Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 7

‘ප්‍රඥාවන්තයාගේ වදන්වලට සවන් දෙන්න’

‘ප්‍රඥාවන්තයාගේ වදන්වලට සවන් දෙන්න’

“ප්‍රඥාවන්තයාගේ වදන් දෙසට ඔබේ කන් යොමු කර මා දෙන දැනුම සිතට ගන්න.”—හිතෝ. 22:17.

ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

මේ ලිපියෙන් *

1. අපිට උපදෙස් ලැබෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? අපි හැමෝටම උපදෙස් ඕනෙ ඇයි?

කාලෙන් කාලෙට අපි හැමෝටම උපදෙස් ඕනේ. සමහර වෙලාවට අද්දැකීම් තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා අපිම අපේ දියුණු වෙන්න ඕනෙ පැත්තක් ගැන එයාගෙන් අහනවා. තවත් අවස්ථාවලදී අපි යම් “වැරදි පියවරක්” ගන්නවා දැක්කාම අපිට කිට්ටු කෙනෙක් අපිව ඒකෙන් ආරක්ෂා කරන්න අපිට උපදෙස් දෙන්න පුළුවන්. (ගලා. 6:1) එහෙමත් නැත්නම් අපි බරපතළ වරදක් කළාම ටිකක් තදින් අපිව නිවැරදි කරන අවස්ථා තියෙන්නත් පුළුවන්. ඒ මොන විදිහකින් අපිට උපදෙස් ලැබුණත් අපි ඒවාට කීකරු වෙන්න ඕනේ. මොකද උපදෙස්වලට පුළුවන් අපේ ජීවිත ආරක්ෂා කරන්න.—හිතෝ. 6:23.

2. හිතෝපදේශ 12:15 කියන විදිහට අපි උපදෙස්වලට ඇහුම්කන් දෙන්න ඕනෙ ඇයි?

2 මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදයේ මෙහෙම කියනවා. “ප්‍රඥාවන්තයාගේ වදන් දෙසට ඔබේ කන් යොමු කරන්න.” (හිතෝ. 22:17) අපි කිසිම කෙනෙක් හැම දේම දන්නේ නැහැ. අපිට වඩා අද්දැකීම් තියෙන, දැනුම තියෙන අය ඕන තරම් ඉන්නවා. (හිතෝපදේශ 12:15 කියවන්න.) අනිත් අයගේ උපදෙස් පිළිගන්නවා කියන්නේ අපි නිහතමානී කියන එකයි. මොකද නිහතමානී කෙනෙක් තමයි තේරුම්ගන්නේ එයාට සීමාවන් තියෙනවා කියලා. ඒ නිසා සමහර අවස්ථාවලදී එයාට අනිත් අයගේ උදව් ඕනෙ කියලා එයා දන්නවා. සලමොන් කොච්චර ප්‍රඥාවන්ත වුණත් එයාත් කිව්වේ “උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි” කියලා.—හිතෝ. 15:22.

ඔයාට වැඩියෙන්ම පිළිගන්න අමාරු මොන විදිහට උපදෙස් ලැබුණාමද? (3 සහ 4 ඡේද බලන්න)

3. අපිට උපදෙස් ලැබෙන විදි දෙකක් කියන්න.

3 සමහර උපදෙස් අපිට කෙළින්ම ලැබෙන ඒවා. හැබැයි තවත් ඒවා එහෙම නැහැ. හිතන්න ඔයා බයිබලේ කියවද්දී ප්‍රකාශනයක් කියවද්දී සමහර වෙලාවට ටිකක් නැවතිලා ඒ ගැන හිතනවා. ඊටපස්සේ ඒ දේවල් ඔයාගේ ජීවිතේට අදාළ කරගන්නවා. (හෙබ්‍රෙ. 4:12) ඒක ඔයාට කෙළින්ම ලැබෙන්නේ නැති උපදෙසක් කියලා කියන්න පුළුවන්. හැබැයි හිතන්න වැඩිමහල්ලෙක් නැත්නම් වගකීම් දරන සහෝදරයෙක් ඔයා හදාගන්න ඕනෙ පැත්තක් ගැන ඔයාට කියනවා කියලා. ඒක ඔයාට කෙළින්ම ලැබෙන උපදෙසක් කියලා කියන්න පුළුවන්. කෙනෙක් ඔයාට ඒ වගේ උපදෙසක් දෙන්නේ ඔයාට ආදරේ නිසා. එහෙමනම් ඒ උපදෙස හිතට අරන් ඒකට කීකරු වෙන එක කොච්චර වටිනවාද!

