Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දෙවිගේ සෙනඟ මහ බැබිලෝනියේ වහලුන් වුණේ කවදා ඉඳලද?

දැන් ඒ ගැන අපේ අවබෝධය තවත් පැහැදිලි වෙලා තියෙන නිසා දෙවිගේ සෙනඟ ක්‍රි.ව. 2වෙනි සියවසේ සිට 1919 දක්වා මහ බැබිලෝනියේ වහලුන්ව සිටියා කියලා කියන්න පුළුවන්. එහෙම කියන්නේ ඇයි?

අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව පවිත්‍ර කරපු සභාවට 1919 ඉඳන් රැස් කිරීමට පටන්ගැනීමත් එක්කම දෙවිගේ සෙනඟ මහ බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වුණා. මේ සිදුවීම් බලන්න. 1914 දේවරාජ්‍යය පිහිටුවලා ගත වුණ අවුරුදු කිහිපය ඇතුළත දෙවිගේ සෙනඟව සෝදිසි කරලා පවිත්‍ර කළා. * (මලා. 3:1-4) ඊටපස්සේ දෙවිගේ සෙනඟට “නියම වේලාවට ආහාර දීම සඳහා” යේසුස් 1919දී “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” පත් කළා. (මතෙ. 24:45-47) දෙවිගේ සෙනඟ දැන් ඉන්න පාරාදීසයක් හා සමාන තත්වය අද්දකින්න පටන්ගත්තේ ඒ අවුරුද්දේ ඉඳලයි. ඒ අනුව දෙවිගේ සෙනඟ මහ බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වුණේ 1919 කියලා හොඳටම පැහැදිලියි. (එළි. 18:4) ඒත් ඔවුන් වහලුන් වුණේ කවදා ඉඳන්ද?

කලින් අපි අවබෝධ කරගෙන හිටියේ දෙවිගේ සෙනඟ වහල්භාවයට පත් වුණේ ඔවුන්ගේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම මහ බැබිලෝනියේ අණසක යටතට ගත්ත 1918දී කියලයි. ඒ වගේම ඒක පැවතුණේ කෙටි කාලෙකට විතරක් කියලයි. ඒ ගැන 1992 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “අතීතයේදී ඊශ්‍රායෙල්වරු යම් කාලෙකට බැබිලෝනියේ වහල්භාවයට පත් වුණා වගේ 1918දී දෙවිගේ සෙනඟත් යම් දුරකට මහ බැබිලෝනියේ වහලුන් වුණා.” ඒත් තොරතුරු තවත් හොඳට අධ්‍යයනය කරද්දී පැහැදිලි වුණා ඒක 1918 බොහෝ කාලෙකට කලින් සිද්ධ වුණා කියලා.

ඒක තේරුම්ගන්න උදව් වෙන දර්ශනයක් එසකියෙල් 37:1-14 දක්වා සඳහන් වෙනවා. ඒ දර්ශනයේදී එසකියෙල් දකින්නේ ඇටකටුවලින් පිරුණු තැනිතලාවක්. ඒ ඇටකටුවලින් “මුළු ඊශ්‍රායෙල් ජනතාව” නියෝජනය වෙනවා කියලා දෙවි කිව්වා. ඒ අනාවැකියේ දෙවෙනි ඉටු වීම අදාළ වෙන්නේ “දෙවිගේ ඊශ්‍රායෙල්ටයි.” (ගලා. 6:16; ක්‍රියා 3:21) ඊළඟට එසකියෙල් දකිනවා ඒ ඇටකටු ක්‍රමානුකූලව මිනිස් සිරුරු වෙලා ඒවාට පණ ඇවිත් විශාල හමුදාවක් හැදෙනවා. 1919දී දෙවිගේ සෙනඟ යළි පණගැන්වුණ විදිහ විස්තර කරන්න ඒක කොයි තරම් ලස්සන දර්ශනයක්ද! ඒත් කොච්චර දීර්ඝ කාලයක් වහල්භාවයේ හිටියද කියලා තේරුම්ගන්න ඒක උදව් වෙන්නේ කොහොමද?

