Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 6

දිගටම විශ්වාසවන්තව ඉන්න

දිගටම විශ්වාසවන්තව ඉන්න

“මා අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි.”—යෝබ් 27:5.

ගීතිකාව 34 දෙවිට විශ්වාසවන්තව සිටීම

මේ ලිපියෙන් *

1. මේ ඡේදයේ කතා කරන සාක්ෂිකරුවන් තුන්දෙනා දෙවියන්ට ළැදිව හිටියේ කොහොමද?

මේ සිද්ධීන් 3 හිතින් මවාගන්න. (1) ඉස්කෝලේ පවත්වන උත්සවයකට හැමෝම සහභාගි වෙන්න ඕනෙ කියලා පන්ති භාර ගුරුවරයා ළමයින්ට කියනවා. ඒ පන්තියේ ඉන්න දැරියක් දන්නවා ඒ උත්සවය දෙවියන් අකමැති එකක් කියලා. ඉතින් එයා කියනවා එයා ඒ සැමරීමට සහභාගි වෙන්නේ නැහැ කියලා. (2) ලැජ්ජාශීලී යෞවනයෙක් දේශනා සේවයේ යනවා. ඊළඟ ගෙදර ඉන්නේ එයාගේ ඉස්කෝලේ ළමයෙක් කියලත් ඒ ළමයා සාක්ෂිකරුවන්ට විහිළු කරනවා කියලත් මේ යෞවනයා දන්නවා. ඒත් එයා ඒ දොරට තට්ටු කරනවා. (3) කෙනෙක් එයාගේ පවුලේ අයගේ අවශ්‍යතා සපයන්න මහන්සි වෙලා රස්සාවක් කරනවා. දවසක් එයාගේ ප්‍රධානියා එයාට කියනවා යම් දෙයක් කරන්න කියලා. ඒත් ඒක වංක, නීති විරෝධී දෙයක්. රස්සාව නැති වෙන්න පුළුවන් කියලා දැනන් හිටියත් ඒ කෙනා ප්‍රධානියාට කියනවා අවංක වෙන එකත් නීතියට කීකරු වෙන එකත් දෙවියන් ඔහුගේ සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන නිසා ඒ වැඩේ එයාට කරන්න බැහැ කියලා.—රෝම 13:1-4; හෙබ්‍රෙ. 13:18.

2. අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද? ඒ ඇයි?

2 ඒ තුන්දෙනා මොන වගේ අයද කියලා ඔයාට විස්තර කරන්න කිව්වොත් ඔයා මොනවාද කියන්නේ? ඔයා කියයි එයාලා ධෛර්යවන්ත අය කියලා. එහෙම නැත්නම් එයාලා අවංක අය කියලා ඔයා කියයි. ඇත්ත, ඒ ගතිලක්ෂණ එයාලට තිබුණා. ඒත් එයාලා තුළ දකින්න තිබුණ විශේෂම දේ තමයි එයාලගේ විශ්වාසවන්තකම. ඒ තුන්දෙනාම දෙවියන්ට ළැදිව හිටියා. දෙවියන්ගේ ප්‍රමිති කඩන්න එයාලා කැමති වුණේ නැහැ. එයාලා පෙන්නපු විශ්වාසවන්තකම ගැන යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම සතුටු වෙනවා. අපිටත් ඕනෙ ස්වර්ගයේ ඉන්න අපේ ආදරණීය තාත්තාව සතුටු කරන්න. ඒ නිසා අපි මේ ප්‍රශ්නවලට උත්තර බලමු. විශ්වාසවන්ත කෙනෙක් කොයි වගේද? අපි විශ්වාසවන්තව ඉන්න එක වැදගත් ඇයි? මේ අමාරු කාලේ දිගටම විශ්වාසවන්තව ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

විශ්වාසවන්ත කෙනෙක් කොයි වගේද?