4. දේශනාකාරයා 7:9 කියන විදිහට උපදෙසක් ලැබෙද්දී අපි කරන්න හොඳ නැත්තේ මොකක්ද?

4 ගොඩක් වෙලාවට කෙනෙක් ඇවිත් උපදෙසක් දෙද්දී ඒක පිළිගන්න අපිට අමාරුයි. තිත්ත වුණත් ඒක තමයි ඇත්ත. සමහර වෙලාවට ඒ ගැන අපිට කේන්තිත් යනවා. ඇයි ඒ? ඇත්ත, අපි පිළිගන්නවා අපි පාපය උරුම කරගත්ත අය කියලා. හැබැයි කෙනෙක් අපේ වැරැද්දක් ගැන නිශ්චිතව පෙන්නලා දෙද්දී ඒක දරාගන්න අපිට අමාරුයි. (දේශනාකාරයා 7:9 කියවන්න.) ඒ වගේ වෙලාවලදී අපි නිදහසට කරුණු කියන්න පෙලඹෙනවා. උපදෙස දුන්න කෙනාගේ චේතනාව ගැන, උපදෙස දුන්න විදිහ ගැන ප්‍රශ්න කරන්නත් පෙලඹෙනවා. සමහරවිට අපිට මෙහෙම හිතෙන්නත් පුළුවන්. ‘එයා කවුද මට උපදෙස් දෙන්න? මට උපදෙස් දෙන්න කලින් එයා එයාගේ වැරදි හදාගන්න එපැයි.’ ඒ විදිහට හිතෙන නිසා අන්තිමට මොකද වෙන්නේ? ඒ ලැබෙන උපදෙස පිළිගන්නේ නැතුව කනට මිහිරි උපදෙසක් දෙන කෙනෙක් ළඟට යන්න අපි පෙලඹෙන්න පුළුවන්.

5. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

5 උපදෙස් පිළිගත්ත අයගේ ආදර්ශත් උපදෙස් පිළිගත්තේ නැති අයගේ අවාදර්ශත් බයිබලේ සඳහන් වෙනවා. ඒ වගේ කීපදෙනෙක් ගැන අපි මේ ලිපියෙන් බලමු. ඒ වගේම උපදෙස් පිළිගන්න අපිට උදව් වෙන්නේ මොනවාද කියන එක ගැනත් ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනත් අපි බලමු.

