Skip to content

පටුනට යන්න

නෝවා, දානියෙල්, යෝබ් පෙන්නපු විශ්වාසවන්තකම සහ කීකරුකම ආදර්ශයට ගන්න

නෝවා, දානියෙල්, යෝබ් පෙන්නපු විශ්වාසවන්තකම සහ කීකරුකම ආදර්ශයට ගන්න

‘නෝවා, දානියෙල් හා යෝබ්ට ඔවුන්ගේ ධර්මිෂ්ඨකම නිසා ගලවාගත හැකි වන්නේ ඔවුන්ගේ ජීවිත පමණි.’—එස. 14:14.

ගීතිකා: 89, 119

1, 2. (අ) නෝවා, දානියෙල් සහ යෝබ්ගේ ආදර්ශ ගැන බලන එක අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? (ආ) එසකියෙල් 14:14 සඳහන් දේ ලිව්වේ මොන වගේ කාලෙකද?

ඔයාත් අසනීප, ආර්ථික ප්‍රශ්න, විරුද්ධවාදිකම් එක්ක සටනක් කරන කෙනෙක්ද? යෙහෝවා දෙවිට සතුටින් නමස්කාර කරන එක සමහර වෙලාවට ලේසි නැහැ කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් නෝවා, දානියෙල් සහ යෝබ්ගේ ආදර්ශ ගැන බලන එක ඔයාට ලොකු දිරිගැන්වීමක් වෙයි. එයාලත් අපි වගේම පාපය උරුම කරගත්ත අය. එයාලට තිබුණෙත් අපිට තියෙනවා වගේම අභියෝග. ඒත් එයාලා දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා. යෙහෝවා දෙවි එයාලව සැලකුවේ විශ්වාසය සහ කීකරුකම සම්බන්ධයෙන් ආදර්ශයට ගන්න පුළුවන් අය හැටියට.—එසකියෙල් 14:12-14 කියවන්න.

2 මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදය එසකියෙල් ලිව්වේ ක්‍රි.පූ. 612දී. එතකොට එයා හිටියේ බැබිලෝනියේ. * (එස. 1:1; 8:1) ඒ කියන්නේ ක්‍රි.පූ. 607 යෙරුසලම විනාශ වෙන්න ටික කාලෙකට කලින්. ඒ කාලේ නෝවා, දානියෙල්, යෝබ් වගේ දෙවිට විශ්වාසවන්ත අය යෙරුසලමේ හිටියේ ටිකදෙනයි. බේරුණේ ඒ අය විතරයි. (එස. 9:1-5) යෙරෙමියා, බාරුක්, ඒබෙද්-මෙලෙක්, රේකාබ්වරුන් ඒ කීපදෙනා අතරේ හිටියා.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 නෝවා, දානියෙල්, යෝබ් වගේ දෙවිට විශ්වාසවන්තව, කීකරුව ඉන්න අයට විතරයි ඉස්සරහට එන විනාශයෙනුත් බේරෙන්න ලැබෙන්නේ. (එළි. 7:9, 14) ආදර්ශයට ගන්න පුළුවන් අය විදිහට දෙවි ඒ තුන්දෙනාව සැලකුවේ ඇයි කියලා අපි බලමු. එයාලට තිබුණ (1) අභියෝග ගැනත් (2) එයාලගේ විශ්වාසය සහ කීකරුකම අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලත් බලමු.

නෝවා සියවස් නවයක් පුරා විශ්වාසවන්තව, කීකරුව හිටියා

4, 5. නෝවාට තිබුණ සමහර අභියෝග මොනවාද? එයාගේ විඳදරාගැනීම විශේෂයි කියන්නේ ඇයි?