3. (අ) දෙවියන්ගේ සේවකයන් විශ්වාසවන්තකම පෙන්නන්නේ කොහොමද? (ආ) විශ්වාසවන්ත කෙනෙක් කොයි වගේද කියලා තේරුම්ගන්න උදව් වෙන උදාහරණ මොනවාද?

3 යෙහෝවා දෙවියන්ගේ සේවකයන් විශ්වාසවන්තකම පෙන්නන්නේ කොහොමද? එයාලා ඒක කරන්නේ මුළු හිතින්ම දෙවියන්ට ආදරේ කරලයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැති ආදරයක්. හැම වෙලාවෙම දෙවියන් සතුටු වෙන විදිහට දේවල් කරන්න ඒ ආදරේ එයාලව පොලඹවනවා. විශ්වාසවන්ත කෙනෙක් ගැන බයිබලේ කතා කරද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා දැන් අපි බලමු. විශ්වාසවන්තකම හැටියට පරිවර්තනය කරපු හෙබ්‍රෙව් වචනයට කිසි අඩුවක් නැති, නිකැළැල්, සම්පූර්ණ කියන අදහසත් ඇතුළත් වෙනවා. උදාහරණෙකට දෙවියන්ට සතෙකුව පූජා කරද්දී නීතියේ සඳහන් වුණා ඒ සතා නිකැළැල් * සතෙක් වෙන්න ඕනෙ කියලා. (ලෙවී. 22:21, 22) කකුලක් කැඩුණු, කනක් හෝ ඇහැක් නැති, ලෙඩින් හිටපු සතෙකුව පූජා කරන්න සෙනඟට අවසර තිබුණේ නැහැ. එයාලා ඔප්පු කරන සතා කිසි අඩුවක් නැති, නිකැළැල් සතෙක් වෙන්න ඕනේ. (මලා. 1:6-9) දෙවියන් එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ ඇයි කියලා තේරුම්ගන්න අපිට පුළුවන්. හිතන්න, ඔයා පලතුරක් මිල දී ගන්නවා කියලා. ඒක කුණු වෙලා, තැළිලා තියෙනවා නම් ඔයා ඒක මිල දී ගන්න කැමති වෙයිද? නැහැ. මොකද ඔයා කැමති හොඳ පලතුරක් ගන්න. යෙහෝවා දෙවියන්ට අපි පෙන්නන ආදරේ, ළැදිකම ගැන ඔහුට හැඟෙන්නෙත් එහෙමයි. අපි ඔහුට පෙන්නන්නේ නිකැළැල්, මුළු හදවතින්ම පෙන්නන ආදරයක් නම් දෙවියන් ඒ ගැන සතුටු වෙනවා.

4. (අ) අපි අතින් අඩුපාඩුකම් වුණත් අපිට විශ්වාසවන්ත අය වෙන්න පුළුවන් කියන්නේ ඇයි? (ආ) ගීතාවලිය 103:12-14 පෙන්නන විදිහට දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

4 අපි අතින් අඩුපාඩුකම් වෙන නිසා විශ්වාසවන්ත කෙනෙක් වෙන්න අපිට බැහැ කියලා හිතන එක හරිද? නැහැ. ඒ ඇයි? ඒකට හේතු 2ක් තියෙනවා. (1) යෙහෝවා දෙවියන් බලාගෙන ඉන්නේ අපේ වැරදි අල්ලන්න නෙමෙයි. බයිබලේ මෙහෙම කියනවා. ‘දෙවියනි, ඔබ අපේ වැරදි දෙසම බලා සිටිනවා නම් ඔබ ඉදිරියේ සිටිය හැක්කේ කාටද?’ (ගීතා. 130:3) අපි අතින් වැරදි වෙනවා කියලා දෙවියන් දන්නවා. ඔහු අපිට සමාව දෙනවා. (ගීතා. 86:5) (2) යෙහෝවා දෙවියන් අපේ සීමාවන් දන්නවා. අපිට කරන්න බැරි දෙයක් ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ගීතාවලිය 103:12-14 කියවන්න.) එහෙමනම් කිසි අඩුවක් නැති, සම්පූර්ණ විශ්වාසවන්තකමක් දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

5. විශ්වාසවන්තකම පෙන්නන්න ආදරේ තියෙන්නම ඕනෙ ඇයි?

