Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 8

පීඩා සතුටින් විඳදරාගන්න

පීඩා සතුටින් විඳදරාගන්න

“මාගේ සහෝදරයෙනි, ඔබට විවිධාකාර ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වන විට එය ප්‍රීතියක් ලෙස සලකන්න.”—යාකො. 1:2.

ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි

මේ ලිපියෙන් *

1-2. මතෙව් 5:11 අනුව පීඩා ගැන අපි හිතන්න ඕනෙ කොහොමද?

යේසුස්ගේ අනුගාමිකයන්ට නියම සතුට අද්දකින්න පුළුවන් කියලා යේසුස් පොරොන්දු වුණා. හැබැයි එයාලට පීඩා අද්දකින්න වෙනවා කියලත් ඔහු කිව්වා. (මතෙ. 10:22, 23; ලූක් 6:20-23) යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න ලැබුණු එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. හැබැයි පවුලේ අය අපිට විරුද්ධ වුණොත් බලධාරීන් පීඩා කළොත් ඉස්කෝලේ හරි වැඩපොළේ හරි අය වැරදි දෙයක් කරන්න අපිව පොලඹවන්න හැදුවොත් මොකද කරන්නේ? ඒ දේවල් ගැන හිතද්දීත් අපිට බයක් දැනෙන්න පුළුවන්.

2 පීඩාවලට මුහුණ දෙන්න වෙන එක සතුටක් නෙවෙයි. හැබැයි යේසුස් කිව්වා පීඩාවලට මුහුණ දෙද්දී සතුටු වෙන්න කියලා. (මතෙව් 5:11 කියවන්න.) යාකොබුත් කිව්වේ ඒකමයි. (යාකො. 1:2, 12) ඒත් පීඩාවලට මුහුණ දෙද්දී සතුටින් ඉන්න පුළුවන් කොහොමද? යාකොබ් ලියපු ලියුමෙන් ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. මුලින්ම මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන් මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද කියලා අපි බලමු.

මුල් ක්‍රිස්තියානීන් මුහුණ දීපු පීඩා

3. යාකොබ් ගෝලයෙක් වෙලා වැඩි කාලයක් යන්න කලින් මොකද වුණේ?

3 යාකොබ් යේසුස්ගේ ගෝලයෙක් වෙලා වැඩි කාලයක් යන්න කලින් යෙරුසලමේ ක්‍රිස්තියානීන් පීඩා රැල්ලකට මුහුණ දුන්නා. (ක්‍රියා 1:14; 5:17, 18) ස්තේපන්ගේ මරණයත් එක්කම කොයි තරම් පීඩා ආවාද කිව්වොත් සමහර ක්‍රිස්තියානීන් යුදය සහ සමාරිය පුරා විසිරිලා ගියා. තවත් අය සයිප්‍රසය, අන්තියෝකිය වගේ දුර ඈත පළාත්වලටත් ගියා. (ක්‍රියා 7:58–8:1; 11:19) ඒක එයාලට කොච්චර අමාරු කාලයක් වෙන්න ඇද්ද! ඒත් එයාලා ගිය ගිය හැම තැනකම උද්‍යෝගයෙන් දේශනා කළා. ප්‍රතිඵලයක් විදිහට රෝම අධිරාජ්‍යය පුරාම හුඟක් සභා පිහිටුවන්න එයාලට පුළුවන් වුණා. (1 පේතෘ. 1:1) හැබැයි පීඩා එතනින් නතර වුණේ නැහැ.

4. ක්‍රිස්තියානීන්ට මුහුණ දෙන්න වුණේ තව මොන වගේ දේවලටද?