4 නෝවාට තිබුණේ මොන වගේ අභියෝගද? නෝවාගේ මුත්තා වුණ ඒනොක්ගේ කාලේදීත් මිනිසුන් හරිම දුෂ්ටයි. එයාලා දෙවි ගැන “ඉතාමත් තැතිගන්වනසුලු දේවල්” කිව්වා. (යූද් 14, 15) දුෂ්ටකම් එන්න එන්නම වැඩි වෙලා නෝවාගේ කාලේ වෙද්දී “පොළොව සැහැසික ක්‍රියාවලින් පිරී තිබුණා.” මිනිස් වෙස් ගත්ත නරක දේවදූතයන් ස්ත්‍රීන්ව විවාහ කරගත්තා. එයාලගෙන් බිහි වුණ දරුවන් හරිම දරුණුයි. (උත්. 6:2-4, 11, 12) ඒත් නෝවා ඊට වඩා වෙනස්. ඒ නිසා ‘යෙහෝවා දෙවි ඔහු ගැන සතුටු වුණා. ඔහුගේ කාලයේ ජීවත් වූ මනුෂ්‍යයන්ට වඩා නිදොස්ව කටයුතු කළ නෝවා සැබෑ දෙවි සමඟ ගමන් කළා.’—උත්. 6:8, 9.

5 ඒ වගේ දුෂ්ට සමාජයක අවුරුදු 70ක්, 80ක් නෙමෙයි අවුරුදු 600කට කිට්ටු කාලයක් පුරා නෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා. (උත්. 7:11) ඒ කාලේ පුරාම එයාව දිරිගන්වන්න දැන් අපිට තියෙනවා වගේ සභාවක් තිබුණෙත් නැහැ. පේන විදිහට එයාගේ සහෝදර සහෝදරියන්ගෙන්වත් එයාට සහයක් ලැබුණේ නැහැ. *

6. නෝවාගේ නිර්භීතකම දකින්න තිබුණේ කොහොමද?

6 යහපත් ජීවිතයක් ගත කරන එක විතරක් ඇති කියලා නෝවා හිතුවේ නැහැ. දෙවි ගැන එයාට තිබුණ විශ්වාසය එයා බය නැතුව අනිත් අයට කිව්වා. “ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ” කෙනෙක් කියලා එයාව හඳුන්වන්නේ ඒ නිසයි. (2 පේතෘ. 2:5) පාවුල් නෝවා ගැන කිව්වේ “ඔහුට තිබූ විශ්වාසය නිසා එවකට පැවති ලෝකය දඬුවම් ලැබීමට සුදුසු බව ඔහු ඔප්පු කර” පෙන්නුවා කියලයි. (හෙබ්‍රෙ. 11:7) මිනිසුන් එයාට සමච්චල් කරන්න ඇති. දේශනා කරන එක නවත්තන්න හදන්න ඇති. තර්ජනය කරන්නත් ඇති. ඒත් නෝවා මිනිසුන්ට බය වුණේ නැහැ. (හිතෝ. 29:25) ඒ දෙවි තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට ලබා දෙන නිර්භීතකම එයා ළඟ තිබුණ නිසයි.

7. නැව හදද්දී නෝවා මුහුණ දුන්නේ මොන අභියෝගවලටද?

7 සියවස් 5කට වැඩි කාලයක් දෙවිට විශ්වාසවන්තව හිටපු නෝවාට දෙවි කිව්වා මිනිසුන්ගෙත් සතුන්ගෙත් ජීවිත බේරගන්න විශාල නැවක් හදන්න කියලා. (උත්. 5:32; 6:14) ඒක ලේසි වැඩක් නෙමෙයි කියලා නෝවාට තේරෙන්න ඇති. කලින්ටත් වඩා මිනිසුන්ගේ උසුළුවිසුළුවලට ලක් වෙයි කියලත් එයා දැනන් හිටියා. ඒත් එයා දෙවි ගැන විශ්වාසය තියලා කීකරු වුණා.—උත්. 6:22.

8. පවුලේ අයව බලාගන්න දෙවි උදව් කරනවා කියලා නෝවා විශ්වාස කළා කියන්නේ ඇයි?

