Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 6

‘ස්ත්‍රියකගේ හිස පුරුෂයායි’

‘ස්ත්‍රියකගේ හිස පුරුෂයායි’

‘ස්ත්‍රියකගේ හිස පුරුෂයායි.’—1 කොරි. 11:3.

ගීතිකාව 13 අපේ ආදර්ශකයාණන් වන යේසුස්

මේ ලිපියෙන් *

1. සහකරුවෙක්ව තෝරගද්දී සහෝදරියක් හිතලා බලන්න ඕනෙ මොනවා ගැනද?

අපි හැමෝම පරිපූර්ණ කෙනෙක් වන යේසුස්ගේ මූලිකත්වයට යටත්. හැබැයි සහෝදරියක් විවාහ වුණාට පස්සේ පව්කාරකම උරුම කරගෙන තියෙන එයාගේ සැමියාගේ මූලිකත්වයටත් යටත් වෙන්න වෙනවා. කොයි වෙලෙත් ඒක ලේසි වෙන එකක් නැහැ. ඒ නිසා විවාහ වෙන්න කෙනෙක්ව තෝරගන්න කලින් සහෝදරියක් මේ පැති ගැන හිතන එක හරිම වැදගත්. මේ සහෝදරයා වැඩ කරන විදිහෙන් පැහැදිලිව පේනවාද සැමියෙක්ට තියෙන වගකීම් හොඳින් ඉටු කරන්න එයාට පුළුවන් කියලා? එයා යෙහෝවා දෙවියන්ට ජීවිතේ මුල් තැන දීලා තියෙනවාද? එයා දැනටමත් ඒ දේවල් කරන්නේ නැත්නම් බැන්දාට පස්සේ කරයි කියලා හිතන්න පුළුවන්ද? හොඳ බිරිඳකට තියෙන්න ඕන ගුණාංග මං වර්ධනය කරගෙන තියෙනවාද? මට පොඩි දේටත් කේන්ති යනවාද? මං අනිත් අය වෙනුවෙන් දේවල් කරනවාද? මට යෙහෝවා දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙනවාද? (දේශ. 4:9, 12) සහෝදරියක් ඒ හැම පැත්තක් ගැනම හොඳට හිතලා තීරණයක් ගත්තොත් සතුටින් පිරුණු පවුල් ජීවිතයක් ගෙවන්න ඒක එයාට උදව් වෙයි.

2. මේ ලිපියෙන් අපි බලන්න යන්නේ මොනවා ගැනද?

2 සහෝදරියන් මිලියන ගාණක් කැමැත්තෙන්ම එයාලගේ සැමියාට කීකරු වෙනවා. දැන් අපි මේ ප්‍රශ්න තුනට උත්තර බලමු. (1) බිරිඳක් මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද? ඒ වගේ ආදර්ශවත් සහෝදරියන් ගැන අපි ගොඩක් සතුටු වෙනවා. (2) බිරිඳක් කැමැත්තෙන්ම සැමියාට යටත් වෙන්න ඕනෙ ඇයි? (3) මූලිකත්වයට යටත් වෙන එක ගැන යේසුස්ගෙන්, අබිගායිල්ගෙන් සහ මරියාගෙන් සැමියාටයි බිරිඳටයි ඉගෙනගන්න පුළුවන් මොනවාද?

බිරිඳක් මුහුණ දෙන අභියෝග

3. විවාහ වෙන හැමෝටම සමහර ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ ඇයි?

3 විවාහය කියන්නේ යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණු වටිනා තෑග්ගක්. ඒකේ කිසිම අඩුවක් නැහැ. එහෙනම් ‘විවාහ වන අයට ජීවිතේ වෙනත් ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා’ කියලා බයිබලේ කියන්නේ ඇයි? (1 කොරි. 7:28) ඒකට හේතුව මිනිසුන් හැමෝම පාපය උරුම කරගෙන තියෙන නිසයි. (1 යොහ. 1:8) බිරිඳකට මුහුණ දෙන්න වෙන අභියෝග කීපයක් ගැන දැන් අපි බලමු.

4. සැමියාට යටත් වෙන එක මදිපුංචිකමක් කියලා බිරිඳකට හිතෙන්න පුළුවන් ඇයි?