4 ක්‍රිස්තියානීන්ට ආපු පීඩා එන්න එන්නම වැඩි වුණා. උදාහරණෙකට ක්‍රි.ව. 50දී විතර රෝම ආණ්ඩුකාරයා වුණු ක්ලෝදියස් නියෝග කළා රෝමයේ ඉන්න යුදෙව්වන් හැමෝම එහෙන් පිට වෙන්න කියලා. ඒ නිසා ගෙවල් දොරවල් අතහැරලා දාලා නන්නාඳුනන පැතිවල පදිංචි වෙන්න එයාලට සිද්ධ වුණා. (ක්‍රියා 18:1-3) ක්‍රි.ව. 61දී විතර පාවුල් ලියපු ලියුමක එයා සඳහන් කළා ඒ කාලේ හිටිය ක්‍රිස්තියානීන්ට නින්දා විඳින්න වුණා, එයාලව හිරේ දැම්මා, එයාලගේ දේපළ වස්තු කොල්ල කෑවා කියලා. (හෙබ්‍රෙ. 10:32-34) ඒ විතරක් නෙවෙයි අගහිඟකම්වලටත් අසනීපවලටත් එයාලට මුහුණ දෙන්න වුණා.—රෝම 15:26; ෆිලි. 2:25-27.

5. අපි උත්තර බලන්න යන්නේ මොන ප්‍රශ්නවලටද?

5 ක්‍රි.ව. 62ට කලින් යාකොබ් එයාගේ ලියුම ලියද්දී එයා හොඳින්ම දැනන් හිටියා ඒ කාලේ සහෝදරයන්ට මුහුණ දෙන්න වුණු පීඩා ගැන. පීඩා මැද්දේ වුණත් දිගටම සතුටින් ඉන්න උදව් වෙන මඟ පෙන්වීම් යෙහෝවා දෙවියන් යාකොබ් මාර්ගයෙන් ක්‍රිස්තියානීන්ට දැනුම් දුන්නා. යාකොබ් කතා කළේ මොන වගේ සතුටක් ගැනද? ඒ සතුට නැති වෙන්න පුළුවන් මොන දේවල් නිසාද? පීඩාවලට මුහුණ දෙද්දිත් දිගටම සතුටින් ඉන්න ප්‍රඥාව, විශ්වාසය සහ ධෛර්යය අපිට උදව් වෙන්නේ කොහොමද? ඒවාට උත්තර අපි යාකොබ්ගේ ලියුමෙන් බලමු.

නියම සතුට අද්දකින්න පුළුවන් කොහොමද?

කොච්චර වැස්සත් හුළං හැමුවත් ලන්තෑරුමක දැල්ල අඩු වෙන්නෙවත් නිවෙන්නෙවත් නැහැ. යෙහෝවා දෙවියන් නිසා අපි අද්දකින සතුටත් ඒ වගේ. කොච්චර පීඩා ආවත් ඒ සතුට නැති වෙන්නේ නැහැ (6 ඡේදය බලන්න)

6. ලූක් 6:22, 23 අනුව පීඩා මැද්දේ වුණත් ක්‍රිස්තියානීන්ට සතුටින් ඉන්න පුළුවන් ඇයි?