8 පවුලේ අයගේ අවශ්‍යතා සපයන වගකීමත් නෝවාට තිබුණා. ජලගැල්මට කලින් කෑමට දේවල් වගා කරන්න මිනිසුන්ට ගොඩක් මහන්සි වෙන්න වුණා. නෝවාටත් ඒක කරන්න වුණා. (උත්. 5:28, 29) ඒත් පවුලේ අයගේ අවශ්‍යතා සපයන්න ඕනෙ නිසා දෙවිට කරන සේවය එයා දෙවෙනි තැනට දැම්මේ නැහැ. අවුරුදු 40ක්, 50ක් තිස්සේ මහන්සි වෙලා නැව හදද්දීත් දෙවිට මුල් තැන දෙන්න එයා අමතක කළේ නැහැ. ජලගැල්මෙන් පස්සේ ජීවත් වුණ අවුරුදු 350 පුරාමත් එයා දෙවිට මුල් තැන දුන්නා. (උත්. 9:28) නෝවා පෙන්නපු විශ්වාසවන්තකම සහ කීකරුකම කදිම ආදර්ශයක් නෙමෙයිද?

9, 10. (අ) නෝවාගේ විශ්වාසවන්තකම සහ කීකරුකම ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (ආ) දෙවිගේ ප්‍රමිති රකින අයට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?

9 නෝවාගේ විශ්වාසවන්තකම සහ කීකරුකම අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? වැඩිදෙනෙක් මොනවා කිව්වත් කෙරුවත් අපි යෙහෝවා දෙවිගේ ප්‍රමිති රකිනවා නම්, දුෂ්ට සමාජයේ මිනිසුන් වගේ නොවී ඉන්නවා නම්, ජීවිතේ මුල් තැන දෙවිට දෙනවා නම් ඒක කරන්න පුළුවන්. (මතෙ. 6:33; යොහ. 15:19) එහෙම කරද්දී මේ සමාජයේ අය නම් අපිට කැමති වෙන්නේ නැහැ. උදාහරණෙකට ලිංගික කාරණා සහ විවාහය ගැන දෙවි දීලා තියෙන නීති අපි බාල කරන්නේ නැති නිසා මිනිසුන් ජනමාධ්‍යය හරහා අපි ගැන බොරු පතුරුවයි. (මලාකි 3:17, 18 කියවන්න.) ඒත් නෝවා වගේ අපිත් මිනිසුන්ට බය නැහැ. අපිට ගරුබියක් තියෙන්නේ දෙවි ගැනයි. අපිට සදාකාල ජීවිතේ දෙන්න පුළුවන් දෙවිට විතරයි.—ලූක් 12:4, 5.

10 මේ ගැන හිතන්න. ‘මිනිසුන් විවේචනය කළත් සමච්චල් කළත් මං දිගටම දෙවිගේ ප්‍රමිති රකිනවාද? ආර්ථික ප්‍රශ්න ආවත් මගේ පවුලේ අයගේ අවශ්‍යතා සපයන්න යෙහෝවා දෙවිට පුළුවන් කියලා මට විශ්වාසද?’ නෝවා වගේ ඔයාත් දෙවි ගැන විශ්වාසය තියලා ඔහුට කීකරු වෙනවා නම් ඔහු කවදාවත් ඔයාව අත්හරින්නේ නැහැ.—ෆිලි. 4:6, 7.

දුෂ්ට නගරෙක හිටියත් දානියෙල් විශ්වාසවන්තව, කීකරුව හිටියා

11. දානියෙල් සහ යාළුවෝ 3දෙනා මුහුණ දුන්න අභියෝග මොනවාද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

11 දානියෙල්ට තිබුණේ මොන වගේ අභියෝගද? දානියෙල්ට ජීවත් වෙන්න වුණේ බොරු දෙවිවරුන් සහ භූතවාදය පිරුණු නගරයක් වුණ බැබිලෝනියේ. එහේ හිටපු අය යුදෙව්වන්ටත් යෙහෝවා දෙවිටත් සමච්චල් කළා. (ගීතා. 137:1, 3) ඒක දෙවිට ආදරේ කරපු යුදෙව්වන්ට ලොකු වේදනාවක් වෙන්න ඇති. දානියෙල්ටයි, එයාගේ යාළුවෝ තුන්දෙනාටයි විශේෂ පුහුණුවක් ලැබෙන්න තිබුණ නිසා එයාලා හුඟක් අයගේ අවධානයට ලක් වුණා. එයාලට කන්න වුණේ රජ නියම කරපු කෑම. ඒවාට දෙවි තහනම් කරලා තිබුණ කෑමත් ඇතුළත් වුණා. ඒත් ඒ “කෑමවලින් අපවිත්‍ර නොවී සිටීමට” දානියෙල් වගබලා ගත්තා.—දානි. 1:5-8, 14-17.