5 විශ්වාසවන්ත කෙනෙක් හැටියට දෙවියන් සලකන්නේ ඔහුට මුළු හිතින්ම ආදරේ, භක්තිය පෙන්නන කෙනෙක්වයි. අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන අවස්ථාවලදීත් ඒ ආදරේ නොවෙනස්ව තියෙනවා නම් අපි විශ්වාසවන්ත අය කියලා ඔප්පු වෙනවා. (1 ලේක. 28:9; මතෙ. 22:37) ලිපියේ මුලින් කතා කරපු සාක්ෂිකරුවන් තුන්දෙනා ගැන ආයෙත් හිතන්න. ඒ දුව එහෙම කළේ ඉස්කෝලේ අය එක්ක එයා විනෝද වෙන්න ආස නැති නිසාද? ඒ යෞවනයා එහෙම කළේ අනිත් අය ඉස්සරහා ලැජ්ජා වෙන්න එයා කැමති නිසාද? ඒ සහෝදරයා ඒ විදිහට වැඩ කළේ තමන්ගේ රස්සාව නැති කරගන්න එයා කැමැත්තෙන් හිටපු නිසාද? නැහැ. එයාලා දැනන් හිටියා යෙහෝවා දෙවියන්ගේ උසස් ප්‍රමිති ගැන. එයාලට වැදගත් වුණේ දෙවියන් කැමති දේ කරන එකයි. දෙවියන් ගැන එයාලගේ හිතේ තිබුණ ආදරේ නිසා තීරණ ගද්දී එයාලා දෙවියන් කැමති දේට මුල් තැන දුන්නා. එයාලා විශ්වාසවන්ත අය කියලා ඔප්පු කරලා පෙන්නුවා.

විශ්වාසවන්තව ඉන්න එක වැදගත් ඇයි?

6. (අ) ඔයා විශ්වාසවන්තව ඉන්න එක වැදගත් ඇයි? (ආ) විශ්වාසවන්තව ඉන්න ආදම් සහ ඒවට බැරි වුණේ ඇයි?

6 අපි එක් එක් කෙනා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එක ඇයි එච්චරම වැදගත්? සාතන් යෙහෝවා දෙවියන්ට කරපු චෝදනාව ඔයාටත් අදාළයි. ඒදන් උයනේදී සාතන් යෙහෝවා දෙවියන් නරක, ආත්මාර්ථකාමී, වංක පාලකයෙක් කියලා අඟවලා දෙවියන්ගේ නමට මඩ ගැහුවා. ආදම් සහ ඒවත් සාතන්ගේ පැත්ත ගත්තා. (උත්. 3:1-6) ඒදන් උයනේ එයාලට හැම දෙයක්ම තිබුණා. දෙවියන් ගැන එයාලට තිබුණ ආදරේ තව වැඩි කරගන්න එයාලට ඕන තරම් හේතු තිබුණා. ඒත් සාතන්ගේ කැරැල්ලට ඒ දෙන්නා එකතු වුණ එකෙන් පේනවා ඒ වෙද්දී දෙවියන් ගැන එයාලට තිබුණේ නිකැළැල්, සම්පූර්ණ ආදරයක් නෙමෙයි කියලා. පස්සේ අවස්ථාවක සාතන් තවත් ප්‍රශ්නයක් මතු කළා. ඒ තමයි කිසිම මිනිසෙක් දෙවියන්ට තියෙන ආදරේ නිසා ඔහුට ළැදිව ඉඳියිද කියන ප්‍රශ්නය. වෙන විදිහකට කියනවා නම් සාතන් ඇහුවේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න මිනිසුන්ට පුළුවන්ද කියලයි. සාතන් ඒ ප්‍රශ්නේ මතු කළේ යෝබ් හා සම්බන්ධ සිද්ධියේදියි.