එයාලා උපදෙස් කනකටවත් ගත්තේ නැහැ

6. රෙහබෝවම් ලැබුණු උපදෙස්වලට ප්‍රතිචාර දක්වපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6රෙහබෝවම් රජ ගැන අපි ටිකක් බලමු. එයා ඊශ්‍රායෙලයේ රජ වුණාට පස්සේ මිනිස්සු ඇවිල්ලා එයාගෙන් ඉල්ලුවා එයාගේ තාත්තා, ඒ කියන්නේ සලමොන් රජ පටවපු බර ඉවත් කරලා එයාලට සහනයක් ලබා දෙන්න කියලා. ඒ වෙලාවේ රෙහබෝවම් රජ හරිම ඥානවන්ත දෙයක් කළා. එයා ගිහිල්ලා ඒ ගැන වැඩිමහල්ලන්ගෙන් ඇහුවා. වැඩිමහල්ලෝ කිව්වා ‘මිනිස්සු කියපු විදිහටම එයාලගේ බර සැහැල්ලු කළොත් ඔයාට හැමදාටම මිනිසුන්ගේ සහයෝගය ලැබෙයි’ කියලා. (1 රාජා. 12:3-7) පේන විදිහට මේ ලැබුණු උපදෙසට නම් රෙහබෝවම් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි එයා ඒ ගැන එයාත් එක්ක හැදුණු වැඩුණු යාළුවන්ගෙන් ඇහුවේ. රෙහබෝවම්ගේ යාළුවෝ ගොඩක් වෙලාවට අවුරුදු 40 ගණන්වල ඉන්න ඇති. ඒ කියන්නේ එයාලටත් ජීවිතේ යම් අද්දැකීම් තිබුණා. (2 ලේක. 12:13) හැබැයි මේ වෙලාවේ එයාලා දුන්නේ හරි උපදෙස නෙවෙයි. එයාලා රෙහබෝවම්ට කිව්වා මිනිස්සු පිට තවත් බර පටවන්න කියලා. (1 රාජා. 12:8-11) ඉතින් රෙහබෝවම් ඉස්සරහා තීරණ දෙකක් තිබුණා. ඒ දෙකෙන් රෙහබෝවම් මොන තීරණය ගනියිද? හරි නම් ඒ වෙලාවේ රෙහබෝවම් කරන්න ඕනෙ යෙහෝවාගෙන් මඟ පෙන්වීමක් ඉල්ලලා ඔහුට යාච්ඤා කරන එකයි. හැබැයි එයා අර වැඩිමහල්ලන් කිව්ව උපදෙස කනකටවත් ගන්නේ නැතුව යාළුවෝ කියපු කනට මිහිරි උපදෙසට ඇහුම්කන් දුන්නා. අන්තිමට මොකද වුණේ? එයා කරපු දේ නිසා එයාට විතරක් නෙවෙයි මුළු ඊශ්‍රායෙල් ජාතියටම වුණේ ලොකු හානියක්. ඒ වගේම එයාට මිනිස්සුන්ගේ සහයෝගය ලැබුණෙත් නැහැ. මොකක්ද අපි මේකෙන් ඉගෙනගන්නේ? සමහරවිට අපිට ලැබෙන්නේ අපි අහන්න ආස, අපේ කනට මිහිරි උපදෙස් නෙවෙයි. හැබැයි ඒ උපදෙස් ලැබෙන්නේ බයිබල් ප්‍රතිපත්ති මත පදනම් වෙලා නම් අපි ඒවාට අනිවාර්යයෙන් කීකරු වෙන්න ඕනේ.

7. උසියා රජගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 දැන් අපි උසියා රජ ගැන බලමු. දවසක් එයා දේවමාලිගාවට ඇතුල් වෙලා පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න හැදුවා. ඒත් ඒකට අවසර තිබුණේ දෙවියන්ගේ පූජකයන්ට විතරයි. ඒ නිසා එයාලා ඇවිත් උසියා රජුට මෙහෙම කිව්වා. “රජ්ජුරුවනි, මොකක්ද ඔබ මේ කළේ? යෙහෝවා දෙවිට සුවඳ ද්‍රව්‍ය ඔප්පු කිරීම ඔබේ වගකීමක් නෙමෙයි. ඒක පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට විතරක් පැවරී තිබෙන වගකීමක්.” රජ ඒ උපදෙස් පිළිගත්තාද? පිළි අරන් ඒ වෙලාවෙම එතනින් ගියා නම් සමහරවිට යෙහෝවා එයාට සමාව දෙන්න තිබුණා. හැබැයි මොකද වුණේ? ඒ උපදෙස් කනකටවත් ගන්නේ නැතුව ඒ ගැන එයා ‘ගොඩක් කේන්ති ගත්තා.’ ඇයි ඒ? සමහර වෙලාවට එයාට මෙහෙම හිතෙන්න ඇති. ‘මමයි රජ. මං කරන්නේ මට ඕන දේ.’ උසියා හිතපු විදිහ ගැන යෙහෝවා දෙවියන් නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. එයා වැඩ කරපු විදිහ නිසා යෙහෝවා එයාට දඬුවම් කළා. එයාට ‘මැරෙන කල්ම ජීවත් වෙන්න වුණේ ලාදුරු රෝගියෙක් විදිහට.’ (2 ලේක. 26:16-21) මොකක්ද පාඩම? අපි කවුරු වුණත් මොන වගකීම දැරුවත් බයිබල් ප්‍රතිපත්ති මත පදනම් උපදෙසකට අපි අකීකරු වෙනවා නම් අපිටත් දෙවියන්ගේ අනුමැතිය නැති වෙයි.