දර්ශනයේ සඳහන් කාරණා දෙකකින් ඒක පැහැදිලියි. (1) ඇටකටු විස්තර කරලා තියෙන්නේ “හොඳටම වියළී” තිබුණ ඒවා හැටියටයි. (එස. 37:2, 11) ඒ ඇටකටු අයිති මිනිසුන් මිය ගිහින් සෑහෙන කාලයක් ගත වෙලා කියලා ඒකෙන් තේරෙනවා. (2) ඒ ඇටකටු මිනිස්සු විදිහට යළි ජීවය ලබන්නේ එකපාරටම නෙමෙයි ක්‍රමානුකූලවයි. මුලින්ම ඇටකටු එකිනෙක ගැටෙන ශබ්දයක් ඇහිලා “එක් එක් ඇටකටු ඒවාට ගැළපෙන ඇටකටු ළඟට ගොස් ඒවා සමඟ සම්බන්ධ වෙනවා.” ඊළඟට ඒ “ඇටකටු නහරවලින්ද මස්වලින්ද වැසී සමෙන් ආවරණය වෙනවා.” ඊටපස්සේ “ජීවන හුස්ම ඔවුන් වෙත පැමිණ ඔවුන්ට පණ” ලැබෙනවා. අන්තිමට යෙහෝවා දෙවි ඒ අයව ඔවුන්ගේ දේශයේ පදිංචි කරනවා. ඒ හැමදේම වෙන්න කාලයක් ගත වෙනවා.—එස. 37:7-10, 14.

ඒ දර්ශනයේ මුල් ඉටු වීම අදාළ වෙන්නේ ඊශ්‍රායෙල්වරුන්ට. ඔවුන් සෑහෙන කාලයක් වහල්භාවයේ හිටියා. ඒක පටන්ගත්තේ ක්‍රි.පූ. 740දී ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යය අල්ලගැනීමත් එක්කම. ඊටපස්සේ ක්‍රි.පූ. 607දී යෙරුසලම විනාශ කරලා යූදා රාජ්‍යයේ සෙනඟව වහල්භාවයට ගෙන ගියා. ඒ වහල්භාවය අවසන් වුණේ ක්‍රි.පූ. 537දී. දේවමාලිගාව ආයෙත් ගොඩනඟලා සැබෑ නමස්කාරය යළි පිහිටුවන්න යුදෙව්වන් නිදහස් වෙලා ආවේ ඒ අවුරුද්දෙදියි.

දෙවිගේ සෙනඟ මහ බැබිලෝනියේ වහලුන්ව හිටපු කාලය 1918-1919 අතර කාලයේ සිදුවීම්වලට විතරක් සීමා වෙන්න බැහැ කියලා පැහැදිලියි. වහල්භාවයේ හිටපු කාලය තිරිඟු හා කිරිඳි ගැන යේසුස් කියපු උපමාවේ තිරිඟුත් කිරිඳිත් එකට වැඩෙන කාලයට සමානයි. (මතෙ. 13:36-43) දෙවර්ගයම එකට වැඩෙන කාලයෙන් අදහස් කළේ සැබෑ ක්‍රිස්තියානීන් යටපත් වෙන තරමටම සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයගේ ගණන වැඩි වුණ කාලයටයි. ඒ කාලයෙදී ක්‍රිස්තියානි සභාව මහ බැබිලෝනියේ වහලුන් වුණා. ඒක පටන්ගත්තේ ක්‍රි.ව. 2වෙනි සියවසේදී. එදා ඉඳන් දෙවිගේ සෙනඟව පවිත්‍ර කරපු කාලය දක්වාම ඔවුන්ට වහලුභාවයේ ඉන්න සිද්ධ වුණා.—ක්‍රියා 20:29, 30; 2 තෙස. 2:3, 6; 1 යොහ. 2:18, 19.

බල තණ්හාවෙන් හිටපු පූජකයනුත් ඔවුන්ට සහය දුන්න දේශපාලන නායකයනුත් දෙවිගේ සෙනඟ සංකේතාත්මකව වහලුන් වෙලා හිටපු කාලයේ බයිබලය මිනිසුන්ගෙන් ඈත් කළා. සමහර කාලවලදී බයිබලය කියවන එක දඬුවම් ලැබිය හැකි වරදක් කියලා සැලකුවා. එහෙම කරපු සමහරුන්ව කණුවල ගැටගහලා ගිනි තිබ්බා. පූජකයන් උගන්වපු දේවලට වඩා වෙනස් මත දරපු අයට ඔවුන් සැලකුවේ හරිම කුරිරු විදිහටයි. ඒකෙන් බයිබලයේ තිබුණ සත්‍යය යටපත් වුණා.