7. යෝබ් 1:8-11 සඳහන් වෙන විදිහට යෝබ් පෙන්නපු විශ්වාසවන්තකම ගැන යෙහෝවා දෙවියන්ට හැඟුණේ කොහොමද? ඒ ගැන සාතන්ට හැඟුණේ කොහොමද?

7 යෝබ් ජීවත් වුණේ ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ හිටපු කාලේ. ඒ කාලේ එයා පෙන්නුවා වගේ විශ්වාසවන්තකමක් වෙන කිසිම මිනිසෙක් පෙන්නුවේ නැහැ. එයා අතිනුත් අඩුපාඩුකම් වුණා. ඒත් එයා පෙන්නපු විශ්වාසවන්තකම නිසා දෙවියන් එයාට ආදරේ කළා. පේන විදිහට සාතන් ඒ වෙද්දීත් මිනිසුන් පෙන්නන විශ්වාසවන්තකම ගැන දෙවියන්ගෙන් ප්‍රශ්න කරලයි තිබුණේ. ඒ නිසා යෙහෝවා දෙවියන් සාතන්ට යෝබ්ව පෙන්නුවා. යෝබ් ජීවත් වුණ විදිහ නිසා සාතන් කියන්නේ බොරුවක් කියලා ඔප්පු වුණා. ඒත් සාතන් කිව්වා යෝබ්ගේ විශ්වාසවන්තකම සෝදිසි කරලා බලන්න තමන්ට ඉඩ දෙන්න කියලා. දෙවියන්ට තමන්ගේ යාළුවා ගැන ලොකු විශ්වාසයක් තිබුණ නිසා එයාව සෝදිසි කරලා බලන්න සාතන්ට ඉඩ දුන්නා.—යෝබ් 1:8-11 කියවන්න.

8. සාතන් යෝබ්ව සෝදිසි කළේ කොහොමද?

8 සාතන් කෲර මිනීමරුවෙක්. යෝබ්ට තිබුණ හැම ධන සම්පතක්ම, සමාජයේ එයාට තිබුණ හොඳ නම සාතන් නැති කළා. එයාගේ සේවකයන්ව මැරුවා. එයාගේ දරුවෝ 10දෙනාවත් මරලා දැම්මා. ඊටපස්සේ ඔළුවේ ඉඳන් යටිපතුල දක්වා වේදනාකාරී කුෂ්ඨයකින් එයාට පහර දුන්නා. වෙච්ච දේවල් නිසා ලොකු වේදනාවකින් හිටපු යෝබ්ගේ බිරිඳ යෝබ්ට කිව්වා දෙවියන්ට ශාප කරලා මැරෙන්න කියලා. මැරුණා නම් හොඳයි කියලා යෝබ්ටත් හිතුණා. ඒත් එයා දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. ඒ නිසා සාතන් වෙන විදිහකින් එයාගේ විශ්වාසවන්තකම කඩන්න හැදුවා. ඒකට සාතන් යෝබ්ගේ යාළුවෝ 3දෙනෙක්ව යොදාගත්තා. ඒ 3දෙනා දවස් ගාණක් තිස්සේ යෝබ්ව බලන්න ආවත් එයාට සැනසීමක් ගේන කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ වෙනුවට එයාලා කිව්වා යෝබ්ට වෙච්ච හැම දේම පිටිපස්සේ ඉන්නේ දෙවියන් කියලා. එයාගේ විශ්වාසවන්තකමින් දෙවියන්ට කිසිම වැඩක් නැහැ කියලත් එයාලා කිව්වා. යෝබ් දුෂ්ට නිසයි දුක් විඳින්නේ කියලත් එයාලා කිව්වා.—යෝබ් 1:13-22; 2:7-11; 15:4, 5; 22:3-6; 25:4-6.