එයාලා කැමැත්තෙන්ම උපදෙස් පිළිගත්තා

8. උපදෙස් ලැබෙද්දී යෝබ් මොනවාද කළේ?

8 උපදෙස් ලැබෙද්දී නිහතමානී වෙලා ඒවා පිළිගත්ත අය ගැනත් බයිබලේ කතා කරලා තියෙනවා. ඒ වගේ කෙනෙක් තමයි යෝබ්. යෝබ් කියන්නේ යෙහෝවාට ගොඩක් ආදරේ කරපු ඔහුගේ හිත සතුටු කරන්න කැමති වුණ කෙනෙක්. හැබැයි එයා පරිපූර්ණ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ලොකු පීඩනයක් එද්දී එයාත් සමහර දේවල් ගැන වැරදි විදිහට හිතන්න පටන්ගත්තා. ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් සහ එලිහු එයා හිතන විදිහ වැරදියි කියලා එයාට කෙළින්ම කිව්වා. එතකොට යෝබ් මොනවාද කළේ? එයා නිහතමානී වෙලා අදිමදි නොකර ඒ උපදෙස් පිළිගත්තා. ඒ නිසයි එයා මෙහෙම කිව්වේ. ‘මා කතා කළේ කිසි අවබෝධයක් නැතුවය. මම කලින් පැවසූ සියල්ල ගැන පසුතැවෙමි. මම දූවිලි හා අළු මත හිඳ මාගේ වරද ගැන දුක් වෙමි.’ නිහතමානී වෙලා ලැබුණු උපදෙස්වලට කීකරු වුණ නිසා යෙහෝවා දෙවියන් යෝබ්ට ගොඩක් ආශීර්වාද කළා.—යෝබ් 42:3-6, 12-17.

9. දෙවියන් මෝසෙස්ව නිවැරදි කළාම එයා කළේ මොනවාද? මෝසෙස් අපිට හොඳ ආදර්ශයක් වෙන්නේ ඇයි?

9 උපදෙස්වලට කීකරු වෙන එක ගැන අපිට මෝසෙස්ගෙනුත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. එක අවස්ථාවකදී මෝසෙස්ගේ අතින් ලොකු වරදක් වුණා. ඒ තමයි ඊශ්‍රායෙල්වරු කරපු දෙයක් නිසා මෝසෙස්ට ගොඩක් කේන්ති ගිහින් එයා යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කළේ නැති එක. ඒ නිසා පොරොන්දු දේශයට ඇතුල් වෙන්න යෙහෝවා මෝසෙස්ට අවස්ථාව දුන්නේ නැහැ. (ගණන්. 20:1-13) හැබැයි ඒ තීරණය වෙනස් කරන්න කියලා මෝසෙස් යෙහෝවාගෙන් බැගෑපත්ව ඉල්ලුවා. ඒ වෙලාවේ ඔහු මෝසෙස්ට කිව්වා ‘මාත් එක්ක මේ කාරණය ගැන ආයෙත් කතා කරන්න එපා. මගේ තීරණය වෙනස් වෙන්නේ නැහැ’ කියලා. (ද්වි. 3:23-27) ඒක අහලා මෝසෙස් යෙහෝවා දෙවියන් එක්ක තරහ වුණාද? නැහැ. ඒ වෙනුවට එයා යෙහෝවා දෙවියන් ගත්ත තීරණයට කීකරු වුණා. ඒ නිසයි දිගටම ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නන්න මෝසෙස්ව පාවිච්චි කරන්න යෙහෝවාට පුළුවන් වුණේ. (ද්වි. 4:1) නිහතමානී වෙලා ලැබෙන උපදෙස් පිළිපදින එක ගැන යෝබ්ගෙන් සහ මෝසෙස්ගෙන් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා නේද? උපදෙසක් ලැබුණාම යෝබ් නිදහසට කරුණු කියන්න ගියේ නැහැ. ඒ වෙනුවට ඒවා පිළි අරන් එයා හිතන විදිහ වෙනස් කරගත්තා. මෝසෙස්ට පොරොන්දු දේශයට ඇතුල් වෙන්න අවස්ථාව නැති වුණත් එයා දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවේ කළා. එහෙම කරන එකෙන් එයා පෙන්නුවේ එයා යෙහෝවා දුන්න උපදෙස් නිහතමානීව පිළිගත්තා කියන එකයි.