වහල්භාවයෙන් දෙවිගේ සෙනඟ මිදුණේ කවදද? කොහොමද? ඇටකටුවලට යළි ජීවිතය ලැබුණේ ක්‍රමානුකූලව වගේ මිය ගියා හා සමාන තත්වයක හිටපු දෙවිගේ සෙනඟත් යළි පණගැන්වුණේ ක්‍රමානුකූලවයි. අසත්‍ය උගන්වන ආගම් අණසක පතුරුවගෙන හිටියත් අවසාන කාලය කිට්ටු වෙද්දී ගත වුණ සියවස් කිහිපය තුළ දෙවිට විශ්වාසවන්ත කිහිපදෙනෙක් සත්‍ය නමස්කාරය යළි පිහිටුවන්න උත්සාහයක් ගත්තා. ඒ අයගෙන් සමහරදෙනෙක් සාමාන්‍ය ජනයාට කියවන්න පුළුවන් විදිහට බයිබලය පරිවර්තනය කළා. තවත් අය බයිබලයෙන් හොයාගත්ත තොරතුරු අනිත් අය එක්ක බෙදාගත්තා. දර්ශනයේ ‘ඇටකටු එකිනෙක ගැටෙද්දී ශබ්දයක්’ නැඟුණ අවස්ථාවට ඒ කාලය සමානයි.

ඊටපස්සේ ඒ ඇටකටු ටිකෙන් ටික නහරවලින්, මස්වලින් වැහිලා සමෙන් ආවරණය වුණා වගේ දෙයක් 1870 ගණන්වල සිද්ධ වුණා. චාල්ස් ටේස් රසල් සහ පිරිසක් බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තේ ඒ කාලයෙදියි. ඒ අය ප්‍රකාශයට පත් කළ ‘මුරටැඹ’ සහ තවත් ප්‍රකාශන නිසා සත්‍යය දැනගන්න ආසාවෙන් හිටපු අයට ඒ සඳහා අවස්ථාව උදා වුණා. 1914දී පෙන්නපු ‘දෙවිගේ නිර්මාණ පිළිබඳ ඡායාරූප සහ දර්ශන ඇතුළත් වැඩසටහන’ නිසාත් 1917දී මුදාහැරපු ‘අභිරහස හෙළි කිරීම’ කියන පොත නිසාත් දෙවිගේ සෙනඟ තවත් ශක්තිමත් වුණා. 1919දී යළි පණගැන්වුණ දෙවිගේ සෙනඟ එතැන් පටන් දෙවිගේ ආශීර්වාද අද්දැක්කා. කාලය ගත වෙද්දී අභිෂේක ලත් අයට මහත් සමූහයත් එකතු වුණ නිසා දැන් ඒ අය “දැවැන්ත යුධ හමුදාවක්” වගෙයි.—එස. 37:10; සෙක. 8:20-23. *

දෙවිගේ සෙනඟ මහ බැබිලෝනියේ වහල්භාවයට පත් වුණේ සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයගේ වර්ධනය සිදු වුණ 2වෙනි සියවසේදී කියලා ඒ තොරතුරුවලින් පැහැදිලියි. ඒක අතීත ඊශ්‍රායෙල්වරු බැබිලෝනියේ වහල්භාවයේ හිටපු කාලය වගේ අඳුරු යුගයක්. සියවස් ගාණක් පුරා දෙවි ගැන දැනුම විහිදුවන්න ඉඩ නොදී ඒක යටපත් කරපු ඒ අඳුරු යුගය දැන් අවසන්. ‘ගැඹුරු අවබෝධය ඇති අය දීප්තිමත්ව බැබළෙන’ සහ “බොහෝදෙනෙක් තමන්වම පවිත්‍ර කරගෙන නිකැළැල් තත්වයකට පත් වෙන” කාලයක ජීවත් වෙන්න ලැබුණ එක මොන තරම් වරප්‍රසාදයක්ද!—දානි. 12:3, 10.

සාතන් යේසුස්ව වරදකට හසු කරගන්න උත්සාහ කරපු අවස්ථාවේ යේසුස්ව ඇත්තටම දේවමාලිගාවට අරන් ගියාද? නැත්නම් දර්ශනයකින් එතනට අරන් ගියාද?

යේසුස් දේවමාලිගාවට ගියාද නැත්නම් ඔහුව දර්ශනයකින් එතනට අරන් ගියාද කියලා හරියටම කියන්න බැහැ.

ඒ සිද්ධිය ගැන මතෙව් සහ ලූක් පොත් දෙකේම සඳහන් වෙනවා. මතෙව් කියන්නේ “යක්ෂයා ඔහුව ශුද්ධ නුවරට රැගෙන ගියේය. එහිදී ඔහුව දේවමාලිගාවේ පවුර මුදුනට ගෙන ගියේය” කියලයි. (මතෙ. 4:5) ලූක් ඒක විස්තර කරන්නේ මෙහෙමයි. “ඔහු යේසුස්ව යෙරුසලමට ගෙන ගියේය. එහිදී ඔහුව දේවමාලිගාවේ පවුර මුදුනට ගෙන ගියේය.”ලූක් 4:9.