6 හුඟක් අය හිතන්නේ හොඳ ශරීර සෞඛ්‍යයක්, ඇති තරම් සල්ලිපනම්, හොඳ පවුල් බැඳීමක් තිබුණොත් තමයි සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි යාකොබ් කතා කළේ කෙනෙක් තුළ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන සතුට ගැන. (ගලා. 5:22) ඒ සතුට කෙනෙක්ට මුහුණ දෙන්න වෙන දේවල් නිසා වෙනස් වෙන්නේ නැහැ. ක්‍රිස්තියානියෙක් සතුටු වෙන්නේ තමන් යෙහෝවා දෙවියන්ව සතුටු කරනවා, යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරනවා කියලා එයා දැනන් ඉන්න නිසයි. (ලූක් 6:22, 23 කියවන්න; කොලො. 1:10, 11) ටිකකට හිතන්න ලන්තෑරුමක් ගැන. කොච්චර වැස්සත් හුළං හැමුවත් ඒකේ දැල්ල අඩු වෙන්නෙවත් නිමෙන්නෙවත් නැහැ. අපි අද්දකින සතුටත් ඒ දැල්ල වගේ. මොකද අපි අසනීප වුණත් අගහිඟකම්වලට මුහුණ දුන්නත් නින්දා අපහාසවලට මුහුණ දුන්නත් අනිත් අය අපිට විරුද්ධ වුණත් අපේ සතුට නැති වෙන්නේ නැහැ. අපිට විරුද්ධ වෙන අය අපිට පීඩා කරන තරමටම අපේ සතුටත් වැඩි වෙනවා. මොකද අපි දන්නවා අපිට පීඩාවලට මුහුණ දෙන්න වෙන්නේ අපි යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් නිසයි කියලා. (මතෙ. 10:22; 24:9; යොහ. 15:20) ඒ නිසයි යාකොබ් කිව්වේ “මාගේ සහෝදරයෙනි, ඔබට විවිධාකාර ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වන විට එය ප්‍රීතියක් ලෙස සලකන්න” කියලා.—යාකො. 1:2.

අපි මුහුණ දෙන පීඩා කඩුවක් රත් කරන ගින්දරවලට සමාන කරන්න පුළුවන් ඇයි? (7 ඡේදය බලන්න) *

7-8. ප්‍රශ්න ගැටලුවලට මුහුණ දේදී අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙන්නේ කොහොමද?

7 ක්‍රිස්තියානීන් පීඩාවලට සතුටින් මුහුණ දෙන තවත් හේතුවක් ගැන යාකොබ් මෙහෙම කිව්වා. “එයින් ඔබ තුළ තිබෙන විශ්වාසය සෝදිසියට ලක් වනු ඇත. එමගින් ඔබ තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වෙයි.” (යාකො. 1:3) ඒක තේරුම්ගන්න ටිකකට හිතන්න ශක්තිමත් කඩුවක් හදන විදිහ ගැන. මුලින්ම වානේ කෑල්ලක් හොඳට ගිනියම් කරලා හැඩේ හදාගත්තාට පස්සේ ඒක වතුරේ බස්සනවා. පීඩාවලට මුහුණ දෙද්දී අපිට වෙන්නෙත් ඒ වගේ දෙයක්. යාකොබ් කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි. එයින් ඔබට සෑම පැත්තකින්ම අඩුපාඩුවක් නැති, නිර්දෝෂ, අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකු බවට පත් විය හැක.” (යාකො. 1:4) පීඩා එද්දී අපේ විශ්වාසය තව ශක්තිමත් වෙනවා කියලා දැනෙද්දී සතුටින් විඳදරාගන්න අපිට පුළුවන් වෙනවා.

8 අපේ සතුට හොරාගන්න පුළුවන් අභියෝග ගැනත් යාකොබ් සඳහන් කළා. ඒ අභියෝග මොනවාද, ඒවා ජය ගන්න පුළුවන් කොහොමද කියලා දැන් අපි බලමු.

දිගටම සතුටින් ඉන්න නම් . . .

9. අපිට ප්‍රඥාව ඕනෙ වෙන්නේ ඇයි?

9 අභියෝගය: කරන්න ඕන දේ දන්නේ නැති එක. ප්‍රශ්නවලට මුහුණ දෙද්දී දෙවියන් සතුටු වෙන විදිහට, සහෝදරයන්ට ප්‍රයෝජනවත් වෙන විදිහට, අපේ විශ්වාසයට හානියක් නොවෙන විදිහට තීරණයක් ගන්න නම් අපිට යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් ඕනෙමයි. (යෙරෙ. 10:23) මිනිස්සු අපිට විරුද්ධ වෙද්දී කරන්න, කියන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න අපිට ප්‍රඥාව නැතුවම බැහැ. ඒ දේවල් ගැන දැනන් හිටියේ නැත්නම් අපි අසරණ වෙයි. අපි අධෛර්යය වෙලා අපේ සතුටත් නැති වෙයි.