10. (අ) මඟ පෙන්වීම්වලට කීකරු වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතෝපදේශ 4:10-13 කියන්නේ මොනවාද? (ආ) උපදෙස් ලැබෙද්දී සමහරු ඒවා පිළි අරන් තියෙන්නේ කොහොමද?

10 යෝබ් සහ මෝසෙස් වගේ දෙවියන්ට විශ්වාසවන්ත සේවකයන්ගේ ආදර්ශය අනුගමනය කරන එකෙන් අපිටත් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. (හිතෝපදේශ 4:10-13 කියවන්න.) අපි අතර ඉන්න හුඟක් ඒක අද්දැකලා තියෙනවා. කොංගෝවල ඉන්න සහෝදර එම්මානුවෙල් කියන දේ බලන්න. “අපේ සභාවේ අවබෝධයෙන් වැඩ කරන සහෝදරයෝ දැක්කා මං හිටියේ යෙහෝවාගෙන් ඈත් වෙන්න ඔන්න මෙන්න කියලා. ඉතින් එයාලා කෙළින්ම මාත් එක්ක ඒ ගැන කතා කළා. එයාලා දුන්න උපදෙස් පිළිගත්ත නිසා මට හුඟක් ප්‍රශ්නවලින් බේරෙන්න පුළුවන් වුණා.” * කැනඩාවේ පුරෝගාමි සේවේ කරන මේගන් එයාට ලැබුණු උපදෙස් ගැන මෙහෙම කියනවා. “මට ලැබුණු හුඟක් උපදෙස් මං ආස කරන ඒවා නෙවෙයි. හැබැයි ඒවා තමයි මගේ ජීවිතේට ඕනෙම කරලා තිබ්බේ.” ක්‍රොඒෂියාවේ ඉන්න සහෝදර මාර්කෝ කියන දේ බලන්න. “මං අතින් වුණ බරපතළ වරදක් නිසා මට ගොඩක් උපදෙස් ලැබුණා. මගේ වගකීමුත් නැති වුණා. හැබැයි ආපස්ස හැරිලා බලද්දී තේරෙනවා ඒ උපදෙස් පිළිගත්ත නිසා තමයි වැරදි හදාගෙන අදටත් මට යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා.”

11. උපදෙස් පිළිපදින එකේ වැදගත්කම ගැන සහෝදර කාල් කිව්වේ මොනවාද?