4 හැදුණු වැඩුණු පසුබිම නිසා බිරිඳකට හිතෙන්න පුළුවන් සැමියාට යටත් වෙන එක මදිපුංචිකමක් කියලා. ඇමරිකාවේ ඉන්න මාරිසෝල් මෙහෙම කියනවා. “අපිට ඉගැන්නුවේ පිරිමි අයට වගේම ගැහැනු අයටත් සම තැනක් ලැබෙන්න ඕනෙ කියලා. හැබැයි යෙහෝවා දෙවියන් කැමති මං සැමියාට යටත් වෙන එකට කියලත් බිරිඳක් විදිහට මටත් ඔහු පවුලේ ගෞරවනීය තැනක් දීලා තියෙනවා කියලත් මං දන්නවා. ඒත් සැමියාට යටත් වෙන්න ඕනෙ නැහැ කියලා හුඟක් අය කියද්දී එහෙම කරන එක ලේසි නැහැ.”

5. සමහර පිරිමි අයට ගැහැනු අය ගැන තියෙන්නේ මොන වගේ වැරදි අදහස්ද?

5 හැදුණු වැඩුණු පරිසරය නිසා පිරිමි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගැහැනු අය තමන්ට වඩා පහත් කියලා. දකුණු ඇමරිකාවේ ජීවත් වෙන සහෝදරි ඉවෝන් මෙහෙම කියනවා. “අපේ පැත්තේ නම් පිරිමි අය කෑවට පස්සේ තමයි ගැහැනු අය කන්නේ. පුංචි කාලෙදිම ගැහැනු දරුවන්ට උයන පිහන වැඩ, ගෙවල් අස්පස් කරන වැඩ භාර දෙනවා. හැබැයි පිරිමි ළමයින්ට නම් කිසිම වැඩක් දෙන්නේ නැහැ. අම්මායි, අක්කලායි, නංගිලායි එයාලට හැම දේම අතට පයට කරලා දෙනවා. එයාලට උගන්වන්නේ එයාලා තමයි ගෙදර රජා කියලා.” ආසියාවේ ජීවත් වෙන යිංලිං මෙහෙම කියනවා. “අපේ පැත්තේ අය හිතන්නේ ගැහැනු අය එච්චර දැන උගත් අය වෙන්න ඕනෙ නැහැ. එයාලට තියෙන්නේ ගෙදර දොරේ වැඩක් කරගෙන මහත්තයා කියන දේ අහගෙන ඉන්න විතරයි කියලා. ඒක මිනිසුන්ගේ හිත්වලට කොච්චර කාවැදිලා තියෙනවාද කිව්වොත් ඒ අදහස ගැන කියමනකුත් අපේ භාෂාවේ හැදිලා තියෙනවා.” ගැහැනු අයව පහත් කරලා සලකන සැමියෙක් එක්ක ජීවත් වෙන බිරිඳකට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්ද? ඒ විදිහට හැසිරෙන සැමියෙක් යේසුස්ව අනුගමනය කරනවා කියලවත් යෙහෝවා දෙවියන්ව සතුටු කරනවා කියලවත් කියන්න බැහැ.—එෆී. 5:28, 29; 1 පේතෘ. 3:7.

6. යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න බිරිඳක් කරන්න ඕනෙ මොනවාද?

6 පවුලේ අයට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න, එයාලට ආදරේ දැනෙන්න සලස්වන්න සහ ඕන කරන දේවල් ලබා දෙන්න වගකීම තියෙන්නේ සැමියාට කියලා අපි කලින් ලිපියෙන් බැලුවා. (1 තිමෝ. 5:8) හැබැයි විවාහ වෙලා ඉන්න අපේ සහෝදරියන් කොච්චර වැඩ තිබුණත් හැමදාම බයිබලේ කියවන්න, ඒ ගැන හොඳට හිතන්න වගේම මුළු හදවතින්ම යාච්ඤා කරන්න කාලය ගන්නම ඕනේ. ඒක අභියෝගයක් වෙන්න පුළුවන්. ඒත් එයාලා ඒ දේ කරන එක හරිම වැදගත්. මොකද අපි එක් එක් කෙනා යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගනියි කියලත් ඒක දිගටම පවත්වාගන්න උපරිමයෙන් වෑයම් කරයි කියලත් යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා.—ක්‍රියා 17:27.

7. සැමියාට ගරු කරන්නත් කීකරු වෙන්නත් බිරිඳකට උදව් වෙන්නේ එයා මොකක් තේරුම්ගත්තොත්ද?