10. ප්‍රඥාව ලබාගන්න අපි කරන්න ඕන දේ ගැන යාකොබ් 1:5 කියන්නේ මොනවාද?

10 විසඳුම: යෙහෝවා දෙවියන්ගෙන් ප්‍රඥාව ඉල්ලන්න. පීඩා සතුටින් විඳදරාගන්න නම් මුලින්ම අපි හරි තීරණ ගන්න ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරන්න ඕනේ. (යාකොබ් 1:5 කියවන්න.) අපි හිතන තරම් ඉක්මනින් දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ නැහැ කියලා හිතුණොත් මොකද කරන්නේ? යාකොබ් කිව්වේ “නොකඩවා දෙවිගෙන් ඉල්ලන්න” කියලයි. අපි දිගටම දෙවියන්ගෙන් ප්‍රඥාව ඉල්ලද්දී ඔහු ඒක කරදරයක් කියලා හිතන්නෙවත් අපි එක්ක කේන්තිගන්නෙවත් නැහැ. පීඩා විඳදරාගන්න අපි ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරද්දී අපේ ආදරණීය පියාණන් අදිමදි කරන්නේ නැතුව අපිට ප්‍රඥාව ලබා දෙනවා. (ගීතා. 25:12, 13) අපි විඳින හැම පීඩාවක්ම ඔහු දකිනවා. අපේ දුක ඔහුට දැනෙනවා. ඔහුට ඕනෙ අපිට උදව් කරන්න. ඒක අපේ සතුටට හේතුවක් නේද? ඔහු අපිට ප්‍රඥාව දෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු.

11. ප්‍රඥාව ලබාගන්න නම් අපි කරන්න ඕන තවත් දෙයක් මොකක්ද?

11 යෙහෝවා දෙවියන් බයිබලය මාර්ගයෙන් අපිට ප්‍රඥාව ලබා දෙනවා. (හිතෝ. 2:6) ඒ ප්‍රඥාව ලබාගන්න නම් බයිබලයත් ඒ මත පදනම් ප්‍රකාශනත් අධ්‍යයනය කරන්නම ඕනේ. හැබැයි එහෙම කරද්දී දැනුම රැස් කරගන්නවාට වඩා දෙයක් කරන්න ඕනේ. ඉගෙනගන්න දේවල් අදාළ කරගන්නත් ඕනේ. ඒ නිසයි යාකොබ් කිව්වේ “සවන් දෙන්නන් පමණක් නොවන්න. ඒ වෙනුවට දෙවිගේ වදන් පිළිපදින්නන් බවට පත් වන්න” කියලා. (යාකො. 1:22) දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගද්දී සාමකාමී, සාධාරණ, දයාවන්ත කෙනෙක් වෙන්න අපිට පුළුවන්. (යාකො. 3:17) ඕනෙම පීඩාවක් මැද වුණත් දිගටම සතුටින් ඉන්න ඒක උදව් වෙනවා.

12. අපි බයිබලය හොඳින් අධ්‍යයනය කරන එක වැදගත් ඇයි?

12 බයිබලය හරියට කැඩපතක් වගේ. අපේ අඩුපාඩු අඳුනගෙන ඒවා හදාගන්න ඒක අපිට උදව් වෙනවා. (යාකො. 1:23-25) උදාහරණෙකට බයිබලය අධ්‍යයනය කරද්දී සමහරවිට අපිට හිතෙයි ‘මට පොඩි දේටත් කේන්ති යනවානේ’ කියලා. ඒක තේරුම්ගත්තාම අනිත් අය එක්ක වැඩ කරද්දී, ප්‍රශ්නවලට මුහුණ දෙද්දී යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් ඉවසීමෙන් වැඩ කරන්න ඉගෙනගන්න අපිට පුළුවන් වෙනවා. වෙනදාට වඩා හොඳින් ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් තීරණයක් ගන්න කලින් හැම පැත්තක් ගැනම හිතලා බලන්නත් ඒක අපිට උදව් වෙනවා. (යාකො. 3:13) එහෙනම් අපි බයිබලය හොඳින් අධ්‍යයනය කරන එක කොච්චර වැදගත්ද?