9. පීඩා අද්දැක්කත් යෝබ් කළේ නැත්තේ මොකක්ද?

යෝබ් කියන්නෙත් පාපය උරුම කරගත්ත කෙනෙක්. ආපු පීඩා නිසා එයා කේන්තියෙන් යාළුවන්ට කතා කළා. එයා වියරු වැටුණු කෙනෙක් වගේ කතා කළා. දෙවියන්ගේ ධර්මිෂ්ඨකම ගැන කතා කරනවාට වඩා එයාගේ ධර්මිෂ්ඨකම ඔප්පු කරලා පෙන්නන්න එයා හැදුවා. (යෝබ් 6:3; 13:4, 5; 32:2; 34:5) ඒත් එයාගේ යාළුවෝ කියපු බොරු දේවල් එයා විශ්වාස කළේ නැහැ. යෝබ් එයාලට මෙහෙම කිව්වා. “ඔබ වැනි මනුෂ්‍යයන් ධර්මිෂ්ඨයන් කියා මා පවසන්නේ කෙසේද? එවැනි දෙයක් ගැන මට සිතාගන්නවත් නොහැකිය. මා අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි.” (යෝබ් 27:5) මොන දේ වුණත් දෙවියන්ව අත්හරින්න යෝබ් සූදානම් නැහැ කියලා ඒකෙන් තේරුණා. අපිටත් යෝබ්ව ආදර්ශයට ගන්න පුළුවන්.

10. සාතන් යෝබ් ගැන මතු කරපු ප්‍රශ්නේ අපිට අදාළ වෙන්නේ කොහොමද?

10 සාතන් යෝබ් ගැන මතු කරපු ප්‍රශ්නේ අපි එක් එක් කෙනාටත් අදාළයි. සාතන් ඔයා ගැනත් කියන්නේ ඔයා දෙවියන්ට ඇත්තටම ආදරේ නැහැ කියලයි. ඔයාගේ ජීවිතේ අනතුරේ තිබුණොත් ඒකෙන් බේරෙන්න දෙවියන්ට සේවය කරන එක වුණත් ඔයා අත්හරියි කියලත් සාතන් කියනවා. (යෝබ් 2:4, 5; එළි. 12:10) සාතන් එහෙම කියන එක ගැන ඔයාට දුකක් දැනෙයි. ඒත් මේ ගැන හිතන්න. ඔයාගේ විශ්වාසවන්තකම සෝදිසි කරන්න යෙහෝවා දෙවියන් සාතන්ට ඉඩ දීලා තියෙන්නේ ඔයා ගැන දෙවියන්ට ලොකු විශ්වාසයක් තියෙන නිසයි. දිගටම විශ්වාසවන්තව ඉඳලා සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න ඔයාට පුළුවන් කියලා දෙවියන්ට කිසිම සැකයක් නැහැ. දෙවියන් පොරොන්දු වෙනවා ඒ දේ කරන්න ඔයාට උදව් කරනවා කියලා. (හෙබ්‍රෙ. 13:6) මේ විශ්වයේ අධිපති දෙවියන්ගේ විශ්වාසය දිනාගන්න ලැබුණ එක කොච්චර වරප්‍රසාදයක්ද! විශ්වාසවන්තව ඉන්න එක වැදගත් ඇයි කියලා දැන් ඔයාට තේරෙනවාද? ඒකෙන් සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න පුළුවන් වගේම දෙවියන්ගේ නමට ගෞරවයක් ගේන්නත් අපි කැමති දෙවියන්ගේ පාලනයට කියලා පෙන්නන්නත් අපිට පුළුවන්. අපේ විශ්වාසවන්තකම රැකගන්නේ කොහොමද?

මේ කාලේදී අපේ විශ්වාසවන්තකම රැකගන්නේ කොහොමද?