7 සැමියා අතින් වැරදි වෙන නිසා එයාට යටත් වෙන එක බිරිඳට අභියෝගයක් වෙන්න පුළුවන්. හැබැයි සැමියාට යටත් වෙන්න කියලා යෙහෝවා දෙවියන් බිරිඳට කියන්නේ ඇයි කියන දේ එයා හොඳින් තේරුම්ගත්තොත් ඒක කරන්න එයාට ලේසි වෙනවා.

කැමැත්තෙන්ම සැමියාට යටත් වෙන්න ඕනෙ ඇයි?

8. එෆීස 5:22-24 කියන විදිහට බිරිඳ කැමැත්තෙන්ම සැමියාට යටත් වෙන්න ඕනෙ ඇයි?

8 බිරිඳක් කැමැත්තෙන්ම සැමියාට යටත් වෙද්දී යෙහෝවා දෙවියන් ඒ ගැන හුඟක් සතුටු වෙනවා. (එෆීස 5:22-24 කියවන්න.) අපේ ආදරණීය තාත්තා වන ඔහු අපිට ඕනම දෙයක් කරන්න කියලා කියන්නේ අපිට තියෙන ආදරේ නිසයි. ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නෙත් අපිටමයි.—ද්වි. 6:24; 1 යොහ. 5:3.

9. බිරිඳක් සැමියාගේ මූලිකත්වයට ගරු කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

9 බිරිඳ සැමියාට යටත් වෙන එක නින්දාවක් කියලයි හුඟක් අය කියන්නේ. මොකද අපේ දෙවි යෙහෝවා කොච්චර ආදරණීය කෙනෙක්ද කියලා එයාලා දන්නේ නැහැ. තමන්ගේ දුවලාට ගොඩක් ආදරේ කරන යෙහෝවා දෙවියන් කවදාවත් එයාලට නින්දාවක් වෙන දෙයක් කරන්න කියයි කියලා හිතන්න පුළුවන්ද? සහෝදරියක් දෙවියන්ට කීකරු වෙලා කැමැත්තෙන්ම සැමියාට යටත් වෙද්දී එයාට විතරක් නෙවෙයි සැමියාටත් දරුවන්ටත් ඒකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණෙකට පවුලේ හැමෝටම සතුටින් සාමයෙන් ඉන්න ඒක උදව් වෙනවා.—ගීතා. 119:165.

10. කැරල් කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 සැමියෙක් අතින් වැරදි අඩුපාඩු වෙද්දිත් කැමැත්තෙන්ම එයාට යටත් වෙන එකෙන් බිරිඳක් පෙන්නන්නේ එයා ඇත්තටම යෙහෝවා දෙවියන්ට ආදරෙයි, ඒ වගේම මූලිකත්වය ගැන දෙවියන් ඇති කරලා තියෙන සැලැස්මට එයා ගරු කරනවා කියලයි. දකුණු ඇමරිකාවේ ජීවත් වෙන කැරල් මෙහෙම කියනවා. “මගේ මහත්තයා අතින් වැරදි අඩුපාඩු වෙද්දිත් එයාට දිගටම යටත් වෙන්න මං උපරිමයෙන් වෑයම් කරනවා. මොකද හැම දේටම වඩා යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම මට ගොඩක් වටිනවා. මට ඕනෙ හැම දේකදිම මගේ ආදරණීය තාත්තාව සතුටු කරන්න.”

11. සමාව දෙන්න සහෝදරි ඇනීස්ට උදව් වෙලා තියෙන්නේ මොකක්ද? එයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11 තමන්ගේ හැඟීම් ගැන සැමියා සැලකිලිමත් නැහැ කියලා බිරිඳකට හැඟෙද්දී සැමියාට යටත් වෙන එක එයාට ලේසි නැහැ. සහෝදරි ඇනීස් කියන දේ බලන්න. “එහෙම වෙද්දී මං මතක් කරගන්නවා අපි කා අතිනුත් වැරදි වෙනවානෙ කියලා. ඒක මට උදව් වෙනවා කේන්ති ගන්නේ නැතුව ඉන්න. මට ඕනෙ යෙහෝවා දෙවියන් වගේ හදවතින්ම සමාව දෙන්න. එහෙම කරද්දී මගේ හිත සන්සුන් වෙනවා.” (ගීතා. 86:5) බිරිඳක් හදවතින්ම සමාව දෙනවා නම් අමාරුම අවස්ථාවලදී වුණත් සැමියාට යටත් වෙන්න එයාට පුළුවන් වෙනවා.