13. බයිබල් ආදර්ශ ගැන අපි ඉගෙනගන්න ඕනෙ ඇයි?

13 සමහර වෙලාවට අපි පාඩමක් ඉගෙනගන්නේ අත පුච්චගෙනම තමයි. හැබැයි එහෙම වෙන්න ඕනෙ නැහැ. මොකද අනිත් අයගේ අද්දැකීම්වලින් උදාහරණෙකට එයාලා සාර්ථක වුණේ කොහොමද, එයාලට වැරදුණේ කොතනද කියලා දැනගද්දී අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. ඒ නිසයි ආබ්‍රහම්, රාහබ්, යෝබ් සහ එලියා වගේ අයගෙන් පාඩම් ඉගෙනගන්න කියලා යාකොබ් අපිව දිරිගන්වලා තියෙන්නේ. (යාකො. 2:21-26; 5:10, 11, 17, 18) අමාරුම අවස්ථාවලදී වුණත් එයාලා දෙවියන්ගේ උදව්වෙන් දිගටම සතුටින් ඒවාට මුහුණ දුන්නා. එයාලගේ අද්දැකීම් ගැන බලද්දී ඕනෙම පීඩාවක් සතුටින් විඳදරාගන්න යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම උදව් කරයි කියන නිසැකකම අපිට ඇති වෙනවා.

14-15. සැකයක් ඇති වුණොත් අපි ඒක නොසලකාහරින්න හොඳ නැත්තේ ඇයි?

14 අභියෝගය: සැක ඇති වෙන එක. සමහර වෙලාවට බයිබලයේ තියෙන දේවල් ගැන අපිට සැක ඇති වෙන්න පුළුවන්. නැත්නම් ‘අපි බලාපොරොත්තු වුණු විදිහට දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දුන්නේ නැහැනෙ’ කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ සැකයන් ඇති වුණොත් අපි ඒවා නොසලකාහරින්න හොඳ නැහැ. මොකද ඒකෙන් අපේ විශ්වාසයටත් යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමටත් හානියක් වෙන්න පුළුවන්. (යාකො. 1:7, 8) අන්තිමේදී අනාගතය ගැන අපිට තියෙන ලස්සන බලාපොරොත්තුවත් බොඳ වෙලා යයි.

15 පාවුල් කිව්වා අපේ බලාපොරොත්තුව හරියට නැංගුරමක් වගේ කියලා. (හෙබ්‍රෙ. 6:19) මොකද නැංගුරමකට පුළුවන් කුණාටුවකින් නැව ගහගෙන ගිහින් ගල්පරවල වැදිලා නැව විනාශ වෙන එකෙන් වළක්වගන්න. හැබැයි නැංගුරමකින් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ ඒක නැවට ගැටගහලා තියෙන දම්වැල් කැඩෙන්නේ නැතුව තිබුණොත් විතරයි. දම්වැල මලකඩ කෑවොත් ලේසියෙන්ම ඒක කැඩිලා යයි. විශ්වාසය ගැන අපේ හිතේ ඇති වෙන සැකයන් මලකඩවලට සමාන කරන්න පුළුවන්. ඒවා නොසලකාහැරියොත් අපේ විශ්වාසයට හානියක් වෙනවා. එහෙම වුණොත් පීඩා පරීක්ෂාවලට මුහුණ දෙන්න වෙද්දී යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඔහුගේ පොරොන්දු ඉටු කරනවා කියන එක ගැන අපිට තියෙන විශ්වාසය නැති වෙයි. අපේ විශ්වාසය නැති වුණාම අපේ බලාපොරොත්තුවත් නැති වෙනවා. ඒ නිසයි යාකොබ් කිව්වේ “සැක කරන පුද්ගලයා, සුළඟට ඒ මේ අත ගසාගෙන යන මුහුදු රැල්ලකට සමානයි” කියලා. (යාකො. 1:6) ඒ වගේ කෙනෙක්ට කවදාවත් සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ නැහැ.