12. (අ) දානියෙල්ට තිබුණේ මොන වගේ කැපීපේන ගුණාංගද? (ආ) දෙවිට දානියෙල් ගැන හැඟුණේ කොහොමද?

12 ඒ තරම් අමාරු එකක් නෙමෙයි කියලා පේන්න තිබුණ තවත් අභියෝගයක් දානියෙල්ට තිබුණා. ඒ මොකක්ද? දානියෙල් දක්ෂ නිසා රජ එයාට විශේෂ තනතුරු දුන්නා. (දානි. 1:19, 20) ඒත් එයා උඩඟු වුණේවත් එයාගේ අදහස් හැම වෙලේම හරියි කියලා හිතුවේවත් නැහැ. දිගටම නිහතමානීව වැඩ කළා. එයා හැම වෙලේම කිව්වේ එයාට දක්ෂ විදිහට දේවල් කරන්න පුළුවන් වුණේ දෙවිගේ උදව් නිසා කියලයි. (දානි. 2:30) ආදර්ශයට ගන්න පුළුවන් කෙනෙක් විදිහට දෙවි දානියෙල්ව සඳහන් කරද්දී ඒ එක්කම කියපු අනිත් දෙන්නා ඒ වෙද්දී ජීවිත කාලේ පුරාම දෙවිට විශ්වාසවන්තව සේවය කරලයි තිබුණේ. ඒත් දානියෙල් තරුණයෙක්. නෝවා, යෝබ් එක්ක දානියෙල්වත් සඳහන් කරන්න දෙවිට එයා ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඇති. දානියෙල් ඒ විශ්වාසය රැක්කා. මොකද වයස 100ට කිට්ටු වෙලා ඉද්දී දේවදූතයෙක් එයාට කිව්වේ මෙහෙමයි. “දානියෙල්, ඔබ බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙක්.”—දානි. 10:11.

13. ඉහළ තනතුරක් දරන්න දෙවි දානියෙල්ට උදව් කරන්න ඇත්තේ ඇයි?

13 දෙවිගේ උදව් ලැබුණ නිසා දානියෙල් බැබිලෝනිය අධිරාජ්‍යයෙත් ඊටපස්සේ මේද-පර්සියානු අධිරාජ්‍යයෙත් ඉහළ තනතුරු දැරුවා. (දානි. 1:21; 6:1, 2) දෙවි ඒකට එයාට උදව් කරන්න ඇත්තේ යෝසෙප්, එස්තර්, මොර්දෙකයි වගේ එයා මාර්ගයෙනුත් තමන්ගේ සෙනඟට උදව් කරන්න වෙන්න ඇති. * (දානි. 2:48) යෙහෝවා දෙවි දානියෙල් ලවා තමන්ට උදව් කරපු එක වහල්භාවයේ හිටපු එසකියෙල් ඇතුළුව අනිත් යුදෙව්වන්ට කොයි තරම් දිරිගැන්වීමක් වෙන්න ඇද්ද!

දෙවිට ළැදිව ඉන්න අයව ඔහුට හුඟක් වටිනවා (14 සහ 15 ඡේද බලන්න)

14, 15. (අ) අපි මුහුණ දෙන දේවල් දානියෙල් මුහුණ දුන්න දේවලට සමාන වෙන්නේ කොහොමද? (ආ) දානියෙල්ගේ දෙමාපියන්ගෙන් අද ඉන්න දෙමාපියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 දානියෙල්ගේ විශ්වාසවන්තකම සහ කීකරුකම අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? අපි ජීවත් වෙන්නේ අනාචාරයෙන් සහ බොරු දෙවිවරුන්ට කරන නමස්කාරයෙන් පිරුණු ලෝකෙක. “භූතයන්ගේ වාසස්ථානයක්” වන මහ බැබිලෝනිය අධිරාජ්‍යයක් වගේ ලෝකේ පුරාම ඉන්න මිනිසුන්ව තමන්ගේ අණසක යටතේ තියාගෙන ඉන්නවා. (එළි. 18:2) ඒත් අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ විදේශිකයන් වගේ නිසා මිනිසුන් අපිව දකින්නේ වෙනස්ම සෙනඟක් විදිහට. අපිට සමච්චල් කරයි. (මාක් 13:13) දානියෙල් වගේ අපිත් දෙවිට ළං වෙමු. නිහතමානීව දෙවිව විශ්වාස කරලා ඔහුට කීකරු වෙනවා නම් දෙවි අපිවත් වටිනා වස්තුවක් විදිහට සලකයි.—හග්. 2:7.