11 ලැබුණ උපදෙස් පිළිගත්ත නිසා ප්‍රයෝජන ලබපු තවත් කෙනෙක් තමයි සහෝදර කාල් ක්ලයින්. එයා කාලයක් පාලක මණ්ඩලයේ සේවේ කළා. එයාගේ හොඳ යාළුවෙක් වුණ සහෝදර රදෆර්ඩ් දවසක් සහෝදර කාල්ට ටිකක් තද උපදෙසක් දුන්නා. සහෝදර කාල් ඒ ගැන මෙහෙම කියනවා. “ඒ සිද්ධිය වුණාට පස්සේ ආයේ සහෝදර රදෆර්ඩ්ව හම්බුණ වෙලාවේ එයා වෙනදා වගේම මං දිහා බලලා හිනා වෙලා ‘කොහොමද කාල්’ කියලා මගෙන් ඇහුවා. හැබැයි ලැබුණු උපදෙස නිසා මං හිටියේ ලොකු වේදනාවකින්. ඒ නිසා මං සහෝදර රදෆර්ඩ්ව එච්චර ගණන් ගත්තේ නැහැ. ඉතින් සහෝදර රදෆර්ඩ් මට කිව්වා ‘පරෙස්සමෙන් කාල්, සාතන් ඔයාව අල්ලගන්න බලාගෙනයි ඉන්නේ’ කියලා. ‘නෑ, නෑ කිසි ප්‍රශ්නයක් නෑ’ කියලා කිව්වාට එයාට තේරුණා මං ඉන්නේ ටිකක් අමනාපෙන් කියලා. ඒ නිසා එයා ආයෙත් කිව්වා ‘ඒකට කමක් නෑ කාල්. ඒත් පරෙස්සමෙන්. සාතන් ඔයාව අල්ලගන්න බලාගෙනයි ඉන්නේ’ කියලා. එදා සහෝදර රදෆර්ඩ් මට කියපු දේ 100%ක් ඇත්ත. අපිට උපදෙසක් දෙන්න අයිතියක් තියෙන සහෝදරයෝ අපේ අඩුපාඩුවක් පෙන්නුවාම අපි ඒ ගැන කේන්ති ගන්න නරකයි. මොකද කේන්තියෙන් ඉන්නවා නම් ඒක හරියට සාතන්ට අපිව අල්ලගන්න ඉඩ දීලා අපි ඔහේ බලන් ඉන්නවා වගේ වැඩක්.” * (එෆී. 4:25-27) එදා සහෝදර කාල්, සහෝදර රදෆර්ඩ් දුන්න උපදෙස පිළිගත්තා. ඒ නිසා ඒ දෙන්නාට පුළුවන් වුණා එයාලගේ යාළුකම දිගටම තියාගන්න.

උපදෙස් පිළිගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

12. උපදෙස් පිළිගන්න නිහතමානිකම අපිට උදව් වෙන්නේ කොහොමද? (ගීතාවලිය 141:5)

12 උපදෙස් පිළිපදින්න අපිට උදව් වෙන්නේ මොනවාද? එක දෙයක් තමයි නිහතමානිකම. අපි පාපය උරුම කරගෙන තියෙන නිසා අපි ඕනම කෙනෙක් මෝඩ විදිහට වැඩ කරන්න පුළුවන්. ඒක තේරුම්ගන්න නිහතමානිකම අපිට උදව් වෙනවා. යෝබ් ගැන හිතන්න. එයාත් මුලින් සමහර දේවල් දිහා බැලුවේ වැරදි විදිහට. හැබැයි යෙහෝවා දෙවියන් එයාව නිවැරදි කරද්දී ඒක පිළි අරන් එයා හිතන විදිහ වෙනස් කරගත්තා. ඒ නිසා දෙවියන් එයාට ගොඩක් ආශීර්වාද කළා. උපදෙස් පිළි අරන් වෙනස් වෙන්න යෝබ්ට උදව් වුණේ නිහතමානිකම. ටිකකට හිතන්න යෝබ්ට උපදෙස් දුන්න එලිහු ගැන. එයා යෝබ්ට වඩා ගොඩක් බාල කෙනෙක්. හැබැයි උපදෙස් පිළි නොගෙන ඉන්න යෝබ් ඒක බාධාවක් කරගත්තේ නැහැ. (යෝබ් 32:6, 7) මොකක්ද පාඩම? සමහරවිට කෙනෙක් උපදෙසක් දෙද්දී අපිට හිතෙන්න පුළුවන් ඒක අපිට අදාළ නැහැ කියලා. එහෙමත් නැත්නම් ඒ උපදෙස දෙන්නේ අපිට වඩා අද්දැකීම් අඩු, බාල කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඒ උපදෙස් පිළිගන්න අපිව පොලඹවන්නේ අපේ නිහතමානිකමයි. කැනඩාවේ ඉන්න වැඩිමහල්ලෙක් කියන දේ බලන්න. “අපේ අඩුපාඩු අපිට වඩා හොඳට අනිත් අයට පේනවා. ඉතින් එයාලගේ උපදෙස් නැතුව කොහොමද ඒවා හදාගෙන දියුණු වෙන්නේ?” ඒ නිසා උපදෙසක් ලැබෙද්දී ඒවා පිළි අරන් දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වෙන ගුණාංග දියුණු කරගන්න, හොඳ ගුරුවරයන් වෙන්න අපි හැමෝම ගොඩක් මහන්සි වෙන්න ඕනේ.ගීතාවලිය 141:5 කියවන්න.