බයිබල් ආදර්ශවලින් ඉගෙනගමු

12. මූලිකත්වයට යටත් වෙන්නේ දුර්වල අයද? පැහැදිලි කරන්න.

12 සමහර අය හිතනවා මූලිකත්වයට යටත් වෙන්නේ දුර්වල අය කියලා. හැබැයි ඒක වැරදියි. මොකද එහෙම කරපු හුඟක් අය ගැන බයිබලේ සඳහන් වෙනවා. හැබැයි එයාලා දුර්වල අය නෙවෙයි. ඒ අයගෙන් තුන්දෙනෙක් තමයි යේසුස්, අබිගායිල් සහ මරියා. දැන් අපි එයාලා ගැන බලමු.

13. යේසුස් යෙහෝවා දෙවියන්ට යටත් වෙන්නේ ඇයි? පැහැදිලි කරන්න.

13 යේසුස් යෙහෝවා දෙවියන්ට යටත් වෙන්නේ ඔහු කිසිම හැකියාවක් බුද්ධියක් නැති කෙනෙක් නිසා නෙවෙයි. මොකද ගැඹුරු කාරණා වුණත් ඔහු සරලව පැහැදිලිව උගන්නපු විදිහෙන් තේරෙනවා ඔහු කොච්චර බුද්ධිමත් කෙනෙක්ද කියලා. (යොහ. 7:45, 46) යේසුස් කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා හොඳින්ම දැනගෙන හිටපු නිසා තමයි යෙහෝවා දෙවියන් විශ්වය නිර්මාණය කරන වැඩවලට හවුල් වෙන්න ඔහුට ඉඩ දුන්නේ. (හිතෝ. 8:30; හෙබ්‍රෙ. 1:2-4) ඒ විතරක් නෙවෙයි, යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ යෙහෝවා දෙවියන් ඔහුට ‘ස්වර්ගයෙත් පොළොවෙත් සියලු බලය’ දීලා තියෙනවා. (මතෙ. 28:18) යේසුස් කොච්චර බුද්ධිමත්, දක්ෂ කෙනෙක් වුණත් ඔහු දිගටම යෙහෝවා දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ලබාගන්නවා. මොකද ඔහු තමන්ගේ තාත්තාට ගොඩක් ආදරෙයි.—යොහ. 14:31.

14. (අ) යෙහෝවා දෙවියන් ස්ත්‍රීන්ට සලකන විදිහෙන් (ආ) හිතෝපදේශ 31න් සැමියෙක්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 සැමියාට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යෙහෝවා දෙවියන් බිරිඳගේ හිස විදිහට සැමියාව පත් කරලා තියෙන්නේ ඔහු ස්ත්‍රීන්ව පහත් කරලා සලකන නිසා නෙවෙයි. යේසුත් එක්ක රජකම් කරන්න ඔහු ස්ත්‍රීන්වත් තෝරගන්න එකෙන් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. (ගලා. 3:26-29) දෙවියන්ට යේසුස් ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසා ඔහු යේසුස්ට යම් අධිකාරියක් දීලා තියෙනවා. සැමියෙක්ටත් පුළුවන් තමන්ගේ බිරිඳට සමහර දේවල් විශ්වාසයෙන් භාර දෙන්න. ගුණවත් බිරිඳකට ගෙදරදොරේ වැඩ බලාගන්න, ඉඩකඩම් මිල දී ගන්න, ඒවා විකුණන්න, ව්‍යාපාර කටයුතුවල නියැලෙන්න වගේ දේවල් කරන්න පුළුවන් කියලා බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා. (හිතෝපදේශ 31:15, 16, 18 කියවන්න.) බිරිඳක් කියන්නේ සේවිකාවක් නෙවෙයි. සැමියාට එයා ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසා එයාගේ අදහස්වලට ඇහුම්කන් දෙනවා. (හිතෝපදේශ 31:11, 26, 27 කියවන්න.) සැමියෙක් ඒ විදිහට බිරිඳට සලකද්දී සතුටින් සැමියාගේ මූලිකත්වයට යටත් වෙන්න බිරිඳට පුළුවන් වෙනවා.