11. යෝබ්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

11 මේ “අවසාන කාලයේදී” සාතන් දෙවියන්ගේ සේවකයන්ට තවත් වැඩියෙන් ප්‍රහාර එල්ල කරනවා. (2 තිමෝ. 3:1) දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා යෝබ්ගෙන් ඉගෙනගන්න පුළුවන්. සාතන් පීඩා ගේන්න කලින් ඉඳන්ම යෝබ් විශ්වාසවන්තව වැඩ කළා. යෝබ්ගෙන් අපි ඉගෙනගන්න පාඩම් 3ක් ගැන බලමු.

අපේ විශ්වාසවන්තකම රැකගන්න අපිට කරන්න පුළුවන් සමහර දේවල් මොනවාද? (12 ඡේදය බලන්න) *

12. (අ) යෝබ් 26:7, 8, 14 පෙන්නන විදිහට යෝබ් දෙවියන් ගැන ගරුබියක් ඇති කරගත්තේ කොහොමද? (ආ) ඒ දේ කරන්න අපිට පුළුවන් කොහොමද?

12 යෙහෝවා දෙවියන් ගැන යෝබ් ගරුබියක් ඇති කරගත්ත නිසා දෙවියන් ගැන තිබුණ ආදරේ වැඩි වුණා. දෙවියන්ගේ නිර්මාණ ගැන හිතන්න යෝබ් කාලේ ගත්තා. (යෝබ් 26:7, 8, 14 කියවන්න.) පොළොව, අහස, වලාකුළු, අකුණු ගැන හිතද්දී එයාට දෙවියන් ගැන ලොකු ගරුබියක් ඇති වුණා. එයා තේරුම්ගත්තා දෙවියන්ගේ නිර්මාණ ගැන එයා දන්නේ හරිම පොඩ්ඩයි කියලා. දෙවියන්ගේ මඟ පෙන්වීම් ගැනත් යෝබ්ට ලොකු අගයක් තිබුණා. ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. “මම ඔහුගේ ආඥා නිධානයක් මෙන් රැකගතිමි.” (යෝබ් 23:12) දෙවියන් ගැන ඇති වුණ ගරුබිය නිසා ඔහුට ආදරේ කරන්නත් ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙන්නත් යෝබ් පෙලඹුණා. දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න එයාට තිබුණ අධිෂ්ඨානය ඒකෙන් තව ශක්තිමත් වුණා. අපිත් යෝබ් වගේ වෙන්න ඕනේ. දෙවියන්ගේ නිර්මාණ ගැන එදාට වඩා අපිට දැනුමක්, අවබෝධයක් තියෙනවා. ඒ වගේම දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න උදව් කරන්න සම්පූර්ණ බයිබලේම අපිට තියෙනවා. ඒ විදිහට අපි දෙවියන් ගැන ඉගෙනගද්දී ඔහු ගැන අපිට ඇති වෙන්නේ ලොකු ගරුබියක්. ඔහුට ආදරේ කරන්නත් කීකරු වෙන්නත් ඒ ගරුබිය අපිව පොලඹවනවා. දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්න අපේ හිතේ තියෙන ආසාවත් තව වැඩි වෙනවා.—යෝබ් 28:28.

අඅසභ්ය දර්ශන බලන එක ප්රතික්ෂේප කරද්දී විශ්වාසවන්තව ඉන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් වෙනවා (13 ඡේදය බලන්න) *

13-14. (අ) යෝබ් කීකරුකම පෙන්නපු විදිහ යෝබ් 31:1 පැහැදිලි වෙන්නේ කොහොමද? (ආ) එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