කලින් අපේ ප්‍රකාශනවල කිව්වේ සාතන් යේසුස්ව ඇත්තටම ඒ ස්ථානයට අරන් යන්න නැතුව ඇති කියලයි. 1961 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “සාතන් ලෝකයේ සියලුම රාජ්‍යයන් පෙන්නන්න යේසුස්ව කන්දකට රැගෙන ගිය අවස්ථාවේදී ඔහුව ඇත්තටම කන්දකට අරන් ගියේ නැහැ. ඒවා පෙන්නුවේ දර්ශනයක් මාර්ගයෙන්. මොකද ලෝකයේ සියලුම රාජ්‍යයන් පේන තරමට උස කන්දක් නැහැ. ඒ වගේ යේසුස්ව දේවමාලිගාවට අරන් ගිය අවස්ථාවෙදීත් ඇත්තටම යේසුස්ව එතනට අරන් යන්න නැතුව ඇති.” ඒ වුණත් පස්සේ කාලවල පළ වුණ ‘මුරටැඹ’ සඟරාවල සඳහන් වුණේ යේසුස් දේවමාලිගාවේ පවුර මුදුනෙන් පැන්නා නම් ඒක ඔහුගේ ජීවිතේ අනතුරේ හෙළීමක් කියලයි.

සමහරු කියන්නේ යේසුස් ලෙවී ගෝත්‍රයට අයිති නැති නිසා දේවමාලිගාවේ ශුද්ධස්ථානයේ මුදුනට යන්න ඔහුට අවසර තිබුණේ නැහැ කියලයි. ඒ නිසා සාතන් යේසුස්ව එතනට අරන් ගියේ දර්ශනයකින් කියලත් ඔවුන් කියනවා. ඊට සියවස් ගාණකට කලින් එසකියෙල්වත් දර්ශනයක් මාර්ගයෙන් දේවමාලිගාවට අරන් ගියා.—එස. 8:3, 7-10; 11:1, 24; 37:1, 2.

ඒත් සාතන් යේසුස්ව දේවමාලිගාවට අරන් ගියේ දර්ශනයක් මාර්ගයෙන් නම් සමහරුන්ට මේ වගේ ප්‍රශ්න මතු වෙන්න පුළුවන්.

  • දේවමාලිගාවේ පවුර මුදුනෙන් පනින්න ඇත්තටම යේසුස් තුළ පෙලඹීමක් ඇති වෙයිද?

  • සාතන් යේසුස්ව වරදකට හසු කරගන්න අරමුණින් ගල් රොටි කරන්න කිව්වෙත් තමන්ට නමස්කාර කරන්න කිව්වෙත් ඇත්තටමයි. එහෙමනම් මේ අවස්ථාවේදීත් සාතන් යේසුස්ට දේවමාලිගාවේ පවුර මුදුනෙන් පනින්න කිව්වේ ඇත්තටම වෙන්න බැරිද?

ඒත් සාතන් දර්ශනයකින් නැතුව යේසුස්ව ඇත්තටම අරන් ගියා නම් . . .

  • යේසුස් දේවමාලිගාවේ ශුද්ධස්ථානය මුදුනේ හිටපු එක නීතිය කඩ කිරීමක් නෙමෙයිද කියලා සමහරු අහනවා.

  • යේසුස් පාළුකරයේ ඉඳන් දේවමාලිගාවට ආවේ කොහොමද කියලත් සමහරු අහනවා.

අපි දැන් ඒ ගැන බලමු.

මහාචාර්ය ඩී. ඒ. කාසන් කියන්නේ මතෙව් සහ ලූක් පොත්වල “දේවමාලිගාව” සඳහා යොදාගෙන තියෙන ග්‍රීක වචනයෙන් ලෙවීවරුන්ට විතරක් යන්න අවසර තියෙන ශුද්ධස්ථානය විතරක් නෙමෙයි දේවමාලිගාවට අයිති සම්පූර්ණ ප්‍රදේශයම අදහස් වෙනවා කියලයි. දේවමාලිගාව තිබුණ ප්‍රදේශයේ ගිනිකොණ පැත්තට වෙන්න පැතලි වහලක් තිබුණ තැනක් තිබුණා. ඒක තමයි ඒ ප්‍රදේශයේ තිබුණ උසම තැන. යේසුස්ව ගෙන යන්න ඇත්තේ එතනට වෙන්න ඇති. එතන ඉඳන් කිද්‍රොන් නිම්නය තිබුණේ අඩි 450ක් විතර පහළින්. ඉතිහාසඥ ජොසීෆස් කියන විදිහට ඒ තැන කොච්චර උසද කියනවා නම් කෙනෙක් එතන ඉඳන් පහළ බැලුවොත් ඒ කෙනාට කැරකිල්ලක් වුණත් හැදෙන්න පුළුවන්. ඊට අමතරව ලෙවීවරයෙක් නොවුණ යේසුස් එතනට ගියා කියලා ඒක නීතිය කඩ කිරීමක් වුණෙත් නැහැ.