15 දානියෙල්ගේ දෙමාපියන්ගෙනුත් අද ඉන්න දෙමාපියන්ට ඉගෙනගන්න දේවල් තියෙනවා. පුංචි දරුවෙක් විදිහට යුදයේ හිටපු කාලේ දානියෙල් වටේම හිටියේ දුෂ්ට මිනිසුන්. ඒත් එයා දෙවිට ආදරේ කරන කෙනෙක් විදිහට උස් මහත් වුණා. ඒක ඉබේම වුණ දෙයක් නෙමෙයි. එයාගේ දෙමාපියන් දෙවි ගැන එයාට කියලා දෙන්න ඇති. (හිතෝ. 22:6) “මාගේ විනිශ්චයකරු දෙවිය” කියන තේරුම තියෙන දානියෙල් කියන නම පුතාට දාන්න ඒ දෙමාපියන්ගේ හිතේ දෙවිට කොයි තරම් ආදරයක් තියෙන්න ඇද්ද! දෙමාපියෙනි, දෙවි ගැන දරුවන්ට කියලා දෙද්දී ඉවසීමෙන් ඒක කරන්න. උත්සාහය අත්හරින්න එපා. (එෆී. 6:4) එයාලා එක්ක යාච්ඤා කරනවා වගේම එයාලා ගැනත් යාච්ඤා කරන්න. එයාලගේ හිතේ දෙවිගේ ප්‍රමිතිවලට අගයක් ඇති කරගන්න උදව් කරන්න. දෙවි ඔයාලගේ වෑයමට ආශීර්වාද කරයි.—ගීතා. 37:5.

පොහොසත් කාලෙත් දුප්පත් කාලෙත් යෝබ් විශ්වාසවන්තව, කීකරුව හිටියා

16, 17. ජීවිතේ විවිධ කාලවලදී යෝබ් මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද?

16 යෝබ්ට තිබුණේ මොන වගේ අභියෝගද? යෝබ් ජීවිතේ ලොකු වෙනස්කම්වලට මුහුණ දුන්නා. මුලින් එයා “නැඟෙනහිර දේශයේ විසූ සියලුදෙනාට වඩා ශ්‍රේෂ්ඨයෙක් ලෙස නම් දරා හිටියා.” (යෝබ් 1:3) එයා පොහොසතෙක් වගේම අනිත් අයගේ ගෞරවයත් දිනාගත්ත කෙනෙක්. (යෝබ් 29:7-16) ඒත් අනිත් අයට වඩා එයා උසස් කියලවත් එයාට දෙවිගේ උදව් ඕනෙ නැහැ කියලවත් යෝබ් හිතුවේ නැහැ. දෙවි එයාව “මගේ සේවකයා” කියලත් එයා “අවංක, නිර්දෝෂව හැසිරෙන, මට ගරුබිය දක්වන, වැරදි දෙයින් ඈත් වී සිටින කෙනෙක්” කියලත් හැඳින්නුවා.—යෝබ් 1:8.

17 ඒත් එක පාරටම යෝබ්ගේ ජීවිතේ උඩු යටිකුරු වුණා. එයාගේ හැම දේම නැති වුණා. වේදනාව වැඩිකමට මැරෙන එක හොඳයි කියලා එයා හිතුවා. යෝබ්ට ආපු ඒ ප්‍රශ්නවලට හේතුව සාතන් කියලා අපි දන්නවා. සාතන් චෝදනා කළේ යෝබ් දෙවිට සේවය කරන්නේ වාසි ප්‍රයෝජන බලාගෙන කියලයි. (යෝබ් 1:9, 10 කියවන්න.) දෙවි ඒක සැහැල්ලුවට ගත්තේ නැහැ. යෝබ් දෙවිට සේවය කරන්නේ ආදරේ නිසයි කියලා ඔප්පු කරලා සාතන්ව බොරුකාරයෙක් කරන්න දෙවි යෝබ්ට අවස්ථාව දුන්නා.