13. අපිට ලැබෙන උපදෙස් ගැන අපි හිතන්න ඕනෙ මොන විදිහටද?

13උපදෙස් දෙන්නේ යෙහෝවා ඔයාට ආදරේ නිසයි කියලා මතක තියාගන්න. යෙහෝවා දෙවියන්ට ඕනෙ අපිට හොඳම දේ දෙන්න. (හිතෝ. 4:20-22) ඉතින් බයිබලය මාර්ගයෙන්, අපේ ප්‍රකාශන මාර්ගයෙන්, අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් මාර්ගයෙන් ඔහු අපිට උපදෙස් දෙන්නේ ‘අපේම ප්‍රයෝජනයට.’—හෙබ්‍රෙ. 12:9, 10.

14. උපදෙසක් ලැබෙද්දී අපි අවධානය දෙන්න ඕනෙ මොන දේටද?

14කියන විදිහට නෙවෙයි කියන දේට අවධානය දෙන්න. සමහරවිට උපදෙසක් ලැබෙද්දී අපිට හිතෙන්න පුළුවන් ‘එයාට ඒක මීට වඩා හොඳ විදිහට කියන්න තිබුණානේ’ කියලා. ඇත්ත, උපදෙසක් දෙද්දී ඒක පිළිගන්න ලේසි වෙන විදිහට දෙන එක වැදගත්. * (ගලා. 6:1) හැබැයි ඒක දීපු විදිහ ගැන හිතනවාට වඩා ඒක දුන්නේ ඇයි කියන එක ගැන හිතුවොත් නරකද? ඔයාට පුළුවන් මෙහෙම හිතන්න. ‘එයා උපදෙස දීපු විදිහ නම් හරි නෑ තමයි. ඒත් එයා කියපු දේවල්වල ඇත්තක් තියෙනවාද? එයාගේ අඩුපාඩු බලන්නේ නැතුව මං හිතන්න ඕනෙ එයා දුන්න උපදෙස ගැන නේද?’ ඉතින් උපදෙසක් කවුරු දුන්නත් කොහොම දුන්නත් ඒක පිළිගන්න එක තමයි ඥානවන්තම දේ.—හිතෝ. 15:31.

උපදෙස් ලබාගෙන ප්‍රයෝජන නෙළාගන්න

15. අනිත් අයගෙන් උපදෙස් ඉල්ලන්න අපි කැමැත්තෙන් ඉන්න ඕනෙ ඇයි?

15 හිතෝපදේශ 13:10 මෙහෙම කියනවා. “එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක.” ඒක මොන තරම් ඇත්තක්ද! කෙනෙක් ඇවිත් අපේ අඩුපාඩුවක් පෙන්නන කල් ඉන්නේ නැතුව අපිම ඒ ගැන අහන්න මුල් පියවර ගන්නවා නම් ඥානවන්තව වැඩ කරන්න අපිට ඒක උදව් වෙනවා. ඒ නිසා බයිබලේ දිරිගන්වන විදිහට තව කෙනෙක් ළඟට ගිහිල්ලා උපදෙස් ගන්න අදිමදි කරන්න එපා.

