඳීමට හානියක් කරන්න පුළුවන් අයව යාළුවන් කරගන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය ඔයාට අදාළ කරගන්න පුළුවන් පැති ගැන හිතන්න. උදාහරණෙකට මිතුරු සමාජ වෙබ් අඩවි පාවිච්චි කරද්දී ඒ ප්‍රතිපත්තිය ඔයාට උදව් වෙන්නේ කොහොමද? අඳුරන්නේ නැති අය එක්ක ඔන්ලයින් ගේම්ස් ගහනවාද නැද්ද කියලා තීරණය කරන්න ඒ ප්‍රතිපත්තිය උදව් වෙන්නේ කොහොමද?

තව හොඳින් දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න මං ගන්න තීරණ මට උදව් වෙයිද? (17 ඡේදය බලන්න)

17-19. දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක්ට (අ) නිෂ්ඵල ක්‍රියාවලින් වළකින්න (ආ) හොඳ ඉලක්ක තියාගන්න (ඇ) මතභේද විසඳගන්න පුළුවන් කොහොමද?

17 දෙවි එක්ක තියෙන බැඳීමට හානියක් වෙන දේවල්. ඒ ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක් හෙබ්‍රෙව් 6:1 (කියවන්න.) තියෙනවා. අපි වළකින්න ඕනෙ ‘නිෂ්ඵල ක්‍රියා’ මොනවාද? දෙවි එක්ක අපිට තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න උදව් වෙන්නේ නැති ඕනෙම දෙයක් ඒකට ඇතුළත්. ඒ ප්‍රතිපත්තිය අපිට උදව් වෙයි මේ පැති ගැන හිතන්න. ‘දෙවි එක්ක මට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න මං කරන්න යන මේ දේ උදව් වෙයිද? මේ ව්‍යාපාරයට අතගහන එක ඥානවන්ත දෙයක්ද? සමාජයේ වෙනසක් කරන්න උත්සාහ කරන කණ්ඩායමකට මං එකතු වෙන්න හොඳ නැත්තේ ඇයි?’

හොඳ ඉලක්ක තියාගන්න මං ගන්න තීරණ මට උදව් වෙයිද? (18 ඡේදය බලන්න)

18 දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන ඉලක්ක. ඒ ගැන යේසුස් කියපු දෙයක් මතෙව් 6:33 තියෙනවා. දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙක් මුල් තැන දෙන්නේ දේවරාජ්‍යයේ වැඩවලට. ‘පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ මං තව ඉහළට ඉගෙනගන්නවාද? මේ රැකියාව තෝරගන්න එක ඥානවන්තද?’ ඒවාට උත්තර දැනගන්න යේසුස් කියපු ප්‍රතිපත්තිය ඔයාට උදව් වෙයි.

සාමයෙන් ඉන්න මං ගන්න තීරණ මට උදව් වෙයිද? (19 ඡේදය බලන්න)

19 මතභේද ඇති වෙද්දී. රෝම 12:18 තියෙන උපදෙස අපිටත් අදාළයි. අපි ආදර්ශයට ගන්නේ යේසුස්ව නිසා හැම වෙලේම අපි උත්සාහ කරන්නේ “මිනිසුන් සමඟ සමාදානයෙන් ඉන්න.” ‘මතභේදයක් ඇති වුණාම මං මොනවාද කරන්නේ? වෙන කෙනෙක්ගේ අදහසක් පිළිගන්න මට අමාරුයිද? නැත්නම් අනිත් අය මාව දකින්නේ සාමය ඇති කරන්න උත්සාහ කරන කෙනෙක් විදිහටද?’—යාකො. 3:18.

20. දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න කෙනෙක් වෙන්න ඔයා කැමති ඇයි?

20 අපි බැලුවේ දෙවි සතුටු වෙන තීරණ ගන්න බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන විදිහ ගැන. දෙවිගේ මඟ පෙන්වීමට යටත් කෙනෙක් හැම තිස්සෙම තීරණ ගන්නේ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙනයි. එතකොට අපේ ජීවිතේ සතුටින් පිරුණු එකක් වෙනවා. මුලින් සඳහන් කරපු රොබට් මෙහෙම කියනවා. “දෙවි එක්ක මට තියෙන බැඳීම ශක්තිමත් වෙද්දී මට තේරුණා මං කලින්ට වඩා හොඳ සැමියෙක්, හොඳ තාත්තා කෙනෙක් වෙලා කියලා.” දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න දිගටම අපි උත්සාහ කරනවා නම් අපිටත් හුඟක් ප්‍රයෝජන ලැබෙයි.—1 තිමෝ. 6:19.