පාළුකරයේ හිටිය යේසුස් එතනට ගියේ කොහොමද? ඒක අපි හරියටම දන්නේ නැහැ. බයිබලයේ කියන්නේ යේසුස්ව යෙරුසලමට රැගෙන ගියා කියලා විතරයි. යේසුස් හිටියේ යෙරුසලමට කොයි තරම් දුරකින්ද කියලවත් සාතන් යේසුස්ව වරදකට හසු කරගන්න හදපු සිද්ධියට කොයි තරම් කාලයක් ගත වුණාද කියලවත් බයිබලයේ කියන්නේ නැහැ. යම් කාලයක් ගත වුණත් සමහරවිට යේසුස් ඇවිදගෙනම යෙරුසලමට යන්න ඇති.

එහෙමනම් සාතන් යේසුස්ට “ලෝකයේ සියලු රාජ්‍යයන්” පෙන්නපු එක ගැන කියන්න පුළුවන් මොකක්ද? සාතන් ඒක පෙන්නුවේ දර්ශනයකින් කියලා හිතන්න පුළුවන්. මොකද ලෝකයේ සියලු රාජ්‍යයන් දකින්න පුළුවන් කන්දක් ලෝකයේ නැහැ. හරියට ප්‍රොජෙක්ටරයකින් තිරයක් මත ලෝකයේ විවිධ ප්‍රදේශවල දර්ශන පෙන්නනවා වගේ සාතනුත් යේසුස්ට දර්ශනයකින් ඒවා පෙන්නන්න ඇති. ඒත් යේසුස් ඇත්තටම වැඳ වැටී තමන්ට නමස්කාර කරයි කියලා සාතන් බලාපොරොත්තු වුණා. (මතෙ. 4:8, 9) සාතන් යේසුස්ව දේවමාලිගාවේ පවුර මුදුනට ගෙන ගිය අවස්ථාවෙදීත් ඔහු බලාපොරොත්තු වුණේ යේසුස් තමන්ගේ ජීවිතේ පරදුවට තියලා දේවමාලිගාවේ පවුර මුදුනෙන් පනියි කියලයි. දර්ශනයක එහෙම කරන්න කියනවට වඩා ඇත්තටම එහෙම කරන්න කියද්දී ඒක මොන තරම් ප්‍රබල පෙලඹීමක් වෙන්න ඇද්ද!

එහෙමනම් යේසුස් ඇත්තටම යෙරුසලමට ගිහින් දේවමාලිගාවේ උසම තැනට යන්න ඇති කියලා හිතන්න පුළුවන්. අපි මේ ලිපියේ මුලින්ම සඳහන් කළා වගේ සාතන් යේසුස්ට දේවමාලිගාව පෙන්නුවේ කොහොමද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඒත් සාතන් යේසුස් ලවා වැරදි දෙයක් කරවගන්න දිගටම උත්සාහ කළා කියලත් ඒ හැම අවස්ථාවක්ම යේසුස් එකහෙළා ප්‍රතික්ෂේප කළා කියලත් අපි දන්නවා.

^ 1 ඡේ. එසකියෙල් 37:1-14ත් එළිදරව් 11:7-12ත් සඳහන් දර්ශන දෙකේම කතා කරන්නේ 1919 දෙවිගේ සෙනඟ යළි පණගැන්වුණ විදිහ ගැනයි. ඒත් එසකියෙල්ගේ අනාවැකියෙන් කතා කරන්නේ දීර්ඝ කාලයක් මිය ගියා හා සමාන තත්වයක ඉඳලා යළි පණගැන්වුණ දෙවිගේ සියලුම සෙනඟ ගැනයි. එළිදරව් පොතේ කතා කරන්නේ කෙටි කාලයක් අඩපණ වෙලා ඉඳලා යළි පණගැන්විලා මූලිකත්වය අරන් වැඩ කරපු අභිෂේක ලත් කුඩා පිරිසක් ගැනයි.