16. සැක ඇති වුණොත් අපි කරන්න ඕනෙ මොනවාද?

16 විසඳුම: සැක දුරු කරගන්න. විශ්වාසය ශක්තිමත් කරගන්න. ඒක කරන්න කල් දාන්න එපා. එලියාගේ කාලෙත් සමහර අය දෙගිඩියාවෙන් හිටියා. ඒ නිසයි එලියා එයාලට මෙහෙම කිව්වේ. “ඔබ තව කොපමණ කල් දෙගිඩියාවෙන් ඉන්නද හදන්නේ? යෙහෝවා සැබෑ දෙවි බව ඔබට විශ්වාස නම් ඔහුට පමණක් සේවය කරන්න. නමුත් බාල් සැබෑ දෙවි කියා ඔබ සිතනවා නම් ඔබ ඔහුට සේවය කරන්න.” (1 රාජා. 18:21) අපි කරන්න ඕනෙත් ඒකමයි. බයිබලය හොඳින් අධ්‍යයනය කරලා යෙහෝවා තමයි සැබෑ දෙවියන්, බයිබලයේ තියෙන්නේ ඔහුගේ අදහස්, ඔහු තමන්ගේ සෙනඟ විදිහට තෝරගෙන තියෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව කියලා අපිටම තහවුරු කරගන්න ඕනේ. (1 තෙස. 5:21) සැක දුරු කරගන්නත් විශ්වාසය ශක්තිමත් කරගන්නත් ඒක උදව් වෙනවා. ඒකට උදව් ඕනෙ කියලා හිතුණොත් අපිට පුළුවන් වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්න. හැබැයි කල් දාන්නේ නැතුව ඒක කරන්න ඕනේ. මොකද එහෙම කළොත් විතරයි දිගටම සතුටින් දෙවියන්ට සේවය කරන්න අපිට පුළුවන් වෙන්නේ.

17. ධෛර්යය නැති වුණොත් මොනවා වෙන්න පුළුවන්ද?

17 අභියෝගය: අධෛර්යය වෙන එක. බයිබලයේ මෙහෙම කියනවා. “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය.” (හිතෝ. 24:10) “අධෛර්යයට පත් වෙනවා” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයට “ධෛර්යය නැති වෙනවා” කියන අදහසත් ඇතුළත් වෙනවා. ඔයාගේ ධෛර්යය නැති වුණොත් ඉක්මනින්ම ඔයාගේ සතුටත් නැති වෙලා යයි.

18. විඳදරාගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

18 විසඳුම: විඳදරාගන්න ඕන කරන ධෛර්යය දෙවියන්ගෙන් ඉල්ලන්න. විඳදරාගන්න නම් අපිට ධෛර්යය නැතුවම බැහැ. (යාකො. 5:11) ‘විඳදරාගැනීම’ කියන අදහස දෙන්න යාකොබ් යොදාගෙන තියෙන වචනයට කෙනෙක් තමන්ට අදාළ ස්ථානයේ නොසැලී ඉන්නවා කියන අදහසත් ඇතුළත්. ඒ ගැන හිතද්දී සතුරන් කොච්චර ප්‍රහාර එල්ල කළත් පැනලා යන්නේ නැතුව නොසැලී ධෛර්යවන්තව ඉන්න සෙබළෙක්ව අපේ මනසට එනවා.

19. පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

19 ධෛර්යය සහ විඳදරාගැනීම ගැන පාවුල් අපිට හොඳ ආදර්ශයක්. එයාත් දුර්වල වුණු අවස්ථා තිබුණා. හැබැයි එයා දෙවියන් මත රඳලා හිටිය නිසා විඳදරාගන්න ඕන කරන ශක්තිය එයාට ලැබුණා. (2 කොරි. 12:8-10; ෆිලි. 4:13) යෙහෝවා දෙවියන්ගේ උදව්ව අපිට ඕනෙමයි කියලා අපිත් නිහතමානීව පිළිගන්නවා නම් ඕනෙම පීඩාවක් දරාගෙන ධෛර්යවන්තව, ශක්තිමත්ව ඉන්න අපිට පුළුවන් වෙනවා.—යාකො. 4:10.

දෙවියන්ට ළං වෙලා දිගටම සතුටින් ඉන්න

20-21. අපිට නිසැක වෙන්න පුළුවන් මොනවා ගැනද?

20 අපි පීඩා විඳින්නේ යෙහෝවා දෙවියන් අපිට දඬුවම් කරන නිසා නෙවෙයි කියලා අපිට නිසැක වෙන්න පුළුවන්. යාකොබ් කියපු මේ දෙයින් ඒක හොඳින්ම පැහැදිලියි. “දුෂ්කරතා අද්දකින විට කිසි කෙනෙක්, ‘දෙවි මාව වරදකට හසු කරගන්න උත්සාහ කරනවා’ කියා කිසිසේත් නොපැවසිය යුතුයි. දෙවි ඉතා පරිශුද්ධ දෙවි කෙනෙක් බව මතක තබාගන්න. නපුරු දේ කරන්න ඔහුව පෙලඹවීමට කාටවත් බැරිය. ඔහුද නපුරු දේ කරන්න කිසි කෙනෙකුව පොලඹවන්නේ නැත.” (යාකො. 1:13) ඒ දේ ඇත්තක් කියලා අපිටම තහවුරු කරගද්දී දෙවියන් ගැන අපේ හිතේ තියෙන ආදරේ තවත් වැඩි වෙනවා.—යාකො. 4:8.

21 මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන්ට පීඩා විඳදරාගන්න උදව් කළා වගේ යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනාටත් උදව් කරනවා. මොකද ඔහු කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. (යාකො. 1:17) ඒ නිසා අපිට පුළුවන් ප්‍රඥාව, විශ්වාසය, ධෛර්යය වැඩි කරගන්න උදව් කරන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න. ඔහු අනිවාර්යයෙන්ම අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා. ඔයා එහෙම කරනවා නම් ඕනෙම පීඩාවක් සතුටින් විඳදරාගන්න ඔයාට පුළුවන් වෙයි.

ගීතිකාව 128 අවසානය දක්වා විඳදරාගන්න

^ 5 ඡේ. පීඩාවලට මුහුණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීම් ගොඩක් යාකොබ් පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒවායින් කීපයක් අපි මේ ලිපියෙන් බලමු. පීඩා විඳදරාගෙන දිගටම සතුටින් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඒ තොරතුරු අපිට උදව් වෙයි.

^ 59 ඡේ. පින්තූරයේ අදහස: පොලිස් නිලධාරීන් සහෝදරයෙක්ව එයාගේ ගෙදරදී අත්අඩංගුවට ගද්දී බිරිඳයි, දුවයි ඒ දිහා බලාගෙන ඉන්නවා. සහෝදරයා හිරේ ඉන්න කාලෙදී සභාවේ අය එයාලගේ ගෙදරට ඇවිත් එයාලා එක්ක යෙහෝවා දෙවියන්ට නමස්කාර කරනවා. අම්මායි, දුවයි පීඩා විඳදරාගන්න දිගටම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා. සන්සුන්ව, ධෛර්යවන්තව ඉන්න දෙවියන් එයාලට උදව් කරනවා. ඒ නිසා එයාලගේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් සතුටින් විඳදරාගන්නත් එයාලට පුළුවන් වෙනවා.