යේසුස් යෙහෝවා දෙවියන්ට යටත් වුණු එකෙන් බිරිඳකට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (15 ඡේදය බලන්න)

15. යේසුස්ගෙන් බිරිඳකට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 බිරිඳට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යේසුස් ගොඩක් දක්ෂ කෙනෙක් වුණත් ඔහු කවදාවත් හිතුවේ නැහැ යෙහෝවා දෙවියන්ගේ මූලිකත්වයට යටත් වෙන එක මදිපුංචිකමක් කියලා. (1 කොරි. 15:28; ෆිලි. 2:5, 6) ඒ වගේ යේසුස්ව ආදර්ශයට ගන්න දක්ෂ බිරිඳක් කවදාවත් හිතන්නේ නැහැ සැමියාගේ මූලිකත්වයට යටත් වෙන එක තමන්ට මදිපුංචිකමක් කියලා. ඒ වෙනුවට එයා සැමියාට උපරිමයෙන් සහයෝගය දෙනවා. එයා එහෙම කරන්නේ සැමියාට තියෙන ආදරය නිසා විතරක් නෙවෙයි. වෙන කිසිම කෙනෙකුට වඩා එයා යෙහෝවා දෙවියන්ට ආදරේ කරන නිසයි. ඒ වගේම ඔහු ඇති කරලා තියෙන මූලිකත්වය ගැන සැලැස්මට ගරු කරන නිසයි.

සේවකයන් මාර්ගයෙන් දාවිත්ට කෑම යැව්වාට පස්සේ අබිගායිල් දාවිත් ඉස්සරහට යනවා. එයා දණින් වැටිලා පළිගන්න එපා, එහෙම වුණොත් මිනී මැරීමේ වරදට දෙවියන්ට ගණන් දෙන්න වෙයි කියලා බැගෑපත්ව දාවිත්ට කියනවා (16 ඡේදය බලන්න)

16. 1 සාමුවෙල් 25:3, 23-28 අනුව අබිගායිල් මූණ දීපු අභියෝගය මොකක්ද? (කවරයේ පින්තූරය බලන්න.)

16 අබිගායිල් විවාහ වෙලා හිටියේ නාබල් එක්ක. නාබල් ආත්මාර්ථකාමී, උඩඟු, කිසිම කෙළෙහි ගුණක් නැති කෙනෙක්. ඒත් අබිගායිල් එයාගෙන් වෙන් වෙන එක ගැන හිතහිත හිටියේ නැහැ. එයා එහෙම හිතුවා නම් දාවිත් නාබල්ව මරන්න එනවා කියලා දැනගත්තාම සද්ද නොකර ඉන්න තිබුණා. ඒ වෙනුවට නාබල්වයි ගෙදර හිටපු අයවයි බේරගන්න එයා පුළුවන් හැම දේම කළා. ටිකකට හිතන්න, අවිආයුධ අරන් හිටිය පුරුෂයන් 400දෙනෙක් ඉස්සරහට ගිහින් දාවිත් එක්ක කතා කරන්න අබිගායිල්ට කොච්චර නිර්භීතකමක් ඕන වෙන්න ඇද්ද කියලා. සිද්ධ වුණු දේ ගැන එයා හරිම ගෞරවයෙන් දාවිත් එක්ක කතා කළා. වරද වුණේ තමන්ගේ සැමියා අතින් වුණත් අබිගායිල් ඒකට සමාව ඉල්ලුවා. (1 සාමුවෙල් 25:3, 23-28 කියවන්න.) අන්තිමේදී දාවිත් පිළිගත්තා තමන් අතින් වෙන්න තිබුණු බරපතළ වරදක් මඟහරවගන්න අබිගායිල්ව එව්වේ යෙහෝවා දෙවියන් කියලා.

17. දාවිත් සහ අබිගායිල්ගේ සිද්ධියෙන් සැමියෙක්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

17 සැමියාට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අබිගායිල් නුවණ ඇතිව වැඩ කළා. එයා දීපු උපදෙස්වලට දාවිත් බුද්ධිමත් විදිහට ඇහුම්කන් දීපු නිසා තමන් අතින් වෙන්න තිබුණු ලොකු විපතක් වළක්වගන්න එයාට පුළුවන් වුණා. ඒ වගේ බුද්ධිමත් විදිහට වැඩ කරන සැමියෙක් වැදගත් තීරණයක් ගන්න කලින් බිරිඳගේ අදහස්වලට ඇහුම්කන් දෙනවා. සමහරවිට වැරදි තීරණයක් නොගෙන ඉන්න ඒක එයාට උදව් වෙයි.