18. (අ) යෝබ් ගැන ඔයාගේ සිත්ගත්තේ මොන කාරණයද? (ආ) දෙවි යෝබ්ට සලකපු විදිහෙන් අපිට දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

18 සාතන් යෝබ්ට එක පිට එක පීඩා ගෙනාවා විතරක් නෙමෙයි ඒ පීඩා ගෙනාවේ යෙහෝවා දෙවි කියලා පෙන්නන්න හැදුවා. (යෝබ් 1:13-21) යෝබ්ගේ යාළුවෝ කියාගත්ත 3දෙනා කළෙත් එයාගේ හිත පාරපු එකයි. (යෝබ් 2:11; 22:1, 5-10) ඒ මොන දේ වුණත් යෝබ් දෙවිට ළැදිව හිටියා. ඇත්ත, එයා සමහර වෙලාවට වැඩිය හිතන්නේ බලන්නේ නැතුව කතා කළා. (යෝබ් 6:1-3) ඒත් එයා එහෙම කතා කළේ එයා ලොකු වේදනාවකින් ඉන්න නිසා කියලා දෙවි තේරුම්ගත්තා. සාතන් යෝබ්ට කොච්චර පීඩා කළත් නින්දා කළත් යෝබ් දෙවිව අත්හැරියේ නැහැ කියලා දෙවි දැක්කා. ඒ නිසා අන්තිමේදී යෙහෝවා දෙවි යෝබ්ට තිබුණා වගේ දෙගුණයක් දේවල් දීලා ආශීර්වාද කළා. තව අවුරුදු 140ක් ජීවත් වෙන්නත් අවස්ථාව දුන්නා. (යාකො. 5:11) ඒ කාලේ පුරාමත් යෝබ් මුළු හදවතින්ම දෙවිට සේවය කළා කියලා මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදයෙන් පැහැදිලියි. මොකද ඒක ලිව්වේ යෝබ් මැරිලා අවුරුදු 100 ගාණකට පස්සේ.

19, 20. (අ) යෝබ්ගේ විශ්වාසවන්තකම සහ කීකරුකම ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (ආ) යෙහෝවා දෙවි වගේ අනිත් අයට දයාව පෙන්නන්න පුළුවන් කොහොමද?

19 යෝබ්ගේ විශ්වාසවන්තකම සහ කීකරුකම අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? අපේ ජීවිතෙත් කාලෙන් කාලෙට අපි අද්දකින තත්වයන් වෙනස් වෙයි. මොන දේ වෙනස් වුණත් අපේ ජීවිතේ වැදගත්ම කෙනා යෙහෝවා දෙවි කියලා අපි පෙන්නමු. දෙවිව විශ්වාස කරලා ඔහුට මුළු හදවතින්ම කීකරු වෙමු. ඒකට යෝබ්ටත් වඩා හේතු අපිට තියෙනවා. ටිකක් හිතන්න, අපි සාතන් ගැනත් එයා අපිව අල්ලගන්න හදන ක්‍රම ගැනත් කොච්චර දේවල් දන්නවාද? (2 කොරි. 2:11) බයිබලෙන් විශේෂයෙන්ම යෝබ් පොතෙන් අපි ඉගෙනගෙන තියෙනවා දෙවි දුක් වේදනාවලට ඉඩ දීලා තියෙන්නේ ඇයි කියලා. යේසුස්ගේ නායකත්වය යටතේ දේවරාජ්‍යයේ පාලනය දැනටමත් පටන් අරන් කියලා දානියෙල් පොතෙන් අපි දැනගත්තා. (දානි. 7:13, 14) ඒ රාජ්‍යය ළඟදීම පොළොවේ පාලනය අතට ගන්නවා කියලත් හැම දුක් වේදනාවක්ම නැති කරනවා කියලත් අපි දන්නවා.