13 දෙවියන්ට කීකරු වෙද්දී විශ්වාසවන්තව ඉන්න යෝබ් අරන් තිබුණ අධිෂ්ඨානය ශක්තිමත් වුණා. දිගටම විශ්වාසවන්තව ඉන්න නම් දෙවියන්ට කීකරු වෙන්න ඕනෙ කියලා යෝබ් දැනන් හිටියා. අපි දෙවියන්ට කීකරු වෙන හැම අවස්ථාවකදීම ඔහුට විශ්වාසවන්තව ඉන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් වෙනවා. ජීවිතේ එදිනෙදා කාරණාවලදී දෙවියන්ට කීකරු වෙන්න යෝබ් ලොකු වෑයමක් ගත්තා. උදාහරණෙකට වෙනත් ස්ත්‍රීන්ව ආශ්‍රය කරද්දී එයා හුඟක් සැලකිලිමත් වුණා. (යෝබ් 31:1 කියවන්න.) තමන්ගේ බිරිඳට හැර වෙනත් ස්ත්‍රීන්ට ආලවන්ත හැඟීම් පෙන්නන එක වැරදියි කියලා එයා දැනන් හිටියා. අද අපි ජීවත් වෙන සමාජයෙත් කාමුක හැඟීම් අවුස්සන හුඟක් දේවල් තියෙනවා. අපිත් අපේ සැමියාට, බිරිඳට හැර වෙන අයට ආලවන්ත හැඟීම් පෙන්නන්නේ නැතුව ඉන්න පරෙස්සම් වෙනවාද? කිසිම විදිහක අසභ්‍ය දර්ශනයක් නොබලා ඉන්න අපි අදිටන් කරගෙන ඉන්නවාද? (මතෙ. 5:28) අපි හැම දවසකම අපේ හැඟීම් පාලනය කරගන්න වෑයමක් දරනවා නම් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අරන් තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් වෙයි.

ධන සම්පත් ගැන දෙවියන් හිතන විදිහට හිතන්න පුරුදු වෙද්දී විශ්වාසවන්තව ඉන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් වෙනවා (14 ඡේදය බලන්න) *

14 ධන සම්පත් ගැන යෝබ් හිතපු විදිහෙනුත් එයා දෙවියන්ට කීකරු වෙන්න කැමතියි කියලා පැහැදිලි වුණා. ධන සම්පත් ගැන විශ්වාසය තියලා වැඩ කළොත් ඒක දෙවියන්ට විරුද්ධව කරන ද්‍රෝහිකමක් කියලා එයා තේරුම්ගත්තා. (යෝබ් 31:24, 25, 28) අද අපි ජීවත් වෙන්නෙත් හැම දෙයක්ම මුදල් මත තීරණය කරන සමාජයක. සල්ලි සහ බඩු මුට්ටු ගැන දෙවියන්ට හැඟෙන විදිහ තේරුම්ගන්න බයිබල් ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා. අපි ඒවාට කීකරු වෙනවා නම් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් වෙයි.—හිතෝ. 30:8, 9; මතෙ. 6:19-21.

අනාගත බලාපොරොත්තුව නිතරම මනසේ තියාගද්දී විශ්වාසවන්තව ඉන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් වෙනවා (15 ඡේදය බලන්න) *

15. (අ) දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න යෝබ්ට උදව් වුණේ මොකක්ද? (ආ) ඒ දේ අපිට උදව් වෙන්නේ කොහොමද?