18. අබිගායිල්ගෙන් බිරිඳකට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

18 බිරිඳට ඉගෙනගන්න පුළුවන් මොනවාද? සත්‍යයේ නැති එහෙමත් නැත්නම් සත්‍යයේ හිටියත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නේ නැති සැමියෙක්ගේ වුණත් මූලිකත්වයට බිරිඳ යටත් වෙනවා නම් ඒකෙන් පවුලේ අයට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. ඒ වගේ බිරිඳක් දික්කසාද වෙන්න හේතු හොයන්නේ නැහැ. ඒ වෙනුවට දිගටම සැමියාට ගෞරවයෙන් සලකනවා, කීකරු වෙනවා. එයා උපරිමයෙන් වෑයම් කරන්නේ යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න සැමියාට ආසාවක් ඇති කරන්නයි. (1 පේතෘ. 3:1, 2) එහෙම කරලත් සැමියා පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැත්නම් මොකද කරන්නේ? එයා ඒ ගැන දුක් වෙන්න ඕනෙ නැහැ. මොකද ඒ විදිහට වැඩ කරන බිරිඳක්ව යෙහෝවා දෙවියන් ගොඩක් අගය කරනවා.

19. සැමියාගේ මූලිකත්වයට යටත් වෙන බිරිඳක් සැමියාට කීකරු වෙන්නේ නැත්තේ මොන අවස්ථාවලදීද?

19 සැමියාගේ මූලිකත්වයට යටත් වෙන බිරිඳක් බයිබල් ප්‍රතිපත්ති කඩ වෙන දෙයක් සැමියා කරන්න කියලා කියද්දී ඒකට කීකරු වෙන්නේ නැහැ. උදාහරණෙකට බොරු කියන්න, හොරකම් කරන්න වගේ යෙහෝවා දෙවියන් කැමති නැති දෙයක් කරන්න කියලා සැමියා කිව්වොත් බිරිඳ ඒකට කීකරු වෙන්නේ නැහැ. විවාහක සහෝදරියන් ඇතුළු ක්‍රිස්තියානීන් හැමෝම මතක තියාගන්න ඕනෙ එයාලා මුලින්ම කීකරු වෙන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට කියලා. බයිබල් ප්‍රතිපත්ති කඩ වෙන දෙයක් කරන්න කියලා සැමියා කිව්වොත් ඒක කරන්න බැහැ කියලත් ඒ ඇයි කියලත් බිරිඳ එයාට කාරුණිකව පැහැදිලිව කියන්න ඕනේ.—ක්‍රියා 5:29.

20 ඡේදය බලන්න *

20. මරියාට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තිබුණා කියලා කියන්න පුළුවන් ඇයි?

20 මරියාට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තිබුණා. එයාට ශුද්ධ ලියවිල්ල ගැනත් හොඳ අවබෝධයක් තිබුණා. මරියා එලිසබෙත්ව බලන්න ගිය වෙලාවේ හෙබ්‍රෙව් ලියවිල්ලෙන් 20වතාවකට වඩා උපුටලා දක්වපු එකෙන් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. (ලූක් 1:46-55) ඒ විතරක් නෙවෙයි මරියා යේසුස්ව බිහි කරනවා කියන පණිවිඩය දෙවියන් දැනුම් දෙද්දී මරියා යෝසෙප් එක්ක විවාහ ගිවිසගෙනයි හිටියේ. හැබැයි දේවදූතයා ඒ පණිවිඩය මුලින්ම දැනුම් දුන්නේ යෝසෙප්ට නෙවෙයි මරියාට. (ලූක් 1:26-33) ඒකෙන් පැහැදිලි වෙනවා මරියා තමන්ගේ පුතාව ආදරෙන් රැකබලා ගනියි කියන විශ්වාසය යෙහෝවා දෙවියන්ට තිබුණා කියලා. යේසුස් මිය ගිහින් ස්වර්ගයට ගියාට පස්සෙත් මරියාට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තිබුණා කියන එක ගැන අපිට කිසිම සැකයක් නැහැ.—ක්‍රියා 1:14.