20 යෝබ්ගේ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන් තව දෙයක් තමයි අපේ සහෝදරයන් දුක් විඳිද්දී එයාලට දයාව පෙන්නන එක. සමහරවිට එයාලත් යෝබ් වගේ හිතන්නේ බලන්නේ නැතුව කතා කරයි. (දේශ. 7:7) ඒත් අපි එයාලව විනිශ්චය කරන්න හොඳ නැහැ. ඒ වෙනුවට එයාලව තේරුම්ගන්න උත්සාහ කරනවා නම් අපි ආදර්ශයට ගන්නේ අපේ දෙවි යෙහෝවාව.—ගීතා. 103:8.

යෙහෝවා දෙවි ‘ඔයාව ශක්තිමත් කරයි’

21. 1 පේතෘස් 5:10 සඳහන් දේ නෝවා, දානියෙල් සහ යෝබ් අද්දැක්කේ කොහොමද?

21 නෝවා, දානියෙල්, යෝබ් ජීවත් වුණේ වෙනස්ම කාලවල. එයාලා මුහුණ දුන්න අභියෝගත් එකිනෙකට වෙනස්. ඒත් එයාලා ඒ අභියෝග දරාගෙන ඒවා ජය ගත්තා. එයාලගේ අද්දැකීම් අපිට මතක් කරන්නේ පේතෘස් කියපු මේ වචනයි. ‘ඔබ කෙටි කලක් දුක් වින්ද පසු සෑම ආකාරයකින්ම මහත් කරුණාව පෙන්වන දෙවි, ඔබ ලබාගන්නා ඒ පුහුණුව අවසන් කර ඔබව ස්ථිර කර ශක්තිමත් කරනු ඇත.’—1 පේතෘ. 5:10.

22. ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

22 1 පේතෘස් 5:10 තියෙන වචන අද ඉන්න දෙවිගේ සෙනඟටත් අදාළයි. අපිව ස්ථිර කරලා ශක්තිමත් කරනවා කියලා දෙවි එතන පොරොන්දු වෙලා තියෙනවා. අපිටත් ඕනෙ ස්ථිරව, ශක්තිමත්ව ඉඳලා දෙවිට විශ්වාසවන්තව ඉන්නයි. ඒ නිසා නෝවා, දානියෙල් සහ යෝබ් පෙන්නපු විශ්වාසය, කීකරුකම ආදර්ශයට ගමු. දෙවිට විශ්වාසවන්තව ඉන්න ඒ 3දෙනාට පුළුවන් වුණේ එයාලා දෙවිව හොඳින් දැන හඳුන ගෙන හිටපු නිසයි. එයාලා දෙවි එයාලගෙන් බලාපොරොත්තු වන “සියල්ල වටහාගත්තා.” (හිතෝ. 28:5) එයාලා ඒක කළේ කොහොමද, අපිට ඒක කරන්න පුළුවන් කොහොමද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.

^ 2 ඡේ. එසකියෙල්ව බැබිලෝනියට අරන් ගියේ ක්‍රි.පූ. 617දී. එසකියෙල් 8:1–19:14 තියෙන දේවල් එයා ලිව්වේ එහෙට ගිහින් ගත වුණ “හයවන අවුරුද්දේ.” ඒ කියන්නේ ක්‍රි.පූ. 612දී.

^ 5 ඡේ. නෝවාගේ තාත්තා ලාමෙක්ට දෙවි ගැන විශ්වාසයක් තිබුණා. ඒත් ජලගැල්මට අවුරුදු 5කට විතර කලින් එයා මැරුණා. ජලගැල්ම එද්දී නෝවාගේ අම්මායි, සහෝදර සහෝදරියනුයි ජීවත් වෙලා හිටියා නම් එයාලත් ජලගැල්මෙන් විනාශ වුණා.

^ 13 ඡේ. ඒ හේතුවම නිසා දානියෙල්ගේ යාළුවෝ 3දෙනාටත් ඉහළ තනතුරු ලබාගන්න දෙවි උදව් කරන්න ඇති කියලා හිතන්න පුළුවන්.—දානි. 2:49.