15 දෙවියන් ආශීර්වාද කරයි කියන නිසැකකමින් හිටපු නිසා විශ්වාසවන්තව ඉන්න යෝබ්ට පුළුවන් වුණා. තමන් පෙන්නන විශ්වාසවන්තකම යෙහෝවා දෙවියන් හුඟක් අගය කරනවා කියලත් මොන පීඩා ආවත් දෙවියන් අන්තිමේදී තමන්ට ආශීර්වාද කරනවා කියලත් යෝබ් විශ්වාස කළා. (යෝබ් 31:6) දිගටම විශ්වාසවන්තව ඉන්න ඒක එයාට උදව් වුණා. යෝබ් පෙන්නපු විශ්වාසවන්තකම ගැන දෙවියන් කොච්චර සතුටු වුණාද කියනවා නම් එයාගේ ජීවිත කාලේදීම දෙවියන් එයාට හුඟක් ආශීර්වාද කළා. (යෝබ් 42:12-17; යාකො. 5:11) අනාගතයේදී ඊටත් වඩා ආශීර්වාද එයාට ලැබෙනවා. ඔයාගේ විශ්වාසවන්තකමට දෙවියන් ආශීර්වාද කරනවා කියලා ඔයාටත් නිසැකද? අපේ දෙවියන් වෙනස් වෙලා නැහැ. (මලා. 3:6) අපේ විශ්වාසවන්තකම ඔහු අගය කරනවා කියලා අපි මතකයේ තියාගන්නවා නම් අනාගතය ගැන බලාපොරොත්තුවෙන් ඉන්න අපිටත් පුළුවන්.—1 තෙස. 5:8, 9.

16. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

16 දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අදිටන් කරගන්න. සමහර වෙලාවට ඔයා තනි වෙලා කියලා ඔයාට දැනුණත් ලෝකේ පුරාම ඔයා වගේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න මිලියන ගාණක් ඉන්නවා කියලා මතක තියාගන්න. ඒ වගේම අතීතයේ දෙවියන්ට විශ්වාසවන්තව හිටපු ඔහුගේ සේවකයන් අතරට ඔයාත් එකතු වෙනවා. (හෙබ්‍රෙ. 11:36-38; 12:1) යෝබ් කිව්වේ “මම දෙවිට විශ්වාසවන්තව සිටිමි” කියලා. අපිත් විශ්වාසවන්තව ඉඳලා සදාකාලෙටම අපේ දෙවියන්ව ගෞරවයට පත් කරමු.

ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු

^ 5 ඡේ. විශ්වාසවන්ත කෙනෙක් කොයි වගේද? යෙහෝවා දෙවියන්ගේ සේවකයන් විශ්වාසවන්තව ඉද්දී ඔහු ඒක අගය කරන්නේ ඇයි? අපි එක් එක් කෙනා විශ්වාසවන්තව ඉන්න එක වැදගත් ඇයි? ඒ ප්‍රශ්නවලට බයිබලේ දෙන උත්තර ගැන මේ ලිපියේ කතා කරනවා. අපේ විශ්වාසවන්තකම හැම දවසකම තව වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපියෙන් බලනවා. අපි ඒක කරද්දී දෙවියන්ගෙන් ආශීර්වාද ලබාගන්න අපිට පුළුවන්.

^ 3 ඡේ. සතෙක් නිකැළැල් වෙන්න ඕනෙ කියලා විස්තර කරද්දී පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනය විශ්වාසවන්ත කෙනෙක්ව විස්තර කරද්දී පාවිච්චි කරන වචනයට සමානයි.

^ 50 ඡේ. පින්තූරවල අදහස: යෙහෝවා දෙවියන්ගේ නිර්මාණ ගැන තරුණ වයසේ ඉන්න යෝබ් එයාගේ දරුවන්ට කියලා දෙනවා.

^ 52 ඡේ. පින්තූරයේ අදහස: එකට වැඩ කරන අය අසභ්‍ය දර්ශන බලන්න කතා කළත් සහෝදරයෙක් ඒකට කැමති වෙන්නේ නැහැ.

^ 54 ඡේ. පින්තූරයේ අදහස: තමන්ට ඒ තරම් අවශ්‍යතාවක් නැති, මිල දී ගන්න හැකියාවකුත් නැති TV එකක් ගන්න කියලා බල කළත් ඒ සහෝදරයා ඒකට කැමති වෙන්නේ නැහැ.

^ 56 ඡේ. පින්තූරයේ අදහස: පාරාදීසයේ ජීවිතේ ගැන හිතන්න ඒ සහෝදරයා කාලේ ගන්නවා.