21. මරියා ගැන බයිබලේ සඳහන් තොරතුරුවලින් සැමියෙක්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

21 සැමියාට ඉගෙනගන්න පුළුවන් මොනවාද? තමන්ගේ බිරිඳට ශුද්ධ ලියවිල්ල ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් බුද්ධිමත් සැමියෙක් ඒක තමන්ට නින්දාවක් කියලවත් බිරිඳ තමන්ගේ තැන ගන්න හදනවා කියලවත් හිතන්නේ නැහැ. ඒ වෙනුවට එයා හදවතින්ම ඒ ගැන සතුටු වෙනවා. මොකද එයා දන්නවා ඒ වගේ බිරිඳක් මුළු පවුලටම ගොඩක් වටිනවා කියලා. සමහර පවුල්වල සැමියාට වඩා හොඳ අධ්‍යාපනයක් බිරිඳ ලබලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වුණත් පවුලේ නමස්කාර කටයුතුවලදී කොයි වෙලෙත් මූලිකත්වය ගන්න ඕනෙ සැමියා කියලා අමතක කරන්න එපා.—එෆී. 6:4.

පෞද්ගලික අධ්‍යයනය ගැන මරියාගෙන් බිරිඳකට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (22 ඡේදය බලන්න) *

22. මරියාගෙන් බිරිඳකට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

22 බිරිඳට ඉගෙනගන්න පුළුවන් මොනවාද? බිරිඳක් මතක තියාගන්න ඕනෙ තමන්ට යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න වගකීම පැවරිලා තියෙන්නේ තමන්ටමයි කියන දේ. (ගලා. 6:5) ඒ දේ කරන්න නම් එයා පෞද්ගලික අධ්‍යයනය කරන්න වෙලාවක් වෙන් කරගන්නම ඕනේ. දිගටම යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්නත් කැමැත්තෙන්ම සැමියාගේ මූලිකත්වයට යටත් වෙන්නත් ඒක එයාට උදව් වෙනවා.

23. කැමැත්තෙන්ම සැමියාගේ මූලිකත්වයට යටත් වෙද්දී ඒකෙන් බිරිඳට පවුලේ අයට සහ සභාවේ අයට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

23 සැමියාගේ මූලිකත්වයට යටත් වෙන්නේ නැති බිරිඳකට වඩා වෙනස්ව යෙහෝවා දෙවියන්ට තියෙන ආදරේ නිසා කැමැත්තෙන්ම සැමියාට යටත් වෙන බිරිඳක් ලොකු සතුටක් අද්දකිනවා. ඒ වගේම පවුලෙත් සභාවෙත් සාමයට දායක වෙන්නත් එයාට පුළුවන් වෙනවා. ඒ වගේ කෙනෙක් තරුණ තරුණියන්ට කදිම ආදර්ශයක්. (තීත. 2:3-5) අද ලෝකෙ පුරාම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන අය අතරේ වැඩිහරියක් ඉන්නේ සහෝදරියන්. (ගීතා. 68:11) අපි ගැහැනු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් සභාවේ අපි හැමෝටම වැදගත් වැඩ කොටසක් පැවරිලා තියෙනවා. ඒක හොඳින් ඉටු කරන්න පුළුවන් කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 131 ‘දෙවි එක් කළ දේ වෙන් නොකළ යුතුයි’

^ 5 ඡේ. මූලිකත්වය ගැන සැලැස්මක් ඇති කරපු යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා බිරිඳක් සැමියාට යටත් වෙයි කියලා. සැමියාට යටත් වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? මූලිකත්වයට යටත් වෙන එක ගැන යේසුස්ගෙන් සහ බයිබලේ සඳහන් කාන්තාවන් දෙන්නෙක්ගෙන් සැමියාටයි බිරිඳටයි ඉගෙනගන්න පුළුවන් මොනවාද?

^ 68 ඡේ. පින්තූරයේ අදහස: එලිසබෙත් එක්ක කතා කරද්දී හෙබ්‍රෙව් ලියවිල්ලේ තිබුණු තොරතුරු මතකයෙන් කියන්න මරියාට පුළුවන් වුණා.

^ 70 ඡේ. පින්තූරයේ අදහස: බිරිඳක් යෙහෝවා දෙවියන් එක්ක දිගටම කිට්ටු බැඳීමක් පවත්වාගන්න පෞද්ගලික අධ්‍යයනය කරනවා.