යෞවන සහෝදරියක් වැඩිහිටි සහෝදරියකගෙන් මඟ පෙන්වීමක් ගන්නේ ඇයි? (16 ඡේදය බලන්න)

16. අනිත් අයගෙන් උපදෙස් ඉල්ලන්න ඕනෙ වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?

16 අපි අනිත් අයගෙන් උපදෙස් ඉල්ලන්න ඕනෙ මොන වගේ අවස්ථාවලදීද? ඒක තේරුම්ගන්න මේ සිද්ධීන්වලට අවධානය දෙන්න. (1) සහෝදරියක් එයාගේ ශිෂ්‍යයෙක්ට බයිබල් පාඩමක් කරන්න අද්දැකීම් තියෙන සහෝදරියකට එන්න කියනවා. පාඩමෙන් පස්සේ එයා ඒ සහෝදරියගෙන් දියුණු වෙන්න ඕනෙ පැති ගැන අහනවා. (2) තනිකඩ සහෝදරියක් ඔන්ලයින් හරහා ගන්න ඇඳුමක් තෝරනවා. ඒක ගන්න කලින් ඇත්තටම ඒ ඇඳුම ගැන මොකක්ද හිතන්නේ කියලා එයා අද්දැකීම් තියෙන වැඩිහිටි සහෝදරියකගෙන් අහනවා. (3) සහෝදරයෙක්ට මුල්ම වතාවට බයිබල් දේශනයක් දෙන්න ලැබෙනවා. ඒ නිසා එයා අද්දැකීම් තියෙන කථිකයෙක්ගෙන් ඉල්ලනවා එයා දේශනය පුරුදු වෙද්දී ඒක බලන් ඉඳලා දියුණු වෙන්න ඕනෙ පැති කියන්න කියලා. සමහරවිට අවුරුදු ගාණක් තිස්සේ දේශන දෙන සහෝදරයන්ට වුණත් පුළුවන් තවත් අද්දැකීම් තියෙන සහෝදරයන්ගෙන් උපදෙස් අරන් තව දියුණු වෙන්න.

17. උපදෙස් ලැබෙද්දී අපි කරන්න ඕනෙ මොනවාද?

17 අපි බලපු විදිහට සමහර උපදෙස් අපිට කෙළින්ම ලැබෙනවා. තවත් ඒවා කෙළින්ම ලැබෙන්නේ නැහැ. හෙට, ඊළඟ සතියේ, ඊළඟ මාසේ සමහරවිට ඔයාට ඒ මොන විදිහකින් හරි උපදෙසක් ලැබෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි සාකච්ඡා කරපු දේවල් ආයෙත් මතක් කරගන්න. දිගටම නිහතමානී වෙන්න. කියපු විදිහට නෙවෙයි කියපු දේට අවධානය දෙන්න. ඔයාට ලැබුණු උපදෙස ඉක්මනටම අදාළ කරගන්න. මතක තියාගන්න අපි කවුරුත් උපතින්ම ප්‍රඥාවන්ත අය නෙවෙයි. ඒත් බයිබලේ කියනවා ‘උපදෙස්වලට සවන් දීලා හික්මවීම් පිළිගන්නවා නම් අපිටත් ප්‍රඥාවන්තයන් වෙන්න පුළුවන්’ කියලා.—හිතෝ. 19:20.

ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු

^ 5 ඡේ. බයිබලේ තියෙන උපදෙස්වලට ඇහුම්කන් දෙන එක කොච්චර වැදගත්ද කියලා දෙවියන්ගේ සෙනඟ විදිහට අපි තේරුම් අරන් තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඒක කරන එක ලේසි නැහැ. එහෙම කියන්නේ ඇයි කියලත් ලැබෙන උපදෙස්වලට කීකරු වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද කියලත් අපි බලමු.

^ 10 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 11 ඡේ. 1985 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 26-32 දක්වා පිටු බලන්න.

^ 14 ඡේ. උපදෙසක් දෙද්දී ඒක දෙන්න ඕනෙ කොහොමද කියලා ඊළඟ ලිපියේ කතා කරනවා.